ජීවිතාන්තය දක්වා මගේ බලාපොරොත්තුව—කිසිදාක නොමැරෙන්නයි
හෙක්ටර් ආර්. ප්‍රෙස්ට් පැවසූ පරිදි
“පිළිකාව සුව කළ නොහැකියි,” යනුවෙන් වෛද්‍යවරයා පැවසුවා. “අපට ඔබ වෙනුවෙන් කළ හැකි තවත් කිසිවක් නැහැ.” එම රෝග විනිශ්චය සිදු කරන ලද්දේ අවුරුදු 10කට කලින්. එහෙත් කිසිදාක මැරෙන්නේ නැතුව පොළොව මත සදාකල් ජීවත්වීම පිළිබඳ වූ බයිබලය මත පදනම් බලාපොරොත්තුව තවමත් මම පවත්වාගෙන සිටිනවා.—යොහන් 11:26.
අපගේ පවුලේ ගොවිපොළට නුදුරින් පිහිටි කුඩා පිටිසර නගරයක නිතිපතා පල්ලියට යන මගේ දෙමව්පියන් අවංක මෙතෝදිස්ත අයව සිටියා. නවසීලන්තයේ වෙලිංටන්වලට ඊශාන දිගින් කිලෝමීටර 130ක් පමණ එහායින් පිහිටි වයිරාරාපේහි අලංකාර ගොවිපොළ මිටියාවතක මම උපත ලැබුවා. හිමෙන් වැසුනු කඳු මුදුන්, ප්‍රසන්න කඳු අතරින් ගලා හැලෙන ගංගා, බොහෝ ඈතට විහිදී ගිය හෙල් වැටි සහ සශ්‍රීක තැනිතලාවලින් යුත් දර්ශනයක් මම එහි භුක්තිවින්දා.
සියලුම හොඳ අය ස්වර්ගයට යන බවද, නමුත් නරක අය නිරයට, එනම් ගිනිමය වද කරනු ලබන ස්ථානයකට යන බවද මෙතෝදිස්ත පල්ලියෙන් අපට උගන්වනු ලැබුවා. මනුෂ්‍යයන් ස්වර්ගයෙහි ජීවත්වීම දෙවියන්වහන්සේට වුවමනා වුණා නම්, මුලදීම උන්වහන්සේ ඔවුන්ව එහි නොදැමුවේ ඇයි කියා මට තේරුම්ගත නොහැකි වුණා. මම සෑමවිටම මරණයට භය වූ අතර, අප මරණයට පත් විය යුත්තේ මන්ද කියා මම නිතරම කල්පනා කළා. වර්ෂ 1927දී, මට වයස අවුරුදු 16 පමණ වන විට අපගේ පවුල දුක්මුසු සිද්ධියකින් පීඩා වින්දා. මගේ ප්‍රශ්නවලට උත්තර සෙවීමට මට මඟ පෙන්වූයේ එයයි.
රෙජ් මැරුණේ ඇයි?
මගේ සහෝදරයා රෙජ් වයස අවුරුදු 11 වන විට, බරපතළ ලෙස අසනීප වුණා. රෝගය නිශ්චය කරගැනීමට වෛද්‍යවරයාට නොහැකි වූ අතර, ඔහුට උපකාර කිරීමටද නොහැකි වුණා. අම්මා මෙතෝදිස්ත දේවගැතිවරයාට පැමිණෙන්ට කියා ඉල්ලා සිටියා. ඔහු රෙජ් වෙනුවෙන් යාච්ඤා කළ නමුත්, මෙය අම්මාට සැනසීමක් ගෙන දුන්නේ නැහැ. ඇරත්, ඔහුගේ යාච්ඤා නිෂ්ඵල බව ඈ පැවසුවා.
රෙජ් මැරුණු විට, ඇගේ ළා බාල පුතා මියයා යුතු හේතුව පිළිබඳව සත්‍ය පිළිතුරු ලබාගැනීමේ පිපාසය සන්සිඳුවීමට, අම්මා සෑම කෙනෙකුටම පාහේ කතා කරනවා. නගරයේ ව්‍යාපාරිකයෙකුට කතා කරන අතරතුර, මළවුන්ගේ තත්වය පිළිබඳ කිසිවක් දන්නේදැයි ඈ ඔහුගෙන් ඇසුවා. ඔහුට කිසි අදහසක් නොතිබුණත්, ඔහු මෙසේ කිව්වා: “යමෙකු පොතක් මෙහි තබා ගියා, ඔබට එය ලබාගැනීමට හැකියි.”
අම්මා පොත ලබාගෙන ගෙදර ගෙනැවිත් එය කියවීමට පටන්ගත්තා. එය පසෙක තැබීමට ඈට නොහැකි වුණා. කෙමෙන් කෙමෙන් ඇගේ චරිත ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. “හරියට හරි; මෙය තමයි සත්‍යය,” යනුවෙන් ඈ පවුලේ අයට පැවසුවා. ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් යන පොතේ පළමු වෙළුම වන ද ඩිවයින් ප්ලෑන් ඔෆ් දි ඒජස් එම පොතයි. මුලින්ම මම අනුමාන සහිත වූ අතර, මැවුම්කරුවාණන්ගේ අරමුණ පිළිබඳව පොතෙහි ඉදිරිපත් කරන දෙයට විරුද්ධව තර්ක කිරීමට උත්සාහ කළා. යථාකාලයේදී මගේ තර්ක ඉබේම යටපත් වී ගියා.
බයිබල් සත්‍යය වැලඳගැනීම
‘කිසිදාක නොමැරී, සදාකල් ජීවත්වීම පිළිබඳව සිතා බලන්න!’ යයි මම සිතුවා. ප්‍රේමනීය දෙවිකෙනෙකුගෙන් පුද්ගලයෙකු අපේක්ෂා කරන්නේ එවන් බලාපොරොත්තුවක්. පාරාදීස පොළොවක්! ඔව්, මෙය මට තමයි.
මෙම පුදුමාකාර සත්‍යයන් ඉගෙනගැනීමෙන් පසු, අම්මා සහ වෙලිංටන්හි සිටි තවත් ක්‍රිස්තියානි සහෝදරියන් තුන්දෙනෙක්—එනම් ටොම්සන්, බාර්ටන් සහ ජෝන්ස් යන සහෝදරියන්—දුර නුදුර ගම්බද පළාත්වල රාජ්‍යයේ බීජ පතුරුවමින් සෑහෙන කාලයක් නිවසින් බැහැරව සිටියා. අම්මාගේ මිෂනාරි ස්ප්‍රීතුව තාත්තාට නොතිබුණද, ඇගේ ක්‍රියාකාරකම්වලට ඔහු අනුබල දුන්නා.
මෙය සත්‍යය කියා තද විශ්වාසයක් මට තිබුණත්, යම් කලකට මගේ විශ්වාසයන් සම්බන්ධයෙන් මම කරමින් සිටියේ ස්වල්පයක්. වර්ෂ 1935දී, මම රොවිනා කෝර්ලෙට් සමඟ විවාහ වුණා, කල්යත්ම දුව සහ පුතා වන ඊනිඩ් සහ බැරි සමඟින් අපට ආශීර්වාද කරනු ලැබුවා. අවට ප්‍රදේශවල සිටි ගොවීන්ගෙන්, ඇති කරන සතුන් දහස් ගණන් මිල දී ගනිමින්, මම සතුන් මිල දී ගන්නෙකු හැටියට සේවය කළා. මෙම ගොවීන් දේශපාලනය ගැන කතා කරන විට, “මිනිසුන්ගේ උත්සාහවලින් එකක්වත් සඵල වෙන්නේ නෑ. පිළියම ගෙනෙන එකම ආණ්ඩුව දෙවියන්වහන්සේගේ රාජ්‍යය පමණයි,” යනුවෙන් ඔවුන්ට පැවසූ විට මම ඉමහත් සතුටක් ලැබුවා.
කනගාටුදායක ලෙස, මම දුම්පානයට ඇබ්බැහි වුණා; නිතරම මගේ කටේ සුරුට්ටුවක් තිබුණා. කාලයත් සමඟ මගේ සෞඛ්‍යය පිරිහුණා, තවද උදරයේ හටගත් වේදනාකාරි ආබාධ හේතුවෙන් මාව රෝහල්ගත කළා. දුම්බීම හේතුකොටගෙන මට තීව්ර ජඨර ආන්ත්‍රදාහය වැළඳී තිබෙන බව මට පවසනු ලැබුවා. එම පුරුද්ද මම අත්හැරියද, සදාකාලික සුරුට්ටුවක් හෝ දුම් වැටියක් උරමින් සිටින බව සිහින මැවීම මට අසාමාන්‍ය දෙයක් වුණේ නෑ. දුම්කොළ කොතරම් බරපතළ ඇබ්බැහි වීමක් විය හැකිද!
දුම්කොළ අත්හැරීමෙන් පසු, වෙනත් වැදගත් වෙනස්කම් මම සිදු කළා. වර්ෂ 1939දී, මට වයස අවුරුදු 28ක් වන විට, පිටිසර පෙදෙසකින් වට වූ අපගේ නිවසට නුදුරින් පිහිටි මාඥටායි ගඟේ මම බව්තීස්ම ලැබුවා. පසු කාලයේදී නවසීලන්තයේ දේශනා සේවය අධීක්ෂණය කළ රොබට් ලේසන්බි, අපගේ ගෙදර කතාවක් පවත්වා මා බව්තීස්ම කිරීම පිණිස වෙලිංටන් සිට දුර බැහැර ගෙවා පැමිණියා. එතැන් පටන්, මම යෙහෝවඃවහන්සේගේ නිර්භීත සාක්ෂිකරුවෙකු බවට පත් වුණා.
දේශනා සේවය සංවිධානය කිරීම
මගේ බව්තීස්මයෙන් පසුව එකෙටාහුන සභාවේ අවේක්ෂකයෙකු ලෙස මාව පත් කරනු ලැබුවා. මගේ බිරිඳ, රොවිනා, මේ වන තෙක් බයිබල් සත්‍යය වැලඳගෙන සිටියේ නැහැ. කෙසේවෙතත්, ගෙයින් ගෙට විධිමත්ව සාක්ෂිදරන්නේ කෙසේද කියා මට පෙන්වන පිණිස පාහිආටූආ සිට පැමිණීමට, සහෝදර ඇල්ෆ් බ්‍රයන්ට්ට මා ආරාධනා කරන්ට යන බව මම ඇයට දැනගන්ට සැලැස්වුවා. දේශනා සේවය සංවිධානය කිරීමට සහ අපගේ බල ප්‍රදේශය ක්‍රමානුකූලව ආවරණය කිරීමට මට අවශ්‍ය වුණා.
රොවිනා මෙසේ පැවසුවා: “හෙක්ටර්, ඔයා ගෙයින් ගෙට සාක්ෂිදැරීමට ගියොත්, ඔයා ගෙදරට එනකොට මම මෙහෙ නැහැ. මම ඔයාව අතහැර යනවා. ඔයාගේ වගකීම තියෙන්නේ මෙහෙ—ගෙදර ඔයාගේ පවුල සමඟ.”
කුමක් කළ යුතුද කියා මම දැන සිටියේ නැහැ. දෙගිඩියාවෙන්, මම ඇඳගත්තා. ‘මම එය කළ යුතුයි, මගේ ජීවිතයත් එවගේම මගේ පවුලේ අයගේ ජීවිතත් රඳා පවතින්නේ එය මතයි,’ කියා දිගටම මම මටම කියාගත්තා. ඉතින් මට කිසිම ආකාරයකින් ඇයව රිදවීමට අවශ්‍ය නොවන බව පවසමින් ඇයගේ බිය සැක දුරු කිරීමට වෑයම් කළා. දයාබර ලෙස මම ඇයට ප්‍රේම කළත්, යෙහෝවඃවහන්සේගේ නම සහ පරමාධිපත්‍යය මෙන්ම අපගේම ජීවිතත් මෙයට සම්බන්ධ වූ නිසා, මේ ආකාරයෙන් මට දේශනා කිරීමට සිදු වන බව මම ඇයට පැවසුවා.
ඇල්ෆ් සහ මම පළමු නිවසට ගිය අතර, කතා කිරීමට මූලිකත්වය ඔහු ගත්තා. නමුත් නෝවාගේ කාලයේ සිදු වූ දේවල් අපගේ කාලයේදී සිදු වන දේවලට සමාන්තරව දිවයන බවත්, අපගේ ගැළවීම ස්ථිර කරගැනීමට යමක් කළ යුතු බවත් පවසමින් මම සාකච්ඡාව බාරගත්තා. (මතෙව් 24:37-39) මම එහි පොත්පිංච කිහිපයක් තබා ආවා.
අපි යන කොටම, ඇල්ෆ් මෙසේ පැවසුවා: “ඒ සියලු දැනුම ඔයාට හම්බවුණේ කොහෙන්ද? ඔයාට මාව අවශ්‍ය නැහැ. ඔයා තනියම යන්න, එවිට අපට බලප්‍රදේශයෙන් දෙගුණයකටත් වැඩිය ආවරණය කරන්ට හැකි වේවි.” ඉතින් අපි කළේ එයයි.
අපි ගෙදර බලා ගමන් කරන විට, අප ඉදිරියේ තිබෙන්නේ කුමක්ද කියා මම දැන සිටියේ නැහැ. මාව පුදුමයට සහ සන්තෝෂයට පත් කරවමින්, රොවිනා අපට තේ පිළියෙළ කර තිබුණා. සති දෙකකට පසු මගේ බිරිඳ දේවසේවයේ මා සමඟ හවුල් වුණා, ඒ වගේම ක්‍රිස්තියානි ජ්වලිතය සඳහා හොඳ ආදර්ශයක්ද වුණා.
අපගේ ගොවිපොළ මිටියාවතේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත් වූ පළමු අය අතර මොඩ් මැන්සර්, ඇගේ පුතා විලියම් සහ ඇගේ දුව රූබි සිටියා. මොඩ්ගේ සැමියා රළු පෙනුමකින් යුත් දරුණු පුද්ගලයෙක්. මොඩ් දේවසේවයේ රැගෙන යෑම සඳහා දිනක් රොවිනා සහ මම ඔවුන්ගේ ගොවිපොළට පැමිණියා. තරුණ විලියම් ඔහුගේ මෝටර් රථය අපට පාවිච්චි කිරීමට සැලසුම් යොදා තිබුණත්, ඔහුගේ පියාට වෙනත් අදහස් තිබුණා.
තත්වය නොසන්සුන් වුණා. අපගේ ළදරු දියණිය අල්ලා ගන්නා මෙන් මම රොවිනාගෙන් ඉල්ලා සිටියා. මම විලියම්ගේ මෝටර් රථයට නැඟ, ගරාජයෙන් වේගයෙන් පිටත් වුණා, ඒ අතරතුර මැන්සර් මහතා ඉක්මන් වී වෑයම් කළේ, අප පිටතට ඒමට පෙර ගරාජයේ දොර වැසීමටයි. නමුත් ඔහු අසමත් වුණා. ටික දුරක් ඉදිරියට පදවාගෙන ගියායින් පසු, අප නතර වී, කෝපාවිෂ්ටව සිටි මැන්සර් මහතා හමුවීමට මම මෝටර් රථයෙන් බැස්සා. මම ඔහුට මෙසේ පැවසුවා: “අපි ක්ෂේත්‍ර සේවයේ යනවා, මැන්සර් මහත්මියත් අපි සමඟ එනවා.” මම ආයාචනා කළ නිසා කෙසේ හෝ ඔහුගේ කෝපය අඩු වුණා. ආපස්සට හැරී බලන විට, මම මේ තත්වය සමඟ වෙනත් ආකාරයකින් කටයුතු කළ යුතුව තිබුණත්, ඔහු කවදාවත් සාක්ෂිකරුවෙකු නොවුවද, පසුව ඔහු සාක්ෂිකරුවන් කෙරෙහි වඩාත් හිතකර ආකල්පයක් වර්ධනය කරගත්තා.
එම වසරවල යෙහෝවඃවහන්සේගේ ජනයා සිටියේ ස්වල්පදෙනෙක් පමණයි. තවද අපගේ ගොවිපොළෙහි අප සමඟ සිටියා වූ පූර්ණ-කාලීන දේවසේවකයන්ගේ බැහැදැකීම් සැබවින්ම අපි භුක්තිවින්ද අතර, ඉන් ප්‍රයෝජනද ලැබුවා. මිෂනාරිවරුන් සඳහා වූ වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි මුල් පන්තිවලට සහභාගි වූ සහ ජපානයේ සහ පකිස්තානයේ විදේශීය පැවරුම්වල සේවය කළ ඒඩ්‍රියන් ටොම්සන් සහ ඔහුගේ සහෝදරිය මොලී, එම බැහැදකින්නන්ට ඇතුළත් වුණා.
යුද්ධ කාලයේ අද්දැකීම්
වර්ෂ 1939 සැප්තැම්බර් මස 2වන ලෝක යුද්ධය ආරම්භ වූ අතර, 1940 ඔක්තෝබර් මස නවසීලන්ත ආණ්ඩුව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් තහනම් කළා. අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන් බොහෝදෙනෙකුට රටේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට බල කරනු ලැබුවා. සමහරුන්ව ශ්‍රම කඳවුරුවල දමනු ලැබූ අතර ඔවුන්ගේ භාර්යාවන්ගෙන් සහ දරුවන්ගෙන් වෙන් කරනු ලැබුවා. යුද්ධය පැතිර පවතිනවාත් සමඟම, අපට කිරි පට්ටි ගොවිපොළක් තිබුණද, හමුදා සේවය සඳහා මට අඬගසාවිද කියා මම කල්පනා කළා. පසුව හමුදා සේවය සඳහා ප්‍රදේශයෙන් තවදුරටත් ගොවීන් ගන්නේ නැහැ කියා නිවේදනයක් කරනු ලැබුවා.
රොවිනා සහ මම ක්‍රිස්තියානි දේවසේවයේ දිගටම යෙදුණා, දේශනා සේවය සඳහා අපි එක්එක්කෙනා මසකට පැය 60කට වැඩියෙන් කැප කළා. මෙම කාලය අතරතුර, ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය පවත්වාගත් යෞවන සාක්ෂිකරුවන්ට උපකාර කිරීමේ වරප්‍රසාදය මට තිබුණා. ඔවුන් වෙනුවෙන් මම වෙලිංටන්, පාමර්ස්ටන් උතුර, පාහිආටූආ සහ මැස්ටර්ටන් ආදී අධිකරණ ඉදිරියේ පෙනී සිටියා. සාමාන්‍යයෙන් පුරවැසියන් යුද්ධයට බඳවාගන්නා ස්ථානයේ පූජක පක්ෂයේ සාමාජිකයෙක් සිටියා, තවද යුද්ධ ප්රයත්නයට ඔවුන් පිරිනැමූ ක්‍රිස්තියානි විරෝධී උපකාරය අනාවරණය කිරීම සතුටට කරුණක් වුණා.—1 යොහන් 3:10-12.
එක් රාත්‍රියක රොවිනා සහ මා මුරටැඹ අධ්‍යයනය කරමින් සිටි විට, රහස් පරීක්ෂකයන් අපගේ ගෙදරට කඩා වැදුණා. පරීක්ෂා කිරීමෙන් බයිබල් පොත් පත් අපගේ නිවසේ තිබෙන බව එළිදරව් වුණා. “මේ සඳහා ඔබට බන්ධනාගාරයට යන්ට වේවි,” යනුවෙන් අපට දැනුම් දෙනු ලැබුවා. පිටවීම සඳහා රහස් පරීක්ෂකයන් මෝටර් රථයට නැඟුණු විට, තිරිංග හිර වී ඇති බවත්, මෝටර් රථය ඉදිරියට නොයන බවත් ඔවුන් සොයාගත්තා. මෝටර් රථය අලුත් වැඩියා කිරීමට විලියම් මැන්සර් උපකාර කළ අතර, නැවත එම මිනිසුන්ගෙන් අපි කිසිදාක ආරංචියක් ලැබුවේ නැහැ.
තහනම අතරතුර කාලයේදී, අපි බයිබල් පොත් පත් අපගේ ගොවිපොළේ දුරස්තර කොටසක සඟවා තබනවා. මධ්‍යම රාත්රියේදී, මම නවසීලන්ත ශාඛාවට ගොස් මගේ මෝටර් රථය පිරෙන්න පොත් පත් පටවාගෙන එනවා. පසුව මම ගෙදර ගෙනැවිත් අපගේ හුදෙකලා ස්ථානයෙහි ගබඩා කර තබනවා. එක් රාත්‍රියක මම රහසිගත නැව්බඩු තොගයක් රැගෙන යෑමට ශාඛා කාර්යාලයට පැමිණි විට, හදිසියෙන්ම මුළු ස්ථානයම ආලෝකවත් වුණා! පොලීසිය මෙසේ කෑගැසුවා: “අපි ඔබව අල්ලාගත්තා!” එහෙත් පුදුමයකට, ඔවුහු අනවශ්‍ය කලබල කිරීමක් නොකර මට යන්ට ඉඩ දුන්නා.
වර්ෂ 1949දී, රොවිනා සහ මම ගොවිපොළ විකුණා මුදල් ඉවර වන තෙක් පුරෝගාමී සේවය කිරීමට තීරණය කළා. මැස්ටර්ටන්හි පිහිටි නිවසකට අපි පදිංචියට ගිය අතර, මැස්ටර්ටන් සභාවේ පුරෝගාමී සේවය කළා. වසර දෙකක් ඇතුළත ක්‍රියාශීලී ප්‍රචාරකයන් 24දෙනෙක් සමඟ ෆෙදර්ස්ටන් සභාව පිහිටුවනු ලැබුවා, තවද මම මුලසුන භාර අවේක්ෂක වශයෙන් සේවය කළා. පසුව, වර්ෂ 1953දී, නිව් යෝර්ක් නගරයේ යැන්කී ක්‍රීඩාංගනයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දින 8ක ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීම පිණිස එක්සත් ජනපදයට ගමන් කිරීමේ වරප්‍රසාදය මම භුක්තිවින්දා. රොවිනාට මා කැටුව එන්ට නොහැකි වුණා, මන්දයත් අපගේ දියණිය, ඊනිඩ් මස්තිෂ්ක පරාශ්ලතය නම් රෝගයෙන් පීඩා වින්ද නිසා ඇයව රැකබලා ගැනීමට ඇයට සිදු වුණා.
නවසීලන්තයෙන් මා නැවත පැමිණි පසු, මට බාහිර රැකියාවක් කිරීමට සිදු වුණා. මැස්ටර්ටන් සභාවට අපි නැවත ගියා, එහිදී මාව මුලසුන භාර අවේක්ෂක වශයෙන් පත් කරනු ලැබුවා. මේ වන විට විලියම් මැන්සර් මැස්ටර්ටන්හි පිහිටි කුඩා රඟහලක් මිල දී ගත්තා, තවද මෙය වයිරාරාපේහි පළමු රාජ්‍ය ශාලාව බවට පත් වුණා. එක්දහස් නවසිය පනස්ගණන් අතරතුර, හොඳ ආත්මික සහ ගණනින් වර්ධනයක් අපගේ සභාව භුක්තිවින්දා. එමනිසා, චාරිකා අවේක්ෂකයා බැහැදකින්ට පැමිණි විට, දේශනා සේවය කිරීමට උපකාර කිරීම පිණිස මේරූ අයට රටේ අනිකුත් කොටස්වලට යන මෙන් ඔහු බොහෝවිට දිරිගන්වනවා, ඒ වගේම සමහර අය එසේ කළා.
අපගේ පවුල මැස්ටර්ටන්වලම නැවතී සිටියා, තවද ඊළඟ දශක තුළ, මට සභාවේ වරප්‍රසාද තිබුණා පමණක් නොව, ජාතික සහ ජාත්‍යන්තර සමුළු යන දෙකේම පැවරුම් මම භුක්ති වින්දා. රොවිනා දේශනා සේවයෙහි ජ්වලිතයෙන් සහභාගි වූ අතර, එම දෙයම කිරීමට අන් අයට නිතර නිතර සහාය වුණා.
ඇදහිල්ලේ පරීක්ෂා විඳදරාගැනීම
ආරම්භයේදී සඳහන් කළාක් මෙන්, 1985දී, මට සුව කළ නොහැකි පිළිකාවක් තිබෙන බව නිශ්චය කරනු ලැබුවා. මගේ විශ්වාසවන්ත බිරිඳ, රොවිනා සහ මට අපගේ දරුවන් සමඟ දැන් කිසිදාක නොමැරී ජීවත්වන්නාවූ මිලියන ගණන් අය අතර සිටීමට කොතරම් වුවමනා වුණාද! නමුත් වෛද්‍යවරු මැරෙන පිණිස මා ගෙදර යැව්වා. එහෙත් පළමුව, රෝග නිශ්චය කිරීම මා සලකන්නේ කෙසේද කියා මගෙන් ඇසුවා.
“මම නිශ්චල සිතක් තබාගෙන ඒකාන්තව සිටින්ට යනවා,” යනුවෙන් මම පිළිතුරු දුන්නා. සැබවින්ම, බයිබල් හිතෝපදේශය මට ස්ථාවරභාවය ගෙන දීමට දායක වුණා: “මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය.”—හිතෝපදේශ 14:30.
පිළිකා විශේෂඥයෝ එම බයිබල් උපදේශය ප්‍රශංසා කළා. “එම මානසික අදහස පිළිකා රෝගීන්ගෙන් සියයට 90කගේ සුවවීම කෙරෙහි බලපායි,” යනුවෙන් ඔවුන් පැවසුවා. සති හතක විකිරණ චිකිත්සා ප්‍රතිකාර ක්රමයක්ද ඔවුන් මට නිර්දේශ කළා. අන්තිමේදී මම සාර්ථක ලෙස පිළිකාව සමඟ සටන් කිරීම සතුටක්.
මෙම දුෂ්කර කාලය අතරතුරම, මම දරුණු ලෙස පීඩාවකට පත් වුණා. මගේ ලස්සන, පක්ෂපාත බිරිඳ මොළයේ රක්තපාතයකින් පීඩා විඳ මරණයට පත් වුණා. ශුද්ධ ලියවිලිවල වාර්තා කර තිබෙන ඇදහිලිවන්තයන්ගේ ආදර්ශ මගින් සහ අඛණ්ඩතාව පවත්වාගත් අය කෙරෙහි යෙහෝවඃවහන්සේ කාරණා සලසා දුන්නේ කෙසේද කියා දැනගැනීමෙන් මම සැනසිල්ල ලැබුවා. මෙලෙස, නව ලෝකය පිළිබඳ මගේ බලාපොරොත්තුව කාන්තිමත්ව පැවතුණා.—රෝම 15:4.
කෙසේවෙතත්, මම විෂාදයට පත් වූ අතර, වැඩිමහල්ලෙක් ලෙස සේවය කිරීම නවතා දැමීමට මට අවශ්‍ය වුණා. නැවත සේවය කරගෙන යෑමට මට බලය ලැබෙන තෙක් ප්‍රාදේශීය සහෝදරයෝ මාව දිරිගැන්වූවා. ප්‍රතිඵලයක් වශයෙන්, පසුගිය වසර 57ක කාලයක් පුරා ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් සහ අවේක්ෂකයෙක් ලෙස දිගටම සේවය කිරීමට මට හැකි වී තිබෙනවා.
අනාගතයට නිසැකකමින් යුතුව මුහුණ දීම
මෙම වර්ෂ ගණනාව තුළ යෙහෝවඃවහන්සේට සේවය කිරීම මිල කළ නොහැකි වරප්‍රසාදයක් වුණා. මට කොපමණ ආශීර්වාද ලැබී තිබෙනවාද! “හරියට හරි; මෙය තමයි සත්‍යය!” යනුවෙන් මට අවුරුදු 16දී මගේ අම්මා මෙසේ කෑගැසීම දීර්ඝ කලකට ඉහතදී පවසන ලද්දක් මෙන් පෙනෙන්නේ නැහැ. වර්ෂ 1979දී, වසර 100කට වැඩි වයසක ඇගේ මරණය තෙක් මගේ අම්මා ඇදහිලිවන්ත, ජ්වලිත සාක්ෂිකාරියක් ලෙස ජීවත් වුණා. ඇගේ දියණිය සහ පුතුන් හයදෙනාද පක්ෂපාත සාක්ෂිකරුවන් බවට පත් වුණා.
සියලුම දෝෂාරෝපණවලින් යෙහෝවඃවහන්සේගේ නාමය විශුද්ධ වනවා දැකීම මගේ දැවෙන ආශාවයි. කිසිදාක මිය නොයෑමට වූ ජීවිතාන්තය දක්වා මගේ බලාපොරොත්තුව මට සැබෑ කරන්ට හැකි වේවිද? සැබවින්ම එය සිදු වෙයිද කියා බලා සිටිය යුතුයි. කෙසේවෙතත්, බොහෝදෙනෙක් ඔව්, මිලියන ගණනක් යථාකාලයේදී එම ආශීර්වාද අද්දකී කියා මට විශ්වාසයි. මම ජීවතුන් අතර සිටින තාක් කල්, කිසිදාක නොමැරෙන අය අතර ගණන් ගනු ලැබීමේ එම බලාපොරොත්තුව නිධානය කර තබාගන්නවා.—යොහන් 11:26.
[28වන පිටුවේ පින්තූරය]
මගේ මව
[28වන පිටුවේ පින්තූරය]
මගේ බිරිඳ සහ දරුවන් සමඟ