යෙහෝවාගේ මඟ පෙන්වීම ප්‍රීතියෙන් පිළිගනිමින්
යුලිසීස් වී. ග්ලාස්ගේ කතාව
ඒක අතිවිශිෂ්ට අවස්ථාවක්. උපාධි ප්‍රදාන පංතියේ හිටියේ ශිෂ්‍යයන් 127දෙනෙක් විතරයි. ඒත් රටවල් ගණනාවකින් 1,26,387ක උද්යෝගයෙන් පිරි සෙනඟක් එහි ඇවිත් හිටියා. ඒක, 1953 ජූලි 19වෙනිදා නියූ යෝක් නගරයේ යැංකි ක්‍රීඩාංගණයේ පැවැත්වූ ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ 21වන උපාධි පිරිනැමීමේ පංතියයි. ඒක මගේ ජීවිතයේ වැදගත් සිද්ධියක් වුණේ ඇයි? ඒ සම්බන්ධයෙන් සුළු විස්තරයක් කරන්න මට ඉඩ දෙන්න.
මම ඉපදුණේ 1912 පෙබරවාරි 17වෙනිදා අ.එ.ජ. ඉන්ඩියානා, වැංසෙන්හිදියි. ඒ කියන්නේ, එළිදරව් 12:1-5හි විස්තර කර ඇති මෙසියානු රාජ්‍යයේ උපතට අවුරුදු දෙකකට ඉස්සෙල්ලයි. ඊට කලින් අවුරුද්දේ මගේ දෙමාපියන් ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය (ඉංග්‍රීසියෙන්) යන වෙළුම්වල උපකාරයෙන් බයිබලය ඉගෙනගන්න පටන්ගෙන තිබුණා. හැම ඉරිදා උදයකම, තාත්තා ඒ වෙළුමෙන් එක පොතක් තෝරගෙන අපි අහගෙන ඉන්දැද්දී කියෙව්වා; ඊට පස්සේ අපි ඒ ගැන කතා කළා.
අම්මා, ඇය ඉගෙනගනිමින් හිටිය දේවල් යොදාගෙන ඇගේ දරුවන් කල්පනා කරන විදිහ හැඩගැස්සුවා. ඇය හරි හොඳ කෙනෙක්; හරිම කරුණාවන්තයි, අනුන්ට උදව් කරන්න හුඟක් කැමතියි. දරුවන් හතරදෙනෙක් හිටියත් අම්මා අහල පහළ දරුවන්ටත් ආදරේ පෙන්නුවා. ඇය අපිත් එක්ක කාලය ගත කළා. අපිට බයිබල් කතන්දර කියා දෙමිනුත් අපි එක්ක සින්දු කියමිනුත් ඇය ප්‍රීති වුණා.
පූර්ණ-කාලීන දේවසේවයේ යෙදුණු විවිධ අයවත් ඇය අපේ නිවසට ආරාධනා කළා. හුඟක් වෙලාවට අපේ නිවසේ රැස්වීම් පවත්වමින් හා කතා දෙමින් ඔවුන් දවසක් හෝ දෙකක් නැවතිලා හිටියා. උපමා භාවිත කරපු අයටත්, අපට කතන්දර කියා දුන්න අයටත් අපි විශේෂයෙන්ම ඇලුම් කළා. පළවෙනි ලෝක යුද්ධය අවසන් වෙලා අවුරුද්දකට විතර පස්සේ, 1919 එක් අවස්ථාවක, සංචාරක සහෝදරයා විශේෂයෙන්ම දරුවන් වන අප වෙතට ඔහුගේ අවධානය යොමු කරමින් යමක් පැවසුවා. ඔහු කැප කිරීමක් ගැන කතා කළා; අපි දැන් වඩාත් නිවැරදි ලෙස එයට කැපවීම කියා යොමු දක්වන අතර, එය අපේ ජීවිතවලට බලපෑ අයුරු තේරුම්ගන්න ඔහු අපට උපකාර කළා. ඊට පස්සේ ඒ හැන්දෑවේ මම නිදාගන්න ගියහම, මගේ ස්වර්ගික පියාට මම යාච්ඤා කරලා, මට හැම වෙලාවෙම ඔහුට සේවය කරන්න ඕනෙ කියලා පැවසුවා.
කොහොමවුණත්, 1922න් පස්සේ ජීවිතයේ වෙනත් දේවලට යොමුවීම හේතුවෙන් එම අධිෂ්ඨානය පසෙකට තල්ලු වෙලා ගියා. අපි තැනින් තැනට මාරු වුණ නිසා යෙහෝවාගේ සෙනඟගේ එක සභාවක් සමඟ ඇසුරු කරන්න බැරුව ගියා. තාත්තා රේල් පාරේ වැඩ කරන කෙනෙකුව සිටි නිසා ඔහු වැඩ කළේ දුර බැහැරකයි. අපිට එක දිගටම බයිබල් පාඩමක් කරන්න බැරි වුණා. වාණිජ ක්ෂේත්රයේ චිත්‍ර ශිල්පියෙකු වීමේ අරමුණෙන් මම පාසැල් පාඨ මාලාවල් හැදෑරූ අතර, උසස් විශ්වවිද්‍යාලයකට යෑමට සැලසුම් කරමින් හිටියා.
මගේ ජීවිතයේ අරමුණ සකස් කරමින්
එක්දාස් නවසිය තිස් ගණන්වල මැදභාගයේදී, නැවතත් සමස්ත ලෝක යුද්ධයකට අරඇඳෙමින් තිබුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් අපේ නිවසට පැමිණෙන විට අපි ඔහයෝ ක්ලීව්ලෑන්ඩ්වලයි පදිංචි වෙලා හිටියේ. කුඩා කාලේදී ඉගෙනගත් දේවල් ගැන අපි වඩාත් බැරෑරුම් ලෙස හිතන්න පටන්ගත්තා. මගේ අයියා රසල්, විශේෂයෙන්ම බැරෑරුම් විදිහට දේවල් ගැන හිතන කෙනෙක් වූ අතර, මුලින්ම බව්තීස්ම වුණේ ඔහුයි. මම ටිකක් සෙල්ලක්කාර වුණත්, 1936 පෙබරවාරි 3වෙනිදා මමත් බව්තීස්ම වුණා. යෙහෝවාට කැපවීම සම්බන්ධයෙන් මගේ අගය කිරීම වැඩි වුණ අතර යෙහෝවාගේ මඟ පෙන්වීම පිළිගැනීමට මම ඉගෙනගනිමින් හිටියා. ඒ අවුරුද්දේදීම මගේ අක්කා කැතරිනුත්, නංගි ග’ට්රූඩ්ඩුත් බව්තීස්ම වුණා. අපි හැමෝම පුරෝගාමීන් හැටියට පූර්ණ-කාලීන සේවයෙහි යෙදුණා.
කොහොමනමුත්, අපි වෙන කිසිම දෙයක් ගැන හිතුවේ නැහැයි කියලා ඒකෙන් අදහස් වුණේ නැහැ. සත්‍යය ගැන ඇහුවම “ඒ ගමන්ම ක්‍රියාශීලී” වුණ ඈන් කියන ලස්සන ගෑනු ළමයෙක් ගැන මගේ නෑනා කිව්වහම, ඇයව දැකගන්න ඉබේම මට ආශාවක් ඇති වුණා. ඇය අපේ නිවසේ තිබුණ රැස්වීම්වලටත් එන්න බලාපොරොත්තුවෙන් හිටියා. ඒ කාලයේදී ඈන් නීති කාර්යාලයක ලේකම්වරියක් හැටියට වැඩ කරමින් හිටිය අතර අවුරුද්දක් යන්නත් කලින් බව්තීස්ම වුණා. මම විවාහ වෙන්න සැලසුම් කරලා තිබුණේ නැතත්, ඈන් සීයට 100ක්ම සත්‍යයට පක්ෂ බව පැහැදිලි වුණා. යෙහෝවාගේ සේවයෙහි පූර්ණ ලෙස නිරත වෙන්න ඇයට වුවමනා වුණා. “ඒක මට කරන්න පුළුවන්ද” කියා ඇය කවදාවත් ඇහුවේ නැහැ. ඒ වෙනුවට, ඇය මෙහෙම ඇහැව්වා, “ඒක කරන්න හොඳම ක්‍රමය මොකක්ද?” ඊට පස්සේ ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඇය අධිෂ්ඨාන කරගෙන හිටියා. එම ඒකාන්ත ආකල්පයට මම හුඟක් කැමති වුණා. ඒ විතරක් නෙවෙයි ඇය හරිම ලස්සනයි කියලා මම දැක්කා; ඇය දැනුත් ලස්සනයි. ඇය මගේ බිරිඳ වූ අතර, වැඩි කල් නොගොස් පුරෝගාමී සේවයෙහි මගේ හවුල්කාරිය බවට පත් වුණා.
පුරෝගාමීන් වශයෙන් වටිනා පුහුණුවක්
අපිට අගහිඟකම් තිබුණු කාලයේ හා කිසි හිඟයක් නැතුව හිටිය කාලයේ යන දෙකේදීම පුරෝගාමීන් හැටියට අපි සෑහීමට පත් වෙලා ඉන්නේ කොහොමද කියන රහස අපි ඉගෙනගත්තා. (පිලිප්පි 4:11-13) දවසක්, හැන්දෑ වේගන එන කොට, අපිට කන්න මොකුත් තිබුණේ නැහැ. අපි දෙන්නා ළඟම තිබුණේ ශත පහක් විතරයි. අපි මස් කඩේකට ගිහින් “අපිට ශත පහකට බොලොග්නා ලිංගුස් දෙන්න පුළුවන්ද” කියලා මම ඇහැව්වා. ඔහු අපි දිහා බලලා, පෙති හතරක් කපලා දුන්නා. එතන ශත පහක වටිනාකමට වඩා තියෙන්න ඇතියි කියන එක නම් මට ස්ථිරයි; ඒ වගේම එය අපට යම් පෝෂණයක් ලබා දුන්නා.
අපි අපේ දේවසේවය කරගෙන යද්දී දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිදුවීම අසාමාන්‍ය දෙයක් වුණේ නැහැ. නියූ යෝක්හි සිරකස් ළඟ නගරයක අපි අත් පත්‍රිකා බෙදමින්, විශේෂ ප්‍රසිද්ධ රැස්වීමක් වෙත අවධානය ඇදගැනීමට දැන්වීම් පුවරු පැළඳගෙන වීදියේ හිටියා. මහත මිනිස්සු දෙන්නෙක් මාව ඇදලා අරගෙන, හිරිහැර කරන්න හැදුවා. එක්කෙනෙක් පොලිස් නිලධාරියෙක් වුණත්, ඔහු ඔහුගේ නිල ඇඳුම ඇඳගෙන හිටියේ නැහැ; ඔහුගේ නිල ලාංඡනය බලන්න ඉල්ලුවහම ඔහු ඒක ගානකටවත් ගත්තේ නැහැ. එතකොටම, බෘක්ලින් බෙතෙල් එකේ ග්‍රාන්ට් සූටර් ඇවිල්ලා කිව්වා, මේක විසඳගන්න අපි පොලිසියට යමු කියලා. එවිට ඔහු බෘක්ලින්හි සමිතියේ කාර්යාලයට දුරකථනයෙන් ඇමතූ අතර, පරීක්ෂක නඩු විභාගයක් සඳහා පදනමක් දමාගැනීමට එදාම ආපහු දැන්වීම් පුවරු පැළඳගෙන, අත් පත්‍රිකා අරගෙන වීදියට යන්න කියලා අපි දෙන්නාට උපදෙස් ලැබුණා. හිතුව විදිහටම අපිව අත්අඩංගුවට ගත්තා. කොහොමනමුත්, බොරු චෝදනා පිට අත්අඩංගුවට ගැනීම නිසා පොලිසියට විරුද්ධව නඩු දානවා කියලා අපි කිව්වහම, ඔවුන් අපිට යන්න ඉඩ දුන්නා.
ඊළඟ දවසේදී පූජකයෙකුගේ උසිගැන්වීම මත නහඹර චණ්ඩීන් කීපදෙනෙක් අපේ එක්රැස්වීමේ ශාලාවට ඇතුල් වූ අතර පොලිසිය පේන තෙක් මානයකවත් හිටියේ නැහැ. මැරවරයන් බේස්බෝල පිතිවලින් ලෑලි පොළොවට ගහලා, රැස්වීමට ඇවිත් හිටිය සමහරෙකුව බිමට ඇදලා දැම්මා; වේදිකාවට නැඟලා ඔවුන් අමෙරිකානු කොඩිය ඉහළට ඔසවලා මෙහෙම කෑගැහැව්වා, “මේකට ආචාර කරන්න! මේකට ආචාර කරන්න!” එවිට ඔවුන් “බිය බැරල් පෝල්කා” යන අමෙරිකාවේ ජනප්‍රිය සිංදුවක් කියන්න පටන්ගත්තා. ඔවුන් රැස්වීම සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා දැම්මා. යේසු පහත සඳහන් වචන පවසද්දි අදහස් කළ දේ සම්බන්ධයෙන් අපිට හොඳ අද්දැකීමක් ලැබුණා: “නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති.”—යොහන් 15:19.
ඇත්තෙන්ම ප්‍රසිද්ධ කථාව, වොච් ටවර් සමිතියේ එවකට සභාපතිව සිටි ජේ. එෆ්. රදෆ’ඩ් දුන්න කතාවක පිටපතක්. ඈනුයි මමයි දවස් කීපයකට ඒ නගරයේ නැවතිලා, එහි මිනිස්සුන්ව හමු වෙලා, තමන්ගේම ගෙවල්වල ඉඳගෙන කතාව අහන්න ප්‍රස්තාව ඉදිරිපත් කළා. ටිකදෙනෙක් ඒ ඉදිරිපත් කිරීම පිළිගත්තා.
විදේශ සේවය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙමින්
කල් යත්ම, සේවයෙහි නව මාවත් විවෘත වුණා. මගේ අයියා රසල්ට හා ඔහුගේ බිරිඳ ඩොරතිට 1943 පළමුවෙනි ගිලියද් පංතියට සහභාගි වෙන්න කියලා ඇරයුමක් ලැබුණු අතර, ඊට පස්සේ මිෂනාරිවරුන් හැටියට ඔවුන්ව කියුබාවට යැව්වා. මගේ අක්කා කැතරින් හතරවෙනි පංතියේ හිටියා. ඇයටත් කියුබාවට පැවරුම් ලැබුණා. පසුව ඇයට ඩොමිනිකන් ජනරජයටත්, ඉන්පසු පුවටෝ රිකෝවලටත් පැවරුම් ලැබුණා. ඈන්ටයි, මටයි මොකක්ද සිද්ධ වුණේ?
ගිලියද් පාසැල ගැනත්, වෙනත් රටවලට මිෂනාරිවරුන්ව යැවීමට සමිතියට වුවමනා බවත් අපි දැනගත්තහම, විදේශ සේවය සඳහා ඉදිරිපත් වීමට අපි කැමැත්තක් දැක්වුවා. අපිම මුදල් යොදවලා හැකි නම් මෙක්සිකෝවට යනවා කියලා අපි මුලදී කල්පනා කළා. නමුත් අපි ගිලියද් පාසැලට ගියාට පස්සේ සමිතිය අපට පැවරුමක් දෙනකම් ඉඳලා බලන එක හොඳයි කියලා අපි තීරණය කළා. මේක යෙහෝවා යොදා තිබෙන විධිවිධානයක් බව අපි තේරුම්ගත්තා.
අපට ගිලියද් පාසැලේ හතරවෙනි පංතිය සඳහා ආරාධනයක් ලැබුණා. නමුත් ඈන්ට කුඩා කාලේදී පෝලියෝ තිබුණු නිසා ඇයට යම් සීමාවන් තිබෙන බව ඒ කාලයේ වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි එන්. එච්. නෝර්ට පංතිය පටන්ගන්න ටික දවසකට කලින් වඩාත් හොඳින් තොරතුරු දැනගන්න ලැබුණා. ඔහු ඒ ගැන මාත් එක්ක කතා කළ අතර, අපව වෙනත් රටකට සේවය සඳහා යැවීම ඥානවන්ත දෙයක් වෙන එකක් නැති බව තීරණය කළා.
අවුරුදු දෙකකට විතර පස්සේ, සමුළුවට කලින් ඒ වෙනුවෙන් වැඩ කර කර ඉන්න කොට, සහෝදර නෝර් මාව ආපහු දැකලා ඇහැව්වා අපි තාමත් ගිලියද් පංතියට යන්න උනන්දුවක් දක්වනවද කියලා. අපි ඒකට ගියත් අපිව විදේශ පැවරුමකට යවන එකක් නැහැයි කියලා ඔහු මට කිව්වා; ඔහුට තිබුණේ වෙන අදහසක්. ඉතින් 1947 පෙබරවාරි 26වෙනිදා නමවෙනි පංතිය ලියාපදිංචි කළහම, අපිව ශිෂ්‍ය කණ්ඩායමට ඇතුල් කළා.
ගිලියද්වල ගත කරපු ඒ කාලය කවදාවත් අමතක වෙන්නේ නැහැ. පාඨමාලා ආත්මිකව ධනවත් ඒවා වුණා. දිගු කාලීන මිත්‍රත්වයන් ඇති වුණා. නමුත් පාසැල එක්ක තිබුණු මගේ සම්බන්ධය ඊටත් වඩා ඔබ්බට ගියා.
වොෂිංටන් හා ගිලියද් අතර
ගිලියද් පාසැල ඒ වන විටත් යම් දුරකට අලුත්. එක්සත් ජනපදයේ රජය, පාසැලේ පරමාර්ථයන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අයුරින් දැනගෙන නොසිටි නිසා හුඟාක් ප්‍රශ්න ඇහැව්වා. සමිතිය කැමති වුණා වොෂිංටන් ඩී.සී. වෙනුවෙන් නියෝජිතයෙක් පත් කරන්න. ගිලියද් උපාධිය ලැබීමෙන් පස්සේ මාස කීපයකට අපිව යැව්වේ එහාටයි. වෙනත් රටවල්වලින් ගිලියද් පංතියට ආරාධනා කරලා තිබුණ අයට විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නත්, උපාධි ලාභීන්ව මිෂනාරි සේවය සඳහා පිටරටවලට යැවීමට අවශ්‍ය ලියකියවිලි ලබාගන්නත් උපකාර කරන්න මට තිබුණා. සමහර නිලධාරීන් හුඟක් සාධාරණ වුණා විතරක් නෙවෙයි අපට උපකාරත් කළා. අනිත් අයට සාක්ෂිකරුවන්ට විරුද්ධව දැඩි හැඟීම් තිබුණා. ඔවුන් නුසුදුසුයි කියා සලකන කණ්ඩායම් එක්ක අපි සම්බන්ධකම් පවත්වනවා කියා දැඩි දේශපාලනික අදහස් තිබුණු කීපදෙනෙක් තරයේ කියා සිටියා.
මම කාර්යාලයක කෙනෙක්ව මුණගැසෙන්න ගියහම, අපි කොඩියට ආචාර කරන්නේවත්, යුද්ධයට යන්නේවත් නැති නිසා ඔහු තදින්ම අපිව විවේචනයට ලක් කළා. ටික වෙලාවක් ඔහු ඒ ගැන කියෙව්වට පස්සේ, මම මෙහෙම කිව්වා: “මේ ලෝකයේ ඉන්න කාත් එක්කවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් යුද්ධ කරන්නේ නැති බව ඔයා දැනගෙන ඉන්නවා නම් හොඳයි, ඇත්තෙන්ම ඔයා ඒ බව දන්නවා. අපි ලෝකයේ දේවල්වලට හවුල් වෙන්නේ නැහැ. අපි ඔවුන්ගේ යුද්ධවලටවත්, ඔවුන්ගේ දේශපාලනයටවත් හවුල් වෙන්නේ නැහැ. අපි සම්පූර්ණයෙන්ම මධ්‍යස්ථයි. ඕගොල්ලෝ මූණ දෙන ගැටලු අපි දැනටමත් ජය අරං තියෙනවා; අපේ සංවිධානයේ එක්සත්කම තියෙනවා. . . . ඉතින්, අපෙන් තව මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි කරන දේවල් අත් ඇරලා, ඕගොල්ලෝ කරන විදිහට දේවල් කරන්න කියලද අපිට කියන්නේ?” ඊට පස්සේ ඔහු කිසිම දෙයක් කිව්වේ නැහැ.
රජයේ කාර්යාලවල වැඩ කරන්න සතියකට සම්පූර්ණ දවස් දෙකක් වෙන් කරලා තිබුණා. ඊට අමතරව, අපි විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කළා. ඒ කාලේදී, මේ සේවය සඳහා හැම මාසයකම පැය 175ක් ක්ෂේත්‍ර සේවයෙහි ගත කළ යුතුව තිබුණ නිසා (පසුව එය පැය 140කට වෙනස් කළා), අපි හුඟක් වෙලාවට හවස් වෙන තුරුම සේවයෙහි නිරත වුණා. අපි හුඟක් ප්‍රීතියෙන් කාලය ගෙව්වා. පවුල් පිටින් පාඩම් කළ කදිම බයිබල් පාඩම් සෑහෙන ප්‍රමාණයක් අපි පැවැත්තුව අතර ඔවුන් හොඳ ප්‍රගතියක් ලැබුවා. දරුවන් හදන්නෙ නැතුව ඉන්න ඈනුයි, මායි තීරණය කළා; නමුත් ආත්මිකව කියනවා නම්, අපිට දරුවන් විතරක් නෙවෙයි, නමුත් මුනුබුරු මිනිබිරියන් හා ඔවුන්ගේ දරුදැරියනුත් ඉඳලා තියෙනවා. ඔවුන් අපිට මොනතරම් ප්‍රීතියක් ගෙන දෙනවද!
වර්ෂ 1948 අගභාගයේදී, මට තවත් පැවරුමක් ලැබුණා. ගිලියද් පාසැලේ රෙජිස්ට්‍රාර් හා උපදේශකයෙක් වූ සහෝදර ෂ්රෝඩර් වෙනත් වැදගත් වැඩ සම්බන්ධයෙන් කාර්ය බහුල වෙන්න යන බව සහෝදර නෝර් පැහැදිලි කළා; ඒ නිසා අවශ්‍ය වෙලාවලදී ගිලියද් පංතිවල උගන්වන්න පුළුවන්ද කියලා මගෙන් ඇහැව්වා. මට භයක් ඇති වුණත්, ඈන් එක්ක මම දෙසැම්බර් 18වෙනිදා නියූ යෝක් සවුත් ලාන්සිංහි ගිලියද් වෙත ආපහු ගියා. මුලදී, අපි එක වතාවකදී සති කීපයකට ගිලියද්හි සිටි අතර යළිත් අපි වොෂිංටන්වලට ගියා. කෙසේවුවත්, අන්තිමේදී, මම වොෂිංටන්වලට වඩා ගිලියද්හි වැඩි කාලයක් ගත කළා.
මම මුලින් සඳහන් කළ පරිදි, නියූ යෝක්හි යැංකි ක්‍රීඩාංගණයේ 21වෙනි ගිලියද් පංතියේ උපාධි ප්‍රදාන වැඩසටහන පැවතුණේ මෙම කාලයේදීයි. එනිසා, උපදේශකයන්ගෙන් කෙනෙකු වශයෙන්, එම උපාධි ප්‍රදාන වැඩසටහනට සහභාගි වෙන්න මට වරප්‍රසාද ලැබුණා.
ලෝක මූලස්ථානයේ සේවය කිරීම
එක්දාස් නවසිය පනස්පහේ පෙබරවාරි 12වෙනිදා, අපිට තවත් සේවා පැවරුමක් ලැබුණා. අපි යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානයේ ලෝක මූලස්ථානයේ බෙතෙල් පවුලේ සාමාජිකයන් බවට පත් වුණා. නමුත් එයට ඇතුළත් වුණේ මොනවාද? අපට පවරා ඇති ඕනෑම දෙයක් කිරීමට කැමැත්තක් දැක්වීමත්, අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වූ ව්‍යාපෘතිවලට හවුල් වීමත් මූලික දේවල් වුණා. අපි ඊට කලින් ඉඳලම එසේ කර තිබුණු බව අමුතුවෙන් කිව යුතු නැහැ; නමුත් අපි මේ වන විට වඩාත් විශාල කණ්ඩායමක් වූ මූලස්ථාන බෙතෙල් පවුලේ සාමාජිකයන්වයි හිටියේ. අපි මෙම අලුත් පැවරුම සතුටෙන් පිළිගත් අතර එය යෙහෝවාගේ මඟ පෙන්වීමේ සාක්ෂියක් වුණා.
මගේ වැඩයෙන් වැඩි කොටසකට ජන සන්නිවේදන මාධ්‍යය සම්බන්ධ කාරණා ඇතුළත්ව තිබුණා. සිත්ගන්නා ප්රවෘත්ති ඇසීමට තියෙන ආශාව නිසාත්, අගතිසහගත මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු නිසාත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන පුවත්පත්වල යම් නරක දේවල් ලියා තිබුණා. එම තත්වය යහපත් අතට හරවන්න අපි පරිශ්‍රමයක් දැරුවා.
අපි හැමෝවම වැඩවල යොදවලා තියන්න සහෝදර නෝර්ට වුවමනා වුණ නිසා අපට වෙනත් පැවරුම්වල යෙදෙන්නත් සිද්ධ වුණා. මේවායින් සමහරකට චිත්‍ර ශිල්පියෙකු වශයෙන් මා ලබා තිබූ පුහුණුවත් උපකාරවත් වුණා. සමිතියේ ගුවන්විදුලි ස්ථානය වන WBBR ඇතුළත් වුණ පැවරුම්ද තිබුණා. සමිතිය මගින් නිපදවූ චලන චිත්‍ර සම්බන්ධයෙන් කිරීමට වැඩ කොටසක් තිබුණා. ගිලියද් පාඨමාලාවේ කොටසක් හැටියට දිව්‍යාණ්ඩු ඉතිහාසය ගැන විස්තරයක් දුන්නත්, වැඩිදෙනෙක්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විවිධ ව්‍යාපෘති පටන්ගෙන තිබෙනවා; මෙම ව්‍යාපෘතීන්, නවීන දින දිව්‍යාණ්ඩු සංවිධානයේ ඉතිහාසය පිළිබඳව යෙහෝවාගේ සෙනඟව වඩ වඩා දැනුවත් කරන අතර, මහජනයාටත් මෙය දැනගැනීමට ප්‍රස්තාව සලසමින් තිබෙනවා. ප්‍රසිද්ධියේ කතා කිරීමට පුහුණු කිරීමේ අංගයත් ගිලියද් පුහුණුවට ඇතුළත් වූ අතර, සභාවල සහෝදරයන්ට වැඩි වැඩියෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමට අවශ්‍ය මූලික සාධක කියා දීමත් අවශ්‍යව තිබුණා. ඒ නිසා කරන්න බොහෝ වැඩ තිබුණා.
ස්ථාවර පදනමක් යටතේ ගිලියද්
වර්ෂ 1961දී, සංචාරක අවේක්ෂකයන්ගේ හා ශාඛා කාර්යාල මණ්ඩලයේ පුහුණු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී, වොච් ටවර් සමිතියේ ප්‍රධාන කාර්යාල තිබුණු බෘක්ලින්වලට ගිලියද් පාසැල මාරු කළා. යළිත් මම පංති කාමරයක හිටියා; මේ අවස්ථාවේදී ආදේශක උපදේශකයෙක් හැටියට නෙවෙයි නමුත් පීඨයේ ස්ථීර සාමාජිකයෙක් හැටියටයි. මොනතරම් වරප්‍රසාදයක්ද! ගිලියද් පාසැල යෙහෝවාගෙන් ලැබුණු ත්‍යාගයක්; එය, ඔහුගේ මුළු දෘශ්‍යමාන සංවිධානයටම ප්‍රයෝජනවත් වී ඇති ත්‍යාගයක් බව මට ස්ථිර වශයෙන්ම විශ්වාසයි.
බෘක්ලින්හි ගිලියද් පංතිවලදී, කලින් පංතිවල ශිෂ්‍යයන්ට නොතිබුණු ප්‍රස්තාවන් ලැබුණා. අමුත්තන් වශයෙන් දේශකයන් හුඟදෙනෙක් ආවා; එමෙන්ම පාලක මණ්ඩලය සමඟ කිට්ටු ඇසුරක් පවත්වන්නත්, මූලස්ථානයේ බෙතෙල් පවුල සමඟ පුළුල් ඇසුරක් පවත්වන්නත් හැකි වුණා. කාර්යාල වැඩකටයුතු, බෙතෙල් නිවසේ ක්රියාකාරිත්වයන් හා කර්මාන්ත වැඩයේ විවිධ පැති සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ට පුහුණුවක් ලැබීමටත් හැකිකම තිබුණා.
අවුරුදු ගණනාව පුරා විවිධ ශිෂ්‍යයන් මෙන්ම උපදේශකයන්ද ගණනාවක් හිටියා. පාසැල තිබුණු ස්ථානයත් කීප වතාවක්ම වෙනස් වුණා. දැන් එය නියූ යෝක්, පැටසන්හි ලස්සන වටාපිටාවකයි තිබෙන්නේ.
ශිෂ්‍යයන් සමඟ වැඩ කිරීම
මේ පංතිවලට ඉගැන්වීම ඇත්තෙන්ම ප්‍රීතියක් වී තිබෙනවා! මොවුන් මෙම පරණ පිළිවෙළේ දේවල් කිරීමට උනන්දුවක් නොදක්වන අයයි. ඔවුන් තමන්ගේ පවුල්, මිත්‍රයන්, නිවස හා තමන්ගේම භාෂාව කතා කරන ජනයා අත්හරිනවා. දේශගුණය, ආහාර යන මේ හැම දෙයක්ම වෙනස් වෙන්න යනවා. ඔවුන් යන්නේ මොන රටටද කියලවත් ඔවුන් දන්නේ නැති නමුත් ඔවුන්ගේ ඉලක්කය මිෂනාරිවරුන් වීමයි. ඒ වගේ අය තුළ පෙලඹවීමක් අමුතුවෙන්ම ඇති කරන්න අවශ්‍ය වන්නේ නැහැ.
මම පංති කාමරයට ගියහම හැම වෙලාවෙම මගේ ඉලක්කය වෙලා තිබුණේ ශිෂ්‍යයන්ට පහසුවක් දැනෙන්න සැලැස්වීමයි. මානසික පීඩනයෙනුත්, කනස්සල්ලෙනුත් ඉන්න කිසි කෙනෙක් හොඳට ඉගෙනගන්නේ නැහැ. මම උපදේශකයෙක්ව හිටිය බව ඇත්තයි; නමුත් ශිෂ්‍යයෙක්ව සිටිද්දී මොන වගේ තත්වයකද ඉන්නේ කියලා මම දැනගෙන හිටියා. වතාවක මමත් ඒ ආසනවල ඉඳගත්තා. ගිලියද්හිදී ඔවුන් වෙහෙසී පාඩම් කළ බවත්, හුඟක් ඉගෙනගත්ත බවත් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ; නමුත් ඔවුන්ට විනෝද වෙන්නත් කාලයක් ලබා දෙන්න මට ඕන වුණා.
ඔවුන් තමන්ගේ පැවරුම්වලට ගිය විට, සාර්ථක වීම සඳහා ඔවුන්ට අවශ්‍ය වන යම් දේවල් තියෙන්න යන බව මම දැනගෙන හිටියා. ඔවුන්ට ශක්තිමත් ඇදහිල්ලක් අවශ්‍ය වුණා. ඔවුන්ට නිහතමානිකම අවශ්‍ය වුණා; එය සෑහෙන ප්‍රමාණයකට අවශ්‍ය වුණා. අන් මනුෂ්‍යයන් එක්ක පෑහී ඉන්නත්, තත්වයන්ට මුහුණ දෙන්නත්, බොහෝ සෙයින් කමාව දෙන්නත් ඔවුන් ඉගෙනගැනීම අවශ්‍යව තිබුණා. ඔවුන් දිගටම ආත්මයේ ඵල වගා කරමින් සිටීමත් අවශ්‍ය කාරණයක්ව තිබුණා. ඔවුන් මිනිසුන්ට ප්‍රේමය දැක්වීමත්, ඔවුන්ට පවරා තිබුණු වැඩය ප්‍රිය කිරීමත් අවශ්‍යව තිබුණා. ශිෂ්‍යයන් ගිලියද්හි සිටි කාලය අතරතුරේදී මම නිතරම අවධාරණය කරන්න වෑයම් කළේ ඒ දේවලුයි.
ශිෂ්‍යයන් කීදෙනෙකුට උගන්වලා තියෙනවාද කියලා මම ඇත්තෙන්ම දන්නේ නැහැ. නමුත් ඔවුන් ගැන මට හැඟෙන ආකාරය මම දන්නවා. ඔවුන් එක්ක පංති කාමරයේ මාස පහක් ගත කළාට පස්සේ, මම ඔවුන්ට ඉබේම ගොඩක් කිට්ටු වුණා. ඊට පස්සේ ඔවුන් උපාධි ප්රදානය කරන දිනයේදී වේදිකාව හරහා ඇවිදලා, තමන්ගේ ඩිප්ලෝමා සහතිකය ලබාගන්නා ආකාරය දිහා මම බලාගෙන ඉන්දැද්දී, ඔවුන් සාර්ථකව පාඨමාලාව සම්පූර්ණ කර තිබෙන බවත්, තව ටික දවසකින් ඔවුන් වෙන් වෙලා යන බවත් මම දැනගෙන හිටියා. ඒක හරියට මගේම පවුලේ සාමාජිකයන් වෙන් වෙලා යනවා හා සමාන දෙයක් වුණා. කිරීමට තිබෙන වැඩ කරන්න යන, තමන්වම පරිත්‍යාග කරමින් ඉදිරිපත් වන මෙම තරුණ අය කෙරෙහි ප්‍රේමයක් නොදක්වා සිටින්නේ කොහොමද?
අවුරුදු ගණනකට පසුව, ඔවුන් නැවතත් අපිව බලන්න ආවහම, සේවයේදී ඔවුන්ගේ ප්‍රීතිමත් අද්දැකීම්වලට මම සවන් දෙන අතර ඔවුන් පුහුණුව ලැබූ දෙයෙහි තවමත් නිරත වෙමින් තම පැවරුම්වල ඉන්න බව දැනගන්න ලැබෙනවා. එතකොට මොන වගේ හැඟීමක්ද මට ඇති වෙන්නේ? මම කියන්න කැමතියි ඒක ඇත්තෙන්ම හොඳ හැඟීමක් කියලා.
අනාගතය දෙස බලමින්
දැන් මගේ ඇස් පෙනීම දුර්වල වෙලා තියෙන නිසා මට කලකිරීමක් ඇති වෙනවා. තවදුරටත් මට ගිලියද් පංති කාමරයේ උගන්වන්න හැකියාවක් නැහැ. මුලදී, එයට සකස් වීම අමාරු දෙයක් වූ නමුත්, මගේ ජීවිත කාලය පුරාම මම තත්වයන්ට මුහුණ දීමට ඉගෙනගෙන තිබෙන අතර ඒවාට සාර්ථකව මුහුණ දී ජීවත් වීමට ඉගෙනගෙන තියෙනවා. මම නිතරම ප්‍රේරිත පාවුල් ගැනත්, ඔහුගේ ‘මාංසයෙහි උල’ ගැනත් හිතනවා. එම ආබාධයෙන් මිදෙන්න පාවුල් තුන් වතාවක් යාච්ඤා කළත් ස්වාමීන් ඔහුට මෙහෙම කිව්වා: “මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේය.” (2 කොරින්ති 12:7-10) පාවුල් එය ඇතුව දිගටම ජීවත් වුණා. ඔහුට එහෙම කරන්න පුළුවන් වුණා නම්, මමත් උත්සාහ කළ යුතුයි. මම දැන් පංති සැසිවාරයන් පවත්වන්නේ නැති වුණත්, හැමදාම ශිෂ්‍යයන් ඇවිත් යනවා දකින්න පුළුවන්කම තියෙන එක ගැන මම ස්තුති පූර්වක වෙනවා. සමහර අවස්ථාවලදී ඔවුන් එක්ක කතා කරන්න මට පුළුවන් වෙනවා; ඔවුන් දක්වන කදිම ස්වභාවය ගැන හිතලා බලන කොට මගේ හෘදයට ප්‍රීතියක් ඇති වෙනවා.
අනාගතයේ තිබෙන්නේ කුමක්ද කියා කල්පනා කරලා බලන එක හොඳ දෙයක්. ඒකට දැන් අත්තිවාරමක් දමමින් තිබෙනවා. ගිලියද් එහි සැලකිය යුතු කොටසක් ඉටු කර තිබෙනවා. මහත් පීඩාවෙන් පස්සේ, එළිදරව් 20:12හි සඳහන් පොත් දිග ඇරෙන විට වසර දාහක් පුරා යෙහෝවාගේ මාර්ග සම්බන්ධයෙන් මහත් අධ්‍යාපනික වැඩක් සිදු වෙන්න යනවා. (යෙසායා 11:9) නමුත් එතැනින් එය අවසන් වන්නේ නැහැ. එය ඇත්තෙන්ම පටන්ගැන්මක් විතරයි. සදාකාලයටම, යෙහෝවා ගැන ඉගෙනගැනීමට තව බොහෝ දේවල් තිබෙන අතර, ඔහුගේ අරමුණු ඉටු වෙනවා අපි දකින විට තව බොහෝ දේවල් කිරීමට තිබේවි. යෙහෝවා දීලා තියෙන උතුම් පොරොන්දු සියල්ලම ඔහු ඉටු කරන බවට මට සම්පූර්ණ විශ්වාසයක් තිබෙන අතර, ඒ කාලයේදී අප වෙනුවෙන් දෙන යෙහෝවාගේ මඟ පෙන්වීම පිළිගැනීමේ පංගුකාරයෙක් වෙන්න මට එහි ඉන්න ඕනේ.
[26වන පිටුවේ පින්තූරය]
1953දී නියූ යෝක් යැංකි ක්‍රීඩාංගණයේ ගිලියද් උපාධි ප්රදානය
[26වන පිටුවේ පින්තූරය]
ග’ට්රූඩ්, මම, කැතරින් හා රසල්
[26වන පිටුවේ පින්තූරය]
සමුළු සංවිධානය කරද්දී එන්. එච්. නෝර් (වම් කෙළවරේ) හා එම්. ජී. හෙන්ෂල් එක්ක වැඩ කරමින්
[26වන පිටුවේ පින්තූරය]
WBBR ගුවන්විදුලි මැදිරියේ
[29වන පිටුවේ පින්තූරය]
ගිලියද් පංති කාමරයේදී
[31වන පිටුවේ පින්තූරය]
ඈන් එක්ක, මෑතකදී