දෙවි සමඟ ඇවිදීම—සදාකාලය දෘෂ්ටියේ තබාගෙන
“අපි . . . අපේ දෙවි වූ යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම ඇවිදින්නෙමු.”—මීකා 4:5, NW.
1. යෙහෝවාව “සදාකාල රජු” කියා හැඳින්විය හැක්කේ මන්ද?
යෙහෝවා දෙවිට පටන්ගැන්මක් තිබුණේ නැහැ. ඔහුගේ පැවැත්ම අතීතයේ අනන්තය දක්වා දිව යන බැවින්, ඔහුට ‘පුරාතන තැනැත්තා’ යයි පැවසීම යෝග්‍යයි. (දානියෙල් 7:9, 13) යෙහෝවා සදාකාල අනාගතයක්ද භුක්ති විඳිනු ඇත. ඔහු පමණක් “සදාකාල රජුය.” (එළිදරව් 10:6; 15:3, NW) එමෙන්ම ඔහුගේ නෙත් හමුවේ, අවුරුදු දාහක් “පසුවූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය.”—ගීතාවලිය 90:4.
2. (අ) කීකරු මිනිස්වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද? (ආ) අපේ බලාපොරොත්තු හා සැලසුම් කේන්ද්‍රගත කළ යුත්තේ කුමක් වටාද?
2 ජීවිත දායකයා සදාකාලයටම පවතින බැවින්, මුල් මනුෂ්‍ය යුවළ වූ ආදම් හා ඒවට පාරාදීසයෙහි අනන්ත ජීවිතයක අපේක්ෂාව දීමට ඔහුට හැකියාව තිබුණා. කෙසේවුවත්, අකීකරුකම නිසා ආදම් තමාගෙන් පැවතෙන්නන්ට පාපය හා මරණය අත් කර දෙමින් සදා ජීවනයේ අයිතිය අහිමි කරගත්තා. (රෝම 5:12) එහෙත්, ආදම්ගේ කැරලිගැසීම දෙවිගේ මුල් අරමුණට බාධාවක් වුණේ නැහැ. කීකරු මිනිසුන් සදහටම ජීවත් වීම යෙහෝවාගේ කැමැත්ත වන අතර, නොවරදවාම ඔහු තමාගේ අරමුණ ඉටු කරනු ඇත. (යෙසායා 55:11) එසේනම්, සදාකාලය දෘෂ්ටියේ තබාගෙන අපේ බලාපොරොත්තු හා සැලසුම් යෙහෝවාට සේවය කිරීම වටා කේන්ද්‍රගත කිරීම කෙතරම් සුදුසුද! ‘යෙහෝවාගේ දවස’ මනසේ ප්රමුඛව තබාගන්න අපට වුවමනා වන අතරේදීම, අපේ ඉලක්කය දෙවි සමඟ සදහටම ඇවිදීම බව මතක තබාගැනීමත් වැදගත්.—2 පේතෘස් 3:11.
යෙහෝවා තම නියමිත කාලයේදී ක්‍රියා කරයි
3. යෙහෝවාට තම අරමුණු ඉටු කිරීම සඳහා ‘නියමිත කාලයක්’ තිබෙන බව අප දන්නේ කෙසේද?
3 දෙවි සමඟ ඇවිදින්නන් හැටියට අප ඔහුගේ කැමැත්ත ඉටු කිරීමට දැඩි ලෙස උනන්දු වෙනවා. යෙහෝවා උතුම් කාලගණකයා බව අප දන්නා අතර, ඔහුගේ නියමිත කාලයේදී ඔහු තම අරමුණු ඉටු කිරීමට කිසිසේත් අසමත් නොවන බවට අපට නිසැකකමක් තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ‘කාලය සම්පූර්ණ වූ කල, දෙවි තමන් පුත්‍රයා එව්වා.’ (ගලාති 4:4) ප්‍රේරිත යොහන් ලකුණුවලින් දුටු අනාවැකිමය දේවල ඉටුවීම සඳහා ‘නියමිත කාලයක්’ තිබුණ බව ඔහුට පවසනු ලැබුවා. (එළිදරව් 1:1-3, NW) ‘මළවුන් විනිශ්චය කරන [නියමිත, NW] කාලයක්’ තිබෙනවා. (එළිදරව් 11:18) වසර 1,900කට වැඩි කලකට පෙර, දෙවි “ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ” කියා පැවසීමට ප්‍රේරිත පාවුල් ආනුභාවය ලැබුවා.—ක්‍රියා 17:31.
4. මේ දුෂ්ට දේවල පිළිවෙළට අවසානයක් ගෙන ඒමට යෙහෝවා ආශා කරන බව අප දන්නේ කෙසේද?
4 අදදින ලෝකය තුළ යෙහෝවාගේ නමට නින්දා කෙරෙන නිසා ඔහු මෙම දුෂ්ට දේවල පිළිවෙළට අවසානයක් ගෙනෙන්න යනවා. ඇත්තෙන්ම, දුෂ්ටයන් සඵල වී සිටිනවා. (ගීතාවලිය 92:7) ඔවුන්ගේ වචන හා ක්‍රියා මගින් ඔවුන් දෙවිට අපහාස කරන අතර, ඔහුගේ සේවකයන්ට නිග්‍රහ කිරීම හා හිංසා පීඩා කරනවා දැකීම ඔහුට වේදනාවක්. (සෙකරියා 2:8) ළඟදීම සාතන්ගේ මුළු සංවිධානයටම අවසානයක් ගෙන ඒමට යෙහෝවා නියම කර තිබීම පුදුමයක් නෙවෙයි! මෙය සිදු කරන්නේ කවදාද යන්න දෙවි නිශ්චය කරගෙන සිටින අතර, අප දැන් ජීවත් වන්නේ ‘අන්තිම කාලයේ’ බව බයිබල් අනාවැකිවල ඉටුවීම පැහැදිලි කරනවා. (දානියෙල් 12:4) ඔහුට ප්‍රේම කරන සියල්ලන්ට ආශීර්වාද ගෙන ඒමට ඔහු ළඟදීම ක්‍රියාත්මක වේවි.
5. ලොත් හා හබක්කුක් තමා වටා තිබූ තත්වයන් සැලකුවේ කෙසේද?
5 යෙහෝවාගේ අතීත සේවකයන් දුෂ්ටකමේ අවසානය දැකීමට ආශාවෙන් සිටියා. ධර්මිෂ්ඨ ලොත් “දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරණකොටගෙන තද පීඩාවට [පැමිණුණා].” (2 පේතෘස් 2:7) ඔහු වටා තිබූ තත්වයන්ගෙන් ශෝකයට පත්ව, අනාගතවක්තෘ හබක්කුක් මෙසේ අයැද සිටියා: ‘යෙහෝවා, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොඅසන්නේය; බලාත්කාරය ගැන ඔබට කෑගසමි, එහෙත් ඔබ නොගළවන්නේය. ඔබ අධර්මිෂ්ඨකම දකින්ට මට ඉඩහැර, හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මක්නිසාද? නාස්ති කිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ. භේද තිබේ, තරඟයද හටගනියි.’—හබක්කුක් 1:2, 3.
6. හබක්කුක්ගේ යාච්ඤාවට පිළිතුරු වශයෙන් යෙහෝවා පැවසුවේ කුමක්ද? එමෙන්ම මෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
6 යම් දුරකට, යෙහෝවා මේ වචනවලින් හබක්කුක්ට පිළිතුරු දුන්නා: ‘දර්ශනය නියමිත කාලය දක්වා තව ප්‍රමාද වේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.’ (හබක්කුක් 2:3) මෙලෙස දෙවි ‘නියමිත කාලයේදී’ ක්‍රියාත්මක වන බව දැනගන්න සැලැස්සුවා. ප්‍රමාද වන බවක් පෙනෙන්න තිබුණත්, නොවරදවාම යෙහෝවා තම අරමුණ ඉටු කරනු ඇත.—2 පේතෘස් 3:9.
නොසැලෙන ජ්වලිතයකින් සේවය කිරීම
7. යෙහෝවාගේ දවස පැමිණෙන්නේ කවදාද කියා යේසු නිශ්චිත වශයෙන් දැන නොසිටි විට පවා, ඔහු තම ක්‍රියාකාරකම් කරගෙන ගියේ කෙසේද?
7 දෙවි සමඟ ජ්වලිතයෙන් ඇවිදීමට, සිද්ධීන් සිදු වන නිශ්චිත කාලය දැන සිටීම අත්‍යවශ්‍ය කාරණයක්ද? නැහැ, එය එසේ නොවෙයි. උදාහරණ කීපයක් සලකා බලන්න. ස්වර්ගයේ මෙන්ම පොළොවෙහි දේවකැමැත්ත ඉටු වන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් යේසු දැඩි ලෙස උනන්දු වුණා. ඇත්තෙන්ම, ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ යාච්ඤා කිරීමට ඉගැන්නුවා: “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:9, 10) මේ ඉල්ලීමට පිළිතුරු ලැබෙනු ඇතැයි යේසු දැන සිටි නමුත් දේවල් සම්බන්ධයෙන් ඔහු නිශ්චිත කාලය දැන සිටියේ නැහැ. මේ දේවල පිළිවෙළේ අවසානය පිළිබඳ ඔහුගේ උතුම් අනාවැකියෙහි ඔහු මෙසේ පැවසුවා: “ඒ දවස හා පැය මාගේ [පියා] මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.” (මතෙව් 24:36) දෙවිගේ අරමුණු ක්‍රියාත්මක කිරීමට යේසුස් ක්‍රිස්තුස් අත්‍යවශ්‍ය කෙනෙකු බැවින්, ඔහුගේ ස්වර්ගික පියාගේ සතුරන්ව විනාශ කිරීමේදී ඔහු කෙළින්ම හවුල් වී සිටිනු ඇත. කෙසේවුවත්, යේසු මිහිපිට සිටියදී, ඔහු පවා දෙවි ක්‍රියාත්මක වන්නේ කවදාද කියා දැනගෙන සිටියේ නැහැ. එය ඔහු යෙහෝවාගේ සේවයෙහි දැක්වූ ජ්වලිතය අඩුවීමට සැලැස්සුවාද? කොහෙත්ම නැහැ! යේසු ජ්වලිත ලෙස දේවමාළිගාව පිරිසිදු කරනවා දකිද්දී, “ඔබගේ ගෘහය ගැන ඇති ජ්වලිතය මා දවන්නේයයි ලියා තිබෙන බව [ඔහුගේ] ගෝලයන්ට මතක්විය.” (යොහන් 2:17; ගීතාවලිය 69:9) යේසුව එව්වේ යම් වැඩක් කරන්නද, යේසු එම වැඩයෙහි පූර්ණ ලෙස නිරත වී සිටි අතර, ඔහු එය කළේ නොසැලෙන ජ්වලිතයකිනුයි. ඔහුත් සදාකාලය දෘෂ්ටියෙහි තබාගෙන දෙවි සමඟ සේවය කළා.
8, 9. රාජ්‍යය නැවත පිහිටුවීම සම්බන්ධයෙන් ගෝලයන් ඇසූ විට ඔවුන්ට පවසනු ලැබුවේ කුමක්ද? එමෙන්ම ඔවුන් ප්‍රතිචාරය දැක්වුවේ කෙසේද?
8 ක්‍රිස්තුස්ගේ ගෝලයන් සම්බන්ධයෙන්ද මෙය සැබෑවක් වුණා. යේසු ස්වර්ගයට නැඟීමට ස්වල්ප වේලාවකට පෙර ඔවුන්ව හමු වුණා. වාර්තාව මෙසේ පවසනවා: “එහෙයින් ඔව්හු රැස්වූ විට: ස්වාමීනි, මේ කාලයේදී ඔබ ඉශ්රායෙල්ට රාජ්‍යය නැවත [පිහිටුවාදෙන්නේදැයි ඔහුගෙන්] ඇසුවෝය.” ඔවුන්ගේ ස්වාමියා මෙන් ඔවුන්ද රාජ්‍යය පැමිණෙන තෙක් ආශාවෙන් බලා සිටියා. එහෙත් යේසු මෙසේ පිළිතුරු දුන්නා: “[පියා] තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත. නුමුත් [ශුද්ධාත්මය] නුඹලා කෙරෙහි පැමිණිකල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.”—ක්‍රියා 1:6-8.
9 මේ පිළිතුරෙන් ගෝලයන් අධෛර්යයට පත් වූ බව අඟවන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් දේශනා වැඩයෙහි ජ්වලිත ලෙස කාර්යබහුලව සිටියා. සති ගණනක් තුළදී, ඔවුන් තම ඉගැන්වීම්වලින් යෙරුසලම පුරවා තිබුණා. (ක්‍රියා 5:28) එමෙන්ම වසර 30ක් තුළදී, ඔවුන් තම දේශනා ක්‍රියාකාරකම් කෙතරම් දුරකට පුළුල් කර තිබුණාද කියනවා නම්, ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි” දේශනා කරනු ලැබුවේය කියා පැවසීමට පාවුල්ට හැකි වුණා. (කොලොස්සි 1:23) ගෝලයන් වරදවා අපේක්ෂා කළ ලෙස “ඉශ්රායෙල්ට” රාජ්‍යය “නැවත පිහිටුවා” දුන්නේවත්, ඔවුන්ගේ ජීවිත කාලයේදී එය ස්වර්ගයෙහි පිහිටුවනු ලැබුවේවත් නැහැ; ඔවුන් සදාකාලය දෘෂ්ටියෙහි තබාගෙන දිගටම යෙහෝවාට ජ්වලිතව සේවය කළා.
අපගේ චේතනාවන් සෝදිසි කිරීම
10. සාතන්ගේ දුෂ්ට පිළිවෙළ දෙවි විනාශ කරන්නේ කවදාදැයි නොදැන සිටීම කුමක් ඔප්පු කිරීමට අපට ඉඩහරිනවාද?
10 යෙහෝවාගේ නවීන දින සේවකයන්ද මෙම දුෂ්ට දේවල පිළිවෙළේ අවසානය දැකීමට ආශාවෙන් සිටිනවා. කෙසේවුවත්, අප මූලිකව සැලකිලිමත් වන්නේ දෙවි පොරොන්දු වූ නව ලෝකය තුළට අපේ මිදීම ගැන නොවෙයි. යෙහෝවාගේ නම විශුද්ධි කරනවා හා ඔහුගේ පරමාධිපත්‍යය නිදොස් බව ඔප්පු කරනවා දැකීමට අපට වුවමනායි. මේ හේතුවෙන්, සාතන්ගේ පිළිවෙළේ විනාශය සඳහා නියම කර ඇති ‘දවස හෝ පැය’ දෙවි අපට පවසා නොතිබීම ගැන අපට ප්‍රීති විය හැකියි. අප දෙවි සමඟ සදහටම ඇවිදීමට තීරණය කර තිබෙන්නේ අපට කෙටි-කාලීන, ආත්මාර්ථකාමී ඉලක්ක තිබෙන නිසා නොව නමුත් අපි දෙවිට ප්‍රේම කරන නිසා බවට සාක්ෂි දෙන්න මෙය අපට ඉඩහරිනවා.
11, 12. යෝබ්ගේ අඛණ්ඩතාව අභියෝගයට ලක් කරනු ලැබුවේ කුමන ආකාරයෙන්ද? එමෙන්ම ඒ අභියෝගය අපට සම්බන්ධ වන්නේ කෙසේද?
11 අවංක යෝබ් හා ඔහු වැනි මිනිසුන් දෙවිට සේවය කරන්නේ ආත්මාර්ථය නිසායයි යක්ෂයා චෝදනා කළ විට, ඔහු වැරදි බව ඔප්පු කිරීමට දෙවි කෙරෙහි අපේ අඛණ්ඩතාව පවත්වාගැනීමද උපකාරවත් වෙනවා. තම සේවක යෝබ් නිර්දෝෂ, අවංක, දේවභයැති මිනිසෙකු බව යෙහෝවා විස්තර කළ පසු සාතන් දුෂ්ට ලෙස මෙසේ චෝදනා කළා: “යෝබ් [දෙවි] කෙරෙහි භයවන්නේ නිකමටද? [ඔබ] ඔහු වටකරත් ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාද [කළේය], ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනයවී තිබේ. නුමුත් ඔබගේ අත දිඟුකර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇත.” (යෝබ් 1:8-11) පීඩා යටතේදී තම අඛණ්ඩතාව පවත්වාගැනීමෙන්, යෝබ් මේ ද්වේෂසහගත චෝදනාව බොරු බව ඔප්පු කළා.
12 අඛණ්ඩතාවේ ක්‍රියාමාර්ගයකට එලෙසම ඇලී සිටීමෙන්, අපි දෙවිට සේවය කරන්නේ විපාකයක් අත ළඟ බව දන්න නිසායි කියා සාතන් කරන ඕනෑම චෝදනාවක් නිෂ්ප්‍රභ කරන්න අපට හැකියි. දුෂ්ටයන් මත දෙවිගේ පළිගැනීම සිදු කරන නිශ්චිත කාලය නොදැන සිටීම, අප ඇත්තෙන්ම යෙහෝවාට ප්‍රේම කරන බවත්, සදහටම ඔහුගේ මාර්ගවල යෑමට අපට වුවමනා බවත් ඔප්පු කිරීමට ප්‍රස්තාව සලසනවා. අපි දෙවිට පක්ෂපාත බවත්, ඔහු කාරණා හසුරුවන ආකාරය සම්බන්ධයෙන් විශ්වාස කරන බවත් එය පෙන්වනවා. එපමණක්ද නොව, රාත්‍රියේ සොරෙකු එන්නාක් මෙන් කොයි මොහොතක හෝ අවසානය ආ හැකි බව අප වටහාගෙන සිටින නිසා, අපව පරීක්ෂාකාරිව හා ආත්මිකව අවදිව තැබීම සඳහා දවස හා පැය නොදැන සිටීම අපට උපකාරවත් වෙනවා. (මතෙව් 24:42-44) දිනපතා යෙහෝවා සමඟ ඇවිදීමෙන්, අප ඔහුගේ හෘදය ප්‍රීති කරවන අතර, ඔහුට සරදම් කරන යක්ෂයාට පිළිතුරක් සපයනවා.—හිතෝපදේශ 27:11.
සදාකාලය සඳහා සැලසුම් කරන්න!
13. අනාගතය සඳහා සැලසුම් කිරීම සම්බන්ධයෙන් බයිබලය අඟවන්නේ කුමක්ද?
13 අනාගතය සඳහා සාධාරණ සැලසුම් කිරීම් සිදු කිරීම ඥානවන්ත බව දෙවි සමඟ ඇවිදින අය දන්නවා. මහලු වියේ ගැටලු හා සීමා දැන සිටින බොහෝදෙනා, තම මහලු වියේදී මූල්‍යමය ලෙස සුරක්ෂිතව සිටීම සඳහා ඔවුන්ගේ තාරුණ්‍යයෙන් හා ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරනවා. එසේනම්, ඊටත් වඩා වැදගත් අපේ ආත්මික අනාගතය ගැන කුමක් කිව හැකිද? හිතෝපදේශ 21:5 මෙසේ පවසනවා: “කඩිසර අයගේ යෝජනාවලින් [සැලසුම්වලින්, NW] ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.” සදාකාලය දෘෂ්ටියේ තබාගෙන අනාගතයට සැලසුම් යෙදීම සැබවින්ම ප්‍රයෝජනදායකය. මේ පිළිවෙළේ අවසානය පැමිණෙන්නේ කවදාද කියා අප නිශ්චිත වශයෙන් නොදන්නා බැවින්, අපේ අනාගත අවශ්‍යතා කෙරෙහි අප යම් සැලකිල්ලක් දැක්විය යුතුයි. නමුත් අපි සමබර වී, දිව්‍යමය කටයුතු ජීවිතයේ පළමු ස්ථානයට තබමු. දේවකැමැත්ත කිරීම මත කෙනෙකුගේ කටයුතු කේන්ද්‍රගත කිරීම අදූරදර්ශී බවට ඇදහිල්ල හීන අය නිගමනය කළ හැකියි. නමුත් එය එසේද?
14, 15. (අ) අනාගතය සඳහා සැලසුම් කිරීම සම්බන්ධයෙන් යේසු පැවසුවේ කුමන උපමාවද? (ආ) යේසුගේ උපමාවේ පොහොසත් මිනිසා අදූරදර්ශී වුණේ ඇයි?
14 මේ සම්බන්ධයෙන් අවබෝධය ලබා දෙන උපමාවක් ගැන යේසු කතා කළා. ඔහු මෙසේ පැවසුවා: ‘එක් වස්තුකාරයෙකුගේ බිමෙහි බොහෝ භෝග හටගත්තේය. එවිට ඔහු තමාගේ සිත තුළ කල්පනා කරනුයේ: කුමක් කරම්ද? මාගේ භෝග රැස් කර තබන්ට ඉඩ නැත. මම මෙසේ කරමි: මාගේ ගබඩා කඩා දමා, වඩා ලොකු ඒවා ගොඩනඟා, එහි මාගේ සියලු ධාන්‍යද බඩුද රැස් කර තබා—ප්‍රාණය, නුඹට බොහෝ අවුරුදු ගණනකට හොඳවූ බොහෝ දේ රැස් කර තිබේ. පහසුගෙන, කා බී, ප්‍රීතියෙන් සිටින්නැයි මාගේ ප්‍රාණයට කියමියි කීවේය. නුමුත් දෙවි ඔහුට කතා කොට: අඥානය, අද රාත්රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අය කරනු ලැබේ; එවිට නුඹ සූදානම් කරගත් දේ කාට වන්නේදැයි කීවේය. දෙවි කෙරෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස්කරගන්න අය එයාකාරයයි කීවේය.’—ලූක් 12:16-21.
15 පොහොසත් මිනිසා අනාගත ද්‍රව්‍යමය සුරක්ෂිතභාවය සඳහා ප්රයත්නයක් වශයෙන් වැඩ නොකළ යුතුව තිබුණ බව පෙන්වන්නද යේසු උත්සාහ කරමින් සිටියේ? නැහැ, හේතුව, වෙහෙසී වැඩ කිරීමට ශුද්ධ ලියවිල්ලේ දිරිගන්වන නිසායි. (2 තෙසලෝනික 3:10) පොහොසත් මිනිසා කළ වරද වුණේ “[දෙවි] කෙරෙහි පොහොසත්” වීමට අවශ්‍ය දේ නොකිරීමයි. වසර ගණනාවක් පුරා ඔහුගේ ද්‍රව්‍යමය වස්තුව භුක්ති විඳින්න ඔහුට අවස්ථාවක් ලැබුණත්, අන්තිමේදී ඔහුට මියයන්න සිදු වෙනවා. සදාකාලය ගැන නොසිතූ ඔහු අදූරදර්ශීයි.
16. සුරක්ෂිත අනාගතයක් සඳහා යෙහෝවා කෙරෙහි අපට නිසැකව රඳාපැවතිය හැක්කේ මන්ද?
16 සදාකාලය දෘෂ්ටියේ තබාගෙන යෙහෝවා සමඟ ඇවිදීම ප්‍රායෝගිකයි, එමෙන්ම දූරදර්ශීයි. අනාගතය සඳහා සැලසුම් කිරීමට එය හොඳම ක්‍රමයයි. පාසැල් යෑම, රැකියාව හා පවුලේ වගකීම් සම්බන්ධයෙන් ප්‍රායෝගික සැලසුම් යෙදීම ඥානවන්ත වන අතරේදී, යෙහෝවා තම පක්ෂපාත සේවකයන්ව කිසිදා අමතක නොකරන බව අප සැමවිටම මතකයේ තබාගත යුතුයි. දාවිත් රජ මෙසේ ගැයුවා: “මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.” (ගීතාවලිය 37:25) එමෙන්ම පළමුව රාජ්‍යය සොයන හා යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ගවල ගමන් කරන සියලුදෙනාටම දෙවි සපයන බවට යේසු සහතිකයක් දුන්නා.—මතෙව් 6:33.
17. අවසානය ළඟ බව අප දන්නේ කෙසේද?
17 සදාකාලය දෘෂ්ටියෙහි තබාගෙන අප දෙවිට සේවය කළත්, අප දිගටම යෙහෝවාගේ දවස මනසෙහි ප්රමුඛව තබාගෙන සිටිනවා. ඒ දවස ආසන්න බව බයිබල් අනාවැකිවල ඉටුවීම මගින් විචිත්‍ර ලෙස සහතික කරනවා. යුද්ධ, වසංගත, භූමිකම්පා හා ආහාර හිඟයන් මෙන්ම සැබෑ ක්‍රිස්තියානීන්ට පීඩා කිරීම සහ ලොව පුරා දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම මෙම සියවසේ ලක්ෂණ වී තිබෙනවා. මේ සියල්ල මෙම දුෂ්ට දේවල පිළිවෙළේ අවසාන කාලයේ අංග ලක්ෂණයි. (මතෙව් 24:7-14; ලූක් 21:11) “තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, [දෙවිට] වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව” සිටින අයගෙන් ලෝකය පිරී පවතී. (2 තිමෝති 3:1-5) මේ අන්තරා සහිත අවසාන දවස්වල, යෙහෝවාගේ සේවකයන් වශයෙන් අපේ ජීවිත ගත කිරීම අමාරු දෙයක්. යෙහෝවාගේ රාජ්‍යය මගින් සියලු නපුරුකම් අතුගා දමන දවස පැමිණෙන තෙක් අපි මොනතරම් ආශාවෙන් බලාසිටින්නෙමුද! ඒ අතරතුර, සදාකාලය දෘෂ්ටියේ තබාගෙන දෙවි සමඟ ඇවිදීමට අපි අදිටන් කරගනිමු.
අනන්ත ජීවිතයක් දෘෂ්ටියේ තබාගෙන සේවය කිරීම
18, 19. පුරාණයේ ඇදහිලිවන්ත අය සදාකාලය දෘෂ්ටියේ තබාගෙන දෙවිට සේවය කළ බව කුමකින් පෙන්වයිද?
18 අප යෙහෝවා සමඟ ඇවිදින විට, ආබෙල්, ඒනොක්, නෝවා, ආබ්‍රහම් හා සාරාගේ ඇදහිල්ල මනසෙහි තබාගෙන සිටිමු. ඔවුන් ගැන සඳහන් කළ පසු, පාවුල් මෙසේ ලිව්වා: “මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා දැක ප්‍රසන්නවී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී, ඇදහිල්ල ඇතුව මැරුණෝය.” (හෙබ්‍රෙව් 11:13) එම ඇදහිලිවන්තයන් “වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා” කළා. (හෙබ්‍රෙව් 11:16) දෙවිගේ මෙසියානු රාජ්‍යයේ පාලනය යටතේ වඩා උතුම් වූ ස්ථානයක් ලැබෙන තෙක් ඔවුන් ඇදහිල්ලෙන් බලා සිටියා. එම වඩා උතුම් ස්ථානයේදී, එනම් රාජ්‍ය පාලනය යටතේ භූමික පාරාදීසයේදී, දෙවි ඔවුන්ට සදා ජීවනයේ විපාකය දෙන බවට අපට සහතික විය හැකියි.—හෙබ්‍රෙව් 11:39, 40.
19 සදාකාලිකවම දෙවිට නමස්කාර කිරීම සඳහා වූ යෙහෝවාගේ සෙනඟගේ අධිෂ්ඨානය අනාගතවක්තෘ මීකා ප්‍රකාශ කළා. ඔහු මෙසේ ලිව්වා: “සියලු ජනයෝ තම තමුන්ගේ දෙවිවරුන්ගේ නාමයෙන් හැසිරෙන්නෝය [ඇවිදින්නෝය, NW]. අපිද අපේ දෙවිවූ [යෙහෝවාගේ] නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමුව [ඇවිදින්නෙමු, NW].” (මීකා 4:5) මීකා තමාගේ මරණය දක්වා යෙහෝවාට පක්ෂපාතව සේවය කළා. අලුත් ලෝකයෙහි නැවත නැඟිටීම ලබන එම අනාගතවක්තෘවරයා සදාකාලයටම දෙවි සමඟ දිගටම ඇවිදින බවට කිසිම සැකයක් නැහැ. අවසාන කාලයේ කෙළවරේ ජීවත් වන අපට මොනතරම් කදිම ආදර්ශයක්ද!
20. අපේ අදිටන කුමක් විය යුතුද?
20 යෙහෝවාගේ නාමය සඳහා අප දක්වන ප්‍රේමය යෙහෝවා අගය කරනවා. (හෙබ්‍රෙව් 6:10) යක්ෂයාගේ පාලනය යටතේ තිබෙන මෙම ලෝකයෙහි යෙහෝවා කෙරෙහි අඛණ්ඩතාව පවත්වාගැනීම අපට අමාරු බව ඔහු දන්නවා. කෙසේනමුත් “ලෝකය . . . පහවයන්නේය.” එහෙත් “[දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” (1 යොහන් 2:17; 5:19) එසේනම්, අප එදිනෙදා මුහුණ දෙන පීඩා හිරිහැර යෙහෝවාගේ උපකාරය ඇතුව දරාගැනීමට අප අදිටන් කරගනිමු. අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා පොරොන්දු කර ඇති පුදුමාකාර ආශීර්වාද මත අපේ සිතුවිලි හා ජීවිත ක්‍රමය කේන්ද්‍රගත කර තබාගනිමු. සදාකාලය දෘෂ්ටියේ තබාගෙන අප දිගටම දෙවි සමඟ ඇවිදිනවා නම් මේවා අපේ විය හැකියි.—යූද් 20, 21.
ඔබ ප්‍රතිචාරය දක්වනු ඇත්තේ කෙසේද?
◻ කීකරු මිනිස්වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
◻ අභක්තික ලෝකයට අවසානයක් ගෙන ඒමට යෙහෝවා තවමත් ක්‍රියාත්මක වී නැත්තේ මන්ද?
◻ දෙවි ක්‍රියාත්මක වන්නේ කවදාද යන්න නොදැන සිටීම, අපේ ජ්වලිතය අඩු නොකළ යුත්තේ ඇයි?
◻ සදාකාලය දෘෂ්ටියේ තබාගෙන දෙවි සමඟ ඇවිදීමේ ඇතැම් ප්‍රයෝජන මොනවාද?
[17වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තුස්ගේ මුල් ගෝලයන් කළාක් මෙන් දෙවි සමඟ ඇවිදීම සඳහා අප ජ්වලිතව ඔහුට සේවය කිරීම අවශ්‍යයි