සැබෑ ඇදහිල්ලට මඟ පාදන නාමය
“ඔයගොල්ලන් යේසුවවත් ඔහුගේ මිදීමේ රුධිරයවත් විශ්වාස කරන්නේ නැහැ” යයි ස්ත්‍රියක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුට පැවසුවා. එක් මනුෂ්‍යයෙක් මෙසේ ප්‍රකාශ කළා: “ඔයගොල්ලන් කියනවා ඔයගොල්ලෝ යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියලා, හැබැයි මම නම් යේසුගේ සාක්ෂිකාරයෙක්.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් යේසුව විශ්වාස කරන්නේ නැතැයි කියා හෝ ඔවුන් යේසුට ප්‍රමාණවත් ගෞරවයක් දෙන්නේ නැහැයි කියා හෝ ඔවුන් සම්බන්ධව දරන මතය හරිම පොදු දෙයක්. නමුත් ඇත්ත තත්වය කුමක්ද?
යෙහෝවා යන දෙවිගේ නාමය සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ගැඹුරු හැඟීමක් තිබෙන බව ඇත්තයි.a බ්‍රසීලයේ සිටින සාක්ෂිකරුවෙක් වන ඉටාමා මෙලෙස සිහිපත් කරනවා: “මගේ ජීවිතයේ සන්ධිස්ථානයට පැමිණියේ මම දෙවිගේ නම දැනගත් විටයි. මම එය පළවෙනි පාරට කියෙව්වම, ඒක හරියට මම තද නින්දකින් එකපාරටම අවදි වුණා වගෙයි. යෙහෝවා කියන නම මගේ චිත්තවේගයන් සහ හැඟීම් පිබිදෙව්වා. ඒක මගේ හද පත්ලටම කිඳා බැස්සා.” එහෙත් ඔහු මෙයද එකතු කරනවා: “ඒ වගේම යේසුටත් මගේ හද ආදරයෙන් ඉතිරී යනවා.”
ඇත්තෙන්ම සදාතනික ජීවිතය අත් කරගැනීමට නම්, ‘දෙවිගේ පුත්‍රයාගේ නාමය කෙරෙහි,’ එනම් යේසුස්ගේ නාමය කෙරෙහි තමන් ඇදහිල්ල තැබිය යුතු බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවබෝධ කරගෙන සිටිනවා. (1 යොහන් 5:13) නමුත් ‘යේසුගේ නාමය කෙරෙහි’ යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්ද?
යේසුගේ නාමයෙන් නියෝජනය කරන දේ
‘යේසුගේ නාමය කෙරෙහි’ සහ ඒ හා සමාන ප්‍රකාශනයන් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල, නැතිනම් “අලුත් ගිවිසුම” පුරාම සොයාගැනීමට පුළුවන්. ඇත්තෙන්ම “නාමය” යන වචනය යේසුගේ භූමිකාවට යොමු දක්වමින්, එය 80 වතාවකටත් වඩා වඩි වාර ගණනක් භාවිතා කරන අතර ක්‍රියා පොතේ පමණක්ම එය 30වතාවක් සඳහන් වෙනවා. පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ව යේසුගේ නාමයෙන් බව්තීස්ම කළා; ඔහුගේ නාමයෙන් සුව කළා; ඔහුගේ නාමයෙන් ඉගැන්නුවා; ඔහුගේ නාමයෙන් යාච්ඤා කළා; ඔහුගේ නාමය වෙනුවෙන් දුක් වින්දා සහ ඔහුගේ නාමය ගෞරවයට පත් කළා.—ක්‍රියා 2:38; 3:16; 5:28; 9:14, 16; 19:17.
එක් බයිබල් ශබ්දකෝෂයකට අනුව, “නාමය” යන ග්‍රීක් වචනය බයිබලය නිතරම භාවිත කරන්නේ “අධිකාරිය, චරිත ස්වභාවය, පදවිය, තේජස, බලය, ශ්‍රේෂ්ඨත්වය යනාදිය පිළිබඳ නාමයකින් ඇඟවෙන සියල්ල, එනම් නාමයකින් අදහස් කරන සෑම දෙයක්ම ඇඟවීම සඳහායි.” එම නිසා යේසුගේ නාමය, යෙහෝවා දෙවි ඔහුට පවරා දී තිබෙන තේජාන්විත සහ මහත් විධායක බලතල නියෝජනය කරනවා. යේසුම මෙසේ ප්‍රකාශ කළා: “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.” (මතෙව් 28:18) පේතෘස් සහ යොහන් කොර මනුෂ්‍යයෙක්ව සුව කිරීමෙන් පසුව, යුදෙව් ආගමික නායකයන් මෙසේ ප්‍රශ්න කළා: “නුඹලා මේක කළේ මොන බලයෙන්ද නොහොත් මොන නාමයෙන්ද”? එවිට පේතෘස්, ‘නාසරිය යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටියි’ කියා ඔවුන්ට දැනගැනීමට සැලැස්වූ විට, යේසුගේ නාමයෙන් නියෝජනය කළ අධිකාරිත්වය සහ බලය කෙරෙහි වූ තම ඇදහිල්ල නිර්භීතව ප්‍රකාශ කළා.—ක්‍රියා 3:1-10; 4:5-10.
ඇදහිල්ල යේසු කෙරෙහිද නැතිනම් කායිසර් කෙරෙහිද?
කොහොම වුණත් යේසුස්ගේ නාමය කෙරෙහි එවැනි ඇදහිල්ලක් ප්‍රකාශ කිරීම පහසු දෙයක් නොවෙයි. යේසු කලින් ප්‍රකාශ කර තිබූ ආකාරයට, ඔහුගේ ගෝලයන්ට ‘ඔහුගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛර කරනු ලබන්න’ යනවා. (මතෙව් 24:9) ඒ ඇයි? මන්දයත් දෙවිගේ පත් කරන ලද පාලකයා සහ රජවරුන්ගේ රජ හැටියට සියලුම ජාතීන් විසින් හිස නමා යටත් විය යුතු තත්වයක් යේසුගේ නාමයෙන් නියෝජනය කරන නිසයි. තවද එසේ කිරීමට ඔවුන් සූදානම් වන්නේවත් කැමැත්තක් දක්වන්නේවත් නැහැ.—ගීතාවලිය 2:1-7.
යේසුගේ කාලයේ සිටි ආගමික නායකයන් යේසුට යටත් වීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. “කායිසර් මිස අපට රජෙක් නැතැයි” පවසමින් ඔවුන් දෙවිගේ පුත්‍රයාව ප්‍රතික්ෂේප කළා. (යොහන් 19:13-15) ඒ වෙනුවට ඔවුන් කායිසර් සහ ඔහුගේ අධිරාජ්‍යමය පාලනයේ ඇති බලය සහ අධිකාරිත්වය නියෝජනය කරන නාමය කෙරෙහි ඇදහිල්ල තැබුවා. ඔවුන්ගේ තත්වය සහ තනතුර ආරක්ෂා කරගැනීම සඳහා යේසුව මැරිය යුතු බවටත් ඔවුන් තීරණය කළා.—යොහන් 11:47-53.
යේසුගේ මරණයෙන් ශතවර්ෂ ගණනාවකට පසු, ක්‍රිස්තියානීන්යයි කියා සිටි බොහෝදෙනෙක් එම යුදෙව් නායකයන්ට තිබූ ආකල්පයට සමාන ආකල්පයක් දැරුවා. මෙම නාමික ක්‍රිස්තියානීන්, රජයේ බලය සහ අධිකාරිත්වය කෙරෙහි තමන්ගේ ඇදහිල්ල තැබූ අතර, එහි ගැටුම්වලටද සම්බන්ධ වුණා. උදාහරණයකට, 11වන ශතවර්ෂයේදී පල්ලිය විසින්, නිකරුනේ කාලය ගත කරමින් සිටි යුධ භටයන්ව, මිලිෂා ක්‍රිස්ටි නැතිනම් ක්‍රිස්තියානි නයිට්වරු හැටියට සංවිධානය කිරීමෙන් පසු, “ධර්මිෂ්ඨ යුද්ධය ඉදිරියට ගෙනයෑමේ වගකීම ක්‍රිස්තියානි ලෝකයේ ලෞකික අධිකාරීන්ගේ සිට එහි නියෝජිත ආයතනය වූ ක්‍රිස්තියානි නයිට්වරු මාර්ගයෙන් පල්ලිය විසින් භාරගනු ලැබුවා.” (ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ ඔක්ස්ෆ’ඩ් ඉතිහාසය [ඉංග්‍රීසියෙන්]) කුරුස යුද්ධවලට සහභාගි වීමෙන් “ඔවුන් දෙවිත් සමඟ ගිවිසුමකට පැමිණ තිබෙන බවත්, පාරාදීසයේ ස්ථානයක් තමන්ට සහතික කර තිබෙන බවත්” විශ්වාස කිරීමට ඇතැම් පාප්වරුන්ගේ ප්‍රකාශයන් කුරුස යුද්ධවලට සහභාගි වූ යුධභටයන්ගෙන් වැඩි පිරිසක්ව පොලඹවා තිබෙනවායයි එම වාර්තාවේ තවදුරටත් පැවසෙනවා.
යේසුට පක්ෂපාතව සිටින ගමන්ම දේශපාලන කටයුතුවලටත්, ඒ වගේම ජාතීන්ගේ යුද්ධවලටත් සහභාගි විය හැකි බවට සමහරුන් වාද කරන්න පුළුවන්. දුෂ්ටකම හමු වන ඕනෑම තැනකදී ඊට විරුද්ධව සටන් කිරීමත්, අවශ්‍ය වූවොත් යුද්ධයට යොමුවීමත් ක්‍රිස්තියානීන්ගේ යුතුකමක්යයි ඔවුන්ට හැඟිය හැකියි. නමුත් මුල් ක්‍රිස්තියානීන් මෙම මතය දැරුවාද?
“මුල් ක්‍රිස්තියානීන් යුධ හමුදාවල සේවය කළේ නැහැ” කියා ද ක්‍රිස්ටියන් සෙන්චරි නම් සඟරාවේ ලිපියක සඳහන් වෙනවා. පොදු යුගයේ 170-180 අතර දශකය වන තෙක් මොනම හේතුවකටවත් ක්‍රිස්තියානීන් යුධ හමුදාවල සේවය කළ බවට සාක්ෂි නැති බව එය පැහැදිලි කරනවා. “යුද හමුදා සේවයට විරෝධය පෑම, ක්‍රිස්තියානීන් අතහැරියේ ක්‍රමානුකූලවයි” කියා ලිපිය පසුව එකතු කරයි.
ඇති වී තිබෙන ප්‍රතිඵල මොනවාද? “සමහරවිට, ක්‍රිස්තියානි ධර්මය නිග්‍රහයට ලක්වීම සම්බන්ධයෙන් ලොකුම හේතුකාරකය විය හැක්කේ, ක්‍රිස්තියානි නොවන්නන් හා සමානව ක්‍රිස්තියානීනුත් යුද්ධවලට සහභාගි වීමයි” කියා ද ක්‍රිස්ටියන් සෙන්චරිහි ලිපියේ සඳහන් වෙනවා. “ක්‍රිස්තියානීන් එක් අතකින් කරුණාවන්ත ගැළවුම්කරු කෙරෙහි ඇදහිල්ල වැලඳගන්නා අතර, අනිත් අතින් ඇදහිල්ල බරපතළ ලෙස පලුදු කරන තරමටම ඔවුන් ආගමික හෝ ජාතිවාදී යුද්ධවලට ජ්වලිතව උදව් කර තිබෙනවා.”
අදදින මුල් ක්‍රිස්තියානීන්ව අනුගමනය කිරීම
අදදින ක්‍රිස්තියානීන්ට මුල් ක්‍රිස්තියානීන්ගේ උතුම් ආදර්ශය අනුගමනය කිරීමට පුළුවන්ද? මේ ශතවර්ෂයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් එය කළ හැක්කක් බව පෙන්වා තිබෙනවා. ඔවුන් ගැන කතා කරමින්, සමූලඝාතන පිළිබඳ අධ්‍යාපනික සඟරාවේ කර්තෘ මෙසේ සඳහන් කරනවා: “කවදාවත් කිසිම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් යුද්ධවලට යන්නේ නැහැ. . . . ලෝකයේ සිටින සෑම පාලකයෙක්ම මේ ඇදහිල්ලේ සිටියා නම් [IIවන ලෝක යුද්ධය] කවදාවත් ඇති නොවීමට තිබුණා.”
උතුරු අයර්ලන්තයේ අඛණ්ඩව පැවතුණු ගැටුම හා සමානව වඩාත් මෑතකදී සිදු කරන ප්‍රාදේශීය ගැටුම් සම්බන්ධයෙන්ද කියන්න තියෙන්නේ මේ ටිකමයි. අවුරුදු කීපයකට ප්‍රථම, බෙල්ෆාස් නගරයේ රෙපරමාදුවන් සිටින ප්‍රදේශයක එක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ගෙයින් ගෙට දේශනා කරමින් සිටියා. එක් ගෙහිමියෙක්, සාක්ෂිකරුවා කලින් කතෝලිකයෙක්ව සිට ඇති බව දැනගැනීමෙන් පසුව මෙසේ විමසුවා: “ඔයා කතෝලිකයෙක් වෙලා හිටිය කාලයේදී, ඔයා IRA [අයර්ලන්ත සමූහාණ්ඩු හමුදාව] සංවිධානයට උදව් කළාද?” මේ මනුෂ්‍යයා තුවක්කුවක් අතැතිව කතෝලිකයෙක්ව මරන්න යන විට ඔහුව අත්අඩංගුවට ගෙන තිබී, පසුව නිදහස් කර හැර තිබුණා විතරයි. මේ නිසා ඔහු සැහැසික විය හැකි බව සාක්ෂිකරුවා තේරුම්ගත්තා. එහෙයින් සාක්ෂිකරුවා මෙසේ පිළිතුරු දුන්නා: “මම දැන් කතෝලිකයෙක් නෙමෙයි. මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. සැබෑ ක්‍රිස්තියානිවරයෙක් හැටියට, මම කවදාවත් කිසිම ආණ්ඩුවක් හෝ මිනිසෙක් වෙනුවෙන් කාවවත් මරන්නේ නැහැ.” ඒත් සමඟම ගෙහිමියා ඔහුට අතට අත දී මෙහෙම කිව්වා. “හැම මිනිමැරීමක්ම වැරදියි. ඔයගොල්ලන්ගේ මිනිස්සු කරන්නේ හොඳ වැඩක්. ඒක දිගටම කරගෙන යන්න.”
යේසුගේ නාමය කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් අදහස් කරන දේ
කොහොම වුණත් යේසුගේ නාමය කෙරෙහි ඇදහිල්ල තැබීමේදී, නිකම්ම යුද්ධවලින් වැළකී සිටීමට වඩා වැඩි දෙයක් අදහස් කරනවා. යේසුගේ සියලුම ආඥාවලට කීකරු වීම ඉන් අදහස් වෙනවා. මන්දයත් යේසු මෙසේ ප්‍රකාශ කළා: “මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවා නම්, නුඹලා මාගේ මිත්‍රයෝය.” එමෙන්ම ඔහුගේ එක් ආඥාවක් නම් අප “එක් එක්කෙනාට ප්‍රේම” කළ යුතු බවයි. (යොහන් 15:14, 17) ප්‍රේමය, අනිත් අයට යහපත කරන්න වෑයම් කරනවා. එය සියලුම ජාතිවාදී, ආගමික සහ සමාජීය අගතිය ඉවත් කරනවා. එය කරන්නේ කෙසේද කියා යේසු නිරූපණය කළා.
යේසුගේ කාලයේ සිටි යුදෙව්වරුන්ට සමරිතානුවන්ට එරෙහිව ද්වේෂසහගත හැඟීම් තිබුණා. ඊට හාත්පසින්ම වෙනස්ව, යේසු සමරිතානු ස්ත්‍රියකට කතා කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇයත් තවත් බොහෝදෙනෙකුත් යේසුගේ නාමය කෙරෙහි ඇදහිල්ල තැබුවා. (යොහන් 4:39) ඒ වගේම ඔහුගේ ගෝලයන් “යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද” තමාගේ සාක්ෂිකරුවන් වන බවත් යේසු ප්‍රකාශ කළා. (ක්‍රියා 1:8) ඔහුගේ ජීවනය ගෙන දෙන පණිවුඩය යුදෙව්වරුන්ට පමණක් සීමා වුණේ නැහැ. එම නිසා රෝම ජාතික සියයකට මුලාදෑනියෙක් වූ කොර්නේලියස්ව බැහැදැකීමට පේතෘස්ට නියම කළා. යුදෙව්වෙකුට වෙනත් ජාතියේ කෙනෙක්ව බැහැදැකීම ව්‍යවස්ථාවට පටහැනි වුණත්, “කොයි මනුෂ්‍යයෙක්වත් අකැපය නොහොත් අපවිත්‍රයයි නොකිය” යුතු බව දෙවි පේතෘස්ට පෙන්නුවා.—ක්‍රියා 10:28.
යේසුව අනුකරණය කිරීමක් වශයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්, යේසුගේ නාමය තුළින් පැමිණෙන ගැළවීම ගැන ඉගෙනගැනීමට, ජාතිය, ආගම හෝ ආර්ථික පසුබිම කුමක් වූවත්, සියලුම ජනයාට කැමැත්තෙන්ම උපකාර කරනවා. යේසුගේ නාමය කෙරෙහි ඇති ඇදහිල්ල “යේසු ස්වාමින්යයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට” ඔවුන්ව පොලඹවනවා. (රෝම 10:8, 9, NW) ඔවුන්ගේ උපකාරය පිළිගන්න ලෙස අපි ඔබට උනන්දු කරන්න කැමතියි. එවිට ඔබටත් යේසුගේ නාමය කෙරෙහි ඇදහිල්ල තැබීමට ඉගෙනගන්න පුළුවන්.
යේසුගේ නාමය සත්‍යවශයෙන්ම ගෞරවයේ සහ කීකරුකමේ හැඟීම් ඉපදවිය යුතුයි. ප්‍රේරිත පාවුල් මෙසේ ප්‍රකාශ කළා: ‘ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නැමිය යුතු අතර, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින් බව පිය වූ දෙවිගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගත යුතුයි.’ (පිලිප්පි 2:10, 11) පොළොවේ වැසියන්ගෙන් බහුතරයක් යේසුගේ පාලනයට යටත් වීමට කැමති නොවූවත්, සියලුම මනුෂ්‍යයන්ට එසේ කිරීමට සිදු වන හෝ විනාශ වීමට සිදු වන කාලය ආසන්න බව බයිබලය පෙන්වනවා. (2 තෙසලෝනික 1:6-10) එම නිසා ඔහුගේ සියලුම ආඥාවන් පවත්වමින් යේසුගේ නාමය කෙරෙහි ඇදහිල්ල තැබීමට කාලය දැන්.
[පාදසටහන]
a වැඩිමනත් තොරතුරු සඳහා 1984දී, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශයට පත් කරන ලද සදහටම පවතින දිව්‍ය නාමය (ඉංග්‍රීසියෙන්) යන විවරණිකාවේ 28-31 දක්වා පිටු බලන්න.
[6වන පිටුවේ පින්තූරය]
යේසුගේ නාමයෙන් මිලියන ගණනක් මරණයට පත් කර සහ මරණයට පත් වී තිබෙනවා
[7වන පිටුවේ පින්තූරය]
යේසු තමා තුළ ජාතිවාදී අගතිය තබාගත්තේ නැහැ. ඔබ එසේ කරනවාද?