ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 3/15 19-24 පි.
  • තලෙන්ත ගැන උපමාවෙන් ඉගෙනගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තලෙන්ත ගැන උපමාවෙන් ඉගෙනගමු
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දාසයන්ට විශාල මුදලක් භාර දෙයි
  • අවසාන කාලෙදී දාසයන් තලෙන්ත වැඩි කරගනියි
  • ස්වාමියා එන්නේ කවදද?
  • දුෂ්ට, කම්මැළි දාසයා
  • පැවරුම කඩිසරව ඉටු කිරීම ගැන පාඩමක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • අනතුරු ඇඟවීම් ඔයා හිතට ගන්නවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘විශ්වාසවන්ත දාසයා’ පරීක්ෂණයෙන් සමත් වෙයි!
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන්තිම දවස් සඳහා ලකුණ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 3/15 19-24 පි.
එක දාසයෙක් තලෙන්ත පහක් යොදාගෙන වෙළඳාම් කරනවා, අනිත් දාසයා තලෙන්ත දෙකක් යොදාගෙන වෙළඳාම් කරනවා, තුන්වෙනි දාසයා තලෙන්තය පොළොව යට සඟවලා නිදාගනියි

තලෙන්ත ගැන උපමාවෙන් ඉගෙනගමු

“ඔහු එක් කෙනෙකුට තලෙන්ත පහක්ද තව කෙනෙකුට දෙකක්ද තවත් කෙනෙකුට එකක්ද බැගින් දුන්නා.”—මතෙ. 25:15.

හිතලා බලලා කියන්න

  • යේසුස් තලෙන්ත ගැන උපමාව කිව්වේ ඇයි?

  • ගණන් හිලව් බලන්න ස්වාමියා එන්නේ කවදද?

  • තලෙන්ත ගැන උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

1, 2. යේසුස් තලෙන්ත ගැන උපමාව කිව්වේ ඇයි?

යේසුස් තලෙන්ත ගැන උපමාව කිව්වේ ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන්ට භාර දීලා තියෙන වගකීම ගැන පැහැදිලි කරන්නයි. ඒ උපමාව තේරුම්ගන්න එක අභිෂේක ලත් අයට වගේම වෙනත් බැටළුවන්ටත් හුඟක් වැදගත්.

2 යේසුස් ඒ උපමාව කිව්වේ තමන් රජ වෙන කාලය දැනගන්නත් අවසාන කාලේ ආරම්භය ගැන දැනගන්නත් උදව් වෙන ලකුණක් ගැන කියපු වෙලාවෙයි. (මතෙ. 24:3) එහෙමනම් තලෙන්ත ගැන උපමාවත් අපේ කාලේ ඉටු වෙන ඒ ලකුණේ කොටසක් කියලා පැහැදිලියි.

3. මතෙව් 24 සහ 25වෙනි පරිච්ඡේදවල තියෙන උපමාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

3 යේසුස් තලෙන්ත ගැන උපමාව කියපු වෙලාවෙම තව උපමා 3ක් කිව්වා. ඒ උපමාත් අවසාන කාලය ගැන යේසුස් කියපු ලකුණේ කොටසක්. ඒ හැම උපමාවකින්ම තමන්ගේ අනුගාමිකයන් තුළ තියෙන්න ඕන විශේෂ දේවල් කීපයක් ගැන කාවද්දනවා. ඒ උපමා මතෙව් 24:45 සිට 25:46 දක්වා සඳහන් වෙනවා. පළවෙනි උපමාව විශ්වාසවන්ත දාසයා ගැන උපමාව. දෙවිගේ සෙනඟට උගන්වන වගකීම භාර දීලා තියෙන අභිෂේක ලත් කුඩා කණ්ඩායමක් ගැන එතන කතා කරනවා. ඔවුන් විශ්වාසවන්ත සහ නුවණ ඇති අය වෙන්න ඕනේ.a දෙවෙනි උපමාව අවිවාහක තරුණියන් දහදෙනා ගැන උපමාවයි. ඒ උපමාවෙන් යේසුස් අභිෂේක ලත් හැම කෙනෙක්ටම අනතුරු ඇඟෙව්වේ ඔවුන් සූදානමින් සහ සෝදිසියෙන් ඉන්න ඕනෙ කියලයි. මොකද ඔහු එන දවසවත් පැයවත් ඔවුන් දන්නේ නැහැ.b තුන්වෙනි උපමාව තමයි තලෙන්ත ගැන උපමාව. අභිෂේක ලත් හැමෝම ඔවුන්ට භාර දීලා තියෙන වගකීම මහන්සි වෙලා ඉටු කරන්න ඕනෙ කියලා උගන්වන්නයි යේසුස් ඒක කිව්වේ. අන්තිමට ඔහු බැටළුවන් සහ එළුවන් ගැන උපමාව කිව්වා. ඒක ඔහු කිව්වේ පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුව තියෙන අයටයි. ඔවුන් දිගටම අභිෂේක ලත් සහෝදරයන්ට විශ්වාසවන්තව ඉන්න ඕනෙ කියලත් ඒ අයට සහයෝගය දක්වන්න ඔවුන්ට පුළුවන් හැම දේම කරන්න ඕනෙ කියලත් යේසුස් ඒ උපමාවෙන් කාවැද්දුවා.c තලෙන්ත ගැන උපමාවෙන් කියන්න හදන පාඩම ගැන බලමු.

දාසයන්ට විශාල මුදලක් භාර දෙයි

4, 5. උපමාවේ කතා කරන ස්වාමියා කවුද? තලෙන්තයක වටිනාකම කොච්චරද?

4 මතෙව් 25:14-30 කියවන්න. යේසුස් තලෙන්ත ගැන උපමාවෙන් පිටරටකට යන ස්වාමියෙක් ගැන කියනවා. ඒ ස්වාමියා යේසුස් කියලත් ඔහු ගිය ගමනෙන් ක්‍රි.ව. 33දී යේසුස් ස්වර්ගයට ගිය අවස්ථාව අදහස් කරනවා කියලත් කාලයක ඉඳන් අපේ ප්‍රකාශනවල විස්තර කරනවා. යේසුස් එහෙම ගියේ ඇයි? ඒකට උත්තර යේසුස් කියපු මේ හා සමාන උපමාවකින් දැනගන්න පුළුවන්.d ඒ උපමාවේ ස්වාමියා දුර රටකට යන්නේ “රජකම ලබාගැනීම සඳහායි.” (ලූක් 19:12) ක්‍රි.ව. 33දී යේසුස් ස්වර්ගයට ගිය ගමන්ම ඔහුට රජකම ලැබුණේ නැහැ. ඔහු “සතුරන්ව තම පා පුටුව ලෙස යටත් කරන තුරු” බලාගෙන හිටියා. ඒක වුණේ 1914දියි.—හෙබ්‍රෙ. 10:12, 13.

5 උපමාවේ ස්වාමියාට තලෙන්ත අටක් තිබුණා. ඒක විශාල මුදලක්.e ඔහු ගමන යන්න කලින් ඒ විශාල මුදල දාසයන් තුන්දෙනෙකුට බෙදලා දෙනවා. ඒ මුදල් යොදවලා ඔවුන් තවත් මුදල් හම්බ කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. මොකද ඒ මුදල් ඔහුට හුඟක් වටිනවා. ඒ වගේ යේසුස්ටත් හුඟක් වටින දෙයක් තිබුණා. ඒ තමයි ඔහු පොළොවේ ඉද්දී කරපු දේශනා කිරීමේ කාර්යය.

6, 7. තලෙන්තවලින් අදහස් කරන්නේ මොකක්ද?

6 යේසුස් කරපු දේශනා කිරීමේ කාර්යය නිසා හුඟක් අයට ඔහුගේ ගෝලයන් වෙන්න පුළුවන් වුණා. (ලූක් 4:43 කියවන්න.) ඒත් ශුභාරංචිය පිළිගන්න තව විශාල සෙනඟක් ඉන්නවා කියලා ඔහු දැනගෙන හිටියා. ‘ඔබේ ඇස් ඇර බලන්න. අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්. කරල් පැසී තිබෙන හැටි බලන්න’ කියලා ඔහු තමන්ගේ ගෝලයන්ට කිව්වේ ඒ නිසයි. (යොහ. 4:35-38) හොඳ ගොවියෙක් කවදාවත් අස්වැන්න නෙළන්න තියෙන කෙතක් අත්හරින්නේ නැහැ. යේසුත් ඒ වගේ. ඒ නිසා ස්වර්ගයට යන්න ටිකකට කලින් ඔහු තමන්ගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.’ (මතෙ. 28:18-20) ඒකෙන් තේරෙන්නේ යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන්න වටිනා වස්තුව ශුභාරංචිය දේශනා කිරීමේ වගකීම කියන එක නේද?—2 කොරි. 4:7.

7 තමන්ගේ මුදල් දාසයන්ට දුන්න ස්වාමියා වගේ යේසුත් දේශනා කිරීමේ සහ මිනිසුන්ට ඔහුගේ ගෝලයන් වෙන්න උදව් කරන කාර්යය තම අභිෂේක ලත් අනුගාමිකයන්ට භාර දුන්නා. (මතෙ. 25:14) එහෙමනම් තලෙන්තවලින් අදහස් කළේ ඒ කාර්යය කියලා පැහැදිලියි.

8. සේවකයන් එක් එක් කෙනාට දුන්න තලෙන්ත ගාණ වෙනස් වුණත් ස්වාමියා ඒ තුන්දෙනාගෙන්ම බලාපොරොත්තු වුණේ මොකක්ද?

8 ස්වාමියා පළවෙනි සේවකයාට තලෙන්ත පහක් දුන්නා. දෙවෙනි සේවකයාට තලෙන්ත දෙකකුත් තුන්වෙනි සේවකයාට එක තලෙන්තයකුත් දුන්නා. (මතෙ. 25:15) සේවකයන් එක් එක් කෙනාට දුන්න තලෙන්ත ගාණ වෙනස් වුණත් ස්වාමියා ඒ තුන්දෙනාගෙන්ම බලාපොරොත්තු වෙන්නේ එකම දෙයයි. ඒ තමයි ඔවුන්ට පුළුවන් උපරිමය කරලා ඒ තලෙන්තවලින් ඔහුට තවත් මුදල් හම්බ කරන එක. තමන්ගේ අභිෂේක ලත් අනුගාමිකයන්ගෙන් යේසුස්ට ඕනෙ වුණෙත් ඒ වගේම දෙයක්. ඒ තමයි ශුභාරංචිය දේශනා කරන කාර්යය ඔවුන්ට පුළුවන් උපරිමයෙන් කරන එක. (මතෙ. 22:37; කොලො. 3:23) ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසෙදී ඔහුගේ අනුගාමිකයන් සියලු ජාතීන්ට දේශනා කරන්න පටන්ගත්තා. ඔවුන් ශුභාරංචිය දේශනා කරන්න කොයි තරම් මහන්සි වුණාද කියලා ක්‍රියා පොතේ සඳහන් වෙනවා.f—ක්‍රියා 6:7; 12:24; 19:20.

අවසාන කාලෙදී දාසයන් තලෙන්ත වැඩි කරගනියි

9. (අ) විශ්වාසවන්ත දාසයන් දෙන්නම තමන්ට ලැබුණු මුදලෙන් කළේ මොකක්ද? ඒකෙන් අදහස් කළේ මොකක්ද? (ආ) වෙනත් බැටළුවන් කරන්න ඕනෙ මොකක්ද?

9 පළවෙනි සහ දෙවෙනි දාසයා ස්වාමියා දුන්න මුදල ඥානවන්තව පාවිච්චි කළා. ඔවුන් දෙන්නගෙන් අවසාන කාලේ ජීවත් වෙන විශ්වාසවන්ත අභිෂේක ලත් අයව නියෝජනය කරනවා. විශේෂයෙන්ම 1919 ඉඳන් ඔවුන් උපරිමයෙන් දේශනා කිරීමේ කාර්යය කරමින් ඉන්නවා. පළවෙනි දාසයාටයි දෙවෙනි දාසයාටයි දුන්න තලෙන්ත ගාණ වෙනස්. ඒත් ඒකෙන් අදහස් කළේ විශ්වාසවන්ත අභිෂේක ලත් කණ්ඩායම් දෙකක් ඉන්නවා කියන එක නෙමෙයි. ඒ දාසයන් දෙන්නම හුඟක් මහන්සි වෙලා ඔවුන්ට ලැබුණු මුදල වගේ දෙගුණයක් හම්බ කළා. දේශනා කිරීමේ කාර්යයේ උපරිමයෙන් හවුල් වෙන්න ඕනෙ අභිෂේක ලත් අය විතරද? නැහැ. බැටළුවන් සහ එළුවන් ගැන උපමාවෙන් යේසුස් ඉගැන්නුවේ පොළොවේ සදාකල් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් දේශනා කිරීමේ කාර්යය කරන්න අභිෂේක ලත් අයට උදව් කරන්න ඕනෙ කියලයි. ඒ වගේම අභිෂේක ලත් අය එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕනෙ කියලයි. එහෙම කරන්න ලැබුණු එක ඔවුන් සලකන්නේ තමන්ට ලැබුණු ගෞරවයක් විදිහට. යෙහෝවා දෙවිගේ සෙනඟ “එක රැළක්” වගේ එකමුතුව දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කාර්යයේ හවුල් වෙනවා.—යොහ. 10:16.

10. අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ කියලා පැහැදිලි වෙන්නේ යේසුස් දුන්න ලකුණේ මොන අංගය නිසාද?

10 යේසුස් ඔහුගේ හැම අනුගාමිකයෙකුගෙන්ම බලාපොරොත්තු වෙන්නේ බොහෝදෙනෙකුට ඔහුගේ ගෝලයන් වෙන්න වෙහෙස මහන්සි වෙලා උදව් කරයි කියලයි. පළවෙනි සියවසේ හිටපු ඔහුගේ අනුගාමිකයන් ඒ දේ කළා. තලෙන්ත ගැන උපමාව ඉටු වෙන මේ අවසාන කාලේ ඉන්න යේසුස්ගේ අනුගාමිකයනුත් ඒ කාර්යය ඒ විදිහටම කරනවද? ඔව්. මීට කලින් කවදාවත් අහපු නැති තරමේ විශාල සෙනඟකට දැන් ශුභාරංචිය අහන්න ලැබිලා. වෙන කවරදාකටත් වඩා වැඩිදෙනෙක් දැන් යේසුස්ගේ අනුගාමිකයන් වෙනවා. ඒ හැම දේම වෙන්නේ ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් වෙහෙස මහන්සි වෙලා ශුභාරංචිය දේශනා කරන නිසා. එක අවුරුද්දකදී විතරක් දසදහස් ගාණක් බව්තීස්ම වෙනවා. ඊටපස්සේ ඔවුනුත් දේශනා කරන්න හවුල් වෙනවා. ඒ හැම දේකින්ම ඔප්පු වෙන්නේ මොකක්ද? දැන් සිද්ධ වෙන දේශනා කිරීමේ කාර්යය අවසාන දවස් ගැන යේසුස් දුන්න ලකුණේ ප්‍රධාන අංගයක් කියන එක නේද? තම අනුගාමිකයන් ගැන යේසුස් මොන තරම් සතුටු වෙනවා ඇද්ද!

යෙහෝවා දෙවිගේ සෙනඟ යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට විවිධ විදිවලින් උදව් කරනවා

යේසුස් තම සේවකයන්ට දේශනා කිරීම කියන වටිනා වස්තුව භාර දුන්නා (10 ඡේදය බලන්න)

ස්වාමියා එන්නේ කවදද?

11. යේසුස් මහත් පීඩාව අතරතුරේ එනවා කියලා අපි දන්නේ කොහොමද?

11 “බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඔවුන් සමඟ ගණන් හිලව් බැලීමට පැමිණියා” කියලා යේසුස් කිව්වා. (මතෙ. 25:19) යේසුස් එන්නේ මහත් පීඩාව අවසන් වෙන්න කිට්ටුව. අපි ඒක දන්නේ කොහොමද? මතෙව් 24 සහ 25වෙනි පරිච්ඡේදවල යේසුස් කියපු අනාවැකියේ තමන්ගේ පැමිණීම ගැන ඔහු කීප වතාවක්ම කියනවා. ඒවාවලින් අවස්ථා කීපයක් දැන් බලමු. “අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව ඔවුන් දකියි” කියලා ඔහු කිව්වා. ඒකෙන් අදහස් කළේ මිනිසුන්ව විනිශ්චය කරන්න ඔහු මහත් පීඩාව අතරතුරේ එන අවස්ථාවයි. ඒ වගේම “ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැහැ” කියලත් “මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදීයි” කියලත් ඔහු කිව්වා. ඒකෙන් ඔහු කාවැද්දුවේ අවසාන කාලේ ජීවත් වෙන ඔහුගේ අනුගාමිකයන් සෝදිසියෙන් ඉන්න එකේ වැදගත්කමයි. (මතෙ. 24:30, 42, 44) එහෙමනම් තලෙන්ත ගැන උපමාවේ ස්වාමියා පැමිණෙන කාලෙන් අදහස් කළෙත් මිනිසුන්ව විනිශ්චය කරන්න සහ මේ දුෂ්ට සමාජය විනාශ කරන්න යේසුස් එන කාලයමයි කියලා පැහැදිලියි.g

12, 13. (අ) ස්වාමියා මුල් දාසයන් දෙන්නට කිව්වේ මොකක්ද? ඒ ඇයි? (ආ) අභිෂේක ලත් අයට අවසන් මුද්‍රාව ලැබෙන්නේ කවදද? (“මිය යන විට ත්‍යාගය ලබන්න සුදුසුකම් ලැබී අවසන්” යන කොටුව බලන්න.) (ඇ) අභිෂේක ලත් අයට සහය දුන්න අයට ලැබෙන ආශීර්වාදය මොකක්ද?

12 තලෙන්ත පහක් දුන්න දාසයා තවත් තලෙන්ත පහක් හම්බ කරගෙන කියලත් තලෙන්ත දෙකක් දුන්න දාසයා තවත් තලෙන්ත දෙකක් හම්බ කරගෙන කියලත් ස්වාමියා ආයෙත් ආවම දකිනවා. ඒ නිසා ඔහු ඒ එක් එක් දාසයාට මෙහෙම කියනවා. “ඔබ ඉතා යහපත්, විශ්වාසවන්ත දාසයෙක්! මට ඔබ ගැන ඉතාමත් සතුටුයි. ඔබ ස්වල්පයක් ගැන විශ්වාසවන්තව කටයුතු කළා. බොහෝ දේවල් භාරව සිටීමට මම දැන් ඔබව පත් කරනවා.” (මතෙ. 25:21, 23) යේසුස් අනාගතයේදී ඇවිත් කරන්නේ මොනවද?

13 මහත් පීඩාව පටන්ගන්න කාලේ වෙනකොටත් පොළොවේ ඉන්න මහන්සි වෙලා සේවය කරන අභිෂේක ලත් අයට මහත් පීඩාවේ ආරම්භයට කලින් යෙහෝවා දෙවි ඔහුගේ අනුමැතිය ලබා දෙනවා. ඒක තමයි ඔවුන්ට ලැබෙන අවසාන මුද්‍රාව. (එළි. 7:1-3) ඊටපස්සේ හර්–මගෙදොන් යුද්ධයට කලින් යේසුස් ඔවුන්ව ස්වර්ගයට රැස් කරගන්නවා. ඒක තමයි ඔවුන්ට ස්වාමියාගෙන් ලැබෙන ත්‍යාගය. එතකොට දේශනා කිරීමේ කාර්යය කරන්න උදව් වුණු පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මොකද වෙන්නේ? යේසුස් විනිශ්චය කරද්දී ඔහු ඔවුන්ව සලකන්නේ බැටළුවන් විදිහටයි. දේවරාජ්‍යය යටතේ පොළොවේ ජීවත් වීමේ ආශීර්වාදය ඔවුන්ට ලැබෙනවා.—මතෙ. 25:34.

දුෂ්ට, කම්මැළි දාසයා

14, 15. යේසුස් දුෂ්ට දාසයෙක් ගැන කිව්වේ ඇයි කියලා පැහැදිලි කරන්න.

14 උපමාවේ එක තලෙන්තයක් හම්බ වුණු දාසයෙක් ගැනත් කතා කරනවා. ඒක යොදාගෙන ඔහුගේ ස්වාමියාට තවත් මුදල් හම්බ කරලා දෙන්න ඔහුට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. අඩු තරමේ ඒක බැංකුවක තැන්පත් කරලා පොළිය ගන්නවත් ඔහු උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට ඔහු ඒ තලෙන්තය වැළලුවා. ඒ නිසයි ස්වාමියා ඔහුට දුෂ්ට, කම්මැළි දාසයෙක් කිව්වේ. ස්වාමියා ඔහුගේ ඒ තලෙන්තයත් අරන් තලෙන්ත පහක් දීපු දාසයාට දුන්නා. ඊටපස්සේ ඒ දුෂ්ට දාසයාව “පිටතට ඇද දමා අන්ධකාරයට දමන්න” කියලා ස්වාමියා කියනවා. ඔහුට සිද්ධ වුණේ “හඬමින් හා දත්මිටි කමින් සිටින්නයි.”—මතෙ. 25:24-30; ලූක් 19:22, 23.

15 යේසුස් ඒ දුෂ්ට, කම්මැළි දාසයා ගැන කිව්වේ අභිෂේක ලත් අයගෙන් තුනෙන් එකක් ඒ දාසයා වගේ වෙනවා කියන්න නෙමෙයි. මේ උපමාවට කලින් යේසුස් කිව්ව උපමා දෙකෙන් අපිට ඒක තේරුම්ගන්න පුළුවන්. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ගැන කිව්ව උපමාවේ අනිත් සේවකයන්ට පීඩා කරපු දුෂ්ට දාසයෙක් ගැන යේසුස් කිව්වා මතකද? ඔහු ඒකෙන් අදහස් කළේ විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගෙන් කොටසක් දුෂ්ට අය වෙනවා කියන එක නෙමෙයි. ඒ වෙනුවට යේසුස් එහෙම කිව්වේ දුෂ්ට දාසයෙක් වෙන්න එපා කියලා ඔවුන්ට අනතුරු අඟවන්නයි. ඊළඟට අවිවාහක තරුණියන් දහදෙනා ගැන උපමාවේදී යේසුස් අනුවණ තරුණියන් පස්දෙනෙක් ගැන කියනවා. ඔහු එහෙම කිව්වේ අභිෂේක ලත් අයගෙන් භාගයක්ම අනුවණ විදිහට වැඩ කරනවා කියන්න නෙමෙයි. ඒ වෙනුවට සූදානමින්, සෝදිසියෙන් හිටියේ නැත්නම් වෙන දේ ගැන අනතුරු අඟවන්නයි.h තලෙන්ත ගැන උපමාවත් ඒ වගේමයි. එතන යේසුස් දුෂ්ට දාසයෙක් ගැන කිව්වේ අවසාන දවස්වල ඉන්න අභිෂේක ලත් අයගෙන් වැඩිදෙනෙක් දුෂ්ට, කම්මැළි අය වෙනවා කියන්න නෙමෙයි. ඒ වෙනුවට යේසුස් කළේ දුෂ්ට දාසයා වගේ වෙන්නේ නැතුව දිගටම දේශනා කිරීමේ කාර්යයේ උපරිමයෙන් හවුල් වෙන්න කියලා ඔවුන්ට අනතුරු අඟවපු එකයි.—මතෙ. 25:16.

16. (අ) තලෙන්ත ගැන උපමාවෙන් අපි ඉගෙනගන්න පාඩම් දෙක මොනවද? (ආ) ඒ උපමාව හොඳින් තේරුම්ගන්න මේ ලිපිය අපිට උදව් වුණේ කොහොමද? (“තලෙන්ත ගැන උපමාව අවබෝධ කරගමු” යන කොටුව බලන්න.)

16 තලෙන්ත උපමාවෙන් අපි ඉගෙනගන්න පාඩම් දෙක මොනවද? පළවෙනි එක යේසුස් ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන්ට වටිනා වස්තුවක් දුන්නා කියන දේ. ඒ වස්තුව තමයි ශුභාරංචිය දේශනා කිරීමේ සහ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කිරීමේ වගකීම. දෙවෙනි පාඩම තමයි ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ වෙහෙස මහන්සි වෙලා හවුල් වෙන්න ඕනෙ කියන දේ. යේසුස් අපි හැමෝගෙන්ම ඒක බලාපොරොත්තු වෙනවා. අපි අත් නෑර ඒ කාර්යය කරනවා නම් දිගටම යේසුස්ට කීකරුව, විශ්වාසවන්තව ඉන්නවා නම් ඔහු අනිවාර්යයෙන්ම අපිට ආශීර්වාද කරනවා.—මතෙ. 25:21, 23, 34.

a 2013 ජූලි 15 ‘මුරටැඹ’ කලාපයේ 21-22 පිටුවල ඇති 8-10 ඡේදවල විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද කියලා විස්තර කරනවා.

b අවිවාහක තරුණියන් කවුද කියලා මේ කලාපයේ කලින් ලිපියේ විස්තර කළා.

c බැටළුවන් සහ එළුවන් ගැන උපමාව 1995 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ කලාපයේ 23-28 පිටුවල සහ මේ කලාපයේ ඊළඟ ලිපියේ විස්තර කරනවා.

d “තලෙන්ත ගැන උපමාව සහ මීනා ගැන උපමාව අතර තියෙන සමානකම්” යන කොටුව බලන්න.

e යේසුස්ගේ කාලේ තලෙන්තයක වටිනාකම ඩිනාරි 6,000කට සමානයි. ඒ කාලේ කම්කරුවෙකුගේ දිනක වැටුප ඩිනාරි 1යි. එක තලෙන්තයක් හම්බ කරන්න ඔහු අවුරුදු 20ක් වැඩ කරන්න ඕනේ.

f යේසුස්ගේ නියෝජිතයන් මිය ගියාට පස්සේ සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයගේ බලපෑම හැම සභාවකටම පැතිර ගියා. සියවස් ගාණක් යන කල් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සිද්ධ වුණේ සුළු වශයෙන්. ඒත් අස්වැන්න කපන කාලෙදී නැත්නම් අවසාන කාලෙදී දේශනා කිරීමේ කාර්යය ආයෙත් පටන්ගත්තා. (මතෙ. 13:24-30, 36-43) 2013 ජූලි 15 ‘මුරටැඹ’ කලාපයේ 9-12 පිටු බලන්න.

g 2013 ජූලි 15 ‘මුරටැඹ’ කලාපයේ 7-8 පිටුවල ඇති 14-18 ඡේද බලන්න.

h මේ කලාපයේ තියෙන “ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?” කියන ලිපියේ 13වෙනි ඡේදය බලන්න.

තලෙන්ත ගැන උපමාව සහ මීනා ගැන උපමාව අතර තියෙන සමානකම්

ස්වාමියා ගණන් හිලව් බලයි

තලෙන්ත ගැන උපමාව මීනා ගැන උපමාවට හුඟක් දුරට සමානයි. ඒ දෙකේම කතා කරන්නේ දාසයන් ඉන්න ස්වාමියෙක් ගැනයි. දුර ගමනක් යන්න කලින් ස්වාමියා ඔහුගේ දාසයන්ට මුදල් දීලා ඒවාවලින් තවත් මුදල් හම්බ කරන්න කියලා කියනවා. ගමන ගිහින් ආවට පස්සේ දුන්න ඒ මුදල්වලින් කළේ මොනවද කියලා ඔහු දාසයන්ගෙන් අහනවා. (මතෙ. 25:14-30; ලූක් 19:12-27) ඒ උපමා දෙකෙන්ම අදහස් කළේ මොකක්ද? උපමා දෙකේම ඉන්න ස්වාමියාගෙන් (1) නියෝජනය කළේ යේසුස්වයි. දාසයන්ගෙන් (2) අදහස් කළේ අභිෂේක ලත් අනුගාමිකයන්වයි. මුදල්වලින් (3) අදහස් කළේ මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කිරීමේ වගකීමයි. මේ උපමා දෙකෙන්ම දුෂ්ට, කම්මැළි දාසයා වගේ වෙන්න එපා කියන අනතුරු ඇඟවීම අභිෂේක ලත් අයට දුන්නා.

මිය යන විට ත්‍යාගය ලබන්න සුදුසුකම් ලැබී අවසන්

පළවෙනි සියවසේ ඉඳන් තලෙන්ත ඒ කියන්නේ දේශනා කිරීමේ කාර්යය අභිෂේක ලත් අනුගාමිකයන්ට භාර දුන්නා. ඔවුන් ඒ වගකීම ඉටු කරන විදිහ අනුවයි ඔවුන්ව විනිශ්චය කරන්නේ. මහත් පීඩාවට කලින් විශ්වාසවන්තව ඉඳලා මිය යන අභිෂේක ලත් අයට ඔවුන් මිය යන අවස්ථාව වෙනකොට අවසන් මුද්‍රාව ලැබිලයි තියෙන්නේ. ඒත් තලෙන්ත ගැන උපමාවේදී යේසුස් කතා කළේ මහත් පීඩාව අතරතුර කාලේ පොළොවේ ඉන්න අභිෂේක ලත් අයගේ සේවය ගැන හොයලා බලලා ඔවුන්ට ත්‍යාගය දෙන එක ගැනයි.

තලෙන්ත ගැන උපමාව අවබෝධ කරගමු

ස්වාමියා දාසයන්ට ත්‍යාගය දෙන අවස්ථාව

විශ්වාසවන්ත දාසයන් දෙන්නට ස්වාමියා ප්‍රශංසා කරයි

කලින් තේරුම්ගත්තේ: 1919දී යේසුස් ඔහුගේ අභිෂේක ලත් දාසයන්ට තවත් වගකීම් භාර දීම ඒකෙන් අදහස් කළා කියලයි.

දැන් අවබෝධ කරගෙන තියෙන්නේ: අනාගතයේදී යේසුස් ඇවිත් ඔහුගේ විශ්වාසවන්ත අභිෂේක ලත් දාසයන්ව ස්වර්ගයට රැස් කිරීම ඒකෙන් අදහස් කරනවා කියලයි.

දුෂ්ට, කම්මැළි දාසයා කවුද?

දුෂ්ට දාසයාව පිටතට ඇද දමන්න කියලා ස්වාමියා නියෝග කරයි

කලින් තේරුම්ගත්තේ: 1914 අතරතුර කාලේ හිටපු, දේශනා කිරීම ප්‍රතික්ෂේප කරපු අභිෂේක ලත් අය කියලයි.

දැන් අවබෝධ කරගෙන තියෙන්නේ: අභිෂේක ලත් අයගෙන් යම් නිශ්චිත කණ්ඩායමක් දුෂ්ට, කම්මැළි අය වෙනවා කියලා යේසුස් අදහස් කළේ නැහැ කියලයි. ඒ වෙනුවට දුෂ්ට, කම්මැළි අය වුණොත් වෙන දේ ගැන අභිෂේක ලත් අයට අනතුරු අඟවන්නයි ඒ දාසයා ගැන යේසුස් කිව්වේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න