පාඨකයන්ගෙන් ප්‍රශ්න
යම් කෙනෙක් නිතර නිතර භූත බලපෑම්වලට හසු වෙනවා නම් ඉන් මිදීමට ඔහුට කුමක් කළ හැකිද?
භූත බලපෑම්වලට හසු වී සිටින අයට ඉන් මිදිය හැකි බව බයිබලයේ පවසනවා. එවැනි බලපෑම්වලින් මිදීමට යාච්ඤාව මහත් උපකාරයක් වෙනවා. (මාක් 9:25-29) යාච්ඤාවට අමතරව එවැනි බලපෑමකට හසු වී සිටින කෙනෙක් තවත් දේවල් කිරීම අවශ්‍ය වෙනවා. මේ සම්බන්ධයෙන් පළමුවෙනි ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් ක්‍රියා කළ ආකාරයෙන් අපට යමක් දැනගන්න පුළුවන්.
එෆීසයේ විසූ සමහරදෙනෙක් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වීමට පෙර භූතවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල නියැලී සිටියා. කෙසේවෙතත් ඔවුන් දෙවිට නමස්කාර කිරීමට තීරණයක් ගැනීමෙන් පසු “මායා බන්ධනවල නියැලී සිටි අයගෙන් බොහෝදෙනෙක් ඔවුන්ගේ පොත් ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි ඒවා පුලුස්සා දැමුවෝය.” (ක්‍රියා 19:19) එෆීසයේ විසූ එම නවක ඇදහිලිවන්තයන් භූතවාදය හා සම්බන්ධ සියලුම පොත් පත් විනාශ කළා වගේ අද අපත් භූතයන්ගේ බලපෑම්වලට හසු නොවී සිටීමට නම් එවැනි දෙයක් කළ යුතු බවට ඔවුන්ගේ ආදර්ශයෙන් පැහැදිලි වන්නේ නැද්ද? භූත බලපෑම්වලට හසු වී සිටින අයට ඉන් මිදෙන්න නම් ඔවුන් අනිවාර්යයෙන්ම එයට සම්බන්ධ සියලුම දේවල් විනාශ කළ යුතුයි. මෙයට පොත් පත්, සඟරා සහ “ආරක්ෂාව” සඳහා පළඳින සුර වැනි නොයෙකුත් දේවල් ඇතුළත් වෙනවා. ඊට අමතරව අන්තර්ජාලයෙන් හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යයන්වලින් භූතයන් ගැන ලබාගත් යම් තොරතුරු තිබෙනවා නම් ඒවාද විනාශ කළ යුතුයි.—ද්විතීය කතාව 7:25, 26; 1 කොරින්ති 10:21.
“අපට තිබෙන පොරබැදීම . . . ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සමූහයන්ට විරුද්ධවය” කියා පාවුල් පැවසුවේ එෆීසියේ සිටි ක්‍රිස්තියානීන් භූතවාදය හා සම්බන්ධ පොත් පත් විනාශ කර වසර කිහිපයක් ගත වුණාට පසුවයි. (එෆීස 6:12) පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් ඉතා වුවමනාවෙන් මෙසේ ඉල්ලා සිටියා. “යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටින්න ඔබට පුළුවන් වන පිණිස, දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.” (එෆීස 6:11) එම උපදෙස අදටත් අදාළයි. භූත බලපෑම්වලින් ආරක්ෂා වීමට ක්‍රිස්තියානීන් දෙවි සමඟ තිබෙන තමන්ගේ මිත්‍රත්වය ශක්තිමත් කරගත යුතුයි. “සියල්ලට පළමුවෙන් ඇදහිල්ල නමැති විශාල පලිහ ගන්න. මෙයින් ඔබට දුෂ්ටයාගේ සියලු ගිනිමය ඊතල නිවා දමන්න හැකි” බව ඔහු පැවසුවේ ඒ නිසයි. (එෆීස 6:16) යම් කෙනෙකුට තමන්ගේ ඇදහිල්ල වැඩි කරගත හැකි එක් ක්‍රමයක් නම් බයිබලය අධ්‍යයනය කිරීමයි. (රෝම 10:17; කොලොස්සි 2:6, 7) අපි දිගටම බයිබලය අධ්‍යයනය කරනවා නම් අපේ ඇදහිල්ල වැඩි වන අතර එමගින් අපට භූතයන්ගේ බලපෑම්වලින් ආරක්ෂාවක් ලැබිය හැකියි.—ගීතාවලිය 91:4; 1 යොහන් 5:5.
එෆීසයේ සිටි ක්‍රිස්තියානීන්ට තවත් වැදගත් පියවරක් ගැනීමට තිබුණා. පාවුල් ඔවුන්ට මෙසේ දිරිගැන්වූවා. “සියලු ආකාරයේ යාච්ඤා සහ අයැදීම් ඔප්පු කරමින් ආත්මය මාර්ගයෙන් නොකඩවා යාච්ඤා කරන්න.” (එෆීස 6:18) භූත බලපෑම්වලින් මිදෙන්න අවශ්‍ය නම් යෙහෝවා දෙවිගෙන් ආරක්ෂාව ඉල්ලා ඉතා ඕනෑකමින් යාච්ඤා කිරීම අත්‍යවශ්‍යයි. (හිතෝපදේශ 18:10; මතෙව් 6:13; 1 යොහන් 5:18, 19) බයිබලයේ මෙලෙස පෙන්වා දී තිබෙනවා. “දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යන්නේය.”—යාකොබ් 4:7.
භූත බලපෑමෙන් මිදී යෙහෝවාට සේවය කිරීමට දැඩි ආශාවක් දක්වන තැනැත්තා යෙහෝවාගෙන් උපකාරය ඉල්ලා මහත් ඕනෑකමින් යාච්ඤා කරනවා වගේම අනිකුත් සැබෑ ක්‍රිස්තියානීන්ටද භූත බලපෑම්වලට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන මෙන් දෙවිට යාච්ඤා කරන්න පුළුවන්. එවැනි යාච්ඤා ගැන බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “ධර්මිෂ්ඨ මිනිසෙකුගේ අයැදීමෙන් ලැබෙන ප්‍රතිඵල ඉතා බලවත්ය.” මේ නිසා භූත බලපෑමට හසු වී සිටින තැනැත්තා “යක්ෂයාට විරුද්ධව” සිටීමට ඔහුගේ උපරිම උත්සාහය දරන අතරේදී දෙවිගේ සේවකයන් ඔහු වෙනුවෙන් කරන අයැදීම් ඇත්තටම බලපෑමෙන් යුක්ත වනවාට සැකයක් නැහැ.—යාකොබ් 5:16.
[31වන පිටුවේ පින්තූරය]
එෆීසයේ සිටි ඇදහිලිවන්තයන් භූතවාදය හා සම්බන්ධ සියලුම පොත් පත් විනාශ කර දැමුවා