විමසිලිමත්ව සහ උත්සාහවන්තව සිටින්න!
“එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න.”—මතෙව් 25:13.
1. ප්‍රේරිත යොහන් බලා සිටියේ කුමක් දෙසද?
බයිබලයේ සඳහන් අවසාන දෙබසේදී යේසු මෙසේ පොරොන්දු වුණා: “මම ඉක්මනින් එමි.” එවිට ඔහුගේ ප්‍රේරිතයෙක් වූ යොහන් මෙලෙස පිළිතුරු දුන්නා: “ආමෙන්! ස්වාමි වූ යේසුස් එන්න.” යේසු එන බවට එම ප්රේරිතයාට කිසිම සැකයක් තිබුණේ නැහැ. “මෙම දේවල් සිදු වනු ඇත්තේ කවදාද? ඔබගේ පැමිණ සිටීමටත් [ග්‍රීක් භාෂාවෙන් ප·රූ·සීʹආ] දේවල පිළිවෙළේ නිමාවටත් ලකුණ කුමක් වනු ඇද්ද?” යන්න ඇසූ ප්‍රේරිතයන් අතර යොහන්ද සිටියා. ඇත්තෙන්ම, යොහන්, යේසුගේ අනාගතික පැමිණ සිටීම දෙස නිසැකභාවයකින් යුතුව බලා සිටියා.—එළිදරව් 22:20, NW; මතෙව් 24:3, NW.
2. යේසුගේ පැමිණ සිටීම සම්බන්ධයෙන් පල්ලිවල තිබෙන තත්වය කුමක්ද?
2 එවැනි නිසැකකමක් අදදින දුර්ලභයි. බොහෝ පල්ලිවල යේසුගේ “පැමිණ සිටීම” සම්බන්ධව නිල ඉගැන්වීමක් තිබෙන නමුත් එය ඇත්තටම පිළිගන්නේ ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් අතළොස්සක් පමණයි. ඔවුන් ජීවත් වන්නේ හරියට යේසු නොපැමිණෙනවා හා සමානවයි. නව ගිවිසුමේ පරූසීආ (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මෙසේ සඳහන් වෙනවා: “ජීවිතයට, චින්තනයට සහ පල්ලියේ ක්‍රියාවලට පරූසීආ නමැති බලාපොරොත්තුව ඇති කරන්නේ සුළු ඒකාන්ත බලපෑමකුයි. . . . පල්ලිය ඉමහත් හදිසිතාවකින් යුතුව භාරගත යුතු වූ පසුතැවිල්ල මෙන්ම ධර්ම දූතයන් ලවා සුවිශේෂය ප්‍රකාශ කිරීම හා බැඳි කටයුතු දුර්වල වී තිබෙනවා. එසේත් නැතහොත් සම්පූර්ණයෙන්ම නැති වී ගොස් තිබෙනවා.” නමුත් සෑම කෙනෙකුගේම නොවෙයි!
3. (අ) සැබෑ ක්‍රිස්තියානීන්ට ප·රූ·සීʹආ සම්බන්ධයෙන් හැඟෙන්නේ කෙසේද? (ආ) විශේෂාකාරයෙන් අප දැන් සලකා බලන්නේ කුමක්ද?
3 යේසුගේ සැබෑ ගෝලයන් වර්තමාන දේවල පිළිවෙළේ අවසානය පැමිණෙන තෙක් උනන්දුවෙන් බලා සිටිනවා. පක්ෂපාතව එසේ කරමින් සිටින අතරතුර, යේසුගේ පැමිණ සිටීමට ඇතුළත් වන සියල්ල සම්බන්ධයෙන් හරි ආකල්පයක් තබාගැනීම සහ ඒ අනුව ක්‍රියා කිරීම අපට අවශ්‍යයි. ‘අන්තිමය දක්වා විඳදරාගෙන ගැළවීමට’ එය අපට උපකාර වෙන්න යනවා. (මතෙව් 24:13, NW) මතෙව් 24 සහ 25වන පරිච්ඡේදවල දක්නට තිබෙන අනාවැකිය දෙන අතරේදී, අපේ දිගුකාලීන ප්‍රයෝජන සඳහා අදාළ කරගත හැකි ඥානවන්ත උපදෙස් යේසු සැපයුවා. කන්‍යාවන් දසදෙනා (නුවණැති හා නුවණ නැති කන්‍යාවන්) පිළිබඳ උපමාව සහ තලෙන්ත පිළිබඳ උපමාවද ඇතුළත්ව ඔබ දන්නවා විය හැකි උපමාවන් මතෙව් 25වන පරිච්ඡේදයේ අඩංගු වෙනවා. (මතෙව් 25:1-30) මෙම උපහැරණවලින් අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?
කන්‍යාවන් පස්දෙනා සිටියාක් මෙන් විමසිලිමත්ව සිටින්න!
4. කන්‍යාවන් පිළිබඳ උපමාවේ සාරය කුමක්ද?
4 ඔබ මතෙව් 25:1-13හි සඳහන් කන්‍යාවන් පිළිබඳ උපමාව නැවත කියවන්න කැමති විය හැකියි. මෙහි පසුබිම වන්නේ, විශාල යුදෙව් විවාහ මංගල්‍යයක් තුළදී මනමාලයා, මනමාලියව මනමාලයාගේ (හෝ ඔහුගේ පියාගේ) නිවසට ගෙනයෑම සඳහා ඇගේ පියාගේ නිවසට යන අවස්ථාවකුයි. එවැනි පෙරහැරකට වාදකයන් සහ ගායකයන් ඇතුළත් විය හැකි අතර පැමිණෙන වේලාව හරියටම දැනගන්න ලැබෙන්නේ නැහැ. උපමාවේ, කන්‍යාවන් දසදෙනෙක්, මනමාලයා පැමිණෙන තෙක් රෑ බෝ වන තුරුම බලාගෙන සිටියා. පස්දෙනෙක් අඥාන ලෙස ප්‍රමාණවත් අයුරින් තෙල් රැගෙන ආවේ නැති නිසා, ගොස් තව මිල දී ගැනීමට ඔවුන්ට සිදු වුණා. අනිත් පස්දෙනා ඥානවන්ත ලෙස භාජනවලට වැඩිපුර තෙල් රැගෙන ආ නිසා, පැමිණීම බලා සිටින අතරතුරදී අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ පහන්වලට නැවත පුරවන්න හැකි තත්වයක සිටියා. මනමාලයා පැමිණෙන විට තෙල් අතැතිව සූදානමින් සිටියේ මෙම පස්දෙනා පමණයි. එහෙයින් මංගල්‍යයට ඇතුල් වීමට ඉඩ ලැබුණේ ඔවුන්ට පමණයි. නුවණ නැති කන්‍යාවන් පස්දෙනා ආපසු පැමිණෙද්දී, ඇතුල් වීම සඳහා ඔවුන් ප්‍රමාද වැඩියි.
5. කන්‍යාවන් පිළිබඳ උපමාවේ සංකේතාත්මක අදහස තේරුම්ගැනීමට අපට උපකාර කරන්නේ කුමන ශුද්ධ ලියවිලි පදද?
5 මෙම උපමාවේ බොහෝ අංගයන් සංකේතාත්මක ලෙස තේරුම්ගත යුතුයි. උදාහරණයකට ශුද්ධ ලියවිලිවල යේසුව මනමාලයෙක් හැටියට විස්තර කරනවා. (යොහන් 3:28-30) සරණ මංගල්‍යයක් සූදානම් කරනු ලැබූ රජ කෙනෙකුගේ පුතෙකුට යේසු තමාව සමාන කළා. (මතෙව් 22:1-14) එමෙන්ම බයිබලය ක්‍රිස්තුස්ව ස්වාමිපුරුෂයෙකු හා සන්සන්දනය කරනවා. (එපීස 5:23) වැදගත් දෙයක් වන්නේ, වෙනත් අවස්ථාවලදී ආලේප ලත් ක්‍රිස්තියානීන්ව ක්‍රිස්තුස්ගේ ‘මනමාලිය’ ලෙස විස්තර කළද, උපමාවේ මනමාලියක් ගැන සඳහන් නොකිරීමයි. (යොහන් 3:29; එළිදරව් 19:7; 21:2, 9) කෙසේවෙතත් එහි කන්‍යාවන් දසදෙනෙකු ගැන කතා කරන අතර වෙනත් අවස්ථාවලදී ආලේප ලත් අයව, ක්‍රිස්තුස්ට විවාහ බස් දී ඇති කන්‍යාවකට සමාන කරනවා.—2 කොරින්ති 11:2.a
6. කන්‍යාවන් පිළිබඳ උපමාව අවසන් කරන විට යේසු දුන්නේ කිනම් අවවාදයද?
6 එවැනි තොරතුරුවල සහ ඕනෑම අනාවැකිමය අදාළ වීමකට අමතරව, අපට මේ උපමාවෙන් උගත හැකි කදිම ප්‍රතිපත්ති තිබෙනවා. උදාහරණයකට යේසු එය මෙම වචනවලින් අවසන් කරන බව සැලකිල්ලට ගන්න: “එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න.” එමනිසා මෙම උපමාව, ළඟා වෙන මෙම නපුරු පිළිවෙළේ අවසානය සම්බන්ධයෙන් අප එකිනෙකා විමසිලිමත්ව සහ අවදිව සිටීමේ අවශ්‍යතාව ගෙන හැර දක්වනවා. කිසිම සැකයක් නැතුව මෙම අවසානය පැමිණෙනවා. ඒ වුණත් අපට නිශ්චිතවම දවසක් පෙන්වන්න බැහැ. මේ සම්බන්ධයෙන් කන්‍යාවන් කණ්ඩායම් දෙක විදහාපෙන්වූ ආකල්ප සැලකිල්ලට ගන්න.
7. උපමාවේ කන්‍යාවන් පස්දෙනෙක් නුවණ නැත්තියන් බව ඔප්පු වූයේ කුමන අර්ථයෙන්ද?
7 යේසු මෙසේ පැවසුවා: “ඔවුන්ගෙන් පස්දෙනෙක් නුවණ නැත්තියෝය.” එසේ වූයේ ඔවුන් මනමාලයා එන බව විශ්වාස නොකළ නිසාද? ඔවුන් විනෝදය ලුහුබැඳීමට ඉවත්ව ගොස් සිටියාද? එසේත් නැතිනම් ඔවුන් මුළා වී සිටියාද? නැහැ. මේ පස්දෙනා “මනමාලයාගේ පෙරමගට ගිය” බව යේසු පැවසුවා. ඔහු එන බව ඔවුන් දැන සිටි අතර ඔවුන්ට “සරණ මංගල්‍යයට” හවුල් වීමට පවා අවශ්‍ය වුණා. ඒත් ඔවුන් ප්‍රමාණවත් ලෙස සූදානම් වී සිටියාද? ඔහු වෙනුවෙන් ‘මධ්‍යම රාත්‍රිය’ වන තුරු ටික වේලාවක් බලා සිටියත්, ඔවුන් ඔහුගේ පැමිණීම ඕනෑම වේලාවක පිළිගැනීමට සූදානමින් සිටියේ නැහැ. ඒ කියන්නේ ඔවුන් මුලින් බලාපොරොත්තු වූ වේලාවට වඩා කලින් වුණත්, පසුව වුණත්.
8. උපමාවේ කන්‍යාවන් පස්දෙනෙක් නුවණ ඇත්තියන් බව ඔප්පු වූයේ කෙසේද?
8 යේසු, නුවණ ඇත්තියන් ලෙස හැඳින්වූ අනිත් පස්දෙනාත් මනමාලයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් දල්වන ලද පහන් ඇතුව ගියා. ඔවුන්ටද මඟ බලාගෙන සිටීමට සිදු වුණත් ඔවුන් “නුවණ” ඇත්තියෝ වුණා. “නුවණ” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයෙන් “දූරදර්ශී, සිහි නුවණ ඇති, ප්‍රායෝගික ප්‍රඥාව” ඇතුව ක්‍රියා කිරීම අදහස් වෙනවා. අවශ්‍ය වූ විටක තම පහන් නැවත පිරවීම සඳහා වැඩිපුර තෙල් ඇතුළත් භාජන රැගෙන ඒමෙන්, මෙම පස්දෙනා තමන් නුවණ ඇත්තියන් බව ඔප්පු කළා. ඇත්තවශයෙන්ම, ඔවුන් මනමාලයාගේ පැමිණීම සඳහා සූදානම්ව සිටීම කෙරෙහි කොතරම් අවධානයක් දුන්නාද කියනවා නම් ඔවුන් තම තෙල් නොදී සිටීමට වගබලා ගත්තා. එසේ විමසිලිමත්ව සිටීම අපතේ ගියේ නැහැ. මන්දයත් මනමාලයා පැමිණි විට ඔවුන් එතැන සිටීමෙන් සහ සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටීමෙන් එය ඔප්පු වුණා. මෙම “සෑදී සිටියෝ ඔහු සමඟ සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසනලද්දේය.”
9, 10. කන්‍යාවන් පිළිබඳ උපමාවේ පරමාර්ථය කුමක්ද? එමෙන්ම අපෙන්ම අසාගත යුත්තේ කුමන ප්‍රශ්නද?
9 සරණ මංගල්‍යයකදී සුදුසු ලෙස හැසිරෙන ආකාරය ගැනවත්, තමන් සතු දේ අනිත් අය සමඟ බෙදාගැනීම සම්බන්ධයෙන්වත් යේසු පාඩමක් ඉදිරිපත් කරමින් සිටියා නොවෙයි. ඔහු ගෙනහැර දැක්වූ කාරණය වූයේ, “දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න” කියා උනන්දු කිරීමයි. ඔබෙන්ම මෙසේ අසාගන්න: ‘යේසුගේ පැමිණ සිටීම සම්බන්ධයෙන් මම ඇත්තටම විමසිලිමත්ව සිටිනවාද?’ යේසු දැන් ස්වර්ගයේ රාජ්‍ය පාලනයෙහි නිරත වන බව අප විශ්වාස කරනවා. නමුත් ‘මනුෂ්‍ය පුත්‍රයා ඉක්මනින්ම බලයෙන්ද, මහත් තේජසින්ද අහසේ වලාකුළු පිට එන බවට’ තිබෙන යථාර්ථයට අප කොතරම් දුරටද අවධානය දී තිබෙන්නේ? (මතෙව් 24:30) කන්‍යාවන් මුලින්ම මනමාලයාව බැලීමට ගිය අවස්ථාවට වඩා ‘මධ්‍යම රාත්‍රිය’ වන විට ඔහුගේ පැමිණීම නියතවශයෙන්ම ආසන්න වී තිබුණා. ඒ හා සමානව, අප මනුෂ්‍ය පුත්‍රයාගේ ඊම දෙස බලා සිටීමට පටන්ගත් දාට වඩා, වත්මන් නපුරු පිළිවෙළ විනාශ කිරීම සඳහා ඔහුගේ පැමිණීම ආසන්න වී තිබෙනවා. (රෝම 13:11-14) එම කාලය ළඟා වන නිසා පෙරටත් වඩා විමසිලිමත් වෙමින්, අපේ විමසිලිමත්භාවය දිගටම පවත්වාගෙන ගොස් තිබෙනවාද?
10 “අවදිව සිටින්න” යන ආඥාවට කීකරු වීම සඳහා නොකඩවා විමසිලිමත්ව සිටීම අවශ්‍ය වෙනවා. කන්‍යාවන් පස්දෙනා, තමන්ගේ තෙල් ඉවර වූ නිසා තව මිල දී ගැනීමට ගියා. ඒ හා සමානව, අදදින ක්‍රිස්තියානියෙකුගේ අවධානය කොතරම් දුරට වෙනතකට යොමු වී ඇද්ද කිවහොත්, ඉතා ආසන්නයේ තිබෙන යේසුගේ පැමිණීම සඳහා ඔහු පූර්ණ ආකාරයෙන් සූදානම්ව නොසිටිය හැකියි. එය පළමු ශතවර්ෂයේ සමහර ක්‍රිස්තියානීන්ට සිදු වුණා. එය අදදින ඇතැම් අයට සිදු විය හැකියි. එමනිසා අපෙන්ම මෙසේ අසා ගනිමු: ‘එය මට සිදු වෙමින් තිබෙනවාද?’—1 තෙසලෝනික 5:6-8; හෙබ්‍රෙව් 2:1; 3:12; 12:3; එළිදරව් 16:15.
අවසානය ආසන්න වෙද්දී උත්සාහවන්තව සිටින්න
11. යේසු ඊළඟට දුන්නේ කුමන උපමාවද? එමෙන්ම එය සමාන වූයේ කුමකටද?
11 ඔහුගේ ඊළඟ උපමාවේදී, යේසු තම අනුගාමිකයන්ට විමසිලිමත්ව සිටීමට උනන්දු කරනවාට වඩා වැඩි යමක් කරයි. නුවණැති හා නුවණ නැති කන්‍යාවන් ගැන පැවසීමෙන් පසු ඔහු තලෙන්ත පිළිබඳ උපහැරණය ගෙන හැර දක්වනවා. (මතෙව් 25:14-30 කියවන්න.) මෙය බොහෝ පැතිවලින් ඔහු කලින් සඳහන් කළ පවුම් පිළිබඳ උපමාවට සමාන වෙනවා. බොහෝදෙනෙක් ‘දෙවිගේ රාජ්‍යය වහාම එළිදරව් වේයයි සිතූ බැවින්’ යේසු එම උපමාව පැවසුවා.—ලූක් 19:11-27.
12. තලෙන්ත පිළිබඳ උපමාවේ සාරය කුමක්ද?
12 වෙනත් රටකට ගමනක් යෑමට ප්‍රථමයෙන් දාසයන් තුන්දෙනෙකුව කැඳවූ මනුෂ්‍යයෙක් ගැන තලෙන්ත පිළිබඳ උපමාවේදී යේසු පැවසුවා. ඔහු, එක්කෙනෙකුට තලෙන්ත පහක්, තවත් කෙනෙකුට තලෙන්ත දෙකක් සහ අවසාන තැනැත්තාට එක තලෙන්තයක් බැගින් “එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට” බාර දුන්නා. මෙය රිදී තලෙන්තයක් එනම් එදා කම්කරුවෙක් අවුරුදු 14ක් තුළදී උපයන සම්මත මුදල් ප්‍රමාණයක් වූවා විය හැකියි. එය විශාල මුදලක්! මනුෂ්‍යයා නැවත පැමිණි විට, ඔහු ඉවත්ව සිටි ‘බොහෝ කාලය’ තුළ ඔවුන් කළ දේ සම්බන්ධයෙන් වාර්තාවක් ඔහු දාසයන්ගෙන් ලබාගත්තා. පළමු දාසයන් දෙදෙනා ඔවුන්ට විශ්වාසයෙන් බාර දුන් දෙයෙහි වටිනාකම දෙගුණ කර තිබුණා. “ඒ යහපත” කියා ඔහු පැවසූ අතර, එක් එක් දාසයාට තවත් වැඩියෙන් වගකීම් දීමට පොරොන්දු වී මෙසේ අවසන් කළා: “නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්න.” ස්වාමියා අධික ලෙස ඉල්ලා සිටිනවායයි පවසමින් එක් තලෙන්තයක් ඇතුව සිටි දාසයා එය, ලාභයක් උපදවන කිසිම කටයුත්තකට යෙදෙව්වේ නැහැ. පොලියක් උපදවාගැනීම සඳහා බැංකුවේවත් තැන්පත් කරන්නේ නැතුව, ඔහු මුදල් සඟවා තැබුවා. ඔහු තම ස්වාමියාගේ කැමැත්තට විරුද්ධව කටයුතු කළ නිසා, “දුෂ්ටවූ අලසවූ දාසය” කියා ස්වාමියා ඔහුව ඇමතුවා. ප්‍රතිඵලයක් වශයෙන් තලෙන්තය ඔහුගෙන් ගත් අතර, ඔහුව “හැඬීමත් දත්මිටිකෑමත්” තිබෙන්න යන පිටතට ඇද දැම්මා.
13. යේසු තම උපමාවේ සිටින ස්වාමියා මෙන් වූ බව පෙන්වූයේ කෙසේද?
13 නැවතත් මෙහි තොරතුරු සංකේතාත්මකව තේරුම්ගත හැකියි. උදාහරණයකට, වෙනත් රටකට යන මනුෂ්‍යයාව යේසුට යොමු දැක්වූ අතර, ඔහු තම ගෝලයන්ව අතහැර ස්වර්ගයට ගොස් ඔහුට රාජ්‍ය බලය ලැබෙන තෙක් දිගු කාලයක් නැවතී සිටිනවා.b (ගීතාවලිය 110:1-4; ක්‍රියා 2:34-36; රෝම 8:34; හෙබ්‍රෙව් 10:12, 13) නැවතත් අප සියලුදෙනාම අදාළ කරගත යුතු පුළුල් පාඩමක් හෝ ප්‍රතිපත්තියක් අපට දැකගත හැකියි. එය කුමක්ද?
14. තලෙන්ත පිළිබඳ උපමාවේ කාවද්දවන්නේ කිනම් වැදගත් අවශ්‍යතාවද?
14 අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ අමරණීය ජීවිතයක් වූවත්, පාරාදීසයක සදාකාලික ජීවිතයක් වූවත්, අප ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව යේසුගේ උපමාවෙන් අපට පැහැදිලියි. ඇත්තවශයෙන්ම මෙම උපමාවේ පණිවුඩය මෙසේ එක් වචනයකින් කැටි කොට දක්වන්න පුළුවන්: එනම් උත්සාහවන්තභාවය. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේ සිට ඉදිරියට ප්‍රේරිතයන් ආදර්ශයක් තැබුවා. අපට මෙසේ කියවීමට තිබෙනවා: “වෙනත් බොහෝ වචනවලින් [පේතෘස්] සාක්ෂිදී: මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්නය කියමින් අවවාදකෙළේය.” (ක්‍රියා 2:40-42) ඔහුගේ උත්සාහයට මොනතරම් කදිම ප්‍රතිඵල ලැබුණාද! ක්‍රිස්තියානි දේශනා කිරීමේ කාර්යයට වෙනත් අය එක් වූ විට, ‘මුළු ලෝකයෙහි වර්ධනය වන’ ශුභාරංචිය වෙනුවෙන් ඔවුනුත් උත්සාහවන්තව කටයුතු කළා.—කොලොස්සි 1:3-6, 23; 1 කොරින්ති 3:5-9.
15. තලෙන්ත පිළිබඳ උපමාවේ හරය අප අදාළ කරගත යුත්තේ කිනම් විශේෂ ආකාරයෙන්ද?
15 මෙම උපමාවේ අවට පාඨ සම්බන්ධය මනසේ තබාගන්න. එනම් යේසුගේ පැමිණ සිටීම සම්බන්ධයෙන් අනාවැකියක්. යේසුගේ ප·රූ·සීʹආ සිදු වෙමින් පවතින බවටත් ඉක්මනින්ම උච්ච අවස්ථාවකට ළඟා වන බවටත් අපට බොහෝ ස්ථිර වූ සාක්ෂි තිබෙනවා. “අන්තිමය” සහ ක්‍රිස්තියානීන්ට කිරීමට අවශ්‍ය වූ වැඩය අතර යේසු ඇති කළ සම්බන්ධතාව මතක් කරගන්න: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) මෙය මනසේ තබාගෙන, අප සමාන වන්නේ කිනම් දාසයාටද? ඔබෙන්ම මෙසේ අසාගන්න: ‘ඇතැම්විට තමාගේම කාරණා ගැන සැලකිලිමත් වෙමින් සිටි අතරේ, ඔහුට විශ්වාසයෙන් භාර දුන් දෙය සඟවා තැබූ දාසයාට මම සමාන වන බව නිගමනය කිරීමට හේතු තියෙනවාද? එසේ නැතිනම් මම, යහපත් ලෙස හා විශ්වාසවන්තව සිටි අය මෙන් වන බව පැහැදිලිද? මම සැම අවස්ථාවකදීම ස්වාමියාගේ කැමැත්ත වර්ධනය කිරීම සඳහා සම්පූර්ණයෙන්ම බැඳී සිටිනවාද?’
ඔහුගේ පැමිණ සිටීම අතරතුරේ විමසිලිමත්ව සහ උත්සාහවන්තව
16. අප සාකච්ඡා කළ උපමාවන් දෙක ඔබට ඉදිරිපත් කරන්නේ කිනම් පණිවුඩයද?
16 ඒවායේ තිබෙන සංකේතාත්මක සහ අනාවැකිමය අර්ථයට අමතරව මෙම උපමාවන් දෙක යේසුගේ මුවෙන් පැමිණෙන පැහැදිලි දිරිගැන්වීමක් අපට ඉදිරිපත් කරනවා. ඔහුගේ පණිවුඩය වූයේ මෙයයි: විශේෂයෙන්ම ක්‍රිස්තුස්ගේ ප·රූ·සීʹආ ලකුණ දකින විට විමසිලිමත්ව සිටින්න; උත්සාහවන්තව සිටින්න. එය සිදු වන්නේ දැන්. එහෙයින් අප ඇත්තෙන්ම විමසිලිමත්ව සහ උත්සාහවන්තව සිටිනවාද?
17, 18. යේසුගේ පැමිණ සිටීම සම්බන්ධයෙන් ශ්‍රාවක යාකොබ්ගේ උපදෙස වූයේ කුමක්ද?
17 යේසුගේ අර්ධ සහෝදර යාකොබ් යේසුගේ අනාවැකිය අසන්න ඔලීව කන්දේ සිටියේ නැහැ. නමුත් පසුව ඔහු එය දැනගත් අතර ඔහු පැහැදිලිවම එහි තිබෙන වැදගත්කම උකහාගත්තා. ඔහු මෙසේ ලිව්වා: ‘එබැවින්, සහෝදරයෙනි, ස්වාමීන්ගේ ඊම [පැමිණ සිටීම, NW] දක්වා ඉවසන්න. බලව, ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසමින් ගොවියා පොළොවේ අනර්ඝ ඵල ගැන බලා සිටී. නුඹලාත් ඉවසිල්ලෙන් සිටින්න; ස්වාමීන්ගේ ඊම [පැමිණ සිටීම, NW] ළංව තිබෙන බැවින් නුඹලාගේ සිත් ස්ථිර කරගන්න.’—යාකොබ් 5:7, 8.
18 තම ධනය වැරදි ලෙස භාවිත කරන අයව දෙවි අහිතකර ලෙස විනිශ්චය කරන බව සහතික කිරීමෙන් පසුව, යෙහෝවා ක්‍රියා කරන තෙක් බලා සිටින අතරතුරේදී ඉවසිලිවන්තව සිටින ලෙස යාකොබ් ක්‍රිස්තියානීන්ට උනන්දු කළා. නොඉවසිලිවන්ත ක්‍රිස්තියානියෙක්, වැරදිවලට සුදුසු ප්‍රතිවිපාක දීම තමාගේ අයිතියක් කියා සිතා පළිගැනීමට නැඹුරු විය හැකියි. විනිශ්චයේ දවස නියතවශයෙන්ම පැමිණීමට තිබෙන නිසා එය කළ යුතු නැහැ. යාකොබ් පැහැදිලි කළ ආකාරයට ගොවියෙක් පිළිබඳව උපමාවෙන් එය පැහැදිලි වෙනවා.
19. ඉශ්රායෙල් ගොවියෙකුට කිනම් ආකාරයේ ඉවසිලිවන්තකමක් පැවැත්වීමට හැකි වුණාද?
19 බීජ වැපුරූ ඉශ්රායෙල් ගොවියෙකුට, පළමුවෙන්ම කොළය මතු වෙන තෙක්, ඉන්පසු පැළය මෝරන තෙක් සහ අවසාන වශයෙන් අස්වැන්න එන තෙක් බලා සිටීමට සිදු වුණා. (ලූක් 8:5-8; යොහන් 4:35) එම මාස කීපය අතරතුරේදී ඇතැම්විට යම් සිත්තැවුල් ඇති වූ අවස්ථාවන් සහ ඊට හේතුත් තිබුණා විය හැකියි. මුල් වර්ෂාව ප්‍රමාණවත් ලෙස පැමිණෙයිද? පසුව ඇති වන වර්ෂාවන් ගැන කුමක් කියන්න පුළුවන්ද? කෘමීන්ගෙන් හෝ කුණාටුවකින් පැළ විනාශ වෙයිද? (සසඳන්න යෝවෙල් 1:4; 2:23-25.) කොහොමවුණත්, සමස්තයක් වශයෙන් ඉශ්රායෙල් ගොවියෙකුට යෙහෝවා සහ ඔහු ඇති කළ ස්වාභාවික චක්‍රය කෙරෙහි විශ්වාසය තබන්න හැකි වුණා. (ද්විතීය කථාව 11:14; යෙරෙමියා 5:24) ගොවියාගේ ඉවසීම, විශ්වාසයෙන් යුතුව අපේක්ෂාසහගත වීමක් සේ සැලකිය හැකියි. ඔහු බලාපොරොත්තුවෙන් සිටින දේ පැමිණෙන බව, විශ්වාසය තුළින් ඔහු දැන සිටියා. එය ඇත්තෙන්ම පැමිණෙනවා!
20. යාකොබ්ගේ උපදෙසට එකඟව අපට ඉවසිලිවන්තකම විදහාපෙන්විය හැක්කේ කොහොමද?
20 අස්වැන්න ලැබෙන්නේ කවදාද කියා ගොවියෙකුට යම් දැනුමක් තිබෙනවා විය හැකි වුවත්, පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ට යේසුගේ පැමිණ සිටීම සිදු වන්නේ කවදාද කියා ගණන් බැලීමට හැකි වූයේ නැහැ. ඒ වුණත් එය ස්ථිරවම පැමිණීමට නියමිතව තිබුණා. යාකොබ් මෙසේ ලිව්වා: ‘ස්වාමීන්ගේ ඊම [පැමිණ සිටීම, ග්‍රීක් භාෂාවෙන් ප·රූ·සීʹආ] ළංව තිබේ.’ යාකොබ් එම වදන් ලියන අවස්ථාවේදී, මහා පරිමාණයකින් හෝ ලෝක ව්‍යාප්තව ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේ ලකුණ පෙනෙන්න තිබුණේ නැහැ. නමුත් දැන් එය පෙනෙන්න තිබෙනවා! එනිසා මේ කාලපරිච්ඡේදය ගැන අපට හැඟිය යුත්තේ කෙසේද? ලකුණ ඇත්තටම දෘශ්‍යමානව තිබෙනවා. අප එය දකිනවා. අපට සහතිකවම මෙසේ කියන්න පුළුවන්: ‘මම ලකුණ ඉටු වෙනවා දකිනවා.’ නිසැකභාවයකින් යුතුව අපට මෙසේ පවසන්න පුළුවන්: ‘ස්වාමීන්ගේ පැමිණ සිටීම දැන් අපි ඉදිරියේ. ඒකේ උච්චාවස්ථාව අත ළඟටම ඇවිල්ලා.’
21. අප සම්පූර්ණයෙන්ම බැඳී තිබෙන්නේ කුමක් කිරීමටද?
21 ස්වාමීන්ගේ පැමිණ සිටීම ළංව තිබෙන නිසා, අප සාකච්ඡා කළ යේසුගේ උපමාවන් දෙකේ මූලික පාඩම් හෘදයට ගෙන අදාළ කරගැනීමට අපට විශේෂයෙන්ම ප්‍රබල හේතු තිබෙනවා. ඔහු මෙසේ පැවසුවා: “එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න.” (මතෙව් 25:13) අපේ ක්‍රිස්තියානි සේවය තුළ ජ්වලිතව සිටීම සඳහා කාලය දැන් බවට කිසිම සැකයක් නැහැ. යේසුගේ අරමුණ අපි තේරුම්ගෙන සිටින බව දිනපතා අපගේ ජීවිතයෙන් පෙන්වමු. අපි විමසිලිමත්ව සිටිමු! උත්සාහවන්තව සිටිමු!
[පාදසටහන්වල]
a උපමාවේ සංකේතාත්මක තොරතුරු ලබාගැනීම සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත අවුරුදු දහසකින් යුත් දෙවිගේ රාජ්‍යය පැමිණ තිබේ (ඉංග්‍රීසියෙන්) යන පොතේ 169-211 දක්වා පිටු බලන්න.
ඔබට මතකද?
◻ නුවණ ඇති සහ නුවණ නැති කන්‍යාවන් පිළිබඳ උපමාවෙන් ඔබ ලබාගෙන තිබෙන්නේ කිනම් මූලික පණිවුඩයද?
◻ තලෙන්ත පිළිබඳ උපමාවෙන් යේසු ඔබට ඉදිරිපත් කරමින් සිටින්නේ කිනම් මූලික උපදෙසද?
◻ ඉශ්රායෙල් ගොවියෙකුට සිදු වූවාක් මෙන් ඔබේ ඉවසීම ප·රූ·සීʹආවලට සම්බන්ධ වන්නේ කිනම් අර්ථයෙන්ද?
◻ ජීවත් වීමට සිදු වී තිබෙන මෙම කාලය විශේෂයෙන්ම උනන්දුව ඇති කරවන සහ අභියෝගාත්මක කාලයක් වන්නේ මන්ද?
[23වන පිටුවේ පින්තූර]
කන්‍යාවන් පිළිබඳ උපමාවෙන් සහ තලෙන්ත පිළිබඳ උපමාවෙන් ඔබ ඉගෙනගන්නේ කිනම් පාඩම්ද?