“සුළු තැනැත්තා බලවත් ජාතියක්” වෙනවා මම දැක්කා
පැවසුවේ විලියම් ඩිංමන්
වර්ෂය 1936; ස්ථානය, අ.එ.ජ., ඔරිගන්, සාලෙම්. මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වෙලා හිටියා. එහිදී ප්‍රශ්නයක් අසනු ලැබුවා: “මහත් සේනාව කොහෙද?” (එළිදරව් 7:9, “කිං ජේම්ස් ව’ෂන්” [ජේම්ස් රජුගේ අනුවාදය]) එතැන සිටි එකම අලුත් කෙනා මමයි; ඉතින් ඔවුන් හැමදෙනාම මාව පෙන්වලා, “අර ඉන්නේ එයා” කියලා පැවසුවා.
එක්දහස් නවසිය තිස්ගණන්වල මැද භාගයේදී, පොළොව මත පාරාදීසයෙහි සදහටම ජීවත් වීමේ බයිබල් බලාපොරොත්තුව තිබුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතරින් සාපේක්ෂ වශයෙන් ටිකදෙනෙකුටයි. (ගීතාවලිය 37:29; ලූක් 23:43) එතැන් පටන් දේවල් සෑහෙන්න වෙනස් වෙලා. නමුත් ඔරිගන්, සාලෙම්හි ඒ රැස්වීමේ ඉන්න මට මඟ පෑදුව සිද්ධීන් ගැන පවසන්න මට ඉඩ දෙන්න.
මගේ තාත්තා රන්වන් යුගය (ඉංග්‍රීසියෙන්) සඟරාවට දායකයෙක් වෙලා හිටියා; ඒක පිබිදෙව්! සඟරාවේ කලින් නමයි. මම නහඹරයෙකුව සිටි කාලේදී, ඒක කියවලා ප්‍රීතියක් ලැබුවා; මට පැහැදිලි වුණා ඒකෙ වැදගත් බයිබල් සත්‍යයන් අඩංගුයි කියන එක. ඉතින් දිනක් රන්වන් යුගය සඟරාවක පිටුපස තිබුණ කූපනයක් පුරවා මම යැව්වා. ඒක කියවන්නාට, පොත්පිංච 20ක්, පොතක් සහ ළඟම ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ නම ඉදිරිපත් කරලා තිබුණා. පොත් පත් ලැබුණට පස්සේ, මම ගෙයින් ගෙට ගිහින්, ඔක්කොම පොත්පිංචත්, පොතත් බෙදාහැරියා.
මේ වන විට කවුරුවත් මා එක්ක බයිබලය පාඩම් කරලා තිබුණේ නෑ. ඇරත්, මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් එක්ක කවදාවත් කතා කරලවත් තිබුණේ නෑ. නමුත් මේ අවස්ථාවේ, ළඟම ඇති රාජ්‍ය ශාලාවේ ලිපිනය අතැති මම රැස්වීමකට සහභාගි වෙන්න ඔරිගන්, සාලෙම්වලට කිලෝමීටර් 40ක් විතර රිය පැදෙව්වා. “මහත් සේනාව” කියලා මාව හැඳින්නුවේ එහිදීයි; එතකොට මට වයස 18යි.
දේවසේවය සඳහා මට ප්‍රායෝගික වශයෙන් සූදානමක් නොතිබුණත්, මම සාලෙම් සභාව එක්ක දේශනා කරන්න පටන්ගත්තා. මගේ සාක්ෂිදැරීමේදී ප්‍රධාන කරුණු තුනක් ඇතුළත් කිරීමට මාව දිරිගන්වනු ලැබුවා. පළමුව, යෙහෝවා දෙවි බව; දෙවනුව, යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ පත් කළ රජු බව; තුන්වනුව, ලෝකය සඳහා ඇති එකම බලාපොරොත්තුව රාජ්‍යය බව. ඒ පණිවිඩය හැම නිවසකදීම කියන්න මම උත්සාහ කළා.
සාලෙම්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ අවුරුදු දෙකක් ආශ්‍රය කිරීමෙන් පසු, මම 1938 අප්‍රියෙල් 3වෙනිදා බව්තීස්ම වුණා. “මහත් සේනාව” වූ අපි කීපදෙනෙක් බව්තීස්ම වෙනවා දකින්න ලැබීම සාලෙම්හි මිත්‍රයන්ට ඉමහත් ප්‍රීතියක් වුණා. වර්ෂ 1939 පෙබරවාරිවලදී මම පුරෝගාමියෙක් නැත්නම් පූර්ණ-කාලීන දේවසේවකයෙක් වුණා. ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී, රාජ්‍ය ප්‍රචාරකයන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබුණ ඇරිසෝනාවලට යෑමට ලැබුණ ආරාධනාව මම පිළිගත්තා.
ඇරිසෝනාවල පුරෝගාමී සේවය
ඇරිසෝනාවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩය අලුත් එකක් වූ අතර, අපි ගැන සෑහෙන වැරදි වැටහීමක් තිබුණා; ඒ නිසා එක්සත් ජනපදය IIවන ලෝක යුද්ධයට සහභාගි වුණ විට අපි හුඟක් පීඩා වින්දා. උදාහරණයක් වශයෙන්, 1942දී ඇරිසෝනාවල ස්ටැෆඩ් නගරයේ මම දේවසේවයේ යෙදෙමින් ඉන්න කොට, මෝර්මන් කණ්ඩායමක් කල්ලි ගැහිලා අපිට ගහන්න ලෑස්ති වෙලා ඉන්න බවට කතා පැතිරිලා තිබුණා. මගේ පුරෝගාමී සහකාරයන් සහ මම මෝර්මන් බිෂොප්වරයෙක්ගේ නිවසට කිට්ටු තැනකයි නැවතිලා හිටියේ; ඔහු අපිට ගරු කළ අතර මෙහෙම පැවසුවා: “මෝර්මන් මිෂනාරීන් සාක්ෂිකරුවන් වගේම ක්‍රියාශීලීව හිටියා නම්, කොහොම හරි මෝර්මන් පල්ලිය වර්ධනය වෙයි.” ඒ නිසා ඔහු පල්ලියේදී මෙහෙම කිව්වා: “සාක්ෂිකාර තරුණයන්ට ගහන්න යනවා කියලා කතාවක් තියෙන බව මට දැනගන්න ලැබුණා. මමත් ඉන්නෙ ඒ තරුණයන් ඉන්න කිට්ටුවමයි; ඒගොල්ලන්ට ගැහුවොත් වැට හරහා එන වෙඩි පාර කන්න වෙයි. හැබැයි ඒ වෙඩි පාර පාවිච්චි කරන්නේ සාක්ෂිකරුවන්ට විරුද්ධව නෙවෙයි. ඒක පාවිච්චි කරන්න යන්නේ චණ්ඩීන්ට විරුද්ධවයි. ඒ නිසා ඕගොල්ලන්ට ගහන්න ඕන නම් ගහන්න, ඊළඟට වෙන දේ දන්නවනේ.” කවදාවත් කල්ලිය ආවේ නෑ.
ඇරිසෝනාවල මම හිටිය අවුරුදු තුන තුළදී, අපිව අත්අඩංගුවට ගත් අතර කීප වතාවක්ම හිරේ දැම්මා. එක වතාවකදී මාව දවස් 30කට එහි තැබුවා. අපේ සේවයේදී පොලිසියේ හිරිහැරයට මුහුණ දෙන්න දැරූ වෑයමක් වශයෙන්, කඩා පනින හමුදාවක් කියා හඳුන්වන කණ්ඩායමක් හැටියට අපි සකස් වුණා. වැඩ බලන සාක්ෂිකාරයා අපිට මෙහෙම කිව්වා: “අපේ නම වගේම, අපේ වැඩත් තියෙනවා. අපි උදේ පහට නැත්නම් හයට පටන්ගෙන හැම නිවසකම පත්‍රිකාවක් හෝ පොත්පිංචයක් තබලා, එතැනින් ඉක්මනින් පිට වෙලා යනවා.” අපේ “කඩා පනින හමුදාව” ඇරිසෝනා ජනපදයේ සෑහෙන ප්‍රදේශයක් ආවරණය කළා. කොහොමනමුත්, ඒ ආකාරයේ දේශනා කිරීම උනන්දුව දැක්වූ අයට උපකාර කරන්න අපට ඉඩ සැලැස්සුවේ නැති හින්දා අන්තිමේදී ඒක විසුරුවා හරින්න සිද්ධ වුණා.
ගිලියඩ් පාසැල සහ විශේෂ සේවය
යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිහිටෙවූ අලුත් මිෂනාරි පාසැලකට එන්න කියා 1942 දෙසැම්බර්වලදී ආරාධනා ලිපියක් ලැබූ ඇරිසෝනාවල පුරෝගාමීන් කීපදෙනෙක් අතුරින් මමත් එක් කෙනෙක් වුණා. පාසැල මුලින් හැඳින්නුවේ ගිලියද් මුරටැඹ බයිබල් විද්‍යාලය කියලයි. පසුව ගිලියද් මුරටැඹ බයිබල් පාසැල හැටියට නම වෙනස් කළා. විශ්වවිද්‍යාලය පිහිටා තිබුණේ කිලෝමීටර් 4,800ක් ඈතින් පිහිටි උතුරු නියූ යෝක්හි ඉතාකා නගරය අසලයි.
කෙටි කාලයකට ඔරිගන්වලට ගියාට පස්සේ, 1943 ජනවාරිවලදී පුරෝගාමීන් වන අපි කීපදෙනෙක් උෂ්ණාධික ඇරිසෝනා කාන්තාරය අත්හැර ග්රේහෞන්ඩ් බස් රථයකින් ගියා. දවස් කීපයකට පස්සේ අපේ ගමනාන්තයට පැමිණි අපි අද්දැක්කේ උතුරු නියූ යෝක්හි හිමවලින් යුත් ශීත ඍතුවයි. පාසැල 1943 පෙබරවාරි 1වෙනිදා ආරම්භ කළ අවස්ථාවේදී එහි සභාපති නේදන් එච්. නෝර් ශිෂ්‍යයන් සියයක් අමතා මෙහෙම පැවසුවා: “මේ විද්‍යාලයේ අරමුණ ඔයගොල්ලන්ව දේවසේවකයන් වශයෙන් පැවිදි කිරීමට සන්නද්ධ කිරීම නෙවෙයි. ඕගොල්ලෝ දැනටමත් දේවසේවකයන් වන අතර අවුරුදු ගණනක් දේවසේවයෙහි ක්‍රියාශීලීව ඉඳලා තියෙනවා. . . . විද්‍යාලයේ අධ්‍යාපන පාඨමාලාවේ ප්‍රධානතම අරමුණ, ඕගොල්ලන් යන ප්‍රදේශවල වඩාත් සුදුසුකම් ඇති දේවසේවකයන් වශයෙන් සිටීමට සූදානම් කිරීමයි.”
මම බාහිර පාසැල් අධ්‍යාපනය ලබාගෙන තිබුණේ ටික දුරකට නිසා, මුලදී මට ගිලියද්හි අපහසුතාවක් දැනුණා. නමුත් ගුරුවරුන් මගේ තත්වය අවබෝධ කරගත් අතර, මම හුඟක් ආසාවෙන් ඉගෙනගත්තා. මාස පහක ප්‍රබල පුහුණුවකින් පස්සේ අපේ පංතියේ අයට උපාධිය ලැබුණා. ඊට පස්සේ, නියූ යෝක් බෘක්ලින්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට අපෙන් ටිකදෙනෙක්ව යැව්වා; එහිදී, චාරිකා අවේක්ෂකයන් හැටියට සංචාරක වැඩයෙහි සේවය කිරීමට අපව සූදානම් කිරීමට අපට තවදුරටත් පුහුණුව ලැබුණා. මගේ මුල් පැවරුම ලැබුණේ උතුරු හා දකුණු කැර’ලයිනාවලටයි.
ඒ මුල් දවස්වලදී, චාරිකා අවේක්ෂක නිතරම ගමනෙමයි හිටියේ. අපි කුඩා සභාවක් එක්ක එක දවසක් ඉන්නවා; එහෙමත් නැත්නම් ඒක ලොකු එකක් නම් දවස් දෙකක් ඉන්නවා. ඒ කාලයේදී සභාවලින් වැඩිහරියක් කුඩායි. ඉතින් හුඟක් වෙලාවලදී මැදියම් රෑ වෙනකම්ම වගේ බැහැදකින්න ගිහින් ප්‍රශ්නවලට උත්තර දීලා සම්පූර්ණ දවසක් ගත කළාට පස්සේ, ඊළඟ සභාවට පිටත් වෙන්න නැවතත් පසුවදා පාන්දර පහට විතර මම අවදි වෙනවා. මම අවුරුද්දක් විතර චාරිකා වැඩයෙහි යෙදී සිටි අතර, ඊට පස්සේ ටෙනසි සහ නියූ යෝක්වල පුරෝගාමී සේවයේ යම් කාලයකට යෙදුණා.
කියුබාවට සහ පුවටෝ රිකෝවට
වෙනත් කීපදෙනෙකුත් එක්ක 1945 මැයිවලදී මාව මගේ පළමු මිෂනාරි පැවරුම සඳහා කියුබාවට යැව්වා! කියුබාවේ අගනුවර වන හවනාවලට අපි ආ රාත්රියේදී, අපි සඟරා සේවයේ යෙදුණා. සාන්ත ක්ලාරාවල නිවසක් සොයාගන්න තුරු අපි හවනාවල නැවතී හිටියා. ආහාරපාන, ඉඳුම් හිටුම් ඇතුළු සියලුම අවශ්‍යතා සඳහා අපි එක් එක්කෙනාට ලැබුණේ ඩොලර් 25 ගානේ මාසික දීමනාවක් පමණයි. තිබුණ ලීවලින් අපි ඇඳන් සහ බඩුමුට්ටු හදාගත් අතර, ඇපල් අහුරණ පෙට්ටි අපේ ලාච්චු අල්මාරිය හැටියට පාවිච්චි කළා.
ඊළඟ අවුරුද්දේ මට චාරිකා සේවය සඳහා පැවරුමක් ලැබුණා. එතකොට මුළු කියුබාවම එක චාරිකාවක්. මට කලින් හිටිය චාරිකා අවේක්ෂකට දිග කකුල් තිබුණු නිසාත්, ඇවිදින්න කැමැත්තක් දැක්වුව නිසාත් සහෝදර සහෝදරියන්ට ඔහුගේ ගානටම යන්න නම් ඇත්තෙන්ම දුවන්න සිද්ධ වුණා. මමත් ඒ වගේ වෙයි කියලා හිතුව හින්දා, මගේ බැහැදැකීමටත් ඔවුන් සියල්ල සූදානම් කරලා තිබුණ බවට සැකයක් නෑ. ඔවුන් හැමෝම එකම දවසේ දේවසේවයේ ගියේ නෑ; නමුත් කණ්ඩායම්වලට බෙදිලා, වාර අරන් මාත් එක්ක වැඩ කළා. මුල් දවසේ එක කණ්ඩායමක් මාව ඈත ප්‍රදේශයකට එක්කගෙන ගියා; ඊළඟ දවසේ තවත් කණ්ඩායමක් මාව ඒ වගේම තවත් ප්‍රදේශයකට ගෙන ගිය අතර අනිත් කණ්ඩායමුත් එසේම කළා. බැහැදැකීමේ අවසානයේදී මම හොඳටම වෙහෙසට පත් වෙලයි හිටියේ; නමුත් ඒකෙන් මට ප්‍රීතියක් ලැබිලා තිබුණා. ඒ සභාව ගැන මට සොඳුරු මතකයන් තියෙනවා.
වර්ෂ 1950 වෙද්දී අපිට කියුබාවේ රාජ්‍ය ප්‍රචාරකයන් 7,000කට වැඩිය හිටියා; මෙය මෙක්සිකෝවල තිබුණ ගණනටම සමානයි. ඒ අවුරුද්දේ ජූලි මාසයේදී, මම නියූ යෝක් නගරයේ යැංකි ක්‍රීඩාංගණයේ දිව්යාණ්ඩුවේ දියුණුව ජාත්‍යන්තර සමුළුවට සහභාගි වුණා. ඊට පස්සේ, මට පුවටෝ රිකෝවලට අලුත් මිෂනාරි පැවරුමක් ලැබුණා. දොළොස්වන ගිලියද් පංතියෙන් පැමිණි අලුත් මිෂනාරීන් අතර එස්ටෙල් සහ තෙල්මා වීක්ලිද සිටියා; පුවටෝ රිකෝ බලා යන ගුවන්ගමනේදී ඔවුනුත් මාත් එක්ක ගියා.
අවුරුදු අටකට පස්සේ, එස්ටෙලුයි, මායි පුවටෝ රිකෝ, බෙයමොන්වලදී විවාහ වුණා; අපේ චාරිකා එක්රැස්වීමේ විවේකය තුළදී වේදිකාවේ සුළුවෙන් මංගල්‍යය පැවැත්තුවා. අපේ විවාහයට පෙරත්, පසුවත් මම චාරිකා සේවයේ යෙදුණා. පුවටෝ රිකෝවල අපි සිටි අවුරුදු දහයකට වැඩි කාලය පුරා එස්ටෙල් සහ මම විශාල වර්ධනයක් දැක්කා—ප්‍රචාරකයන් 500කටත් අඩු සංඛ්‍යාවක් 2,000කටත් වැඩි සංඛ්‍යාවක් වුණා. කැපවීම සහ බව්තීස්මය දක්වා බොහෝදෙනෙක්ට උපකාර කරන්න අපිට පුළුවන් වූ අතර, අපි අලුත් සභා කීපයක් පිහිටුවන්න හවුල් වුණා.
එක්දාස් නවසිය හැටේ දෙසැම්බර්වලදී, නියූ යෝක් බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයෙන් මිල්ටන් හෙන්ෂල් පුවටෝ රිකෝවලට ඇවිත් මිෂනාරීන්ට කතාවක් දුන්නා. වෙනස් පැවරුමක් ලබාගන්න සමහරු කැමතිදැයි ඔහු ඇහැව්වා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය අතරේ එස්ටෙල් සහ මාත් හිටියා.
ඩොමිනිකන් ජනරජයේ අපේ නිවස
අපේ අලුත් පැවරුම ඩොමිනිකන් ජනරජය වූ අතර 1961 ජූනි 1වෙනිදා අපි එහාට යන්න නියම කරගත්තා. ඩොමිනිකන් ආඥාදායක රෆාඑල් ටෲහීයෝව මැයි 30වෙනිදා ඝාතනය කරනු ලැබූ අතර එම රටට තිබුණු ගුවන්ගමන් අවලංගු කළා. ඒත්, ඉක්මනින්ම යළිත් ගුවන්ගමන් යථා තත්වයට පත් වූ අතර, අපි සැලසුම් කළ විදිහටම ජූනි 1වෙනිදා ඩොමිනිකන් ජනරජය බලා යන්න අපිට පුළුවන් වුණා.
අපි එහි පැමිණි විට රටේ කලබල තත්වයක් තිබුණු අතර, සෑහෙන දුරට යුධ හමුදා සේවය යොදා තිබුණා. විප්ලවයක් ඇති වෙයි කියන භය තිබුණු අතර, සොල්දාදුවන් මහාමාර්ගයේ සිටින හැමදෙනාවම සෝදිසි කළා. මුරකපොලු කීපයකදී අපිව නැවැත්තුව අතර හැම එකකදීම අපේ බඩුබාහිරාදිය සෝදිසි කළා. අපේ සූට්කේස්වල තිබුණ හැම එකක්ම, කුඩාම දෙය පවා එළියට ගත්තා. ඩොමිනිකන් ජනරජයට අපේ හඳුන්වා දීම එය වුණා.
ලා රෝමානාහි අපේ මුල්ම පැවරුමට යන්න ඉස්සෙල්ලා සති කීපයකට සාන්ටා ඩොමින්ගෝ අගනුවරේ අපි නැවතුණා. ටෲහීයෝගෝ ආඥාදායකත්වය තිබූ සමයේදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් කොමියුනිස්ට්වාදීන්, ඒ වගේම මහ දරුණුම සෙනඟක් කියලා පොදු ජනයාට පවසා තිබුණා. ප්‍රතිඵලයක් වශයෙන්, සාක්ෂිකරුවන්ට බොහොම නරක විදිහට පීඩා කරලා තිබුණා. ඒත්, ටිකෙන් ටික අපිට හැකි වුණා අගතිසහගත හැඟීම් බිඳහෙළන්න.
කෙටි කාලෙකට ලා රෝමානාහි වැඩ කළාට පස්සේ, අපි නැවතත් චාරිකා සේවයේ නිරත වෙන්න පටන්ගත්තා. ඊටපස්සේ, 1964දී, අපිට මිෂනාරිවරුන් හැටියට සාන්ටියාගෝ නගරයට පැවරුමක් ලැබුණා. ඊළඟ අවුරුද්දේදී ඩොමිනිකන් ජනරජයෙහි විප්ලවයක් ඇති වුණ අතර, නැවත වරක් රට වියවුල් තත්වයකට පත් වී තිබුණා. ඒ ගැටුම් සමයේදී දේශපාලනිකව නැඟී සිටින නගරයක් හැටියට ප්‍රසිද්ධ සාන් ෆ්‍රාන්සිස්කෝ ඩෙ මාකෝරීස්වලට අපිව මාරු කර යැව්වා. කෙසේනමුත්, අපි කිසි බාධාවක් නැතුව නිදහසේ දේශනා කළා. නොසන්සුන් දේශපාලනික වාතාවරණය මැද්දේ පවා අපි අලුත් සභාවක් පිහිටෙව්වා. සාන්ටියාගෝවල අපි දැන් සිටින තැනට යළි පැවරුමක් ලැබෙන්න ඉස්සෙල්ලා තවදුරටත් පැවරුමේ වෙනස්වීම් කීපයක් සිදු වුණා.
මෙහි ඩොමිනිකන් ජනරජයේ වැඩ කෙරෙහි යෙහෝවාගේ ආශීර්වාද තිබෙන බව අපි ඇත්තටම දැකලා තියෙනවා. අපි 1961දී ආවහම, හිටියේ සාක්ෂිකරුවන් 600ක් විතරයි; තිබුණේ සභා 20ක් විතරයි. දැන් 300කට වැඩි සභා ගණනක දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන ප්‍රචාරකයන් 20,000කට කිට්ටු වෙන්න ඉන්නවා. ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවය සඳහා 1997දී පැමිණි 81,277දෙනාගෙන් පෙනී යන්නේ, ඉදිරියේ අතිවිශාල වර්ධනයකට ඉඩ කඩ තිබෙන බවයි. ඒක ප්රචාරක සංඛ්‍යාවෙන් තුනහමාරක ගුණයක් විතර වෙනවා!
දැන් බලවත් ජාතියක්
ලෝකයේ දසුන දිගටම වෙනස් වෙමින් තිබුණත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කරන බයිබල් පණිවිඩය ඒ විදිහටම තියෙනවා. (1 කොරින්ති 7:31) යෙහෝවා තවමත් දෙවිව සිටිනවා; ක්‍රිස්තුස් තවමත් රජව සිටිනවා; ලෝකයට තියෙන එකම බලාපොරොත්තුව රාජ්‍යය බව වෙන කවදාටත් වඩා වැඩියෙන් පැහැදිලියි.
මීට අවුරුදු 60කට ඉස්සෙල්ලා ඔරිගන්, සාලෙම්හි ඒ රැස්වීමට ගියදා පටන් මේ වෙන කොට යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර පුදුම විදිහට පරිවර්තනයක් වෙලා තියෙනවා. මහත් සේනාව හෝ මහත් සමූහය ඇත්තෙන්ම මිලියන පහකට වැඩි මහත් සංඛ්‍යාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක යෙහෝවා ඔහුගේ සෙනඟ ගැන පුරෝකථනය කළා වගේමයි: “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. [යෙහෝවා වන] මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.”—යෙසායා 60:22.
පූර්ණ-කාලීන දේවසේවයේ අවුරුදු 60ක්ම වගේ යෙදුණායින් පස්සෙත් මගේ මිෂනාරි පැවරුම තුළ දිගටම දේශනා කිරීමේ හා ඉගැන්වීමේ ප්‍රීතිය ලබන්න මම සතුටු වෙනවා. ඒ වැඩෙහි හවුල් වෙන එකත්, “සුළු තැනැත්තා බලවත් ජාතියක්” වෙනවා දැකීමට ලැබීමත් මොනතරම් වරප්‍රසාදයක්ද!
[21වන පිටුවේ පින්තූරය]
ඩොමිනිකන් ජනරජයේදී මගේ භාර්යාව සමඟ