ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
යෝබ්ගේ අඛණ්ඩතාවට විපාක ලැබෙයි
යෝබ් දයානුකම්පිත මිනිසෙක් වූ අතර, වැන්දඹුවන්, අනාථයන් හා විපතට පත්වූවන්ගේ ආරක්ෂකයා හැටියටද කටයුතු කළා. (යෝබ් 29:12-17; 31:16-21) එවිට, හදිසියෙන්ම වාගේ, තමාගේ සේසත, දරුවන් හා සෞඛ්‍යය පවා අහිමි වීම හේතුවෙන් ඔහු දුෂ්කර තත්වයකට මුහුණ දුන්නා. පීඩිත වූවන්ට අව්වට වැස්සට දෙකටම සෙවණක් මෙන් සිටි මේ සත්ගුණවත් මිනිසාට, තමාට උදව් අවශ්‍ය වූ මොහොතේදී උපකාරය අඩුවෙන් ලැබීම කණගාටුවට කරුණක්. “දෙවිට ශාප කර මැරෙන්න” කියා ඔහුගේ බිරිඳ පවා පැවසුවා. එමෙන්ම ඔහුගේ “මිතුරන්” වූ එලීපස්, බිල්දද් හා ශෝපර් මොනයම් ආකාරයේ සහනයක්වත් ඔහුට සැපයුවේ නැහැ. ඒ වෙනුවට, යෝබ් පව් කළ බවත් ඒ හේතුවෙන් ඔහු අද්දිටි වේදනාව ඔහුට ලැබීමට වටිනා දෙයකැයි ඔවුන් වක්‍රාකාරව ඇඟෙව්වා.—යෝබ් 2:9, NW; 4:7, 8; 8:5, 6; 11:13-15.
දුක්ගැහැට බොහොමයක් මැද යෝබ් ඇදහිලිවන්තව සිටියා. මේ හේතුවෙන්, යෙහෝවා යෝබ්ට දයාව දානය කර ඔහුට ආශීර්වාද කළා. ඔහු එය කළ ආකාරය දැක්වෙන වාර්තාව අඛණ්ඩතාව පවත්වන දෙවිගේ සියලු සේවකයන්ට සහතිකයක් සපයනවා ඔවුන්ටත් නියමිත කාලයේදී විපාක දෙන්න යන බවට.
නිදොස් කිරීම හා ප්‍රකෘතිමත් කිරීම
පළමුව, යෙහෝවා එලීපස්, බිල්දද් හා ශෝපර්ට තරවටු කළා. පෙනෙන ප්‍රකාරයට වැඩිමලා වූ එලීපස්ට අමතමින් ඔහු මෙසේ පැවසුවා: “මාගේ සේවකයාවූ යෝබ් [කතා කළාක්, NW] මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ. එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුවත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළඟට ගොස්, නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් නුඹලා උදෙසා යාච්ඤාකරන්නේය.” (යෝබ් 42:7, 8) මෙයින් අදහස් කළ දෙය ගැන සිතා බලන්න!
එලීපස්, බිල්දද් හා ශෝපර්ගෙන් ප්‍රමාණවත් පූජාවක් යෙහෝවාට අවශ්‍ය කළ අතර, සමහරවිට මෙසේ අවශ්‍ය කරන්න ඇත්තේ ඔවුන්ගේ පාපයේ බරපතළකම ඔවුන් මත කාවැද්දීම පිණිසයි. ඇත්තෙන්ම, ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව, දෙවිට ‘තම සේවකයන් කෙරෙහි විශ්වාසය නැතැයි’ කියා මෙන්ම යෝබ් ඇදහිලිවන්තද නැද්ද යන්න ඔහුට වැදගත් නොවූ බවත් පැවසීමෙන් ඔවුන් දෙවිට අවමන් කර තිබුණා. දෙවිගේ ඇස් හමුවේ යෝබ් කාවෙකුට වඩා වටින්නේ නැති බව පවා එලීපස් පැවසුවා! (යෝබ් 4:18, 19; 22:2, 3) ‘නුඹලා මා ගැන හරි ලෙස කතා නොකළා’ කියා යෙහෝවා පැවසීම පුදුමයක් නොවෙයි.
නමුත් එය අවසානය නෙවෙයි. තම ගැටලු තමන් විසින්ම ඇති කරගත් ඒවා බව පැවසීමෙන්ද එලීපස්, බිල්දද් හා ශෝපර් යෝබ්ට විරුද්ධව පෞද්ගලිකවම පව් කළා. ඔවුන්ගේ පදනම් විරහිත දෝෂාරෝපණයන් හා සංවේදනයේ තිබූ පුදුමාකාර ඌනතාව යෝබ්ව තික්ත තත්වයකට මෙන්ම කනස්සල්ලට පත් කළ අතර, ඔහුට මෙසේ විලාප දෙන්න සැලැස්සුවා: “නුඹලා කොපමණ කල් මාගේ [ප්‍රාණය, NW] වෙහෙසමින්, වචනවලින් මා පොඩිකරන්නහුද?” (යෝබ් 10:1; 19:2) ඔවුන්ගේ පාප සඳහා යෝබ් වෙතට පූජාවක් ඉදිරිපත් කිරීමට සිදු වූ හෙයින් මෙම මිනිසුන් තිදෙනාගේ ලජ්ජාවෙන් පිරීගිය මුහුණේ ඉරියව් ගැන සිතා බලන්න!
ඔවුන්ට සිදු වූ අවමානය ගැන ප්‍රීතිවීම යෝබ්ගෙන් අපේක්ෂා කළේ නැහැ. ඇත්තෙන්ම, ඔහුට දෝෂාරෝපණය කළ අය වෙනුවෙන් යාච්ඤා කිරීම යෙහෝවා ඔහුගෙන් අපේක්ෂා කළා. යෝබ් ඔහුට උපදෙස් දුන් ආකාරයටම කළ අතර, එසේ කිරීම නිසා ඔහුට ආශීර්වාද කළා. පළමුව, යෙහෝවා ඔහුගේ උග්‍ර රෝගය සුව කළා. ඉන්පසුව, යෝබ්ගේ සහෝදර සහෝදරියෝ හා පළමු ඔහු ඇඳින සිටි ආශ්‍රිතයන් ඔහුව සනසන්න ඇවිත්, “එක් එක්කෙනා කෙසීටා [නම්] මිලයකුත් එක් එක්කෙනා රන් මුදුවකුත් ඔහුට [දුන්නා].”a තවදුරටත්, “බැටළුවන්ද එළුවන්ද දහහතර දහසකුත් ඔටුවන් හදහසකුත් ගොන්බාන් දහසකුත් කොටළුදෙනුන් දහසකුත් ඔහුට [සිටියා].”b තවද පෙනෙන ප්‍රකාරයට යෝබ්ගේ බිරිඳද ඔහු සමඟ සමාදාන වුණා. කාලයත් සමඟම, යෝබ් පුතුන් හත්දෙනෙකුගෙන් හා දියණියන් තිදෙනෙකුගෙන් ආශීර්වාද ලැබූ අතර, තමාගේ වංශයේ පරම්පරා හතරක් දැකබලා ගැනීමට ඔහු ජීවත් වුණා.—යෝබ් 42:10-17.
අපට පාඩම්
දෙවිගේ නූතන දින සේවකයන්ට යෝබ් කදිම ආදර්ශයක් තැබුවා. ඔහු “නිර්දෝෂවූ, අවංකවූ” කෙනෙක් වුණ අතර “මාගේ සේවකයා” යයි කීමට යෙහෝවා සතුටු වූ මිනිසෙක් වුණා. (යෝබ් 1:8; 42:7, 8) කොහොම වුණත්, යෝබ් සම්පූර්ණව සිටි බව මෙයින් අදහස් කළේ නැහැ. ඔහුගේ පරීක්ෂණවල එක් අදියරකදී, ඔහුගේ විපත්වලට හේතුව දෙවි බව වැරදි සේ උපකල්පනය කළා. මිනිසා සමඟ දෙවි ක්‍රියා කරන ආකාරය පවා ඔහු විවේචනයට ලක් කළා. (යෝබ් 27:2; 30:20, 21) තවද ඔහු දෙවිගේ ධර්මිෂ්ඨකමට වඩා තමාගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ කළා. (යෝබ් 32:2) නමුත්, තම මැවුම්කරුට පිටුපෑම යෝබ් ප්‍රතික්ෂේප කළ අතර, ඔහු දෙවි වෙතින් ලැබුණ නිවැරදි කිරීම නිහතමානීව පිළිගත්තා. ‘මම කතා කළෙමි, නමුත් මට තේරුණේ නැත’ කියා ඔහු පිළිගත්තේය. “මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමි.”—යෝබ් 42:3, 6.
පරීක්ෂණය යටතේ සිටින විට, අප සමහරවිට සුදුසු නොවන අන්දමකින් සිතන්න, කතා කරන්න හෝ ක්‍රියා කරන්න පුළුවන්. (දේශනාකාරයා 7:7 සසඳන්න.) ඒ කෙසේවෙතත්, දෙවිට ඇති අපේ ප්‍රේමය ගැඹුරු නම්, අපට අමාරුකම් අද්දැකීමට ඔහු ඉඩහරින නිසාම අප ඔහුට විරුද්ධව කැරලිගැසීම හෝ තික්ත ස්වභාවයක් වර්ධනය කරගැනීම නුසුදුසුයි. ඒ වෙනුවට, අප අපගේ අඛණ්ඩතාව රැකගැනීමට යන අතර, ඒ හේතුවෙන් අවසානයේදී මහත් ආශීර්වාද නෙළාගන්න යනවා. යෙහෝවා සම්බන්ධයෙන් දාවිත් මෙසේ පැවසුවා: “පක්ෂපාත තැනැත්තා සමඟ ඔබද පක්ෂපාතකම දක්වන්නේය.”—ගීතාවලිය 18:25, NW.
යෝබ්ව සුවදායී තත්වයකට යළි ප්‍රකෘතිමත් කිරීමට පෙර, ඔහුට විරුද්ධව පව් කළ අය වෙනුවෙන් යාච්ඤා කිරීම යෙහෝවා ඔහුගෙන් අපේක්ෂා කළා. එය අපට මොනතරම් කදිම ආදර්ශයක්ද! අපගේ පාපවලට සමාව ලබාගන්න හැකිවීමට පෙර අප අන්‍යයන්ගේ පාපවලට සමාව දීම යෙහෝවා අපෙන් අපේක්ෂා කරනවා. (මතෙව් 6:12; එපීස 4:32) අන්‍යයන්ට සමාව දීමට හොඳ පදනමක් තිබෙන විට අප එසේ කරන්න අකමැති නම්, අපහට දයාන්විත වීමට යෙහෝවාගෙන් අපට අපේක්ෂා කළ හැකිද?—මතෙව් 18:21-35.
නමුත් මතක තබාගන්න අප කිසියම් විටෙක පරීක්ෂා අද්දකින්න යනවා. (2 තිමෝති 3:12) එහෙත්, යෝබ්ට මෙන් අපටත් අඛණ්ඩතාව පවත්වාගත හැකියි. එසේ කිරීමෙන් අප මහත් විපාකයක් නෙළාගන්න යනවා. යාකොබ් මෙසේ ලිව්වා: “ඉවසූ අය ආශීර්වාදලද්දෝයයි අපි කියමුව. යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ, [ස්වාමීන්ගේ] තීරණයද නුඹලා දුටුවහුය. [ස්වාමීන්] බොහෝ අනුකම්පා ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.”—යාකොබ් 5:11.
[පාදසටහන්වල]
a (හෙබ්‍රෙව්, කෙසී·ටාහ්ʹ) ‘මිලයක’ වටිනාකම නිශ්චය කළ නොහැකියි. නමුත් යාකොබ්ගේ කාලයේ ‘රිදී මිල සියයකින්’ සැලකිය යුතු ප්‍රමාණයේ ඉඩමක් ලබාගැනීමට හැකි වුණා. (යෝෂුවා 24:32) එහෙයින්, එක් එක් අමුත්තාගෙන් ලද ‘මිලයන්’ බොහෝදුරට ත්‍යාගශීලී තෑග්ගක් වුණා.
b පෙනෙන ප්‍රකාරයට, කොටළුවන්ගේ ලිංග භේදය සඳහන් කර තිබෙන්නේ වර්ගයා බෝ කිරීමේදී උන්ගේ ඇති වටිනාකම මතයි.