113වෙනි පරිච්ඡේදය
අන්තිම පාස්කුවේදී යටහත් පහත්කම පෙන්වීම
යේසුස් ඔවුන්ට උපදෙස් දුන් පරිදි පේතෘස් හා යොහන් යෙරුසලමට ගොස් මේ වන විටත් පාස්කුව සඳහා කටයුතු පිළියෙළ කරමින් සිටිනවා. පෙනෙන ආකාරයට, යේසුස් තම අනෙක් ප්‍රේරිතයන් දසදෙනා සමඟ එතැනට පැමිණෙන්නේ ඉන්පසුවයි. හිරු බැස යද්දී යේසුස් සහ ඔහු සමඟ සිටින අය ඔලීව කන්දෙන් පහළට බසිනවා. යේසුස්ව නැවත නැඟිටුවනු ලබන තෙක් ඔහුට ආලෝකය තිබියදී ඔලීව කන්දේ සිට නුවර දැකගන්න ලැබෙන අන්තිම වතාව මෙයයි.
වැඩි වේලාවක් යන්න කලින් යේසුස් හා ඔහු සමඟ සිටින අය නුවරට ඇතුල් වී පාස්කුව පැවැත්වීමට නියමිතව තිබෙන නිවස වෙතට ගමන් කරනවා. ඔවුන් විශාල උඩුමහල් කාමරය වෙතට පියමං කරද්දී දකින්නේ ඔවුන් ටිකදෙනා විතරක් සහභාගි වන මේ පාස්කුව සැමරීම සඳහා සියලුම කටයුතු සූදානම් කර ඇති බවයි. යේසුස් මෙම අවස්ථාව එන තුරු ඉතා උනන්දුවෙන් බලා සිටි බව අඟවමින් ඔහු මෙසේ පවසනවා. “මා වධ විඳින්න කලින් ඔබ සමඟ මේ පාස්කු භෝජනය කන්න මම බොහෝ සේ ආශා කළෙමි.”
සම්ප්‍රදායානුකූලව පාස්කුව සමරන අය වයින් කුසලාන සතරක් පානය කරනවා. පෙනෙන විදියට තුන්වන කුසලානය ගැනීමෙන් පසු, යේසුස් දෙවිට ස්තුති කර මෙසේ කියනවා. “මෙය ගෙන ඔබ එකිනෙකා අත යවන්න. මන්ද, මම ඔබට කියමි, දෙවිගේ රාජ්‍යය එන තුරු, මෙතැන් පටන් මම මිදි වැලෙන් ලැබෙන පලයෙන් නොබොන්නෙමි.”
ආහාර ගන්නා අතරතුරේදී, යේසුස් නැඟිට තමාගේ පිට වස්ත්‍රය අයින් කර තුවායක් අතට ගෙන භාජනයකට ජලය පුරවනවා. සාමාන්‍යයෙන්, නිවසට අමුත්තෙක් පැමිණෙන විට ගෙහිමියා ඔහුගේ පාද සේදීමට කටයුතු සැලසුම් කරනවා. එහෙත් මේ අවස්ථාවේදී ආගන්තුක සත්කාරය පිරිනැමීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බැවින් මෙම සේවාව පිරිනමනු ලබන්නේ යේසුස් විසිනුයි. මෙම සේවාව පිරිනැමීම සඳහා ප්‍රේරිතයන්ගෙන් ඕනෑම කෙනෙකුට ඉදිරිපත් වෙන්න තිබුණා. එහෙත් පෙනෙන ආකාරයට, ඔවුන් අතරෙහි තවමත් පවතින තරඟකාරී ස්වභාවය හේතුවෙන් කිසිවෙකු එසේ කරන්නේ නැහැ. ඉතිං යේසුස් ඔවුන්ගේ පාද සේදීමට පටන්ගන්නා විට ඔවුන් ලජ්ජාවට පත් වෙනවා.
යේසුස් පේතෘස් ළඟට ගිය විට ඔහු විරෝධය පාමින් මෙසේ පවසනවා. “ඔබට කවදාවත් මාගේ පාද නම් සෝදන්න ලැබෙන්නේ නැත.”
“මා ඔබව නොසේදුවොත් මා සමඟ කිසි පංගුකාරකමක් ඔබට නැත” කියා යේසුස් පවසනවා.
පේතෘස් ඊට ප්‍රතිචාරය දක්වන්නේ මෙලෙසයි. “ස්වාමිනි, මාගේ පාද පමණක් නොව, මාගේ අත්ද හිසද සෝදන්න.”
එවිට යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “නෑවාවූ තැනැත්තාගේ පාද සෝදනවාට වඩා වැඩි යමක් ඔහුට අවශ්‍ය වන්නේ නැත. ඔහු මුළුමනින්ම පවිත්‍රය. ඔබ පවිත්‍රව සිටින්නහුය; නමුත් සැමෝම නොවේ.” යූදස් ඉස්කාරියොත් තමාව පාවා දීමට කල්පනා කරමින් සිටින බව දන්නා නිසයි ඔහු එසේ පවසන්නේ.
යේසුස් 12දෙනාගේම පාද සෝදනවා. ඔහු තමාව පාවා දීමට යන යූදස්ගේ පාදත් සෝදනවා. ඉන්පසු, ඔහු තම පිට වස්ත්‍රය ඇඳගෙන නැවතත් වාඩි වී පවසන්නේ මෙසේයි. “මා ඔබට කළ දේ කුමක්දැයි ඔබ දන්නහුද? ‘ගුරුතුමෙනි,’ ‘ස්වාමිනි’ කියා ඔබ මට අමතන්නහුය. ඔබ කියනවා හරිය. මන්ද මම එසේ වෙමි. එබැවින්, ස්වාමීන්ද ගුරුතුමාද වන මා ඔබේ පාද සේදුවා නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මන්ද, මා ඔබට කළාක් මෙන් ඔබත් කළ යුතු බවට වූ ආදර්ශය මම ඔබට දුනිමි. සැබවින්ම මම ඔබට කියමි, දාසයෙකු තම ස්වාමියාට වඩා උතුම් නොවේ. එමෙන්ම එවන ලද තැනැත්තා තමාව එවූ තැනැත්තාට වඩා උතුම් නොවේ. ඔබ මේ දේවල් දන්නේ නම්, ඒවා පවත්වනවා නම් ඔබ සන්තෝෂවත්ය.”
යටහත් පහත්කම සම්බන්ධයෙන් මොන තරම් කදිම පාඩමක්ද! ප්‍රේරිතයන් තමන් අන්‍යයන්ගේ සේවය ලැබීමට තරම් වැදගත් පුද්ගලයන්යයි සිතමින් නිතරම පළමු ස්ථානය ලබාගැනීමට උත්සාහ නොකළ යුතුයි. ඔවුන් අනුගමනය කළ යුත්තේ යේසුස්ගේ ආදර්ශයයි. මෙසේ කරන්නේ නිකම්ම චාරිත්‍රයක් ලෙස පාද සේදීම මගින් නොවෙයි. නමුත් වැඩය මොන තරම් පහත් හෝ අප්‍රසන්න වුවත් තරාතිරම් නොබලා නිහතමානීව සේවය කිරීමට කැමැත්තක් දැක්වීමෙනුයි. මතෙව් 26:20, 21; මාක් 14:17, 18; ලූක් 22:14-18; 7:44; යොහන් 13:1-17; NW.
▪ පාස්කුව පැවැත්වීමට යේසුස් යෙරුසලමට ඇතුල් වෙද්දී, ඔහු එම නුවර දෙස බැලීම සුවිශේෂී අවස්ථාවක් වන්නේ මන්ද?
▪ පාස්කුවේදී, දෙවිට ස්තුති කිරීමෙන් පසු යේසුස් ප්‍රේරිතයන් 12දෙනා අතරේ යවන්නේ කීවෙනි කුසලානයද?
▪ යේසුස් මිහිපිට සිටි කාලයේදී, සිරිතක් වශයෙන් අමුත්තන්ට පිරිනැමූ සේවය කුමක්ද? යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් විසින් පවත්වන ලද පාස්කුවේදී එය සිදු නොවුණේ මන්ද?
▪ තම ප්‍රේරිතයන්ගේ පාද සේදීමේ පහත් සේවාව සිදු කිරීමේදී යේසුස්ගේ අරමුණ වූයේ කුමක්ද?