ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 7/15 25-28 පි.
  • ඇගෝරාව පුරාණ ඇතන්ස්හි හදවත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇගෝරාව පුරාණ ඇතන්ස්හි හදවත
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඇතන්ස්හි මහජන චතුරශ්‍රයක් ඉදි වෙයි
  • දේවස්ථාන, සිද්ධස්ථාන හා අනුග්‍රාහක දෙවිවරුන්
  • පානාතිනියන් මාර්ගය
  • “දේවරූපවලින් පිරී”
  • පරිපාලන කටයුතුවල මධ්‍යස්ථානය
  • ඇටලස්ගේ පෝටිකෝව
  • සංස්කෘතික කටයුතු සඳහා ස්ථානයක්
  • අදදින ඇගෝරාව
  • ‘දෙවියන්ව හොයාගෙන ඔහුට ළං වෙන්න’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • ග්‍රීසියේ දේවතා රූප සමඟ ‘දෙවිගේ මාළිගාවට’ ඇති එකඟකම?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 7/15 25-28 පි.

ඇගෝරාව පුරාණ ඇතන්ස්හි හදවත

ඇතන්ස්හි සිටි බුද්ධිමත් ජන සමූහය කලහකාරි තත්වයකිනුයි පසු වුණේ! ග්‍රීසියට අයත් එම නගරයේ පිහිටි ඇගෝරාවේදී නැතහොත් වෙළඳාම්පොළේදී නව අදහස් නිතරම ප්‍රසිද්ධියට පත් කළා. කෙසේවෙතත්, මේ අවස්ථාවේදී සිදු වී තිබෙන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. එක්තරා යුදෙව් මිනිසෙක් නගරයට පැමිණි වහාම, “අන් දේවතාවන් ප්‍රකාශ කරන්නෙකු” ලෙස පෙනුණා. ඔහු තමාට ‘සම්බවූවන්ට’ අපූර්ව දේවල් ගැන සඳහන් කරමින් සිටියා. “මේ වාචාලයා මක්කියන්ට හදනවාදැයි” කියා අහංකාර එපිකුරීයයන් හා ගරු ගම්භීර ස්තෝයිකයන් ඇසුවා. ඇත්තෙන්ම, ඇතන්ස්හි පිහිටි ඇගෝරාව ඕනෑම විෂයක් ගැන විවෘතව වාද විවාද පවත්වන ස්ථානය වුණා. නමුත් අමුතු දෙවිවරුන්ව හඳුන්වා දීම නම් රුස්සන්න පුළුවන් දෙයක් වුණේ නැහැ!—ක්‍රියා 17:17, 18.

ප්‍රේරිත පාවුල් මුල්වරට ඇතන්ස්හි පිහිටි ඇගෝරාවේ දේශනා කිරීම ආරම්භ කළ අවස්ථාවේදී එහි වාසය කළ අය තුළ ඇති වූ සැකමුසු ප්‍රතික්‍රියාව වුණේ එයයි. ඔහු යේසුස් ක්‍රිස්තුස් ගැන හා නැවත නැඟිටීම ගැන කතා කරමින් සිටියා. නව අදහස්වලට නැඹුරු වීමේ ස්වභාවයක් ඇතන්ස්හි පෙනෙන්න තිබුණත්, ඇගෝරාවේදී එවැනි නව සංකල්ප හඳුන්වා දීම ඒ තරම්ම අසාමාන්‍ය වුණේ කුමක් නිසාද?

ඇතන්ස්හි මහජන චතුරශ්‍රයක් ඉදි වෙයි

ඇත්තෙන්ම අද්විතීය දෙය වුණේ, ඇගෝරාව හා ඇතන්ස්හි වාසය කළ අයගේ ආගමික හා පොදු ජීවිතයේදී එය ඉටු කළ අතිවැදගත් කාර්යභාරයයි. ඇතන්ස්හි පිහිටි ඇගෝරාව, ඇක්රොපොලිසයට වයඹ දෙසින් පිහිටි අක්කර 25කින් යුත් මද බෑවුමක් සහිත ප්‍රදේශයකි. පොදු යුගයට පෙර හයවන සියවසේ මුල්භාගයේදී, එනම් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා නීති සම්පාදකයෙකු වන ඇතන්ස්හි පුරවැසියෙකු වූ සොලන්ගේ ජීවිත කාලයේදී, මේ භූමි භාගය නගරයේ මහජන චතුරශ්‍රය ලෙස නම් කළ බව පෙනෙනවා. ඇතන්ස්හි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී, සිවිල් ජීවිතය වැඩි අවධාරණයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඊළඟ සියවසේ මුල් අවුරුදුවල ඉදි කිරීමේ කටයුතු අතිශයින් වේගවත් වුණා. මෙමගින් ඇගෝරාවට නව ජීවයක් ලැබුණා; එමෙන්ම වඩා වැදගත් කාර්යභාරයක් කිරීමේ අවස්ථාවද ලැබුණා.

අ·ගෝ·රාʹ යන ග්‍රීක් වචනයට “එකතු වීම, එක්රැස්වීම” යන අරුත් තිබෙන ක්‍රියාපදයක ස්වරූපය ගන්නාවූ මූලාරම්භයක් තිබෙනවා. නගරයේ ප්‍රධාන රැස්වීම් මධ්‍යස්ථානය වශයෙන් ඇගෝරාව යොදාගැනීම සමඟ මෙය ගැළපෙනවා. ඇගෝරාව මිනිසුන්ගේ සමාජීය හා පොදු ක්‍රියාකාරකම්වල හදවත බවට පත් වුණා. එය සිවිල් පරිපාලන හා අධිකරණ කටයුතුවල මධ්‍යස්ථානය මෙන්ම ව්‍යාපාරික කටයුතු සිදු කළ ප්‍රධාන ස්ථානය හා ග්‍රීක නාට්‍යයන් ප්‍රදර්ශනය කළ ස්ථානය වුණා; එමෙන්ම එහි මලල ක්‍රීඩා ප්‍රදර්ශන පැවැත්වූ අතර, බුද්ධිමත් පුද්ගලයන් සාකච්ඡා කිරීම සඳහා එක්රැස් වූ කවුරුත් ප්‍රිය කළ ස්ථානයක්ද වුණා.

ඇතන්ස්හි පිහිටි ඇගෝරාවේ තිබෙන දේවස්ථාන, කුලුනු පේළි, පිළිම, ස්මාරක හා පොදු ගොඩනැඟිලි යනාදියේ නටබුන් අතරින් ගමන් කරන්න ඔබ කැමතිද? ඇගෝරාවේ අතීතය පරීක්ෂා කර බැලීමට අප දරන මේ වෑයමේදී, අද පවතින නගරයෙන් ඇසෙන ශබ්දවලින් හා කලබලකාරි ගතියෙන් ඈත් වී, බොරලු පාරවල් ඔස්සේ ගමන් කරමින් නිසොල්මන් කිරිගරුඬ නටබුන්, කැටයම් කළ ගල් හා වල් පැළෑටිවලින් වැසුණු කැඩී බිඳී ගිය ආරුක්කු සහිත දොරටු අතරින් ගමන් කරමු.

දේවස්ථාන, සිද්ධස්ථාන හා අනුග්‍රාහක දෙවිවරුන්

විවිධ දෙවිවරුන්ට කැප කළ දේවස්ථාන, සිද්ධස්ථාන හා පූජනීය ස්ථාන සංචාරකයන්ගේ සිත් ඇදගනු ලබනවා. මේ සියල්ල මගින් ඇගෝරාව නමස්කාරයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් කරනවා; එය දෙවනි වන්නේ ඇක්රොපොලිසයට පමණයි. සම්භාවනීය ඇතන්ස්හි ස්වර්ණමය යුගය පැවති කාලයේදී ආගම මහජනයාගේ ජීවිතයේ සෑම අංගයකටම ක්‍රමානුකූලව ඇතුල් වී තිබුණා. මෙහි ප්‍රතිඵලයක් හැටියට, රජයේ දෙපාර්තමේන්තුවල හා පරිපාලන සේවාවල “අනුග්‍රාහක දෙවිවරුන්” හැටියට නම් කළ විවිධාකාර දෙවිවරුන් වෙනුවෙන් ඇගෝරාවේ පූජනීය ස්ථාන ඉදි කරනු ලැබුවා.

මේ පූජනීය ස්ථානවලින් කැපීපෙනෙන එකක් වූයේ හිෆෙස්ටොස්ගේ දේවස්ථානයයි. හිෆෙස්ටොස් හා ඇතීනා දේවතාවිය අතර සම්බන්ධතාවක් තිබුණා. කලාවට හා ශිල්පවලට අනුග්‍රහය දක්වන දෙවිවරුන් හැටියට මේ දෙවිවරුන් දෙදෙනාට නමස්කාර කළා. මෙම දේවස්ථානය අවට ගින්දර අවශ්‍ය වූ ලෝහ වැඩ සහ කුඹල් කර්මාන්තය කර ඇති බවට සාක්ෂි පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් හෙළි වී ඇති අතර, එම දේවස්ථානය කලාවට අධිපති ග්‍රීක් දෙවි වූ හිෆෙස්ටොස්ට අයත් වූ බව ප්‍රත්‍යක්ෂයි. හොඳින් ආරක්ෂා කළ මේ දේවස්ථානය ඇතැම්විට පො.යු. හත්වන සියවසේදී සා. ජෝජ්ගේ ග්‍රීක ඕතඩොක්ස් පල්ලිය ලෙස යොදාගත්තා විය හැකියි; ඒ වුණත්, එය අදදින පල්ලියක් වශයෙන් භාවිත කරන්නේ නැහැ.

ඇගෝරාවටත් අනුග්‍රාහක දෙවිකෙනෙක් අවශ්‍ය වුණා. මේ දෙවියා සියුස් ආගෝරාස් වූ අතර, චතුර ලෙස කතා කිරීමට ආනුභාවය සපයන්නා ලෙස විශ්වාස කළා; අනර්ඝ පෙන්ටලික් කිරිගරුඬවලින් කැටයම් කළ අලංකාර අල්තාරයක් ඔහු වෙනුවෙන් කැප කරනු ලැබුවා. (ක්‍රියා 14:11, 12 සසඳන්න.) ඒ අසල පිහිටි මව් දේවතාවියගේ අල්තාරය, වීරයන්ට කැප කළ චිත්තාකර්ෂණීය සැරසිලිවලින් යුත් ස්මාරකවලින් වට වී තිබුණා.

තව ටික දුරක් ගිය විට කුඩා අයෝනීය දේවස්ථානයක් අපට සොයාගන්න පුළුවන්. භූගෝල විද්‍යාඥයෙකු වූ පෝසේනියස් එය පිතෘ ඇපොල්ලෝගේ දේවස්ථානය ලෙස හඳුනාගත්තා. එයට හේතුව වුණේ කුමක්ද? මක්නිසාද පුරාණ ග්‍රීක පුරාවෘත්තවලට අනුව ඔහු අයෝනීය ජාතියේ ආදි කර්තෘ වූ අයොන්ගේ පියා වූ නිසයි; ඇතන්ස්වරුන් අයෝනියානු ජාතියට අයත් වුණා.a මෙම ධුරය හොබවමින්, ඇපොල්ලෝ රාජ්‍ය පරිපාලන සංවිධානයේ අනුග්‍රාහක දෙවිවරුන්ගෙන් කෙනෙක් වුණා. මෙය විශේෂයෙන්ම අදාළ වුණේ නුවරේ පැවති විවිධාකාර සංගම් සම්බන්ධයෙනුයි.

උතුරු දෙසට වෙන්න, හිරිගලෙන් තැනූ වඩාත් කුඩා දේවස්ථානයක නටබුන් අපට දැකගන්න පුළුවන්; එම දේවස්ථානය පො.යු.පෙ. හතරවන සියවසේ මැදභාගයේදී ඉදි කළා. පාරම්පරික ආගමික සංගම්වල ප්‍රධාන දෙවිවරුන් වූ සියුස් හා ඇතීනා ෆාට්‍රිඔස් යන දෙවිවරුන්ට එහිදී නමස්කාර කළා. ඇතන්ස්හි පුරවැසිභාවය ලබාගැනීමේදී එම සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම බොහෝදුරට පූර්ව අවශ්‍යතාවක් වුණා. වීදියේ අනිත් පැත්තේ දෙවිවරු දොළොස්දෙනාගේ අල්තාරයක නටබුන් අපට දැකගන්න පුළුවන්.

සියුස් එලියූතීරිඔස් නමැති අසල පිහිටි පෝටිකෝවේ, එම ප්‍රධාන ග්‍රීක් දෙවියාව නිදහසේ හා මුදාගැනීමේ දෙවියා වශයෙන් නැවතත් ගෞරවයට පත් කරනු ලැබුවා. මෙම කුලුනු පේළිය නැතහොත් පෝටිකෝව ජනප්‍රිය සක්මන් මළුවක් මෙන්ම රැස්වීම් පැවැත්වූ ස්ථානයක්ද වුණා. සුප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වූ සොක්‍රටීස් මේ පෝටිකෝවේදී තමාගේ මිතුරන්ව මුණ ගැසී, ඔවුන් හා එක්ව මෙහි වාඩි වී කතා බහේ යෙදෙමින් සක්මන් කළ බව පැවසෙනවා. මෙම පෝටිකෝව අලංකාර කිරීමට ඉදිරිපත් කරනු ලැබූ පුද පූජා කෙළින්ම සම්බන්ධ වුණේ එම නගරය එහි සතුරන්ගෙන් මුදාගැනීම සමඟ හෝ එහි නිදහස රැකගැනීම සමඟයි. ඒ පුද පූජාවලට ඇතන්ස් නගරය ආරක්ෂා කිරීමට කළ සටනේදී දිවි පුද කළ රණශූරයන්ගේ පලිස් වැනි දෑ ඇතුළත් වුණා.

පානාතිනියන් මාර්ගය

ඇගෝරාව හරහා දිව යන බොරලු සහිත පළල් පාර පානාතිනියන් මාර්ගය ලෙස හැඳින්වෙනවා. එහි නම සහ විශේෂ ගතිලක්ෂණ පානාතිනෙයියා නමැති ඇතන්ස්හි ජාතික උත්සවයෙන් ලැබී තිබෙනවා. මේ උත්සවය පවත්වන කාලයේදී ඇතීනා නම් දේවතාවියගේ හිස් වැස්ම (නගර දොරටුව අසල පිහිටි) පෙරහැර මණ්ඩපයේ සිට එම පාර දිගේ ඇක්රොපොලිසය දක්වා උසුලාගෙන ගියා. මේ පෙරහැරේ ඉමහත් අලංකාරය හා ගම්භීරත්වය මනසින් දැකීමට, එම දේවතාවි වෙනුවෙන් කැප කළ පාතිනන් දේවස්ථානයේ බිත්තිවල තිබෙන සැරසිලි අපට උපකාරවත් වෙනවා. අශ්වාරෝහක බලඇණි, තරඟවලට යොදාගන්නා රථ, පූජා කරන්න යන ගවයන් හා බැටළුවන්, පූජා කිරීමේදී යොදාගන්නා ආම්පන්න රැගෙන යන තරුණ තරුණියන් ඒ පෙරහැරේ ගමන් කළා. ඇතන්ස්හි පුරවැසියන් හා ඔවුන්ගේ ආගන්තුකයන් මේ පෙරහැර නැරඹුවා; ඇගෝරාව සැලසුම් කිරීමේදී ඔවුන්ගේ පහසුව තකා ගෘහ නිර්මාණ ශිල්පීන් ප්‍රමාණවත් ලෙස ඉඩ කඩ සැපයෙව්වා. උදාහරණයක් හැටියට, පෙරහැර මාවත පහසුවෙන් දැකගත හැකි වන සේ මළු හා පඩි පේළිවලින් සමන්විත කුලුනු පෙළ දක්ෂ ලෙස සාදා තිබුණා. ඉදිරිපස කැටයම් කළ පඩි පේළි විශාල ගණනක් සෑදූ නිසා නරඹන්නන් රාශියකට ඉඩ පහසුකම් සලසා දෙන්න හැකි වුණා.

“දේවරූපවලින් පිරී”

දේවස්ථාන, පිළිම හා ස්මාරක විශාල ගණනක් එක ළඟ පිහිටා තිබුණා; ‘නුවර දේවරූපවලින් පිරී තිබෙන බව දැකීමෙන් පාවුල්ගේ ආත්මය ඔහු තුළ චංචල වීම’ පුදුමයක් නොවෙයි. (ක්‍රියා 17:16) පාවුල් ඇගෝරාවට ඇතුල් වෙද්දී දුටු දේවලින් ඔහුට මහත් කම්පනයක් දැනෙන්න ඇති. හෙර්මීස් දෙවියාගේ පුරුෂ ලිංග ප්‍රතිමා මොනතරම් තිබුණාද කිව්වොත් ඒවා තැබීම සඳහා හෙර්මීස්ගේ පෝටිකෝව යනුවෙන් හැඳින්වූ සම්පූර්ණ පෝටිකෝවක්ම අවශ්‍ය වුණා. පින්තාරු කර තිබූ හෙර්මීස්ගේ තවත් ප්‍රතිමාවලට අන්දවා තිබූ වස්ත්‍රවල සශ්‍රීකත්වය හා ජීවය සංකේතවත් කළ ස්වස්තික ප්‍රදර්ශනය කරනවා. ලිංගික ප්‍රේමයේ දේවතාවිය වන උත්පාදක මාතාවගේ ප්‍රතිමාවක් මෙන්ම පිරිමි ලිංග රූපය දරන කුරුස ගණනාවක් දරා සිටි ඩියෝනිස්ගේ ප්‍රතිමාවක්ද තිබුණා. ඇගෝරාවේ “පරිශුද්ධකම” සංකේතවත් කිරීම සඳහා මායිම් ගලක් තිබුණා; ඇතුල් වූ හැම කෙනෙක්වම චාරිත්‍රානුකූලව සේදීම සඳහා “ශුද්ධ” වතුරෙන් පිරුණු බේසමක් එම ගලේ තිබුණා.

ආගම ගැඹුරට මුල් බැසගත් එම වාතාවරණය ගැන කල්පනා කර බලන විට, පාවුල් සිටි තත්වය අතිශයින්ම අනතුරුදායක වීමට හේතුව අපිට පහසුවෙන්ම තේරුම්ගන්න පුළුවන්. “අන් දේවතාවන් ප්‍රකාශ කරන්නෙකු” ලෙස ඔහුව සැක කළා; ‘කිසිම පුද්ගලයෙකුට වෙනස් දෙවිවරුන්ව හෝ අලුත් දෙවිවරුන්ව ඇදහිය නොහැකි බවත්, ප්‍රසිද්ධියේ නමස්කාර කරන්න ඉඩ දුන්නේ නැත්නම් අමුතු දෙවිවරුන් කිසිවෙකුට පෞද්ගලිකව නමස්කාර කළ නොහැකි’ බවත් එදා පැවති නීතිය මගින් නියම කළා. මේ අනුව, ප්‍රේරිතවරයාව ප්‍රශ්න කිරීම සඳහා ඇරියෝපගයට රැගෙන යෑම ගැන පුදුම විය යුතු නැහැ.—ක්‍රියා 17:18, 19.

පරිපාලන කටයුතුවල මධ්‍යස්ථානය

ඇතන්ස් ආණ්ඩුවේ මූලස්ථාන පිහිටියේ තෝලොස් යනුවෙන් හැඳින්වූ වටකුරු ගොඩනැඟිල්ලකයි. නගරයේ සභාපතිවරු බොහෝදෙනෙක් රාත්‍රි කාලයේදී මේ ගොඩනැඟිලිවල නිදාගත්තා; මෙසේ වගකීම් දරන නිලධාරීන් අතින් හැමවිටම රාජකාරි කටයුතු කරගත හැකි වුණා. සම්මත කිරුම් මිනුම් කට්ටලයක් තෝලොස්හි තබා තිබුණා. පරිපාලනය හා සම්බන්ධ විවිධ දෙපාර්තමේන්තු සඳහා පහසුකම් ඒ අසලම තිබුණා. උපදේශක මණ්ඩලය තෝලොස්හි වයඹ දෙසින් පිහිටි උස් බිමක පිහිටා තිබුණා. එහිදී, මණ්ඩලයේ සාමාජිකයන් 500දෙනා රැස්වීම් පැවැත්වුවා; එම රැස්වීම්වලදී ඔවුන් කාරක සභාවල වැඩකටයුතු කළ අතර, නීති සභාව වෙනුවෙන් නීති සම්පාදනය කළා.

වැදගත් සිවිල් කටයුතු සිදු කළ තවත් ගොඩනැඟිල්ලක් වූයේ රාජකීය පෝටිකෝවයි. නගරයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරුන් තිදෙනාගෙන් කෙනෙකු වූ ඇතන්ස්හි රාජකීය මහේස්ත්‍රාත්ගේ කාර්යාලය පිහිටා තිබුණේ එහිය. එහි සිට ඔහු ආගමික මෙන්ම නීතික කාරණා හා සම්බන්ධ පරිපාලනමය වගකීම් රැසක් හැසුරුවා. සොක්‍රටීස් පාපිෂ්ඨ පුද්ගලයෙකු ලෙස චෝදනා ලැබූ අවස්ථාවේදී ඔහුට නඩු විභාගය සඳහා පෙනී සිටින්න කියා නියම කළේ බොහෝදුරට මෙම ස්ථානයේ විය හැකියි. ඇතන්ස්වරුන්ගේ පාරම්පරික නීති ඒ ස්ථානය ඉදිරිපිට තිබූ ගොඩනැඟිල්ලක බිත්ති මත කොටා තිබුණා. ප්‍රධාන මහේස්ත්‍රාස්වරුන් එම ගොඩනැඟිල්ලේම ඉදිරිපස තබා තිබූ විශාල ගලක් ඉදිරිපිට සෑම අවුරුද්දකම සිටගෙන තමන්ගේ රාජකාරිය පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් කළා.

ඇටලස්ගේ පෝටිකෝව

ඇගෝරාවෙහි හොඳින්ම ආරක්ෂා කර තිබෙන ගොඩනැඟිල්ල වන්නේ ඇටලස්ගේ පෝටිකෝවයි. තරුණයෙකු හැටියට, (පො.යු.පෙ. දෙවන සියවසේ) ප’ගමම්හි රජු වූ ඇටලස්, මධ්‍යධරණි ලෝකයේ සිටි රාජකීය පවුල් බොහොමයක අනෙකුත් උරුමක්කරුවන් බොහෝදෙනෙකු කළාක් මෙන් ඇතන්ස්හි පිහිටි පාසැල්වල අධ්‍යාපනය ලැබුවා. ඔහු සිංහාසනාරූඪ වීමෙන් පසු, තමා අධ්‍යාපනය ලැබූ පාසැල පිහිටි නගරයට උතුම් ත්‍යාගයක් පිරිනැමුවා; ඒ තමයි ඇටලස්ගේ පෝටිකෝව.

ඇටලස්ගේ පෝටිකෝවේ සිදු කෙරුණු ප්‍රධාන කාර්යය වුණේ, අවිධිමත් ලෙස සිදු කෙරුනු ඇසුරු කිරීම් හා අදහස් හුවමාරු කරගැනීම් සඳහා අලංකාර සක්මන් මළුවක් සැපයීමයි. එහි බිම හා පඩි පේළි සහිත වේදිකාව පෙරහැරවල් නැරඹීම සඳහා කදිම ස්ථානයක් වුණා; එය සක්මන් මළුවක් හැටියට ප්‍රසිද්ධියක් ඉසිලූ නිසා, එය වෙළඳ මධ්‍යස්ථානයක් හැටියටද සාර්ථකව යොදාගත්තා. පෙනෙන විදිහට, එහි පිහිටි වෙළඳ සැල්, වෙළඳුන් විසින් රජයට කුලියක් දී ලබාගත්තා විය හැකියි; මෙසේ එය ආදායමක් උපයා දෙන ගොඩනැඟිල්ලක්ද වුණා.

එහි මුල් තත්වයට ගෙන ඒම සඳහා එය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, ඇටලස්ගේ පෝටිකෝව ජ්‍යාමිතික සැලැස්මකට කදිම නිදසුනක්ද වෙනවා. උස, පළල ආදියේ එහි සමස්ත ප්‍රමාණයන්, කුලුනුවල ඉහළ සහ පහළ කොටස්වල පරිමාණයේ සිත්ගන්නා වෙනස, ආලෝකය යොදාගත් ආකාරය, එහි ගොඩනැඟිලි ද්‍රව්‍යවල ගුණය මෙන්ම සුන්දරත්වය යන සියල්ල අද්විතීයත්වයට දායක වෙයි. ඒකාකාරිබව විවිධාකාරයෙන් නැති කර තිබෙනවා; විශේෂයෙන්ම, ඩොරික්, අයෝනියානු හා මිසරීය යනුවෙන් වෙනස් වර්ග තුනකින් යුත් කුලුනු මුදුන් යොදාගත්තා.

සංස්කෘතික කටයුතු සඳහා ස්ථානයක්

ඇතන්ස්හි පැවැත්වූ සංස්කෘතික කටයුතු බොහොමයක් සඳහා යොදාගත් ගොඩනැඟිල්ල වුණේ ප්‍රසංග ශාලාවයි. මෙය රෝම අධිරාජ්‍යයා වූ ඔගස්ටස්ගේ බෑනා වන විප්සාන්යූස් අග්‍රිපා විසින් පරිත්‍යාග කරන ලද ගොඩනැඟිල්ලක් වුණා. එහි ඉදිරිපස කොටස, විවිධ වර්ණවලින් යුත් කිරිගරුඬවලින් නිම කර තිබුණා. ශ්‍රවණාගාරය ආසන්න වශයෙන් ආසන 1,000කින් යුක්ත වුණා; එහි වහලේ පළල මීටර් 25ක් පමණ වූ අතර, ශාලාව ඇතුලේ ආධාරක කිසිවක් නොමැතිව එහි මුල් වහල සාදා තිබුණා. මෙය වහලවල් සෑදීම සම්බන්ධයෙන් එවකට පුරාණ ලෝකයේ සිදු කළ නිර්භීතම අත්හදා බැලීමයි! කෙසේවෙතත්, සැබෑ ක්‍රිස්තියානීන්ට සදාචාරය හා සම්බන්ධ උසස් ප්‍රමිති තිබූ නිසා, එහි ඉදිරිපත් කළ විනෝදකාමී දේවල් බොහොමයක් ඇතැම්විට ඔවුන්ට සැක කටයුතු ඒවා වන්න ඇති.—එපීස 5:3-5.

ඇතැම්විට, පුරාණයේ විසූ විමර්ශනශීලී මිනිසුන් පාන්ටේනොස් පුස්තකාලයට පැමිණෙන්න ඇති. පැපිරස් හා පදම් කළ සම්වල ලියා තිබූ හකුළන ලියවිලි ගබඩා කළ කැබිනට්වලින් බිත්ති පිරී තිබුණා. පුස්තකාලයේ ප්‍රධාන ශාලාව බටහිර දෙසට මුහුණලා පිහිටා තිබුණු අතර, කුලුනු පෙළක් අතරින්, ඇතුල් මිදුල දැකගත හැකි වුණා. එය සක්මන් කිරීමට, කියවීමට හා මෙනෙහි කිරීමට ප්‍රසන්න ස්ථානයක් වුණා. පුස්තකාලයේ ක්‍රියාත්මක වූ නීති දෙකක් ඇතුළත් ගල් පුවරුවක් සොයාගෙන තිබෙනවා. එම නීති දෙක වුණේ මෙයයි: “කිසිම පොතක් රැගෙන නොයා යුතුයි” සහ “[පුස්තකාලය] විවෘතව තබන්නේ පළමු පැයේ සිට හයවන පැය දක්වා පමණයි.”

අදදින ඇගෝරාව

මෑතකදී, අමෙරිකානු සම්භාව්‍ය අධ්‍යයන පාසැල මගින් ඇගෝරාවේ සම්පූර්ණයෙන්ම වගේ කැණීම් කටයුතු සිදු කර තිබෙනවා. ඉතා උස්ව පිහිටි ඇක්රොපොලිසයේ සෙවණැල්ල යට පිහිටි ඇගෝරාව, පුරාණ ඇතන්ස්හි ඉතිහාසය දැකබලා ගන්න කැමැත්තක් දක්වන සංචාරකයා ප්‍රිය කරන ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

අසල පිහිටි මොනාස්ටිරාකි නම් පාවිච්චි කළ භාණ්ඩ අලෙවි කළ වෙළඳපොළ තවත් සිත්ගන්නා ස්ථානයක්. එය ඇගෝරාව හා ඇක්රොපොලිසය අසල පිහිටා තිබුණා. එය සංචාරකයෙකුට ග්‍රීක ජනප්‍රවාදයේ මෙන්ම නැඟෙනහිර ප්‍රාචීන දේශයේ සිදු කළ වෙළඳ කටයුතු හා අඩු මිල ගණන් පිළිබඳව විස්මය දනවනසුලු වුවත් සුන්දර සටහනක් සපයනවා. මීට අවුරුදු 1,900කට වැඩි කාලයකට කලින් ප්‍රේරිත පාවුල් කළ දෙයම, එනම් ‘සම්බවූවන්ට’ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම ප්‍රීතියෙන් කරමින් සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්වද සංචාරකයා දකින්න යනවා.

[පාදසටහන]

a අයෝනීය යන නාමය යඵෙත්ගේ පුත්‍රයාද නෝවාගේ මුණුපුරාද වන යාවාන්ගෙන් පැමිණෙනවා.—උත්පත්ති 10:1, 2, 4, 5.

[28වන පිටුවේ කොටුව]

ඇතන්ස්හි වෙළඳ කටයුතු

ඇගෝරාව, ඇතන්ස්හි බුද්ධිමය හා සිවිල් කටයුතු සිදු වූ ස්ථානය පමණක් නොව, නගරයේ ප්‍රධාන වෙළඳපොළද වුණා. එහි භාවිත වූ දුර්ලභ මුදල්වල වටිනාකම නිසා පමණක් නොව, සෑම ව්‍යාපාරික ගනුදෙනුවක්ම අවංකව මෙන්ම සාධාරණව සිදු වනවාද යන්න සොයා බැලීමට පත් කර සිටි එහි මහේස්ත්‍රාත්වරුන්ගේ යුක්තිගරුකබව යනාදිය නිසාත් ඇතන්ස් සුප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වුණා.

වයින්, ඔලීව් තෙල්, මී පැණි, කිරිගරුඬ මෙන්ම පිඟන් මැටි හා යකඩවලින් සෑදූ නිෂ්පාදන ඇතන්ස් අපනයනය කළා. ඒවාට හුවමාරුවක් හැටියට ප්‍රධාන වශයෙන් තිරිඟු පිටි ආනයනය කළා. ඇටිකාව (ඇතන්ස් අවට පිහිටි ප්‍රදේශය) එහි වැසියන්ට ප්‍රමාණවත් ලෙස භාණ්ඩ නිෂ්පාදනය නොකළ නිසා, වෙළඳාම හා සම්බන්ධ ප්‍රමිති දැඩි වුණා. නගරයට මෙන්ම හමුදාවට සැපයීම සඳහා (ඇතන්ස්හි වරාය වූ) පයිරියස්හි වෙළඳපොළේ හැම වේලාවෙම අලුත් ආහාර ඇති තරම් තිබීම අවශ්‍ය වුණා. එමෙන්ම, භාණ්ඩ හිඟ කාලයේදී වැඩි මිලකට ඒවා විකිණීම සඳහා වෙළඳුන්ට භාණ්ඩ රැස් කරන්න ඉඩ දුන්නේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න