බයිබලෙන් අදහසක්!
‘කීකරුකම කියන්නේ මොකක්ද කියලා යේසුස් ඉගෙනගත්තා’
යේසුස් හැම වෙලාවෙම යෙහෝවාට කීකරු වුණා. (යොහ. 8:29) එහෙනම් “ඔහු වින්ද දුක් පීඩාවලින් කීකරුකම කියන්නේ මොකක්ද කියලා ඔහු ඉගෙනගත්තා” කියලා බයිබලේ කියන්නේ ඇයි?—හෙබ්‍රෙ. 5:8.
ස්වර්ගයේ ඉන්න කාලේ අද්දැක්කේ නැති දේවලට යේසුස් පොළොවේ ඉද්දී මූණ දුන්නා. උදාහරණෙකට ඔහු හැදී වැඩුණේ යෙහෝවාට ආදරේ කරපු හැබැයි පාපය උරුම කරගත්ත දෙමාපියන් යටතේ. (ලූක් 2:51) දූෂිත ආගමික නායකයන්ගෙන්, අසාධාරණ විදිහට වැඩ කරපු පාලකයන්ගෙන් ඔහු පීඩා වින්දා. (මතෙ. 26:59; මාක් 15:15) ‘ඔහු යටහත්පහත් වෙලා කීකරු වුණා. කොච්චරද කියනවා නම් මරණය අද්දකින කල්ම ඔහු දෙවියන්ට කීකරු වුණා.’ ඔහු අද්දැක්කේ හරිම වේදනාකාරී මරණයක්.—ෆිලි. 2:8.
ලබපු ඒ අද්දැකීම් නිසා අලුත් විදිහකින් ඔහු කීකරුකම ගැන ඉගෙනගත්තා. ඒ නිසා ඔහුට පරිපූර්ණ රජ කෙනෙක් විදිහටත් අපේ දුක තේරෙන උත්තම පූජකයෙක් විදිහටත් සේවේ කරන්න සුදුසුකම් ලැබුණා. (හෙබ්‍රෙ. 4:15; 5:9) ඔහු දුක් විඳලා කීකරුකම කියන්නේ මොකක්ද කියලා ඉගෙනගත්තාට පස්සේ යෙහෝවාගේ හිතේ ඔහු ගැන තිබුණ වටිනාකම තවත් වැඩි වුණා. අපිත් අමාරුකම් මැද්දේ දිගටම යෙහෝවාට කීකරු වෙද්දී යෙහෝවාගේ හිතේ අපි ගැන තියෙන වටිනාකම තව වැඩි වෙයි. අපිට ඕනම පැවරුමක් භාර දෙන්නත් යෙහෝවාට පුළුවන් වෙයි.—යාකො. 1:4.