සැඟවුණු නිධානයක් එළිදරව් වේ
මාකාර්යොස් බයිබලයේ කතාව
වර්ෂ 1993දී, ශා. පීට’ස්බ’ග්හි රුසියානු ජාතික පුස්තකාලයේ පර්යේෂණ පවත්වන්නෙක්, පරණ, කහ ගැහුණු ඕතඩොක්ස් රිවියූ සඟරා ගොඩක් සොයාගත්තා. එම සඟරාවල 1860 සිට 1867 දක්වා අවුරුදුවල පිටු තුළ, සියවසකටත් වඩා වැඩි කාලයක් පුරා රුසියානු මහජනයාගෙන් සැඟවී තිබූ නිධානයක් තිබුණා. එය රුසියානු භාෂාවෙන් බයිබලයේ සම්පූර්ණ හෙබ්‍රෙව් ලියවිලිවල නොහොත් “පරණ ගිවිසුමේ” පරිවර්තනයක්!
නායක දේවගැති මාකාර්යොස් හැටියට ප්‍රසිද්ධ වූ ම්යිඛයිල් යාකෝව්ලව්යිච් ග්ලූඛාරෙෆ් සහ ගිරාස්යිම් ප්යිට්රොව්යිච් පාෆ්ස්කි එම ශුද්ධ ලියවිලිවල පරිවර්තකයන්. දෙදෙනාම රුසියානු ඕතඩොක්ස් සභාවේ ප්‍රමුඛ සාමාජිකයන් මෙන්ම භාෂා විශාරදයන්ද වුණා. පසුගිය සියවසේ මුල් භාගයේදී පමණ මෙම පුරුෂයන් තම කාර්යය ආරම්භ කළ විට, සම්පූර්ණ බයිබලයම රුසියානු භාෂාවට පරිවර්තනය කර තිබුණේ නැහැ.
බයිබලය නවීන දින රුසියානු භාෂාවේ පුරෝගාමියෙකු වූ ස්ලවොනික් භාෂාවේ තිබුණු බව ඇත්තයි. කෙසේවෙතත්, 19වන සියවසේ මැද භාගය පමණ වෙද්දී, පූජකයන් විසින් එය යොදාගනු ලැබූ ආගමික මෙහෙයන්වල හැර, ස්ලවොනික් භාෂාව සෑහෙන කලකට භාවිතයෙහි තිබුණේ නැහැ. බටහිරෙත් ඒ හා සමාන තත්වයක් පැවත තිබුණා; එහි රෝමානු කතෝලික සභාව, ලතින් මළ භාෂාවක් වූවායින් සෑහෙන කලකට පසුවත්, බයිබලය ලතින් භාෂාවට පමණක් සීමා කරන්න වෑයම් කළා.
බයිබලය පොදු ජනයාට ලබා දෙන්න මාකාර්යොස් සහ පාෆ්ස්කි තැත් කළා. එමනිසා, බොහෝ කලකට අමතක වී තිබුණු ඔවුන්ගේ කෘතිය සොයාගැනීම, රුසියාවේ සාහිත්‍යමය සහ ආගමික උරුමයට අයත් වැදගත් අංගයක් නැවත පිහිටුවන්න හැකි කරවා තිබෙනවා.
කෙසේවෙතත්, මාකාර්යොස් සහ පාෆ්ස්කි යන පුද්ගලයන් ඇත්තටම කවුද? එමෙන්ම බයිබලය පොදු ජනයාගේ භාෂාවට දමන්න ඔවුන් දැරූ වෑයම් එතරම් විරෝධයකට ලක් වුණේ ඇයි? බයිබලයට ප්‍රේම කරන සියල්ලන්ට ඔවුන්ගේ කතාව චිත්තාකර්ෂණීය මෙන්ම ඇදහිල්ල ශක්තිමත් කරවන්නක්.
රුසියානු බයිබලයක් සඳහා අවශ්‍යතාව
ජනයාගේ පොදු භාෂාවෙන් බයිබලයක් තිබීමේ අවශ්‍යතාව දුටු පළමු අය මාකාර්යොස් සහ පාෆ්ස්කි නොවෙයි. අවුරුදු සියයකට කලින්, රුසියානු මහරජ Iවන පීට’ නොහොත් මහ පීට’ත් එවන් අවශ්‍යතාවක් දුටුවා. ඔහු ශුද්ධ ලියවිලි ගෞරවයෙන් සැලකීම සැලකිය යුත්තක් වන අතර, මෙසේ පැවසූ බවට උපුටා දක්වා තිබෙනවා: “බයිබලය කියන්නේ අන් සියල්ල අබිබවා යන පොතක්; දෙවිට සහ තම අසල්වැසියාට මනුෂ්‍යයෙකු සතු යුතුකම සම්බන්ධ හැම දෙයක්ම එහි අඩංගු වී තිබෙනවා.”
මේ අනුව, 1716දී, තමාගේ වියදමෙන්, ඇම්ස්ටඩෑම්වල බයිබලයක් මුද්‍රණය කරන්න කියා පීට’ තම රාජකීය අධිකරණ මණ්ඩලයට අණ කළා. හැම පිටුවකම රුසියානු භාෂාවෙන් තීරුවක් සහ ලන්දේසි භාෂාවෙන් තීරුවක් තබන්න නියම වී තිබුණා. අවුරුද්දක් තරම් කෙටි කාලයකට පසු, එනම් 1717දී, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි නොහොත් “අලුත් ගිවිසුමේ” කොටස සූදානම් කර තිබුණා.
වර්ෂ 1721 වූ විට, වෙළුම් හතරකින් යුත් හෙබ්‍රෙව් ලියවිල්ලේ ලන්දේසි කොටසත් මුද්‍රණය කර තිබුණා. එක තීරුවක් හිස්ව තැබුවා. පසුව එය රුසියානු පාඨයෙන් පුරවන්නයි අදහස් කළේ. මුද්‍රණ කටයුතු අවසන් කරන්නත්, බෙදාහැරීම පරිපාලනය කරන්නත්, පීට’ එම බයිබල් රුසියානු ඕතඩොක්ස් සභාවේ “ශුද්ධ සිනොඩ්” සභාවේ, එනම් පල්ලියේ උසස්ම ආගමික අධිකාරයේ අතට භාර දුන්නා. කෙසේවෙතත්, එම සිනොඩ් සභාව එම කටයුතු නිමාවකට පත් කළේ නැහැ.
අවුරුදු හතරකට අඩු කාලයක් තුළදී, පීට’ මියගියා. ඔහුගේ බයිබල්වලට කුමක්ද සිදු වුණේ? රුසියානු පාඨය සඳහා වෙන් කර තැබූ හිස් තීරු, කිසිදාක පුරවනු ලැබුවේ නැහැ. එම බයිබල් ගොඩනැඟිල්ලක පොළොවෙන් යට තට්ටුවේ ගොඩගසනු ලැබූ අතර, ඒවා එතැන දිරාපත් වුණා; පසුව හානි නොවූ එකම පිටපතක්වත් සොයාගන්න බැරි වුණා! “ඉතිරිව තිබූ හැම දෙයක්ම වෙළඳුන්ට විකිණීම” සිනොඩ් සභාවේ තීරණය වුණා.
පරිවර්තනය කිරීමට වෑයම් ඇරඹේ
වර්ෂ 1812දී, බ්‍රිතාන්‍ය සහ විදේශ බයිබල් සමාගමේ සාමාජිකයෙකු වූ ජොන් පැටසන් රුසියාවට පැමිණියා. පැටසන්, බයිබල් සමාගමක් පිහිටුවීමට ශා. පීට’ස්බ’ග්හි බුද්ධිමතුන්ගේ උනන්දුව අවදි කළා. රුසියානු හමුදාවන්, පළමුවන නැපෝලියන්ගේ ආක්‍රමණික හමුදාවන් පලවාහැරියාවූ අවුරුද්ද වන 1812 දෙසැම්බර් 6වනදා, මහරජ Iවන ඇලෙක්සැන්ඩර් රුසියානු බයිබල් සමාගමක් පිහිටුවීමට බලපත්‍රය අනුමත කළා. “රුසියානුවන්ටත් තමුන්ගේම රුසියානු මව් බසින් දෙවිගේ වචනය කියවීමට ප්‍රස්තාවක් තිබිය යුතු බව” පාලක සිනොඩ් සභාවට යෝජනා කරන්න කියා, මහරජ 1815දී සමාගමේ සභාපති අල්යික්සනඩර් ගල්යිට්සින් කුමරුට අණ කළා.
හෙබ්‍රෙව් ලියවිලි කෙළින්ම මුල් හෙබ්‍රෙව් බසින් රුසියානු බසට පරිවර්තනය කරන්න අනුමැතිය දීම පැසසුමට ලක් කළ යුතුයි. හෙබ්‍රෙව් ලියවිලි ස්ලවොනික් භාෂාවට කළ පරිවර්තන සඳහා පුරාණ ග්‍රීක සෙප්ටූඅජින්ට් පරිවර්තනය පදනම වී තිබුණා. පරිවර්තනයේ ප්‍රධාන මූලධර්ම නිරවද්‍යතාව, පැහැදිලිකම සහ නිර්මලකම විය යුතු බව බයිබලය රුසියානු භාෂාවට පරිවර්තනය කරන්න සිටි අයට පවසනු ලැබුවා. බයිබලය රුසියානු භාෂාවෙන් ලබා දීමට දැරූ ඒ මුල් උත්සාහයන්ට සිදු වුණේ මොනවාද?
බයිබල් පරිවර්තනයට මාරාන්තික පහරක්ද?
වැඩි කලක් යන්න කලින්, වෙනසට විරුද්ධ වූ පල්ලියේ මෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයන්, විදේශීය ආගමික සහ දේශපාලනමය බලපෑම සැක කරන්න පටන්ගත්තා. දේවමෙහෙයේදී භාවිත කළ භාෂාව වූ ස්ලවොනික්, රුසියානු භාෂාවට වඩා හොඳින් බයිබලයේ පණිවිඩය ප්‍රකාශ කළ බව ඇතැම් පල්ලි නායකයන් තවදුරටත් කියා සිටියා.
මේ අනුව 1826දී රුසියානු බයිබල් සමාගම විසුරුවා හරිනු ලැබුවා. එම බයිබල් සමාගම නිෂ්පාදනය කළ පරිවර්තනවල පිටපත් දහස් ගණනක් පුලුස්සනු ලැබුවා. ප්‍රතිඵලයක් වශයෙන්, චාරිත්‍ර සහ සම්ප්‍රදායන් බයිබලය අබිබවා ගියා. රෝමානු කතෝලික සභාව තැබූ ආදර්ශය අනුගමනය කරමින්, සිනොඩ් සභාව 1836දී මෙසේ නියෝග කළා: “ඕනෑම ශ්‍රද්ධාවත් ගිහියෙකුට ශුද්ධ ලියවිලිවලට සවන් දෙන්න අවසර තිබෙන නමුත්, මඟ පෙන්වීමක් නොමැතිව, ශුද්ධ ලියවිලිවල කොටස්, විශේෂයෙන් පරණ ගිවිසුම කියවා බැලීමට අවසරයක් නැත.” පෙනෙන ප්‍රකාරයට බයිබල් පරිවර්තනයට මාරාන්තික පහරක් එල්ල කර තිබුණා.
පාෆ්ස්කි ඉටු කළ දේ
ඒ අතරවාරයේදී, හෙබ්‍රෙව් භාෂා විශාරදයෙකු වූ ගිරාස්යිම් පාෆ්ස්කි, හෙබ්‍රෙව් ලියවිලි රුසියානු භාෂාවට පරිවර්තනය කිරීමේ කාර්යය භාරගත්තා. වර්ෂ 1821දී ඔහු ගීතාවලියේ පරිවර්තනයක් නිම කළා. මහරජ එයට වහාම අනුමැතිය දුන් අතර, 1822 ජනවාරි වන විට ගීතාවලිය පොත මහජනයා සඳහා මුදාහැර තිබුණා. එය ක්ෂණිකව පිළිගැනීමකට පාත්‍ර වූ අතර, එය 12 වතාවක් නැවත මුද්‍රණය කරන්න සිදු වුණා—මුළු එකතුව පිටපත් 1,00,000ක්!
පාෆ්ස්කිගේ පාණ්ඩිත්‍ය වෑයම් හේතුවෙන්, ඔහු බොහෝ භාෂා විශාරදයන් සහ දේවධර්මාචාරවරුන්ගේ ගෞරවයට පාත්‍ර වුණා. අවට තිබුණු කූටෝපායන් අබිබවා නැඟී සිටියාවූ නොවළහා කටයුතු කරන, අවංක මනුෂ්‍යයෙකු වශයෙන් ඔහුව විස්තර කර තිබෙනවා. පල්ලිය රුසියානු බයිබල් සමාගමට දැක්වූ විරෝධය මෙන්ම එය විදේශීය වාසි තකා කටයුතු කළ බවට ඇතමුන්ට තිබුණු හැඟීම් හමුවේ, මහාචාර්ය පාෆ්ස්කි තම දේශනවලදී දිගටම බයිබල් පද රුසියානු භාෂාවට පරිවර්තනය කළා. ඔහුට ගෞරව කළ ඔහුගේ ශිෂ්‍යයන් ඔහුගේ පරිවර්තන අතින් පිටපත් කොට, කල් යත්ම ඔහු ඉටු කළ දේ සම්පාදනය කරන්න සමත් වුණා. වර්ෂ 1839දී, සීමා පනවන්නන්ගේ අවසර නැතුව, ශාස්ත්‍රාල මුද්‍රණාලයේදී පිටපත් 150ක් පළ කරන්න තරම් ඔවුන් නිර්භීත වුණා.
පාෆ්ස්කිගේ පරිවර්තනය කැපීපෙනෙන ආකාරයකින් පාඨකයන්ගේ සිත්ගත් අතර, එය සඳහා ඉල්ලුම දිගටම වර්ධනය වුණා. එනමුත් 1841දී, මෙම පරිවර්තනය ඕතඩොක්ස් ධර්මයෙන් බැහැරව ගොස් තිබුණු බවට පවසමින්, ඉන් එල්ල වන “අන්තරාව” සම්බන්ධයෙන් සිනොඩ් සභාවට නිර්නාමික පාර්ශ්වයකින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. අවුරුදු දෙකකට පසු සිනොඩ් සභාව මෙම නියමය නිකුත් කළා: “පරණ ගිවිසුමේ ජී. පාෆ්ස්කිගේ පරිවර්තනයේ පවතින අතින් ලියූ සහ ශිලා මුද්‍රණයෙන් මුද්‍රණය කළ පිටපත් සියල්ල රාජසන්තක කොට ඒවා විනාශ කර දමන්න.”
දෙවිගේ නාමය මහිමවත් කිරීම
කෙසේවෙතත්, පාෆ්ස්කි බයිබල් පරිවර්තනය කෙරෙහි උනන්දුවට නව ජීවයක් දී තිබුණා. දෙවිගේ නාමය නමැති තවත් වැදගත් කාරණයක් සම්බන්ධයෙනුත් ඔහු අනාගතය සඳහා වැදගත් පූර්වාදර්ශයක් තබා තිබුණා.
රුසියානු පර්යේෂක කෝර්සූන්ස්කී මෙසේ පැහැදිලි කළා: ‘දෙවිගේ නාමය, එනම් ඔහුගේ නම්වලින් වඩාත්ම ශුද්ධ නාමය יהוה යන හෙබ්‍රෙව් අක්ෂර සතරකින් සෑදී තිබුණු අතර, යෙහෝවා හැටියට දැන් උච්චාරණය කරනු ලබනවා.’ බයිබලයේ පුරාණ පිටපත්වල, දෙවිගේ විශේෂ වූ එම නාමය හෙබ්‍රෙව් ලියවිලිවල පමණක් වාර දහස් ගණනක් දක්නට ලැබෙනවා. කෙසේවෙතත්, දිව්‍ය නාමය ලිවීමට හෝ ශබ්ද කිරීමට තරම් පරිශුද්ධ වැඩි යමක් හැටියට වරදවා විශ්වාස කරන්න යුදෙව්වන් පටන්ගත්තා. මේ සම්බන්ධව කෝර්සූන්ස්කී මෙසේ නිරීක්ෂණය කළා: ‘කතාවේදී හෝ ලිවීමේදී, සාමාන්‍යයෙන් එය වෙනුවට “ස්වාමීන්” ලෙස පරිවර්තනය කරන වචනයක් වන ඇඩෝනායි යන්න යොදනු ලැබුවා.’
දිව්‍ය නාමය භාවිත කිරීම අත්හැරීම සිදු වූයේ, මිථ්‍යාමතික භයක් නිසා මිසක දේවගරුබියක් නිසා නොවන බව පැහැදිලියි. බයිබලයෙහි කොතැනකවත් දෙවිගේ නාමය භාවිත කිරීම අධෛර්යය කරන්නේ නැහැ. දෙවිම මෝසෙස්ට මෙසේ පැවසුවා: “නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ [යෙහෝවා] නුඹලා වෙතට මා [එව්වේයයි] ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. මෙය සදාකල්හිම මාගේ නාමයය, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය.” (නික්මයාම 3:15) ශුද්ධ ලියවිලි නමස්කාරකයන්ට පුන පුනා මෙසේ උනන්දු කරනවා: ‘යෙහෝවාට ස්තුති කරන්න, ඔහුගේ නාමය කියා යාච්ඤා කරන්න.’ (යෙසායා 12:4) කෙසේවෙතත්, බොහෝ පරිවර්තකයන් යුදෙව් සම්ප්‍රදාය අනුගමනය කිරීමට තෝරාගෙන දිව්‍ය නාමය භාවිත කිරීමෙන් වැළකී සිටියා.
කෙසේවෙතත්, පාෆ්ස්කි මෙම සම්ප්‍රදායන් අනුගමනය කළේ නැහැ. ඔහුගේ ගීතාවලිය පරිවර්තනයේ පමණක්, යෙහෝවා යන නම 35 වතාවකට වැඩිය දකින්න පුළුවන්. ඔහු දැක්වූ නිර්භීතකම ඔහුගේ එක් සමකාලීනයෙකුට ගැඹුරින් බලපෑමටයි තිබුණේ.
නායක දේවගැති මාකාර්යොස්
මෙම සමකාලීනයා, සෑහෙන භාෂාමය කුසලතා තිබුණු රුසියානු ඕතඩොක්ස් මිෂනාරියෙකු වූ නායක දේවගැති මාකාර්යොස්. අවුරුදු හතක තරම් ළාබාල වයසකදී, කෙටි රුසියානු පාඨයන් ලතින්වලට පරිවර්තනය කරන්න ඔහුට පුළුවන් වුණා. අවුරුදු 20ට පා තබද්දී, ඔහු හෙබ්‍රෙව්, ජර්මන් සහ ප්‍රංශ දැන සිටියා. කෙසේවෙතත්, නිහතමානී ආකල්පය සහ දෙවි ඉදිරියෙහි තමා සතු වගකීම පිළිබඳ තියුණු හැඟීම, වුවමනාවට වඩා වැඩි විශ්වාසයකින් කටයුතු කිරීමේ උගුල මඟහැරීමට ඔහුට උපකාරවත් වුණා. ඔහු නිතර නිතර වෙන භාෂාවේදීන් සහ විශාරදයන්ගේ උපදෙස් පැතුවා.
රුසියාවේ මිෂනාරි ක්‍රියාකාරකම් ප්‍රතිසංස්කරණය කරන්න මාකාර්යොස්ට ඕනෑ වුණා. රුසියාවේ මුස්ලිම්වරුන්ට සහ යුදෙව්වන්ට ක්‍රිස්තු ධර්මය හඳුන්වා දෙන්න කලින්, “පාසැල් පිහිටුවීමෙන් සහ රුසියානු භාෂාවෙන් බයිබල් බෙදාහැරීමෙන් මහජනයාව දැනුවත් කිරීමට” පල්ලියට සිදු වන බව ඔහුට හැඟුණා. වර්ෂ 1839 මාර්තු මාසයේදී, හෙබ්‍රෙව් ලියවිලි රුසියානු භාෂාවෙන් පරිවර්තනය කරන්න අවසර ලැබේවි යන බලාපොරොත්තුව ඇතුව, මාකාර්යොස් ශා. පීට’ස්බ’ග්වලට පැමිණියා.
මාකාර්යොස්, යෙසායා සහ යෝබ් යන බයිබල් පොත් ඒ වන විටත් පරිවර්තනය කර තිබුණා. කෙසේවෙතත්, හෙබ්‍රෙව් ලියවිලි රුසියානු භාෂාවට පරිවර්තනය කරන්න අවසර දීම සිනොඩ් සභාව ප්‍රතික්ෂේප කළා. ඇත්තෙන්ම හෙබ්‍රෙව් ලියවිලි රුසියානු භාෂාවට පරිවර්තනය කිරීමේ කල්පනාව පවා බැහැර කරන්න කියා මාකාර්යොස්ට අණ කරනු ලැබුවා. “යාච්ඤාව සහ දණගසා වැඳීමෙන් තම හෘදය සාක්ෂිය පවිත්‍ර කරගැනීම සඳහා ටොම්ස්ක්හි බිෂොප්වරයාගේ නිවසේ සති තුනක සිට හයක දුෂ්කර ක්‍රියාවන් කිරීමට” මාකාර්යොස්ට අණ කළ 1841 අප්‍රියෙල් 11 දිනැති නියෝගයක් එම සිනොඩ් සභාව නිකුත් කළා.
මාකාර්යොස්ගේ නිර්භීත ස්ථාවරය
වර්ෂ 1841 දෙසැම්බර්වල සිට 1842 ජනවාරි දක්වා, මාකාර්යොස් දුෂ්කර ක්‍රියාවන් කිරීමෙහි නිරත වුණා. එනමුත් එම අවශ්‍යතාව පිරිමැසුවායින් පසු, හෙබ්‍රෙව් ලියවිලිවල ඉතිරිය පරිවර්තනය කිරීමට ඔහු වහාම පටන්ගත්තා. ඔහු හෙබ්‍රෙව් ලියවිලිවල පාෆ්ස්කිගේ පරිවර්තනයේ පිටපතක් ලබාගෙන තිබූ අතර, තමාගේ පරිවර්තන පරීක්ෂා කිරීමට එය යොදාගත්තා. පාෆ්ස්කි මෙන් ඔහුත්, දිව්‍ය නාමය සැඟවීම ප්‍රතික්ෂේප කළා. යෙහෝවා යන නාමය මාකාර්යොස් පරිවර්තනයෙහි වාර 3,500කට වඩා වැඩි ගණනක් දක්නට ලැබෙනවා!
මාකාර්යොස් ඔහුගේ කෘතියේ පිටපත් ඔහුට පක්ෂ වූ මිතුරන්ට යැව්වා. අතින් ලියූ පිටපත් කිහිපයක් බෙදාහරිනු ලැබුවත්, ඔහුගේ කෘතිය මුද්‍රණය කිරීමට පල්ලිය දිගටම බාධා කළා. තම බයිබලය පිටරටවල ප්‍රචලිත කිරීමට මාකාර්යොස් සැලසුම් යෙදුවා. පිටත්ව යන්න මදකට කලින්, ඔහු අසනීප වී, කෙටි කලකට පසුව 1847 වසරේදී මියගියා. ඔහුගේ බයිබල් පරිවර්තනය ඔහුගේ ජීවිත කාලයෙහිම පළ කළේ නැහැ.
අන්තිමේදී පළ වී!
අවසානයේදී, දේශපාලනමය සහ ආගමික වාතාවරණය වෙනස් වුණා. අලුත් ලිබරල්වාදයක් දේශය සිසාරා පැතිර ගිය අතර, 1856දී සිනොඩ් සභාව නැවතත් බයිබලය රුසියානු භාෂාවට පරිවර්තනය කරන්න අනුමැතිය දුන්නා. මෙම දියුණු වූ වාතාවරණය යටතේ, මාකාර්යොස් බයිබලය 1860 සහ 1867 අතර කාලයේදී, රුසියානු භාෂාවට පරිවර්තනය කිරීමේ අත්හදා බැලීමක් යන මාතෘකාව යටතේ ඕතඩොක්ස් රිවියූ සඟරාවේ කොටස් වශයෙන් පළ කළා.
රුසියානු ආගමික සාහිත්‍යය පිළිබඳ විශාරදයෙකු වූ චෙර්නිගෆ්හි අගරදගුරු ෆීලරේ, මාකාර්යොස් බයිබලය සම්බන්ධයෙන් මෙම ඇගයීම දුන්නා: “ඔහුගේ පරිවර්තනය හෙබ්‍රෙව් පාඨයට විශ්වාසවන්තව ඇලී සිටින අතර, පරිවර්තනයේදී යොදන භාෂාව නිර්මල මෙන්ම විෂයට ගැළපේ.”
කෙසේවෙතත්, මාකාර්යොස් බයිබලය මහජනයා වෙත කිසිදාක මුදාහරිනු ලැබුවේ නැහැ. ඇත්තෙන්ම, එය සම්පූර්ණයෙන්ම වාගේ අමතක කර දමනු ලැබුවා. හෙබ්‍රෙව් සහ ග්‍රීක් ලියවිලි දෙකම ඇතුළත් මුළු බයිබලය 1876දී සිනොඩ් සභාවේ අනුමැතිය ඇතුව රුසියානු භාෂාවට අන්තිමේදී පරිවර්තනය කරනු ලැබුවා. මෙම සම්පූර්ණ බයිබලය බොහෝවිට හඳුන්වන්නේ සිනොඩ් සභික පරිවර්තනය හැටියටයි. මෙම “නිල ලත්” රුසියානු ඕතඩොක්ස් සභා පරිවර්තනයට ප්‍රධාන මූලාශ්‍රයක් වශයෙන් මාකාර්යොස්ගේ මෙන්ම පාෆ්ස්කිගේ පරිවර්තන යොදාගැනීම පරස්පරවිරෝධී කාරණයක්. එනමුත් දිව්‍ය නාමය යොදාගනු ලැබුවේ හෙබ්‍රෙව් භාෂාවේ සඳහන් ස්ථානවලින් තැන් කිහිපයක පමණයි.
මාකාර්යොස් බයිබලය අදදින
මාකාර්යොස් බයිබලය 1993 වන තෙක් සැඟවුණු තත්වයක පැවතුණා. මෙම ලිපියේ හැඳින්වීමේ සඳහන් වූ පරිදි, ඒ කාලයේදී එහි පිටපතක් රුසියානු ජාතික පුස්තකාලයේ විරල පොත් කොටසෙහි පරණ ඕතඩොක්ස් රිවියූ සඟරාවල සොයාගනු ලැබුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙම බයිබලය මහජනයා අතට පත් කිරීමේ වටිනාකම තේරුම්ගත්තා. මාකාර්යොස් බයිබලය පළ කිරීම සඳහා කටයුතු සූදානම් කිරීමට, එහි පිටපතක් රුසියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානයට ලබා දීමට පුස්තකාලය අවසර දුන්නා.
ඊළඟට රුසියාව පුරා මෙන්ම රුසියානු භාෂාව කතා කරන වෙනත් රටවල් බොහොමයක බෙදාහැරීම සඳහා, මෙම බයිබලයෙහි පිටපත් 3,00,000කට ආසන්න සංඛ්‍යාවක් ඉතාලියෙහි මුද්‍රණය කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විධිවිධාන යෙදුවා. හෙබ්‍රෙව් ලියවිල්ලෙන් වැඩිහරියක් අඩංගු මාකාර්යොස්ගේ පරිවර්තනයට අමතරව, පාෆ්ස්කි පරිවර්තනය කළ ගීතාවලිය මෙන්ම ඕතඩොක්ස් සභාවේ අනුමැතිය ඇති ග්‍රීක් ලියවිලිවල සිනොඩ් සභික පරිවර්තනයද බයිබලයෙහි මෙම සංස්කරණයට ඇතුළත් වෙනවා.
මේ අවුරුද්දේ ජනවාරි මාසයේදී, එය රුසියාවේ ශා. පීට’ස්බ’ග්හි මාධ්‍ය සම්මේලනයකදී මුදාහරිනු ලැබුවා. (26වන පිටුව බලන්න.) මෙම අලුත් බයිබලයෙන් රුසියානු පාඨකයන් ඥානාලෝකයකුත් අධ්‍යාත්මික වර්ධනයකුත් ලබනවාට සැකයක් නැහැ.
මේ අනුව බයිබලය පළ වූ මෙම අවස්ථාව ආගමික මෙන්ම සාහිත්‍යමය විජයග්‍රහණයක්! යෙසායා 40:8හි වදන්වල සත්‍යවාදීකම පිළිබඳවත් එය ඇදහිල්ල ශක්තිමත් කරවන සිහිගැන්වීමක්: “තණකොළ වියළෙයි, මල පරවෙයි. නුමුත් අපේ [දෙවිගේ] වචනය සදාකාලේටම පවත්නේය.”
[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]
බයිබලය විචාරකයන්ගේ පැසසුමට ලක් වෙයි
“සාහිත්‍යයේ තවත් ස්මාරකයක් මුදාහැර තිබේ: මාකාර්යොස් බයිබලය.” කොම්සොමොල්ස්කයා ප්‍රාව්ඩා යන පුවත්පත එම හැඳින්වීම සමඟින් මාකාර්යොස් බයිබලයේ මුදාහැරීම නිවේදනය කළා.
“අවුරුදු 120කට” පමණ පෙර උදා වූ අවස්ථාව වන තෙක්, පළමු වරට රුසියානු භාෂාවෙන් බයිබලයක් ලැබුණේ නැහැයි යන්න සඳහන් කිරීමෙන් පසු, මෙම පුවත්පත මෙසේ ශෝකය පළ කළා: “ශුද්ධ වූ ග්‍රන්ථ කියවීම සඳහා පහසු භාෂාවකින් පරිවර්තනය කිරීමට පල්ලිය අවුරුදු ගණනාවක් පුරා විරුද්ධව සිටියා. පරිවර්තන කිහිපයක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, 1876දී ඉන් එකකට පල්ලිය කෙසේ හෝ එකඟ වුණා; එය සිනොඩ් සභික පරිවර්තනය හැටියට හඳුන්වනු ලබන්න පටන්ගත්තා. කෙසේවෙතත්, එය පල්ලි තුළට භාරගනු ලැබුවේ නැහැ. මේ දක්වා, එතැන පිළිගන්නා එකම බයිබලය ස්ලවොනික් භාෂාවෙනුයි තිබෙන්නේ.”
මාකාර්යොස් බයිබලය පළ කිරීමේ වටිනාකමට යොමු දැක්වූ එකෝ පුවත්පත, මෙසේ නිරීක්ෂණය කළා: “ශාන්ත පීට’ස්බ’ග් ජනපද සරසවියේ, හ’ට්සන් ශික්ෂණ විද්‍යා සරසවියේ සහ රජයේ ආගමික ඉතිහාස කෞතුකාගාරයේ සෑහෙන අධිකාරයක් හොබවන විශාරදයන්, බයිබලයේ මෙම අලුත් සංස්කරණය උසස් ලෙස පැසසුමට ලක් කළා.” පසුගිය සියවසේ මුල් භාගයේදී මාකාර්යොස් සහ පාෆ්ස්කි විසින් බයිබලය රුසියානු භාෂාවට කළ පරිවර්තනයට යොමු දක්වමින්, එම පුවත්පත මෙසේ සටහන් කළා: “ඒ කාලය වන තෙක්, රුසියාවේ බයිබලය කියවන්න පුළුවන් වුණේ පූජක පක්ෂයේ සාමාජිකයන්ට පමණක් තේරුම්ගන්න පුළුවන් වුණ ස්ලවොනික් භාෂාවෙන් පමණයි.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් මාකාර්යොස් බයිබලය මුදාහැරීම, මේ අවුරුද්දේ මුලදී ශා. පීට’ස්බ’ග්හි පැවති මාධ්‍ය සම්මේලනයකදී වාර්තා කරනු ලැබුවා. නියෙෆ්ස්කෝයා ව්රෙම්යා නමැති ප්‍රාදේශීයව පළ වන දිනපතා පුවත්පත මෙසේ නිරීක්ෂණය කළා: “මෙම සංස්කරණය රුසියාවේ සහ ශා. පීට’ස්බ’ග්හි සංස්කෘතික ජීවිතයට අතිශය වැදගත්කමකින් යුත් කාරණයක් වශයෙන් තක්සේරු කළ යුතු බව . . . සෑහෙන අධිකාරයක් හොබවන විශාරදයන් අවධාරණය කළා. මෙම ආගමික සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන කවුරු මොනව හිතුවත්, මින් පෙර නොදත් මෙම බයිබලයේ පරිවර්තනය පළ කිරීම ඉමහත් ප්‍රයෝජනයක් ගෙන දෙන බවට සැකයක් නැහැ.”
දෙවිගේ ලිඛිත වචනය, පොදු ජනයාට කියවන්න සහ තේරුම්ගන්න පහසු භාෂාවකින් ලබාගත හැකි විට, දෙවිට ප්‍රේම කරන සෑම කෙනෙකුම සන්තෝෂ වනවාට සැකයක් නැහැ. ලොව පුරා රුසියානු භාෂාව කතා කරන දශලක්ෂ ගණන් දෙනාට තවත් බයිබල් පරිවර්තනයක් ලබා දීම සම්බන්ධයෙන් හැම තැනකම වෙසෙන බයිබලයට ප්‍රිය කරන්නන් ඉමහත් සන්තෝෂයෙන් සිටී.
[පින්තූරය]
මාකාර්යොස් බයිබලයේ මුදාහැරීම මෙම මාධ්‍ය සම්මේලනයේදී නිවේදනය කරනු ලැබුවා
[23වන පිටුවේ පින්තූරය]
සැඟවුණු නිධානය සම්බ වූ රුසියානු ජාතික පුස්තකාලය
[23වන පිටුවේ පින්තූරය]
බයිබලය රුසියානු භාෂාවෙන් පළ කරන්න මහ පීට’ උත්සාහ කළා
[හිමිකම් විස්තර]
Corbis-Bettmann
[24වන පිටුවේ පින්තූරය]
බයිබලය රුසියානු භාෂාවට පරිවර්තනය කරන්න දායක වූ ගිරාස්යිම් පාෆ්ස්කි
[25වන පිටුවේ පින්තූරය]
නායක දේවගැති මාකාර්යොස්; අලුත් රුසියානු බයිබලයට ඔහුගේ නම දී තිබෙනවා