‘තමාගේ පවුලේ අයට සැපයීම’—සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම අභියෝගයට මුහුණ දීම
“යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” ප්‍රේරිත පාවුල් එසේ පැවසුවේය. (1 තිමෝති 5:8) ධනවත් රටවල පවුලක් නඩත්තු කිරීම අතිශයින්ම දුෂ්කර කාර්යයක් වී ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල එසේ කිරීම බොහෝවිට ඊටත් වඩා විශාල අභියෝගයක් ඉදිරිපත් කරයි.
නිදසුනක් වශයෙන්, අප්‍රිකාවේ ආර්ථික දුෂ්කරතා අසාමාන්‍ය දෙයක් නොව, බොහෝවිට සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්වයකි. රැකියා හිඟව පවතින අතර, ඒවා සොයාගැනීමට තිබෙන විට, මූලික අවශ්‍යතා පමණක් සැපයීම සඳහා, ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාටම වැඩ කිරීමට සිදු විය හැක. රැකියාවක් සොයාගැනීම සඳහා, තම කලත්‍රයන්ව මෙන්ම දරුවන්ව මාස ගණනාවකට හෝ අවුරුදු ගණනාවකට අතහැර, ඉතා දුර ප්‍රදේශවලට ගමන් කිරීමට පවුල් මූලිකයන්ට සිදු විය හැක. ප්‍රමාණවත් නවාතැන් පහසුකම් සොයාගැනීමද දුෂ්කර දෙයක් විය හැක. බොහෝ අප්‍රිකානු පවුල් විශාලය; එනිසා, මූලික පහසුකම් නොමැතිව නවාතැන්වල තදබදයෙන් යුතුව ජීවත්වීමට තිබෙන ඉඩ ප්‍රස්තා වැඩිය. බොහෝවිට සෞඛ්‍යයට අහිතකර තත්වයන් පවතී.
ඊට අමතරව, පොදුවේ දක්නට ඇති චාරිත්‍ර, දිගු කලක් පුරා පැවතුණ සම්ප්‍රදායන් සහ ප්‍රසිද්ධ මත, දෙවියන්වහන්සේගේ වචනය වන බයිබලයේ ස්ප්රීතුවට විරුද්ධව කටයුතු කළ හැකිය. විවාහය සහ දරුවන් සම්බන්ධයෙන් පවතින ආකල්ප සලකා බලන්න. කුලිය සහ අනිවාර්යයෙන්ම ගෙවිය යුතු පාසැල් ගාස්තු පමණක් ගෙවීම, තමාගේ වගකීම බව ඇතැම් පවුල් මූලිකයෝ විශ්වාස කරති. ආහාර සහ ඇඳුම් පැළඳුම් වැනි මූලික අවශ්‍යතා සැපයීම, ඔවුන්ගේ භාර්යාවන්ට සහ ඇතැම්විට වයසින් වැඩි දරුවන්ට පැවරෙනු ඇත.
තවදුරටත්, “මගේ සල්ලි මගෙයි, ඒත් ඔයාගේ සල්ලිත් මගෙයි” යන ආකල්පය සමහර ස්වාමිපුරුෂයන්ට තිබේ. බොහෝවිට මෙය ආදායමක් උපයන භාර්යාවන් අතර අමනාපකම් ඇති කරවයි. ටැන්සානියා ජාතික ස්ත්‍රියක් මෙසේ පැමිණිලි කළාය: “මුදල් වියදම් කරන්නේ අපිටවත් අපේ දරුවන්ටවත් නෙවෙයි, ඒවා වියදම් කරන්නේ බොන්නයි. අපිත් වැඩට උදව් වෙනවා, එහෙම නැත්නම් ඒකෙන් වැඩි කොටසක් කරන්නෙත් අපියි, ඒත් මම ඒක හම්බ කරගත්තා කියලා එයා සල්ලි ඔක්කොම ගන්නවා.”
කෙසේවෙතත්, පොදුවේ දක්නට තිබෙන සංස්කෘතියට හෝ ප්‍රසිද්ධ මතවලට වඩා, ක්‍රිස්තියානීහු දෙවියන්වහන්සේගේ වචනය පෙරට තබති. තමාගේ පවුලේ අයව රැකබලා ගැනීම සම්බන්ධයෙන් බයිබලය උපකාරවත් මඟ පෙන්වීම් සපයයි. නිදසුනක් වශයෙන්, “රැස්කර තබන්ට යුතුව තිබෙන්නේ දරුවන් විසින් මවුපියන්ට නොව මවුපියන් විසින් දරුවන්ටය” කියා එය පවසයි. (2 කොරින්ති 12:14) එබැවින්, වැඩ කළ හැකි දේවභයැති පුරුෂයන්, අලසකම හේතුවෙන් පවුලේ අයට ආහාර සහ ඇඳුම් පැළඳුම් සැපයීම තම භාර්යාවන්ට හෝ වයසින් වැඩි දරුවන්ට භාර කරන්නේ නැත; එම වගකීම වැඩි වශයෙන්ම පැටවෙන්නේ පවුලේ මූලිකයාගේ කර මතය.—1 කොරින්ති 11:3.
පවුලේ අයගේ සියලුම අවශ්‍යතා සපුරාලීම සඳහා, ස්වාමිපුරුෂයෙකුගේ ආදායම පමණක් ප්‍රමාණවත් නොවන බව සැබෑවක් විය හැක. එහෙත් තමාගේ භාර්යාව බාහිර රැකියාවකින් මුදල් උපයාගන්නවා නම්, ක්‍රිස්තියානි පුරුෂයෙකු අමනාප වන්නේ නැත. ඒ වෙනුවට, ගෞරව ලැබිය යුතු “සහකාරියක” ලෙස ඔහු ඇයව සලකනු ඇත. (මලාකි 2:14, NW) මෙසේ ඔහු ඇය වෙහෙස මහන්සි වී උපයාගත් මුදල කර්කශ ආකාරයකින් ගෙන, ඇයගේ හැඟීම් ගැන නොතකා එය නාස්ති නොකරනු ඇත. මීට පටහැනිව, ඔහු තම භාර්යාව සමඟ ‘තොරතුරු විභාග කර’ පවුලේ සියලුදෙනාගේම වාසි ප්‍රයෝජනය සඳහා තම මුදල් පාවිච්චි කළ හැක්කේ කෙසේද කියා තීරණය කළ යුතුය. (හිතෝපදේශ 13:10) බයිබල් කාලවල විසූ ‘සමර්ථ භාර්යාවට’ තිබුණාක් මෙන්, ස්වාමිපුරුෂයෙකු හැකි අවස්ථාවකදී, තම භාර්යාවට මුදල් පාලනය කිරීම සඳහා යම් නිදහසක් දෙනු ඇත. (හිතෝපදේශ 31:10, 11, 16) එවැනි කාරණා සම්බන්ධයෙන් බයිබලයේ උපදෙස් අනුගමනය කිරීම, පවුලේ සන්තෝෂයට සහ තෘප්තියට අනුබල දෙයි.
විරැකියාවේ අභියෝගවලට මුහුණ දීම
විරැකියාව නමැති ගැටලුව සලකා බලන්න. රැකියා ස්වල්ප ප්‍රමාණයක් ඇති විට හා වැටුප අඩු වන විට, බොහෝ අප්‍රිකානු පවුල් මූලිකයෝ, පතල්වල, කර්මාන්ත ශාලාවල, ගොවිපොළවල්වල සහ වතුවල වැඩ කිරීම සඳහා නිවෙස්වලින් ඉතා ඈත ප්‍රදේශවලට ගොස් ඇත්තාහ. ක්‍රිස්තියානි පුරුෂයෙකු මෙවැනි තත්වයක සිටින්නේ නම්, තමා සෙසු නමස්කාරකයන්ගෙන් වෙන්ව, ඉතා නරක ආශ්‍රයට නිරාවරණය වී සිටින බව සොයාගත හැක. (හිතෝපදේශ 18:1; 1 කොරින්ති 15:33) ඔහුගේ පවුලේ අය මෙම තත්වය සමඟ හොඳින් කටයුතු කිරීමට උත්සාහ කළත්, ආත්මික කාරණාවලදී පෙරමුණ ගැනීමට හෝ චිත්තවේගීය සහයෝගය සැපයීමට නිවසේ පියෙකු නොමැති නිසා, ඔවුන් පීඩා විඳීමට ඇති ඉඩ කඩ වැඩිය. පරස්පර විරෝධී කරුණක් නම්, දිගු කලකට වෙන්ව සිටීමේ හේතුවෙන්, වළක්වාගත හැකියයි කල්පනා කළ ආර්ථික දුෂ්කරතා වෙනසක් නොවී එලෙසම පැවතීමයි.
මවක් මෙසේ ප්‍රකාශ කරයි: “මගේ පුරුෂයා රත්තරන් කනින්ට ගියා. මාසයකින් නැත්නම් වැඩිම වුණොත් මාස දෙකකින් පස්සේ ආයෙත් එන්නයි ඔහු සැලසුම් කළේ. එය අවුරුද්දක් බවට පත් වුණා. දරුවන් හයදෙනෙකුව රැකබලා ගන්ට මට සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි කුලි ගෙවන්ටත් සිද්ධ වුණා. මගේ සෞඛ්‍යය හොඳ තත්වයක තිබුණේ නැති නිසා, මට රෝහල් ගාස්තු ගෙවන්ටත් සිද්ධ වුණා. අපට ඇඳුම් පැළඳුම් වගේම හැම දවසකම කෑමත් ඕනෙ වුණා. මට රස්සාවක් තිබුණේ නැහැ. ඒක දුෂ්කර කාලයක් වුණා. වැඩියෙන්ම අමාරු දේ වුණේ දරුවන්ගේ ආත්මික තත්වය ගැන සැලකිලිමත් වීමයි, ඒ කියන්නේ පවුල් පාඩම, රැස්වීම් සහ දේශනා කිරීමේ වැඩය වගේ දේවල්. යෙහෝවඃවහන්සේගේ උපකාරයෙන් අපි කොහොමහරි ජීවත් වුණා.”
රැකියාවක් කිරීම සඳහා ඇතැම් මව්වරුන්ට පවා, මාස ගණනාවකට තම පවුලේ අයගෙන් වෙන්වීමට බල කරනු ලැබේ. සමහරුන් සංචාරක වෙළෙන්දන් වශයෙන් වැඩ කරමින්, තම ජීවිකාව ගෙන යන අතර, ඔවුන්ව නිවෙස්වල දකින්ට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මේ හේතුවෙන් වයසින් වැඩි දරුවන්ට දෙමාපියන්ගේ වැඩ කොටස කරට ගෙන ආහාර වේල සැලසුම් කිරීම, ගෙදර දොර වැඩ කටයුතු බලාගැනීම මෙන්ම බාල සහෝදර සහෝදරියන්ව හික්මවීම පවා අනිවාර්යයෙන්ම කිරීමට සිදු වේ. ආත්මික ක්‍රියාකාරකම්වල හවුල්වීම දුර්වල වේ. එසේය, පවුල මත වැටෙන පීඩනය දරාගත නොහැකි දෙයක් විය හැක.
ඇත්තවශයෙන්ම, ආර්ථික තත්වයන් දරුණු වන විට, තම පවුලේ අයගේ අවශ්‍යතා සැපයීම සඳහා, දුර බැහැර ප්‍රදේශයක රැකියාවක් සොයාගැනීම හැර, කිරීමට වෙනත් කිසිදු දෙයක් දෙමාපියෙකුට නොමැති වන්ට පුළුවන. බයිබල් කාලවලදී, යාකොබ්ගේ පුත්‍රයන්ට තම පවුල්වලින් ඈත්ව මිසරයට ගොස් ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට සිදු වූ බව පැහැදිලිය. (උත්පත්ති 42:1-5) එනිසා අදදින මෙයාකාර තත්වයන් පැනනඟින විට, දුර බැහැර රැකියාවකින් ලබාගත හැකි ද්‍රව්‍යමය වාසි ප්‍රයෝජන, දීර්ඝ වෙන්වීමකින් සිදු විය හැකි ආත්මික සහ චිත්තවේගීය හානිය සමඟ පවුල් මූලිකයන් කිරා මැන බැලිය යුතුය. දීර්ඝ කාලයකට වෙන් වී සිටිනවා වෙනුවට, ආර්ථික දුෂ්කරතා විඳදරාගැනීමට බොහෝ පවුල් කැමති වෙති. පළමුවන තිමෝති 6:8හි අඩංගු පාවුල්ගේ වදන් ඔවුහු මනසේ තබාගනිති: “කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමු.”—හිතෝපදේශ 15:17, සසඳන්න.
බොහෝ අවස්ථාවලදී, ගමන් කිරීම සඳහා විකල්පයන් තිබේ. මුල පිරීම සහ නිපුණත්වය නිරූපණය කර, ප්‍රයෝජනදායක සේවාවන් සැපයීම තුළින් රැකියා ඇති කරගැනීමට සමහරුන්ට හැකි වී තිබේ.a (හිතෝපදේශ 31:24, සසඳන්න.) එසේ නැතහොත් වෙනත් අය විසින් පහත්යයි සලකන සුළු රැකියා පිළිගැනීම මෙයට ඇතුළත් විය හැක. (එපීස 4:28) ප්‍රේරිත පාවුල් පවා වෙනත් අය මත ආර්ථික වශයෙන් බරක් වීම වැළැක්වීම සඳහා ‘වීර්යය හා වෙහෙසින් යුක්තව රෑ දාවල් වැඩ කළේය.’ (2 තෙසලෝනික 3:8) අදදින සිටින ක්‍රිස්තියානි පුරුෂයන්ටද එම ආදර්ශය අනුගමනය කළ හැක.
පාසැල් අධ්‍යාපනය සඳහා තිබෙන ගැටලු
තවත් ගැටලුවක් පාසැල් අධ්‍යාපනය හා සම්බන්ධ වේ. ඇතැම් දුරස්තර ප්‍රදේශවල, තම දරුවන්ට ප්‍රමාණවත් පාසැල් අධ්‍යාපනයක් ලබා දීම සඳහා, දෙමාපියන් දරුවන්ව දීර්ඝ කාලපරිච්ඡේදයකට ඥාතීන් සමඟ විසීමට යැවීම පොදු දෙයකි. තමන්ගේ දෙමාපියන්ගෙන් ඈත්ව සිටින නිසා, එවැනි දරුවන්ට බොහෝවිට රැස්වීම්වලට යෑම හෝ ක්ෂේත්‍ර දේවසේවයේ හවුල්වීම දුෂ්කර දෙයක් වී තිබේ. ඔවුන්ට අවශ්‍ය හික්මවීම නොලැබීමෙන්, ඔවුහු නරක ආශ්‍රයට පහසුවෙන්ම ගොදුරු වෙති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, සැලකිය යුතු සංඛ්‍යාවක් ක්‍රිස්තියානි ජීවිත මාර්ගයෙන් ඉවත් වී ඇත්තාහ.
ලෞකික අධ්‍යාපනයක් ලබාගැනීමෙහි වාසි තිබෙන බවට කිසිදු සැකයක් නොමැත. එහෙත් බයිබලය, ආත්මික අධ්‍යාපනයක් ලබාගැනීම වඩාත් උසස් වටිනාකමකින් සලකන අතර, එවැනි උපදෙස් සැපයීම සඳහා දෙවියන්වහන්සේ දෙමාපියන්හට වගකීම දී තිබෙනසේක. (ද්විතීය කථාව 11:19, 20; හිතෝපදේශ 3:13, 14) කෙසේවෙතත්, දරුවෙකුව දීර්ඝ කාලයකට පිටත් කර යැවීම, ඔහුව “ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද” ඇති දැඩි කිරීමට ඇති දෙමාපියන්ගේ වෑයම් දුර්වල කළ හැක.—එපීස 6:4.b
අධ්‍යාපනය ලැබීම සඳහා ප්‍රාදේශීය ප්‍රස්තාවන් ප්‍රමාණවත් නොවන බව පෙනෙන්ට තිබෙන අවස්ථාවලදී, තම දරුවන්ට මූලික කුසලතා ඉගැන්වීම සඳහා තමන්ට කළ හැකි දේ කිරීම හැර, වෙනත් යමක් කිරීමට දෙමාපියන්ට නොහැකි විය හැක. අපගේ ‘ශ්‍රේෂ්ඨ උපදේශකවරයාණන්’ වන යෙහෝවඃවහන්සේද උපකාරය සපයනසේක. (යෙසායා 30:20) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවන්, අධ්‍යාපනික සැපයුම් ගණනාවක් ඉදිරිපත් කරයි. බොහෝ සභාවන් අකුරු කියවීමේ හා ලිවීමේ පංති පවත්වයි. එයාකාරයෙන්ම, දරුවෙකුට පැහැදිලිව කියවීමට හා කතා කිරීමට ඇති හැකියාව තියුණු කළ හැකි උපකාරවත් සැපයුමකි, දිව්‍යාණ්ඩු සේවා පාසැල.
දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳ සමබර දෘෂ්ටියක්
බොහෝ දරුවන් සිටින විට, ඔවුන්ගේ අවශ්‍යතා සැපයීම විශේෂයෙන්ම දුෂ්කර කාර්යයක් විය හැක. අප්‍රිකානු දෙමාපියෝ දරුවන්ට ආශා බව බොහෝවිට පවසති; මේ නිසා ඔවුහු තමන්ට හැකි තරම් දරුවන් ඇති කරගනිති. දරුවන් ආර්ථික සම්පතක් ලෙස සැලකිය හැකි නමුත්, ඔවුන් විශාල සංඛ්‍යාවකට ප්‍රමාණවත් අවශ්‍යතා සැපයීමට දෙමාපියන්ට නොහැක.
ඇත්තවශයෙන්ම, “දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්” කියා බයිබලය පවසයි. (ගීතාවලිය 127:3) ඒ කෙසේවෙතත්, එම වදන් ලියනු ලැබුවේ, ඉශ්රායෙලයේ සතුටුදායක කාලපරිච්ඡේදයක බව සලකන්න. පසු කාලයකදී, දරුණු සාගත සහ යුද්ධ නිසා, දරුවන් ඇති දැඩි කිරීම දුෂ්කර දෙයක් විය. (විලාප ගී 2:11, 20; 4:10) සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල පවතින දුෂ්කර තත්වය හේතුවෙන්, ඇත්තෙන්ම දරුවන් කීදෙනෙකුට ආහාර, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් මෙන්ම පුහුණුව තමන්ට සැපයිය හැකිද කියා වගකීම් සහිත ක්‍රිස්තියානීන් බරපතළ ලෙස කල්පනා කළ යුතුය. වියදම ගණන් බැලීමෙන් පසු, සම්ප්‍රදායට ඇලී නොසිට, තමන්ට ඇති කරගත හැකි දරුවන් සංඛ්‍යාව සීමා කිරීම හොඳම දේ බව බොහෝ යුවළයෝ තීරණය කරති.c—ලූක් 14:28, සසඳන්න.
මේවා “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” බව පැහැදිලිය. (2 තිමෝති 3:1-5, NW) මෙම දේවල පිළිවෙළ එහි වැළැක්විය නොහැකි අවසානය කරා වේගයෙන් ඇද වැටෙනවාත් සමඟම, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙසෙන පවුල් මත පීඩන වැඩි වනු ඇති බවට කිසිදු සැකයක් නැත. එහෙත් දෙවියන්වහන්සේගේ වචනයේ ඇති ප්‍රතිපත්තිවලට සමීපව ඇලී සිටීමෙන්, පවුල් මූලිකයන්ට තම පවුලේ ශාරීරික මෙන්ම ආත්මික අවශ්‍යතා කෙරෙහි සැලකිල්ල දැක්විය හැක, මන්දයත්, උන්වහන්සේට පක්ෂපාතව සේවය කරන අයට යෙහෝවඃවහන්සේ මෙම පොරොන්දුව දෙන බැවිනි: “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි.” (හෙබ්‍රෙව් 13:5) එසේය, දිළිඳු රටවල පවා, තම පවුලේ අයගේ අවශ්‍යතා සැපයීමේ අභියෝගයට ක්‍රිස්තියානීන්ට සාර්ථක ලෙස මුහුණ දිය හැක.
[පාදසටහන්වල]
a අපගේ සහකාර පිබිදෙව්! සඟරාවේ 1995 මාර්තු 8 කලාපයේ, “සංවර්ධනය වෙමින් පවතින රටවල රැකියා බිහි කිරීම” යන ලිපිය බලන්න.
b වැඩි විස්තර සඳහා 1983 ජූලි 1 මුරටැඹහි “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.
c වර්ෂ 1993 මැයි 8 පිබිදෙව්! කලාපයේ පළ වූ “පවුල් සැලසුම් කිරීම සමස්ත ලෝක ප්‍රශ්නයක් බවට පත් වෙයි” යන ලිපි මාලාවේ උපකාරවත් තොරතුරු සපයා තිබිණ.