පෘථිවි ග්‍රහයා විනාශයට නියමිතද?
විසිවන සියවස එහි නිමාව කරා ළඟා වෙමින් තිබෙන අතර, 21වන සියවසේ අරුණලු උදා වන්න ආසන්නයි. මෙම පසුබිම තුළ, සම්පූර්ණ විනාශයක් පිළිබඳ අනාවැකිවලට සාමාන්‍යයෙන් එතරම් අවධානයක් යොමු නොකරන හෝ කොහෙත්ම අවධානය යොමු නොකරන වැඩි වන ජන සංඛ්‍යාවක්, ලෝකය සුනුවිසුනු කර දමන යම් සිදුවීමක් ආසන්නයේ පවතීද කියා කල්පනා කරමින් සිටිනවා.
මේ සම්බන්ධයෙන් පුවත්පත්වල හා සඟරාවල පළ වන ලිපි—මේ විෂය ගැන ලියා තිබෙන සම්පූර්ණ පොත් පවා—ඔබ දැක තිබෙන්න පුළුවන්. විසිඑක්වන සියවස ආරම්භ වන්නේ කුමන ආකාරයේ වර්ධනයන් සමඟින්ද කියා අපි බලා සිටිය යුතුයි. වසර 2000 එහි අවසානය කරා ළඟාවීමේදී සිදු වන එකම වෙනස අවුරුද්දක් අවසන් වීම පමණයි (නැත්නම් 2000 සිට 2001 දක්වා මිනිත්තුවක් ගෙවීයෑමයි); එමෙන්ම සුවිශේෂ වැදගත්කමකින් යුත් යමක් සිදු නොවෙන්න පුළුවන් කියා සමහරුන් පෙන්වා දෙනවා. බොහෝදෙනෙක් වැඩි සැලකිල්ලක් දක්වන්නේ අපේ පෘථිවියේ දිගු-කාලීන අනාගතය ගැනයි.
යම් අවස්ථාවකදී—නුදුරු හෝ ඈත අනාගතයේදී—පෘථිවි ග්‍රහයා නියත වශයෙන්ම සම්පූර්ණ විනාශයකට ගොදුරු වන බව මේ කාලයේ නිතර නිතර අසන්න ලැබෙන අනාවැකියක් වෙනවා. එවන් ඛේදජනක අනාවැකි කිහිපයක් සලකා බලන්න.
කතුවරයෙකු මෙන්ම දාර්ශනිකයෙකු වන ජෝන් ලෙස්ලි, මුලින්ම 1996දී ප්‍රකාශයට පත් කළ දි එන්ඩ් ඔෆ් ද ව’ල්ඩ්—ද සයන්ස් ඇන්ඩ් එතික්ස් ඔෆ් හ්‍යුමන් එක්ස්ටින්ෂන් (ලෝකාන්තිමය—විද්‍යාව හා මිනිසාගේ අභාවය පිළිබඳ ආචාරධර්ම) නමැති තමාගේ පොතෙහි, පෘථිවිය මත මිනිස් ජීවිතය නිමාවට පත් විය හැකි අයුරු සම්බන්ධයෙන් සිදුවීමට ඉඩ කඩ තිබෙන තත්වයන් තුනක් ඉදිරිපත් කරනවා. මුලින්ම ඔහු මෙසේ අසනවා: “න්‍යෂ්ටික අවි සියල්ලම යොදාගෙන කෙරෙන යුද්ධයකින් මනුෂ්‍යවර්ගයාගේ අවසානය අදහස් විය හැකිද?” අනතුරුව ඔහු මෙසේ පවසනවා: “පිළිකා, ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වන අන්දමින් බෝවෙන රෝග හාත්පස පැතිරීම හෝ උපත් ආබාධ අතිවිශාල ගණනක් මගින් මිනිස් සංහතිය වඳ වී යෑමේ සිදුවීම් මාලාවක්, විකිරණවල බලපෑම නිසා බොහෝදුරට සිදු විය හැකියි. පරිසරයේ යහපත් පැවැත්මට වැදගත් වන ක්ෂුද්‍රජීවීන්ගේ මියයෑමද සිදු විය හැකියි.” ලෙස්ලි මහතා ඉදිරිපත් කරන සිදු විය හැකි තුන්වන තත්වය වන්නේ, පෘථිවිය වල්ගා තරුවක් හෝ ග්රහාංශුවක් සමඟ ගැටීමක් සිදු විය හැකිවීමයි: “යම් දවසක පෘථිවිය හා ගැටීමකට ලක් විය හැකි අන්දමින් කක්ෂගත වී තිබෙන වල්ගා තරු හා ග්‍රහාංශු සලකා බලන විට, විෂ්කම්භය කිලෝමීටර් එකේ සිටි දහය දක්වා ප්‍රමාණයකින් යුත් ඒවා දෙදහසකට ආසන්න ගණනක් තිබෙන බව පේනවා. වඩාත් විශාල ඒවාට අයත් ඉතා කුඩා ඒවාද (ගණන් බලනවා නම්, එය අනුමාන කිරීමක් පමණයි), වඩාත් කුඩා ඒවා විශාල ගණනක්ද තිබෙනවා.”
“ලෝක විනාශයේ” විචිත්‍රවත් විස්තරයක්
තවත් විද්‍යාඥයෙක් වන ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් ඩේවිස් පවසන දෙය සලකා බලන්න. වොෂිංටන් ටයිම්ස් සඟරාව ඔහුව විස්තර කළේ “ලොව පිළිගත් හොඳම විද්‍යා ලේඛකයා” ලෙසයි. වර්ෂ 1994දී ඔහු ද ලාස්ට් ත්‍රී මිනිට්ස් (අන්තිම මිනිත්තු තුන) යනුවෙන් පොතක් ලිව්වා; එය “ලෝක විනාශය ගැන ලියැවුණු සියලුම පොත්වල මව් කෘතිය” ලෙස හඳුන්වා තිබෙනවා. මේ පොතේ මුල් පරිච්ඡේදය “ලෝක විනාශය” යනුවෙන් හඳුන්වා තිබෙන අතර, වල්ගා තරුවක් පෘථිවි ග්‍රහයා හා ගැටුණොත් සිදු විය හැකි දෙය පිළිබඳ කල්පිත සිදුවීම් මාලාවක් එහි විස්තර කෙරෙනවා. ඔහුගේ බියකරු විස්තරයෙන් කොටසක් කියවන්න:
“මේ ග්‍රහයා භූමිකම්පා දසදහසකින් ඇති කරන බලයට සමාන බලයකින් දෙදරුම්කනවා. අස්ථානගත වූ වායු මගින් ඇති කරන විශාල පිපිරීමක් සිදු වී, ඒ වායු හමා යන දිශාව ඔස්සේ තිබෙන සියලුම දේවල් සමතලා කර දමමින් හා සියලුම ගොඩනැඟිලි සුනුවිසුනු කරමින් පොළොව පුරා වේගයෙන් හමා යනවා. එම පිපිරීම සිදු වූ ස්ථානයේ තිබෙන තැනිතලා භූමිප්‍රදේශය, . . . කිලෝමීටර් 150ක ආවාටයක් සාදමින් පොළොවේ අභ්‍යන්තර කොටස් මතු කරමින් කිලෝමීටර් කිහිපයක් උසට ඉහළට විසි වෙනවා. මුළු පෘථිවි ග්‍රහයා පුරාම සූර්යයාව නොපෙනී යෑමට සලස්වමින් සුන්බුන්වලින් ඉහළ නඟින විශාල දූවිලි කන්දක් වායුගෝලය පුරා පැතිරෙනවා. අස්ථානගත වූ ද්‍රව්‍යයන් අභ්‍යවකාශයේ සිට වායුගෝලයට වේගයෙන් කඩා වැටෙද්දී, ගිනියම් වූ රස්නයෙන් පොළොව දවා දමන උල්කා බිලියන ගණනක් මගින් නිකුත් වන දැඩි ආලෝකයක් මේ අවස්ථාවේදී සූර්යාලෝකයේ තැන ගන්නවා.”
මහාචාර්ය ඩේවිස් මෙම කල්පිත සිදුවීම් මාලාව, ස්විෆ්ට්-ට’ට’ල් වල්ගා තරුව පොළොව හා ගැටෙන බවට වූ අනාවැකිය හා සම්බන්ධ කරනවා. එවැනි සිදුවීමක් නුදුරු අනාගතයේදී සිදුවීමට ඉඩ කඩ නොතිබිය හැකි වුණත්, ඔහුගේ අදහසට අනුව “ස්විෆ්ට්-ට’ට’ල් හෝ ඒ හා සමාන වස්තුවක් කවදා හෝ පොළොව හා ගැටෙයි” කියා පවසමින් ඔහු අනතුරු ඇඟවීමක් එක් කරනවා. ඔහුගේ නිගමනය පදනම් වී තිබෙන්නේ පෘථිවි කක්ෂය හරහා කිලෝමීටර් 0.5ක විෂ්කම්භයකින් යුත් වස්තූන් 10,000ක් ගමන් කරන බවට වූ ගණන්බැලීම මතයි.
එවැනි තැතිගන්වනසුලු අනාගතික සිදුවීමක් සැබෑවක් වන බව ඔබ විශ්වාස කරනවාද? මිනිසුන් විස්මය දනවන ප්‍රමාණයක් එය විශ්වාස කරනවා. නමුත් තමන්ගේ ජීවිත කාලයේදී එය සිදු නොවන බවට තමන්ටම සහතික කරගනිමින් ඔවුන් සිත්තැවුල නැති කරගන්නවා. කෙසේවෙතත් පෘථිවි ග්‍රහයා—ඉක්මනින්ම හෝ මෙතැන් සිට අවුරුදු දහස් ගණනකට පසුව හෝ—විනාශ විය යුත්තේ මන්ද? ඇත්තෙන්ම පොළොවේ වෙසෙන මිනිසුන්ට හෝ සතුන්ට විපත් ඇති කරන ප්‍රධාන මූලාශ්‍රය පොළොව නොවෙයි. ඒ වෙනුවට, සම්පූර්ණයෙන්ම ‘පොළොව විනාශ වී’ යෑමට තිබෙන ඉඩ කඩ ඇතුළුව මේ 20වන සියවසේ ගැටලුවලින් බොහොමයකට වගකිව යුත්තේ මිනිසා නොවේද?—එළිදරව් 11:18.
මිනිසාගේ අනිසි කළමනාකරණය සම්පූර්ණයෙන්ම වෙනස් වී
මිනිසා විසින්ම තමන්ගේ අනිසි කළමනාකරණය හා ගිජුකම මගින් පොළොව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමේ හෝ නාස්ති කර දැමීමේ වැඩි හැකියාවක් පෙනෙන්න තිබීම ගැන කුමක් කිව හැකිද? අධික වනවිනාශය, පාලනයකින් තොරව කෙරෙන වායුගෝලය දූෂණය කිරීම හා ජල මාර්ග අපවිත්‍ර කිරීම යනාදිය මගින් දැනටමත් පොළොවේ කොටස් විශාල ලෙස විනාශ වී තිබෙන බවට කිසිම සැකයක් නැහැ. අවුරුදු 25කට කලින් බාබරා වෝඩ් හා ර’නේ ඩ්යූබො, ඔන්ලි වන් අ’ත් (එක පොළොවක් පමණයි) නමැති තමන්ගේ පොතෙහි එය මෙසේ මැනවින් සම්පිණ්ඩනය කළා: “අපි පරීක්ෂා කර බැලිය යුතු පරිසර දූෂණයේ පුළුල් ක්ෂේත්‍ර තුන වන වායුව, ජලය හා භූමිය යනාදියම අපේ ග්‍රහයා මත තිබෙන ජීවය සෑදී තිබෙන ප්‍රධානතම මූලද්‍රව්‍යයන් තුන බව අමුතුවෙන් කිව යුතු නැහැ.” එමෙන්ම මූලික වශයෙන් ගත් කල එදා පටන් තත්වය වඩාත් හොඳ අතට හැරී නැහැ, එසේ නොවෙයිද?
මිනිසා තමාගේ අනුවණකම් හේතුවෙන් පොළොව නාස්ති කර දැමීමට හෝ විනාශ කර දැමීමට තිබෙන ඉඩ කඩ ගැන සලකා බලන විට, පොළොව සතු ප්‍රකෘතිමත් වීමේ හා යළි උත්පාදන කිරීමේ මවිතකර හැකියාව ගැන සිතා බැලීමෙන් අපව දිරිගැන්වෙන්න පුළුවන්. මෙම විස්මය දනවන ප්‍රකෘතිමත් වීමේ හැකියාව ගැන විස්තර කරමින් ද රිසිලිඅන්ස් ඔෆ් ඊකොසිස්ටම් (පරිසර පද්ධති ප්‍රකෘතිමත් වීම) නමැති තවත් පොතක ර’නේ ඩ්යූබො මෙම දිරිගන්වනසුලු නිරීක්ෂණයන් සපයනවා:
“දැනටමත් පරිසර පද්ධතිවලට සිදු කර තිබෙන හානිවලින් බොහොමයක් වෙනස් කළ නොහැකි නිසා පාරිසරික පරිහානිය ගැන දැනුවත්ව සිටීම ප්‍රමාද වැඩියි කියා බොහෝදෙනෙක් බියෙන් සිටිනවා. මගේ අදහසට අනුව, හානිකර සිදුවීම්වලින් ප්‍රකෘතිමත් වීමේ මහත් බලයන් පරිසර පද්ධතිවලට තිබෙන නිසා මේ සර්ව අශුභවාදය සාධාරණ නැහැ.
“ස්වයං සුවයක් ලැබීමේ ක්‍රම කිහිපයක් පරිසර පද්ධතිවලට තිබෙනවා. . . . ඒවා, හුදෙක් මුල් පාරිසරික සමතුලිතතාව ප්රගතිශීලී ලෙස නැවත පිහිටුවීම මගින් අහිතකර බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමට පරිසර පද්ධතිවලට හැකියාව ලබා දෙනවා.”
එය කළ හැකියි
මෑත වර්ෂවලදී මේ පිළිබඳ කැපීපෙනෙන ආදර්ශයක් වන්නේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ තේමස් ගඟ ක්‍රමානුකූලව පිරිසිදු කිරීමයි. ජෙෆ්රි හැරිසන් හා පීටර් ග්‍රාන්ට් විසින් රචිත ද තේමස් ට්රාන්ස්ෆෝම්ඩ් (පරිණාමය වූ තේමස් නදිය) නමැති පොතෙහි පොදු යහපත උදෙසා මිනිසුන් එක්ව වැඩ කිරීමෙන් කළ හැකි දෙය පෙන්වන මෙම අපූර්ව ඉටු කරගැනීම ගැන කරුණු සපයනවා. බ්‍රිතාන්‍යයේ එඩින්බ’ග් ආදිපාදවරයා මේ පොතේ පෙරවදනෙහි මෙසේ ලිව්වා: “අවසානයේදී විශාල පරිමාණයකින් සාර්ථකත්වයක් ලැබූ කතාවක් මෙන්න; ඇත්තෙන්ම තමන් විශ්වාස කිරීමට නැඹුරු වූ තරම් සංරක්ෂණය හා සම්බන්ධ ගැටලු බරපතළ නැති බව සැලකීම සමහරුන්ට දිරිගැන්වීමක් විය හැකිවීම ප්‍රකාශයට පත් කිරීම වටිනවා. . . . තේමස් නදියෙහි ඉටු කරගෙන තිබෙන දෙයින් සියලුදෙනාටම යම් නිසැකකමක් ඇති කරගන්න පුළුවන්. ශුභාරංචිය වන්නේ එය කළ හැකිවීම හා ඔවුන්ගේ යෝජනාක්රමත් සාර්ථක කරගත හැකිවීමයි.”
“විශාල පවිත්‍ර කිරීම” නමැති පරිච්ඡේදයෙහි හැරිසන් හා ග්‍රාන්ට් පසුගිය අවුරුදු 50 පුරා ඉටු කරගෙන තිබෙන දෙය ගැන මෙසේ උද්යෝගිමත්ව ලියනවා: “ලෝකයේ පළමු වතාවට, දරුණු ලෙස දූෂණය වූ හා කාර්මිකකරණයේ බලපෑමට හසු වූ ගඟක් ජලජ පක්ෂීන් හා මාළු බහුලව වෙසෙන තත්වයකට ප්‍රකෘතිමත් කර තිබෙනවා. බලාපොරොත්තු තබාගත නොහැකි සේ මුලින්ම දිස්වූ තත්වයක් තුළ ඉතාමත් වේගයෙන් සිදු වී තිබෙන එවැනි පරිණාමයක් මගින් ප්‍රබල සර්ව අශුභවාදී වනජීවි සංරක්ෂකයෙකුට පවා දිරිගැන්වීමක් සපයනවා.”
අනතුරුව ඔවුන් එම පරිණාමය ගැන මෙසේ විස්තර කරනවා: “කැළිකසළ එක්රැස් කරන විශාල ස්ථාන හා කැළිකසළ නළ හානිවීම හෝ විනාශ වීම සිදු වූ දෙවන ලෝක මහා යුද්ධයේ විනාශකාරි වකවානුවේදී ගඟේ තත්වය විශාල වශයෙන් පිරිහුණා. වර්ෂ 1940 ගණන් හා 1950 ගණන් අතර කාලපරිච්ඡේදය තුළ තේමස් ගඟේ පවිත්‍රතාව හොඳටම පිරිහුණා. ගඟේ තත්වය විවෘත කැළිකසළ කානුවකට සමාන වුණා; එහි වතුර කළු පාට වුණා, ඔක්සිජන් තිබුණේ නැහැ; එමෙන්ම ග්‍රීෂ්ම මාසවලදී තේමස් ගඟෙන් හමන දරාගත නොහැකි දුගඳ පුළුල් ප්‍රදේශයක් පුරා පැතිරුණා. . . . අන්තිමේදී ආඳන් කිහිපදෙනෙක් හැර බහුල ලෙස සිටි මාළුන්ට ඉවත්ව යන්න සිද්ධ වුණා; කෙළින්ම මතුපිට වාතය ආශ්වාස කිරීමේ හැකියාව ආඳන්ට තිබෙන නිසා බේරී ජීවත් වෙන්න උන්ට පුළුවන් වුණා. ලන්ඩනය හා වූලිච් අතර අඛණ්ඩව ඉදි වෙන ගොඩනැඟිලි අසල ජීවත් වූ පක්ෂීන් ගණන තාරාවන් හා හංසයන් ස්වල්පයක් දක්වා අඩු වූ අතර, ස්වභාවික ආහාර සැපයුමට වඩා උන් තමන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් නැව් තොටුපොළවල් අසල වැටෙන ධාන්‍යවලට ණයගැතියි. . . . ඒ කාලයේදී සිදුවීමට තිබූ මෙම ප්‍රබල වෙනස් වීම විශ්වාස කරන්න ඇත්තේ කවුද? අවුරුදු දහයක් ඇතුළත, ගඟේ ඒ හා සමාන ප්‍රමාණයක් කුරුල්ලන් කොහෙත්ම නොසිටි තත්වයක සිට ජලජ පක්ෂි විශේෂ බොහොමයකට, ශීත ඍතුවේදී තාරාවන් 10,000ක් හා කෑම සොයා යන කුරුල්ලන් 12,000ක් දක්වා ප්‍රමාණයකට ආරක්ෂාව සපයන ස්ථානයක් බවට මුළුමනින්ම වෙනස් කිරීමට තිබුණා.”
ඇත්තෙන්ම, එයින් විස්තර කෙරෙන්නේ ලෝකයේ එක් කුඩා ප්‍රදේශයක සිදු වූ පරිණාමයක් ගැන පමණයි. කෙසේවෙතත්, මේ ආදර්ශයෙන් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. අනිසි කළමනාකරණය, ගිජුකම හා මිනිසුන්ගේ නොසැලකිලිමත්කම් හේතුවෙන් පෘථිවි ග්‍රහයා සම්පූර්ණයෙන්ම විනාශ වෙයි කියා සැලකිය යුතු නැහැ. නිසි අධ්‍යාපනය හා මනුෂ්‍යවර්ගයාගේ පොදු යහපත උදෙසා එක්සත්ව ගනු ලබන වෑයම් මගින් පොළොවේ පරිසර පද්ධතියට, පරිසරයට හා භූමිය මතුපිටට සිදු වී තිබෙන බරපතළ හානි පවා යථා තත්වයට පත් කිරීමට උපකාර කරන්න පොළොවට පුළුවන්. නමුත් නිදහසේ ගමන් කරන වල්ගා තරු හෝ ග්‍රහාංශු වැනි බාහිර බලයන් මගින් සිදු කළ හැකි සම්පූර්ණ විනාශයක් ගැන කුමක් කිව හැකිද?
එවැනි ව්‍යාකූල ප්‍රශ්නයකට සෑහීම ගෙන දෙන උත්තරයක් ලබාගත හැකි ආකාරය ගැන ඊළඟ ලිපියේ සඳහන් වෙනවා.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
පොළොවට සිදු වී තිබෙන බරපතළ හානිවලින් එය යථා තත්වයට පත් කිරීමට අධ්‍යාපනයට හා එක්සත් වෑයම්වලට හැකියි