ඔබට “කීකරු හෘදයක්” තිබෙනවාද?
සාලමොන් පුරාණ ඉශ්රායෙල්හි රජු බවට පත් වූ විට, යමක් අඩු බව ඔහුට දැනුණා. එබැවින් ඔහු දෙවිගෙන් ප්‍රඥාව හා දැනගැන්ම ඉල්ලා සිටියා. (2 ලේකම් 1:10) සාලමොන් මෙසේද යාච්ඤා කළා: “ඔබේ සෙනඟ විනිශ්චය කිරීමට ඔබගේ මෙහෙකරුවාට කීකරු හෘදයක් දෙන්න.” (1 රාජාවලිය 3:9, NW) සාලමොන්ට “කීකරු හෘදයක්” තිබුණා නම්, ඔහුට දිව්‍යමය නීති හා ප්‍රතිපත්ති අනුගමනය කරන්නත්, යෙහෝවාගේ ආශීර්වාද ලබාගන්නත් තිබුණා.
කීකරු හෘදයක් බරක් නොව, නමුත් ප්‍රීතියේ උල්පතක්. ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වා: ‘දෙවිට ප්‍රේමවීම නම් අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බර නැත.’ (1 යොහන් 5:3) ස්ථිරයෙන්ම, අපි දෙවිට කීකරු විය යුතුයි. ඇරත්, යෙහෝවා අපේ උදාර මැවුම්කරුයි. පොළොව හා එහි ඇති සියල්ල අයිති ඔහුටයි; සියලු රිදී හා රන් පවා ඔහුට අයිතියි. ඒ නිසා අපට ඇත්තෙන්ම යම් ද්‍රව්‍යමය දෙයක් දෙවිට දිය නොහැකියි; ඒ වුණත් ඔහු සඳහා අපේ ප්‍රේමය ප්‍රකාශ කිරීම සඳහා අපේ මූල්‍යමය වත්කම් පාවිච්චි කිරීමට ඔහු අපට ඉඩහරිනවා. (1 ලේකම් 29:14) ඔහුට ප්‍රේම කිරීමත්, ඔහුගේ කැමැත්ත කරමින්, ඔහු සමඟ යටහත් පහත්ව ඇවිදීමත් යෙහෝවා අපෙන් අපේක්ෂා කරනවා.—මීකා 6:8, NW.
ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨතම ආඥාව කුමක්ද කියා යේසුස් ක්‍රිස්තුස්ගෙන් ඇසූ විට, ඔහු මෙසේ පැවසුවා: “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද [ප්‍රාණයෙන්ද, NW] නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ [යෙහෝවාට ප්‍රේම කරන්න]. මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය.” (මතෙව් 22:36-38) දෙවිට කීකරු වීම, ඒ ප්‍රේමය ප්‍රකාශ කිරීමට එක ක්රමයකි. මේ හේතුවෙන් අපි එක් එක්කෙනාගේ යාච්ඤාව විය යුත්තේ යෙහෝවා අපට කීකරු හෘදයක් දෙන්න යන්නයි.
ඔවුන්ට කීකරු හෘදයක් තිබුණා
බයිබලය තුළ, කීකරු හෘදයක් තිබුණු අයගේ ආදර්ශ ගහනව තිබෙනවා. උදාහරණයක් හැටියට, ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා විශාල නැවක් ගොඩනඟන්න කියා යෙහෝවා නෝවාට පැවසුවා. මෙය වසර 40ක් හෝ 50ක් පමණ ගත වූ විශාල වැඩක් වුණා. දැන් ලබාගත හැකිව තිබෙන නවීන විදුලි උපකරණ හා වෙනත් මෙවලම් සියල්ලක්ම තිබුණත්, පාවිය හැකි එවැනි යෝධ නැවක් සෑදීම වික්‍රමාන්විත ඉන්ජිනේරු සමර්ථකමක් වේවි. එපමණක්ද නොව, ඔහුට සරදම් කළ හා නින්දා කළ ජනයාට අනතුරු අඟවන්න නෝවාට සිද්ධ වූ බවට කිසිම සැකයක් නැහැ. නමුත් ඔහු හැම අංශුමාත්රයකදීම කීකරු වුණා. බයිබලය මෙසේ පවසනවා: “අණකළ සියල්ල ලෙස ඔහු කෙළේය.” (උත්පත්ති 6:9, 22; 2 පේතෘස් 2:5) බොහෝ වසර ගණනක් පුරා විශ්වාසවන්තව කීකරු වීම මගින් නෝවා යෙහෝවාට තම ප්‍රේමය පෙන්නුම් කළා. අප සියලුදෙනාටම මොනතරම් කදිම ආදර්ශයක්ද!
පිතෘ මූලික ආබ්‍රහම් ගැනත් සලකා බලන්න. කල්දිවරුන්ගේ සමෘද්ධිමත් ඌර්හි සිටි ඔහුට, නොදන්නා දේශයකට යන්න කියා දෙවි පැවසුවා. ප්‍රශ්න කිරීමකින් තොරව ආබ්‍රහම් කීකරු වුණා. (හෙබ්‍රෙව් 11:8) ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලයේදී, ඔහු හා ඔහුගේ පවුල ජීවත් වුණේ කූඩාරම්වලයි. වසර ගණනාවක් දේශයෙහි විදේශිකයන් වශයෙන් සිටි පසු, යෙහෝවා ඔහුට හා ඔහුගේ කීකරු භාර්යාව වූ සාරාට ඊසාක් නම් පුත්‍රයා ලබා දීමෙන් ආශීර්වාද කළා. තම මහලු වියේදී ලැබුණු මේ දරුවාට 100-හැවිරිදි ආබ්‍රහම් කොතරම් ප්‍රේම කරන්න ඇද්ද! ඊට වසර කීපයකට පසුව, දවන පූජාවක් හැටියට ඊසාක්ව පූජා කරන්න කියා යෙහෝවා ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටියා. (උත්පත්ති 22:1, 2) එවැන්නක් කරනවා කියා හිතීම පවා ආබ්‍රහම්ට වේදනාවක් ගෙන දෙන්න ඇති. කෙසේනමුත්, ඔහු යෙහෝවාට ප්‍රේම කළ නිසාත්, දෙවිට ඊසාක්ව මළවුන්ගෙන් නැඟිටුවන්න සිද්ධ වෙනවා වුවත් පොරොන්දු වංශය පැමිණෙන්න යන්නේ ඊසාක් තුළින් බවට ඇදහිල්ල තිබුණ නිසාත් ඔහු කීකරු වීමට කටයුතු කළා. (හෙබ්‍රෙව් 11:17-19) කෙසේවුවත්, ආබ්‍රහම් තම පුත්‍රයාව මැරීමට ඔන්න මෙන්න කියා තිබියදී, යෙහෝවා ඔහුව නවත්වා, මෙසේ පැවසුවා: “නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ [දෙවිට] භයවෙන බව දැන් දනිමි.” (උත්පත්ති 22:12) ඔහුගේ කීකරුකම නිසා, දේවභයැති ආබ්‍රහම් ‘දෙවිගේ මිත්‍රයා’ හැටියට ප්‍රසිද්ධ වුණා.—යාකොබ් 2:23.
යේසුස් ක්‍රිස්තුස් කීකරුකම පිළිබඳව අපේ හොඳම ආදර්ශයයි. ඔහුගේ පූර්ව මිනිස් පැවැත්මේදී, ස්වර්ගයෙහි තම පියාට ඔහු කීකරු මෙහෙයක් ඉටු කළේ ඉමහත් ප්‍රීතියකින්. (හිතෝපදේශ 8:22-31) මනුෂ්‍යයෙකු හැටියටත් යේසු සැමවිටම ප්‍රීතියෙන් යෙහෝවාගේ කැමැත්ත කරමින් සෑම දෙයකදීම ඔහුට කීකරු වුණා. (ගීතාවලිය 40:8; හෙබ්‍රෙව් 10:9) මේ අනුව, යේසුට විශ්වාසවන්තව මෙසේ කීමට හැකි වුණා: ‘මාගේම කැමැත්තෙන් මා කිසිවක් නොකර මාගේ පියා මට ඉගැන්වූ ලෙස මේ දේවල් කියන බවත් නුඹලා දැනගන්නවා ඇත. මා එවූ තැනැත්තා මා සමඟ සිටියි; ඔහු මා තනියම සිටින්ට නෑරියේය; මක්නිසාද ඔහුට ප්‍රසන්න වූ දේවල් මම නිතරම කරමි.’ (යොහන් 8:28, 29) අන්තිමේදී, යෙහෝවාගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමට හා කීකරු මනුෂ්‍යවර්ගයාව මුදාගැනීමට යේසු තම ජීවිතය දුන්නේ ඉතාමත්ම නින්දිත හා වේදනාකාරි මරණයක් විඳිමිනුයි. ඇත්තෙන්ම, “මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ [වධ කණුවේ, NW] මරණය දක්වා කීකරු [විය].” (පිලිප්පි 2:8) කීකරු හෘදයක් පිළිබිඹු කිරීමේදී මොනතරම් හොඳ ආදර්ශයක් වුණාද!
අඩ වශයෙන් කීකරු වීම මදි
දෙවිට කීකරු වෙනවායයි කියූ හැමෝම ඇත්තෙන්ම ඔහුට කීකරු වෙලා නැහැ. පුරාණ ඉශ්රායෙලයේ සාවුල් රජුව සලකා බලන්න. දුෂ්ට අමලෙක්වරුන්ව තුරන් කර දැමීමට දෙවි ඔහුට උපදෙස් දුන්නා. (1 සාමුවෙල් 15:1-3) සාවුල් ඔවුන්ව ජාතියක් වශයෙන් විනාශ කර දැමුවත්, ඔහු ඔවුන්ගේ රජුව ඉතිරි කළ අතර, ඔවුන්ගේ බැටළුවන් හා එළුවන්ගෙන් සමහරෙක් ආරක්ෂා කළා. සාමුවෙල් මෙසේ ඇසුවා: ‘නුඹ යෙහෝවාගේ හඬට කීකරු නොවූයේ මන්ද?’ පිළිතුර වශයෙන්, සාවුල් මෙසේ පැවසුවා: ‘නැත, මම යෙහෝවාගේ හඬට කීකරු වුණෙමි. . . . [ඉශ්රායෙල්හි] සෙනඟ වනාහි විනාශයට කැප වූ . . . බැටළුවන්ද ගවයන්ද කොල්ලය අතරෙන් රැගෙන . . . යෙහෝවාට පූජා කරන පිණිස ආවෝය.’ පූර්ණ කීකරුකම සඳහා අවශ්‍යතාව අවධාරණය කරමින් සාමුවෙල් මෙසේ පිළිතුරු දුන්නා: ‘යෙහෝවාගේ හඬට කීකරු වීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් යෙහෝවා ප්‍රසන්න වන්නේද? පූජාවට වඩා කීකරු වීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන් දීමත් හොඳය. මක්නිසාද කැරලිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ යෙහෝවාගේ වචනය පහ කළ නිසා ඔහුත් නුඹ රජකමෙන් පහ කළේය.’ (1 සාමුවෙල් 15:17-23) සාවුල්ට කීකරු හෘදයක් නොතිබුණ නිසා ඔහු මොනතරම් දෙයක් අහිමි කරගත්තාද!
කීකරු හෘදයක් සඳහා යාච්ඤා කර තිබූ ප්‍රඥාවන්ත සාලමොන් රජු පවා, යෙහෝවාට දිගටම කීකරු වුණේ නැහැ. දිව්‍යමය කැමැත්තට පටහැනිව, දෙවිට විරුද්ධව පව් කිරීමට ඔහුව පෙලඹවූ විදේශීය ස්ත්‍රීන්ව ඔහු විවාහ කරගත්තා. (නෙහෙමියා 13:23, 26) සාලමොන් දිගටම කීකරු හෘදයක් තබා නොගත් නිසා දිව්‍යමය අනුග්‍රහය අහිමි වුණා. මෙය අප සඳහා මොනතරම් අනතුරු ඇඟවීමක්ද!
යෙහෝවාට ඔහුගේ මිනිස් සේවකයන්ගෙන් පරිපූර්ණත්වය අවශ්‍ය කරන බවක් මින් අදහස් නොවේ. ඔහු ‘අපි දූවිලි බව සිහි කරනවා.’ (ගීතාවලිය 103:14) සමහර අවස්ථාවලදී අපි සියලුදෙනාම වැරදි කරන බව ස්ථිර නමුත්, අපට ඇත්තෙන්ම දෙවිව සතුටු කිරීමට හෘදයාංගම ආශාවක් තිබෙනවාද කියා ඔහුට දැකිය හැකියි. (2 ලේකම් 16:9) මිනිස් අසම්පූර්ණකම හේතුවෙන් අපි වැරදි කළත්, පසුතැවිලි වෙනවා නම්, යෙහෝවා “අතිශයින් කමාවෙනවා” කියා නිසැකකමින් යුතුව, ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාවේ පදනම මත අපට සමාව ඉල්ලිය හැකියි. (යෙසායා 55:7; 1 යොහන් 2:1, 2) අපට ආත්මිකව සුව වී, ශක්තිමත් ඇදහිල්ලක් හා කීකරු හෘදයක් තබාගත හැකිවීම සඳහා ප්‍රේමනීය ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ උපකාරය අවශ්‍ය විය හැකියි.—තීතස් 2:2; යාකොබ් 5:13-15.
ඔබේ කීකරුකම කොයිතරම් සම්පූර්ණද?
යෙහෝවාගේ සේවකයන් හැටියට, අපට කීකරු හෘදයක් තිබෙන බව අපෙන් වැඩිදෙනෙකුට නිසැකවම හැඟෙනවා. අපි මෙහෙම තර්ක කළ හැකියි; මම රාජ්‍ය-දේශනා වැඩයේ සහභාගි වෙන්නේ නැද්ද? මධ්‍යස්ථභාවය වැනි බරපතළ ප්‍රශ්න පැනනඟින විට මම ස්ථිරව සිටින්නේ නැද්ද? එමෙන්ම ප්‍රේරිත පාවුල් ඉල්ලා සිටි පරිදි ක්‍රිස්තියානි රැස්වීම්වලට මම නිතිපතා යන්නේ නැද්ද? (මතෙව් 24:14; 28:19, 20; යොහන් 17:16; හෙබ්‍රෙව් 10:24, 25) සමස්තයක් වශයෙන් යෙහෝවාගේ සෙනඟ එවැනි වැදගත් පැතිවලදී හෘදයාංගම කීකරුකම විදහාපෑම සැබෑවක්.
නමුත් සමහරවිට කුඩා දේවල් මෙන් පෙනෙන එදිනෙදා කටයුතුවලදී අපේ හැසිරීම ගැන කුමක්ද කියන්න පුළුවන්? යේසු මෙසේ ප්‍රකාශ කළා: “ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි.” (ලූක් 16:10) එනිසා අපි එක් එක්කෙනා තම තමාගෙන්ම මෙසේ ඇසීම සුදුසුයි; සුළු දේවල් හෝ කාරණා සම්බන්ධයෙන්, අනිත් අය ඒ බවක් නොදන්නා විට පවා මට කීකරු හෘදයක් තියෙනවාද?
අනිත් අය තමාව නොදුටු තම නිවසේදී පවා, ගීතිකාකරු ‘තම හෘදයෙහි අඛණ්ඩතාවෙන් හැසිරුණ’ බව ගීතිකාකරු පෙන්නුම් කළා. (ගීතාවලිය 101:2, NW) ඔබේ නිවසේ සිටියදී, ඔබ රූපවාහිනිය ක්‍රියාත්මක කර චිත්‍රපටයක් නැරඹීමට පටන්ගත හැකියි. එහිදීම, ඔබේ කීකරුකම පරීක්ෂාවට ලක් විය හැකියි. චිත්‍රපටය ක්‍රමක්‍රමයෙන් දුරාචාර නැඹුරුවාවක් ගත හැකියි. මේ දවස්වල පෙන්වන්නේ මේ වගේ චිත්‍රපටි තමයි කියා හේතු මවමින් ඔබ දිගටම එය නරඹනවාද? එසේ නැතහොත් ‘වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්රකමද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා’ යන ශුද්ධ ලියවිලිමය තහනම් නියෝගයට එකඟව ක්‍රියා කිරීමට ඔබේ කීකරු හෘදය පෙලඹෙනු ඇද්ද? (එපීස 5:3-5) කතන්දරය සිත් ඇදගන්නා එකක් වන විටදී පවා, ඔබ රූපවාහිනිය නිවා දමනවාද? නැත්නම් වැඩසටහනක් ප්‍රචණ්ඩකාරි වනවා නම් ඔබ චැනලයන් මාරු කරනු ඇද්ද? ‘යෙහෝවා ධර්මිෂ්ඨයා [මෙන්ම දුෂ්ටයා, NW] විමසයි. නුමුත් ඔහුගේ ආත්මය . . . බලාත්කාරකමට ප්රියවෙන්නාට ද්වේෂ කරයි’ කියා ගීතිකාකරු ගායනා කළා.—ගීතාවලිය 11:5.
කීකරු හෘදයක් ආශීර්වාද ගෙන එයි
සැබවින්ම, අප ඇත්තටම දෙවිට හෘදයෙන් කීකරු වෙනවාද කියා දැකීමට අපව ඵලදායී අන්දමින් පරීක්ෂා කළ හැකි ජීවිතයේ බොහෝ පැති තිබෙනවා. යෙහෝවාව සතුටු කිරීමටත්, ඔහු ඔහුගේ වචනය වන බයිබලයෙහි අපට පවසන දේ කිරීමටත්, ඔහුට ඇති අපේ ප්‍රේමය අපව පෙලඹවිය යුතුයි. කීකරු හෘදයක් යෙහෝවා සමඟ හොඳ සබඳතාවක් පවත්වාගැනීමට අපට උපකාර කරනු ඇත. ඇත්තෙන්ම, අපි සම්පූර්ණයෙන්ම කීකරු වනවා නම්, ‘අපේ මුඛයෙහි වචන හා හෘදයෙහි භාවනාද යෙහෝවා ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වෙනවා.’—ගීතාවලිය 19:14.
යෙහෝවා අපට ප්‍රේම කරන නිසා, අපේම යහපත සඳහා ඔහු අපට කීකරුකම උගන්වනවා. එමෙන්ම මුළු හෘදයෙන්ම දිව්‍යමය ඉගැන්වීමට අවධානය යොමු කිරීමෙන් අපි පෞද්ගලිකව බෙහෙවින් ප්‍රයෝජන ලබනවා. (යෙසායා 48:17, 18) එබැවින්, අපේ ස්වර්ගික පියා ඔහුගේ වචනය, ඔහුගේ ආත්මය හා ඔහුගේ සංවිධානය මගින් සපයන උපකාරය අපි සතුටින් පිළිගනිමු. අපට මොනතරම් හොඳට උගන්වනු ලබනවාද කිව්වොත්, ඒක හරියට අපේ පිටුපසින් මෙසේ පවසන කටහඬක් අපට ඇසෙනවා වගෙයි: “මාර්ගය මේය, මෙහි හැසිරෙන්න.” (යෙසායා 30:21) බයිබලය, ක්‍රිස්තියානි ප්‍රකාශන හා සභා රැස්වීම් මගින් යෙහෝවා අපට උගන්වද්දී, අපි අවධානය යොමු කර, ඉගෙනගන්නා දේ අදාළ කරගෙන, ‘සියල්ලෙහිදී කීකරුව’ සිටිමු.—2 කොරින්ති 2:9.
කීකරු හෘදයක් ඉමහත් ප්‍රීතිය හා ආශීර්වාද බොහෝමයකට ප්‍රතිඵලය වනු ඇත. අප යෙහෝවා දෙවිව හොඳින් සතුටු කරන බවත්, ඔහුගේ හෘදය ප්‍රීති කරන බවත් අප දන්නා බැවින්, එය අපට මනසේ සාමය ගෙනෙනු ඇත. (හිතෝපදේශ 27:11) අප වැරදි කිරීමට පෙලඹීමක් ඇති වන විට කීකරු හෘදයක් අපට ආරක්ෂාවක් වනු ඇත. එසේනම්, අපේ ස්වර්ගික පියාට අප කීකරු විය යුතු අතර, මෙසේ යාච්ඤා කළ යුතු බව ස්ථිරයි: “ඔබගේ මෙහෙකරුවාට කීකරු හෘදයක් දෙන්න.”
[29වන පිටුවේ හිමිකම් විස්තර]
From the Self-Pronouncing Edition of the Holy Bible, containing the King James and the Revised versions