ඔබට ආත්මික ප්‍රගතියක් ලබන්න පුළුවන්
සැබෑ වටිනාකම හඳුනාගැනීම අමාරු දෙයක් විය හැකියි. දියමන්ති සම්බන්ධයෙන් එය සැබෑවක් වෙනවා. ඔප දැමූ දියමන්තියක් දීප්තියෙන් බැබළුණත් ඔප නොදැමූ දියමන්තියක දීප්තිය අඩුයි. කොහොමවුණත්, අලංකාර මැණිකක් පිළිබඳ නොවරදිනසුලු බලාපොරොත්තුවක් ඔප නොදැමූ දියමන්තියක් ඇතුළත තිබෙනවා.
ක්‍රිස්තියානීන් බොහෝ ආකාරවලින් ඔප නොදැමූ දියමන්තිවලට සමානයි. අපි තවමත් සම්පූර්ණත්වයෙන් බොහෝ දුරස්ව සිටියත් යෙහෝවා අගයන අභ්‍යන්තර වටිනාකමක් අපට තිබෙනවා. දියමන්ති මෙන් අපිටම ආවේණික වූ ගුණාංග අපි සියලුදෙනාටම තිබෙනවා. එමෙන්ම තවදුරටත් ආත්මික ප්‍රගතියක් ලැබීම අපේ හෘදයාංගම ආශාව නම් අපි සෑම කෙනෙකුටම එය අත් කරගන්න පුළුවන්. යෙහෝවාව මහිමයට පත් කිරීම සඳහා අපේ පෞද්ගලිකත්වයන් වඩාත් දීප්තිමත්ව බැබළවීම සඳහා ඒවා ඔපවත් කළ හැකියි.—1 කොරින්ති 10:31.
කපා ඔප දැමීමෙන් පසු, දියමන්තියක පරාවර්තිත ගුණයන් වැඩි කිරීම සඳහා එය විශේෂ තැනක තබනවා. ඒ හා සමානව, අපි “සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද [දෙවිට] සමානව මවනලද්දාවූ අලුත් [පෞද්ගලිකත්වය පැළඳගන්නවා, NW]” නම්, අපිව විවිධ පසුබිම්වල හෝ පැවරුම්වල යොදවන්න යෙහෝවාට පුළුවන්.—එපීස 4:20-24.
ස්වාභාවික දියමන්තියක් මැණිකක් වගේ දීප්තියෙන් බැබළීම කලාතුරකින් සිදු වෙන්නා හා සමානව එවැනි ආත්මික ප්‍රගතියක්ද ස්වාභාවික ලෙස ඇති වන්නේ නැහැ. බොහෝ කලක සිට පවතින දුර්වලකම් සමහරක් ඉවත් කර දැමීම, වගකීම් පිළිගැනීම කෙරෙහි අපේ ආකල්පය සකස් කරගැනීම හෝ ආත්මික ඒකාකාරිබවින් මිදීම යනාදිය සඳහා අපම දැඩි ප්රයත්නයක් දැරීම අවශ්‍ය විය හැකියි. නමුත් “සාමාන්‍යය ඉක්මවූ බලය” අපට දානය කරන්න යෙහෝවා දෙවිට හැකි නිසා, ඇත්තටම අපිට ඕනෑකමක් තිබෙනවා නම් ආත්මික ප්‍රගතියක් ලබන්න පුළුවන්.—2 කොරින්ති 4:7, NW; පිලිප්පි 4:13.
යෙහෝවා තම සේවකයන්ව ශක්තිමත් කරනවා
ඔප නොදැමූ දියමන්තියක කොටසක් වරක් කැපූ විට, ඒ කොටස සාමාන්‍යයෙන් පාවිච්චියට ගන්නේ නැහැ. දියමන්ති කැපීමට නිසැකකමක් අවශ්‍යයි; එය ඇති වන්නේ නිවැරදි දැනුම මගිනුයි. වටිනා ද්‍රව්‍යයන්—ඇතැම්විට ඔප නොදැමූ ගල්වලින් සියයට 50ක් තරම් ප්‍රමාණයක—ඒවායේ අපේක්ෂිත හැඩය ලබාගැනීමට ඒවා කපා දැමිය යුතුයි. අපේ පෞද්ගලිකත්වය හැඩගසාගැනීම සඳහා නිවැරදි දැනුම මගින් ලැබෙන නිසැකකම අපටත් අවශ්‍යයි. විශේෂයෙන්ම යෙහෝවා අපව ශක්තිමත් කරයි කියා අප නිසැක විය යුතුයි.
කොහොමවුණත්, එතරම් හැකියාවක් නැහැයි කියා අපට හැඟෙන්න පුළුවන්; එහෙම නැත්නම් අපිට වැඩියෙන් කරන්න බැහැ කියා සිතන්න පුළුවන්. අතීතයේදී දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන්ට සමහර අවස්ථාවලදී එයාකාරයෙන් හැඟුණා. (නික්මයාම 3:11, 12; 1 රාජාවලිය 19:1-4) “ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු” වීමට දෙවි පත් කළ අවස්ථාවේදී යෙරෙමියා පුදුමයෙන් මෙසේ පැවසුවා: “මම කථාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මි.” (යෙරෙමියා 1:5, 6) යෙරෙමියා කතා කරන්න පසුබට වුණත්, ඔහු එදිරිවාදීන්ට ඍජු පණිවිඩ ප්‍රකාශ කළ එඩිතර අනාගතවක්තෘ කෙනෙක් බවට පත් වුණා. මෙය කරන්න පුළුවන් වුණේ කොහොමද? යෙහෝවා මත රඳා සිටින්න ඔහු ඉගෙනගත්තා. යෙරෙමියා පසුව මෙසේ ලිව්වා: “යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තබා, යෙහෝවා තමාගේ නිසැකකම කරගෙන සිටින මනුෂ්‍යයා ආශීර්වාද ලැබූවෙකි.”—යෙරෙමියා 17:7, NW; 20:11.
අදදින, යෙහෝවා ඒ හා සමානව තමා කෙරෙහි දැඩි විශ්වාසය තබන අයව ශක්තිමත් කරනවා. සතරදෙනෙකුගේ පියෙක් වන, ආත්මික ප්‍රගතියක් ලබන්න ප්‍රමාද කරමින් සිටි එඩ්වඩ්a මෙය සැබෑවක් බව තේරුම්ගත්තා. ඔහු මෙසේ පැහැදිලි කරනවා: “මම අවුරුදු නවයක් තිස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙලා හිටියත්, මම තවමත් ආත්මිකව එකම තැනමයි සිටින්නේ කියා මට පෙනී ගියා. ගැටලුව වුණේ, මට පෙලඹීම හා නිසැකකම නොතිබීමයි. ස්පාඤ්ඤයට ගියාට පස්සේ, මට තේරුණා මම ඉන්නේ කුඩා සභාවකයි කියල; එහි හිටියේ එක වැඩිමහල්ලෙකුයි එක උපස්ථායක සේවකයෙකුයි විතරයි. අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, පැවරුම් බොහොමයක් හසුරුවන්න කියා වැඩිමහල්ලා මගෙන් ඉල්ලා සිටියා. මගේ මුල්ම කතා හා රැස්වීමේ කොටස් කරද්දී මාව වෙව්ලුවා. ඒත්, යෙහෝවා මත රඳා සිටින්න මම ඉගෙනගත්තා. වැඩිමහල්ලා මට නිතරම ප්‍රශංසා කරල දියුණු වෙන්න උපායශීලී යෝජනා ඉදිරිපත් කළා.
“ඒ කාලයේදීම මම මගේ ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම් වැඩි කළා; ඒ වගේම මගේ පවුලේ ආත්මික කටයුතුවලදී මම වඩාත් හොඳින් පෙරමුණ ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට පවුලේ හැම කෙනෙකුටම සත්‍යය අර්ථවත් දෙයක් වුණා; ඒ වගේම මට විශාල තෘප්තියක් දැනුණා. දැන් මම උපස්ථායක සේවකයෙක්; ක්‍රිස්තියානි අවේක්ෂකයෙකුගේ ගුණාංග වර්ධනය කරගන්න දැන් මම දැඩි වෑයමක් දරමින් ඉන්නවා.”
“පරණ පෞද්ගලිකත්වය ගළවා දමන්න”
එඩ්වඩ් තේරුම්ගත්තාක් මෙන් ආත්මික ප්‍රගතියක් ලබන්න යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යයි. ක්‍රිස්තු බඳු “අලුත් පෞද්ගලිකත්වය” වර්ධනය කරගැනීමත් අත්‍යවශ්‍යයි. මෙය කරන්න පුළුවන් කොහොමද? මුල් පියවර වන්නේ පරණ පෞද්ගලිකත්වයට අයත් ගතිලක්ෂණ ‘ගළවා දැමීමයි.’ (කොලොස්සි 3:9, 10, NW) දීප්තියෙන් බබළන මැණිකක් බවට පත් කිරීම සඳහා ඔප නොදැමූ දියමන්තියක තිබෙන බාහිර ඛනිජ ද්‍රව්‍යයන් වැනි අඩුපාඩු ඇති තැන් ඉවත් කර දැමිය යුතු ලෙසම, අපේ අලුත් පෞද්ගලිකත්වය දීප්තිමත්ව බැබළීම සඳහා “ලෝකයේ” ආකල්ප බැහැර කර දැමිය යුතුයි.—ගලාති 4:3.
එවන් ආකල්පයක් නම්, අපෙන් බොහෝ දේවල් ඉල්ලා සිටිනවා කියා බියවීමෙන් වගකීම පිළිගැනීමට අකමැති ස්වභාවයක් පෙන්වීමයි. වගකීමකින් අදහස් වන්නේ වැඩක් බව ඇත්තයි; ඒත් එය තෘප්තිය ගෙන වැඩක්. (ක්‍රියා 20:35 සසඳන්න.) අපි ‘වෙහෙස වී වැඩ කිරීම හා වීර්යය කිරීම’ දේවභක්තියට අවශ්‍ය කරන බව පාවුල් පිළිගත්තා. අපේ සෙසු ක්‍රිස්තියානීන් හා අනිත් අය වෙනුවෙන් අපි කරන වැඩය කවදාවත් අමතක නොකරන ‘ජීවමාන දෙවි කෙරෙහි අපි බලාපොරොත්තු තබා සිටින’ නිසා අපි එය කරන්නේ සතුටින් කියා ඔහු පැවසුවා.—1 තිමෝති 4:9, 10; හෙබ්‍රෙව් 6:10.
සමහර දියමන්ති සෑදී තිබෙන ආකාරය නිසා ඇති වී තිබෙන “පලුදු” හේතුවෙන් හානියට පත් වන අතර ඒවා කල්පනාකාරිව හැසිරවිය යුතුයි. කොහොමවුණත්, ධෘවණේක්ෂය කියා හඳුන්වන උපකරණයක ආධාරයෙන් ඔප දමන්නාට පුළුවන් එහි පලුදු වී තිබෙන තැන සොයාගෙන සාර්ථකව ඒ ගල ඉතා හොඳින් ඔප දමන්න. සමහරවිට අපේ පසුබිම හෝ අමිහිරි අද්දැකීමක් නිසා අපි ඇතුළාන්ත පලුද්දක් හෝ පෞද්ගලිකත්වයේ දෝෂ මගින් වේදනා විඳිනවා විය හැකියි. අපිට කරන්න පුළුවන් මොනවාද? මුලින්ම අපිම අදාළ ගැටලුව පිළිගෙන හැකි ප්‍රමාණයට එයින් ජයගැනීමට අදිටන් කරගැනීම අවශ්‍යයි. යෙහෝවා ඉදිරියෙහි යාච්ඤා කිරීම මගින් හා හැකි නම් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුගේ ආත්මික උපකාරයද පතමින් ඇත්තෙන්ම පීඩාකාරි බරෙන් අපම සහනයක් ලබාගත යුතුයි.—ගීතාවලිය 55:22; යාකොබ් 5:14, 15.
එවන් ඇතුළාන්ත පලුදු නිකලස්ට බලපෑවා. “මගේ තාත්තා මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටියා; ඔහු මගේ සහෝදරියටත් මටත් හුඟක් වේදනා ගෙන දුන්නා” කියා ඔහු පැහැදිලි කරනවා. “මම පාසැලෙන් අස් වෙලා හමුදාවට බැඳුණා, ඒත් මගේ කැරලිකාර ස්වභාවය හින්දා වැඩිකල් යන්න මත්තෙන් මම කරදරවලට වැටුණා. මත්ද්‍රව්‍ය බෙදාහැරිය හින්දා හමුදා බලධාරීන් මාව සිරගත කෙරුවා; තවත් අවස්ථාවක මා හමුදාවෙන් පැන ගියා. අන්තිමේදී, මම හමුදාවෙන් අස් වුණත් මට කරදර තිබුණා. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හා අධික මත්පැන් පානය හින්දා මගේ ජීවිතය අවුල් තත්වයක තිබුණත්, බයිබලය ගැන උනන්දුව හා ජීවිතයේ අරමුණක් ඇතුව සිටින්න මහත් ආසාවක් මට තිබුණා. කාලයක් ගියාට පස්සේ, මම යෙහෝවාගේ සාක්ෂිකාරයන් සමඟ සම්බන්ධ වෙලා මගේ ජීවන රටාව වෙනස් කරගෙන සත්‍යය වැලඳගත්තා.
“කොහොමවුණත් මගේ පෞද්ගලිකත්වයේ තිබුණු දුර්වලකමක් හඳුනාගෙන ඒ සමඟ කටයුතු කරන්න අවුරුදු ගණනාවක් ගත වුණා. අධිකාරියට මම තදින්ම අකමැති වුණා; මට උපදෙස් ලැබෙන අවස්ථාවලදී මම නොරිස්සුම්ගතියක් විදහාපෙන්නුවා. යෙහෝවා විසින් මාව සම්පූර්ණයෙන්ම යොදවාගන්නවාට මම කැමති වුණත් මේ දුර්වලකම මට බාධාවක් වුණා. අන්තිමේදී, තේරුම්ගන්නාසුලු වැඩිමහල්ලන් දෙදෙනෙකුගේ උපකාරය ඇතුව මගේ ගැටලුව මම පිළිගෙන, ඔවුන්ගේ ප්‍රේමනීය ශුද්ධ ලියවිලිමය උපදෙස් අදාළ කරගන්න පටන්ගත්තා. ඉඳහිට සුළු අමනාපගතියක් ක්ෂණිකව ඇති වුණත් මම දැන් මගේ කැරලිකාර ස්වභාවය පාලනය කරගෙන තිබෙනවා. යෙහෝවා මා සමඟ ඉවසිලිවන්තව කටයුතු කර තිබෙන ආකාරයටත් වැඩිමහල්ලන්ගේ ප්‍රේමනීය උපකාරයටත් මම හුඟාක් ස්තුතිවන්ත වෙනවා. මාගේ ආත්මික ප්‍රගතිය නිසා ළඟදී මාව උපස්ථායක සේවකයෙක් හැටියට පත් කළා.”
නිකලස් සොයාගත්තාක් මෙන් මුල් බැසගත් ආකල්ප වෙනස් කිරීම පහසු දෙයක් නොවෙයි. අපි ඒ හා සමාන අභියෝගයකට මුහුණ දෙනවා වෙන්න පුළුවන්. සමහරවිට අපි ඕනෑවට වඩා සංවේදී වෙනවා. අපි අයුක්තියක් ගැන සිත සිතා සිටින්න පුළුවන්, එහෙම නැත්නම් අපි ස්වාධීනත්වය ගැන වැඩි අවධාරණයක් කරන්න පුළුවන්. ඒ හේතුවෙන් අපේ ක්‍රිස්තියානි ප්‍රගතිය සීමා විය හැකියි. දියමන්ති ඔප දමන්නන් නාට්ස් කියා හඳුන්වන ගල් සම්බන්ධයෙන් ඒ හා සමාන දෙයක් අද්දකිනවා. දියමන්තිය හැඩගන්වන අතරතුර රත් කිරීමෙන් එක ගලක් බවට පත් කරන මේවා ඇත්තෙන්ම ගල් දෙකක්. එහි ප්‍රතිඵලයක් හැටියට, නාට්ස්වලට එකිනෙකට ප්‍රතිවිරුද්ධ වර්ධන රටාවන් දෙකක් තිබෙනවා; ඒවායේ වයිරමට අනුව කැපීම ඉතා අමාරු දෙයක්. අප සලකා බලන කාරණයේදී, කැමැත්තෙන් දේවල් කිරීමේ ආත්මය නමැති “ස්වභාවය,” අසම්පූර්ණ මාංසයේ “ස්වභාවයට” එරෙහිව සටන් කරන බව අපට තේරෙනවා. (මතෙව් 26:41; ගලාති 5:17) අපේ පෞද්ගලිකත්වයේ අසම්පූර්ණකම් ඒ තරම් වැදගත් කොට තැකිය යුතු නැහැ කියා හේතු දක්වමින් ඒ සටන සම්පූර්ණයෙන්ම අත්හැරීමේ නැඹුරුවාවක් සමහර අවස්ථාවලදී අපට දැනෙන්න පුළුවන්. ‘මොනව වුණත් මගේ පවුලේ අයයි මගේ යාළුවොයි මට තවමත් ආදරෙයි’ කියා අපි පවසන්න පුළුවන්.
කොහොමවුණත්, අපි අපේ සහෝදරයන්ට සේවය කරන්න හා අපේ ස්වර්ගික පියාව මහිමයට පත් කරන්න නම් අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමෙන් අපි ‘අපේ මනස සකස් කරන බලය අලුත් කරගත’ යුතුයි. නිකලස් හා තවත් බොහෝදෙනෙකුට සහතික කළ හැකි ලෙස දරන වෑයම වටිනවා. එක පලුද්දක් මගින් මුළු දියමන්තියම විරූප කරන බව දියමන්ති ඔපදමන්නෙක් දන්නවා. ඒ හා සමානව අපේ පෞද්ගලිකත්වයේ දුර්වල මුහුණතක් නොසලකා හැරීමෙන් අපේ ආත්මික පෙනුම අපි අවලක්ෂණ කරගත හැකියි. වඩාත්ම අහිතකර දෙය වන්නේ බරපතළ දුර්වලකමක් අපේ ආත්මික වැටීමට මඟ පාදන්න පුළුවන් වීමයි.—හිතෝපදේශ 8:33.
අපි තුළ තිබෙන “ගිනි දැල්ලක්” හා සමානව
දියමන්තියේ ගිනිමය දීප්තිය රැකගන්න දියමන්ති ඔප දමන්නා වෑයම් කරනවා. බහුවර්ණ පෙනුම යනුවෙන් හඳුන්වන දෙය ලබාගැනීම සඳහා මුහුණත සකස් කිරීම මගින් මෙය කරනු ලබනවා. දියමන්තිය ඇතුලේ තිබෙන බහුවර්ණවලින් නිකුත් වන ආලෝකය දියමන්තියෙන් දීප්තියක් ඇති කරමින් ඉදිරිපසට හා පසුපසට පරාවර්තනය වෙනවා. ඒ හා සමානව, දෙවිගේ ආත්මයට පුළුවන් අප තුළ “ගිනි දැල්ලක්” මෙන් ක්‍රියා කරන්න.—1 තෙසලෝනික 5:19, NW; ක්‍රියා 18:25; රෝම 12:11.
නමුත් ආත්මික දේවලට පෙලඹීමක් ඇති කරගන්න අවශ්‍යයි කියා අපට වැටහෙනවා නම් කුමක් කිව හැකිද? මෙය ඇති කරගන්න පුළුවන් කොහොමද? අපි ‘අපේ මාර්ග කල්පනා කරබැලීම’ අවශ්‍යයි. (ගීතාවලිය 119:59, 60) අපව ආත්මිකව මන්දගාමි තත්වයකට පත් කරන දේවල් හඳුනාගැනීමෙන් පසුව මහත් පරිශ්‍රමයකින් යුතුව ලුහුබැඳිය යුතු දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් මොනවාද කියා නිශ්චය කරගැනීම එයට අයත් වෙනවා. නිතිපතා පවත්වන පෞද්ගලික පාඩම හා උනන්දුමත් යාච්ඤාව මගින් ආත්මික දේවල් සඳහා අපේ අගය වැඩි කරගන්න පුළුවන්. (ගීතාවලිය 119:18, 32; 143:1, 5, 8, 10) එපමණක් නොවෙයි, ඇදහිල්ලේ වෙහෙස මහන්සිව වැඩ කරන අය සමඟ ඇසුරු කිරීමෙන් යෙහෝවාට ජ්වලිතව සේවය කිරීමට වන අධිෂ්ඨානය වඩාත් ශක්තිමත් වෙන්න යනවා.—තීතස් 2:14.
යොවුන් වියේ පසු වන ක්‍රිස්තියානි ස්ත්‍රියක් වන ලුවිස් මෙසේ පිළිගත්තා: “ඇත්තෙන්ම මම පුරෝගාමියක් නැත්නම් පූර්ණ-කාලීන රාජ්‍ය ප්‍රකාශකයෙකු හැටියට සේවය කරන්න කලින් අවුරුදු දෙකක් තිස්සේ ස්ථාවර පුරෝගාමී සේවය කරන එක ගැන සලකා බැලුවා. මාව වළක්වන්න කිසිම හේතුවක් නොතිබුණත්, මම සැහැල්ලු ජීවිතයක් ගත කළ හින්දා, ඒක වෙනස් කර දමන්න මම උත්සාහ කළේ නැහැ. ටික කාලෙකට පස්සේ මගේ තාත්තා හදිස්සියේම මැරුණා. මම ඉතා හොඳින් යොදවමින් නොසිටි ජීවිතය මොනතරම් ඉක්මනින් නැති වෙලා යන දෙයක්ද කියල මම තේරුම්ගත්තා. ඒ හින්දා මම ආත්මික දේවල් දෙස බලන ආකාරය වෙනස් කරගත්තා; මගේ සේවය වර්ධනය කරගෙන ස්ථාවර පුරෝගාමියක් වුණා. මෙහිදී මට විශේෂයෙන්ම උපකාරය ලැබුණේ මගේ ආත්මික සහෝදර සහෝදරියන්ගෙනුයි; ඔවුන් ක්ෂේත්‍ර සේවා කටයුතුවලදී මට නිතරම සහය වුණා; ඒ වගේම නිතිපතා මාත් එක්ක දේවසේවයේ හවුල් වුණා. හොඳ වුණත් නරක වුණත් අපි ඇසුරු කරන අයගේ සාරධර්ම හා ඉලක්කවලට අපත් හවුල් වනවා කියන දෙය ගැන මම ඉගෙනගෙන තියෙනවා.”
යකඩින් මුවහත් වී
පොළොවේ තිබෙන ස්වභාවිකව සෑදෙන ඉතාම තද ද්‍රව්‍ය දියමන්තියි. එනිසා එක් දියමන්තියක් කැපීමට තවත් දියමන්තියක් අවශ්‍යයි. “යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි” යනුවෙන් පවසන හිතෝපදේශය බයිබල් ශිෂ්‍යයන්ට එයින් සිහියට නැඟෙනවා. (හිතෝපදේශ 27:17) පුද්ගලයෙකුගේ මුහුණ “පැහැපත්” කරනු ලබන්නේ කොහොමද? එකම වර්ගයේ ලෝහවලින් සෑදුණු තලයක් ඒ වර්ගයේම යකඩ කැබැල්ලකින් මුවහත් කරන්නාක් මෙන් එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගේ බුද්ධිමය හා ආත්මික තත්වය මුවහත් කිරීමෙහි සාර්ථක විය හැකියි. උදාහරණයක් හැටියට, යම් බලාපොරොත්තු කඩවීමක් මගින් අපි කලකිරීමට පත්ව සිටින විට තවත් කෙනෙකුගේ දිරිගැන්වීම බෙහෙවින් ගොඩනංවනසුලු විය හැකියි. එහි ප්‍රතිඵලයක් හැටියට අපේ කනගාටුදායක ස්වභාවය වඩාත් හොඳ අතට හැරී, යළි ප්‍රාණවත් කරන ලද ස්වභාවයකින් අපි ජ්වලිත ක්‍රියාකාරකම්වල හවුල් විය හැකියි. (හිතෝපදේශ 13:12) දියුණු වීම සඳහා ශුද්ධ ලියවිලිමය දිරිගැන්වීම් හා උපදෙස් සැපයීමෙන් මුවහත් වීමට අපට උපකාර කරන්න විශේෂයෙන්ම සභා වැඩිමහල්ලන්ට හැකියි. සාලමොන් සඳහන් කළ ප්‍රතිපත්තිය ඔවුන් අනුගමනය කරනවා: “ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැන්මෙහි දියුණුවන්නේය.”—හිතෝපදේශ 9:9.
ඇත්තෙන්ම ආත්මික පුහුණුවට කාලයක් ගත වෙනවා. අවුරුදු දහයකට වඩා වැඩි කාලයක් පුරා පාවුල් තමාගේ අද්දැකීම් හා ඉගැන්වීමේ ශිල්පක්රම තිමෝති සමඟ බෙදාගත්තා. (1 කොරින්ති 4:17; 1 තිමෝති 4:6, 16) අවුරුදු 40කට වඩා වැඩි කාලයක් පුරා මෝසෙස් යෝෂුවාට දුන් දිගු කාලීන පුහුණුව, බොහෝ කාලයක් පුරා ඉශ්රායෙල් ජාතියට ප්‍රයෝජනවත් වුණා. (යෝෂුවා 1:1, 2; 24:29, 31) එලිෂා අනාගතවක්තෘ එලියා සමඟ ඇතැම්විට අවුරුදු 6ක් පමණ ඇසුරු කිරීම මගින්, අවුරුදු 60ක පමණ කාලයක් පුරා කිරීමට තිබූ ඔහුගේ දේවසේවය සඳහා කදිම පසුබිමක් සකසාගත්තා. (1 රාජාවලිය 19:21; 2 රාජාවලිය 3:11) අඛණ්ඩ පුහුණුව ඉවසිලිවන්තව ලබා දීමෙන් වැඩිමහල්ලන් පාවුල්, මෝසෙස් හා එලියා යන අයගේ ආදර්ශය අනුගමනය කරනවා.
ප්‍රශංසා කිරීම පුහුණුවේ ඉතා වැදගත් කොටසක්. හොඳින් හැසිරවූ පැවරුම්වලට හෝ ප්‍රශංසා කිරීමට වටින ක්‍රියා සඳහා අගය කිරීමේ අවංක ප්‍රකාශයන් මගින් වඩාත් පූර්ණ ලෙස දෙවිට සේවය කිරීමේ ආශාවක් ඇති කරගන්න අනිත් අය පෙලඹෙන්න පුළුවන්. ප්‍රශංසා කිරීම නිසැකකම ගොඩනංවන අතර, ඒත් සමඟම දුර්වලකම්වලින් ජයගැනීමට පෙලඹවීමක්ද සපයනවා. (1 කොරින්ති 11:2 සසඳන්න.) සත්‍යයෙහි ප්‍රගතියක් ලැබීම සඳහා දිරිගැන්වීම පැමිණෙන්නේද රාජ්‍ය දේශනා කිරීමේ වැඩයේ හා වෙනත් සභා ක්‍රියාකාරකම්වල වඩ වඩා නිරත වීම මගිනුයි. (ක්‍රියා 18:5) ඔවුන්ගේ ආත්මික ප්‍රගතියට අනුව වැඩිමහල්ලන් සහෝදරයන්ට වගකීම් පවරන විට, එමගින් මේ පුරුෂයන්ට වටිනා අද්දැකීමක් සැපයෙන අතර දිගටම ආත්මිකව වර්ධනය වීමේ ඔවුන්ගේ ආශාව ශක්තිමත් කළ හැකියි.—පිලිප්පි 1:8, 9.
ආත්මික ප්‍රගතියක් ලැබීම සඳහා හොඳ හේතු
දියමන්ති ඉතා අනර්ඝ දෙයක් හැටියට සලකනවා. යෙහෝවාගේ නමස්කාරකයන්ගෙන් සමන්විත ලෝක ව්‍යාප්ත පවුල සමඟ දැන් ඇසුරු කරන අය සම්බන්ධයෙන්ද එය සැබෑවක් වෙනවා. ඇත්තෙන්ම දෙවිම ඔවුන්ව හඳුන්වන්නේ සියලු ජාතීන් අතුරින් “ආශාවෙන” නැතහොත් “අනර්ඝ” දේවල් කියායි. (හග්ගයි 2:7, NW පාදසටහන) පසුගිය වසරේදී 3,75,923දෙනෙක් යෙහෝවාගේ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් බවට පත් වුණා. මේ වර්ධනයට අවශ්‍ය දේවල් සැපයීම සඳහා ‘කූඩාරම විශාල කිරීමේ’ අවශ්‍යතාවක් තිබෙනවා. ආත්මික ප්‍රගතියක් ලැබීමෙන්—ක්‍රිස්තියානි සේවා වරප්‍රසාද කරා ළඟාවීමෙන්—මේ වර්ධනය කෙරෙහි සැලකිල්ල දැක්වීමේ හවුල් වෙන්න පුළුවන්.—යෙසායා 54:2; 60:22.
බැංකුවල තිබෙන සුරක්ෂිතාගාරවල තබා තිබෙන මෙන්ම කලාතුරකින් දකින්න ලැබෙන ඉතා අනර්ඝ දියමන්ති බොහෝමයක් මෙන් නොව, අපේ ආත්මික අගය දීප්තිමත්ව බැබළෙන්න සැලැස්විය හැකියි. එමෙන්ම අපේ ක්‍රිස්තියානි ගුණාංග නිතිපතා ඔප දමා විදහාපෙන්වන විට අපි යෙහෝවා දෙවිව මහිමයට පමුණුවනවා. යේසු තම අනුගාමිකයන්ට මෙසේ අනුශාසනා කළා: “මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියාට] ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.” (මතෙව් 5:16) ආත්මික ප්‍රගතියක් ලබන්න එය අපට හොඳ හේතු සපයන බව නිසැකයි.
[පාදසටහන]
a මේ ලිපියේ භාවිත කෙරෙන්නේ ආදේශ නම්.