රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
භූතාත්ම බලපෑම්වලින් නිදහස් වීම
බොහෝ කලක සිට, භූතවාදය හා සම්බන්ධ ව්‍යවහාරයන් මිනිසුන් මිලියන ගණනකගේ ජීවිත කෙරෙහි බලපවත්වා තියෙනවා. ඒ වුණත් එහි බලපෑම්වලින් නිදහස් වෙන්න පුළුවන්. පුරාණ එපීස නගරයේ විසූ බොහෝදෙනෙක් සම්බන්ධයෙන් සිදු වුණේ එයයි. බයිබල් වාර්තාවට අනුව, “යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාසකළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය. . . . එපමණ බලගතු ලෙස [යෙහෝවාගේ, NW] වචනය වර්ධනයවී, බලවත්වුණේය.”—ක්‍රියා 19:19, 20.
අදදින ක්‍රිස්තියානි සභාවත් ඒ හා සමානව වර්ධනය වෙමින් තිබෙනවා. එපීසයේ සිදු වූවාක් මෙන්, ඇදහිලිවන්තයන් බවට පත් වන අය අතර කලින් භූතාත්ම හා සම්බන්ධ ක්‍රියාවන්වල නිරත වූ අයද සිටිනවා. සිම්බාබ්වෙන් ලැබෙන පහත සඳහන් අද්දැකීමෙන් මෙය හොඳින් පැහැදිලි වෙනවා.
ගොගො (ආච්චි) මුතුපා, ආත්මබන්ධන ක්‍රියා කිරීමට තමන්ට තිබූ බලය ගැන ප්‍රසිද්ධව සිටියා. ඇගේ පාරම්පරික වෙදකමෙන් ප්‍රතිකාර ගැනීමට සැම්බියාව, බොට්ස්වානාව සහ දකුණු අප්‍රිකාව තරම් ඉතා දුර ප්‍රදේශවලින් මිනිස්සු ආවා. නාන්ගා කෙනෙක් නැතහොත් යකැදුරෙක් විය හැකි ආකාරය ගැනත් ගොගො මුතුපා අනිත් අයට ඉගැන්වුවා. ඒ වගේම සමහර අවස්ථාවලදී ඈ භූතාත්ම පලවා හැරියා!
එක් ඉරිදා උදෑසනක ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ගොගො මුතුපාව හමු වුණා. ධර්මිෂ්ඨ නව ලෝකයක්, ඒ කියන්නේ, සියලුම දුෂ්ට බලපෑම්වලින් නිදහස් ලෝකයක් පිළිබඳව බයිබලයේ සඳහන් පොරොන්දු ගැන ඔවුන් සමඟ කළ සාකච්ඡාවෙන් ඈ ඉමහත් ප්‍රීතියක් අද්දැක්කා. ඈ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැකa නමැති පොත ලබාගෙන, නිවාස බයිබල් පාඩමක් පැවැත්වීමට එකඟ වුණා. පාඩම් තුනක් පැවැත්වීමෙන් පස්සේ, ඈ රැස්වීම්වලට පැමිණෙන්න පටන්ගත්තා.
ඈ සතුව තිබූ විශේෂ බලයන්, යෙහෝවාගේ පරමාධිපත්‍යයට විරුද්ධව කැරලිගැසූ දුෂ්ට ආත්ම මැවිලිවලින් පැමිණි බව, ඇගේ බයිබල් පාඩමෙන් ගොගො මුතුපා ඉගෙනගත්තා. (2 පේතෘස් 2:4; යූද් 6) තමන්ට හැකි සෑම කෙනෙක්වම යෙහෝවාගේ පැත්තෙන් හා නිර්මල නමස්කාරයෙන් ඉවතට හරවන්න මේ භූතයන් අධිෂ්ඨාන කරගෙන සිටින බවත් ඈ ඉගෙනගත්තා. ඇගේ ජීවිකාව වූයේ මේ දුෂ්ට ආත්ම මැවිලිවල ආධාරයෙන් ආත්මබන්ධන ක්‍රියා කිරීම වූ නිසා, ඈ මොන වගේ දෙයක් කරයිද?
මතුරන්න හා ආත්මබන්ධන ක්‍රියාවන් කරන්න යොදාගත් ඇගේ ආයිත්තම් සියල්ලම ඉවත් කර දමන්න ගොගො මුතුපා කැමැත්ත පළ කළා. නාන්ගා සුව කිරීම් සඳහා ඈ පාවිච්චි කළ ඇගේ විශේෂ හිස් පළඳනාව සහ “කතා කරන හරක් අං තට්ටුව” මෙයට අයත් වුණා. එකම සැබෑ ජීවමාන දෙවි වන යෙහෝවාට සේවය කරන්න පුළුවන් වන විදිහට, ඒ වගේ ආයිත්තම් සියල්ලම ඉවත් කර දමන්න ගොගො මුතුපා කැමති වුණා.
ඒ වුණත් ඇගෙන් මූල්‍යමය වාසි ප්‍රයෝජන ලැබුණු නිසා, නැදෑයන්ගෙන් කිහිපදෙනෙක් මේකට විරුද්ධ වුණා. දිගටම ලාභ උපයාගැනීම සඳහා, ඇගේ මේ අද්භූත බලයන් හා ආත්මබන්ධන ක්‍රියා කරන්න පාවිච්චි කළ උපකරණ තමන්ට ලබා දෙන මෙන් ඔවුන් ඇගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියා. ගොගො මුතුපා ඒකට කැමති වුණේ නැහැ.
ඒ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ උපකාරය ඇතුව, ඈ ආත්මබන්ධන ක්‍රියා කරන්න පාවිච්චි කළ උපකරණ විශාල මලු තුනකට එකතු කරලා, ඒ ඔක්කොම පුලුස්සා දැම්මා. භූත නමස්කාරය සඳහා ඈ පාවිච්චි කළ ආයිත්තම් අතුරින් ගිනි දළු නඟිද්දි, ගොගො මුතුපා පුදුම වී මෙහෙම කිව්වා: “බලන්න! අර අං තට්ටුව, ඒක බේරාගන්න ඒකට බැහැ.”
කාලය ගත වෙත්ම, ගොගො මුතුපා වතුර බව්තීස්මය මගින් ප්‍රීතියෙන් යෙහෝවාට ඇගේ කැපවීම සංකේතවත් කළා. දැන් ඇගේ ජීවනෝපාය සඳහා ඈ මොනවද කරන්නේ? ඈ එළවළු විකුණනවා. ඔව්, දේවවචනය සපයන බලය මගින් භූත නමස්කාරයෙන් නිදහස් වෙන්න යමෙකුට පුළුවන්. “මට මීට කලින් කවදාවත් මේ තරම් නිදහසක් දැනිලා නැහැ” කියා ගොගො මුතුපා කියනවා.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.