පුරෝගාමීන්ගේ ආකල්පයම ඔබත් තබාගන්න
1. ඔබ පුරෝගාමීන්ට තිබෙන ආකල්පය විස්තර කරන්නේ කෙසේද?
1 පුරෝගාමීන් ලෙස සේවය කරන්නට හැකි වුණත් නැතත්, රාජ්‍ය ප්‍රචාරකයන් සියලුදෙනාටම පුරෝගාමීන්ගේ ආකල්පයම තබාගත හැකියි. දේශනා කිරීමට හා ගෝලයන් කිරීමට දී ඇති අණ ඉෂ්ට කිරීමට ඔවුන්ට දැඩි ආශාවක් තිබේ. (මතෙ. 28:19, 20; ක්‍රියා 18:5) ජනයා කෙරෙහි සැලකිලිමත් වන ඔවුහු, තම දේවසේවය ඉෂ්ට කිරීමට යම් පරිත්‍යාගයන් කරති. (මතෙ. 9:36; ක්‍රියා 20:24) අන්‍යයන්ට සත්‍යය ඉගෙනගැනීම සඳහා තමන්ට කළ හැකි ඕනෑම දෙයක් කිරීමට යෙහෝවාගේ සේවකයෝ කැමති වෙති. (1 කොරි. 9:19-23) එවන් ස්වභාවයක් විදහා පෑ කෙනෙකුගේ ආදර්ශය අපි දැන් සලකා බලමු. ඔහු එවැන්ජලිස්ත ෆිලිප්ය.
2. දේවසේවය සඳහා ෆිලිප් තුළ තිබූ උද්යෝගිමත් ස්වභාවය අනුකරණය කිරීමට වැඩිමහල්ලන්ට හා සභා සේවකයන්ට හැක්කේ කෙසේද?
2 දේශනා කිරීම හා ඉගැන්වීම: ෆිලිප් මුල් සියවසේ තිබූ සභාවේ ඉතා බැරෑරුම් වගකීම් දැරූ කෙනෙකි. (ක්‍රියා 6:1-6) එහෙත්, ඔහු ප්‍රධාන වශයෙන්ම නම් දැරුවේ ශුභාරංචිය උද්යෝගයෙන් දේශනා කළ අයෙකු ලෙසය. (ක්‍රියා 8:40) එබැවින්, අද දිනද වැඩිමහල්ලන්ට සහ සභා සේවකයන්ට හැකියි තමන්ට පවරා ඇති වගකීම් ඉටු කරන අතරතුරේදීම දේවසේවයේ උද්යෝගිමත් ලෙස පෙරමුණ ගැනීමෙන් පුරෝගාමීන් දරන ආකල්පයම දැරීමට. මෙය සභාවේ ආකල්පයට ධනාත්මක ලෙස බලපෑමක් කරනු ඇත.—රෝම 12:11.
3. අප කරදර හිරිහැර අද්දකින විට පුරෝගාමීන්ට සමාන ආකල්පයක් දැරීමට අපට හැක්කේ කෙසේද?
3 ස්තේපන්ගේ මරණින් පසුව ඇති වූ පීඩා රැල්ල නිසා ගෝලයන්ගේ ජීවිතවල මහත් කැලඹීමක් ඇති විණි. එහෙත්, ෆිලිප් නොකඩවා දේශනා කළ අතර සමාරිවරුන් අතර දේශනා කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමේදී ඔහුගෙන් අමිල සේවයක් ඉටු විය. (ක්‍රියා 8:1, 4-6, 12, 14-17) කරදර හිරිහැරවලට මුහුණ දෙන කාලවලදී දිගටම ශුභාරංචිය බෙදා දීමෙන්ද, අපට හමු වෙන සියලුදෙනාටම භේදයකින් තොරව දේශනා කිරීමෙන්ද අපට ඔහුගේ ආදර්ශය අනුකරණය කරන්නට පුළුවන.—යොහ. 4:9.
4. ගුරුවරයෙකු වශයෙන් ෆිලිප් තැබූ ආදර්ශය කුමක්ද?
4 ෆිලිප් දේවවචනය ඉගැන්වූ දක්ෂ ගුරුවරයෙකි. ඔහු ඉතියෝපියානු නිලධාරියා සමඟ කළ කතා බහෙන් අපට ඒ බව දැකිය හැකියි. (ක්‍රියා 8:26-38) බයිබලය පාවිච්චි කිරීමට හා ‘ශුද්ධ ලියවිල්ලෙන් කරුණු තර්කානුකූලව පහදා දීමට’ ඇති හැකියාව දියුණු කරගැනීම, අපට පුරෝගාමීන්ට සමාන ආකල්පයක් දැරිය හැකි තවත් මාර්ගයකි. (ක්‍රියා 17:2, 3) ෆිලිප් මෙන් අපිද මිනිසුන් අපට හමු වන ඕනෑම තැනකදී හා සුදුසු ඕනෑම අවස්ථාවකදී ශුභාරංචිය බෙදාගැනීමට සැරසී සිටිමු.
5. තම දරුවන් තුළ පුරෝගාමීන්ට සමාන ආකල්පයක් ගොඩනැංවීමට දෙමාපියන්ට උපකාරවත් විය හැක්කේ කුමක්ද?
5 පවුල සහ සභාව: ෆිලිප්ගේ ආකල්පය සහ ආදර්ශය සිය දියණියන් කෙරෙහි ඉතා යහපත් බලපෑමක් ඇති කළ බවට කිසිදු සැකයක් නැත. (ක්‍රියා 21:9) ඒ හා සමානව, රාජ්‍යය හා සම්බන්ධ කටයුතු වටා තම ජීවිත කේන්ද්‍රගත කරගෙන සිටින ක්‍රිස්තියානි දෙමාපියන්ද තම දරුවන්ට දිරිගන්වන්නේ එසේම කිරීමටයි. සතියේ දිනවල වැඩ කිරීමෙන් වෙහෙසට පත් වී සිටියද, සති අන්තයේ ඉතා උනන්දුවෙන් අන්‍යයන්ට ශුභාරංචිය දේශනා කරන දෙමාපියෙකුගේ ආදර්ශය තම දරුවාගේ සිතට ගැඹුරින්ම කාවැදිය හැක.—හිතෝ. 22:6.
6. අපගේ සභාවේ සිටින පුරෝගාමීන්ට අපගේ කෘතඥතාව පළ කිරීමට හැක්කේ කෙසේද?
6 යෙහෝවාගේ සේවයේ ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ උද්යෝගිමත් ක්‍රිස්තියානීන් වූ පාවුල් සහ ලූක්හට ෆිලිප් ආගන්තුක සත්කාරය පෙන්වීය. (ක්‍රියා 21:8, 10) අද දින මෙලෙස උද්යෝගයෙන් වැඩ කරන අයට අපගේ කෘතඥතාව සහ සහය පෙන්විය හැක්කේ කෙසේද? ඉතා ටිකදෙනෙක් දේවසේවයේ හවුල් වන උදෑසනක හෝ දහවල් වරුවක පුරෝගාමීන් සමඟ වැඩ කිරීමට ඉදිරිපත් වීමට සමහරවිට අපට හැකියි. (ෆිලි. 2:4, NW) තවද, අපට ඔවුන්ව අපගේ නිවෙස්වලට ආරාධනා කර ඔවුන් සමඟ දිරිගැන්වනසුලු ඇසුරක් භුක්ති විඳිය හැකියි. අප කවර තත්වයක සිටියත්, අපි සියලුදෙනාම පුරෝගාමීන්ට සමාන ආකල්පයක් දැරීමට උත්සාහ කරමු.