දරුණු පරීක්ෂා මැද උසුලාගෙන
ඒවා යූසෙෆ්සොන් පැවසූ පරිදි
අපි කුඩා කණ්ඩායමක් ක්‍රිස්තියානි දේවසේවයේ යෑමට පෙර කෙටි රැස්වීමක් සඳහා හංගේරියාවේ බුඩාපෙස්ට්හි යූපෙෂ්ට් දිස්ත්‍රික්කයෙහි එක්රැස්වී සිටියා. ඒ 1939හි IIවන ලෝක යුද්ධය පටන්ගන්න ටිකකට පෙර වූ අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා වැඩය හංගේරියාවේ තහනම් කර තිබුණා. ඒ දවස්වල බයිබලය ප්‍රසිද්ධියේ උගන්වමින් සිටි අයව බොහෝ වෙලාවලදී අත්අඩංගුවට ගත්තා.
මම මේ ක්‍රියාකාරකමෙහි හවුල් වුණේ මුල් වතාවට නිසා, මම ටිකක් කනස්සල්ලකින් වගේම සුදුමැලි ගතියකින් ඉන්න ඇති. වයසින් වැඩි ක්‍රිස්තියානි සහෝදරයෙක් මා දිහා හැරිලා මෙහෙම කිව්වා: “ඒවා, ඔයා කොහොමටවත් භය වෙන්න ඕනෙ නැහැ. මනුෂ්‍යයෙකුට ලැබිය හැකි ලොකුම ගෞරවය තමයි යෙහෝවාට සේවය කරන එක.” එම සැලකිලිමත්, ශක්තිමත් කරවන වචන බොහෝ දරුණු පරීක්ෂා මැද ජීවත් වීමට මට උපකාර වුණා.
යුදෙව් පසුබිමක්
දරුවන් පස්දෙනෙකුගෙන් යුත් යුදෙව් පවුලක මම වැඩිමල් දරුවායි. අම්මා යුදෙව් ආගමෙන් සෑහීමට පත් වුණේ නැති අතර ඇය වෙනත් ආගම් පරීක්ෂා කිරීමට පටන්ගත්තා. ඇයට එර්සේබෙට් ස්ලෙසින්ග’ව මුණගැසුණේ මේ විදිහටයි; ඇයත් බයිබල් සත්‍යය සොයමින් හිටිය තවත් යුදෙව් ස්ත්‍රියක්. එර්සේබෙට්, අම්මාට යෙහෝවාගේ සාක්ෂිකාරියක මුණගැහෙන්න සැලැස්වූ අතර, ප්‍රතිඵලයක් වශයෙන් මමත් බයිබල් ඉගැන්වීම් කෙරෙහි ගැඹුරු උනන්දුවක් ඇති කරගත්තා. වැඩි කල් නොගොස් මම ඉගෙනගෙන තිබුණ දේ අනිත් අයට පවසන්න පටන්ගත්තා.
මම 1941 ග්‍රීෂ්මයේදී වයස 18ට පැමිණියහම ඩැනියූබ් ගඟේ බව්තීස්ම වීමෙන් යෙහෝවා දෙවිට මගේ කැපවීම සංකේතවත් කළා. ඒ කාලේදීම අම්මාත් බව්තීස්ම වුණ නමුත්, තාත්තා අපේ අලුත ලැබුණ ක්‍රිස්තියානි ඇදහිල්ලට හවුල් වුණේ නැහැ. මගේ බව්තීස්මයෙන් වැඩි කල් යන්න මත්තෙන්, මම පුරෝගාමී සේවයේ යෙදෙන්න, එනම් පූර්ණ-කාලීන දේවසේවයෙහි හවුල් වෙන්න සැලසුම් යෙදුවා. බයිසිකලයක් ලබාගැනීමේ අවශ්‍යතාවක් තිබුණ නිසා මම විශාල පේෂ කර්මාන්ත ශාලාවක පරීක්ෂණාගාරයේ වැඩ කරන්න පටන්ගත්තා.
පරීක්ෂාවල පටන්ගැන්ම
නාට්සිවරුන් හංගේරියාව අල්ලගෙන තිබුණ අතර මම වැඩ කරමින් හිටිය කර්මාන්ත ශාලාව ජර්මන් පරිපාලනය යටතට අරන් තිබුණා. නාට්සිවරුන්ට බැඳී සිටින බවට දිවුරුම් දීම සඳහා අධීක්ෂකයන් ඉදිරියේ පෙනී ඉන්න, දිනක් සියලුම සේවකයන්ව කැඳෙව්වා. මෙසේ පෙනී නොසිටියොත් දරුණු ප්‍රතිඵල ඇති වෙයි කියා අපට පැවසුවා. අපි හිට්ලර්ට ආචාර කළ යුතුව තිබූ උත්සවයේදී, මම ගෞරවාන්විතව නැඟිට්ටත් ඉන් එහාට කළ යුතු වූ ක්‍රියාව කළේ නැහැ. ඒ දවසේම මාව කාර්යාලයට කැඳෙව්වා; මගේ පඩිය දීලා මාව අස් කළා. රැකියා හිඟ නිසා පුරෝගාමී සේවයේ යෙදෙන්න කළ මගේ සැලසුම්වලට මොනවා වෙයිද කියලා මම කල්පනා කළා. ඊළඟ දවසේදී, කෙසේනමුත්, මට ඊටත් වඩා වැඩි පඩියක් එක්ක රැකියාවක් ලැබුණා.
පුරෝගාමී සේවයේ යෙදීමට මගේ ආශාව දැන් ඉටු කරගත හැකියි. මට පුරෝගාමී සහකාරියන් කීපදෙනෙක් සිටි අතර මගේ අන්තිම එක්කෙනා යූලිෂ්කා ඕස්ටලෝෂ්. දේවසේවයේදී ඉදිරිපත් කිරීමට පොත් පත් තිබුණේ නැහැ, අපි පාවිච්චි කළේ අපේ බයිබලය විතරයි. උනන්දුව දැක්වූ අයව අපට සම්බ වූ විට, අපි ඔවුන්ව නැවත බලන්න ගිහින්, කියවා ආපසු දීමට පොත් පත් දුන්නා.
නිතර නිතර, යූලිෂ්කාට හා මට අප වැඩ කළ බලප්‍රදේශය වෙනස් කරන්න සිද්ධ වුණා. මේකට හේතුව, පූජකයෙක් අපි ‘ඔහුගේ බැටළුවන්ව’ හමු වෙන බව දැනගෙන, යෙහෝවාගේ සාක්ෂිකාරයෝ ඔවුන්ගේ නිවසට ආවොත් තමන්ට හෝ පොලිසියට ඒ බව වාර්තා කළ යුතුයි කියා පල්ලියේදී නිවේදනය කර තිබූ නිසයි. එවැනි නිවේදනයක් ගැන මිත්‍රශීලී ජනයා අපට පැවසූ විට, අපි වෙන බලප්‍රදේශයකට මාරු වෙලා යනවා.
දිනක් යූලිෂ්කායි මමයි උනන්දුවක් දැක්වුව කුඩා පිරිමි ළමයෙකුව නැවත හමු වෙන්න ගියා. අපි නැවත ගිහින් ඔහුට කියවන්න යමක් දීමට වෙලාවක් නියම කරගත්තා. නමුත් අපි ආපහු ගියහම, පොලිසියෙන් එහි ඇවිත් හිටිය අතර අපව අත්අඩංගුවට ගෙන, ඩුනාවෙසෙහි පොලිස් ස්ථානයට රැගෙන ගියා. අපිව අල්ලන්න පිරිමි ළමයාව ඇමක් හැටියට පාවිච්චි කරලා තිබුණා. අපි පොලිසියට ගිය විට පූජකයෙක් එහි ඉන්නවා දැක්කා; ඔහුත් මේකට සම්බන්ධ බව අපි දැනගත්තා.
මගේ අමාරුම පරීක්ෂාව
පොලිසියේදී, මගේ කොණ්ඩේ ඔක්කොම බූගෑවා; පොලිස්කාරයෝ දොළොස්දෙනෙක් විතර ඉස්සරහ මට නිරුවතින් හිටගෙන ඉන්න සිද්ධ වුණා. හංගේරියාවේ හිටිය අපේ නායකයා කවුද කියලා දැනගන්න වුවමනාවෙන් ඔවුන් මගෙන් ප්‍රශ්න ඇහැව්වා. යේසුස් ක්‍රිස්තුස් හැරෙන්න වෙනත් නායකයෙක් අපට නැහැයි කියලා මම පැහැදිලි කළා. එවිට ඔවුන් ඔවුන්ගේ බැටන් පොලුවලින් මට අමානුෂික විදිහට පහර දුන් නමුත්, මම මගේ ක්‍රිස්තියානි සහෝදරයන්ව පාවලා දුන්නේ නැහැ.
ඊට පස්සේ, ඔවුන් මගේ පාද එකට ගැට ගහලා, මගේ අත්දෙක මගේ ඔළුව උඩින් තියලා ඒවත් එකට ගැට ගැහැව්වා. එවිට, එක පොලිස්කාරයෙක් ඇරෙන්න අනිත් හැමෝම එක්කෙනා පස්සේ එක්කෙනා මාව දූෂණය කළා. මාව කොයිතරම් තදින් ගැටගහලා තිබුණද කිව්වොත් අවුරුදු තුනකට පස්සෙත් මගේ මැණික්කටුවල කැළැල් තිබුණා. මට කොයිතරම් තිරිසන් විදිහට සැලකුවද කිව්වොත් මාව සති දෙකක් පතුල්මාලයේ තැබුවා මගේ ලොකු තුවාල හොඳ වෙනකම්.
සහන කාලපරිච්ඡේදයක්
ඊට පස්සේ මාව යෙහෝවාගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක් හිටිය නාජ්කොනිසෝ සිරගෙට ගෙන ගියා. සිරගතව හිටියත් ඊට පස්සේ යම් දුරකට සතුටුදායක අවුරුදු දෙකක් පැමිණියා. අපි අපේ ඔක්කොම රැස්වීම් රහසින් පැවැත්තුව අතර සභාවකට සමාන විදිහකට අපි ක්‍රියාත්මක වුණා. අවිධිමත් සාක්ෂිදැරීම සඳහා අපට හුඟක් ප්‍රස්තාවනුත් තිබුණා. මට ඔල්ගා ස්ලෙසින්ග’ව මුණගැසුණේ මේ සිරගෙදරදියි; ඇය මගේ අම්මාට හා මට බයිබල් සත්‍යය හඳුන්වා දුන් ස්ත්‍රිය වූ එර්සේබෙට් ස්ලෙසින්ග’ගේ මාංසික සහෝදරියක්.
හංගේරියාවේ හිටිය නාට්සිවරුන් 1944දී හංගේරියානු යුදෙව්වන්ව මරා දැමීමට තීරණය කර තිබුණා; වෙනත් ප්‍රදේශවල සිටි අයවත් ඔවුන් ඒ විදිහටම ක්‍රමානුකූලව මරා දමමින් හිටියා. දිනක් ඔවුන් ඔල්ගයි, මායි ගාවට ආවා. අපිව දුම්රිය සත්ව මැදිරිවලට ඇහිරෙවූ අතර, චෙකොස්ලෝවැකියාව තුළින් හුඟක් දුෂ්කර ගමනකින් පස්සේ අපි දකුණු පෝලන්තයේ අපේ ගමනාන්තයට—ඔස්ක්විට්ස් ඝාතක කඳවුරට ආවා.
ඔස්ක්විට්ස්හිදී ජීවිතය බේරීම
ඔල්ගා එක්ක ඉන්නකොට මට ආරක්ෂාවක් හැඟුණා. හුඟක් අමාරු තත්වයන්වලදී පවා ඇයට සිනා වී සිටිය හැකියි. අපි ඔස්ක්විට්ස්වලට පැමිණි විට, අපකීර්තිමත් වෛද්‍ය මෙන්ජල ඉදිරියේ අපි පෙනී සිටියා. ඔහුගේ කාර්යය වුණේ අලුතෙන් පැමිණෙන වැඩට සුදුසු නැති අයව ශක්තිසම්පන්න අයගෙන් වෙන් කිරීමයි. කලින් අයව ගෑස් කුටිවලට යැව්වා. අපේ වාරය ආ විට, මෙන්ජල ඔල්ගාගෙන් මෙහෙම ඇහැව්වා, “ඔයාගේ වයස කීයද?”
නිර්භීතව, ඒ වගේම හාස්‍ය බැල්මකින් යුතුව, “20යි” කියලා ඇය පිළිතුරු දුන්නා. ඇගේ ඇත්ත වයස ඒ වගේ දෙගුණයක්. නමුත් මෙන්ජල හිනා වෙලා ඇයට දකුණු පැත්තට යන්න ඉඩහැරියා; මෙලෙස ජීවත් වෙන්න ලැබුණා.
ඔස්ක්විට්ස්හි හැම සිරකරුවෙකුවම ඔවුන්ගේ සිර ඇඳුමේ ලාංඡනවලින් සලකුණු කරලා තිබුණා—යුදෙව්වන්ට දාවිත්ගේ තරුව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දම්පාට ත්‍රිකෝණය තිබුණා. අපේ ඇඳුම්වල දාවිත්ගේ තරුව මහන්න ඔවුන්ට වුවමනා වූ විට, අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවත්, දම්පාට ත්‍රිකෝණය වුවමනා බවත් අපි පැහැදිලි කළා. මෙහෙම කළේ අපේ යුදෙව් උරුමය ගැන අපි ලජ්ජා වුණ නිසා නෙවෙයි, නමුත් අපි මේ වෙද්දී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සිටි නිසායි. පයින් ගසමින් හා අපට පහර දෙමින් යුදෙව් ලාංඡනය පිළිගැනීමට අපට බල කරන්න ඔවුන් උත්සාහ කළා. නමුත් ඔවුන් අපව යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට පිළිගන්න තුරුම අපි නොසැලී හිටියා.
කෙටි කාලෙකින්, මට වඩා අවුරුදු තුනකින් බාල මගේ සහෝදරි එල්විරාව මට මුණගැහුණා. හත්දෙනෙකුගෙන් යුත් අපේ මුළු පවුලම ඔස්ක්විට්ස්වලට ගෙනගොස් තිබුණා. වැඩට සුදුසුයි කියා අනුමැතිය ලැබී තිබුණේ එල්විරාටයි මටයි විතරයි. තාත්තා, අම්මා හා අපේ සහෝදර සහෝදරියන් තුන්දෙනෙක් ගෑස් කුටිවල මියගියා. එතකොට එල්විරා සාක්ෂිකාරියක් නොවෙයි; අපිට කඳවුරේ එකම කොටසේ ඉන්න ලැබුණෙත් නැහැ. ඇගේ ජීවිතය බේරුණ අතර ඇය එක්සත් ජනපදයට පදිංචියට ගිහින් පෙන්සිල්වේනියා, පිට්ස්බ’ග්හිදී සාක්ෂිකාරියක් බවට පත් වුණා; පසුව එහි 1973දී මියගියා.
වෙනත් කඳවුරුවලදී බේරීම
රුසියානුවන් පැමිණෙමින් සිටි නිසා 1944/45දී, ඔස්ක්විට්ස් හැර යෑමට ජර්මානුවන් තීරණය කළා. ඒ නිසා අපි ජර්මනියේ උතුරු කොටසෙහි බ’ග’න්-බෙල්සන්වලට මාරු වුණා. අපේ පැමිණීමෙන් වැඩි කල් යන්න පෙර, ඔල්ගාවයි, මාවයි බ්‍රෞන්ස්වික්වලට යැව්වා. මෙහිදී මිත්‍ර පාක්ෂික හමුදා හෙළන දරුණු බෝම්බ ප්‍රහාරවලින් ඉතිරි වන සුන්බුන් ඉවත් කිරීමට උපකාර කිරීමට අපට පවරා තිබුණා. ඔල්ගයි මායි කාරණය ගැන සාකච්ඡා කළා. මේ වැඩය කිරීමෙන් අපේ මධ්‍යස්ථභාවය උල්ලංගනය කිරීමක් වෙයිද කියා අපට ස්ථිරත්වයක් තිබුණේ නැති නිසා, ඒකට හවුල් නොවී ඉන්න අපි දෙන්නා තීරණය කළා.
අපේ තීරණය සෑහෙන කැලඹීමක් ඇති කළා. අපිට හම් කසවලින් පහර දීලා, ඊට පස්සේ වෙඩි තබන භට පිරිසක් ඉදිරියට ගෙන ගියා. කාරණය ගැන නැවත සලකා බලන්න අපට තව විනාඩියක් දුන් අතර, අපි අපේ මනස් වෙනස් කරගත්තේ නැත්නම් අපට වෙඩි තබන බව පැවසුවා. අපි අපේ මනස් හදාගෙන තිබෙන නිසා අපට හිතන්න කාලයක් අවශ්‍ය නැහැ කියලා අපි කිව්වා. කෙසේවුවත්, කඳවුරේ අණ දෙන නිලධාරියා පැමිණියේ නැති නිසාත්, මරාදැමීමේ අණ දෙන්න හිටි එකම අධිකාරියා ඔහු වූ නිසාත් අපව මරාදැමීම ප්‍රමාද කරන්න සිදු වුණා.
මේ අතරතුර මුළු දවස පුරාම කඳවුරු භූමියේ හිටගෙන ඉන්න අපට බල කළා. පැය දෙකෙන් දෙකට මාරු වුණ අවි සන්නද්ධ සොල්දාදුවන් දෙන්නෙක් අපව මුර කළා. අපිට කිසිම ආහාරයක් දුන්නේ නැහැ. එය පෙබරවාරි මාසය වූ බැවින් සීතල නිසා අපි හුඟක් දුක් වින්දා. මේ වගේ සැලකීමක් සතියක් විතර තිබුණ නමුත්, ඒ වන විටත් අණ දෙන නිලධාරියා පැමිණුණේ නැහැ. එනිසා ට්‍රක් රථයක පිටුපස නග්ගවා, අපව පුදුමයට පත් කරවමින් අපව බ’ග’න්-බෙල්සන් වෙත ගෙන ආවා.
ඒ වන විට ඔල්ගයි මායි හිටියේ දරුණු තත්වයකයි. මගේ කොණ්ඩෙන් වැඩි හරියක් හැළිලා ගිය අතර තදින් උණගැනී තිබුණා. මට ටිකක් හරි වැඩ කරන්න පුළුවන් වුණේ සෑහෙන මහන්සියක් අරගත් නිසයි. හැම දවසකම ලැබුණ, ශක්තිජනක නැති ගෝවා සුප් එකයි, කුඩා පාන් කෑල්ලයි ප්‍රමාණවත් වුණේ නැහැ. නමුත් අපි වැඩ කරන්න අවශ්‍යව තිබුණා, කරන්න බැරි වුණ අයව මරාදැම්මා. කුස්සියේ වැඩ කරමින් සිටි ජර්මන් සහෝදරියන් මට ටිකක් විවේක ගන්න උපකාර කළා. ආරක්ෂක භටයන් පරීක්ෂා කරමින් එන අතරතුරේදී, මට මහන්සි වෙලා වැඩ කරනවා වගේ පෙනෙන්න වැඩබංකුව ළඟ හිටගෙන ඉන්න පුළුවන් වෙන විදිහට සහෝදරියන් මට අනතුරු අඟවනවා.
දිනක් ඔල්ගාට ඇගේ වැඩ ස්ථානයට යන්න ශක්තියක් තිබුණේම නැහැ; ඊට පස්සේ අපි කවදාවත් ඇයව දැක්කේ නැහැ. මට නිර්භීත මිතුරියක් හා සහකාරියක් නැති වුණා; කඳවුරුවල හිටි ඒ අමාරු කාලයේදී මට ඇය හුඟක් උපකාර කරලා තියෙනවා. අපේ ස්වාමීන් වූ යේසුස් ක්‍රිස්තුස්ගේ ආලේප ලත් අනුගාමිකාවක් හැටියට ඇය ඒ මොහොතේම ස්වර්ගික විපාකය ලබන්න ඇති.—එළිදරව් 14:13.
නිදහස හා ඉන්පසු ජීවිතය
වර්ෂ 1945 මැයිවලදී යුද්ධය අවසන් වී නිදහස ලැබුණ විට, පීඩාකාරින්ගේ බැමි කඩා දමා තිබීමේ ප්‍රීතිය භුක්ති විඳින්න බැරි තරමටම මා දුර්වලව සිටියා; නිදහස ලැබූවන්ව භාරගන්න කැමති රටවලට ගෙන යන ආරක්ෂක කණ්ඩායමට හවුල් වෙන්නත් මට බැරි වුණා. ශක්තිය ලබාගැනීමේ අටියෙන් මම රෝහලක මාස තුනක් නැවතිලා හිටියා. ඉන්පසු මාව ස්වීඩනයට ගෙන යනු ලැබූ අතර එය මගේ අලුත් නිවහන වුණා. විගස, මම මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ව සම්බ වුණ අතර, අගනා දායාදය වන ක්ෂේත්‍ර සේවයේ යෙදෙන්න පටන්ගත්තා.
මම 1949දී ලෙනට් ජොසෙෆ්සන් එක්ක විවාහ වුණා; ඔහු අවුරුදු ගණනක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙක් හැටියට සේවය කර තිබුණා. ඔහුගේ ඇදහිල්ල පවත්වාගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් IIවන ලෝක යුද්ධ සමයේදී ඔහුවත් සිරගත කර තිබුණා. අපි 1949 සැප්තැම්බර් 1වෙනිදා ඉඳලා පුරෝගාමීන් හැටියට අපේ ජීවිතය ඇරඹූ අතර, බූරෝස් නගරයේ සේවය කිරීමට පැවරුම් ලැබුවා. එහිදී අපගේ මුල් අවුරුදුවලදී අපි නිතිපතා හැම සතියකම උනන්දුව දැක්වූ අය එක්ක බයිබල් පාඩම් දහයක් පැවැත්තුවා. අවුරුදු නවයක් ඇතුළතදී බූරෝස් සභාව තුනක් බවට පත් වෙනවා දැකීමේ ප්‍රීතිය අපට ලැබුණ අතර දැන් පහක් තියෙනවා.
මට වැඩි කලක් පුරෝගාමියක හැටියට ඉන්න ලැබුණේ නැහැ, මොකද 1950දී දුවෙක් ලැබී අපි දෙමාපියන් බවට පත් වුණ නිසාත්, අවුරුදු දෙකකට පස්සේ පුතෙක් ලැබුණ නිසාත්. මෙසේ මට වයස 16ක්ව තිබියදී හංගේරියාවේ ප්‍රේමනීය සහෝදරයා ඉගැන්වූ අගනා සත්‍යය අපේ දරුවන්ටත් ඉගැන්වීමේ මහඟු වරප්‍රසාදය මට ලැබුණා, එනම්: “මනුෂ්‍යයෙකුට ලැබිය හැකි ලොකුම ගෞරවය තමයි යෙහෝවාට සේවය කරන එක.”
මගේ ජීවිතය දිහා හැරිලා බලද්දී, යෝබ්ගේ විඳදරාගැනීම ගැන අපට මතක් කර දෙමින් ශ්‍රාවක යාකොබ් ලියූ සත්‍යතාවය මම අද්දැක්ක බව මට වැටහෙනවා: “[යෙහෝවා] බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.” (යාකොබ් 5:11) මමත් දරුණු පරීක්ෂා විඳ තිබුණත්, මට දරුවන් දෙන්නෙක්, ඔවුන්ගේ කලත්‍රයන් හා මුනුබුරු මිනිබිරියන් හයදෙනෙක් ලැබීමෙන් මම ලොකු ආශීර්වාදයක් ලබා තිබෙනවා. ඒ ඇරෙන්න, මට ගොඩාක් ආත්මික දරුවන් හා මුනුබුරු මිනිබිරියන් ඉන්නවා; ඔවුන්ගෙන් සමහරු පුරෝගාමීන් හා මිෂනාරිවරුන් හැටියට සේවය කරනවා. දැන් මගේ ලොකුම බලාපොරොත්තුව මරණයේ සැතපී සිටින ප්‍රේමනීයයන්, ඔවුන්ගේ සිහි කිරීමේ සොහොන් ගෙවල්වලින් නැඟිටින විට ඔවුන්ව මුණගැසී වැලඳගැනීමයි.—යොහන් 5:28, 29.
[31වන පිටුවේ පින්තූරය]
IIවන ලෝක යුද්ධයෙන් පසු ස්වීඩනයේ දේවසේවයේ යෙදෙමින්
[31වන පිටුවේ පින්තූරය]
මගේ සැමියා එක්ක