පවුල් ජීවිතය තුළ දේවසමාදානය ලුහුබඳින්න
“අහෝ ජාතීන්ගේ පවුල්, යෙහෝවාට දෙන්න. යෙහෝවාට මහිමය හා ශක්තිය දෙන්න.”—ගීතාවලිය 96:7, NW.
1. යෙහෝවා පවුල් ජීවිතයට දුන්නේ මොන වගේ ආරම්භයක්ද?
යෙහෝවා ආදම් සහ ඒවව විවාහය තුළ එක් කළ විට, ඔහු පවුල් ජීවිතයට සාමකාමී හා සන්තෝෂවත් ආරම්භයක් ලබා දුන්නා. ඇත්තවශයෙන්ම, ආදම් කොපමණ සන්තෝෂ වුණාද කිව්වොත්, මුලින්ම වාර්තා කර තිබෙන කාව්‍යයෙහි ඔහුගේ ප්‍රීතිය පළ කළේ මෙහෙමයි: “මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූයයි කියනුලබන්නී[ය].”—උත්පත්ති 2:23.
2. තම මානව දරුවන්ට සන්තෝෂය ගෙන දෙනවාට අමතරව, විවාහය සම්බන්ධයෙන් දෙවිගේ මනසේ තිබුණේ වෙන මොකක්ද?
2 මැවුම්කරු විවාහය හා පවුල් විධිවිධානය පිහිටෙවූ විට, ස්වකීය මානව දරුවන්ට නිකම්ම සන්තෝෂය ගෙනෙනවාට වඩා වැඩි යමක් ඔහුගේ මනසේ තිබුණා. ඔහුට වුවමනා වුණේ ඔවුන් ඔහුගේ කැමැත්ත කිරීමයි. දෙවි පළමු යුවළට මෙසේ පැවසුවා: “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න.” (උත්පත්ති 1:28) ඇත්තෙන්ම, මෙය විපාකදායී පැවරුමක්. පළමු විවාහක යුවළ කීකරුව, යෙහෝවාගේ කැමැත්ත කර තිබුණා නම්, ආදම්, ඒව හා ඔවුන්ගේ දරුවන්ට කොතරම් සන්තෝෂයෙන් ඉන්න තිබුණාද!
3. දෙවිට කැපවීමකින් ජීවත් වෙන්න නම්, පවුල්වලට අවශ්‍ය වන්නේ මොකක්ද?
3 එහෙත්, අදදින පවා, දෙවිගේ කැමැත්ත කිරීමට පවුල් සාමාජිකයන් එක්ව වැඩ කරන විට, ඔවුන් ප්‍රීතිමත්ම අය වෙනවා. ඒ වගේම එවන් කීකරු පවුල්වලට තිබෙන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ අනාගත අපේක්ෂාවන්ද! ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්රයෝජනවත්ය.” (1 තිමෝති 4:8) සැබෑ දේවභක්තික කැපවීම ඇතුව ජීවත් වන පවුල්, යෙහෝවාගේ වචනයේ ඇති ප්‍රතිපත්ති අනුගමනය කරන අතර, ඔහුගේ කැමැත්ත කරමින් සිටිනවා. ඔවුන් දේවසමාදානය ලුහුබඳින නිසා, “දැන් තිබෙන ජීවිතය” තුළ සන්තෝෂය අත් කරගන්නවා.
පවුල් ජීවිතය අනතුරේ
4, 5. ලොව පුරාම දැන් පවුල් ජීවිතය අනතුරේ කියලා පවසන්න පුළුවන් ඇයි?
4 සෑම පවුලකම සමාදානය හා සන්තෝෂය අපට දකින්ට ලැබෙන්නේ නැහැයි කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ජනගහන මණ්ඩලය යනුවෙන් හැඳින්වෙන ජන විකාශ විද්‍යා ආයතනයක් මගින් කළ අධ්‍යයනයක් පිළිබඳව සඳහන් කරමින්, ද නියූ යෝක් ටයිම්ස් ප්‍රකාශ කරන්නේ මෙහෙමයි: “ධනවත් මෙන්ම දිළිඳු රටවල පවුල් ජීවිතයේ ව්‍යූහය බලවත් වෙනස්වීම්වලට භාජන වෙමින් පවතී.” මේ පිළිබඳව අධ්‍යයනය කළ කර්තෘවරියක් පැවසූ දෙය මෙසේ වාර්තා වෙනවා: “පවුල කියන්නේ, පියා ආර්ථිකය සපයන්නෙක් හැටියටත්, මව චිත්තවේගීය සැලකිල්ල දක්වන්නියක් හැටියටත් සේවය කරන ස්ථිර හා ඒකාබද්ධ ඒකකයක්ය යන අදහස මිථ්‍යාවක්. යථාර්ථය වී තිබෙන්නේ, විවාහ නොවී ගැබ්ගැනීම, දික්කසාද සංඛ්‍යාව වැඩිවීම [සහ] කුඩා පවුල්වලට සීමාවීම වැනි පොදුවේ පවතින නැඹුරුවාවන් . . . ලෝක ව්‍යාප්තව සිදු වෙමින් පැවතීමයි.” එම නැඹුරුවාවන් නිසා, මිලියන සංඛ්‍යාත පවුල්වලට ස්ථාවරත්වය, සමාදානය හා සන්තෝෂය අහිමි වෙලා තිබෙන අතර බොහෝමයක් කැඩී බිඳී යනවා. විසිවන ශතවර්ෂයේ අවසාන දශකයේ ආරම්භයත් සමඟම ස්පාඤ්ඤයේ දික්කසාද සංඛ්‍යාව, විවාහ 8කට 1ක් දක්වා වැඩි වුණා—මෙය අවුරුදු 25කට පෙර, 100ට 1ක්ව තිබූ සංඛ්‍යාවෙන් විශාල පිම්මක්. යුරෝපයේ ඉහළම දික්කසාද සංඛ්‍යාවලින් එකක් එංගලන්තයට තිබෙන බව වාර්තා වෙනවා—විවාහ 10කින් 4ක් අසමත් වෙනවා. එම රට තුළ තනි-මාපිය පවුල් සංඛ්‍යාවේ හදිසි වැඩිවීමක්ද දක්නට තිබෙනවා.
5 ඇතමුන්ට දික්කසාද වන තෙක් ඉවසුම් නැති බවක් පෙනෙන්ට තිබෙනවා. බොහෝදෙනෙක් ජපානයේ ටෝකියෝ අසල පිහිටි “බැඳුම් ලිහුම් සිද්ධස්ථානයට” එක්රැස් වෙනවා. මේ ෂින්ටෝ පන්සල, දික්කසාද වීමටත්, වෙනත් නුසුදුසු සබඳතා කඩා දැමීමටත් කරන කන්නලව් කිරීම් භාරගන්නවා. සෑම නමස්කාරකයෙක්ම තමන්ගේ අයැදුම තුනී ලෑල්ලක ලියා, එය සිද්ධස්ථානයට අයත් භූමි භාගයේ එල්ලන අතර, පිළිතුරක් ලබාගැනීමට යාච්ඤා කරනවා. සියවසකට පමණ පෙර සිද්ධස්ථානය පිහිටෙවූ විට, “තම ස්වාමිපුරුෂයන්ට ඔවුන්ගේ පෙම්වතියන් අතහැරලා, යළි තමන් වෙතට එන්ට සලස්වන මෙන් ඉල්ලමින් ප්‍රාදේශීය ධනවත් වෙළඳුන්ගේ භාර්යාවන් යාච්ඤා ලිවූ බව” එක් ටෝකියෝ පුවත්පතක් පවසනවා. කොහොම වුණත්, අදදින අයැදුම් වැඩිහරියක්ම කරන්නේ දික්කසාද වෙන්න මිස, සමාදාන වෙන්න නෙවෙයි. ලොව පුරා පවුල් ජීවිතය අනතුරෙහි පවතින බවට කිසිම සැකයක් නෑ. මෙය ක්‍රිස්තියානීන්ව පුදුමයට පත් කරවිය යුතුද? නෑ; මන්ද වත්මන් පවුල් අර්බුදය සඳහා බයිබලය අපට හේතු පවසන නිසයි.
පවුල් අර්බුදය පවතින්නේ මන්ද?
6. අදදින පවුල් අර්බුදයට 1 යොහන් 5:19 බලපාන්නේ කොහොමද?
6 අදදින පවුල් අර්බුදය සඳහා එක හේතුවක් වන්නේ මෙයයි: “මුළු ලෝකයා නපුරාගේ බලය තුළ පවතී.” (1 යොහන් 5:19, NW) නපුරා වූ, සාතන් වන යක්ෂයාගෙන් අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද? ඔහු දුෂ්ටයෙක්, දුරාචාර බොරුකාරයෙක්. (යොහන් 8:44) පවුල් ජීවිතයට බෙහෙවින් විනාශකාරි වන මුළාව හා දුරාචාරය තුළින් ඔහුගේ ලෝකය තෘප්තියක් ලැබීම පුදුමයට කරුණක් නෙවෙයි! යෙහෝවාගේ විවාහ ආයතනය විනාශ කිරීමටත්, සාමකාමී පවුල් ජීවිතයට අවසානයක් ගෙන ඒමටත් දෙවිගේ සංවිධානයෙන් පිටත සාතන්ගේ බලපෑම තර්ජන එල්ල කරනවා.
7. මේ අන්තිම දවස්වල බොහෝ ජනයා විදහාපාන ගතිලක්ෂණ පවුල්වලට බලපෑ හැක්කේ කෙසේද?
7 මනුෂ්‍යවර්ගයා අතර දැන් වසංගතයක් මෙන් පැතිර පවතින පවුල් ගැටලු සඳහා තවත් හේතුවක් 2 තිමෝති 3:1-5හි සඳහන් කර තිබෙනවා. එහි වාර්තා කර තිබෙන පාවුල්ගේ අනාවැකිය, අප “අන්තිම දවස්වල” ජීවත් වන බව පෙන්නුම් කරනවා. පවුල් සාමාජිකයන් ‘තමුන්ටම ප්‍රේමකරන්නෝ, මුදලට ප්‍රේමකරන්නෝ, පාරට්ටුකරගන්නෝ, උදාරම්කාරයෝ, අපහාසකරන්නෝ, මවුපියන්ට අකීකරුවන්නෝ, ස්තුතිවන්ත නොවන්නෝ, අභක්තිකයෝ, ජන්ම ස්නේහය නැත්තෝ, සමාදාන නොවන්නෝ, කේලාම්කියන්නෝ, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝ, කෲරයෝ, යහපතට ප්‍රේම නොකරන්නෝ, ද්‍රෝහියෝ, හිතුවක්කාරයෝ, අහංකාරයෝ, දෙවිට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝ, දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපා කළ අයව සිටින්නෝ’ නම්, ඔවුන්ට සාමයෙන් හා සන්තෝෂයෙන් සිටිය නොහැකියි. පවුලක එක සාමාජිකයෙක් හෝ ජන්ම ස්නේහය නැතුව නැතහොත් ද්‍රෝහීව සිටිනවා නම්, පවුලකට සැබවින්ම සන්තෝෂයෙන් සිටීමට පුළුවන්කමක් නෑ. නිවසේ සිටින යම් කෙනෙක් නපුරු නම්, සමාදාන වීමට අකමැති නම්, පවුල් ජීවිතය සාමකාමී වෙන්නේ කොහොමද? ඊටත් වඩා දරුණු ලෙස, පවුලේ සාමාජිකයන් දෙවිට ප්‍රේමකරන්නන් වෙනවාට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නන් වන විට, සමාදානය හා සන්තෝෂය තිබිය හැක්කේ කොහොමද? සාතන් විසින් පාලනය කරනු ලබන මේ ලෝකයේ ජනයාගේ ගතිපැවතුම් මේවායි. එනිසා මෙම අන්තිම දවස්වලදී පවුලේ සන්තෝෂය දකින්න බැරිවීම පුදුමයක් නෙවෙයි!
8, 9. දරුවන්ගේ හැසිරීම, පවුලේ සන්තෝෂය කෙරෙහි ඇති කළ හැක්කේ මොන බලපෑමද?
8 බොහෝ පවුල්වලට සමාදානය හා සන්තෝෂය නැතිවීමට තවත් හේතුවක් නම් දරුවන්ගේ නරක හැසිරීමයි. පාවුල් අන්තිම දවස්වල තත්වයන් ගැන පුරෝකථනය කරද්දී, බොහෝ දරුවන් මවුපියන්ට අකීකරු වන බවට අනාවැකි පළ කළා. ඔබ යෞවන කෙනෙක් නම්, ඔබේ පවුල සාමකාමී හා සන්තෝෂවත් එකක් වීමට ඔබේ හැසිරීම දායක වෙනවාද?
9 සමහර දරුවන් හැසිරීම සම්බන්ධයෙන් හැමවිටම ආදර්ශවත් වෙන්නේ නෑ. උදාහරණයක් වශයෙන්, එක් යෞවනයෙක් තම පියාට මෙම පිළිකුල්සහගත ලිපිය ලිව්වා: “මාව ඇලෙක්සැන්ඩ්‍රියාවට ගෙනියන්නේ නැත්නම්, මම ඔයාට ලියුමක් ලියන්නෙවත්, ඔයත් එක්ක කතා කරන්නෙවත්, ඔයාට සුබ පතන්නෙවත් නෑ, ඔයා විතරක් ඇලෙක්සැන්ඩ්‍රියාවට යනවා නම්, මම ඔයාගේ අත අල්ලන්නේවත්, ඔයාට ආයි කවදාවත් සුබ පතන්නේවත් නෑ. ඔයා මාව ගෙනියන්නේ නැත්නම් සිද්ධ වෙන්නේ ඒ ටික තමයි . . . ඒත් පුළුවන් නම් මට [වීණාවක්] එවන්න. එව්වෙ නැත්නම්, මම කන්නෙවත්, බොන්නෙවත් නෑ. මම කිව්වොත් කිව්වමයි!” අදදින දකින්ට තිබෙන්නේ මෙවැනි තත්වයක්, එහෙම නේද? එහෙත්, පිරිමි ළමයෙක් තම පියාට එම ලිපිය ලිව්වේ මීට වසර 2,000කට පෙර පුරාණ මිසරයේදියි.
10. දේවසමාදානය ලුහුබඳින්න තම පවුල්වලට උපකාර කරන්න යෞවනයන්ට පුළුවන් වෙන්නේ කොහොමද?
10 එම මිසර යෞවනයාගේ ආකල්පය පවුලේ සමාදානය වැඩිවර්ධනය කළේ නැහැ. සැබවින්ම, මේ අන්තිම දවස්වල පවුල්වල සිද්ධ වෙන දේවල් ඊටත් වඩා දරුණුයි. එහෙත්, යෞවනයෙනි, ඔබට හැකියි ඔබේ පවුල තුළ දේවසමාදානය ලුහුබැඳීමට දායක වෙන්න. ඒ කෙසේද? දේවවචනයෙහි අණ කර තිබෙන මේ දේ ක්‍රියාවට නැඟීමෙනි: “දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරුවෙන්න, මක්නිසාද ඒක [ස්වාමීන්ට] ප්‍රසන්නය.”—කොලොස්සි 3:20.
11. යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් බවට පත්වීමට තම දරුවන්ට උපකාර කරන්න දෙමාපියන්ට හැක්කේ කොහොමද?
11 දෙමාපියන් වන ඔබ ගැන කුමක් කිව හැකිද? යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් වීමට ඔබේ දරුවන්ට ප්‍රේමනීයව උපකාර කරන්න. “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න” යයි හිතෝපදේශ 22:6 පවසනවා. “එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.” කදිම ශුද්ධ ලියවිලිමය ඉගැන්වීම් මෙන්ම හොඳ දෙමාපිය ආදර්ශ සමඟින්, බොහෝ පිරිමි ළමයි හා ගැහැනු ළමයි වයසින් මුහුකුරන විට සුදුසු මාර්ගයෙන් වෙනතකට හැරෙන්නේ නෑ. නමුත් බයිබල් ඉගැන්වීමේ ගුණය හා කොයිතරම් දුරකට බයිබල් පුහුණුව ලබා දුන්නාද යන්න මතත්, යෞවනයාගේ හෘදය මතත් බොහෝ දේ රඳාපවතිනවා.
12. ක්‍රිස්තියානි නිවසක් සාමකාමී විය යුත්තේ ඇයි?
12 අපේ පවුලේ සෑම සාමාජිකයෙක්ම යෙහෝවාගේ කැමැත්ත කිරීමට වෑයම් කරනවා නම්, අපට දේවසමාදානය භුක්ති විඳින්න පුළුවන්. ක්‍රිස්තියානි නිවසක් ‘සාමයේ මිතුරන්ගෙන්’ පිරී පැවතිය යුතුයි. යේසු, දේවසේවකයන් වශයෙන් ගෝලයන් 70දෙනෙක් යැවූ අවස්ථාවේදී, “නුඹලා යම් ගෙයකට ඇතුල්වූ කල: මේ ගෙට සමාදානය වේවයි පළමුකොට කියන්න. සමාදානයේ පුත්‍රයෙක් එහි සිටී නම් නුඹලාගේ සමාදානය ඔහු කෙරෙහි රඳන්නේය” කියා ඔවුන්ට පැවසූ විට, එවන් පුද්ගලයන් ගැන ඔහුගේ මනසේ තිබූ බව ලූක් 10:1-6 පෙන්නුම් කරයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සාමකාමීව “සමාදානයේ යහපත් ආරංචිය” රැගෙන ගෙයින් ගෙට යන විට, ඔවුන් සමාදානයේ මිත්රයන්ව සොයනවා. (ක්‍රියා 10:34-36; එපීස 2:13-18) සමාදානයේ මිත්‍රයන්ගෙන් සැකසුණු ක්‍රිස්තියානි නිවසක් නිසැකවම සාමකාමී විය යුතුයි.
13, 14. (අ) රූත් හා ඔර්පා සඳහා නායොමිගේ කැමැත්ත වුණේ මොකක්ද? (ආ) ක්‍රිස්තියානි නිවසක් කුමන ආකාරයක විවේක ස්ථානයක් විය යුතුද?
13 නිවසක් සාමකාමී හා විවේක ස්ථානයක් විය යුතුයි. තම යෞවන වැන්දඹු ලේලියන් වූ රූත් හා ඔර්පාට යහපත් ස්වාමිපුරුෂයෙක් හා නිවසක් මගින් ඇති වන විවේකය හා සැපපහසුව දෙවි දෙනු ඇතැයි මහලු වැන්දඹු නායොමි බලාපොරොත්තු වුණා. නායොමි මෙසේ පැවසුවා: ‘නුඹලා එකිනෙකා තම තමාගේ පුරුෂයා ඇතුව ඔහුගේ ගෙදර විශ්‍රාමය ලබන ලෙස යෙහෝවා නුඹලාට වර දේවා!’ (රූත් 1:9) නායොමිගේ ප්‍රාර්ථනය සම්බන්ධයෙන් එක් විශාරදයෙක් මෙහෙම ලිව්වා; එවැනි නිවෙස් තුළ රූත් හා ඔර්පා “අවිවේකයෙන් හා කාන්සාවෙන් මිදීමක් සොයාගනු ඇත. ඔවුන් මනසේ සමාදානය සොයාගනු ඇත. එය ඔවුන්ට ස්ථිරයෙන් වාසය කළ හැකි තැනක් මෙන්ම, ඔවුන්ගේ මුදු මොළොක් හැඟීම් හා ඉතාමත් ගෞරවනීය ආශාවන්වලට තෘප්තිය හා ශාන්තභාවය සොයාගත හැකි තැනක්ද වනු ඇත. හෙබ්රෙව්වල . . . අදහස් දැක්වීමේ ප්‍රබලතාව [යෙසායා 32:17, 18]හි ඇති සම්බන්ධිත ප්‍රකාශවල ස්වභාවය මගින් කදිමට විදහාදක්වන්නේය.”
14 යෙසායා 32:17, 18ට කර ඇති මෙම යොමු දැක්වීම සැලකිල්ලට ගන්න. එහි අපට මෙසේ කියවන්ට තිබෙනවා: “ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය. මාගේ සෙනග සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.” ක්‍රිස්තියානි නිවසක් ධර්මිෂ්ඨකම, නිශ්චලත්වය, සුරක්ෂිතභාවය හා දේවසමාදානය ඇති විවේක ස්ථානයක් විය යුතුයි. නමුත් පරීක්ෂාවන්, වෙනස්කම් හෝ වෙනත් ගැටලු පැනනඟිනවා නම් කුමක්ද? එහෙමනම් අපි විශේෂයෙන්ම පවුලේ සන්තෝෂයට රහස දැනගත යුතුයි.
වැදගත් ප්‍රතිපත්ති හතරක්
15. ඔබ පවුලේ සන්තෝෂයට රහස නිර්වචනය කරන්නේ කොහොමද?
15 තම පවුල්වල නම වෙනුවෙන් පොළොවේ හැම පවුලක්ම මැවුම්කරු වන යෙහෝවා දෙවිට ණයගැතියි. (එපීස 3:14, 15) ඒ නිසා පවුලේ සන්තෝෂයට කැමති අය ඔහුගේ මඟ පෙන්වීම සෙවිය යුතු අතර, ගීතිකාකරු කළාක් මෙන් මේ අයුරින් ඔහුට ප්‍රශංසා කළ යුතුයි: “අහෝ ජාතීන්ගේ පවුල්, යෙහෝවාට දෙන්න. යෙහෝවාට මහිමය හා ශක්තිය දෙන්න.” (ගීතාවලිය 96:7, NW) සැබෑ පවුල් සන්තෝෂයේ රහස දේවවචනය වන බයිබලයේ පිටු තුළත්, එහි තිබෙන ප්‍රතිපත්ති අදාළ කරගැනීම තුළත් රැඳී තිබෙනවා. මේ ප්‍රතිපත්ති අදාළ කරගන්නා පවුලක් සන්තෝෂවත් වන අතරම, දේවසමාදානයද භුක්ති විඳීවි. මෙම වැදගත් ප්රතිපත්තිවලින් හතරක් ගැන අපි සලකා බලමු.
16. ආත්මදමනය පවුල් ජීවිතයේදී ඉටු කළ යුතු කාර්යභාරය මොකක්ද?
16 මෙම ප්රතිපත්තිවලින් එකක් මේ දෙය මත කේන්ද්‍රගතව තිබෙනවා: පවුල් ජීවිතය තුළ දේවසමාදානයට ආත්ම-දමනය වැදගත්. සාලමොන් රජ මෙසේ පැවසුවා: “තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.” (හිතෝපදේශ 25:28) සාමකාමී හා සන්තෝෂවත් පවුලක් ඇතුව සිටීමට අප ආශා කරනවා නම්, අපේ සිත මැඩපවත්වා ගැනීම—එනම් ආත්ම-දමනය පවත්වාගැනීම ඉතා වැදගත් වෙනවා. අපි අසම්පූර්ණ වුණත්, අප දෙවිගේ ශුද්ධාත්මයේ ඵලයක් වන ආත්ම-දමනය පවත්වාගැනීම අවශ්‍යයි. (රෝම 7:21, 22; ගලාති 5:22, 23) අපි මේ ගුණාංගය ඉල්ලා යාච්ඤා කර, ඒ ගැන තිබෙන බයිබල් උපදෙස් අදාළ කරගෙන එමෙන්ම එය විදහාපාන වෙනත් අයව ඇසුරු කරනවා නම්, ආත්මය අප තුළ ආත්ම-දමනය නිපදවාවි. “වේශ්‍යාකම කෙරෙන් පලා” දිවීමට මෙම ක්‍රියාමාර්ගය අපට උපකාරවත් වෙයි. (1 කොරින්ති 6:18) සාහසිකකම ප්‍රතික්ෂේප කිරීමට, මත්පැනට ඇබ්බැහි වීමෙන් වැළකීමට හෝ ඉන් ජයගැනීමට හා අසීරු තත්වයන් හමුවේ වඩාත් සන්සුන්ව කටයුතු කිරීමටද ආත්ම-දමනය අපට උපකාර කරයි.
17, 18. (අ) ක්‍රිස්තියානි පවුල් ජීවිතයට 1 කොරින්ති 11:3 අදාළ වෙන්නේ කොහොමද? (ආ) මූලිකත්වය පිළිගැනීම පවුලක දේවසමාදානය වැඩිදියුණු කරන්නේ කොහොමද?
17 තවත් වැදගත් ප්‍රතිපත්තියක් අපට මෙසේ ප්‍රකාශ කළ හැකියි: මූලිකත්වය පිළිගැනීම, අපේ පවුල් තුළ දේවසමාදානය ලුහුබඳින්න අපට උපකාර කරයි. පාවුල් මෙහෙම ලිව්වා: “එක එක පුරුෂයාගේ හිස [ක්‍රිස්තුස්] බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, [ක්‍රිස්තුස්ගේ] හිස [දෙවි] බවද නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.” (1 කොරින්ති 11:3) පුරුෂයෙක් පවුල තුළ මූලිකත්වය ගන්නා බවත්, ඔහුගේ භාර්යාව ඔහුට පක්ෂපාතව සහාය වන බවත්, දරුවන් කීකරු වන බවත් මින් අදහස් කරයි. (එපීස 5:22-25, 28-33; 6:1-4) එවැනි හැසිරීම පවුල් ජීවිතය තුළ දේවසමාදානය වැඩිදියුණු කරයි.
18 ශුද්ධ ලියවිලිමය මූලිකත්වය ආඥාදායකත්වයක් නොවන බව ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් මතක තබාගත යුතුයි. ඔහු සිය හිස වන යේසුව අනුකරණය කළ යුතුයි. ඔහු “සියල්ලට ප්‍රධානියා” වෙන්ට සිටියත්, ඔහු ‘ආවේ සේවය ලබන්ට නොව සේවය කරන්ටයි.’ (එපීස 1:22; මතෙව් 20:28) එයාකාරයෙන්ම, ක්‍රිස්තියානි පුරුෂයෙක්, තම පවුලේ කටයුතු සඳහා මනා සැලකිල්ලක් දැක්වීමට හැකි කරවන පරිදි, ප්‍රේමනීය ආකාරයකින් මූලිකත්වය පවත්වාගත යුතුයි. තවද ක්‍රිස්තියානි භාර්යාවකට තම ස්වාමිපුරුෂයා සමඟ සහයෝගි වෙන්න වුවමනා වන බවට ස්ථිරයි. ඔහුගේ “සහකාරිය” සහ ‘අනුපූරකය’ වශයෙන් ඈ තම ස්වාමිපුරුෂයාට හිඟ ගුණාංග සපයන අතර, මෙලෙස ඔහුට අවශ්‍ය සහාය දෙයි. (උත්පත්ති 2:20; හිතෝපදේශ 31:10-31) මූලිකත්වය නිසියාකාරව පැවැත්වීම, එකිනෙකාට ගෞරවයෙන් සැලකීමට ස්වාමිපුරුෂයන්ට හා භාර්යාවන්ට උපකාර කරන අතර, දරුවන්වද කීකරුව සිටීමට පොලඹවයි. එසේය, මූලිකත්වය පිළිගැනීමෙන් පවුල් ජීවිතය තුළ දේවසමාදානය වැඩිදියුණු වෙයි.
19. පවුලේ සමාදානය හා සන්තෝෂය සඳහා හොඳ අදහස් හුවමාරුව අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
19 තුන්වන වැදගත් ප්‍රතිපත්තිය මෙම වචනවලින් ප්‍රකාශ කළ හැකියි: පවුලේ සමාදානය හා සන්තෝෂය සඳහා හොඳ අදහස් හුවමාරුව වැදගත්. යාකොබ් 1:19 අපට මෙසේ පවසනවා: “එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.” පවුලේ අදහස් හුවමාරුව කියන එක දෙපැත්තටම සිදු වන දෙයක් නිසා පවුලේ සාමාජිකයන් එකිනෙකාට සවන් දීමටත්, එකිනෙකා සමඟ කතා කිරීමටත් මතක තබාගත යුතුයි. කෙසේනමුත්, අප පවසන දේ නිවැරදි වන විට පවා, එය කෲර, උඩඟු හෝ අසංවේදී ආකාරයකින් පැවසුවා නම්, හොඳක් සිදු වනවාට වඩා වැඩි හානියක් සිදු වෙන්න පුළුවන්. අපේ කතාව “ලුණෙන් රසවත්ව” ප්‍රසන්නව තිබිය යුතුයි. (කොලොස්සි 4:6) ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අනුගමනය කරන හා හොඳින් අදහස් හුවමාරු කරන පවුල්, දේවසමාදානය ලුහුබඳිනවා.
20. පවුලේ සමාදානයට ප්‍රේමය අත්‍යවශ්‍යයි කියා ඔබ පවසන්නේ ඇයි?
20 හතරවන ප්‍රතිපත්තිය මෙයයි: පවුලේ සමාදානය හා සන්තෝෂයට ප්‍රේමය අත්‍යවශ්‍යයි. ආලයෙන් බැඳුණු ප්‍රේමයට විවාහය තුළ වැදගත් කොටසක් ඉටු කළ හැකි අතර, පවුලක සාමාජිකයන් අතර ගැඹුරු ස්නේහයක් වර්ධනය කරන්නත් පුළුවන්. එහෙත්, ඊටත් වඩා වැදගත් දෙය වන්නේ, අ·ගාʹපේ යන ග්‍රීක් වචනයෙන් නියෝජනය වන ප්‍රේමයයි. අප යෙහෝවා, යේසු සහ අපේ අසල්වාසීන් වෙත වර්ධනය කරන්නේ මෙම ප්‍රේමයයි. (මතෙව් 22:37-39) යෙහෝවා “ස්වකීය ඒකජාතක [පුත්‍රයා දීම]” මගින් මෙම ප්‍රේමය පෙන්නුම් කළා. “එසේ කළේ [ඔහු] කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස[යි].” (යොහන් 3:16) අපේ පවුල්වල සාමාජිකයන්ට එම ප්‍රේමයම පෙන්වන්න අපටත් හැකිවීම කෙතරම් මවිතකර දෙයක්ද! මෙම උසස් කරන ලද ප්‍රේමය, “සම්පූර්ණකමේ බැම්ම[ක්].” (කොලොස්සි 3:14) එය විවාහ යුවළක් එකට බැඳ තබන අතර, එකිනෙකාට හා තම දරුවන්ට හොඳම දේ කිරීමට එය ඔවුන්ව පොලඹවනවා. දුෂ්කර අවස්ථා වර්ධනය වන විට, කාරණා එකමුතුව හසුරුවා ගැනීමට ප්‍රේමය ඔවුන්ට උපකාර කරනවා. අපට මේ ගැන ස්ථිර විය හැක්කේ මෙම හේතුව නිසයි; එනම් “ප්‍රේමය . . . තමාගේම කාරණා සොයන්නේ නැත, . . . සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය. ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.” (1 කොරින්ති 13:4-8) යෙහෝවාට ඇති ප්‍රේමය මගින් එකිනෙකාට ඇති ප්‍රේමය ඒකාබද්ධ වන විට, ඇත්තෙන්ම පවුල් සන්තෝෂ වෙනවා!
දිගටම දේවසමාදානය ලුහුබඳින්න
21. ඔබේ පවුලේ සමාදානය හා සන්තෝෂය වැඩි කරන්නේ කුමක් විය හැකිද?
21 ඉහත කී ප්‍රතිපත්ති සියල්ල හා බයිබලයෙන් ගත් වෙනත් ඒවා, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් යෙහෝවා කරුණාවන්තව සපයා තිබෙන ප්රකාශනවල සංක්ෂිප්තව සඳහන් කර තිබෙනවා. (මතෙව් 24:45) උදාහරණයක් වශයෙන්, 1996/97දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ලොව පුරා පැවැත්වූ “දේවසමාදානයේ දූතයෝ” දිස්ත්‍රික් සමුළුවලදී නිකුත් කළ පවුලේ සන්තෝෂයට රහස යන මාතෘකාවෙන් යුත් පිටු 192 පොත තුළ එවැනි තොරතුරු තිබෙනවා. එවැනි ප්රකාශනයක ආධාරයෙන් පෞද්ගලික හා පවුල් පාඩමක් කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකියි. (යෙසායා 48:17, 18) එසේය, ශුද්ධ ලියවිලිමය උපදෙස් අදාළ කරගැනීමෙන් සමාදානය හා සන්තෝෂය වැඩි වෙන්න පුළුවන්.
22. අපි අපේ පවුල් ජීවිතය කේන්ද්‍රගත කළ යුත්තේ මොකක් මතද?
22 යෙහෝවාගේ කැමැත්ත කරන පවුල් සඳහා ඔහු මවිතාකාර දේවල් ගබඩා කර තිබෙන අතර, ඔහු අපේ ප්‍රශංසාව හා සේවය ලබන්ට වටිනවා. (එළිදරව් 21:1-4) එබැවින්, ඔබේ පවුල, සැබෑ දෙවිගේ නමස්කාරය මත තම ජීවිතය ගොඩනඟත්වා! තවද ඔබ ඔබේ පවුල් ජීවිතයේදී දේවසමාදානය ලුහුබඳින විට, අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා වන යෙහෝවා ඔබට මහඟු ලෙස ආශීර්වාද කරත්වා!
කොහොමද පිළිතුරු දෙන්නේ?
◻ දේවභක්තිය ඇතුව ජීවත් වෙන්න පවුල්වලට අවශ්‍ය මොකක්ද?
◻ අදදින පවුල් අර්බුදයක් තියෙන්නේ ඇයි?
◻ පවුලේ සන්තෝෂයට රහස මොකක්ද?
◻ පවුල් ජීවිතය තුළ සමාදානය හා සන්තෝෂය වැඩිදියුණු කරන්න අපට උපකාර කරන ඇතැම් ප්‍රතිපත්ති මොනවාද?
[24වන පිටුවේ පින්තූරය]
හොඳ අදහස් හුවමාරුව, පවුල් ජීවිතය තුළ දේවසමාදානය ලුහුබඳින්න අපට උපකාර කරනවා