රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
“අනපේක්ෂිත දේශයෙහි” අභියෝග ජයගැනීම
පළමු ශතවර්ෂයේ කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ගෙන් ප්‍රේරිත පාවුල් මෙසේ ඇසුවා: “හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම්, යුද්ධයට සැරසෙන්නේ කවුද? එසේම නුඹලාත් තේරුම්ගන්ට පහසු වචන දිවෙන් කථා නොකළොත්, කියන දේ දැනගන්නේ කොහොමද?”—1 කොරින්ති 14:8, 9.
සමහර අවස්ථාවලදී අනපේක්ෂිත දේශය යනුවෙන් හැඳින්වෙන පැපුවා නිව්ගිනියාවේ බයිබලය පිළිබඳ පැහැදිලි පණිවිඩය ප්‍රකාශ කරද්දී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට, අධෛර්යයට පත් කරවන බාධාවලට මූණ දෙන්න සිදු වෙනවා. විවිධ භාෂා 700කට වඩා කතා කරන හා නානාප්‍රකාර සිරිත් විරිත් තියෙන ජනයාට ඔවුන් දේශනා කරනවා. සාක්ෂිකරුවන් කඳුකර පෙදෙස්, පාරවල් හිඟකම සහ වැඩි වන අපරාධ සමඟද පොරබදනවා. මේ සියලු දුෂ්කරතාවලට අමතරව, ඇතැම් ආගමික කණ්ඩායම්වලින්ද, ඇතැම් අවස්ථාවලදී, පාසැල් නිලධාරීන්ගෙන් පවාද විරුද්ධවාදිකම් ඇති වෙනවා.
කෙසේනමුත්, පැහැදිලිව හඳුනාගත හැකි හොරණෑ ශබ්දයක ආකාරයෙන් ශුභාරංචිය බෙදාහැරීමට, හොඳ ආත්මික උපදෙස් සහ ස්වභාෂා බයිබල් අධ්‍යයන ආධාරක වැඩි වන පුස්තකාලයක් සාක්ෂිකරුවන්ව සන්නාහ සන්නද්ධ කරනවා. පහත වාර්තා පෙන්වන ආකාරයට බොහෝවිට ප්‍රතිචාරය ඒකාන්තයි:
• අලුත් පාසැල් අවුරුද්දක් ඇරඹෙනවාත් එක්කම, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දරුවන් කොඩියට ආචාර නොකරන්නේ හෝ ජාතික ගීය නොගයන්නේ මන්දැයි දැනගැනීමට ගුරුවරයෙකුට වුවමනා වුණා. ඔහු ඔහුගේ ප්රශ්නය මයෝල නම් 13-හැවිරිදි බව්තීස්ම ලත් සාක්ෂිකාර ශිෂ්‍යාවකට ඉදිරිපත් කළා. මයෝල පැහැදිලි මෙන්ම ශුද්ධ ලියවිල්ල මත පදනම් පැහැදිලි කිරීමක් කළා. එය බයිබලයෙන් වූ නිසා ගුරුවරයා ඇගේ හේතු පැහැදිලි කිරීම පිළිගත්තා. ගුරුමණ්ඩලයේ අනිත් අයටත් ඇගේ පැහැදිලි කිරීම දැනගන්න සැලැස්සුවා.
පසුව, ශිෂ්‍යයන්ට රචනා ලිවීමට පැවරූ විට, මයෝල ත්‍රිත්වය පිළිබඳ විෂය තෝරාගත්තා. ඇගේ රචනාවට පංතියේ ඉහළම ලකුණු ලැබුණ අතර, ඇය එම තොරතුරු ලබාගත්තේ කොතැනකින්ද කියා ගුරුවරයා ඇසුවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක පොත ඈ ඔහුට පෙන්නුවා. ගුරුවරයා මුළු පංතියටම පොත යැවූ අතර බොහෝදෙනෙක්ට තමන්ටම පිටපතක් ලබාගන්න ඕනෙ වුණා. ඊළඟ දවසේ, මයෝල ඇගේ පාසැල් මිතුරුමිතුරියන්ට පොත් 14ක් සහ සඟරා 7ක් බෙදා දුන් අතර, ඔවුන් තිදෙනෙක් සමඟ ඈ බයිබල් පාඩම් පටන්ගත්තා. මයෝලගේ ඉලක්කය පූර්ණ-කාලීන දේවසේවිකාවක් වීමටයි.
• පෝර්ට් මොරස්බි අසල මුහුදු තීරයේ ගම්මානයක හුදකලා වූ යෙහෝවාගේ සාක්ෂිකාර කණ්ඩායමක් 1970 ගණන්වල මුල්භාගයේ සිට විරුද්ධවාදිකම්වලට මූණ දී තිබෙනවා. කෙසේවුවද, මෑතකදී, ඔවුන්ට අනපේක්ෂිත මූලාශ්‍රයකින් උපකාර ලැබුණා. එහි සිටින පැපුවා නිව්ගිනියාහි උපන් නමුත් විදේශයෙහි අධ්‍යාපනය ලැබූ තැනැත්තෙක් වූ එක්සත් සභාවේ බිෂොප්වරයා දිනක් පල්ලියට පැමිණි අයගෙන්, අහන්න ප්‍රශ්න තිබෙනවාදැයි විමසුවා. එක් තැනැත්තෙක් මෙසේ ඇසුවා: “අපේ ගමේ ආගම් දෙකක් තියෙනවා—එක්සත් සභාව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන්. අපේ ගෙදරට සාක්ෂිකරුවන් ආවහම අපි මොනවාද කරන්න ඕනෙ?” සෑහෙන නිහැඬියාවකින් පසු, බිෂොප්වරයා මෙසේ පිළිතුරු දුන්නා: “ඔයා දන්නවද, ඔයාට මොනවා කියන්නද කියලා ඇත්තෙන්ම මම දන්නේ නෑ. මෑතකදී තරුණ සාක්ෂිකරුවන් දෙන්නෙක් මගේ ගෙදරට ආවා. ඔවුන් මගෙන් ප්‍රශ්නයක් ඇහැව්වා; මම විශ්වවිද්‍යාල පුහුණුවක් ලබාගෙන තිබුණත්, පිළිතුර දැනගෙන හිටියේ නෑ. නමුත් ඔවුන් පහසුවෙන්ම බයිබලයෙන් මට පිළිතුරු දුන්නා. ඉතින් මම ඕගොල්ලන්ට කියන්න යන්නේ නෑ මොනවද කරන්න ඕනෙ කියලා—මම ඒක ඕගොල්ලන්ටම භාර දෙනවා. ඕගොල්ලන් අකමැති නම් සවන් දෙන්න අවශ්‍ය නෑ, නමුත් ඔවුන්ට දරුණු විදිහට සලකන්න නම් එපා.”
වොච් ටවර් සමිතියේ සංචාරක නියෝජිතයෙක් පසුව මේ සාක්ෂිකාර කණ්ඩායම බැහැදකින්න ගිය අතර, මෙසේ වාර්තා කළා: “සාක්ෂිකරුවන් දේශනා සේවයේ ගියහම ගමේ හැමදෙනෙක්ම වගේ ඇහුම්කන් දුන්නා. සමහරු ඔවුන්ට ඔවුන්ගේ ගෙවල් ඇතුළටත් ආරාධනා කළා. ඒක දැන් දේශනා සේවයට පාරාදීසයක්.”