පිලිප් ජ්වලිත එවැන්ජලිස්තවරයෙක්
අනුකරණය කිරීමට වටිනා ඇදහිල්ලක් තිබෙන පුරුෂයන්ගේ සහ ස්ත්රීන්ගේ වාර්තා රැසක් ශුද්ධ ලියවිලිවල අඩංගු වෙනවා. පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානි මිෂනාරිවරයෙක් වූ පිලිප්ව සැලකිල්ලට ගන්න. ඔහු ප්‍රේරිතයෙක් නොවූවත්, රාජ්‍ය පණිවිඩය පැතිරවීම සඳහා ඔහුව ප්‍රබල ලෙස යොදාගනු ලැබුවා. ඒ නිසා ඇත්තෙන්ම, පිලිප් ‘එවැන්ජලිස්තවරයෙක්’ ලෙස ප්‍රසිද්ධ වුණා. (ක්‍රියා 21:8) පිලිප්ට එවැනි පදවි නාමයක් ලැබී තිබුණේ ඇයි? එමෙන්ම අපට ඔහුගෙන් ඉගෙනගැනීමට හැක්කේ මොනවාද?
පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනය පසු වී වැඩිකල් යන්න මත්තෙන් බයිබල් වාර්තාවේ පිලිප් ගැන සඳහන් වෙනවා දැකගත හැකියි. එම කාලයේදී, දිනපතා ආහාර බෙදා දීම්වලදී තමන්ගේ වැන්දඹුවන්ව නොසලකා හරිනු ලැබුවාය කියා හෙබ්‍රෙව් භාෂාව කතා කරන යුදෙව්වන්ට විරුද්ධව ග්‍රීක් භාෂාව කතා කරන යුදෙව්වන් කොඳුරන්න පටන්ගත්තා. මේ කාරණය මෙහෙයවීම සඳහා, ප්‍රේරිතයන් විසින් “සහතික කරනු ලැබූ මනුෂ්‍යයන් සත්දෙනෙකුව” [NW] පත් කරනු ලැබුවා. එම තෝරාගනු ලැබූවන් අතරේ පිලිප්ද සිටියා.—ක්‍රියා 6:1-6.
මෙම මනුෂ්‍යයන් සත්දෙනා ‘සහතික කරනු ලැබූ අයයි.’ ඔවුන් “හොඳ නාමයක් තිබූ” අයව සිටි බව ජේම්ස් මොෆට්ගේ පරිවර්තනය පවසනවා. ඇත්තෙන්ම, ඔවුන්ව පත් කරනු ලැබූ අවස්ථාවේදී, ප්‍රායෝගිකව සිතීමේ හැකියාව ඇති ආත්මික පුද්ගලයන් ලෙස ඔවුන් එවිටමත් ප්‍රසිද්ධව සිටියා. අදදින ක්‍රිස්තියානි අවේක්ෂකයන් ලෙස සේවය කරන අය සම්බන්ධයෙන්ද එය සැබෑවක් වෙනවා. එවැනි මනුෂ්‍යයන්ව ඉක්මන් වී පත් කරන්නේ නැහැ. (1 තිමෝති 5:22) ඔවුන් “පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව” සිටිය යුතු අතර, ඔවුන් සාධාරණ ලෙස සහ සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරන අය වශයෙන් සෙසු ක්‍රිස්තියානීන් අතර නම් දරා සිටිය යුතුයි.—1 තිමෝති 3:2, 3, 7; පිලිප්පි 4:5, NW.
පෙනෙන ආකාරයට පිලිප් යෙරුසලමෙහි තමාට තිබුණු පැවරුම හොඳින් කරගෙන ගියා. නමුත් ඉක්මනින්ම කටුක පීඩා කන්දරාවක් පැමිණි අතර, ක්‍රිස්තු අනුගාමිකයන්ව විසුරුවනු ලැබුවා. සෙස්සන් මෙන් පිලිප්ද නුවර අතහැර ගියත්, ඔහුගේ සේවය ඉන් අවසන් වූයේ නැහැ. වැඩිකල් යන්න මත්තෙන් නව බල ප්‍රදේශයක දේශනා කිරීමෙහි නිරත වෙමින් ඔහු කාර්ය බහුලව සිටියා.—ක්‍රියා 8:1-5.
නව බල ප්‍රදේශ විවෘත වීම
තම ගෝලයන්, “යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද” දේශනා කරන්න යන බව යේසු පුරෝකථනය කර තිබුණා. (ක්‍රියා 1:8) පිලිප් සමාරියෙහි දේශනා කිරීම නිසා එම වදන්වල ඉටුවීමට ඔහුත් දායක වෙමින් සිටියා. සාමාන්‍යයෙන් යුදෙව්වන්ට සමාරිවරුන් කෙරෙහි තිබුණේ අඩු ගෞරවයක්. නමුත් පිලිප්, මෙම මනුෂ්‍යයන්ව කලින් විනිශ්චය නොකළ අතර, ඔහු පෙන්වූ අපක්ෂපාතිත්වයට ආශීර්වාද ලැබුවා. ඇත්තෙන්ම කලින් මායාකරුවෙක්ව සිටි සීමොන්ද ඇතුළුව සමාරිතානුවන් බොහෝදෙනෙක් බව්තීස්මය ලැබුවා.—ක්‍රියා 8:6-13.
කාලයාගේ ඇවෑමෙන් යෙහෝවාගේ දූතයෙක්, යෙරුසලමේ සිට ගාසා දක්වා වැටී තිබුණු කාන්තාර පාරක් වෙත යෑමට පිලිප්ට මඟ පෙන්නුවා. එහිදී පිලිප්, යෙසායාගේ අනාවැකිය ශබ්ද නඟා කියවමින් සිටි එතියෝපීය නිලධාරියෙක්ව රැගෙන ගිය රථයක් දැක්කා. පිලිප් රථයත් සමඟම දුව ගොස් සාකච්ඡාවකට මුලපිරුවා. එතියෝපීයවරයා දෙවි ගැන සහ ශුද්ධ ලියවිල්ල සම්බන්ධයෙන් යම් දැනුමක් තිබුණු යුදෙව් ආගමට හැරුණු කෙනෙක් වුවත්, තමා කියවමින් සිටි දේ තේරුම්ගැනීම සඳහා උපකාරය අවශ්‍ය බව ඔහු නිහතමානී ලෙස පිළිගත්තා. එමනිසා ඔහු රථයට නැඟ තමා සමඟ වාඩි වන ලෙස පිලිප්ට ආරාධනා කළා. සාක්ෂියක් දෙනු ලැබීමෙන් පසු, ඔවුන් වතුර තිබෙන තැනකට පැමිණියා. එතියෝපීයවරයා මෙසේ ඇසුවා: “බව්තීස්මකරනු ලබන්ට මට කවර බාධාවක් තිබේද?” පිලිප් ඔහුව විගස බව්තීස්ම කළ අතර, එතියෝපීයවරයා ප්‍රීතියෙන් ඔහුගේ ගමන ගියා. මෙම අලුත් ගෝලයා තම ගමට නැවත ගිය විට ශුභ ආරංචිය පතුරුවන්න ඇතැයි කියා සිතිය හැකියි.—ක්‍රියා 8:26-39.
සමාරිතානුවන් සහ එතියෝපීය නිලධාරියා ඇතුළත් පිලිප්ගේ දේවසේවයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? එක්තරා ජාතියකට, වර්ගයකට හෝ සමාජීය තත්වයකට අයත් පුද්ගලයන් ශුභ ආරංචියට උනන්දුවක් නොදක්වයි කියා අප කිසිවිටකත් කලින්ම නිගමනය නොකළ යුතුයි. ඒ වෙනුවට අප “සියලු ආකාරයේ ජනයා, [NW]” සඳහා රාජ්‍ය පණිවුඩය ප්‍රකාශ කළ යුතුයි. (1 කොරින්ති 9:19-23) සියල්ලන්ටම දේශනා කිරීම සඳහා අප ඉදිරිපත් වී සිටිමු නම්, මේ දුෂ්ට පිළිවෙළ අවසන් වීමට ප්‍රථමයෙන් ‘සියලු ජාතීන් ගෝලයන් කිරීම සඳහා’ යෙහෝවා අපව යොදාගන්න ඉඩ තිබෙනවා.—මතෙව් 28:19, 20.
පිලිප්ගේ වෙනත් වරප්‍රසාද
එතියෝපීය නිලධාරියාට සාක්ෂිදැරීමෙන් පසු පිලිප් අසෝතසේදී සාක්ෂි දැරූ අතර, “ඔහු කායිසාරියට එන තෙක් සියලු නුවරවල් මැදින් යමින් ශුභාරංචිය ප්‍රකාශ [කළා].” (ක්‍රියා 8:40) පළමු ශතවර්ෂයේ, අන්‍යජාතිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම නගර දෙකේම සිටියා. උතුරු දෙසින් පිහිටි කායිසාරියට ගිය ඔහුගේ ගමනේදී, පෙනෙන විදිහට, පිලිප් ලිද්දා සහ යොප්පා වැනි සුප්‍රසිද්ධ යුදෙව් මධ්‍යස්ථානවලදී දේශනා කරන්න ඇති. පසු කාලයකදී, මෙම ප්‍රදේශවලින් ගෝලයන් බිහි වූයේ මේ හේතුව නිසා වන්න ඇති.—ක්‍රියා 9:32-43.
පිලිප් සම්බන්ධයෙන් අවසාන වතාවට සඳහන් කරන්නේ අවුරුදු 20ක් පමණ ගත වුණාට පසුවයි. තම තුන්වන මිෂනාරි ගමන අවසානයේදී පාවුල් තොලිමයිසට ගොඩබැස්සා. පාවුල්ගේ සංචාරක සහකරු වන ලූක් මෙසේ පවසනවා: “පසුවදා අපි පිටත්ව කායිසාරියට ඇවිත්, . . . එවැන්ජලිස්ත පිලිප්ගේ ගෙට [පැමිණියෙමු].” මේ කාලය වන විට පිලිප්ට “ප්‍රොපේතවාක්‍ය කියන්නාවූ කන්‍යා දූවරු සතරදෙනෙක්” සිටියා.—ක්‍රියා 21:8, 9.
පෙනෙන විදිහට පිලිප් කායිසාරියේ පදිංචිව සිටියා. නමුත් ඔහුගේ මිෂනාරි ස්ප්‍රීතුව නැති වී ගොස් තිබුණේ නැහැ. මන්දයත් ලූක් ඔහුව අමතන්නේ ‘එවැන්ජලිස්තවරයෙක්’ ලෙසයි. මෙම ප්‍රකාශය බොහෝවිට යොමු දක්වන්නේ, වැඩ නොකළ ප්‍රදේශයක ශුභ ආරංචිය දේශනා කිරීම සඳහා තම නිවස හැර යන කෙනෙකුටයි. පිලිප්ට ප්‍රොපේතවාක්‍ය කියන දූවරුන් සිව්දෙනෙක් සිටියාය කියන කාරණයෙන් අඟවන්නේ, ඔවුන් තම ජ්වලිතවත් පියාගේ අඩිපාර අනුගමනය කළ බවයි.
තමන්ට සිටින වඩාත් වැදගත්ම ගෝලයන් වන්නේ තමන්ගේ දරුවන් බව නූතන දින ක්‍රිස්තියානි දෙමව්පියන් මතක තබාගත යුතුයි. පවුල් වගකීම් නිසා ඇතැම් දිව්‍යාණ්ඩු වරප්‍රසාද අත්හැරීමට එවැනි දෙමව්පියන්ට සිදු වුණත්, දෙවිට හෘද පූර්ණව සේවය කරන්නත්, ආදර්ශවත් දෙමව්පියන් ලෙස කටයුතු කරන්නත් ඔවුන්ට පුළුවන්.—එපීස 6:4.
පාවුල් සහ ඔහුගේ හවුල්කරුවන්ගේ බැහැදැකීම ආගන්තුක සත්කාරය පෙන්වීම සඳහා පිලිප්ගේ පවුලට කදිම අවස්ථාවක් සලසා දුන්නා. ඇති වූ දිරිගැන්වීමේ හුවමාරුව ගැන සිතා බලන්න! පසු අවස්ථාවකදී, ක්‍රියා 6 සහ 8 පරිච්ඡේදවලට ඇතුළත් කළ පිලිප්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලූක් තොරතුරු එකතු කරගත්තේ මේ අවස්ථාවේදී වන්න පුළුවන්.
යෙහෝවා දෙවි පිලිප්ව රාජ්‍යමය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා පුළුල් ලෙස යොදාගත්තා. ශුභ ආරංචිය නව බල ප්‍රදේශවල පැතිරවීම සඳහා සහ ඔහුගේ නිවස තුළ ශක්තිමත් ආත්මික වාතාවරණයක් වර්ධනය කිරීම සඳහා පිලිප්ට තම ජ්වලිතය උපකාර වුණා. එවැනි වරප්‍රසාද සහ ආශීර්වාද භුක්ති විඳීමට ඔබ කැමතිද? එසේ නම් ඔබත් එවැන්ජලිස්ත පිලිප් විදහාපෙන්වූ ගුණාංග අනුකරණය කිරීම සඳහා යුහුසුලුව ක්‍රියා කිරීම වටී.