ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 12/1 4-8 පි.
  • සුන්බුන් මැද සහනාධාර සැපයීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සුන්බුන් මැද සහනාධාර සැපයීම
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අක්‍රා—“නෝවාගේ දවස සුළු පරිමාණයකින්”
  • සැන් ඇන්ජලෝ—“ලෝකය අවසාන වෙනවා වගේ ශබ්දයක් තමයි තිබුණේ”
  • කෝබේ—“ලී, හුණු බදාම හා මළ සිරුරුවලින් යුත් සුන්බුන්”
  • ළඟදීම නිත්‍ය සහනය!
  • යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන සහන සේවා කටයුතු
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • ස්වාභාවික ආපදා පහර දෙන විට
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 2023 සහන සේවා - “යෙහෝවා අපිට ආදරය පෙන්නුවා”
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • යෙහෝවඃ වහන්සේගේ වත්මන් ගැලවීමේ ක්‍රියා
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 12/1 4-8 පි.

සුන්බුන් මැද සහනාධාර සැපයීම

ආපදා පහර දුන් වහාම සහනාධාර සැපයීමට මනුෂ්‍යයන් දරන උත්සාහය ඇත්තෙන්ම ප්‍රශංසාවට ලක් කළ යුතු යමකි. සහනාධාර වැඩපිළිවෙළවල් බොහොමයක්, ගෙවල් නැවත ගොඩනැඟීමටත්, පවුල් නැවත එක්සත් කරවීමට මෙන්ම විශේෂයෙන්ම ජීවිත ගළවාගැනීමටත් උපකාර කර තිබේ.

ආපදා පහර දෙන විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, ලෞකික සහනාධාර වැඩපිළිවෙළවල් තුළින් සපයන සැපයුම් ප්‍රයෝජනයට ගන්නා අතර, ඒවාට කෘතඥපූර්වකද වෙති. ඒ අතරතුර, “ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම් [කිරීමට]” ඔවුන්ට ශුද්ධ ලියවිලිමය යුතුකමක් තිබේ. (ගලාති 6:10) එසේය, ඔවුන් එකිනෙකා අතර නෑ සබඳකමක් තිබෙන්නාක් මෙන් සාක්ෂිකරුවන්ට හැඟේ; ඔවුහු එකිනෙකාව තමන්ගේම “පවුලේ අය” ලෙස සලකති. ඔවුන් එකිනෙකාව “සහෝදරයා” සහ “සහෝදරිය” වශයෙන් අමතන්නේ ඒ හේතුව නිසාය.—සසඳන්න මාර්ක් 3:31-35; පිලෙමොන් 1, 2.

එමනිසා ආපදාවක් අසල්වැසි ප්‍රදේශයකට පහර දෙන විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර සිටින වැඩිමහල්ලෝ, සභාවේ සිටින සෑම සාමාජිකයෙකුටම කුමක් සිදු වී ඇද්දැයි සොයා බලා ඔවුන්ගේ අවශ්‍යතා නිශ්චය කරගැනීමට වෙහෙස මහන්සි වන අතර, ඔවුන්ට අත්‍යවශ්‍ය උපකාරය දීමටද සැලසුම් කරති. ඝානාවේ අක්‍රාහි මෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ඇන්ජලෝහි සහ ජපානයේ කෝබේහි මෙය සැබෑ වූයේ කෙසේද කියා සලකා බලන්න.

අක්‍රා—“නෝවාගේ දවස සුළු පරිමාණයකින්”

රාත්‍රි 11ට පමණ වැසි වහින්න පටන්ගත් අතර, එය පැය ගණනාවක් පුරා තදින්ම පැවතිණ. “කොච්චර හයියෙන් වැස්සාද කිව්වොත්, මගේ මුළු පවුලම එදා ඇහැරගෙන හිටියා,” යනුවෙන් අක්‍රාහි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් වන ජෝන් ට්වූමාසී පවසයි. ඩේලි ග්‍රැෆික් පුවත්පත එය හැඳින්වූයේ, “නෝවාගේ දවස සුළු පරිමාණයකින්” ලෙසය. “වටිනා දේවල් කිහිපයක් උඩ තට්ටුවට ගෙනියන්න අපි උත්සාහ කළත්, අපි පඩි පෙළට යන දොර ඇරියත් එක්කම ගංවතුර ඇතුළට ගලාගෙන ආවා,” යනුවෙන් ජෝන් තවදුරටත් පැවසුවේය.

මෙම ස්ථානයෙන් ඉවත් වෙන්න කියා නිලධාරීන් අනතුරු ඇඟෙව්වත්, කිසිවෙකු නොසිටි, වතුරින් පිරී තිබෙන ගෙයක් තුළට පවා කොල්ලකරුවන් ඇතුල් විය හැකි බවට බිය වෙමින් බොහෝදෙනෙක් යෑමට අදි මදි කළෝය. අවශ්‍ය වුවත් පිට වී යෑමට සමහරුන්ට නොහැකි විය. “අම්මටයි මටයි දොර ඇරගන්න බැරිවයි හිටියෙ,” යනුවෙන් පවුලීනා නම් දැරියක් පවසන්නීය. “වතුර එන්න එන්නම ඉහළ නඟින්න වුණා; ඒ හින්දා අපි ලී බැරල් උඩ හිටගෙන වහලේ පරාලයක් අල්ලාගෙන හිටියා. අන්තිමේදී, පාන්දර 5ට විතර, අපේ අසල්වැසියන් අපිව බේරගත්තා.”

උපකාර කිරීමට සුදුසු තත්වයක් ඇති වූ වහාම, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ වැඩ ආරම්භ කළෝය. බියට්ට්‍රස් නමැති ක්‍රිස්තියානි සහෝදරියක් මෙසේ විස්තර කරයි: “සභාවේ වැඩිමහල්ලන් අපිව සොයමින් සිටි අතර, අපි ආරක්ෂාව සඳහා ගිහිල්ලා හිටිය සෙසු සාක්ෂිකරුවෙක්ගේ ගෙදරකදී ඒගොල්ලෝ අපිව හොයාගත්තා. ගංවතුරෙන් දවස් තුනකට පස්සේ, සභාවේ වැඩිමහල්ලන් සහ තරුණ සාමාජිකයන් අපේ උපකාරයට ඇවිල්ලා, අපේ ගේ ඇතුළේ හා එළියෙ තිබුණු මඩ ඔක්කොම සූරලා ඇරියා. වොච් ටවර් සමිතිය ශෝධක ද්‍රව්‍ය, විෂබීජ නාශක, තීන්ත, මෙට්ට, බ්ලැන්කෙට්ටු, රෙදි හා දරුවන්ට ඇඳුම් සැපයුවා. ඒ සහෝදරයෝ අපිට දවස් ගණනාවකටම කෑමත් එව්වා. මගේ හිත ගොඩාක් ඇදිලා ගියා!”

ඉහත උපුටා දක්වන ලද ජෝන් ට්වූමාසී මෙසේ වාර්තා කරයි: “මුළු මහල් ගොඩනැඟිල්ලම හෝදන්න ඇති තරම් ශෝධක ද්‍රව්‍ය හා විෂබීජ නාශක අපේ සමිතිය අපිට එවලා තියෙනවා කියලා මං කුලියට පදිංචි වෙලා හිටපු අනික් කට්ටියට කිව්වා. පදිංචිකරුවන් 40දෙනෙක් විතර පිරිසිදු කරන්න උදව් වුණා. එම ප්‍රදේශයේ පල්ලියේ පූජකයෙකු ඇතුළුව මගේ අසල්වැසියන්ට මම ශෝධක ද්‍රව්‍ය ටිකක් දුන්නා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ප්‍රේමය පෙන්වන්නේ ඒගොල්ලන්ගේ අයට විතරක් කියලා, මාත් එක්ක වැඩ කරන අය වැරදියට හිතාගෙන හිටියා.”

ක්‍රිස්තියානි සහෝදර සහෝදරියෝ තමන්ට ලැබුණු ප්‍රේමනීය උපකාරය බෙහෙවින් අගය කළෝය. සහෝදර ට්වූමාසී මෙසේ නිගමනය කළේය: “මට ලැබුණු සහනාධාරවලට වඩා ගංවතුරෙන් මට නැති වෙච්ච දේවල්වල වටිනාකම වැඩි වුණත්, සමිතියෙන් ලැබුණු මෙම සිත ඇදී යන සැපයුමෙන් අපිට නැති වුණාට වඩා දේවල් ලැබුණා කියලා මගේ පවුලේ අයටයි මටයි හැඟෙනවා.”

සැන් ඇන්ජලෝ—“ලෝකය අවසාන වෙනවා වගේ ශබ්දයක් තමයි තිබුණේ”

වර්ෂ 1995 මැයි 28වනදා සැන් ඇන්ජලෝ නගරයට බොහෝ අලාභ හානි සිදු කළ සුළි සුළං සහිත චණ්ඩ මාරුතය, ගස් සහමුලින්ම උදුරා දමා, පහන් කණු කඩා වැටීමටත්, සජීවි විදුලි කම්බි පාරවල් හරහා වැටීමටත් සැලැස්සුවේය. මහජන උපයෝගී සේවා ගොඩනැඟිලිවලට හානි සිදු කරමින්, සුළඟ පැයකට කිලෝමීටර් 160ක් දක්වා හැමුවේය. නිවාස 20,000කට වැඩි සංඛ්‍යාවක් විදුලිය නොමැතිව අඳුරේ තිබිණ. ඉන්පසු ගල් වැස්ස වහින්න පටන්ගත්තේය. ජාතික කාලගුණ සේවාව වාර්තා කළේ, “දෙහි ගෙඩි ප්‍රමාණයේ ගල් වැස්සක්,” ඉන්පසු “දොඩම් ගෙඩි ප්‍රමාණයේ ගල් වැස්සක්” හා අවසානයේදී, “ජම්බෝල ගෙඩි තරම් ලොකු ගල් වැස්සක්” කියාය. එම පහර දීමෙන් නිකුත් වූ ශබ්දය කන් බිහිරි කරවන එකක් විය. එක් පදිංචිකරුවෙක් මෙසේ ප්‍රකාශ කළේය: “ලෝකය අවසාන වෙනවා වගේ ශබ්දයක් තමයි තිබුණේ.”

කුණාටුවෙන් පසු නොසන්සුන් කරවන නිශ්චලතාවක් ඇති විය. මනුෂ්‍යයෝ තමන්ගේ විනාශ වූ ගෙවලට සිදු වී තිබෙන හානිය ක්‍රමානුකූලව පරීක්ෂා කිරීමට පටන්ගත්තෝය. කඩා නොවැටුණු ගස්වල අතු සම්පූර්ණයෙන්ම කැඩී එමෙන්ම කොළ සියල්ලම හැළී තිබිණ. කඩා නොවැටුණු ගෙවල් හොඳින් පහර ලැබූ බවක් පෙනෙන්ට තිබිණ. ඇතැම් ප්‍රදේශවල, භූමිය මතුපිට මීටරයක් පමණ උසකට හිම කැටවලින් වැසී තිබිණ. කුණාටුව නිසා ගෙවල් හා වාහනවල ජනෙල් දහස් ගණනක් කුඩුපට්ටම් වී තිබුණු අතර, භූමිය වැසී තිබුණු හිම කැට සමඟ, කුඩා කැබලිවලට කැඩී බිඳී ගිය වීදුරු දැන් දිලිසෙන්ට විය. එක් ස්ත්‍රියක් මෙසේ පවසයි: “මං ගෙදර ගියාම, මම කාර් එකේ ඉඳගෙන ඇඬුවා. සිදු වෙලා තිබුණු හානිය කොච්චරද කිව්වොත් මට එය දරාගන්න බැරි වුණා.”

සහනාධාර වැඩපිළිවෙළවල් හා රෝහල් මගින්, ඉතා ඉක්මනින්ම ආර්ථික උපකාර, ගොඩනැඟිලි අමුද්‍රව්‍ය, වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් සපයන ලදි. කුණාටුවට ගොදුරු වූ බොහෝදෙනෙකුද වෙනත් අයට උපකාර කිරීම සඳහා තමන්ට කළ හැකි දේ කිරීම ප්‍රශංසා කටයුතු දෙයකි.

යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවෝද ක්‍රියාත්මක වූහ. සැන් ඇන්ජලෝහි වැඩිමහල්ලෙක් වන ඕබ්‍රී කොනර් මෙසේ වාර්තා කරයි: “කුණාටුව ඉවර වුණ ගමන්ම, අපි එකිනෙකා ගැන දුරකථනයෙන් විමසන්න පටන්ගත්තා. ලෑලිවලින් ජනෙල් වහන්නත්, වහලවල්වලට ඉටි කොළ දාන්නත්, පුළුවන් තරම් ගෙවල් වැස්සෙන් හා සුළඟෙන් ආරක්ෂා කරන්නත් අපි එකිනෙකාට හා සාක්ෂිකාරයන් නොවූ අපේ අසල්වැසියන්ට උපකාර කළා. ඊට පස්සේ, අපේ සභාවේ ගෙවල් හානි වූ හැම කෙනෙක්ගේම ලැයිස්තුවක් අපි හැදුවා. ගෙවල් සීයක් විතර අලුත්වැඩියා කරන්න සිදු වුණ අතර, සහනාධාර ආයතනවලින් සැපයූ අමුද්‍රව්‍ය මේ සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ හින්දා අපි තවත් අමතර අමුද්‍රව්‍ය සල්ලිවලට අරගෙන වැඩට සූදානම් වුණා. සාක්ෂිකරුවන් 1,000ක් විතර උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ අතර, සෑම සති අන්තයකදීම 250දෙනෙක් විතර උදව් කළා. ඒගොල්ලෝ, කිලෝමීටර් 740ක් තරම් ඈතක ඉඳලා ආවා. හැම කෙනෙක්ම මහන්සි නොබලා වැඩ කළ අතර, එය ගොඩක් වෙලාවට කළේ, සෙල්සියස් අංශක 40ක කාලගුණයක් යටතේ. අවුරුදු 70ක් වයස සහෝදරියක් පවා, එකක හැර, ඒ කියන්නේ ඇගේම ගෙදර අලුත්වැඩියා කරන එක හැර, අනික් හැම සති අන්තයකදීම අපිත් එක්ක වැඩ කළා; ඒ සති අන්තයේදී ඈ ඇයගේම වහලේ උඩට වෙලා අලුත්වැඩියා වැඩවලට උදව් කරමිනුයි හිටියේ!

“බලාසිටින්නන් මෙවැනි දේවල් කියනවා අපිට ගොඩක් වෙලාවට ඇහුණා: ‘අනික් ආගම්වල ඉන්න අයත් ඒගොල්ලන්ගේ සාමාජිකයන්ට මේ විදිහට කරලා දෙනවා නම් කොච්චර හොඳද?’ කිසිම මුදලක් අය නොකර, වහලක් අලුත්වැඩියා කරන්න, එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම හදලා දෙන්න සූදානම් වෙලා ආපු ස්වේච්ඡා සේවකයන් (සහෝදරියනුත් එක්ක) 10දෙනෙක් නැත්නම් 12දෙනෙක්ගෙන් හැදුණු කණ්ඩායමක් සිකුරාදා උදෙන්ම සෙසු සාක්ෂිකරුවෙක්ගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා දැකීමෙන් අපේ අසල්වැසියන්ගේ සිත ඇදිලා ගියා. ගොඩාක් අවස්ථාවලදී, එක සති අන්තයකින් වැඩ අවසන් කරනු ලැබුවා. පිට ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෙක් වහලක් අලුත්වැඩියා කර කර ඉද්දී, අපේ කට්ටිය ඊට අල්ලපු ගෙදර වැඩ පටන්ගන්න එන අවස්ථාත් තිබුණා. ඒගොල්ලෝ ඉවර වෙන්න කලින්, අපි තිබුණු වහලේ අරං දාලා, අලුත් එකක් ගහලා ඒ වත්තත් සුද්ද කරලා ඉවර කරනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ වැඩ නතර කළේ අපි වැඩ කරන විදිහ බලාගෙන ඉන්නයි!”

සහෝදර කොනර් මෙසේ නිගමනය කරයි: “අපි එකට භුක්තිවිඳපු අද්දැකීම් දැන් අවසන් වෙන හින්දා, අපිට දුක හිතේවි. විශේෂ විදිහට අපි සහෝදර ප්‍රේමය පෙන්නුව හින්දත්, එයාලා අපට පෙන්නපු හින්දත්, අපිට එකිනෙකාව ගොඩාක් හොඳින් හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. එකිනෙකාට උදව් කරන්න සහෝදර සහෝදරියන්ට ඇත්තටම ඕනෙ හින්දා එකිනෙකාට උදව් කරමින් ඉන්න කාලයක් වන දෙවියන්වහන්සේගේ නව ලොව තුළදී, තත්වය කොයි විදියට තියෙයිද කියලා මෙය පූර්ව අද්දැකීමක් විතරයි කියලයි අපිට හැඟෙන්නේ.”  — 2 පේතෘස් 3:13.

කෝබේ—“ලී, හුණු බදාම හා මළ සිරුරුවලින් යුත් සුන්බුන්”

කෝබේ නගරයේ වැසියෝ සූදානමින් සිටීමට නියමිතව සිටියෝය. ඇත්තවශයෙන්ම, සෑම සැප්තැම්බර් 1වනදාකම ඔවුහු ආපදා වළක්වන දිනය පවත්වති. භූමිකම්පාවක් සිදු වූ විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පාසැල් දරුවෝ පෙරහුරු වෙති; යුද හමුදා භටයන් හෙලිකොප්ටරයෙන් පැමිණ කරන බේරාගැනීම් පුරුදු වන අතර, ගිනි නිවන හමුදාවෝ, භූමිකම්පාවකට සමාන බලපෑම් හා චලන ඇති කරන යන්ත්‍ර ගෙනෙති. සැබෑ භූමිකම්පාවක් මෙන් සෙලවෙන හා කම්පනය වන කාමරයක ප්‍රමාණයකින් යුත් පෙට්ටියක් තුළ, පුද්ගලයන්ව ගළවාගන්නා ක්‍රම මනුෂ්‍යයෝ ස්වේච්ඡාවෙන්ම පුරුදු වෙති. එහෙත් 1995 ජනවාරි 17වනදා එය සැබෑවටම සිදු වූ විට, සූදානම් වූ සියල්ලම නිෂ්ඵල යමක් සේ පෙනෙන්ට තිබිණ. වහලවල් දසදහස් ගණනක් කඩා වැටුණ අතර, මෙය කලින් පෙරහුරු කළ සැබෑ භූමිකම්පාවක් මෙන් සෙලවෙන හා කම්පනය වන පෙට්ටිය තුළ කිසිදා සිදු වූයේ නැත. දුම්රියයන් උඩ අතට පෙරළුණේය; මහාමාර්ගවල ඇතැම් කොටස් කැඩී බිඳී ගියේය; ගෑස් මෙන්ම ජල නළ මාර්ග කැඩිණ; නිවෙස් කාඩ්බෝඩ් මෙන් කඩා වැටුණේය. ටයිම් සඟරාව එම සිද්ධිය විස්තර කළේ, “ලී, හුණු බදාම හා මළ සිරුරුවලින් යුත් සුන්බුන්” හැටියටයි.

ඉන්පසු ගින්නක් හටගත්තේය. ගිනි නිවන භටයන්, අධික වාහන තදබදයක සිර වී සිටීම හේතුවෙන් කනස්සල්ලෙන් සිටින අතරතුර ගොඩනැඟිලි ගිනි ගත්තේය. අලාභහානි සිදු වී තිබුණු නගරයේ ජල සැපයුමෙන් ජලය ටිකක්වත් ලබාගත නොහැකි බව, ගින්න වෙත ළඟාවූවෝ බොහෝවිට සොයාගත්තෝය. “පළවෙනි දවස සම්පූර්ණයෙන්ම කලබල එකක් වුණා,” යනුවෙන් එක් නිලධාරියෙක් පැවසීය. “ගිනි ගනිමින් තිබුණු ඒ ගෙවල් ඇතුළේ ගොඩාක් මනුෂ්‍යයන් කොටු වෙලා හිටියා කියලා දැනගෙන හිටපු හින්දත්, මට ඒ ගැන මොකුත් කරන්න බැරි බව දැනගෙන හිටපු හින්දත්, මේ වගේ අසරණ තත්වයක් මට මගේ ජීවිතයේ කවදාවත් හැඟිලා නැහැ.”

මනුෂ්‍යයන් 5,000ක් පමණ මරණයට පත් වූ අතර, ගොඩනැඟිලි 50,000කට ආසන්න සංඛ්‍යාවක් විනාශයට පත් විය. කෝබේ නගරයේ තිබුණේ එයට අවශ්‍යව තිබූ ආහාරවලින් තුනෙන් එකක් පමණි. වතුර ලබාගැනීම සඳහා සමහරු විනාශ වූ ජල නළ යටින් ඇති අපිරිසිදු දියර අමාරුවෙන් ටිකින් ටික එකතු කරගත්තෝය. නිවෙස් අහිමි වූ බොහෝදෙනෙකු ආරක්ෂා සහිත ස්ථානවලට පලාගිය අතර, එයින් සමහරක් ආහාර සීමා කර, එක් කෙනෙකුට දිනකට බත් පිඩක් පමණක් වෙන් කළේය. අතෘප්තිය ඉතා ඉක්මනින්ම පැතිරුණේය. “නිලධාරින් කිසිම දෙයක් කරලා නැහැ” යනුවෙන් මනුෂ්‍යයෙක් පැමිණිලි කළේය. “ඒගොල්ලන්ව විශ්වාස කරන්න ගියොත්, අපි හාමතෙ මැරෙයි.”

කෝබේහි මෙන්ම අසල ප්‍රදේශවල තිබෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවෝ වහාම තමන්ව සංවිධානය කරගත්හ. ඔවුන්ගේ ක්‍රියා සියැසින් දුටු හෙලිකොප්ටර් යානාවක නියමුවෙක් මෙසේ පැවසීය: “භූමිකම්පාව සිදු වූ දවසේ මම එම ප්‍රදේශයට ගිහිල්ලා, එතන සතියක් ගත කළා. මං එක ආරක්ෂා ස්ථානයකට ආවම, හැම දෙයක්ම අවුල් ජාලාවක්ව තිබුණා. සහනය සැපයීමට කිසිම වැඩපිළිවෙළක් දියත් කරලා තිබුණෙ නැහැ. අවශ්‍ය දේවල් ඔක්කොම කරමින්, එම ප්‍රදේශයට ඉක්මනින්ම ආවේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විතරයි.”

ඇත්තෙන්ම, කිරීමට බොහෝ වැඩ තිබිණ. රාජ්‍ය ශාලා දහයක් භාවිත කිරීමට නුසුදුසු තත්වයේ තිබුණු බව තීරණය කරනු ලැබූ අතර, සාක්ෂිකරුවන් 430දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් නිවාස නොමැතිව සිටියහ. ඔවුන් වාසය කළ තවත් ගෙවල් 1,206කට අලුත්වැඩියා කිරීම් අවශ්‍ය විය. එපමණක්ද නොව, ආපදාවෙන් මියගියාවූ සාක්ෂිකරුවන් 15දෙනාගේ පවුල්වල අයද සහනය අතිශයින් අවශ්‍ය කරන තත්වයක සිටියහ.

අලුත්වැඩියා කිරීමේ වැඩයට උපකාර කිරීම සඳහා, රට පුරා විසූ සාක්ෂිකරුවන් 1,000දෙනෙක් පමණ තමන්ගේ කාලය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළෝය. “තවමත් බව්තීස්ම නොවූ බයිබල් ශිෂ්‍යයන්ගේ නිවෙස්වල අපි වැඩ කළාම, ‘අපි මේ ඔක්කොටම කොච්චර ගෙවන්න ඕනෙද?’ කියලා අපෙන් හැම වෙලාවෙම අහනු ලැබුවා,” කියා සහෝදරයෙක් සඳහන් කරයි. “මෙම වැඩයට සහයෝගය දක්වන්නේ සභාවන් කියලා අපි ඒගොල්ලන්ට කිව්වම, ඒගොල්ලෝ අපිට ස්තුති කරලා, මෙහෙම කිව්වා; ‘අපි පාඩම් කරපු දේවල් දැන් සැබෑ වෙලා තියෙනවා!’ ”

ආපදාවෙන් පසු සාක්ෂිකරුවන්ගේ ඉක්මන් හා විශිෂ්ට ප්‍රතිචාරයට බොහෝදෙනෙකුගේ සිත ඇදී ගියේය. “මගේ සිත ගොඩාක් ඇදිලා ගියා,” යනුවෙන් ඉහත උපුටා දක්වන ලද ගුවන් නියමුවා පවසයි. “ඔයගොල්ලෝ එකිනෙකාව ‘සහෝදරයා’ හා ‘සහෝදරී’ කියලා අමතනවා. ඔයගොල්ලෝ එකිනෙකාට උපකාර කරන විදිහ මම දැකලා තියෙනවා; ඕගොල්ලෝ නම් ඇත්තටම පවුලක් වගේ.”

සාක්ෂිකරුවෝද භූමිකම්පාවෙන් වටිනා පාඩම් ඉගෙනගත්තෝය. එක් සහෝදරියක් මෙසේ පිළිගත්තාය: “සංවිධානයක් ලොකු වෙන තරමට, එයට පෞද්ගලික සැලකිල්ල දැක්වීමට අමාරුයි කියලා මට හැම වෙලේම හැඟුණා.” එහෙත් ඇයට ලැබුණාවූ මෘදු සැලකිල්ල, ඇයගේ ආකල්පය වෙනස් කළේය. “යෙහෝවඃවහන්සේ අපට සැලකිල්ල දක්වන්නේ සංවිධානයක් හැටියට විතරක් නෙවෙයි; ඒත් පුද්ගලයන් හැටියටත් උන්වහන්සේ අපිට සැලකිල්ල දක්වනවා කියලා දැන් මං දන්නවා.” කෙසේවෙතත්, ආපදාවෙන් ස්ථිර සහනය ඉදිරියේදී ලැබෙනු ඇත.

ළඟදීම නිත්‍ය සහනය!

යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, ආපදා මගින් මනුෂ්‍ය ජීවිත හා ජීවිකාවන් තවත් කිසිදිනක මෙලෙස කෙළවර නොවනු ඇති කාලයක් අපේක්ෂාවෙන් සිටිති. දෙවියන්වහන්සේගේ නව ලොවෙහි, පොළොවේ පරිසරය සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට මනුෂ්‍යයන්ට උගන්වනු ලැබේ. මනුෂ්‍යයන් ආත්මාර්ථකාමී පිළිවෙත් අහක දමද්දී, ස්වාභාවික ආපදාවලට ඔවුන් අඩුවෙන් ගොදුරු වනු ඇත.

ඇරත්, ස්වාභාවික බලයන්වල මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ මිනිස් පවුල හා භූමික මැවිල්ල නැවත කිසිදා ස්වාභාවික බලයන්ගෙන් තර්ජනය නොලබන බවට වගබලා ගනු ඇත. එවිට පොළොව සැබවින්ම පාරාදීසයක් වනු ඇත. (යෙසායා 65:17, 21, 23; ලූක් 23:43) එළිදරව් 21:4හි අඩංගු අනාවැකිය මහිමවත් ආකාරයකින් ඉටුවනු ඇත: “උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”

[5වන පිටුවේ පින්තූරය]

ඇය සහ වෙනත් අය ගංවතුරෙන් එගොඩ වීමට අත්වැල් බැඳගත් ආකාරය බියට්ට්‍රස් ජෝන්ස් (වමේ) නිරූපණය කර පෙන්වයි

[6වන පිටුවේ පින්තූරය]

සුළි සුළං සහිත චණ්ඩ මාරුතයෙන් පසු, සහනාධාර සැපයීම

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න