ඔවුහු යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කළහ
මෝසෙස් සහ ආරොන්—නිර්භයව දේවවචනය ප්‍රකාශකරන්නෝ
මෙම දර්ශනය සිතින් මවාගන්න: අසූ හැවිරිදි මෝසෙස් සහ ඔහුගේ සහෝදරයා වන ආරොන් පොළොවේ බලවත්ම මිනිසා—මිසරයේ ඵාරාවෝ ඉදිරියේ සිටගෙන සිටිති. මිසරවරුන්ට මෙම මිනිසා දෙවිවරුන්ගේ නියෝජිතයෙකුට වඩා වැඩි කෙනෙකි. ඔවුන් විශ්වාස කරන්නේ ඔහුම දෙවිකෙනෙකු බවය. උකුසු-හිසැති දෙවියෙකු වන හෝරස්ගේම ප්‍රතිමූර්තිය වශයෙන් ඔහුව සැලකේ. අයිසිස් සහ ඔසයිරිස් සමඟ හෝරස්, මිසරයේ දෙවිදේවතාවන් අතර ප්‍රධාන ත්‍රිත්වය විය.
ඵාරාවෝ අසලට යන ඕනෑම කෙනෙකුට, ඔහුගේ ඔටුන්නේ මැදින් නෙරා ඇති රූපය, එනම් අනිෂ්ට ඵල ගෙනෙන සර්පයෙකුගේ හිසකින් යුත් රූපය අනිවාර්යයෙන්ම දැකිය හැක. මෙම සර්පයාට ඵාරාවෝගේ ඕනෑම සතුරෙකු මත ගිනි හා විනාශය ගෙනා හැකි බව කියවිණ. දැන් මෝසෙස් සහ ආරොන් කලින් නොකරන ලද ඉල්ලීමක් සහිතව මෙම දෙවි-රජ ඉදිරියට පැමිණ සිටිති—මෙසේ පැමිණ සිටින්නේ, තම දෙවි වූ යෙහෝවඃවහන්සේට මංගල්‍යයක් පැවැත්විය හැකි වන පිණිස වහල්භාවයේ සිටින ඉශ්රායෙල්වරුන්ව මුදාහරින මෙන් ඔහුගෙන් ඉල්ලීමටය.—නික්මයාම 5:1.
ඵාරාවෝගේ සිත දැඩිවනු ඇතැයි යෙහෝවඃවහන්සේ මේ වන විටත් පුරෝකථනය කර තිබිණ. එබැවින්, ඔහුගේ අභියෝගාත්මක පිළිතුර ගැන මෝසෙස් හා ආරොන් පුදුම වූයේ නැත: “ඉශ්රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් ස්වාමීන්වහන්සේගේ බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? මම ස්වාමීන්වහන්සේ නාඳුනමි. ඇරත් ඉශ්රායෙල්වරුන්ට යන්ට නොහරින්නෙමි.” (නික්මයාම 4:21; 5:2) මෙසේ, පුදුමසහගත මුහුණට මුහුණලා ගැටුමක් සඳහා කටයුතු පිළියෙළ කෙරිණ. ඊළඟ ගැටුමේදී, මෝසෙස් සහ ආරොන්, තමන් සැබෑ මෙන්ම සර්වපරාක්‍රම දෙවියන්වහන්සේව නියෝජනය කරන බවට විස්මිත කරන සාක්ෂි ඵාරාවෝට ඉදිරිපත් කළහ.
ප්රාතිහාර්යයක් සිදු වේ
යෙහෝවඃවහන්සේ විසින් උපදෙස් දෙනු ලැබූ පරිදි, ආරොන් මිසරයේ දෙවිවරුන්ට වඩා යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ඔප්පු කරන ප්රාතිහාර්යයක් සිදු කළේය. ඔහු ඵාරාවෝ ඉදිරියේ තම සැරයටිය බිම හෙළූ අතර, මොහොතකින් එය විශාල සර්පයෙකු බවට පත් විය! මෙම ප්‍රාතිහාර්යයෙන් වික්ෂිප්ත වූ ඵාරාවෝ සිය මායාකාර පූජකයන් කැඳවීය.a භූත බලයන්ගේ උපකාරයෙන්, තමන්ගේම සැරයටිවලින් ඒ හා සමාන දෙයක් කිරීමට මෙම මිනිසුන්ට හැකි විය.
ඵාරාවෝ හා ඔහුගේ පූජකයන් උද්දාමයට පත් වූවා නම්, එය මොහොතකට පමණි. ආරොන්ගේ සර්පයා, ඔවුන්ගේ සර්පයන් එක එකා ගිල දමන විට ඔවුන්ගේ මුහුණුවල ඉරියව් සිතේ ඇඳගන්න! මිසරයේ දෙවිවරුන්ව සැබෑ දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේට සම කළ නොහැකි බව පැමිණ සිටි සියල්ලන්ට දැකගත හැකි විය.—නික්මයාම 7:8-13.
කෙසේවුවද, මින් පසුව පවා, ඵාරාවෝගේ හදවත දැඩිව තිබිණ. දෙවියන්වහන්සේ මිසරය මත විනාශකාරි විපත්ති හෝ පීඩා දහයක් ගෙන ඒමෙන් පසුවයි, ඵාරාවෝ මෝසෙස්ට හා ආරොන්ට මෙසේ පැවසුවේ: “නැගිට මාගේ සෙනග කෙරෙන් නුඹලාත් ඉශ්රායෙල් පුත්‍රයොත් නික්ම ගොස් නුඹලා කී ලෙස ස්වාමීන්වහන්සේට මෙහෙකරපල්ලා.”—නික්මයාම 12:31.
අප සඳහා පාඩම්
මිසරයේ බලවන්ත ඵාරාවෝ වෙත යෑමට මෝසෙස්ට හා ආරොන්ට හැකි කරවූයේ කුමක්ද? ප්‍රථමයෙන්ම, “කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක්” තිබෙන බවට පැවසීමෙන් මෝසෙස් තමාගේ හැකියාව සම්බන්ධයෙන් මද විශ්වාසයක් පළ කළේය. යෙහෝවඃවහන්සේගේ සහය පිළිබඳව සහතික කළායින් පසුව පවා, ඔහු මෙසේ අයැදීය: “අහෝ ස්වාමීනි, ඔබවහන්සේ යවන්ට කැමැත්තෙකු අත යැවුව මැනව.” වෙනත් අයුරකින් පවසනවා නම්, මෝසෙස් දෙවියන්වහන්සේගෙන් අයැද සිටියේ වෙනත් කෙනෙකු යවන්න කියාය. (නික්මයාම 4:10, 13) කෙසේනමුත්, යෙහෝවඃවහන්සේ මෝසෙස්ට මෙම පැවරුම ඉටු කිරීම සඳහා අවශ්‍ය ප්‍රඥාව හා ශක්තිය දෙමින් මෘදු ගුණාන්විත වූ ඔහුව යෙදෙවූසේක.—ගණන් කථාව 12:3.
අදදින, යෙහෝවඃවහන්සේගේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝ “සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා” යන ආඥාව ඉටු කරමින් සිටිති. (මතෙව් 28:19, 20) භාර දුන් මෙම වැඩය ඉටු කිරීමේදී අපේ කොටස කිරීම සඳහා, අප සතු ශුද්ධ ලියවිලිමය දැනුම හා හැකියාවන්වලින් අප උපරිම ප්‍රයෝජන ගත යුතුය. (1 තිමෝති 4:13-16) අපේ අඩුපාඩුකම් වෙත යොමුව සිටිනවා වෙනුවට, අපි දෙවියන්වහන්සේ අපට දී තිබෙන ඕනෑම පැවරුමක් විශ්වාසයෙන් යුතුව පිළිගනිමු. උන්වහන්සේගේ කැමැත්ත කරනු වස්, අපට සුදුසුකම් ලබා දීමට හා අපව ශක්තිමත් කිරීමට උන්වහන්සේට හැක.—2 කොරින්ති 3:5, 6; පිලිප්පි 4:13.
මෝසෙස් මිනිසුන්ට හා භූතමය සතුරුකම්වලට එරෙහිව සිටි බැවින්, ඔහුට ඇත්තෙන්ම අධිමානුෂික උපකාරයක් අවශ්‍ය විය. ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවඃවහන්සේ ඔහුට මෙසේ සහතිකයක් දුන්සේක: “බලව, මම නුඹ ඵාරාවෝට දෙවිකෙනෙකු කොට තැබුවෙමි.” (නික්මයාම 7:1) එසේය, මෝසෙස්ට දිව්‍යමය උපකාරය හා ආධිපත්‍යය තිබිණ. යෙහෝවඃවහන්සේගේ ආත්මය තමන් මත තිබූ මෝසෙස්ට, ඵාරාවෝට හෝ එම ආඩම්බර පාලකයාගේ හමුදාවලට බියවීමට කිසිම හේතුවක් තිබුණේ නැත.
අපත් අපගේ දේවසේවය ඉටු කිරීමට යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මය මත, නැතහොත් ක්‍රියාකාර බලය මත විශ්වාසය තැබිය යුතුය. (යොහන් 14:26; 15:26, 27) දිව්‍යමය උපකාරය ඇති අපට දාවිත් මෙන් මෙසේ ගායනා කළ හැක: “දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කුමක් කරයිද?”—ගීතාවලිය 56:11.
යෙහෝවඃවහන්සේගේ දයානුකම්පාව නිසා, මෝසෙස්ට තනිවම සිය පැවරුම ඉටු කිරීමට උන්වහන්සේ ඉඩහැරියේ නැත. ඒ වෙනුවට, දෙවියන්වහන්සේ මෙසේ පැවසූසේක: “නුඹේ සහෝදරවූ ආරොන් නුඹේ ප්‍රොපේතවරයා වන්නේය. මා නුඹට අණකරන සියල්ල නුඹ කිය යුතුය. නුඹේ සහෝදරවූ ආරොන් . . . ඵාරාවෝට කිය යුතුය.” (නික්මයාම 7:1, 2) මෝසෙස්ට සාධාරණ ලෙස හැසිරවිය හැකි දේ සම්බන්ධ සීමා තුළ කටයුතු සැලසීමෙන් යෙහෝවඃවහන්සේ මොනතරම් ප්‍රේමනීය වූසේක්ද!
මහෝත්තම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව සිටීමේ අභියෝගය පිළිගන්නා සෙසු ක්‍රිස්තියානීන්ගේ ඇසුරක් දෙවියන්වහන්සේ විසින් අපට සපයනු ලැබේ. (1 පේතෘස් 5:9) එමනිසා, අප මුහුණ දිය හැකි බාධා කුමන ඒවා වුවත්, අපි දේවවචනය නිර්භයව ප්‍රකාශකරන්නන් වූ මෝසෙස් හා ආරොන් මෙන් වෙමු.
[පාදසටහන]
a “මායාකාර පූජකයන්” ලෙස දැක්වෙන හෙබ්‍රෙව් වචනය යොමු දක්වා තිබෙන්නේ භූතයන්ගේ බලයටත් වඩා අතිශ්‍රේෂ්ඨ බලයන් හිමි මායාකාර කණ්ඩායමකටය. කීකරුවන්න කියා භූතයන්ගෙන් ඉල්ලා සිටීමට මෙම මිනිසුන්ට හැකි බවට විශ්වාස කෙරුණ අතර, භූතයන්ට මෙම අනවිනකාරයන්ට වඩා බලයක් නොතිබිණ.
[25වන පිටුවේ පින්තූරය]
මෝසෙස් හා ආරොන් නිර්භයව ඵාරාවෝ ඉදිරියේ යෙහෝවඃවහන්සේව නියෝජනය කළහ