රුමේනියාවෙදියි මං බයිබල් සත්‍යය ඉගෙනගත්තේ
ගෝල්ඩි රෝමෝෂින් පැවසූ පරිදි
අවුරුදු 50කට විතර පස්සේ මුල් වතාවට මං මගේ පවුලේ නෑදෑයන්ව බලන්න 1970දී රුමේනියාවට ගියා. එහෙ හිටිය සෙනඟ පීඩාකාරි කොමියුනිස්ට් රෙජිමේන්තුවක් යටතේ සිටි අතර, මං කතා කරන දේවල් ගැන පරෙස්සම් වෙන්න, මට නිතරම අනතුරු ඇඟෙව්වා. ඊටපස්සේ, මං ගමේ තියෙන ආණ්ඩුවේ කාර්යාලයකට ගියාම, රටෙන් වහාම පිට වෙලා යන්න කියල ඒකෙ හිටපු නිලධාරියෙක් මට තදින්ම කියා සිටියා. ඒ ඇයි කියල පැහැදිලි කරන්න කලින්, රුමේනියාවේදී මං බයිබල් සත්‍යය ඉගෙනගත්තේ කොහොමද කියල කියන්නම්.
වර්ෂ 1903, මාර්තු 3වෙනිදා මං උපන්නේ, වයඹදිග රුමේනියාවේ සාලව් කියන ටවුමට ආසන්න ඕටෙල්ලෙක් කියන ගම්මානයේදීයි. අපි ජීවත් වුණේ හරිම සුන්දර පෙදෙසකයි. වතුර හරිම පිරිසිදුයි, වාතයත් ඒ වගේමයි. අපේ ආහාර අපිම වගා කරගත්තා; ද්‍රව්‍යමය අතින් කිසිම අඩුවක් තිබුණේ නැහැ. මං පුංචි කාලෙදී, රටේ සාමය තිබුණා.
සෙනඟ බොහොම භක්තිමත්. ඇත්තෙන්ම අපේ පවුලෙ අය විවිධ ආගම් තුනකට අයිති වෙලයි හිටියේ. මගේ එක ආච්චියෙක් ඒ කියන්නේ තාත්තගේ අම්මා ඕ’තඩොක්ස් කතෝලික සහ අනිත් ආච්චි ඇඩ්වෙන්ටිස්ට්; මගේ දෙමාපියෝ බැප්ටිස්ට්. මේ කිසිම ආගමක් එක්ක මං එකඟ වුණේ නැති හින්දා, මගේ පවුලේ අය කිව්වේ, මං දෙවිකෙනෙක් අදහන්නේ නැති කෙනෙක් වෙයි කියලයි. මං මෙහෙම හිතුවා: ‘ඉන්නේ එක දෙවිකෙනයි නම්, තියෙන්න ඕනෙ එක ආගමක් විතරයි—එක පවුලේ ආගම් තුනක් තියෙන්න බැහැ.’
ආගම තුළ මං දැකපු දේවල් මගෙ ඔළුව අවුල් කළා. උදාහරණයක් හැටියට, පල්ලියේ බදු එකතු කරන්න පූජකයා ගෙයක් ගෙයක් පාසා ඇවිද්දා. යම් විදිහකින් මිනිස්සුන්ට දෙන්න සල්ලි තිබුණේ නැත්තං, ඒ වෙනුවට ඒගොල්ලන්ට තිබුණු හොඳම ලොම් බ්ලැන්කට්ටුව ඔහු අරං ගියා. කතෝලික පල්ලියේදී, ආච්චි දණ ගහගෙන මරියගේ පින්තූරයකට යාච්ඤා කරනවා මං බලං හිටියා. ‘මොනවටද පින්තූරයකට යාච්ඤා කරන්නේ’ කියලා මං කල්පනා කෙරුවා.
කලබලකාරි කාලයන්
ණයක් පියවන්න තිබුණු හින්දා, තාත්තා 1912දී සල්ලි හම්බ කරන්න එක්සත් ජනපදයට ගියා. වැඩි කාලයක් ගත වෙන්න කලින් යුද්දේ පටන්ගත්ත හින්දා ගැහැනුන්, ළමුන් සහ මහලු පුරුෂයන් හැර ගමේ හිටපු අනිත් පුරුෂයන් යුද්දෙට ගියා. අපේ ගම ටික කාලෙකට හංගේරියානු පාලනය යටතට වැටුණත්, රුමේනියානු සොල්දාදුවෝ ඇවිත්, ගම ආයෙත් ඔවුන් යටතට ගත්තා. වහාම පිටත් වෙලා යන්න කියල ඔවුන් අපිට අණ කෙරුවා. කොහොම හරි, ඒ මොහොතේ තිබුණු වියවුල් ගතිය සහ කඩිමුඩිය හින්දා බඩුමුට්ටු ටික පොදි බැඳගෙන ඒවයි, පුංචි එවුන්වයි ගොං කරත්තෙට දැම්මට පස්සේ, ඒගොල්ලන්ට මාව මඟ හැරුණා. මොකද ළමයි පස්දෙනෙක් ඉන්න පවුලේ වැඩිමලා මමනෙ.
ළඟපාත ගෙදරක, නොගිහිං නැවතිලා උන්නු වයසක මනුස්සයෙක් ගාවට මම දුවල ගියා. එතකොට එයා මට මෙහෙම කිව්වා: “ගෙදර යන්න. දොරට අගුල් දාගන්න. කාටවත් ඇතුලට එන්න දෙන්න එපා.” මම ඉක්මනින්ම ඒකට කීකරු වුණා. මම ගෙදර ගිහිල්ල කඩිමුඩිය නිසා දාල ගිය කුකුල් සුප් එකකුයි මස් පිරවූ තම්බපු ගෝවා කොළයි කාලා, ඇඳ ළඟ දණ ගහල යාච්ඤා කෙරුවා. ඉක්මනින්ම මට හොඳටම නින්ද ගියා.
මම ඇස් ඇරල බලනකොට එළි වෙලා. මම මෙහෙම කිව්වා: “ඔබට බොහොම ස්තුතියි දෙවියනි! මම තාමත් ජීවතුන් අතරේ!” මුළු රාත්‍රිය පුරාම වෙඩි හුවමාරු වෙලා තිබුණු හින්දා බිත්තිය පුරාම වෙඩි උණ්ඩවලින් හිල් හැදිලා. මං අල්ලපු ගමේ ඒගොල්ලො එක්ක නැහැයි කියල අම්මා දැනගත්තම, තරුණ ෂුර්ෂ් රෝමෝෂින්ව එවල තිබුණ; ඔහු මාව හොයාගෙන එහාට ගෙනිච්චා. වැඩි කාලයක් යන්න කලින් අපි ආයෙත් අපේ ගමට ඇවිත් එහෙ පදිංචි වෙන්න පටන්ගත්තා.
බයිබල් සත්‍යය පිළිබඳ මගේ ආශාව
මාව බැප්ටිස්ට් කෙනෙක් හැටියට බව්තීස්ම කරන්න මගෙ අම්මට ඕනෙ කලත් මට එහෙම ඕනෙකමක් නොතිබුණෙ, ඔච්චර ආදරණීය දෙවිකෙනෙක් නිරයක සදාකාලයටම මිනිසුන්ව පුච්චනවයි කියන එක මට අදහගන්න බැරි වුණ හින්දයි. ඒක තේරුම් කරන්න උත්සාහ කරමින් අම්මා මෙහෙම කිව්වා: “හැබැයි ඒගොල්ලො නරක අය නං.” එතකොට මං කිව්වා: “ඒගොල්ලො නරක නං, ඒගොල්ලන්ව විනාශ කරල දාන්න, ඒත් වද දෙන්න ඕන්නෑනෙ; මමනං බල්ලෙකුට තියා පූසෙකුටවත් වද දෙන්නෙ නැහැ.”
මට වයස අවුරුදු 14දී, වසන්තයේ ලස්සන දවසක අම්මා මාව එළදෙනුන් බලාගන්න තණ බිමට යැව්වා මට මතකයි. පිටුපසින් වනරොදත් පැත්තකින් ගංගාවත් ඇති තැනක තණකොළ උඩ වැතිරිලා අහස දිහා බලාගෙන මම මෙහෙම කිව්වා: “දෙවියනි, මං දන්නවා ඔබ ඉන්නවා කියලා; ඒත් මං කිසිම ආගමකට කැමති නැහැ. ඔයාට එක හොඳ ආගමක් තියෙන්න ඕනෙ.”
වර්ෂ 1917 එම ගිම්හානේදීම, බයිබල් ශිෂ්‍යයන් (යෙහෝවාගේ සාක්ෂිකාරයන් ලෙස දැන් හඳුන්වන) දෙදෙනෙක් අපේ ගමට පැමිණි නිසා, දෙවි මගේ යාච්ඤාවට ඇහුම්කන් දුන් බව මං ඇත්තටම විශ්වාස කරනවා. ඔවුන් කෝල්පෝට’වරු නැත්නම් පූර්ණ කාලීන දේවසේවකයන් වූ අතර, දේවමෙහෙය පවත්වන අතරේදී, ඔවුන් බැප්ටිස්ට් පල්ලියට ආවා.
රුමේනියාවේ බයිබල් සත්‍යය පැතිරෙයි
අවුරුදු කිහිපයකට පසුව, ඒ කියන්නේ 1911දී, එක්සත් ජනපදයෙහි බයිබල් ශිෂ්‍යයන් බවට පත් වූ කාරෝල් සාබෝ සහ යොසිෆ් කිස්, බයිබල් සත්‍යය රුමේනියාවට හඳුන්වා දීමට පැමිණියා. අපේ ගමට ගිනිකොණින් කිලෝමීටර් 160කට ටිකක් ඈතක පිහිටි ටීර්ගු මුරේෂ්වල ඔවුන් පදිංචි වුණා. අවුරුදු කිහිපයක් තුළදී, ඇත්තෙන්ම සිය ගණන් මනුෂ්‍යයන් රාජ්‍ය පණිවිඩයට ප්‍රතිචාරය දක්වා ක්‍රිස්තියානි දේවසේවය වැලඳගත්තා.—මතෙව් 24:14.
ඉතිං, ඕටෙල්ලෙක් කියන අපේ ගමේ බැප්ටිස්ට් පල්ලියට තරුණ බයිබල් ශිෂ්‍යයන් දෙදෙනා එද්දී, වයස අවුරුදු 18ක්ව සිටියත් ෂුර්ෂ් රෝමෝෂින් දේවමෙහෙය පවත්වමින් සිටියා. ඒ මොහොතේ රෝම 12වන පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය පැහැදිලි කිරීමට ඔහු උත්සාහ කරමිනුයි හිටියේ. අන්තිමට, එක තරුණ කෝල්පෝට’වරයෙක් නැඟිටල මෙහෙම කිව්වා: “සහෝදරයෙනි, මිත්‍රයෙනි, ප්‍රේරිත පාවුල් මෙතන කියන්න උත්සාහ කරමින් ඉන්නේ මොකක්ද?”
මං ඒක අහද්දී තිගැස්සිලා හිටියා! මං මෙහෙම හිතුවා: ‘මේ මිනිස්සු නං දන්නවා ඇති බයිබලයේ මේ ගැන මොනවද කියන්නේ කියලා.’ එතන රැස්වෙලා හිටපු බොහෝදෙනෙක්, “උඹලා බොරු අනාගතවක්තෘවරු! අපි දන්නවා උඹලා කව්ද කියලා!” කියා කෑගැසුවා. ඒ එක්කම ගාලගෝට්ටියක් පටන්ගත්තා. ඒත් ෂුර්ෂ්ගෙ තාත්තා නැඟිටලා මෙහෙම කිව්වා: “ඔක්කොම වහගන්නවාලා කට! මොකද මේ අමුතු විදිහට හැසිරෙන්නේ—ඔහේල හරියට වෙරි වෙච්ච අය වගේනෙ. අපිට යමක් කියන්න මේ මිනිස්සුන්ට තියෙනවා නම්, ඒක අහන්න ඔහේලට ඕනෙ නැත්තං, මං ඒගොල්ලංව මගේ ගෙදරට ආරාධනා කරනවා. ඕනෙ කෙනෙක් ඉන්නවා නං, එන්න පුළුවන්.”
මං කලබලෙන් ගෙදර දුවං ගිහිල්ල වෙච්ච දේ අම්මට කිව්වා. මමත් රෝමෝෂින්ගේ ගෙදරට කළ ආරාධනය පිළිගත් අයගෙන් කෙනෙක්. එදා සවස, ගිනිමය නිරයක් නැති බව බයිබලයෙන් දැනගන්නත්, මගේම රුමේනියානු බයිබලයෙන් දෙවිගේ නම යෙහෝවා බව දැනගන්නත් ලැබීමෙන් මං මොනතරං කුල්මත් වුණාද! මෙම කෝල්පෝට’වරු, රෝමෝෂින්ගේ ගෙදරදී සෑම ඉරිදාවකම අපට බයිබලය උගන්වන්න බයිබල් ශිෂ්‍යයෙකු එවන්න සැලසුම් කළා. ඊළඟ ගිම්හානයේ, මට වයස අවුරුදු 15දී, යෙහෝවාට මගේ කැපවීමේ සංකේතයක් හැටියට බව්තීස්ම වුණා.
කාලයාගේ ඇවෑමෙන්, ප්රෝඩන් පවුලේ නෑදෑයන් සියලුදෙනාම වාගේ සහ රෝමෝෂින් පවුල බයිබල් සත්‍යතාවන් පිළිගෙන ඔවුන්ගේ ජීවිත යෙහෝවාට කැප කළා. අපේ ගමේ බොහෝදෙනෙකුත් එසේ කළ අතර, කලින් බැප්ටිස්ට් පල්ලිය හැටියට පාවිච්චි කළ නිවස අයිති තරුණ යුවළද ඊට අයත් වුණා. පසුව එය බයිබල් ශිෂ්‍යයන් පාඩම් සඳහා රැස්වෙන ස්ථානයක් බවට හැරෙව්වා. ශුද්ධ ලියවිලි සත්‍යය අසල ගංනියංවල ශීඝ්‍රයෙන් පැතිරිලා ගිහිං, 1920 වෙනකොට රුමේනියාවේ රාජ්‍ය ප්‍රචාරකයන් 1,800ක් විතර හිටියා!
එක්සත් ජනපදයට
අපි ඉගෙනගත් දේවල් මගේ තාත්තා වන පාට’ ප්රෝඩන් එක්ක බෙදාගන්න විශාල ඕනෑකමකින් හිටියා. නමුත් පුදුමසහගත විදිහට, අපි ඔහුට ලියන්නත් කලින්, ඔහු යෙහෝවාගේ බව්තීස්ම ලත් සේවකයෙක් වුණා කියලා ඔහුගෙන් ලියුමක් ආවා. ඔහායෝ, එක්‍රොන්හි බයිබල් ශිෂ්‍යයන් සමඟ ඔහු බයිබලය පාඩම් කර තිබූ අතර, ඔහු සමඟ එක්සත් ජනපදයට අපව ගෙන යාමට ඔහුට ඕනෙ වුණා. කොහොමවුණත්, රුමේනියාව දාල යන එක අම්මා ප්‍රතික්ෂේප කළා. ඉතිං 1921දී, තාත්තා මට එවපු සල්ලිවලින් මං එක්‍රොන්වල හිටිය තාත්තා ගාවට ගියා. ෂුර්ෂ් රෝමෝෂින් සහ ඔහුගේ අයියා ඊට අවුරුද්දකට කලින් ජනපදයට ගිහිං තිබුණා.
මං නියූ යෝක්හි එල’ස් දූපතට නැවෙන් ආවහම, එතන හිටි ආගමන විගමන නිලධාරියාට මගේ නම වන ඔරෙල්යා ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න බැරුව ගිය හින්දා “ඔයා ගෝල්ඩි” කියල මට කිව්වා. එදා ඉඳලා මගේ නම වුණේ ඒකයි. ඉන් ටික කාලෙකට පස්සේ, 1921, මැයි 1වෙනිදා මම ෂුර්ෂ් රෝමෝෂින් එක්ක විවාහ වුණා. අවුරුද්දකට විතර පස්සේ, තාත්තා රුමේනියාවට ගිහිල්ලා, 1925දී මගේ නංගි, මේරිව එක්රොන්වලට එක්කං ආවා. ඊටපස්සේ, අම්මා සහ පවුලේ අනිත් අය එක්ක ජීවත් වෙන්න තාත්තා ආයෙත් රුමේනියාවට ගියා.
ජනපදයේ අපේ මුල් දේවසේවය
ෂුර්ෂ් ඉතා පක්ෂපාත, භක්තිවන්ත යෙහෝවාගේ සේවකයෙක්. වර්ෂ 1922ත් 1932ත් අතර කාලය තුළදී ඉතා ලස්සන දූවරු හතරදෙනෙකු ලැබීමෙන් අපි ආශීර්වාද ලැබුවා—ඔවුන් තමයි එස්ත’, ඈන්, ගෝල්ඩි එළිසබෙත් සහ අයිරීන්. එක්‍රොන්හි රුමේනියානු සභාවක් පිහිටෙවූ අතර, මුලින්ම රැස්වීම් පැවැත්වූයේ අපේ ගෙදරයි. පසුකාලයකදී, නියූ යෝක්, බෘක්ලින්හි බයිබල් ශිෂ්‍යයන්ගේ ලෝක මූලස්ථානයේ සාමාජිකයෙක් සෑම හය මසකට වතාවක්ම අපේ සභාවට ආවහම නැවතුණේ අපි එක්කයි.
බොහෝ ඉරිදා දවස්වල, මුළු දවසම අපි දේශනා වැඩය වෙනුවෙන් කැප කළා. අපි අපේ දේශනා මලු පුරවාගෙන දවල් කෑමත් අරගෙන, කෙල්ලන්ව අපේ මොඩ්ල් ටී ෆෝඩ් රථයේ දාගෙන මුළු දවසම පිටිසර ප්‍රදේශයක ගත කළා. ඊටපස්සේ සන්ධ්‍යාවේදී, අපි මුරටැඹ පාඩමට සහභාගි වුණා. අපේ ගැහැනු ළමුන් ටික දේශනා කිරීමේ වැඩයට ආශා කරන්න පටන්ගත්තා. වර්ෂ 1931දී, බයිබල් ශිෂ්‍යයෝ, යෙහෝවාගේ සාක්ෂිකාරයෝ යන තමන්ගේ විශිෂ්ට නාමය ඈඳාගනිද්දී, ඔහායෝ, කොලම්බස්වල මාත් හිටියා.
මට අවශ්‍ය කළ නිවැරදි කිරීම
අවුරුදු කිහිපයකට පස්සේ, ද වොච්ටව’ බයිබල් ඈන්ඩ් ට්‍රැක්ට් සොසයටිහි එවකට සභාපතිව සිටි ජෝසෆ් එෆ්. රද’ෆඩ් එක්ක මට තරහ ගියා. අලුත් ප්‍රචාරකයෙක් සහෝදර රද’ෆඩ් ගාවට ගිය වෙලේ ඔහුට ඇහුම්කන් නොදීම නිසා ඔහු සමඟ ක්‍රියා කරල තියෙන්නේ අසාධාරණ විදිහට කියලයි ඔහුට හැඟුණේ. සහෝදර රද’ෆඩ් වැරදියි කියල මට හිතුණා. ඉතිං, එක ඉරිදාවක මගේ සහෝදරී වන මේරි සහ ඇගේ පුරුෂයා වන ඩෑන් පෙස්ටෲ අපිව බලන්න ආවා. දවල් කෑමෙන් පස්සේ “රැස්වීමට යන්න අපි ලෑස්ති වෙමු” කියල ඩෑන් කිව්වා.
“අපි ආයෙ රැස්වීම්වලට යන්නේ නැහැ” කියල මම කිව්වා. “සහෝදර රද’ෆඩ් එක්ක හරිම තරහිනුයි අපි ඉන්නේ.”
ඩෑන් ඔහුගේ අත්දෙක පිටිපස්සට තියල බැඳගෙන, මෙහෙම කිව්වා: “ඔයා බව්තීස්ම වුණු දවසේදි සහෝදර රද’ෆඩ්ව දැනං හිටියද?”
“ඇත්තෙන්ම නැහැ, ඔයා දන්නවානෙ මං බව්තීස්ම වුණේ රුමේනියාවේදී කියලා,” මං උත්තර දුන්නා.
“ඇයි ඔයා බව්තීස්ම වුණේ” එයා මගෙන් ඇහුවා.
“යෙහෝවා සැබෑ දෙවි බව ඉගෙනගත්තු හින්දත්, ඔහුට සේවය කරන්න මගේ ජීවිතය කැප කරන්න මට ඕනෙ වුණ හින්දත්,” කියල මං උත්තර දුන්නා.
“කවදාවත් ඒක අමතක කරන්න එපා. සහෝදර රද’ෆඩ් සත්‍යය අතහැරල ගියොත් ඔයත් අතහරිනවාද?”
“කවදාවත්, කවදාවත් එහෙම කරන්නේ නැහැ” කියල මං කිව්වා. මට පියවි සිහිය ආවෙ එතකොටයි. ඒ එක්කම මම මෙහෙම කිව්වා: “ඔක්කමල්ලම රැස්වීම් යන්න ලෑස්ති වෙන්න.” එදා ඉඳං අපි නැවතුණේ නැහැ. මගේ මස්සිනාගේ ප්‍රේමනීය නිවැරදි කිරීම ගැන මම යෙහෝවාට මොනතරම් කෘතඥපූර්වක වෙනවාද!
පරිහානි සමයේදී රැකීම
වර්ෂ 1930 ගණන්වල පරිහානි සමය, අසීරු කාලයක් වුණා. දවසක් ෂුර්ෂ් බලාපොරොත්තු කඩ වී මැළවුණු මුහුණෙන් ගෙදර ආවෙ, රබර් කම්හලේ රස්සාවෙන් තමාව අස් කළ බව කියමිනුයි. මම ඔහුට මෙහෙම කිව්වා: “කරදර වෙන්නෙපා, අපිට ස්වර්ගයේ පොහොසත් පියෙක් ඉන්නවානෙ, එයා අපිව අතහරින්නෑ.”
එදාම, ලොකු හතු කූඩයක් රැගත් යාළුවෙක්ව ෂුර්ෂ්ට මුණ ගැහුණා. ඔහුගේ යාළුවා හතු ගෙනාවේ කොහෙන්ද කියලා දැනගත්තාම, ෂුර්ෂ් ගෙදර ආවේ හතු බුසලකුත් අරගෙනයි. ඊටපස්සේ, ඔහු අප සතුව තිබුණු අන්තිම ඩොලර් තුනත් හතු අසුරන මලු ගන්න වියදම් කළා. “කිරි බොන්න දෙන්න ඕනෙ කරන පුංචි කෙල්ලෝ ඉන්දැද්දී ඇයි මේ විදිහට සල්ලි වියදං කරන්නේ” කියල මං ඇහැව්වා.
“කමක් නැහැ, මං කියන විදිහට කරන්නකෝ,” එයා මට කිව්වා. ඊළඟ සති කිහිපය පුරා, පිරිසිදු කරලා අහුරන පුංචි හතු කම්හලක් අපේ ගෙදර ක්‍රියාත්මක වෙමින් තිබුණා. අපි ඒවා හොඳ ආපනශාලාවලට විකුණලා දවසකට ඩොලර් 30ක් 40ක් ගෙදර ගෙනාවා. ඒ කාලෙදි ඒක ලොකු මුදලක්. ඔහුගේ තණබිමෙන් හතු කඩාගන්න දුන්නු ගොවියා කිව්වේ, ඔහු අවුරුදු 25ක් එහි ජීවත් වුණත් මෙච්චර හතු කිසි දවසක දැකල නැහැයි කියලයි. වැඩිකාලයක් යන්න ඉස්සර, රබර් කම්හල ෂුර්ෂ්ව ආයෙ වැඩට කැඳෙව්වා.
අපේ ඇදහිල්ල පවත්වාගැනීම
වර්ෂ 1943දී අපි කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස්වලට ගිහිල්ලා, අවුරුදු හතරකට පස්සේ එල්සනෝ’හි පදිංචි වුණා. අපි එහි සිල්ලර කඩයක් පටන් අරගෙන පවුලේ අය මාරුවෙන් මාරුවට ඒකෙ වැඩ කළා. එවකට එල්සනෝ’ මිනිසුන් 2,000ක් විතර හිටපු පුංචි ටවුමක් වූ අතර, අපේ ක්‍රිස්තියානි රැස්වීම් සඳහා තව කිලෝමීටර් 30ක් එහායින් ඇති වෙනත් ටවුමකට ගමන් කරන්න සිදු වුණා. වර්ෂ 1950දී එල්සනෝ’හි පුංචි සභාවක් හැදුණාම මම කොච්චර සතුටු වුණාද! දැන් මේ ප්‍රදේශයේම සභාවන් 13ක් තියෙනවා.
වර්ෂ 1950දී අපේ දුව වන ගෝල්ඩි එළිසබෙත් (බොහෝදෙනා දැන් ඇයව හඳුනන්නේ බෙත් ලෙස) නියූ යෝක් දකුණු ලැන්සිංවලදී, වොච්ටව’ බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි උපාධි ලබා මිෂනාරිවරියක හැටියට වෙනිසුවේලාවට පැවරුම් ලැබුවා. වර්ෂ 1955දී අපේ බාල දූ අයිරීන්ගේ ස්වාමිපුරුෂයාට, චාරිකා වැඩයෙහි සංචාරක දේවසේවකයෙක් ලෙස සේවය කරන්න ආරාධනා ලැබීමෙන් ඇය සතුටු වුණා. ඊටපසු 1961දී, නියූ යෝක් දකුණු ලැන්සිංවල පවත්වපු රාජ්‍ය සේවා පාසැලට සහභාගි වුණාට පස්සේ, ඔවුන්ව තායිලන්තයට යැව්වා. සමහර වෙලාවට මට මගේ දූවරු නැති පාළුව දැනිලා ඇඬුවත්, ‘මට ඕනෙ වුණේ ඒගොල්ලො ඒ දේ තුළ යෙදීමයි’ කියා මං සිතුවා. ඊටපස්සේ මම මගේ දේශනා මල්ලත් අරගෙන දේශනා කිරීමේ වැඩයට ගියා. මම කොයිවෙලේත් ගෙදර ආවේ සතුටින්.
වර්ෂ 1966දී, මගේ පෙම්බර සැමියා වන ෂුර්ෂ්ට හදිසි හෘදයාබාධයක් ඇති වුණා. සෞඛ්‍ය ගැටලු නිසා වෙනිසුවේලාවෙන් පැමිණ සිටි බෙත්, ඔහුව බලාගන්න උදව් කළා. ඊළඟ අවුරුද්දේදී ෂුර්ෂ් මියගියත් යෙහෝවාට විශ්වාසවන්තව සිට ඔහුගේ ස්වර්ගීය ත්‍යාගය ලැබීම හේතුවෙන් මම අස්වැසුණා. ඊටපස්සේ, බෙත්, රාජ්‍ය දේශනාකරුවන්ගේ අවශ්‍යතාව වැඩි ස්පාඤ්ඤයේ සේවය කිරීමට ගියා. මගේ වැඩිමහල් දූ එස්ත’ 1977දී පිළිකාව හේතුවෙනුත්, ඈන් 1984දී ලියුකේමියාව හේතුවෙනුත් මියගියා. ඔවුන් දෙදෙනාම ජීවිත කාලය පුරාම යෙහෝවාට විශ්වාසවන්ත සේවිකාවන්ව හිටියා.
ඈන්ගේ මරණය සිදු වෙද්දී බෙත් සහ අයිරීන් තමන්ගේ විදේශීය දේශනා කිරීමේ පැවරුම්වලින් පැමිණ සිටියා. ඔවුන් ඔවුන්ගේ සහෝදරියන්ව බලාගන්න උපකාර කළ අතර, අපි ඔක්කොමල්ලා හරියට දුක් වුණා. ටික කාලෙකට පස්සේ මම මගේ කෙල්ලන්ට මෙහෙම කිව්වා: “හරි, දැං ඇති! අපි අනිත් අයව අගනා බයිබල් පොරොන්දුවලින් සනසලා තියෙනවා. දැන් අපි අපිවම සනසගන්න ඉඩහරින්න ඕනෙ. සාතන්ට ඕනෙ යෙහෝවාට සේවය කිරීම තුළ තියෙන අපේ ප්‍රීතිය අපෙන් හොරකං කරන්න; ඒත් ඒකට ඉඩ දෙන්න බෑ”.
රුමේනියාවේ සිටි අපේ විශ්වාසවන්ත පවුල
මගේ නංගි වන මේරි සහ මම අපේ පවුලේ අයව බලන්න රුමේනියාවට, ඒ අමතක නොවන ගමන ගියේ 1970දීයි. අපේ එක සහෝදරියෙක් මියගිහිං සිටි අතර, ඒ වන විටත් ඕටෙල්ලෙක්හි ජීවත්ව සිටි අපේ මල්ලි, ජෝන්ව සහ නංගි, ලොඩෝවීකාව දැකබලා ගන්න හැකි වුණා. අපි එහෙ යනකොට, තාත්තයි අම්මයි යෙහෝවාට විශ්වාසවන්තව ඉඳලා මියගිහින්. තාත්තා සභාවේ කණුවක්ව සිටියා කියලා බොහෝදෙනෙක් කිව්වා. රුමේනියාවේ සිටින ඔහුගේ මුනුපුරු මිනිපිරියන්ගේ ළමයි සමහරෙක්, දැන් සාක්ෂිකාරයෝ. බයිබල් සත්‍යය තුළ නිර්භීතකම රැකගත් මගේ පුරුෂයාගේ පැත්තේ නෑදෑයෝ බොහෝදෙනෙක්ව බැහැදකින්න අපි ගියා.
වර්ෂ 1970දී, රුමේනියාව කෲර කොමියුනිස්ට් අධිපතියෙක් වූ නිකොලායි චව්ෂෙස්කු යටතේ වූ අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දුෂ්ට ලෙස පීඩා කළා. මගේ මල්ලි, ජෝන්ගේ පුත් ෆ්ලෝරෙ සහ මගේ අනිත් නෑදෑයන් ඔවුන්ගේ ක්‍රිස්තියානි ඇදහිල්ල නිසා වධක කඳවුරුවල අවුරුදු ගණනාවක් ගත කළා. මගේ පුරුෂයාගේ ළඟම ඥාතියෙක් වූ ගැබෝර් රෝමෝෂිනුත් එසේ කර තිබුණා. නියූ යෝක්හි පිහිටි යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ මූලස්ථානයට ලිපි යැවීමට විශ්වාසයෙන් යුතුව අපට භාර කළාට පස්සේ, අපි රටින් පැනගත්ත බව දැනගන්නකං, ඔවුන් අපි ගැන කරදර වෙමින් හිටියයි කියල රුමේනියානු සහෝදරයන් අපිට කිව්ව එක පුදුමයක් නෙමේ!
අපේ වීසා බලපත්‍රවල දින පැනල කියල දැනගත්තම, ඕටෙල්ලෙක්වල තිබුණු ආණ්ඩුවේ කාර්යාලයකට අපි ගියා. එදා සිකුරාදා දහවලක් වූ අතර, රාජකාරියේ යෙදිල හිටියේ එක නිලධාරියෙක් විතරයි. අපි බැහැදකින්න ගිහිල්ලා තිබුණේ කාවද කියලත්, අපේ ඥාති සහෝදරයා වධක කඳවුරේ සිටි බවත් දැනගත්තට පස්සේ ඔහු මෙහෙම කිව්වා: “නෝනලා, මෙහෙං ඉක්මනින් පිටත් වෙන්න.”
“ඒත් අද යන්න කෝච්චියක් නෑනෙ,” මගේ නංගි උත්තර දුන්නා.
“ඒකට කමක් නෑ; බස් එකේ, කෝච්චියේ, ටැක්සියේ බැරිනං පයිං හරි යන්න; පුළුවන් තරං ඉක්මනින් මෙහෙං පැනගන්න!” ඔහු කලබලෙන් කියා සිටියා.
අපි යන අතරමඟදී අඬගහල, රහසිගත හමුදා කෝච්චියක් සවස 6ට මෙහි ළඟා වෙන බව දැන්නුවා. ඒක මොනතරම් භාග්‍යයක් වුණාද! සාමාන්‍ය කෝච්චියක් නම් නිතර නිතර අපේ ලියකියවිලි පරීක්ෂා කරනවා, ඒත් මේකෙ ගමන් ගත්තේ හමුදා කාර්යමණ්ඩලය නිසාත්, එහි සිටි එකම සාමාන්‍ය වැසියන් දෙදෙනා අපි වූ නිසාත්, කිසි කෙනෙක් අපේ විදේශ ගමන් බලපත්‍ර බැලුවේ නැහැ. ඒගොල්ලො හිතන්න ඇති අපි සමහර නිලධාරින්ගේ ආච්චිලා කියලා.
ඊළඟ දවසේ උදේ අපි තිමිසොආරා වෙත පැමිණියා. නෑදෑයෙකුගේ මිතුරෙක් මාර්ගයෙන් අපේ වීසා බලපත්‍ර ලබාගන්න හැකි වුණා. ඊළඟ දවසේදී අපි රටෙන් පිට වුණා. රුමේනියාවේ සිටින අපේ සහෝදර සහෝදරියන්ගේ අමතක නොවන සොඳුරු මතකයන් ගොඩක් අපි අරං ආවා.
රුමේනියාවට අපි ගිය ගමනින් ටික කලකට පස්සේ, ඉතා දැඩි පාලනය තුළ දේශනා කිරීමේ වැඩය ගැන කරුණු ටිකක් දැනගන්න ලැබුණා. මොන තත්වයන් යටතේ වුණත්, අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් අපේ දෙවිට පක්ෂපාතව සිටින බවට අපි විශ්වාසයෙන් සිටියා. ස්ථිරවම ඔවුන් එසේ කළා! වර්ෂ 1990 අප්‍රියෙල්වලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නීත්‍යනුකූල ආගමික සංවිධානයක් ලෙස හඳුන්වනු ලැබූ බව දැනගැනීමට ලැබීම මොනතරම් සතුටට කරුණක් වුණාද! ඊළඟ ගිම්හානයේ රුමේනියාවේ පැවැත්වූ සමුළු පිළිබඳ වාර්තා ඇසීමෙන් අපි මහත් සන්තෝෂයක් භුක්ති වින්දා. ඒකට හේතුව නම්, නගර 8ක, 34,000දෙනෙක් රැස් වෙලා 2,260ක් බව්තීස්ම වී තිබුණා. දැන් 35,000කට වැඩි පිරිසක් රුමේනියාවේ දේශනා කිරීමේ වැඩයෙහි හවුල් වන අතර, ක්රිස්තුගේ මරණය සිහි කිරීම සඳහා ගිය අවුරුද්දේදී 86,034දෙනෙක් සහභාගි වී සිටියා.
මට තවමත් අගනා සත්‍යය
සිහි කිරීමේදී එහි සංකේත ගැනීමේ හවුල් වීම අවුරුදු කිහිපයකට මම නතර කර තිබුණා. වඩා සුදුසුකම් තියෙන සහෝදරයන් සංකේත ගැනීමේ හවුල් නොවන බව මම නිරීක්ෂණය කළ අතර, මම මටම මෙහෙම කියාගත්තා: ‘අනිත් අය නිපුණ කථිකයන්ව ඉඳිද්දී, ඔහුගේ පුත්‍රයා සමඟ ස්වර්ගීය හවුල් උරුමක්කාරයෙක් විදිහට ඉන්න යෙහෝවා මට වරප්‍රසාද ලබා දීල තියෙන්නේ කොහොමද?’ එහෙත් මම එහි සහභාගි නොවන විටදී මට මහ අපහසුකමක් දැනුණා. මම යම් දෙයක් ප්‍රතික්ෂේප කරනවා වගෙයි හැඟුණේ. බොහෝ අධ්‍යයන සහ යාච්ඤාපූර්වක කන්නලව්වලින් පසුව, එහි යළි සහභාගි වුණා. මගේ සාමය සහ ප්‍රීතිය නැවත පැමිණි අතර, එය කිසිදාක මාව අතහැර ගියේ නැහැ.
මට දැන් කියවන්න තරම් පෙනීමක් නැති වුණත්, බයිබලය, මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල ශ්‍රව්‍ය කැසට්පටවලට මම ඇහුම්කන් දෙනවා. මම තවමත් දේශනා වැඩයෙහි හවුල් වෙනවා. සෑම මාසයකම මම සාමාන්‍යයෙන් සඟරා 60ත් 100ත් අතර ගණනක් බෙදාහරිනවා. පසුගිය අප්‍රියෙල් මාසයේ පිබිදෙව්! සඟරාව සමඟ විශේෂ සඟරා බෙදාහැරීමේ ප්රයත්නයේදී මම සඟරා 323ක් බෙදා දුන්නා. මගේ දූවරුන්ගේ උපකාරය ඇතුව මට දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කොටස් ඉදිරිපත් කරන්නත් හැකි වෙලා තියෙනවා. අනිත් අයව නොකඩවා දිරිගැන්වීමට තවමත් හැකිවීම ගැන මම සතුටු වෙනවා. රාජ්‍ය ශාලාවේ ඉන්න හැමදෙනාම වගේ මට කතා කරන්නේ ආච්චි කියලයි.
අවුරුදු 79කට වැඩි කාලයක් තිස්සේ යෙහෝවාට කැප වූ මගේ සේවය දිහා ආපසු හැරී බලද්දී, ඔහුගේ සේවය තුළ මගේ ජීවිතය යෙදවීම සඳහා ඔහුගේ අගනා සත්‍යය දැනගැනීමට මට අවසර දීම ගැන මම සෑමදාම යෙහෝවාට ස්තූති කරනවා. මෙම අන්තිම දවස්වලදී දෙවිගේ බැටළු ගුණැති මනුෂ්‍යයන්ව ඒකරාශි කිරීමේ වැඩය ගැන පුරෝකථනය කර ඇති පුදුමාකාර අනාවැකි ඉටුවීම දැකීම සඳහා ජීවත්වීමට හැකිවීම ගැන මම බොහෝ සේ කෘතඥපූර්වක වෙනවා.—යෙසායා 60:22; සෙකරියා 8:23.
[23වන පිටුවේ පින්තූරය]
මගේ නංගි මේරි සහ තාත්තා හිටගෙන; මම, ෂුර්ෂ් සහ අපේ දූවරු වන එස්ත’ සහ ඈන්
[24වන පිටුවේ පින්තූරය]
මගේ දූවරු වන බෙත් සහ අයිරීන් සමඟ; අයිරීන්ගේ පුරුෂයා සහ ඔවුන්ගේ පුත්තු දෙන්නා; සියලුදෙනාම යෙහෝවාට පක්ෂපාතීව සේවය කරනවා