ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නිහතමානී ක්‍රියාවක් සිදු කරයි
තම ප්‍රේරිතයන් සමඟ ගත කරන අවසාන පැය කීපය ඉතාමත් අනර්ඝ වන බව යේසු දැන සිටියා. වැඩි වේලාවක් යන්ට මත්තෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමටත්, කිසිදා නොවූවිරූ අයුරකින් ඔහුගේ ඇදහිල්ල පරීක්ෂණයට ලක්වීමටත් යනවා. ඒ වගේම, ඉදිරියේදී ලැබෙන්න යන මහඟු ආශීර්වාද ගැනත් යේසු දැන සිටියා. ඔහුව ඉක්මනින්ම දෙවිගේ දකුණු පැත්තට උසස් කරන්න යන අතර, ‘සියලු නාමවලට වඩා උසස් නාමය ඔහුට දෙනු ලබනවා. එසේ කරන්නේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසයි.’—පිලිප්පි 2:9, 10.
ඒ වුණත්, ඉක්මනින්ම සිදුවීමට යන තම මරණය ගැන තිබෙන මානසික පීඩනය නිසාවත්, තමාට පොරොන්දු වූ ත්‍යාගයට තිබෙන දැඩි ආශාව නිසාවත් යේසුට තම ගෝලයන්ගේ අවශ්‍යතාවන් අමතක වුණේ නැහැ. ඔහු “අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේමකළ” බව යොහන් තම සුවිශේෂය තුළ පසුව වාර්තා කළා. (යොහන් 13:1) එමෙන්ම පරිපූර්ණ මනුෂ්‍යයෙක් හැටියට ඔහුගේ ජීවිතයේ ඉතාමත් තීරණාත්මක මෙම අවසාන පැය කීපය තුළදී, යේසු තම ප්‍රේරිතයන්ට වැදගත් පාඩමක් ඉගැන්වූවා.
නිහතමානීකමේ පාඩමක්
පාස්කු උත්සවය පැවැත්වීම සඳහා ප්‍රේරිතවරු යේසුත් සමඟ යෙරුසලමේ පිහිටි නිවසක උඩුමහලේ සිටියා. තමන් අතරෙන් වඩා උතුම් තැනැත්තා කව්දැයි යන්න පිළිබඳව ඔවුන් වාද කරනවා මීට කලින් යේසුට ඇසී තිබුණා. (මතෙව් 18:1; මාර්ක් 9:33, 34) මෙම කාරණය, ඔහු ඔවුන් සමඟ සාකච්ඡා කර තිබුණු අතර, ඔවුන්ගේ දෘෂ්ටිය වෙනස් කිරීමට වෑයම් කර තිබුණා. (ලූක් 9:46) කොහොමවුණත්, දැන් යේසු, එම පාඩම් වෙනස් ක්‍රමයක් යොදාගනිමින් කාවැද්දුවා. නිහතමානීකම සම්බන්ධයෙන් ඔවුන්ට කතා කිරීමට පමණක් නෙමෙයි, නමුත් එය ක්‍රියාවෙන් පෙන්වීමටත් ඔහු තෝරගත්තා.
යොහන් මෙසේ ලියනවා: යේසු “රාත්‍රිකෑමෙන් නැගිට, උඩ ඇඳුම ගළවා තබා, රෙදිකඩක් රැගෙන ඉඟටියෙහි [බැඳගත්තේය.] ඉන්පසු [ඔහු] භාජනයට වතුර වත්කොට ගෝලයන්ගේ පාද සෝදන්ටත් තමන් ඉඟටියේ බැඳගත් රෙදිකඩින් පිසදමන්ටත් [පටන්ගත්තේය.]”—යොහන් 13:4, 5.
උණුසුම් දේශගුණයක් තිබෙන පුරාණ මැදපෙරදිගෙහි, මිනිසුන් දූවිලි සහිත පාරවල්වල යන විටදී, සාමාන්‍යයෙන් පටි සහිත පාවහන් පළඳිනු ලැබුවා. යමෙක් සාමාන්‍ය පුද්ගලයෙකුගේ නිවසට ඇතුල් වූ විට, ඔවුන්ට තම පාද සෝදාගත හැකි වන ලෙස භාජන සහ වතුර සපයා දෙමින් නිවැසියා විසින් ඔවුන්ව පිළිගනු ලබනවා. නමුත් ධනවත් නිවෙස්වල පාද සේදීමේ කාර්යය කරනු ලබන්නේ දාසයෙකු විසිනුයි.—විනිශ්චයකාරයන් 19:21; 1 සාමුවෙල් 25:40-42.
උඩු මහල් කාමරයේ සිටි යේසු සහ ඔහුගේ ගෝලයන් කාගේවත් අමුත්තන් නොවෙයි. එමනිසා භාජන සපයන්න කිසිවෙක් සිටියේ නැහැ. ඒ වගේම පාද සේදීම කරන්න දාසයන් සිටියෙත් නැහැ. යේසු ඔවුන්ගේ පාද සෝදන්න පටන්ගත් විට, ප්‍රේරිතයන් යම් අපහසුතාවකට පත් වුණා. මෙහිදී ඔවුන් අතරෙන් වඩා ශ්‍රේෂ්ඨතම තැනැත්තා නිහතමානීම ක්‍රියාව සිදු කළා!
යේසුට තමාගේ පාද සේදීමට ඉඩ දීම, පේතෘස් මුලින් ප්‍රතික්ෂේප කළා. නමුත් යේසු ඔහුට මෙසේ පැවසුවා: “මම නුඹ නොසේදුවොත් මා හා සමඟ පංගුකාරකමක් නුඹට [නැත].” යේසු ප්‍රේරිතයන් සියලුදෙනාගේම පාද සෝදා අවසන් වූ විට මෙසේ පැවසුවා: “මා නුඹලාට කළ දේ කිමෙක්දැයි නුඹලා දන්නහුද? ආචාරිනි, ස්වාමීනි කියා නුඹලා මට කියහුය. නුඹලා කියනවා හරිය; මක්නිසාද මම එසේ වෙමි. ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි.”—යොහන් 13:6-15.
යේසු පාද සේදීමේ ආගමික චාරිත්‍රයක් ස්ථාපිත කරමින් සිටියා නොවේ. ඒ වෙනුවට, ඔහු තම ප්‍රේරිතයන්ට අලුත් ආකල්පයක් වර්ධනය කරගන්න උපකාර කරමින් සිටියා. එනම් නිහතමානීකම සහ තම සහෝදරයන් වෙනුවෙන් යටහත් පහත් ක්‍රියාවන් කිරීමට කැමැත්තෙන් සිටීම පිළිබඳ ආකල්පයක්. පැහැදිලිවම ඔවුන්ට කාරණය වැටහුණා. අවුරුදු ගණනකට පසුව චර්මච්ඡේදනය පිළිබඳ ප්රශ්නය මතු වූ විට සිදු වූ දෙය සැලකිල්ලට ගන්න. “බොහෝ වාද” හටගත්තත් පැමිණ සිටි අය සන්සුන්ව සිටිය අතර, එක්නෙකාගේ අදහස්වලට ගෞරවනීයව ඇහුම්කන් දුන්නා. තවදුරටත් ප්‍රේරිතයන්ද එම ස්ථානයේ සිටි නිසා ඔවුන්ගෙන් කෙනෙක් රැස්වීමේ මුලසුන හොබවයි කියා අප බලාපොරොත්තු වුණා විය හැකි වුණත්, රැස්වීමේදී මුලසුන හෙබෙව්වේ යාකොබ් නමැති ගෝලයා මිසක් ප්‍රේරිතවරයෙක් නොවන බව පෙනී යනවා. නිහතමානීකම පෙන්වීම සම්බන්ධයෙන් ප්‍රේරිතයන් සැලකිය යුතු දියුණුවක් ලබා තිබුණු බව ක්‍රියා පොතේ වාර්තා වී තිබෙන මෙම තොරතුරුවලින් පෙනී යනවා.—ක්‍රියා 15:6-29.
අපට පාඩමක්
යේසු තම ගෝලයන්ගේ පාද සේදීම තුළින් නිහතමානීකම සම්බන්ධව බලපෑමෙන් යුත් පාඩමක් සැපයෙව්වා. ඇත්තවශයෙන්ම ක්‍රිස්තියානීන් තමන්ව එතරම්ම වැදගත් පුද්ගලයන් හැටියට සලකා අනිත් අය නිතරම තමන්ට සේවය කළ යුතුයි කියා සිතන්නේවත්, ගෞරවනීය තත්වයන් සහ නම්බු නාම අත් කරගන්න වෑයම් කරන්නේවත් නැහැ. ඒ වෙනුවට ඔවුන් “සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද” පැමිණි යේසුගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි. (මතෙව් 20:28) ඔව්, යේසුගේ අනුගාමිකයන්, එකිනෙකා වෙනුවෙන් වඩාත් නිහතමානී ක්‍රියාවන් කරන්න කැමැත්තෙන් සිටිය යුතුයි.
හොඳ හේතු ඇතුව පේතෘස් මෙහෙම ලිව්වා: “නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද [දෙවි] උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව [දෙන්නේය.]” (1 පේතෘස් 5:5) ‘පැළඳගැනීම’ සඳහා යොදා තිබෙන ග්‍රීක් වචනය පැමිණ තිබෙන්නේ “දාසයෙකුගේ උඩ ඇඳුම” යන අර්ථය ඇති වචනයෙනුයි. ඔවුන් මෙම උඩ ඇඳුමට යටින් ඇඳ සිටි ලිහිල් ඇඳුම නවා ඉණ වටා බැඳගත්තා. රෙදිකඩක් ගෙන තම ඉණ වටා බැඳගැනීම සහ තම ප්‍රේරිතයන්ගේ පාද සේදීම යන යේසුගේ ක්‍රියාවන්වලට පේතෘස් යොමු දක්වමින් සිටියා විය හැකිද? එය ස්ථිරවම කියන්න බැහැ. කෙසේනමුත්, යේසුගේ නිහතමානී ක්‍රියාව පේතෘස්ගේ හෘදයට කිසිදා අමතක නොවන බලපෑමක් ඇති කළා. එලෙසම එය, ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වී තිබෙන සියල්ලන්ගේම හදවත්වලට එයාකාරයෙන්ම බලපෑමක් ඇති කළ යුතුයි.—කොලොස්සි 3:12-14.