ලෝකාන්තිමය—ජනිත වන්නේ බියක්ද, බලාපොරොත්තුවක්ද?
“ලෝකාන්තිමය අදදින බයිබලයට පමණක් සීමා වුණ දෙයක් නෙවෙයි, ඇත්තෙන්ම එය සිද්ධ වෙන්න පුළුවන් දෙයක් බවට පත් වෙලා තියෙනවා.”—එක්සත් ජාතීන්ගේ කලින් සිටි ලේකම්-ජෙනරාල් වන හාවියේ පේරෙස් ඩේ ක්වෙයියා.
මෙම ප්‍රසිද්ධ පුද්ගලයා “ලෝකාන්තිමය” යන වදන ගැන කල්පනා කළ ආකාරයටමයි වැඩිදෙනෙක් එය තේරුම්ගන්නේ; එමෙන්ම චිත්‍රපටවල හා පොත්වල තේමාවන්වලත්, සඟරාවල ලිපිවලත්, පුවත්පත් වාර්තාවලත් එය යොදා ඇති බව දකින්න තිබෙනවා. එය මවන්නේ මහත් විපත්තියක දසුනක්. නමුත් “ලෝකාන්තිමය” යන්නෙන් ඇත්තෙන්ම අදහස් කරන්නේ කුමක්ද? එමෙන්ම එළිදරව් නමැති බයිබල් පොතේ අඩංගු පණිවිඩය කුමක්ද?
බයිබලයේ අවසාන පොත බොහෝ දේවල් “අනාවරණය” හෝ “හෙළි කරන” නිසා එය “එළිදරව්” කියා හඳුන්වනවා. බයිබල් එළිදරව්වේ හෙළි කර තිබෙන්නේ කුමක්ද? එය තනිකර විනාශයේ පණිවිඩයක්, එනම් කිසිම කෙනෙක් බේරෙන්නේ නැති සමූල ඝාතනයක පෙර නිමිත්තක් වුණාද? එළිදරව් පොත සම්බන්ධයෙන් තමාගේ හැඟීම කුමක්ද කියා ඇංස්ටිට්යූ ඩ ෆ්‍රාන්ස්හි (ප්‍රංශයේ ආයතනයක්) සාමාජිකයෙක් වූ ඉතිහාසඥ ෂොං ඩෙල්යූමෝගෙන් අසනු ලැබුවා. ඔහුගේ ප්‍රතිචාරය: “එය බලාපොරොත්තුව ඇති කරවන සැනසිලිදායක පොතක්. නමුත් එහි විනාශකාරි සිද්ධීන් වෙත අවධානය යොමු කරමින් ජනයා එහි අඩංගු දේවල් සම්බන්ධයෙන් භය උපදවන පිංතූරයක් මවාගෙන තියෙනවා.”
මුල් සභාව හා එළිදරව් පොත
මුල් “ක්‍රිස්තියානීන්” එළිදරව් පොත හා පොළොව කෙරෙහි ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය (සහස්‍රය) සම්බන්ධයෙන් එහි තිබෙන බලාපොරොත්තුව සැලකුවේ කෙසේද? එම ඉතිහාසඥයාම මෙසේ පැවසුවා: “පොදුවේ ගත්තහම, මුල් සියවස් කීපයේ ක්‍රිස්තියානීන් සහස්‍රය පිළිබඳ විශ්වාසය ඇතුව සිටි බවයි මට පෙනෙන්නේ. . . . මුල් සියවස්වල ක්‍රිස්තියානීන් අතුරෙන් විශේෂයෙන්ම සුළු ආසියාවේ හියරපොලිසෙහි බිෂොප් වූ පේපියස්, . . . පලස්තීනයේ උපන් මෙන්ම 165දී පමණ රෝමයේදී ප්‍රාණ පරිත්‍යාග කළ ශාන්ත ජස්ටින්, 202දී මියගිය ලියොන්හි බිෂොප් වූ ශාන්ත අයිරීනියස්, 222දී මියගිය ට’ටූලියන් සහ . . . ශ්‍රේෂ්ඨ ගත්කරු ලැක්ටන්ෂියස් සහස්‍රය කෙරෙහි විශ්වාසය තැබූ අයයි.”
පර්ගමම්හිදී පො.යු. 161 හෝ පො.යු. 165දී ප්‍රාණ පරිත්‍යාගයක් කළ බවට වාර්තාගත වූ පේපියස් සම්බන්ධයෙන් ද කැතලික් එන්සයික්ලොපීඩියා මෙසේ ප්‍රකාශ කරයි: “ශා. ජුවාම්ගේ ගෝලයෙක් වූ හියරපොලිසෙහි බිෂොප්වරයෙක් වූ පේපියස් සහස්‍රය පිළිබඳ විශ්වාසයට පක්ෂව කතා කළ කෙනෙක් වූ බව පෙනෙන්න තිබුණා. ඔහුගේ ඉගැන්වීම ඔහු ලැබුවේ ප්‍රේරිතවරුන්ගේ කාලයේ සිටි අයගෙන් බව ඔහු පවසා සිටි අතර, අයිරීනියස් විස්තර කරන්නේ ශ්‍රාවක ජුවාම්ව දුටු හා ඔහුගේ ඉගැන්වීම්වලට සවන් දුන් වෙනත් ‘දේවගැතිවරුන්’ සහස්‍රය පිළිබඳ විශ්වාසය ස්වාමීන්ගේ ධර්මයේ කොටසක් වශයෙන් ඉගෙනගත් බවයි. යූසීබියස් පවසන පරිදි . . . මළවුන්ගේ නැවත නැඟිටීමෙන් පසුව අවුරුදු දහසකට ක්‍රිස්තුස්ගේ දෘශ්‍යමාන, මහිමාන්විත භූමික රාජ්‍යයක් තිබෙන්න යන බව පේපියස් සිය පොතෙහි තහවුරු කළා.”
මුල් ඇදහිලිවන්තයන් මත එළිදරව් පොත ඇති කළ බලපෑම ගැන මෙය අපට පවසන්නේ කුමක්ද? එයින් හටගත්තේ භයද නැත්නම් බලාපොරොත්තුවද? ඉතිහාසඥයන් මුල් ක්‍රිස්තියානීන්ව කිʹලි·යා එʹටේ (අවුරුදු දහස) යන ග්‍රීක් වචනවලින් ගත් කිලිඇස් (සහස්ර වාර්ෂිකයන්) යන නමින් හඳුන්වා තිබීම සිත්ගන්නා කරුණක්. ඔව්, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් පොළොව මත පාරාදීසමය තත්වයන් බිහි කරන්න යන ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය කෙරෙහි විශ්වාසය තැබූ අය හැටියට ප්‍රසිද්ධ වී තිබුණා. සහස්ර බලාපොරොත්තුව නිශ්චිත ලෙස බයිබලයේ සඳහන්ව තිබෙන එකම තැන එළිදරව් පොතයි. (20:1-7) එබැවින්, විශ්වාස කරන්නන්ව බියගන්වනවා වෙනුවට එළිදරව් පොත ඔවුන්ට චමත්කාරජනක බලාපොරොත්තුවක් සැපයුවා. මුල් පල්ලිය හා ලෝකය (ඉංග්‍රීසියෙන්) යන තම පොතේ පල්ලියේ ඉතිහාසය පිළිබඳ ඔක්ස්ෆ’ඩ් මහාචාර්ය සිසල් කාඩූ මෙසේ ලියනවා: “සහස්ර වාර්ෂිකයන්ගේ අදහස් අන්තිමේදී ප්‍රතික්ෂේප කරනු ලැබුවත්, ඉතාම උසස් ලෙස ගරුනම්බු ලැබූ ඇතැම් කර්තෘවරුන් විසින් ඒවා ඉගැන්වූ අතර, සැලකිය යුතු කාලපරිච්ඡේදයක් පුරා ඒවා පල්ලියේ පුළුල්ව පිළිගෙන තිබුණා.”
එළිදරව්වේ බලාපොරොත්තුව ප්‍රතික්ෂේප කිරීමට හේතුව
මුල් ක්‍රිස්තියානීන් අතුරෙන් බොහෝදෙනෙක්, නැත්නම් වැඩිදෙනෙක්, පාරාදීස පොළොවක් මත ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය කෙරෙහි බලාපොරොත්තු ඇතුව සිටියා යන ඓතිහාසික සත්‍යය බිඳහෙළිය නොහැකි එකක් බැවින්, “සහස්ර වාර්ෂිකයන්ගේ” එවැනි “අදහස් අන්තිමේදී ප්‍රතික්ෂේප කරනු ලැබුවේ” කෙසේද? ප්‍රවීණයෙකු වූ රොබට් මෞන්ස් පෙන්වූ පරිදි, “අභාග්‍යයකට මෙන්, බොහෝ සහස්ර වාර්ෂිකයන්ට දහස් අවුරුදු පාලන සමය සම්බන්ධයෙන් මනඃකල්පිත අදහස් බොහෝමයක් තිබුණු අතර ද්‍රව්‍යවාදී අභිලාෂයන් ඉටු කරගැනීමේ සහ ඉන්ද්රියයන් පිනවීමේ අන්තයටම යෑමේ ආකල්පත් ඊට ඇතුළත්ව තිබුණා.” ඒ නිසා ඇතැම් විවේචනයන් සාධාරණ වුණා. නමුත් ඒ වෙනුවට, සහස්‍රය පිළිබඳ සැබෑ බලාපොරොත්තුව ප්‍රතික්ෂේප නොකර මෙම අන්තවාදී අදහස් නිවැරදි කරගන්න තිබුණා.
සහස්ර වර්ෂය පිළිබඳ විශ්වාසය යටපත් කිරීම සඳහා ඊට එරෙහිවන්නන් යෙදූ ක්‍රම ඇත්තෙන්ම පුදුමසහගතයි. රෝමානු කතෝලික පූජකයෙකු වූ කේයස් (දෙවන සියවසේ අවසානය, තුන්වැන්නේ ආරම්භය) ගැන දේවධර්ම කතෝලික ශබ්දකෝෂය (ප්‍රංශ භාෂාවෙන්) පවසන්නේ, “සහස්‍රය පිළිබඳ විශ්වාසය යටපත් කර දැමීමට, ඔහු ශා. ජුවාම්ගේ එළිදරව්වේ හා ශුභාරංචියේ නිරවද්‍යතාව එක හෙළා ප්‍රතික්ෂේප කළ” බවයි. ඇලෙක්සැන්ඩ්‍රියාහි තුන්වන සියවසේ බිෂොප්වරයා වන දියොනිසියස්, සහස්ර වර්ෂය පිළිබඳ විශ්වාසයට එරෙහිව ග්රන්ථයක් ලියූ බව මෙම ශබ්දකෝෂය තවදුරටත් පවසනවා; මෙම ග්‍රන්ථයේ, “ශා. ජුවාම්ගේ එළිදරව් පොතේ නිරවද්‍යතාව ප්‍රතික්ෂේප කිරීමට ඔහු පසුබට වුණේ නැහැ; ඔහු එසේ කළේ සහස්‍රයට අනුග්‍රහය දැක්වූ අය ශාන්ත ජුවාම්ගේ එළිදරව් පොත මත ඔවුන්ගේ විශ්වාසය පදනම් කිරීමෙන් වැළැක්වීම සඳහායි.” මිහිපිට සහස්‍රයේ ආශීර්වාද භුක්ති විඳීමේ බලාපොරොත්තුවට එරෙහිව එල්ල වුණ දැඩි විරෝධය, ඒ ගැන විශ්වාසය තැබීම බාල කිරීමට ඒ කාලයේදී දේවධර්මාධරයන් සූක්ෂ්මව ක්‍රියාත්මක වූ බව අඟවනවා.
සහස්‍රය ලුහුබඳිමින් (ඉංග්‍රීසියෙන්) යන සිය පොතෙහි මහාචාර්ය නෝමන් කොන් මෙසේ ලියනවා: “පෙනෙන විදිහට, පුරාණ පල්ලියේ සියලුම දේවධර්මාධරයන්ට වඩා බලයක් තිබූ ඔරිගන්, රාජ්‍යය තිබෙන්න යන්නේ එය විශ්වාස කරන අයගේ ආත්ම තුළ මිසක එය යම් කිසි කාලයක් තුළදී හෝ ස්ථානයක පවතින්න යන දෙයක් නොවෙයි යන අදහස ඉදිරිපත් කිරීමට පටන්ගත්තා. මෙසේ, තුන්වන සියවසේදී සහස්‍රය පිළිබඳ විශ්වාසය නිෂ්ප්‍රභ කිරීමට මුල්ම වෑයම දැරුවා.” බයිබලය කෙරෙහි විශ්වාස කරනවා වෙනුවට ග්‍රීක් දර්ශනය මත විශ්වාසය තැබීමෙන් ඔරිගන්, මෙසියානු රාජ්‍යය යටතේ භූමික ආශීර්වාද ලැබීමේ පුදුමාකාර බලාපොරොත්තුව “ඇදහිලිවන්තයන්ගේ ආත්ම තුළ පවතින . . . [තේරුම්ගත නොහැකි] සිද්ධියක්” ලෙස දක්වමින් එය බාල කළා. කතෝලික කර්තෘ ලෙයෝන් ග්රී මෙසේ ලිව්වා: “ග්‍රීක් දර්ශනයේ ප්රමුඛ බලපෑම හේතුවෙන් . . . සහස්ර වාර්ෂිකයන්ගේ අදහස් ක්‍රමක්‍රමයෙන් බිඳවැටී ගියා.”
“බලාපොරොත්තුවක් ඇති කරන්න දැන් පල්ලියට බැහැ”
සභා පියෙකු වන ඔගස්ටින්ගේ කාලයේදී ක්‍රිස්තු ධර්මයේ සේයාවක් විතරයි තිබුණේ; එයට ග්‍රීක් දර්ශනය ඇතුළත් කිරීම සඳහා වැඩියෙන්ම දායක වූ තැනැත්තා ඔහු බවට සැකයක් නැහැ. මුලින් සහස්‍රය පිළිබඳ විශ්වාසයට තදින්ම පක්ෂව සිටි ඔහු අන්තිමේදී පොළොව කෙරෙහි ක්‍රිස්තුස්ගේ අනාගත දහස් අවුරුදු පාලනය පිළිබඳ සෑම අදහසක්ම ප්‍රතික්ෂේප කළා. ඔහු එළිදරව් 20වන පරිච්ඡේදය උපමා කතාවක් ලෙස ඉදිරිපත් කරමින් එහි සැබෑ අර්ථය විකෘති කළා.
කතෝලික විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ පවසනවා: “අන්තිමේදී ඔගස්ටින් දැරුවේ සහස්රයක් නැහැයි කියන විශ්වාසයයි. . . . මෙම පරිච්ඡේදයෙහි සඳහන් පළමු නැවත නැඟිටීම බව්තීස්මය තුළින් යළි ජනිත වීමකට යොමු දක්වන බවත්, අවුරුදු හයදාහක ඉතිහාසයෙන් පසුව ගෙවෙන අවුරුදු දාහක සබත සදා ජීවනය බවත් ඔහු අපට පවසනවා.” නව බ්‍රිටෑනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) පවසන්නේ මෙසේයි: “සහස්‍රය පිළිබඳ විශ්වාසය උපමා කතාවක් යන ඔගස්ටින්ගේ ඉගැන්වීම පල්ලියේ පිළිගත් ධර්මය බවට පත් වුණා. . . . ලූතරන්, කැල්වින් හා එංගලන්ත සම්ප්‍රදායන් විශ්වාස කළ රෙපරමාදු ප්රතිසංස්කාරකයන් . . . ඔගස්ටින්ගේ අදහස්වලට දැඩි ලෙස ඇලී සිටියා.” මෙලෙස, ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල සාමාජිකයන්ට සහස්‍රයේ බලාපොරොත්තුව අහිමි වී ගියා.
එපමණක්ද නොව, ස්විස් ජාතික දේවධර්මාධර ෆ්‍රෙඩෙරික් ඩ රූෂ්මෝන්ට අනුව, “දහස් අවුරුදු පාලනය කෙරෙහි තම මුල් විශ්වාසය නැති කරගැනීමෙන් [ඔගස්ටින්] පල්ලියට සෑහෙන හානියක් සිදු කළා. ඔහුට තිබුණු බලතල අතකොළුවක් කරගෙන, [පල්ලියට] තිබුණු භුමික බලාපොරොත්තුව අහිමි කරමින් ඔහු වැරදි ඉගැන්වීමක් වලංගු කළා.” එමෙන්ම ජර්මානු ජාතික දේවධර්මාධරයෙක් වන ආඩොල්ෆ් හානාක් මෙසේ එකඟ වුණා: සහස්රයක් තිබෙයි යන විශ්වාසය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් “කලින් තිබූ විශ්වාසය හා බලාපොරොත්තුව” වෙනුවට පොදු ජනයාට “තේරුම්ගන්න බැරි විශ්වාසයක්” ඇති කිරීම හේතුවෙන්, “තමන් හොඳින් වටහාගෙන තිබුණ ආගම” ඔවුන්ට අහිමි වුණා. ජනයාට තේරුම්ගත හැකි විශ්වාසයක් හා බලාපොරොත්තුවක් අවශ්‍යයි යන කාරණය අදදින බොහෝ රටවල ඇති හිස් වී තිබෙන පල්ලිවලින් පැහැදිලි වෙනවා.
බයිබල් විශාරද ජෝර්ජ් බීස්ලි මරේ එළිදරව් පොතේ විශේෂාංග (ඉංග්‍රීසියෙන්) යන තම පොතෙහි මෙසේ ලිව්වා: “විශාල වශයෙන් ඔගස්ටින්ගේ අධික බලය නිසාත්, අනිත් අතට නිකායන් මගින් සහස්‍රය පිළිබඳ විශ්වාසය පිළිගත් නිසාත්, කතෝලික හා රෙපරමාදු භක්තිකයන් එක්ව එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ ලෝකයේ මනුෂ්‍යයන් සඳහා ඒ වෙනුවට තිබෙන බලාපොරොත්තුව කුමක්ද කියා ඇසූ විට පිළිගත් පිළිතුර වුණේ: කිසිම බලාපොරොත්තුවක් නැහැ යන්නයි. ක්‍රිස්තුස්ගේ පැමිණීමත් සමඟම ලෝකය විනාශ වන අතර, සදාකාලිකව පවතින නිරයක් හා ස්වර්ගයක් එහි තැන ගනියි. මෙහිදී ඉතිහාසය ආයෙත් කිසිදා මතකයට නැඟෙන්නේ නැහැ. . . . බලාපොරොත්තුවක් ඇති කරන්න දැන් පල්ලියට බැහැ.”
එළිදරව්වේ චමත්කාරජනක බලාපොරොත්තුව තවමත් පවතිනවා!
යෙහෝවාගේ සාක්ෂිකරුවන් නම්, සහස්‍රය හා සම්බන්ධ චමත්කාරජනක පොරොන්දු ඉටු වෙයි කියා විශ්වාස කරනවා. “වසර 2000: ලෝකාන්තිමය පිළිබඳ භය” යන ප්‍රංශ රූපවාහිනි වැඩසටහනකදී පිළිසඳරක යෙදුණු විට, ප්‍රංශ ඉතිහාසඥ ෂොං ඩෙල්යූමෝ මෙසේ ප්‍රකාශ කළා: “යෙහෝවාගේ සාක්ෂිකරුවන් හරියටම සහස්‍රය පිළිබඳ විශ්වාසයට එකඟවයි ජීවිතය පවත්වගෙන යන්නේ; මන්ද ඔවුන් කියා සිටින්නේ ළඟදීම . . . මහත් විපත්තියක් තුළින් වසර 1,000ක සන්තෝෂවත් කාලපරිච්ඡේදයකට අපි ඇතුල් වෙන්න යනවා කියායි.”
ප්‍රේරිත යොහන් දර්ශනයකින් දුටු දේ ඔහුගේ එළිදරව් පොතේ විස්තර කළේ මෙලෙසයි. ඔහු මෙසේ ලිව්වා: ‘අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. . . . තවද: මෙන්න, දෙවිගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය, ඔව්හු ඔහුගේ සෙනඟ වන්නෝය, දෙවිම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.’—එළිදරව් 21:1, 3, 4.
මේ බලාපොරොත්තුව හැකි තරම් දෙනෙකුට දීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික වැඩයක නිරත වී සිටිනවා. ඒ ගැන වැඩියෙන් දැනගැනීමට ඔබට උපකාර කරන්න ඔවුන් සතුටු වෙනවා.
[6වන පිටුවේ පින්තූරය]
ප්‍රේරිතවරුන්ගේ කාලයේ සිටි අයගෙන් තමන්ට කෙළින්ම සහස්‍රය පිළිබඳ ධර්මය ලැබුණු බව පේපියස් පැවසුවා
[7වන පිටුවේ පින්තූරය]
ට’ටූලියන් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය කෙරෙහි විශ්වාසය තැබුවා
[හිමිකම් විස්තර]
© Cliché Bibliothèque Nationale de France, Paris
[7වන පිටුවේ පින්තූරය]
“දහස් අවුරුදු පාලනය කෙරෙහි තම මුල් විශ්වාසය නැති කරගැනීමෙන් [ඔගස්ටින්] පල්ලියට සෑහෙන හානියක් සිදු කළා”
[8වන පිටුවේ පින්තූරය]
එළිදරව් පොතේ සඳහන් පාරාදීස පොළොවේ පොරොන්දුව ආශාවෙන් බලාපොරොත්තු විය යුතු දෙයක්