ඔවුහු ‘එසේම කළෝය’
“දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය.”—1 යොහන් 5:3.
1. දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ තරම සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?
“දෙවියන්වහන්සේ ප්‍රේමයය.” දෙවියන්වහන්සේ දැනහඳුනා ගැනීමටත්, උන්වහන්සේගේ ආඥා පැවැත්වීමටත් පැමිණෙන සෑම කෙනෙක්ම එම ප්‍රේමය කෙරෙහි ගැඹුරු අගයක් අත් කරගනිති. “ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.” අප යේසුස්වහන්සේගේ අනර්ඝ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල දක්වන අතර, අපි ‘දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්නෙමු.’ (1 යොහන් 4:8-10, 16) මෙසේ දැන් අපට ආත්මික ආශීර්වාද සම්භාරයක්ද, මතුවට පැමිණෙන දේවල පිළිවෙළ තුළ සදාකාල ජීවනයද භුක්තිවිඳිය හැක.—යොහන් 17:3; 1 යොහන් 2:15, 17.
2. දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීම උන්වහන්සේගේ සේවකයන්ට ප්‍රයෝජනවත් වී තිබෙන්නේ කෙසේද?
2 දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉමහත් ආශීර්වාද ලබා තිබෙන අයගේ ආදර්ශවලින් බයිබල් වාර්තාව ගහණය. ඔවුන්ට පූර්ව-ක්‍රිස්තියානි සාක්ෂිකරුවන් ඇතුළත් වන අතර, ඔවුන් සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා දැක ප්‍රසන්නවී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී, ඇදහිල්ල ඇතුව මැරුණෝය.” (හෙබ්‍රෙව් 11:13) පසුව, දෙවියන්වහන්සේගේ කැපවූ ක්‍රිස්තියානි සේවකයෝ, ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන [ලැබූ] අනුග්‍රහයෙන්ද සත්‍යයෙන්ද’ ප්‍රයෝජන ලැබූහ. (යොහන් 1:17) අවුරුදු 6,000ක පමණ මිනිස් ඉතිහාසය පුරාම, සැබවින්ම ‘බරක් නොවන,’ ස්වකීය ආඥාවලට කීකරු වී තිබෙන විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ට යෙහෝවඃවහන්සේ විපාක දී ඇත.—1 යොහන් 5:2, 3.
නෝවාගේ දවස්වලදී
3. නෝවා ‘එසේම කළේ’ කුමන ආකාරවලින්ද?
3 බයිබල් වාර්තාවෙහි මෙසේ ප්‍රකාශ වේ: “ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.” “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” වශයෙන්, දෙවියන්වහන්සේට සම්පූර්ණයෙන්ම කීකරු වූ නෝවා, ආසන්නව පැවති දිව්‍ය විනිශ්චය ගැන ජලගැලීමට පෙර විසූ දරුණු ලෝකයට අනතුරු ඇඟවූසේක. (හෙබ්‍රෙව් 11:7; 2 පේතෘස් 2:5) නැව ගොඩනැංවීමේදී, හේ දිව්‍යමය අන්දමකින් සපයන ලද සැලසුම් පිටපත පරෙස්සමින් අනුගමනය කළේය. අනතුරුව නියම කරන ලද සතුන්ද ආහාර වර්ගද හේ ඇතුළට ගත්තේය. “නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණකළ සියල්ල ලෙස ඔහු කෙළේය.”—උත්පත්ති 6:22.
4, 5. (අ) මේ කාලය දක්වා දුෂ්ට බලපෑමක් මිනිස්වර්ගයාට බලපා තිබෙන්නේ කෙසේද? (ආ) දිව්‍යමය උපදෙස්වලට කීකරු වීමේදී, අප ‘එසේම කළ’ යුත්තේ මන්ද?
4 අකීකරු දේවදූතයන්ගේ දුෂ්ට බලපෑමට එරෙහිව කටයුතු කිරීමට නෝවාට සහ සිය පවුලට සිදු විය. මිනිස් වෙස්ගත් මේ දේවපුත්‍රයෝ, ස්ත්‍රීන් සමඟ සංවාසයෙහි යෙදී, මිනිස්වර්ගයාට පීඩා කළ අධි මානුෂ පැවතෙන්නන් බිහි කළහ. “පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දූෂ්‍යවූවාය, පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය.” එම දුෂ්ට පරම්පරාව අතුගා දැමීමට යෙහෝවඃවහන්සේ ජලගැලීම පැමිණෙවුසේක. (උත්පත්ති 6:4, 11-17; 7:1) නෝවාගේ කාලයේ පටන්, මිනිස් වෙස්ගැනීමට භූත දූතයන්ට ඉඩ කඩ ලැබී නැත. කෙසේවෙතත්, ‘මුළු ලෝකයා දිගටම නපුරා’ එනම් සාතන් නමැති යක්ෂයා ‘තුළ පවතී.’ (1 යොහන් 5:19; එළිදරව් 12:9) අනාවැකිමය කෝණයකින් බලන කල, 1914දී යේසුස්වහන්සේගේ ‘පැමිණසිටීමේ’ ලකුණ පැහැදිලි වීමට පටන්ගත් අවස්ථාවේ සිට උන්වහන්සේව ප්‍රතික්ෂේප කොට තිබෙන මිනිස්වර්ගයාගෙන් සමන්විත පරම්පරාව සමඟ උන්වහන්සේ, නෝවාගේ දවසේ එම කැරලිකාර පරම්පරාව සැසඳූසේක.—මතෙව් 24:3, 34, 37-39; ලූක් 17:26, 27.
5 නෝවාගේ දවසේ සිදු වූවාක් මෙන්, අදදින, මිනිස්වර්ගයා මෙන්ම අපේ පෘථිවි ග්‍රහයාද විනාශ කිරීමට සාතන් වෙර දරමින් සිටී. (එළිදරව් 11:15-18) එබැවින් අප දේවානුභාවය ලත් මෙම ආඥාව සිතට ගැනීම හදිසි කාරණයකි: “යක්ෂයාගේ [කපටි ක්‍රියාවලට] විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගනිල්ලා.” (එපීස 6:11, NW පාදසටහන) මෙහිදී, දේවවචනය අධ්‍යයනය කිරීමෙන් හා එය අපේ ජීවිතයට අදාළ කරගැනීමෙන් අපි ශක්තිමත් වෙමු. එපමණක්ද නොව, අප යා යුතු මාර්ගයෙහි යෑමට අප කෙරෙහි ඉවසිලිවන්තව එඬේරකම් කිරීම සඳහා, අභිෂේක ලත් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” හා ප්‍රේමනීය වැඩිමහල්ලන්ගෙන් සමන්විත යෙහෝවඃවහන්සේගේ සැලකිලිමත් සංවිධානය අප සතුය. ඉටු කිරීම සඳහා අපට ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ කර්තව්‍යයක් තිබේ. (මතෙව් 24:14, 45-47) දිව්‍යමය උපදෙස්වලට එතරම් පරෙස්සමින් කීකරු වූ නෝවා මෙන්, අපිද හැමවිටම ‘එසේම කරමු.’
මෝසෙස්—මිනිසුන් අතරෙන් ඉතාම මෘදු කෙනෙකි
6, 7. (අ) මෝසෙස් කළේ කුමන විපාකදායී තේරීමද? (ආ) මෝසෙස් අපහට තබාගියේ කුමන එඩිතර ආදර්ශයද?
6 ඇදහිල්ලේ තවත් මිනිසෙකු වන මෝසෙස් සලකා බලන්න. මිසරයේ සැපපහසුකම් මධ්‍යයෙහි පහසු ජීවිතයක් භුක්තිවිඳීමට ඔහුට හැකියාව තිබිණ. එහෙත් ඔහු “කලකට පාපයේ සැප භුක්තිවිඳීමට වඩා දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ දුක්විඳීම තෝරාගත්තේය.” යෙහෝවඃවහන්සේගෙන් පැවරුම් ලද සේවක වශයෙන් “විපාකය දෙස බැලූ [අතර,] . . . අදෘශ්‍යමාන තැනැන්වහන්සේ දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය.”—හෙබ්‍රෙව් 11:23-28.
7 ගණන් කථාව 12:3හි අපට මෙසේ කියවීමට තිබේ: “මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය.” ඊට වෙනස්ව, මිසරයේ ඵාරාවෝ සියලු මනුෂ්‍යයන්ට වඩා උඩඟුම කෙනෙක් සේ ක්‍රියා කළේය. යෙහෝවඃවහන්සේ ඵාරාවෝ පිට ස්වකීය විනිශ්චය ප්‍රකාශ කරන මෙන් මෝසෙස්ට හා ආරොන්ට ආඥා කළ විට, ඔවුන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? අපහට මෙසේ කියා තිබේ: “මෝසෙස්ද ආරොන්ද එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය.” (නික්මයාම 7:4-7) අදදින දෙවියන්වහන්සේගේ විනිශ්චයන් ප්‍රකාශ කරන අපහට එය මොනතරම් එඩිතර ආදර්ශයක්ද!
8. ‘එසේම කිරීමට’ ඉශ්රායෙල්වරුන් බැඳී සිටියේ කෙසේද, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ ප්‍රීතිවීම, නුදුරු අනාගතයේදී ඊට සමාන්තරව ලැබෙන්නේ කෙසේද?
8 ඉශ්රායෙල්වරු මෝසෙස්ට පක්ෂපාත ලෙස අනුබල දුන්නහුද? යෙහෝවඃවහන්සේ වසංගත දහයෙන් නවයකින්ම මිසරයට පීඩා කිරීමෙන් පසු, පාස්කුව පැවැත්විය යුතු අන්දම පිළිබඳ උන්වහන්සේ ඉශ්රායෙල්හට සවිස්තර උපදෙස් දුන්සේක. “එවිට සෙනග හිස් නමා වැන්දෝය. ඉශ්රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.” (නික්මයාම 12:27, 28) පොදු යුගයට පෙර 1513දී නීසාන් 14වන එම විශිෂ්ට දවසේ මධ්‍යම රාත්‍රියෙහි, දෙවියන්වහන්සේගේ දූතයා, මිසරයේ සියලු කුලුඳුලන් ඝාතනය කිරීමෙහි නිරත වූ නමුත්, ඉශ්රායෙල්වරුන්ගේ නිවාස පසු කර ගියේය. ඉශ්රායෙල්හි කුලුඳුලන්ව බේරාගනු ලැබුවේ මන්ද? මන්දයත් තම උළුවහුවල ඉසින ලද, පාස්කු බැටළු පැටවාගේ රුධිරය යටතේ ඔවුන් ආරක්ෂාව ලබාගත් බැවිනි. යෙහෝවඃවහන්සේ මෝසෙස්ට හා ආරොන්ට ආඥා කර තිබූ පරිදිම ඔවුන් කර තිබිණ. එසේය, ‘ඔවුහු එලෙසම කළෝය.’ (නික්මයාම 12:50, 51) රතු මුහුදේදී, යෙහෝවඃවහන්සේ ස්වකීය කීකරු ජනයාට ගැළවීම අත් කර දුන් අතරම, ඵාරාවෝ සහ ඔහුගේ බලවත් යුද හමුදාව විනාශ කළ විට උන්වහන්සේ තවත් ප්රාතිහාර්යයක් සිදු කළසේක. ඉශ්රායෙල්වරුන් කොතරම් ප්‍රීතිවන්ට ඇද්ද! ඒ හා සමානව අදදින, යෙහෝවඃවහන්සේගේ ආඥාවලට කීකරු වී තිබෙන බොහෝදෙනෙක්, අර්මගෙදොන්හි උන්වහන්සේව නිදොස් කරනු ලබන අන්දම සියැසින් දැකගැනීමට ප්‍රීතියෙන් සිටින්නෝය.—නික්මයාම 15:1, 2; එළිදරව් 15:3, 4.
9. ඉශ්රායෙල්වරුන් මණ්ඩපය සම්බන්ධයෙන් ‘එසේම කිරීම’ පූර්වාදර්ශනය කරන්නේ කවර නවීන-දින වරප්රසාදද?
9 සම්මාදම් කිරීමටත්, කාන්තාරයේ මණ්ඩපයක් ගොඩනැංවීමටත් යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ට අණ කළ විට, ජනයා ත්‍යාගශීලීව ඊට පූර්ණ සහයෝගය දැක්වූහ. ඉන් අනතුරුව, මෝසෙස්ද සිය එකඟ හවුල් වැඩකරුවෝද යෙහෝවඃවහන්සේ විසින් සපයන ලද ගෘහ නිර්මාණ සැලසුම් අකුරටම පිළිපැද්දෝය. “සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩපයේ සියලු කර්මාන්ත මෙසේ නිමවනලද්දේය. ඉශ්රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස කළෝය.” සමානාකාරයෙන්ම, පූජක තන්ත්රය උත්සවාකාරයෙන් ආරම්භ කළ අවස්ථාවේදී, “මෝසෙස් මෙසේ කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස කෙළේය.” (නික්මයාම 39:32; 40:16) නවීන කාලවලදී, දේශනා කිරීමේ කර්තව්‍යයට හා රාජ්‍ය ව්‍යාප්තිය සඳහා වැඩසටහන්වලට හෘදපූර්ණ සහය දීමට අපහට ප්‍රස්තාව තිබේ. මෙබැවින් ‘එලෙසම කිරීමේදී,’ එක්සත්ව කටයුතු කිරීම අපේ වරප්‍රසාදය වේ.
ශක්තිමත් හා ඉතා ධෛර්යවත්—යෝෂුවා
10, 11. (අ) සාර්ථකත්වය අත් කරගැනීමට යෝෂුවාව සන්නද්ධ කළේ කුමක්ද? (ආ) නවීන-දින පීඩා සමඟ සාර්ථකව කටයුතු කිරීමට අපට ශක්තිමත් විය හැක්කේ කෙසේද?
10 ඉශ්‍රායෙල්ව පොරොන්දු වූ දේශය තුළට මඟ පෙන්වීමට මෝසෙස් යෝෂුවාට බලය පැවරූ විට, බොහෝදුරට, යෙහෝවඃවහන්සේගේ ආනුභාවය ලත් ලිඛිත වචනයෙන් ලබාගත හැකි වූයේ, මෝසෙස්ගේ පොත් පහ, ගීතිකා එකක් හෝ දෙකක් සහ යෝබ් පොත පමණි. ජනයා පොරොන්දු වූ දේශය කරා ළඟා වූ විට ඔවුන්ව එක්රැස් කොට, “මේ ව්‍යවස්ථාව සියලු ඉශ්රායෙල්වරුන් අසාගන සිටිද්දී ඔවුන් ඉදිරිපිට කියව[න]” මෙන් මෝසෙස් යෝෂුවාට අණ කර තිබිණ. (ද්විතීය කථාව 31:10-13) එපමණක්ද නොව, යෙහෝවඃවහන්සේම යෝෂුවාට මෙසේ ආඥා කළසේක: “මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරපන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය.”—යෝෂුවා 1:8.
11 යෙහෝවඃවහන්සේගේ වචනය වන බයිබලය දිනපතා කියවීම, අර්බුදකාරි වූ මෙම “අන්තිම දවස්වල” පීඩා සමඟ සාර්ථකව කටයුතු කිරීමට ස්වකීය නවීන-දින සාක්ෂිකරුවන්ව ශක්තිමත් කරන්නාක් මෙන්, යෙහෝවඃවහන්සේගේ “පොත” දිනපතා කියවීම, ඉදිරියේ තිබූ පීඩාවලට උර දීමට යෝෂුවාව සන්නද්ධ කළේය. (2 තිමෝති 3:1) අපද දරුණු ලොවකින් වටව සිටින බැවින්, යෝෂුවාට දෙවියන්වහන්සේ දුන් මෙම අවවාදය අපිත් සිතට ගනිමු: “ශක්තිමත්ව ධෛර්යවත්ව සිටපන්න; තැතිනොගනින්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමග සිටිනසේක.” (යෝෂුවා 1:9) කානාන් දේශය අත් පත් කරගැනීමෙන් පසු, ඉශ්රායෙල්හි ගෝත්‍ර සිය උරුම වූ දේශයේ පදිංචි වෙත්ම, ඔවුන්ට බහුල ලෙස විපාක දෙන ලදි. “ඉශ්රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස” කළෝය. (යෝෂුවා 14:5) දේවවචනය කියවා අපේ ජීවිතය තුළ අදාළ කරගනිමින්, කීකරු ලෙස ‘එසේම කරන’ අප සියල්ලන්ටම ඒ හා සමාන විපාකයක් තබා තිබේ.
විශ්වාසවන්ත වූ හා අකීකරු වූ—රජවරු
12. (අ) ඉශ්රායෙල්හි රජවරුන්ට දෙන ලද්දේ කුමන ආඥාවද? (ආ) රජවරුන් කීකරුවීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූයේ කුමක්ද?
12 ඉශ්රායෙල්හි රජවරුන් ගැන කුමක් කිව හැකිද? යෙහෝවඃවහන්සේ රජු මත මෙම නියමය පනවා තිබිණ: “ඔහු තමාගේ රාජ්‍යයෙහි සිංහාසනය පිට හිඳින කල, ලෙවීවරුන් වන පූජකයන් ඉදිරියෙහි තිබෙන පොතේ හැටියට ඔහු මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියා, තමා ළඟ තබාගත යුතුය. . . . මේ ව්‍යවස්ථාවේ සියලු වචනද මේ නියෝගද පවත්වා රක්ෂාකරන හැටියට, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවෙන්ට ඉගෙන ගන්න පිණිසද . . . තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඒ පිටපත කියවන්නේය.” (ද්විතීය කථාව 17:18-20) ඉශ්රායෙල් රජවරු ඒ ආඥාවට කීකරු වූවහුද? බොහෝදුරට, ඔවුහු වැඩිදෙනෙක් අපොහොසත් වූහ, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ද්විතීය කථාව 28:15-68හි පුරෝකථනය කරන ලද ශාපයන්ගෙන් ඔවුහු පීඩා ලැබූහ. අවසානයේදී, “පොළොවේ එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා” ඉශ්‍රායෙල්ව විසුරුවා දමනු ලැබීය.
13. දාවිත්ට ප්‍රයෝජන ලැබුණාක් මෙන්, යෙහෝවඃවහන්සේගේ වචනය සඳහා ප්‍රේමය දැක්වීමෙන් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?
13 කෙසේවෙතත්, ඉශ්රායෙල්හි විශ්වාසවන්ත වූ පළමු කීකරු මිනිස් රජ වූ දාවිත්, යෙහෝවඃවහන්සේට විශිෂ්ට භක්තියක් පෙන්වූයේය. ජයගන්නාවූ “යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලද” වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ පූර්වාදර්ශනය කරමින්, ඔහු ‘යූදා සිංහපැටවෙක්’ බවට ඔප්පු වූයේය. (උත්පත්ති 49:8, 9; එළිදරව් 5:5) දාවිත්ගේ ශක්තිය රඳා පැවතියේ කුමක් පිටද? යෙහෝවඃවහන්සේගේ ලිඛිත වචනය වෙත ගැඹුරු අගයක් තිබූ ඔහු, ඒ අනුව ජීවත් වූයේය. “දාවිත්ගේ ගීතය[ක්]” වන ගීතාවලිය 19හි අපට මෙසේ කියවීමට තිබේ: “ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය.” යෙහෝවඃවහන්සේගේ සිහිගැන්වීම, නියෝග, ආඥාව හා විනිශ්චයක තීරණ ගැන සඳහන් කිරීමෙන් පසු, දාවිත් තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි: “ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය. මීපැණියටත් මීවදයටත් වඩා මිහිරිය. තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.” (ගීතාවලිය 19:7-11) යෙහෝවඃවහන්සේගේ වචනය දිනපතා කියවීම හා ඒ මත මෙනෙහි කිරීම අවුරුදු 3,000කට පෙර විපාකදායී යමක් වී නම්, අදදින එය ඊටත් වඩා කොතරම් විපාකදායී වන්නේද!—ගීතාවලිය 1:1-3; 13:6; 119:72, 97, 111.
14. දැනුමට වඩා වැඩි යමක් අවශ්‍ය බව සාලමොන්ගේ ක්‍රියාමාර්ගය පෙන්වන්නේ කෙසේද?
14 එහෙත්, දැනුම පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවේ. දෙවියන්වහන්සේගේ සේවකයන්හට එම දැනුම මත ක්‍රියා කිරීමද, දිව්‍ය කැමැත්තට අනුකූලව එය අදාළ කරගැනීමද අත්‍යවශ්‍යය—එසේය, ‘එසේම කළ’ යුතුය. “ඉශ්රායෙල්වරුන් කෙරෙහි ස්වාමීන්වහන්සේගේ රජකම්කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස” යෙහෝවඃවහන්සේ විසින් තෝරන ලද දාවිත්ගේ පුත්‍ර සාලමොන්ගේ ආදර්ශයෙන් මෙය නිදර්ශනය කළ හැක. දේවමාළිගාව ගොඩනැංවීමට වූ පැවරුම ලබාගත් සාලමොන්, ඒ සඳහා දාවිත් “දේවානුභාවයෙන්” [NW] ලැබූ ගෘහ නිර්මාණ සැලසුම් උපයෝගි කරගත්තේය. (1 ලේකම් 28:5, 11-13) මෙම දැවැන්ත කාර්යය ඉටු කිරීමට සාලමොන්ට හැකි වූයේ කෙසේද? යාච්ඤාවකට පිළිතුරු වශයෙන්, යෙහෝවඃවහන්සේ ඔහුට ප්‍රඥාවද දැනුමද දානය කළසේක. මේවා සමඟින්ද, දිව්‍යමය ලෙස සපයන ලද සැලසුම්වලට අනුකූල වෙමින්ද, එම මහිමාන්විත ගෘහය ගොඩනැංවීමට සාලමොන්ට හැකි විය, අනතුරුව එය යෙහෝවඃවහන්සේගේ තේජශ්‍රීයෙන් පිරී ගියේය. (2 ලේකම් 7:2, 3) කෙසේවෙතත්, පසු කාලයකදී, සාලමොන් අසමත් විය. කුමන අන්දමකින්ද? ඉශ්රායෙල් රජු සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ නීතියේ මෙසේ ප්‍රකාශ වී තිබිණ: “තමාගේ සිත ඉවත නොහැරෙන පිණිස ඔහු විසින් භාර්යාවන් වැඩිකර නොගත යුතුය.” (ද්විතීය කථාව 17:17) එහෙත් සාලමොන්ට “කුමාරිකා භාර්යාවන් සත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද සිටියෝය. . . . ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය.” සාලමොන් මහලු වූ කල, ‘එසේම කිරීමෙන්’ ඔහු ඉවතට හැරුණේය.—1 රාජාවලිය 11:3, 4; නෙහෙමියා 13:26.
15. යොෂියා ‘එසේම කළේ’ කෙසේද?
15 යූදාහි කීකරු රජවරුන් සිටියේ ස්වල්පදෙනෙකි, යොෂියා ඉන් අන්තිමයා වූයේය. පොදු යුගයට පෙර 648 වර්ෂයේදී, දේශයෙන් රූප නමස්කාරය ඉවත් කිරීමටත්, යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාව අලුත්වැඩියා කිරීමටත් ඔහු පටන්ගත්තේය. “මෝසෙස්ගේ අතින් දෙනලද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථා පොත” උත්තම පූජකයා සොයාගත්තේ එහිදීය. යොෂියා මේ ගැන කළේ කුමක්ද? “යූදාහි සියලු මනුෂ්‍යයන්ද යෙරුසලමේ වැසියන්ද පූජකයන්ද ලෙවීවරුන්ද ලොකු කුඩා මුළු සෙනඟද සමඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගියේය. තවද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබී සම්බවූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගන සිටිද්දී කියෙවුවේය. රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියනලද ගිවිසුමේ වචන ඉෂ්ටකිරීමට, ස්වාමීන්වහන්සේ අනුවයන හැටියටත් උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද තමාගේ මුළු සිතින් තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන හැටියටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේය.” (2 ලේකම් 34:14, 30, 31) එසේය, යොෂියා ‘එසේම කළේය.’ ඔහුගේ විශ්වාසවන්ත ක්‍රියාමාර්ගය හේතුකොටගෙන, නොඇදහිලිකාර යූදා පිට යෙහෝවඃවහන්සේගේ විනිශ්චය ක්‍රියාවට නැංවීම සිය අපචාර පුත්‍රයන්ගේ කාලය දක්වා කල් දමන ලදි.
දේවවචනය අනුව ජීවත්වීම
16, 17. (අ) අප යේසුස්වහන්සේගේ අඩිපාර අනුව යා යුත්තේ කවර දේවල් සම්බන්ධයෙන්ද? (ආ) දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත වෙන කවර සේවකයෝ අපට ආදර්ශ සපයත්ද?
16 මෙතෙක් ජීවත් වී ඇති සියලු මිනිසුන් අතුරින්, දේවවචනය මත මෙනෙහි කිරීම හා ඒ අනුව ජීවත්වීම සම්බන්ධයෙන් විශිෂ්ටතම ආදර්ශය වනාහි ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. උන්වහන්සේට දේවවචනය ආහාර හා සමාන යමක් විය. (යොහන් 4:34) උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාළසේක: “පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරනසේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය.” (යොහන් 5:19, 30; 7:28; 8:28, 42) ‘එසේම කළ’ යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසය.” (යොහන් 6:38, 39අ) යෙහෝවඃවහන්සේගේ කැපවූ සාක්ෂිකරුවන් වන අප, ‘එසේම කිරීමට’ බැඳී සිටින්නේ යේසුස්වහන්සේගේ අඩිපාර අනුගමනය කිරීමෙනි.—ලූක් 9:23; 14:27; 1 පේතෘස් 2:21.
17 යේසුස්වහන්සේගේ මනසෙහි සෑමවිටම ප්‍රධාන තැන ගත්තේ දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමය. දේවවචනය ගැන මනා දැනුමකින් සිටි උන්වහන්සේ, ප්‍රතිඵලයක් වශයෙන් ශුද්ධ ලියවිල්ල මත පදනම්ව උත්තර දීමට සැදී පැහැදී සිටිසේක. (මතෙව් 4:1-11; 12:24-31) දේවවචනයට නිරන්තර අවධානයක් දීම තුළින්, “සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව” සිටීමට අපටද හැක. (2 තිමෝති 3:16) අපි, පුරාණ කාලවල හා පසු කාලවල විසූ යෙහෝවඃවහන්සේගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ආදර්ශයද, සියල්ලට වඩා මෙසේ පැවසූ අපේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශයද අනුගමනය කරමු: “මේ දේ සිද්ධවෙන්නේ මා පියාණන්වහන්සේට ප්‍රේමකරන බවත් පියාණන්වහන්සේ මට අණකළ ලෙසම මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිසය.” (යොහන් 14:31) දිගටම ‘එසේ කිරීම’ තුළින් අපිද දෙවියන්වහන්සේ සඳහා අපේ ප්‍රේමය පෙන්වමු.—ලූක් 12:29-31.
18. “වචනය පිළිපදින්නන් බවට” පත්වීමට අපහට පෙලඹීමක් විය යුත්තේ කුමක්ද, තවද ඊළඟට සාකච්ඡා කරනු ලබන්නේ කුමක්ද?
18 බයිබල් කාලවල විසූ දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ කීකරු ජීවන මාර්ගය මත අප මෙනෙහි කරත්ම, සාතන්ගේ දුෂ්ට පිළිවෙළ එහි නිමාවට පත්වන කාලය තුළදී විශ්වාසවන්තව සේවයක් කිරීමට අපට දිරිගැන්වීමක් ලැබෙන්නේ නැද්ද? (රෝම 15:4-6) ඊළඟ ලිපියෙහි සාකච්ඡා කරනු ලබන පරිදි, පූර්ණ අර්ථයකින්ම, “වචනය පිළිපදින්නෝ බවට” පත්වීමට අපට පෙලඹීමක් ලැබෙනවා නිසැකයි.—යාකොබ් 1:22, NW.
ඔබට මතකද?
◻ “දෙවියන්වහන්සේගේ ප්‍රේමය” අපහට කවර අර්ථයකින් සමන්විත විය යුතුද?
◻ නෝවා, මෝසෙස් හා යෝෂුවාගේ ආදර්ශවලින් අප ඉගෙනගන්නේ කුමක්ද?
◻ ඉශ්රායෙල්හි රජවරුන් දෙවියන්වහන්සේගේ “වචනය[ට]” කීකරු වූයේ කොතරම් දුරටද?
◻ ‘එසේම කිරීම’ සම්බන්ධයෙන් යේසුස්වහන්සේ අපේ ආදර්ශකයාණන් වන්නේ කෙසේද?
[15වන පිටුවේ පින්තූර]
නෝවා, මෝසෙස් හා යෝෂුවා ‘එසේම කළෝය’