අදදිනට පණිවුඩයක් ඇතුළත් ප්‍රඥාවේ පොතක්
නිසැකවම එවකට සිටි ධනවත්ම මනුෂ්‍යයන් අතුරින් කෙනෙක් වූ පුරාණ කුලදෙටු යෝබ් මෙසේ නිරීක්ෂණය කළා: “ප්‍රඥාව මුතු රාශියකටත් වඩා අගනේය.” (යෝබ් 1:3; 28:18, NW; 42:12) පුද්ගලයෙක් තම ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ප්‍රඥාව යොදාගන්නා විට ඇත්තෙන්ම එය ද්‍රව්‍යමය වස්තූන්වලට වඩා බොහෝ වටිනවා. ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ පැවසුවා: “මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.”—දේශනාකාරයා 7:12.
නමුත් එවැනි ප්‍රඥාවක් අද සොයාගන්න පුළුවන් කොහෙන්ද? මිනිසුන් තම පෞද්ගලික ප්‍රශ්නවලට උපදෙස් ලබාගැනීම සඳහා, තීරු ලේඛකයන්, මනෝවිද්‍යාඥයන්, මනෝචිකිත්සකයන්, ඒ විතරක් නෙවෙයි, හිසකෙස් සකසන්නන් සහ කුලී රථ රියැදුරන් වෙතට පවා පිවිසෙනවා. එමෙන්ම, සෑම විෂයකටම වගේ උපදෙස් ලබා දීම සඳහා ප්‍රවීණයන් අසංඛ්‍යාත ප්‍රමාණයක් සැදී පැහැදී සිටිනවා. ඔවුන් එසේ කරන්නේ යෝග්‍ය ගාස්තුවක් වෙනුවෙනුයි. ඒ වුණත්, නිතරම, එයාකාර ‘ප්‍රඥාවේ’ වදන් මඟ පාදා තිබෙන්නේ බලාපොරොත්තු සුන්වීමකට එහෙමත් නැත්නම් මහත් විපතකට පමණයි. එසේනම් අපට සැබෑ ප්‍රඥාව සොයාගන්න පුළුවන් කොහොමද?
මනුෂ්‍ය කාරණා සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබුණු යේසුස් ක්‍රිස්තුස් වරක් මෙසේ පැවසුවා: “ප්‍රඥාව නිදොස් බව ඇගේ [එහි, NW] ක්‍රියා වලින් ඔප්පු වී තිබේ.” (මතෙව් 11:19) දැන් අපි මනුෂ්‍ය ජීවිතවල තිබෙන පොදු ප්‍රශ්න කීපයක් වෙත අවධානය යොමු කර, සැබවින්ම ඔවුන්ට උපකාර වී තිබෙන්නෙත්, ඒ වගේම “මුතු රාශියකටත්” වඩා වටිනා බව ඔප්පු වී තිබෙන්නෙත් කිනම් ආකාරයේ ප්‍රඥාවේ වදන්ද කියා බලමු. ඔබටත් එම “ප්‍රඥාව” සොයාගැනීමට සහ එයින් ප්‍රයෝජන අත් කරගැනීමට හැකි වේවි.
ඔබ අසහනකාරි තත්වයකින් පෙළෙනවාද?
“විසිවන ශතවර්ෂය ඇරඹුණේ කාන්සාවේ යුගයෙන් නම් එය අවසන් වන්නේ අසහනයෙන් පිරි යුගයකට පා තබමිනුයි” කියා, ලන්ඩනයේ ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියූන් සඳහන් කරයි. එය මෙසේද එකතු කරයි: “බලවත් අසහනකාරි තත්වය පිළිබඳව කරන ලද ප්‍රථම ජාත්‍යන්තර අධ්‍යයනයෙන් හෙළි වූයේ, එම ආබාධයේ නිශ්චිත වැඩිවීමක් ලොව වටාම තිබෙන බවයි. තායිවානය, ලෙබනොන් සහ නවසීලන්තය වැනි කොපමණ වෙනස් පසුබිම් තිබෙන ජාතීන්ගේ වූවත්, ඊළඟට එන සෑම පරම්පරාවක්ම මෙම තත්වයට ගොදුරු වීමේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.” වර්ෂ 1955ට පසුව ඉපදෙන අය, තම ආච්චිලා සීයලා අද්දැක්කාට වඩා තුන්ගුණයකින් මහත් අසහනකාරි තත්වයකින් පෙළෙන්ට ඉඩ කඩ ඇති බව පැවසෙනවා.
දරුණු අසහනකාරි තත්වයකින් පෙළීම නිසා තම ජීවිතයෙන් වැඩි හරියක් ඇඳේ සිටීමට සිදු වූ ටෝමෝඑ සම්බන්ධයෙන් තත්වය එයයි. ඇයට ඇගේ දෙහැවිරිදි පුතාව රැකබලා ගැනීමට නොහැකි නිසා, ඇය දෙමව්පියන්ගේ නිවසට ගියා. ටෝමෝඑගේ පුතාගේම වයසේ දැරියක් සිටින අසල්වැසියෙක් ඇයත් සමඟ ඉක්මනින්ම මිත්‍ර වුණා. කොතරම් නොවටිනාකමේ හැඟීමක් තමාට දැනුණාද කියා ටෝමෝඑ අසල්වාසියාට පැවසූ විට, අසල්වාසියා ඇයට පොතකින් යම් පදයක් පෙන්නුවා. එහි කියවන්න තිබෙන්නේ මෙයයි: “නුඹ මට ඕනෑ නැතැයි අතට කියන්ට ඇසටවත්, නුඹලා මට ඕනෑ නැතැයි පාදවලට කියන්ට හිසටවත් නුපුළුවන. එසේය, ශරීරයේ වඩා ඕනෑකරන්නේ වඩා දුර්වලව පෙනෙන අවයවයෝය.”a සෑම කෙනෙකුටම ලෝකයේ තැනක් තිබෙන බවත්, සෑම කෙනෙක්වම අවශ්‍ය බවත් ඇය අවබෝධ කරගත් විට, ටෝමෝඑගේ දෙනෙත්වලට කඳුළු ඉනුවා.
එම වදන් ඇතුළත් පොත සොයා බලන ලෙස අසල්වාසියා ඇයට නිර්දේශ කළා. මේ වන තෙක් ඇයට කිසිවක් කිරීමට හැකියාවක් නොතිබුණත්, ඒ කියන්නේ, අඩුම තරමින් තමාටම කුඩා පොරොන්දුවක් වෙන්නවත් ශක්තියක් නොතිබුණත් ටෝමෝඑ එයට හිස වනා එකඟ වුණා. අසල්වාසියා ඇයට සාප්පු යන්නත් උදව් වූ අතර, ඇය දිනපතා ටෝමෝඑත් සමඟ ආහාර සූදානම් කළා. මාසයකට පසුව ටෝමෝඑ සෑම උදෑසනකම අවදි වීම, රෙදි සේදීම, නිවස පිරිසිදු කිරීම, සාප්පු යෑම සහ රාත්‍රි ආහාරය පිළියෙළ කිරීම ආදි ඕනෑම ගෘහණියක් කරන දේවල් කරමින් සිටියා. ඇයට බොහෝ බාධකයන් ජයගැනීමට සිදු වී තිබුණත් ඇය මෙසේ පැවසුවා: “මට හම්බ වුණ ප්‍රඥාවන්ත වචන ක්‍රියාත්මක කෙරුවොත්, දේවල් හරියට කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසෙ මට තිබුණා.”
ඇයට ලැබී තිබුණු ප්‍රඥාව අදාළ කරගැනීමෙන් ටෝමෝඑ ඇගේ අසහනකාරි දුක්බර දවස්වලින් ගොඩ ආවා. ඇයට තම ප්‍රශ්නත් එක්ක සාර්ථකව කටයුතු කරන්න උපකාරි වූ එම වචනම, අනිත් අයටත් අදාළ කරගැනීම සඳහා උපකාර කරමින් දැන් ටෝමෝඑ පූර්ණ-කාලීනව සේවය කරනවා. අදදින සියලුම ජනයා සඳහා පණිවුඩයක් ඇතුළත් පුරාණ ලියවිල්ලක මෙම ප්‍රඥාවේ වදන් සඳහන් වෙනවා.
ඔබ ගෘහස්ථ ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවාද?
ලොව පුරා දික්කසාද අනුපාතය ඉහළ නඟිමින් තිබෙනවා. කිට්ටු පවුල් බැඳීම් සම්බන්ධයෙන් වරක් ජනයා උදම් ඇනූ පෙරදිග රටවල පවා ගෘහස්ථ ගැටලු වැඩි වෙමින් පවතිනවා. විවාහය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ක්රියාවේ යෙදවිය හැකි ප්‍රඥාවන්ත උපදෙස් අපට සොයාගත හැක්කේ කොතැනින්ද?
කෙළවරක් නැති විවාහ ගැටලු තිබුණු ෂූගෝ සහ මිහෝකෝ නමැති යුවළගේ තත්වය සැලකිල්ලට ගන්න. ඔවුන් සෑම කුඩා දෙයකටම සණ්ඩු වුණා. ෂූගෝ ඉතා ඉක්මනින් කිපෙනසුලු කෙනෙක් වූ අතර, ඔහු ඇගේ වරදක් පෙන්වූ සෑම අවස්ථාවකදීම මිහෝකෝ එකට එක කිව්වා. ‘අපට කිසිම දෙයකට එකඟ වෙන්න බැහැ’ කියාත් මිහෝකෝ සිතුවා.
දිනක් මිහෝකෝව එක් ස්ත්‍රියක් හමුවීමට ආ අතර, යම් පොතකින් ඇයට මෙම වචන කියෙව්වා: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න.”b ආගම සම්බන්ධයෙන් උනන්දුවක් නැති වුණත් මිහෝකෝ මෙම වදන් ඇතුළත් පොත අධ්‍යයනය කරන්න එකඟ වුණා. ඇගේ උනන්දුව තිබුණේ, ඇගේ පවුල් ජීවිතය හොඳ තත්වයකට ගන්නයි. ඒ නිසා, ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම නමැති පොත සාකච්ඡා කරමින් තිබුණු රැස්වීමකට පැමිණීම සඳහා ඇයට ආරාධනා කළ විට, මිහෝකෝ සහ ඇගේ පුරුෂයා එය වහා පිළිගත්තා.c
රැස්වීමේදී, එහි පැමිණ සිටි අය, ඇත්තෙන්ම ඔවුන් ඉගෙනගනිමින් සිටි දේ අදාළ කරගනිමින් සිටින බව සහ ඔවුන් සතුටින් සිටින බව ෂූගෝගේ අවධානයට ලක් වුණා. තම භාර්යාව අධ්‍යයනය කරමින් සිටි පොත සෝදිසි කර බලන්න ඔහු තීරණය කළා. එක් වගන්තියක් විගස ඔහුගේ අවධානය ග්‍රහණය කරගත්තා. එය නම්: “කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.”d මෙම ප්‍රතිපත්ති තම ජීවිතයට අදාළ කරගැනීමට ඔහුට කාලයක් ගත වුණත්, ඔහු තුළ ක්‍රමානුකූලව ඇති වූ වෙනස ඔහුගේ භාර්යාව ඇතුළුව ඔහු ඇසුරු කළ අයට පැහැදිලිව දිස් වුණා.
තම පුරුෂයා තුළ සිදු වූ වෙනස්කම් දැකීමෙන් මිහෝකෝත් ඇය අධ්‍යයනය කරමින් සිටි දෙය අදාළ කරගැනීමට පටන්ගත්තා. විශේෂයෙන්ම ප්‍රයෝජනවත් බවට ඔප්පු වූ එක් ප්‍රතිපත්තියක් නම් මෙයයි: “නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය.”e එමනිසා මිහෝකෝ සහ ඇගේ පුරුෂයා එකිනෙකාගේ හොඳ ගුණාංග ගැන කතා කරන්නත්, එකිනෙකාගේ වැරදි සොයනවා වෙනුවට ඔවුන්ට වර්ධනය වෙන්න පුළුවන් ආකාරය ගැන කතා කරන්නත් තීරණය කළා. ඇති වූ ප්‍රතිඵලය කුමක්ද? මිහෝකෝ මෙසේ මතක් කරනවා: “ඒක ඇත්තටම මට සන්තෝෂය ගෙනාවා. අපි හැම සැන්දෑවකම රාත්‍රි කෑම ගන්න වෙලාවේදී මෙය කරනවා. තුන් හැවිරිදි අපේ පුතාත් සාකච්ඡාවට හවුල් වෙනවා. ඒක ඇත්තටම අපිව ප්‍රාණවත් කරලා තියෙනවා!”
මෙම පවුල ඔවුන්ට ලැබී තිබුණු අර්ථාන්විත උපදෙස් ක්රියාවේ යෙදවූ විට, ඔවුන්ගේ සබඳතාව දෙකඩ වන තත්වයටම පීඩනයක් ඇති කර තිබුණු ප්‍රශ්නවලින් ගොඩ ඒමට ඔවුන්ට හැකි වුණා. එය මුතු රාශියකටත් වඩා ඔවුන්ට වටින්නේ නැද්ද?
ඔබේ දිවිය සාර්ථක කරගන්න ඔබට අවශ්‍යද?
අදදින සිටින බොහෝදෙනෙකුගේ ජීවිතයේ ඉලක්කය ධනය රැස් කිරීමයි. එනමුත්, ඩොලර් මිලියන සිය ගණනක් සමාජ සුභසාධන කටයුතු සඳහා දී තිබුණු එක්සත් ජනපදයේ සිටින ධනවත් ව්‍යාපාරිකයෙක් වරක් මෙසේ පැවසුවා: “සමහර මිනිස්සු සල්ලිවලට ඇදී ගිහිල්ලා තියෙනවා. හැබැයි කිසිම කෙනෙකුට එක්වර සපත්තු කුට්ටම් දෙකක් පළඳින්න බැහැ.” මේ සත්‍යතාව පිළිගන්නේ ස්වල්පදෙනෙක් වන අතර, ධනවත් වීමට කරන ලුහුබැඳීම නතර කරන්නේ ඊටත් වඩා ස්වල්පදෙනෙක්.
හිටෝෂි ඇති දැඩි වුණේ දුගී පවුලකයි. ඒ නිසා ඔහුට ධනවත් වීමට දැඩි ආශාවක් තිබුණා. ණය හිමියන් තම ණයකරුවන්ව තමන්ගේ අභිමතය පරිදි අල්ලේ තියලා නටවන හැටි දැකීමෙන් පසු ඔහු මෙසේ තීරණය කළා: “වැඩියෙන්ම සල්ලි හම්බ කරගන්න කෙනා තමයි දිනුම්කරු.” හිටෝෂි මුදල්වලට තිබෙන බලය කෙරෙහි කොතරම් විශ්වාස කෙරුවාද කියනවා නම්, මනුෂ්‍ය ජීවිත පවා සල්ලිවලට ගන්න පුළුවන් බව ඔහු සිතුවා. ධනය රැස් කිරීම සඳහා ඔහුගේ ජල නළ සවි කිරීමේ ව්‍යාපාරය වෙනුවෙන් ඔහු ඇප කැප වී වැඩ කළ අතර, කිසිවිටක දවසකවත් නිවාඩුවක් නොගෙන මුළු අවුරුද්ද පුරාම වැඩ කළා. තමා කොතෙක් වෑයම් කළත්, උපකොන්ත්රාත්කරුවෙක් ලෙස සිටීමෙන්, තමාට වැඩ ලබා දෙන කොන්ත්‍රාත්කරු තරම්ම තමාට කිසිදාක බලවත් විය නොහැකි බව හිටෝෂි ඉක්මනින්ම අවබෝධ කරගත්තා. කලකිරීම සහ බංකොලොත් වෙයි කියන බිය, ඔහුගේ දෛනික ජීවිතයේ අංගයක් වුණා.
මේ අතරතුර හිටෝෂිගේ නිවසට මනුෂ්‍යයෙක් පැමිණ, යේසුස් ක්‍රිස්තුස් මියගියේ ඔහු වෙනුවෙන් බව දන්නවාද කියා ඔහුගෙන් ඇසුවා. තමා වගේ පුද්ගලයෙක් වෙනුවෙන් කිසිම කෙනෙක් මියයන එකක් නැති බව හැඟුණ නිසා, ඔහු පුදුම වූ අතර, වැඩිදුර සාකච්ඡාවන් සඳහා එකඟ වුණා. ඊළඟ සතියේ ඔහු දේශනයකට සහභාගි වූ අතර, ‘ඇස සරලව තබාගැනීමට’ දුන් අවවාදය ඇසීමෙන් ඔහු පුදුමයට පත් වුණා. “සරල” ඇසක් කියන්නේ දූරදර්ශී සහ ආත්මික දේවල් මත නාභිගත කර තිබෙන ඇසකටයි; අනිත් අතට, “නපුරු,” හෝ “ඊර්ෂ්‍යාසහගත” ඇස, විගස තෘප්තිය ඉල්ලන මාංසික ආශාවන් මත පමණක් නාභිගතව තිබෙන අතර, එය අදූරදර්ශී වෙනවා. “ඔබේ වස්තුව යම් තැනකද ඔබේ සිතත් එතැන්හිම වන්නේය” යන උපදෙස ඔහුට ගැඹුරු බලපෑමක් ඇති කළා.f ධනය අත් කරගන්නවාට වඩා වැදගත් දෙයක් තිබෙනවා! ඔහු මීට කලින් කවදාවත් ඒ වගේ දෙයක් අහලා තිබුණේ නැහැ.
ඇති වූ බලපෑම නිසා, ඔහු ඉගෙනගනිමින් සිටි දෙය අදාළ කරගැනීමට පටන්ගත්තා. මුදල් සෙවීමට වෙහෙසෙනවාට වඩා, ආත්මික දේවල් තම ජීවිතයේ පළමු තැනට තබන්න ඔහු පටන්ගත්තා. ඒ වගේම තම පවුලේ ආත්මික සුභසිද්ධිය ගැන සැලකිලිමත් වීම සඳහාත් ඔහු කාලය ගත කළා. ඇත්තෙන්ම එයින් රැකියාව සඳහා අඩු කාලයක් ලැබුණත්, ඔහුගේ ව්‍යාපාරයේ සතුටුදායක වෙනසක් අද්දැක්කා. ඒ ඇයි?
තමාට ලැබුණු උපදෙස්වලට ප්‍රතිචාරය දැක්වීම නිසා, ඔහුගේ කලහකාරි පෞද්ගලිකත්වය මෘදු සහ මිත්‍රශීලී එකක් දක්වා වෙනස් වුණා. ඔහුට මෙම අවවාදය විශේෂ බලපෑමක් ඇති කළා: “දැන් නුඹලා ඒ සියල්ල—කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කථාව—පහකරන්න. එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා [පරණ පෞද්ගලිකත්වය, NW] ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා, අලුත් මනුෂ්‍යයාව [අලුත් පෞද්ගලිකත්වය, NW] මැවූ [තැනැත්තාගේ] රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය.”g මෙම උපදෙස අනුගමනය කිරීමෙන් ඔහු ධනවත් වුණේ නැහැ. නමුත් ඔහුගේ “අලුත් පෞද්ගලිකත්වය” ඔහුගේ ගැනුම්කරුවන්ට හොඳ බලපෑමක් ඇති කළ අතර, එමගින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට ඔහුට හැකි වුණා. ඔව්, ඔහුට ලැබුණු ප්‍රඥාවේ වදන් ජීවිතය සාර්ථක කරගැනීමට ඔහුට උපකාර වුණා. ඇත්තෙන්ම කියනවා නම්, ඔහුට ඒවා මුතු රාශියකට එසේත් නැතිනම් මුදල්වලට වඩා බොහෝ අනර්ඝ වුණා.
ඔබ එයින් ප්‍රයෝජන ගන්නවාද?
ඉහත උදාහරණවල සඳහන් වූ එක් එක් පුද්ගලයා සඳහා එතරම්ම වටිනා දෙයක් බවට ඔප්පු වූ ප්‍රඥාව ඔබට හඳුනාගත හැකිද? එය නම්, වඩාත් පුළුල්ව බෙදාහැර තිබෙන සහ වඩාත් පහසුවෙන්ම ලබාගත හැකි මිහිපිට තිබෙන පොත වන බයිබලය තුළින් සොයාගත හැකි ප්රඥාවයි. සමහරවිට ඔබට පිටපතක් තිබෙන්න පුළුවන්. එසේ නැතිනම් පිටපතක් ලබාගන්න පුළුවන්. කොහොමවුණත්, වටිනා මුතු රාශියක් තිබුණත් එය ප්‍රයෝජනයට ගන්නේ නැතිනම් අයිතිකරුට එයින් ඵලක් නැතුවා සේම, බයිබලයක් නිකම්ම කෙනෙකුට අයිතිව තිබුණු පමණින් එයින් කිසිදු ප්‍රයෝජනයක් අත් වන්නේ නැහැ. බයිබලයේ පිටු පෙරළා එයින් ප්‍රයෝජන නොගන්නේ ඇයි? එමෙන්ම බයිබලයේ ප්‍රඥාවන්ත උපදෙස් සහ කාලෝචිත අවවාද අදාළ කරගෙන, ජීවිතයේ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා එයට උපකාර කරන්න පුළුවන් කෙසේද කියා බලන්න.
ඔබට කවදා හරි මුතු රාශියක් දී තිබුණේ නම්, ඔබ ඊට කෘතඥපූර්වක වන්නේ නැද්ද? එමෙන්ම ස්තුති කිරීම සඳහා ඔබට එය ලබා දුන්නේ කවරෙක්ද කියා සොයන්න උත්සාහ කරන්නේ නැද්ද? බයිබලය සම්බන්ධයෙන් බලද්දී, එය දුන් තැනැත්තා කවුද කියා ඔබ දන්නවාද?
බයිබලය, එතුළ ඇති ප්‍රඥාවේ ප්රභවය එළිදරව් කරමින් මෙසේ පවසනවා: “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල . . . ප්‍රයෝජනවත්ව තිබේ.” (2 තිමෝති 3:16) ඒ වගේම ‘දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය’ කියාත් එය අපට පවසනවා. (හෙබ්‍රෙව් 4:12) ඒ නිසයි බයිබලයේ තිබෙන ප්‍රඥාවන්ත වදන් අද අපට කාලෝචිත සහ ඵලදායි වන්නේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙම ත්‍යාගශීලී ප්රදානය කරන්නා වන යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීම සඳහා ඔබට උපකාර කරන්න සතුටින් සිටිනවා. එමගින් ඔබට බයිබලයේ, එනම් අදදින සිටින ජනයා සඳහා පණිවුඩයක් ඇතුළත් පොතේ තිබෙන ‘ප්‍රඥාවෙන්’ ප්‍රයෝජන ගන්නන් අතරේ සිටින්න පුළුවන්.
[පාදසටහන්වල]
a උපුටා දැක්වීම 1 කොරින්ති 12:21, 22නි.
c Watchtower Bible and Tract Society of New York Inc., මගින් ප්‍රකාශිතයි.
f මතෙව් 6:21-23, NW පාදසටහන.
[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]
චිත්තවේගීය සමබරතාව පවත්වාගැනීම සඳහා ප්‍රඥාවන්ත වදන්
‘යෙහෝවා, ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම්, යෙහෝවා, කාට සිටින්ට හැක්කේද? නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.’—ගීතාවලිය 130:3, 4.
“තුෂ්ටිමත් සිත මුහුණ පැහැපත්කරයි; එහෙත් සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි.”—හිතෝපදේශ 15:13.
“පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවෙන්න; පමණට වඩා ඥානවන්තයෙක්ද නොවෙන්න. කුමක් නිසා නුඹම විනාශකරගන්නෙහිද?”—දේශනාකාරයා 7:16.
“ගැනීමට වඩා දීමෙහි වැඩි සන්තෝෂයක් තිබේ.”—ක්‍රියා 20:35, NW.
“කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.”—එපීස 4:26.
[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]
සන්තෝෂවත් පවුල් ජීවිතයක් සඳහා ප්‍රඥාවන්ත වදන්
“විශ්වාසයෙන් යුත් කතා බහ නැති කළ යෝජනා සැලසුම් නිෂ්ඵල වන්නේය; එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිර වන්නේය.”—හිතෝපදේශ 15:22, NW.
“තේරුම් ඇත්තාගේ සිත දැනගැන්ම ලබාගනියි; ප්‍රඥාවන්තයාගේ කනද දැනගැන්ම සොයයි.”—හිතෝපදේශ 18:15.
“කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි.”—හිතෝපදේශ 25:11.
“එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; [යෙහෝවා] නුඹලාට [නොමසුරුව, NW] කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න. මේ සියල්ලට උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.”—කොලොස්සි 3:13, 14.
“මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.”—යාකොබ් 1:19.
[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]
සාර්ථක ජීවිතයක් සඳහා ප්‍රඥාවන්ත වදන්
“හොර තරාදිය [යෙහෝවාට] පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට [ඔහු] ප්‍රසන්නය.”—හිතෝපදේශ 11:1.
“විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.”—හිතෝපදේශ 16:18.
“තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.”—හිතෝපදේශ 25:28.
“කෝපවීමට නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.”—දේශනාකාරයා 7:9.
“නුඹේ ආහාර ජලය මතුපිට දමන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.”—දේශනාකාරයා 11:1.
“නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.”—එපීස 4:29.
[7වන පිටුවේ පින්තූරය]
‘ප්‍රඥාවෙන්’ ප්‍රයෝජන ගැනීම සඳහා පළමු පියවර බයිබලය පාඩම් කිරීමයි