ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 2/1 4-7 පි.
  • සත්‍යය මගින් නිදහස් වී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සත්‍යය මගින් නිදහස් වී
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මළවුන් පිළිබඳ බියෙන් නිදහස් වීම
  • අනාගතය පිළිබඳ බියෙන් නිදහස් වීම
  • මනුෂ්‍යයා පිළිබඳ බියෙන් නිදහස් වීම
  • සත්‍යයට ඔබව නිදහස් කරන්න පුළුවන්
  • “සත්‍යය” ඔබව නිදහස් කරන්නේ කෙසේද?
    2012 පිබිදෙව්!
  • ‘මරණය සදහටම නැති කරනු ලැබේ’
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ ආදරය කළ මියගිය අය—ඔබ යළිත් ඔවුන් දකිනු ඇත්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අප ප්‍රේම කළ මියගිය අයට සිදු වන්නේ කුමක්ද?
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 2/1 4-7 පි.

සත්‍යය මගින් නිදහස් වී

එක්සත් ජනපදයේ, මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සිරගත කර තිබෙනවා. මොවුන්ගෙන් තුන්දහසකට වඩා වැඩි සංඛ්‍යාවකට මරණ දණ්ඩනය නියම වෙලා තිබෙනවා. ඔබ එවැනි තත්වයක සිටිනවායයි සිතන්න. ඔබට කොහොම හැඟෙයිද? එවැනි අපේක්ෂාවක් ගැන හිතන එකත් අප්‍රසන්නයි. ඒත්, එක් අර්ථයකින් ගත් කල, මනුෂ්‍යයන් සියලුදෙනාම ඒ හා සමාන තත්වයක සිටිනවා. බයිබලය මේ විදිහට ප්‍රකාශ කරනවා: “සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.” (රෝම 3:23) ඔව්, ආදම්ගේ පැවතෙන්නන් හැටියට, අපව පාපතර තත්වයක “සිර කර” තබා තිබෙනවා. (රෝම 5:12) ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල්ට හැඟුණා වගේ, සිර වී සිටීමේ බලපෑම අපට දැනෙනවා; ඔහු මෙහෙම ලිව්වා: “මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.”—රෝම 7:23.

අපගේ පාපතර ස්වභාවයේ ප්‍රතිඵලයක් වශයෙන්, අපි සියලුදෙනාම සංකේතාත්මක ආකාරයකින් මරණ දණ්ඩනයක් යටතේ සිටිනවා; ඇයි කිව්වොත් බයිබලය මෙහෙම ප්‍රකාශ කරන නිසයි: “පාපයේ කුලී නම් මරණයය.” (රෝම 6:23) ගීතිකාකාර මෝසෙස් අපගේ තත්වය උචිත ආකාරයකින් මෙහෙම විස්තර කළා: “අප ආයු හැත්තෑ අවුරුද්දකි, සවි ශක්තිය ඇත්නම්, අසූවක් විය හැකි ය. එහෙත්, ඒ කාලය කම්කටොළු හා දුක ම ය. අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේ ය.”—ගීතාවලිය 90:10, නව අනුවාදය; සසඳන්න යාකොබ් 4:14.

මනුෂ්‍යවර්ගයා පාපයට හා මරණයට වහල්ව සිටින බව මතකයේ තබාගෙනයි, යේසුස් තම අනුගාමිකයන්ට මෙහෙම කිව්වේ: “සැබෑවද නුඹලා නිදහස්කරන්නේය.” (යොහන් 8:32) එම වදන්වලින්, රෝමානු පාලනයෙන් නිදහස් වීමට වඩා උතුම් දෙයක් පිළිබඳ බලාපොරොත්තුවක් යේසුස් තම අනුගාමිකයන්ට දෙමින් සිටියා; ඔහු ඔවුන්ට පාපයෙන් සමාවක්ද, මරණයෙන් මිදීමක්ද ඉදිරිපත් කරමිනුයි සිටියේ! මෙය ඔවුන්ට ලබා දෙනු ඇත්තේ කොහොමද? “පුත්‍රයා නුඹලා නිදහස්කරන්නේ නම් සැබවින් නුඹලා නිදහස්වන්නහුය” යනුවෙන් යේසුස් ඔවුන්ට පැවසුවා. (යොහන් 8:36) ඔව්, යේසුස් නම් “පුත්‍රයා” තම ජීවිතය පිදීමෙන්, ආදම් නැති කරගත් දේ නැවත ලබාගැනීමට ශාන්තිකර පූජාවක් ලෙස ක්‍රියා කළා. (1 යොහන් 4:10) මෙයින් සියලුම කීකරු මනුෂ්‍යවර්ගයාට පාපය සහ මරණයේ වහල්කමින් මිදීමක් ලබාගැනීමට මාර්ගය විවෘත කළා. දෙවිගේ ඒකජාතක පුත්‍රයා මියගියේ, ඔහු “කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16.

එබැවින්, අපව නිදහස් කළ හැකි සත්‍යය, යේසුස් ක්‍රිස්තුස් වටා ගෙතී තිබෙනවා. දේවරාජ්‍යය පොළොවේ කටයුතු සම්පූර්ණයෙන්ම පාලනය කරන විට, ඔහුගේ අඩිපාරේ ගමන් කරන්නන්ට, පාපයෙන් හා මරණයෙන් නිදහස් වීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. දැන් පවා, දේවවචනයේ සත්‍යය පිළිගන්නාවූ අය, අව්‍යාජ නිදහසක් අද්දකිනවා. කුමන මාර්ගවලින්ද?

මළවුන් පිළිබඳ බියෙන් නිදහස් වීම

අදදින මිලියන ගණනක්, මළවුන් පිළිබඳ බියෙන් ජීවත් වෙනවා. ඒ ඇයි? මරණයේදී ප්‍රාණය ශරීරයෙන් පිට වෙලා ආත්ම විෂයකට යන බව ඔවුන්ගේ ආගම් ඔවුන්ට උගන්වා තියෙන නිසයි. ඇතැම් රටවල, මියගිය පුද්ගලයාගේ ඥාතීන් දහවල් හා රාත්‍රි කිහිපයක්ම නිදිමරාගෙන සිටීම චාරිත්‍රයක්ව පවතින්නේ ඒ හේතුව නිසයි. මෙයට, ශබ්ද නඟා ගී ගැයීම හා බෙර වාදනය කිරීම ඇතුළත් වෙනවා. මෙය මියගිය පුද්ගලයාව ප්‍රසන්න කරනවා කියලත්, ජීවත්ව සිටින්නන්ට හොල්මන් කිරීමට ඔහුගේ ආත්මය නැවත ඒමෙන් වළක්වනවා කියලත් ශෝකවන්නන් විශ්වාස කරනවා. මළවුන් පිළිබඳ ක්‍රිස්තියානි ලෝකයේ බොරු ඉගැන්වීම් හේතු වෙලා තිබෙන්නේ, මෙම සම්ප්‍රදායේ අඛණ්ඩ වර්ධනයට විතරයි.

කෙසේවෙතත්, බයිබලය මළවුන්ගේ සැබෑ තත්වය හෙළි කරනවා. ඔබගේ ප්‍රාණය ඔබ බවත්, එය, මරණයෙන් පසු ජීවත් වන, ඔබගේ යම්කිසි අභිරහස් කොටසක් නොවන බවත් බයිබලය පැහැදිලිවම ප්‍රකාශ කරනවා. (උත්පත්ති 2:7; එසකියෙල් 18:4) ඒ වගේම, මළවුන් ගිනිමය නිරයක වද විඳින්නේ නැහැ; ඒ විතරක් නෙවේ, ජීවත්ව සිටින්නන්ට බලපෑම් කළ හැකි ආත්ම විෂයකටත් ඔවුන් අයිති නැහැ. බයිබලය මේ විදිහට ප්‍රකාශ කරනවා: “මළාහු කිසිවක් නොදනිති, . . . නුඹ යන මිනීවළෙහි [ෂෙයෝලයෙහි] වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.”—දේශනාකාරයා 9:5, 10.

මෙම බයිබල් සත්‍යයන්, බොහෝදෙනෙකුව මළවුන් පිළිබඳ බියෙන් නිදහස් කර තිබෙනවා. ඔවුන් තම මුතුන්මිත්තන්ව සනසන්න මිල අධික පූජා තවදුරටත් ඔප්පු කරන්නේ නැහැ; ඔවුන්ගේ ප්‍රේමනීයයන්ට අනුකම්පා විරහිතව වධ හිංසා ලැබෙනවා කියලා, ඔවුන් කනස්සලු වෙන්නත් අවශ්‍ය නැහැ. මළවුන්ට පුදුමාකාර බලාපොරොත්තුවක් බයිබලයේ ඉදිරිපත් කරලා තිබෙන බව ඔවුන් ඉගෙනගෙන තිබෙනවා; ඇයි කිව්වොත් දෙවිගේ නියම කරන ලද කාලයේදී, “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක්” තිබෙන බව එය අපට ප්‍රකාශ කරන නිසයි. (ක්‍රියා 24:15; යොහන් 5:28, 29) එබැවින්, මළ අය දැන් තද නින්දක සිටින්නාක් මෙන් සැතපිලයි ඉන්නේ.—යොහන් 11:11-14, සසඳන්න.

මළවුන්ගේ තත්වය පිළිබඳ සත්‍යයට හා නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුවට, මරණයෙන් ගෙන ආ හැකි බලාපොරොත්තු විරහිතබවෙන් අපව නිදහස් කළ හැකියි. එක්සත් ජනපදයේ ඉන්න විවාහ යුවළකගේ අවුරුදු හතරක් වයසැති පුතා අනතුරකින් මියගිය විට, ඔවුන්ව ඉසිලුවේ එවැනි බලාපොරොත්තුවක්. “නැවත නැඟිටීම මාර්ගයෙන්, අපගේ පුතාව ආයෙත් දකිනකං අපේ ජීවිතවල පුරවන්න බැරි තරම් හිඩසක් තියෙනවා” කියා ඔහුගේ මව පිළිගන්නවා. “ඒත් අපේ දුක් කඳුළු පිහදාන්න යෙහෝවා පොරොන්දු කරලා තියෙන නිසා, අපේ වේදනාව තාවකාලික එකක් කියලා අපි දන්නවා.”—එළිදරව් 21:3, 4.

අනාගතය පිළිබඳ බියෙන් නිදහස් වීම

අනාගතය ඉදිරිපත් කරන්නේ කුමන බලාපොරොත්තුවක්ද? න්‍යෂ්ටික ව්‍යසනයකින් අපේ පෘථිවිය පිලිස්සී විනාශ වේවිද? පොළොවේ පරිසරය විනාශ වන හින්දා, අපේ පෘථිවි ග්‍රහයා මත ජීවත් විය නොහැකි තත්වයක් උදා වේවිද? සදාචාර බිඳවැටීම, අවුල් වියවුල් තත්වයකට මඟ පාදනු ඇද්ද? අදදින බොහෝදෙනෙක් බිය වන්නේ මේවාටයි.

කෙසේවෙතත්, බයිබලය, එවැනි අස්වාභාවික බියවලින් නිදහසක් ඉදිරිපත් කරනවා. “පොළොව සෑම කල්ම පවති[න]” බව එය අපට සහතික කරනවා. (දේශනාකාරයා 1:4) යෙහෝවා අපේ පෘථිවි ග්‍රහයාව මැව්වේ, එය නිකම්ම, වගකීමෙන් තොර මනුෂ්‍යයන් අතින් විනාශ වනවා දකින්න නෙවෙයි. (යෙසායා 45:18) ඒ වෙනුවට, යෙහෝවා පොළොව මැව්වේ, එක්සත් මනුෂ්‍ය පවුලකට පාරාදීස නිවසක් කිරීමටයි. (උත්පත්ති 1:27, 28) ඔහුගේ අරමුණ වෙනස් වී නැහැ. දෙව් “පොළොව විනාශකරන්නවුන් විනාශකර[න]” බව බයිබලය අපට පවසනවා. (එළිදරව් 11:18) ඊට පසුව, “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය” කියා බයිබලය ප්‍රකාශ කරනවා.—ගීතාවලිය 37:11.

දෙවි බොරු නොකියන නිසා, මෙම පොරොන්දුව විශ්වාස කළ හැකියි. යෙහෝවා තම අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් මෙහෙම ප්‍රකාශ කළා: “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.” (යෙසායා 55:11; තීතස් 1:1) එබැවින්, බයිබලයේ 2 පේතෘස් 3:13හි වාර්තා කර තිබෙන දෙවිගේ මෙම පොරොන්දුවේ ඉටුවීම සම්බන්ධයෙන් අපට නිසැකවම බලා සිටින්න පුළුවන්: “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.”

මනුෂ්‍යයා පිළිබඳ බියෙන් නිදහස් වීම

දෙවිට ඔවුන්ගේ කැපවීමේදී නිර්භීතකම විදහාපෙන්වූ පුරුෂයන් හා ස්ත්‍රීන්ගේ මාහැඟි ආදර්ශ බයිබලය අපට සපයනවා. ගිඩියොන්, බාරාක්, දෙබොරා, දානියෙල්, එස්තර්, යෙරෙමියා, අබීගායිල් හා යායෙල්, ඔවුන් අතරින් කිහිපදෙනෙක් හැටියට නම් කරන්න පුළුවන්. මෙම විශ්වාසවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන්, ගීතිකාකරුගේ ආකල්පය පිළිබිඹු කළා; ඔහු මෙහෙම ලිව්වා: “දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කුමක් කරයිද?”—ගීතාවලිය 56:11.

දේශනා සේවය නතර කිරීමට ආගමික බලධාරීන් ඔවුන්ට අණ කළ විට, පළමු සියවසේදී විසූ පේතෘස් හා යොහන් යන ප්‍රේරිතයන් දෙන්නාම ඒ හා සමාන නිර්භීතකමක් පිළිබිඹු කළා. “අප ඇසූ දුටු දේ ගැන කථා නොකර සිටින්ට අපට නුපුළුවන” කියා ඔවුන් පිළිතුරු දුන්නා. ඔවුන්ගේ ස්ථිර ස්ථාවරයේ ප්‍රතිඵලයක් වශයෙන්, පේතෘස් හා යොහන්ව පසුව සිරගත කරනු ලැබුවා. ඔවුන්ගේ ආශ්චර්යවත් නිදහස් වීමෙන් පසුව, ඔවුන් නැවතත් දිගටම “දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාක[ළා].” ඉක්මනින්ම, පේතෘස්ව හා අනික් ප්‍රේරිතයන්ව යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියට කැඳවනු ලැබුවා. උත්තම පූජකයා ඔවුන්ට මෙහෙම ප්‍රකාශ කළා: “මේ නාමයෙන් නූගන්වන්ට නුඹලාට තදින් ආඥාකෙළෙමුව. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා [තිබෙනවා].” පේතෘස් හා අනික් ප්‍රේරිතයන් මෙහෙම පිළිතුරු දුන්නා: “මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.”—ක්‍රියා 4:16, 17, 19, 20, 31; 5:18-20, 27-29.

දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ තම සේවයේදී, අදදින වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පළමු සියවසේ විසූ ක්‍රිස්තියානීන්ගේ ජ්වලිතය අනුකරණය කිරීමට උත්සාහ දරනවා. ඔවුන් අතරෙහි සිටින යෞවනයන් පවා, තමන්ගේ ඇදහිල්ල පිළිබඳව අනික් අයට කතා කිරීමෙන්, තමන් නිර්භීත බව බොහෝවිට ඔප්පු කරනවා. සමහර ආදර්ශ සලකා බලන්න.

ස්ටේසි ස්වභාවයෙන්ම ලජ්ජාශීලී යෞවනියක්. මේ නිසා, ඇගේ ඇදහිල්ල පිළිබඳව අනික් අයට කතා කිරීම මුලින්ම අභියෝගයක්ව තිබුණා. ඇගේ ලජ්ජාශීලිභාවය ජයගැනීමට ඈ කළේ කුමක්ද? “මං බයිබලය පාඩම් කරලා, මං කතා කරන දේ මට තේරෙන බවට සහතික කරගත්තා” කියා ඈ පවසනවා. “එය, වඩාත් පහසු කළා වගේම, මට මං ගැනම වැඩි නිසැකකමක් ඇති වුණා.” ස්ටේසිගේ හොඳ කීර්තිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පුවත්පතේ ලියනු ලැබුවා. ඇගේ පාසැලේ ගුරුවරියක විසින් ලියනු ලැබූ ලිපියෙහි, මෙහෙම අදහස් ප්‍රකාශ කර තිබුණා: “යෞවනයන් බොහෝදෙනෙකුට දැනෙන පීඩනවලට එරෙහිව සටන් කිරීමට, [ස්ටේසිගේ] ඇදහිල්ල ඇයට ශක්තිය දී තිබෙන බව පෙනෙන්ට තිබෙනවා. . . . දෙව්ට සේවය කිරීම ඇගේ මනසේ මුල් ස්ථානයට තැබිය යුතු බව ඇයට හැඟෙනවා.”

වයස අවුරුදු පහේ සිටම, ටොමි ඔහුගේ දෙමාපියන්ගෙන් බයිබලය පිළිබඳව ඉගෙනගන්න පටන්ගත්තා. බාල අවදියේ පටන් පවා, ඔහු සැබෑ නමස්කාරය සඳහා නිර්භීත ස්ථාවරයක් ගත්තා. ඔහුගේ පන්තියේ සෙසු යෞවන ළමයින් නිවාඩු දිනයන් පිළිබඳ චිත්‍ර අඳිද්දී, ටොමි, දෙව් පොරොන්දු කළ පාරාදීසය පිළිබඳ දර්ශන චිත්‍රයට නැඟුවා. ශිෂ්‍යශිෂ්‍යාවන් බොහෝදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් පිළිබඳව ව්‍යාකූලව සිටි බව යෞවනයෙක්ව සිටි ටොමි දැක්කා. බියෙන් වෙළී සිටිනවා වෙනුවට, ඔහුගේ පන්තියේ ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ ප්‍රශ්න සියල්ලකටම එකවරම උත්තර දෙන්න පුළුවන් වෙන්න, ඔවුන් සමඟ ඔහුට ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් පවත්වන්න පුළුවන්ද කියලා ඔහු ගුරුවරයෙකුගෙන් ඇසුවා. මේ සඳහා අවසර ලැබුණු අතර, කදිම සාක්ෂියක් දෙනු ලැබුවා.

මා’කිඑටාට වයස අවුරුදු 17ක්ව තිබියදී, පන්තියේ අනික් ළමයින් සමඟ ඇගේ ඇදහිල්ල පිළිබඳව කතා කිරීමට ඈ කදිම ප්‍රස්තාවක් සොයාගත්තා. “කතාවක් ඉදිරිපත් කිරීමට අපිට පැවරුමක් ලැබුණා” කියා ඈ පවසනවා. “යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොත මත මං මගේ විෂය පදනම් කරගත්තා.a මං ඒ පොතෙන් පරිච්ඡේද පහක් තෝරාගෙන, ඒවායේ මාතෘකා කළුලෑල්ලේ ලිව්වා. මේවාවලින් ඔවුන්ට වැඩියෙන්ම වැදගත් කියලා හැඟෙන ඒවා පිළිවෙළින් තබන්න කියා මං පන්තියේ ළමයින්ට කිව්වා.” ඉන් අනතුරුව, පන්තියේ අනික් අයගේ සහභාගිත්වය ඇතුව සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. මා’කිඑටා මේ විදිහට අවසන් කරනවා: “පන්තියේ ළමයින්ට මං පොත පෙන්නුවා; ශිෂ්‍යශිෂ්‍යාවන් කිහිපදෙනෙක් පිටපතක් ඉල්ලුවා. මගේ ගුරුතුමියටත් එකක් ඕනෙ කියලා කිව්වා.”

සත්‍යයට ඔබව නිදහස් කරන්න පුළුවන්

අප දුටු ආකාරයට, බයිබලයෙහි අඩංගු සත්‍යයෙහි, එය අධ්‍යයනය කරන හා එහි පණිවිඩය සිතට ගන්නාවූ සෑම වයස් සීමාවකම සිටින අය කෙරෙහි නිදහස ඇති කරවන බලපෑමක් තියෙනවා. එය ඔවුන්ව, මළවුන් පිළිබඳ බියෙන්, අනාගතය පිළිබඳ බියෙන් හා මනුෂ්‍යයන් පිළිබඳ බියෙන් නිදහස් කරනවා. අවසානයේදී, යේසුස්ගේ මිදීමේ මිලය, කීකරු මනුෂ්‍යවර්ගයාව පාපය හා මරණයෙන් නිදහස් කරන්න යනවා. අපගේ උරුම වූ පාපතර තත්වයේ නැවත කිසිදා හිර නොවී, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වීමට ලැබීම මොනතරම් ප්‍රීතියක් වේවිද!—ගීතාවලිය 37:29

දෙවි පොරොන්දු වී ඇති ආශීර්වාද පිළිබඳව තවදුරටත් ඉගෙනගන්න ඔබ සතුටුද? එසේනම්, ඔබ කුමක් කළ යුතුද? යේසු ප්‍රකාශ කළේ මේ විදිහටයි: “මින් සදාකාල ජීවනය අදහස් කෙරේ; එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) එසේනම්, යේසුස් තම ගෝලයන්ට පොරොන්දු වූ නිදහස අද්දකින්ට ඔබට අවශ්‍ය නම්, ඔබ යෙහෝවා දෙවි හා ඔහුගේ පුත්‍රයා පිළිබඳව ඉගෙනගත යුතුයි. ඔබ දෙව්ගේ කැමැත්ත කුමක්ද කියා දැනගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුයි; ඇයි කිව්වොත් බයිබලය මෙහෙම ප්‍රකාශ කරන නිසයි: “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17.

[පාදසටහන]

a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.

[7වන පිටුවේ පින්තූරය]

දේවරාජ්‍යය යටතේ, මනුෂ්‍යවර්ගයා අවසානයේදී පාපයෙන් හා මරණයෙන් නිදහස් වනු ඇත

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න