ලාදුරු රෝගියෙකු වශයෙන් මගේ දිවිය—ප්‍රීතිමත් මෙන්ම ආත්මික ආසිරි ලද්දක්
අයිසේ ආඩාග්බෝන පැවසූ පරිදි
මම වැඩුණේ නයිජීරියාවේ අකුරේවලයි. මගේ පවුලේ අය අල, කෙසෙල්, මඤ්ඤොක්කා සහ කොකෝවා වැව්වා. මම පාසැල් යනවාට තාත්තා කැමති වුණේ නෑ. ඔහු මට මෙහෙම කිව්වා: “ඔයා ගොවියෙක්. අල ගැන කියවන්න කියලා කවදාවත් ඔයාට කවුරුත් කියන්න යන්නේ නෑ.”
ඒත්, මට ඕනෙ වුණා කියවන්න ඉගෙනගන්න. සැන්දෑ වරුවල, පුද්ගලික ගුරුවරයෙක් නිවසකට ඇවිත් ළමයි කීපදෙනෙකුට උගන්වද්දී මම ඒ නිවසේ ජනේලය ළඟ හිටගෙන ඇහුම්කන් දුන්නා. ඒ 1940, මට වයස 12ක් විතර වූ කාලයෙයි. ඒ ළමයින්ගේ තාත්තා මාව දකින කොට මට කෑගහලා මාව එතනින් එළවාගත්තා. නමුත් මම ආයිමත් නොනැවතී එතැනට ආවා. සමහර වෙලාවට ගුරුවරයා ආවෙ නැහැ; එතකොට මම හෙමින් සීරුවේ ගිහින් ඒ ළමයි එක්ක ඒගොල්ලන්ගේ පොත් බලනවා. සමහරවිට මට ඒගොල්ලන්ගේ පොත් දෙනවා, බලලා ආපහු දෙන්න කියලා. මම කියවන්න ඉගෙනගත්තේ එහෙමයි.
මම දෙවිගේ සෙනඟට එකතු වුණා
කල් යන විට මම බයිබලයක් ලබාගෙන ඇඳට යන්න ඉස්සෙල්ලා නිතිපතා ඒක කියෙව්වා. එක සැන්දෑවක මම යේසුගේ ගෝලයන්ට වෛර කරනු ඇති බවත්, මිනිසුන්ගෙන් පීඩා විඳිනු ඇති බවත් පෙන්වා තිබෙන මතෙව් 10වෙනි පරිච්ඡේදය කියෙව්වා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් මගේ ගෙදරට ආ වෙලාවේ ඔවුන්ට නරක විදිහට සැලකුව හැටි මට මතක් වුණා. යේසු කතා කර තිබුණේ මේ අය ගැන වෙන්න ඇති කියලා එකපාරටම මට හිතුණා. සාක්ෂිකරුවන් ඊළඟ වතාවේදී ආවහම, මම ඔවුන්ගෙන් සඟරාවක් ලබාගත්තා. ඔවුන් එක්ක ඇසුරු කරන්න පටන්ගත්තහම මාව සමච්චලයට ලක් වෙන්න පටන්ගත්තා. ඒත්, මිනිස්සු මාව අධෛර්යයට පත් කරන්න කරන්න, සැබෑ ආගම සම්බ වෙලා තිබෙන බව වැඩි වැඩියෙන් තහවුරු වුණ අතර මගේ ප්‍රීතියත් වැඩි වුණා.
සාක්ෂිකරුවන් ගැන මගේ සිතට ඇත්තෙන්ම කාවැදුණේ, ඔවුන් මගේ ප්‍රදේශයේ ඉන්න අනිත් ආගමික කණ්ඩායම් වගේ ඔවුන්ගේ නමස්කාරය ප්‍රාදේශීය මිථ්‍යා ආගමේ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් එක්ක මිශ්‍ර කළේ නැති නිසයි. උදාහරණයක් වශයෙන්, මගේ පවුලේ අය එංගලන්ත සභාවට ගියත්, මගේ තාත්තා යොරබා දෙවි වන ඕගූන්ට පූජ්‍ය ස්ථානයක් සාදවා තිබුණා.
මගේ තාත්තා මියගියහම, පූජ්‍ය ස්ථානය උරුම කරගැනීම මට භාරව තිබුණා. බයිබලයේ රූප වන්දනාව හෙළාදකින බව මම දැනගෙන හිටිය නිසා මට ඒක වුවමනා වුණේ නැහැ. යෙහෝවාගේ උපකාරයෙන් මම ආත්මිකව ප්‍රගතියක් ලැබූ අතර 1954 දෙසැම්බර්වලදී බව්තීස්ම වුණා.
ලාදුරු රෝගයෙන් පහර ලැබීම
ඒ අවුරුද්දේ මුලදී, මගේ යටිපතුල් ඉදිමෙන බවත්, මගේ යටි පතුල්වලට කිසිවක් දැනෙන්නේ නැති බවත් මට තේරුණා. මම ගිනි අඟුරුවල අඩිය තිබ්බත් මට වේදනාවක් දැනුණේ නෑ. ඊට ටික දවසකට පස්සේ, මගේ නළලෙත්, තොල්වලත් රතු තුවාල හටගත්තා. මමවත් මගේ පවුලේ අයවත් දැනං හිටියේ නෑ මොකක්ද වෙන්නේ කියලා; අපි හිතුවේ දද හැදිලා කියලයි. සුවය බලාපොරොත්තුවෙන් මම ශාකවල ගුණ අනුව වෙදකම් කරන්නන් 12දෙනෙක් ළඟට ගියා. අන්තිමේදී ඔවුන්ගෙන් එක් කෙනෙක් අපට කිව්වා ඒ ලාදුරු රෝගයයි කියලා.
එය කොයිතරම් කම්පනයක් ඇති කරන්නක් වුණාද! මගේ හිත අවුල් වුණ අතර මට හොඳට නිදාගන්න බැරි වුණා. මම එකපාරටම හීනෙන් භය වුණා. නමුත් බයිබල් සත්‍යය ගැන මගේ දැනගැන්මත්, යෙහෝවා මත රඳා සිටීමත් නිසැකකමින් අනාගතය දෙස බලන්න මට උපකාරයක් වුණා.
පේන කියන්නෙක් ළඟට මම ගිහින් පූජා ඔප්පු කළා නම් මට සනීප වෙන්න පුළුවන් කියලා මිනිස්සු මගේ අම්මාට කිව්වා. එවැනි ක්‍රියාවක් යෙහෝවාව අසතුටු කරන බව දන්න නිසා මම යන්න ප්‍රතික්ෂේප කළා. මාව වෙනස් කරන්න බැරි බව වටහාගෙන, කෝලා ගෙඩියක් අරගෙන මගේ නළලට තියන්න කියලා අම්මාගේ යාළුවෝ එයාට යෝජනා කළා. ඊට පස්සේ මා වෙනුවෙන් පූජා ඔප්පු කරන්න කෝලා ගෙඩිය පේන කියන්නාට දෙන්න ඇයට පුළුවන්. ඒකෙ පංගුකාරයෙක් වෙන්න මට ඕනෙ වුණේ නැති නිසා මම අම්මාට ඒ බව කිව්වා. අන්තිමේදී මිථ්‍යා ආගමට මාව සම්බන්ධ කරගන්න ඇය දැරූ වෑයම් අත්හැර දැමුවා.
මම රෝහලට යන කොට ලාදුරු රෝගය උග්‍ර වෙලා තිබුණා. මගේ මුළු ඇඟ පුරාම තුවාල දමා තිබුණා. රෝහලේදී, ඔවුන් මට බේත් දුන් අතර සෙමින් සෙමින් මගේ හම යථා තත්වයට ආවා.
මම මැරිලා කියා ඔවුන් සිතුවා
නමුත් මගේ ගැටලුවල අවසානය නොවෙයි එය. මගේ දකුණු පාදය දරුණු ලෙස ආසාදනයට ලක් වූ අතර 1962දී එය කපා දමන්න සිදු වුණා. ශල්‍යකර්මයෙන් පසුව, සංකීර්ණ වෛද්‍ය ගැටලු මතු වුණා. මාව ජීවත් කරවන්න බැරි වෙයි කියා වෛද්‍යවරුන් සිතුවා. අවසන් ආගමික වතාවත් කිරීමට සුදු ජාතික මිෂනාරි පූජකයෙක් ආවා. මට කතා කරගන්න පණ තිබුණේ නැහැ; නමුත් හෙදියක් ඔහුට කිව්වා මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියලා.
පූජකයා මට මෙහෙම කිව්වා: “වෙනස් වෙලා කතෝලිකයෙක් වෙන්න ඔයාට ඕනෙද? එතකොට ඔයාට ස්වර්ගයට යන්න පුළුවන් වෙයි.” මට හිත ඇතුලෙන් හිනා ගියා. උත්තර දෙන්න ශක්තිය දෙන්න කියා මම යෙහෝවාට යාච්ඤා කළා. මහත් වෑයමකින් මට මෙහෙම කියන්න පුළුවන් වුණා, “නෑ!” පූජකයා හැරිලා, යන්න ගියා.
රෝහල් සේවකයන් මම මැරිලා කියලා හිතන තරමටම මගේ තත්වය දරුණු වුණා. ඔවුන් ඇතිරිල්ලකින් මගේ මුහුණ වැහැව්වා. ඒත්, මගේ මරණය සහතික කරන්න වෛද්‍යවරයෙක්වත්, හෙදියක්වත් නොසිටිය බැවින් ඔවුන් මාව මිනීකාමරයට දැම්මේ නෑ. වෛද්‍යවරයෙක් සේවයේ යෙදී හිටියේ නැති අතර, හෙදියන් සියලුදෙනාම සාදයකට ගොස් තිබුණා. ඒ නිසා ඔවුන් මාව රාත්‍රිය පුරාම වාට්ටුවේ තබා තිබුණා. ඊළඟ දින උදේ වෛද්‍යවරයා වාට්ටුවේ ලෙඩ්ඩු බලමින් ගියත්, මැරිලායයි සිතා ඒ වන විටත් මාව වසා තිබුණු නිසා කිසි කෙනෙක් මා ළඟට ආවේ නෑ. අන්තිමේදී, ඇතිරිල්ල යට ඇති “මිනිය” සෙලවෙනවා යමෙක් දැක්කා!
හොඳ වෙලාවට, මට ගොඩ එන්න ලැබුණා; එක්දාස් නවසිය හැටතුනේ දෙසැම්බර්වලදී, නයිජීරියාවේ නිරිතදිග පිහිටා ඇති ඇබිඕකට ලාදුරු රෝහල් සාත්තු නිවසට ඔවුන් මාව මාරු කළා. එදා පටන් මම ජීවත් වුණේ එතැනයි.
මගේ දේශනා කිරීමට විරෝධතාව
මම එහි යන විට සාත්තු නිවසේ ලාදුරු රෝගීන් 400ක් විතර සිටි අතර, හිටිය එකම සාක්ෂිකරුවා මමයි. මම සමිතියට ලියූ අතර ආකෝමෝජි සභාවට මාව මුණගැහෙන්න මඟ පෙන්වමින් ඔවුන් නොපමාව පිළිතුරක් එව්වා. එනිසා මට කවදාවත් සහෝදර සම්බන්ධය නැති වී ගියේ නෑ.
මම සාත්තු නිවසට පැමිණි වහාම දේශනා කරන්න පටන්ගත්තා. ප්‍රාදේශීය දේවගැතියෙක් ඒ ගැන අසතුට පළ කර, කඳවුර භාර සුභසාධක නිලධාරියාට මා ගැන වාර්තා කළා. සුභසාධක නිලධාරියා ජර්මනියෙන් පැමිණි වයසක තැනැත්තෙක්. මම පාසැල් ගොස් නොතිබූ නිසාත්, උගන්වන්න සහතිකයක් ලබාගෙන නොතිබුණු නිසාත් බයිබලය උගන්වන්න මට අයිතියක් නෑ, ඒ වගේම මට සුදුසුකම් තිබුණේ නැති නිසා, මම වැරදියට උගන්වයි කියලා ඔහු මට කිව්වා. මම නැවැත්තුවේ නැත්නම් මාව සාත්තු නිවසෙන් අයින් කරන්න සහ වෛද්‍ය ප්‍රතිකාර නවත්වන්න ඉඩ තිබුණා. කිසි උත්තරයක් දෙන්න ඔහු මට ඉඩ දුන්නේ නෑ.
ඊළඟට කිසි කෙනෙක් මාත් එක්ක බයිබලය පාඩම් නොකළ යුතු බවට ඔහු නියෝගයක් නිකුත් කළා. ප්‍රතිඵලයක් වශයෙන්, උනන්දුව දක්වා තිබුණු අය මා වෙත පැමිණීම නවතා දැමුවා.
ප්‍රඥාව හා මඟ පෙන්වීම ඉල්ලා මම යාච්ඤාවෙන් යෙහෝවාට කාරණාව ඉදිරිපත් කළා. ඊළඟ ඉරිදා මම සාත්තු නිවසේ බැප්ටිස්ට් පල්ලියට ගියා; ඒ වුණත් ආගමික මෙහෙයන්ට මම සහභාගි වුණේ නෑ. පැමිණ සිටි අයට ප්‍රශ්න අහන්න හැකි කාලයකුත් මෙහෙයට ඇතුළත්ව තිබුණා. මම මගේ අත උස්සලා මෙහෙම ඇහැව්වා: “හොඳ මිනිස්සු ඔක්කොම ස්වර්ගයටත්, නරක මිනිස්සු ඔක්කොම වෙන තැනකටත් යනවා නම්, දෙවි පොළොව මවා තිබෙන්නේ ජනාවාසව පැවතීමටයි කියා යෙසායා 45:18හි පවසන්නේ ඇයි?”
සභාවෙහි සෑහෙන කසුකුසුගෑමක් තිබුණා. අන්තිමේදී, දෙවිගේ මාර්ග තේරුම්ගන්න අපිට බැහැයි කියා මිෂනාරි දේවගැති පැවසුවා. ඒත් සමඟම, ස්වර්ගයට 1,44,000ක් යන බවත්, දුෂ්ටයන් විනාශ වන බවත් එමෙන්ම ධර්මිෂ්ඨ අය සදහටම පොළොව මත ජීවත් වෙන්න යන බවත් පවසන ශුද්ධ ලියවිලි පද කියවමින් මම මගේම ප්‍රශ්නයට උත්තර දුන්නා.—ගීතාවලිය 37:10, 11; එළිදරව් 14:1, 4.
උත්තරය අගය කරමින් හැමෝම අත්පුඩි ගැහැව්වා. එවිට දේවගැති මෙහෙම පැවසුවා: “ඇත්තෙන්ම මේ මනුෂ්‍යයා බයිබලය ගැන දන්න නිසා, දෙවනි පාරටත් අත්පුඩි ගහන්න.” මෙහෙයෙන් පසුව, සමහරු මා ළඟට ඇවිත් මෙහෙම කිව්වා: “දේවගැතිට වඩා ඔයා දන්නවා!”
මාව අස් කිරීමට පීඩනය දිගටම පවතිනවා
එයින් පීඩාකාරි තත්වය සෑහෙන දුරකට නැවතුණු අතර, යළිත් ජනයා මා එක්ක බයිබලය පාඩම් කරන්න හවුල් වුණා. කෙසේවුවත්, මාව අස් කරන්න කියා සුභසාධක නිලධාරියාට පෙරැත්ත කළ විරුද්ධකරුවන් සිටියා. පල්ලියේ මෙහෙය පවත්වා මාසයකට විතර පස්සේ, ඔහු මට කතා කරලා මෙහෙම කිව්වා: “ඔයා දිගටම දේශනා කරන්නේ ඇයි? මගේ රටේ, මිනිස්සු යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට කැමති නෑ; මෙහෙත් ඒ වගෙයි. ඇයි ඔයා මට කරදර දෙන්නේ? මට ඔයාව අස් කරලා දාන්න පුළුවන් බව ඔයා දන්නේ නැද්ද?”
මම මෙහෙම පිළිතුරු දුන්නා: “තාත්තේ, හේතු තුනක් නිසා මම ඔයාට ගරු කරනවා. එක, ඔයා මට වඩා වයසින් වැඩි නිසාත්, පැසුණු හිසට අපි ගරු කළ යුතුයි කියා බයිබලයේ කියන නිසාත්. මම ඔයාට ගරු කරන දෙවෙනි හේතුව තමයි, මෙහෙ ඇවිත් අපට උපකාර කරන්න ඔයා ඔයාගේ රට දාලා ආව එක. තුන්වෙනි හේතුව, ඔයා කරුණාවන්ත, ත්‍යාගශීලී, ඒ වගේම විපතට පත් අයට උපකාර කරන කෙනෙක් නිසා. නමුත් මාව අස් කරලා දාන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද? මේ රටේ ජනාධිපති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අස් කරලා දාන්නේ නෑ. මේ ප්‍රදේශයේ සම්ප්‍රදායික නායකයා අපිව අස් කරන්නේ නෑ. ඔයා මාව මේ කඳවුරෙන් පන්නලා දැම්මත්, යෙහෝවා මාව තවදුරටත් බලාගන්නවා.”
මම ඊට පෙර කවදාවත් ඒ විදිහට ඔහුට කෙළින්ම කතා කරලා තිබුණේ නැහැ; එයින් යම් බලපෑමක් ඇති කළ බව මට පෙනුණා. වචනයක්වත් කතා නොකර ඔහු එතැනින් ඉවත්ව ගියා. පසුව, කෙනෙක් මා ගැන පැමිණිලි කළ විට, ඔහු කලකිරීමකින් මෙහෙම පිළිතුරු දුන්නා: “මේ වැඩේට මම ආයිමත් අතගහන්නේ නෑ. එයාගේ දේශනා කිරීම සම්බන්ධයෙන් ඔයාට ගැටලුවක් තියෙනවා නම්, ඒක එයා එක්ක කතා කරගන්න!”
සාක්ෂරතා පංතිය
කඳවුරේ බැප්ටිස්ට් පල්ලියට සහභාගි වුණ අයගෙන් මගේ දේශනා සේවයට දිගටම විරෝධතා පැමිණුණා. එවිට මට අදහසක් පහළ වී තිබුණා. මම සුභසාධක නිලධාරියා ළඟට ගිහින්, සාක්ෂරතා පංතියක් දාන්න මට පුළුවන්ද කියලා ඇහැව්වා. මට කීයක් ගෙවන්න ඕනෙද කියලා ඔහු ඇහැව්වාම මම කිව්වා මම නොමිලේ උගන්වන්නම් කියලා.
ඔවුන් පංති කාමරයක්, කළු ලෑල්ලක් සහ හුණු කූරු සැපයුවා; ඉතින් මම එහි සිටි සෙසු නේවාසිකයන්ට කියවන්න උගන්වන්න පටන්ගත්තා. අපි හැමදාම පංති පැවැත්තුවා. මුල් විනාඩි 30දී කියවන්න උගන්වන අතර ඉන්පසු මම බයිබලයෙන් කතන්දරයක් කියා පැහැදිලි කරනවා. ඉන්පසු, අපි බයිබලයෙන් එම වාර්තාව කියවනවා.
එක ශිෂ්‍යයෙක් වුණේ නිමෝටා කියන ස්ත්‍රියයි. ආත්මික දේවල් කෙරෙහි ඈ තුළ ගැඹුරු උනන්දුවක් තිබුණු අතර පල්ලියේදීත්, මුස්ලිම් පල්ලියේදීත් ආගමික ප්‍රශ්න අහන්න යෙදුණා. ඇයට එහිදී ඇගේ ප්‍රශ්නවලට උත්තර ලැබුණේ නැති නිසා මා ළඟට ඇය ආවා අහන්න. අන්තිමේදී, ඇය ඇගේ ජීවිතය යෙහෝවාට කැප කර, බව්තීස්ම වුණා. වර්ෂ 1966දී අපි විවාහ වුණා.
අදදින අපේ සභාවේ ඉන්න අයගෙන් වැඩිදෙනෙක් කියවන්න සහ ලියන්න ඉගෙනගත්තෙ ඒ සාක්ෂරතා පංතියෙනුයි. ඒ පංතිය ගැන යෝජනා කරන්න මට ප්‍රඥාව තිබුණේ නැහැ. ඇත්තෙන්ම යෙහෝවාගේ ආශීර්වාද පැහැදිලිව තිබුණා. ඊට පස්සේ දේශනා කිරීමෙන් මාව නවත්වන්න කිසි කෙනෙක් උත්සාහ කළේ නෑ.
කඳවුරේ රාජ්‍ය ශාලාවක්
නිමෝටායි මමයි විවාහ වුණ දා ඉඳලා, අපි හතරදෙනෙක් නිතිපතාම මුරටැඹ පාඩමට එක්රැස් වුණා. අවුරුද්දක් විතර, අපි රැස්වුණේ ලාදුරු රෝගීන්ගේ තුවාල සේදූ කාමරයෙයි. එවිට මේ වන විට මගේ මිත්‍රයෙක් වී සිටි සුභසාධක නිලධාරියා මට මෙහෙම කිව්වා: “ඕගොල්ලන්ගේ දෙවිට ඕගොල්ලෝ ප්‍රතිකාර කාමරයක නමස්කාර කරන එක හොඳ නෑ.”
හිස් වඩු වැඩ අට්ටාලයක අපිට රැස්වෙන්න පුළුවන් කියලා ඔහු කිව්වා. කල් යත්ම, ඒ අට්ටාලය රාජ්‍ය ශාලාවක් බවට පරිවර්තනය කරනු ලැබුවා. වර්ෂ 1992දී, නගරයේ සහෝදරයන්ගේ උපකාරයෙන්, අපි එය සම්පූර්ණ කළා. ඔබට 24වන පිටුවේ පින්තූරයෙන් දැකගත හැකි පරිදි, අපේ ශාලාව කොන්ක්‍රීට් බිමක් සහ ශක්තිමත් වහලක් ඇති, කපරාරු කර පින්තාරු කළ සෑහෙන හොඳ ගොඩනැඟිල්ලක්.
ලාදුරුවලින් පෙළෙන්නන්ට දේශනා කිරීම
ලාදුරු සාත්තු නිවාසය අවුරුදු 33ක් පුරා මගේ බලප්‍රදේශය වී තිබෙනවා. ලාදුරු රෝගීන්ට දේශනා කිරීම මොන වගේ එකක්ද? මෙහි අප්‍රිකාවේ වැඩිදෙනෙක් විශ්වාස කරන්නෙ සියලු දේවල් දෙවිගෙන් පැමිණෙන බවයි. එනිසා ඔවුන් ලාදුරු රෝගයෙන් පීඩා විඳින විට, ඔවුන් විශ්වාස කරන්නේ යම් විදිහකින් දෙවි එයට වගකියන්න ඕනෙ බවයි. සමහරු තමන්ගේ තත්වය ගැන සෑහෙන්න කලකිරිලා. කේන්තියෙන් සිටින වෙනත් අය මෙහෙම කියනවා: “ප්‍රේමනීය හා දයානුකම්පිත දෙවිකෙනෙක් ගැන අපිට කියන්න එපා. ඒක සැබෑවක් නම්, මේ අසනීපය නැති වෙලා තියෙන්න ඕනෙ!” එතකොට අපි යාකොබ් 1:13 කියවලා හේතු දැක්වුවා; එහි කියන්නේ මෙසේයි: ‘දෙවිට නපුරෙන් පරීක්ෂා කරනු ලබන්ට නුපුළුවන.’ ජනයාට පීඩා කිරීමට යෙහෝවා රෝගවලට ඉඩහරින්නේ ඇයි කියා ඊළඟට අපි පැහැදිලි කළ අතර, කිසි කෙනෙක් අසනීප නොවෙන පාරාදීසමය පොළොවක් සම්බන්ධයෙන් ඔහුගේ පොරොන්දුවට අපි යොමු දැක්වුවා.—යෙසායා 33:24.
බොහෝදෙනෙක් ශුභාරංචියට පක්ෂව ප්‍රතිචාරය දක්වලා තියෙනවා. මම මේ කඳවුරට ආ දා සිට, කැප වී, බව්තීස්ම වීමට පුද්ගලයන් 30දෙනෙකුට වඩා උපකාර කිරීමට යෙහෝවා මාව පාවිච්චි කරලා තියෙනවා. සුව වූ පසු බොහෝදෙනෙක් ඔවුන්ගේ නිවෙස්වලට යළි ගොස් ඇති අතර, ටිකදෙනෙක් මියගියා. දැන් අපිට ප්‍රචාරකයන් 18දෙනෙක් ඉන්න අතර 25දෙනෙක් විතර නිතිපතා රැස්වීම්වලට පැමිණෙනවා. අපි දෙන්නෙක් වැඩිමහල්ලන් හැටියට සේවය කරන අතර, අපිට එක උපස්ථායක සේවකයෙකු හා එක ස්ථාවර පුරෝගාමියෙකු සිටිනවා. මේ කඳවුරේ හුඟදෙනෙක් දැන් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරමින් සිටිනවා දැකීම මට මොනතරම් සතුටක්ද! මම මෙහෙට එන කොට, මාව තනි වෙයි කියලා මට බයක් දැනුණ නමුත් පුදුම විදිහකට යෙහෝවා මට ආශීර්වාද කරලා තියෙනවා.
මගේ සහෝදරයන්ට සේවය කිරීමේ ප්‍රීතිය
මීට පෙර අවුරුදු පහක් වෙනකම්ම 1960 ඉඳලා මම ලාදුරුවලට බෙහෙත් ගත්තා. සභාවේ ඉන්න අනිත් අය වගේම, දැන් මට සම්පූර්ණයෙන්ම සුවයි. ලාදුරු තිබුණ බවට ලකුණ මැකී නෑ—මගේ කකුලේ පහළ කොටස මට අහිමි වුණු අතර මගේ අත් දිගහරින්න මට බැහැ—නමුත් රෝගය පහ වෙලා ගිහින්.
මම සුව වී සිටින නිසා ආපහු ගෙදර නොයා කඳවුරේම ඉන්නේ ඇයි කියලා සමහරු මගෙන් අහලා තියෙනවා. මගේ සිටීමට හේතු ගණනාවක් තිබෙන නමුත්, ප්‍රධාන හේතුව මෙහි ඉන්න මගේ සහෝදරයන්ට දිගටම උපකාර කරන්න මට ඕනෙ වීමයි. මම ආපහු ගෙදර ගියොත් මගේ පවුලේ අයට මට දෙන්න පුළුවන් වන ඕනෑම දෙයකට වඩා යෙහෝවාගේ බැටළුවන්ව බලාගැනීමේ ප්‍රීතිය අබිබවා යනවා.
මට ලාදුරු තියෙනවා කියා දැනගන්න පෙර මම යෙහෝවාව දැනගෙන සිටි එක මට ලොකු සතුටක්. එහෙම නොවුණා නම්, මම මෙලහකටත් පණ නහගෙන. ගත වූ කාලයේදී බොහෝ දුෂ්කරතා සහ ප්‍රශ්න තිබී ඇති මුත් මාව උසුලාගත්තේ බෙහෙත් නෙවෙයි—යෙහෝවායි. අතීතයට යළි ගමන් කළ විට මම ප්‍රීති වෙනවා; ඒ වගේම දේවරාජ්‍යය යටතේ අනාගතය ගැන හිතන කොට මට ඊටත් වඩා ලොකු ප්‍රීතියක් ඇති වෙනවා.
[25වන පිටුවේ කොටුව]
ලාදුරු පිළිබඳ තොරතුරු පත්‍රිකාව
ඒ කුමක්ද?
නවීන-දින ලාදුරු රෝගය බැසිලයක් මගින් ඇති කරන රෝගයක් වන අතර, එය හඳුනාගනු ලැබුවේ ආමෞව’ හැන්සන් විසින් 1873දීයි. ඔහුගේ වැඩය පිළිගැනීමක් වශයෙන්, වෛද්‍යවරුන්ද ලාදුරු රෝගයට යොමු දක්වන්නේ හැන්සන්ගේ රෝගය හැටියටයි.
බැසිලය ස්නායු, ඇටකටු, ඇස් හා යම් ඉන්ද්‍රියයන්වලට හානි කරනවා. බොහෝවිට අත්වල හා පාවල දැනීම නැති වී යනවා. නොසලකා හැරියොත්, මුහුණේ හා ශරීරයේ බාහිර කොටස් කුණු වී යෑමක් ඇති කළ හැකියි. එයින් මරණය ඇති වන්නේ කලාතුරකින්.
සුව කළ හැකිද?
ලාදුරු යන්තමින් හැදුණු අයට කෙසේ නමුත් ප්‍රතිකාරයක් නොකරම සුව විය හැකියි. දරුණු රෝගීන්ව බෙහෙත්වලින් සුව කරගත හැකියි.
වර්ෂ 1950 ගණන්වල හඳුන්වා දුන් ලාදුරුවලට එරෙහි වන මුල්ම බෙහෙත ක්‍රියා කළේ ඉතා සෙමෙන් වූ අතර, ලාදුරු බැසිලය ඊට ඔරොත්තු දීමක් වර්ධනය කළ බැවින්, එයින් බලපෑමක් ඇති නොවන තත්වයක් වැඩිවර්ධනය වුණා. අලුත් බෙහෙත් නිපදෙවූ අතර, 1980 ගණන්වල මුල්භාගයේ සිට බහු-ඖෂධ චිකිත්සාව (බඖචි) ලොව පුරා පිළිගත් ප්‍රතිකාරය බවට පත් වුණා. මේ ප්‍රතිකාරය සාදා තිබෙන්නේ බෙහෙත් වර්ග තුනක සංයෝජනයකින්—ඩැප්සෝන්, රයිෆැම්පසන් සහ ක්ලෝෆැසිමින්. බඖචි මගින් බැසිලය මරා දැම්මත්, එය මේ වන විටත් සිදු කර ඇති පලුදු අලුත්වැඩියා කරන්නේ නෑ.
රෝග සුව කිරීමේදී බඖචි බෙහෙවින් බලපෑමෙන් යුක්තයි. ප්‍රතිඵලයක් වශයෙන්, ලාදුරු රෝගයෙන් පෙළෙන්නන්ගේ ගණන 1985දී මිලියන 12 සිට 1996 මැදභාගය වන විට මිලියන 1.3 දක්වා පමණ ශීඝ්‍රයෙන් අඩු වී තිබේ.
එය කොයිතරම් දුරට බෝවෙනසුලුද?
ලාදුරු රෝගය ශීඝ්‍රයෙන් බෝ නොවෙයි; වැඩිදෙනෙකුට එයට විරුද්ධ වීමට ප්‍රමාණවත් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධති තිබේ. එය බෝ වුණත්, සාමාන්‍යයෙන්ම බෝවෙන්නේ ආසාදිතයන් සමඟ දිගු කලක් ඉතා සමීපව ජීවත්වන්නන්ටයි.
බැසිලය මිනිස් සිරුරට ඇතුල් වන ආකාරය වෛද්‍යවරුන් ස්ථිරයෙන්ම දන්නේ නැති නමුත් සමෙන් හෝ නාසයෙන් එය ඇතුල් වන බවට ඔවුන් සැක කරයි.
අනාගත අපේක්ෂා
වර්ෂ 2000 වන විට “මහජන සෞඛ්‍ය ගැටලුවක් වශයෙන්” ලාදුරු “තුරන්” කර දැමීමට ඉලක්ක කර තිබේ. මෙයින් අදහස් කරන්නේ ඕනෑම ප්‍රජාවක ලාදුරු රෝගීන්ගේ ගණන 10,000ක ජනතාවකගෙන් 1කෙනෙකුට වඩා ඉක්මවා නොයන බවයි. දේවරාජ්‍යය යටතේ එය සම්පූර්ණයෙන්ම පහවී යනු ඇත.—යෙසායා 33:24.
මූලාශ්රයන්: ජගත් සෞඛ්‍ය සංවිධානය; ලාදුරු විරෝධී සමාගම්වල අන්තර්ජාතික ඒකාබද්ධ සංගමය සහ මෑන්සන්ස් ට්‍රොපිකල් ඩිසීසස්, 1996 පිටපත.
[27වන පිටුවේ කොටුව]
අදදින ලාදුරු බයිබල් කාලවල ලාදුරුවලට සමානද?
අදදින වෛද්‍ය පොත්වල ලාදුරු නිර්වචනය කර තිබෙන්නේ කෙටි යෙදුම්වලින්; ඊට ඇතුළත්ව ඇති ක්ෂුද්‍රජීවියා සඳහා විද්‍යානුකූල නම මයිකෝබැක්ටීරියම් ලෙප්‍රෙ. සැබවින්ම, බයිබලය වෛද්‍යවිද්‍යාව උගන්වන පොතක් නොවේ. බොහෝ බයිබල් පරිවර්තනවල “ලාදුරු” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් හා ග්‍රීක් වචනවල වඩාත් පුළුල් අර්ථයක් තිබේ. උදාහරණයක් වශයෙන්, මනුෂ්‍යයන් තුළ පමණක් නොවේ, නමුත් ඇඳුම්වල හා නිවෙස් තුළත් බයිබලයේ ලාදුරු දෘශ්‍යමාන ලක්ෂණ පහළ කළා; බැසිලය මගින් එවැන්නක් සිදු නොකරයි.—ලෙවී කථාව 13:2, 47; 14:34.
තවදුරටත්, අදදින ලාදුරු හඳුනාගනු ලැබීමට මිනිසුන් තුළ පහළ වන ලක්ෂණ, බයිබල් කාලවල ලාදුරු පිළිබඳ විස්තරයට හරියටම සමාන නොවේ. එවැනි පැහැදිලි කිරීමක් දී තිබෙන්නේ යම් කාලයකදී රෝගවල ස්වභාවය වෙනස් වන නිසා විය හැකියි කියා සමහරු යෝජනා කරනවා. බයිබලයේ යොමු දක්වා ඇති ලාදුරුවලට රෝග ගණනක් ඇතුළත් වන බවත්, එයට එම්. ලෙප්‍රෙ මගින් ඇති කරන රෝගය ඇතුළත් විය හැකි හෝ නොහැකි බවත් වෙනත් අය විශ්වාස කරනවා.
සාමාන්‍යයෙන්ම ලාදුරු ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් සහ හෙබ්‍රෙව් වචනය “එකම රෝගයකට හෝ රෝග කාණ්ඩයකට යොමු දක්වයි . . . අපි දැන් ලාදුරු කියා හඳුන්වන මෙම අසනීපය ප්‍රශ්නයට බඳුන් වී තිබේ. නමුත් රෝගය පිළිබඳව කෙටි වෛද්‍ය හඳුනාගැනීම [යේසු හා ඔහුගේ ගෝලයන් විසින් සුව කළ ලාදුරු රෝගීන්ගේ] සුව වීමේ වාර්තාවන් සම්බන්ධ අපේ තක්සේරුවට බලපාන්නේ නෑ” කියා තියොලොජිකල් ඩික්ෂනරි ඔෆ් ද නියූ ටෙස්ටමන්ට් පවසයි.
[24වන පිටුවේ පින්තූරය]
ලාදුරු කඳවුරේ පිටත රාජ්‍ය ශාලාවේ සභාව
[26වන පිටුවේ පින්තූරය]
අයිසේʹ ආඩාග්බෝන සහ ඔහුගේ භාර්යාව නිමෝටා