පන්ති භේදයෙන් තොර සමාජයක් බිහිවීම සැබෑවක් වේවිද?
එක්සත් ජනපදයේ දෙවන ජනාධිපති බවට පත් වූ ජෝන් ඇඩම්ස් ඓතිහාසික නිදහස් ප්රකාශනයට අත්සන් තැබූවෙකි. එහි මෙම උදාර වදන් ඇතුළත් වේ. “සෑම මිනිසෙකුවම එක සමානව මවා තිබේ යන සත්‍යය අප තුළින්ම දැකගත හැකිය යන්න අපි විශ්වාස කරන්නෙමු.” එහෙත් සෑම මිනිසෙකුවම මවා තිබෙන්නේ සමානවද යන්න ගැන ජෝන් ඇඩම්ස්ට සැකයක් තිබූ බව පෙනේ. එනිසා, “සර්ව බලධාරී දෙවියන් මිනිසාව මැව්වේ වෙනස් මනස් සහ සිරුරු ඇතුවයි. එබැවින් එම විෂමතාව සමානාත්මතාවකට ගෙන ඒමට කිසිම ශිල්පීය ඥානයකට හෝ ප්රතිපත්තියකට බැරිය” කියා ඔහු ලීවේය. ඊට වෙනස්ව, කාරණා තුනක් මත පදනම් සම හිමිකම්වාදී සමාජයක් පිළිබඳව සිහින මැවීමට බ්‍රිතාන්‍ය ඉතිහාසඥ එච්. ජී. වෙල්ස්ට හැකි විය. ඒ කාරණා තුන මෙසේය. පවිත්‍ර සහ දූෂ්‍ය නොවූ පොදු ආගමක් තිබීම, ලොවේ සැමෝටම එකම අධ්‍යාපනයක් තිබීම සහ යුධ හමුදා නොමැති වීම.
වෙල්ස් දුටු ඒ සම හිමිකම්වාදී සමාජය මේ දක්වා බිහි වී නැත. මිනිසෙකු තවකෙකු හා සමාන වීම උගහටය. පන්ති භේදය සමාජයේ තවමත් ගැඹුරටම මුල් බැසගත් අංගයක්ව පවතී. එවන් පන්ති ක්‍රම, මිනිස් සමාජයට සමස්තයක් වශයෙන් යහපතක් කර තිබේද? කොහෙත්ම නැත. සමාජ පන්ති ක්‍රම මිනිසුන්ව භේදභින්න කර ඇති අතර, එයින් සමාජය තුළ ඉතිරි කර ඇත්තේ දැඩි ඊර්ෂ්‍යාව, වෛරය, ඛේදය සහ ලේ වැගිරීමයි. පෙර කාලයේ අප්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ උතුරු අමෙරිකාවේ පැවති සුදු හම අතිඋසස්ය යන මානසිකත්වය සුදු නොවන ජාතීන්ට අභාග්‍යය ළඟා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වැන් ඩීමන්ගේ දේශයේ (දැන් ටැස්මේනියාවේ) සිටි ආදිවාසීන්ව සමූලඝාතනය කරන ලදි. යුදෙව්වන් පහත් සෙනඟකැයි වර්ග කිරීම, නාට්සි හමුදාව අතින් යුරෝපයෙහි යුදෙව් සමූලඝාතනයකට මුල පිරීය. රදළ පන්තියේ අධික ධන ස්කන්ධය සහ පහළ මෙන්ම මධ්‍යම පන්තිකයන්ගේ අගහිඟකම්, අවසානයේදී 18වන සියවසේදී ඇති වූ ප්‍රංශ විප්ලවයටත් 20වන සියවසේදී ඇති වූ බොල්ෂෙවික් (රුසියානු) විප්ලවයටත් පාදක විය.
අතීතයේ විසූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් මෙසේ ලීවේය. ‘මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු කර තිබේ.’ (දේශනාකාරයා 8:9) පාලනය කරනු ලබන්නේ එක මිනිසෙකු විසින් හෝ වේවා කණ්ඩායමක් විසින් හෝ වේවා ඔහු පැවසූ වදන් සැබෑවක් වී ඇත. මිනිසුන් කණ්ඩායමක් තවත් කණ්ඩායමකට ඉහළින් අණසක පතුරුවන විට සිදු විය හැකි අභාග්‍යය සහ දුක් ගැහැට වැළැක්විය නොහැකිය.
දෙවිට සැමෝම එක සමානය
සමහර මිනිස් කණ්ඩායම් අනිත් අයට වඩා උසස් තත්වයක් උරුම කරගෙන තිබෙනවාද? දෙවිගේ ඇස් හමුයෙහි නම් එසේ නොවේ. බයිබලයේ මෙසේ සඳහන් වේ. ‘මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස දෙවි එක්කෙනෙකුගෙන් ඔවුන් මැවුවේය.’ (ක්‍රියා 17:26) එපමණක්ද නොව, මැවුම්කරු ‘අධිපතීන්ගේ තරාතිරම් නොබලන්නේය. දිළින්දාට වැඩියෙන් ධනවතාට කරුණාව නොදක්වන්නේය. මන්ද ඔවුන් සියල්ලෝම ඔහුගේ අත්වල කර්මාන්තය.’ (යෝබ් 34:19) අප සැමෝම නෑදෑයන් වන අතර, දෙවි ඉදිරියේ මිනිසුන් ඉපදෙන්නේ එක සමානවය.
කෙනෙකු මැරෙන විට, ඔහුට දී ඇති නම්බු නාම සියල්ලම පොළොවට වැළලී යයි. එහෙත්, පුරාණ මිසර වැසියන් නම් එසේ සිතුවේ නැත. ඒ නිසා ඔවුන්ගේ ඵාරාවෝ කෙනෙකු මළ විට, මරණින් පසු ඔහුගේ එම උත්තරීතර තානාන්තරය භුක්ති විඳීමට හැකි වන පිණිස ඔවුහු ඉතා අනර්ඝ දේවල් ඔහුගේ සොහොන තුළ තැන්පත් කළෝය. ඔහු එම දේවලින් සතුටක් වින්දාද? කොහෙත්ම නැත. තැන්පත් කළ එම වස්තුවෙන් වැඩි හරියක් අන්තිමට ඉතිරි වූයේ සොහොන් හොරුන්ගේ තිප්පොළවලය. හොරුන්ගෙන් බේරුණු වටිනා දෙයක් ඉතිරි වූවා නම් ඒවා දැන් අපට කෞතුකාගාරවලදී දැකබලා ගත හැකිය.
ඵාරාවෝ මියගොස් සිටි නිසා ඔහුට අර කී වටිනා වස්තුවෙන් ඇති ඵලක් වූයේ නැත. මරණයේදී ධනපති පන්තිකයා හෝ පහළ පන්තිකයා නැතහොත් ධනවතා හෝ දුප්පතා කියා භේදයක් නැත. බයිබලය සඳහන් කරන්නේ මෙසේය. ‘ප්‍රඥාවන්තයන් මැරී යන අතර, අඥානයාද අල්ප බුද්ධි ඇත්තාද යන දෙදෙනාම විනාශ වෙයි. මිනිසා විනාශ වන තිරිසනුන් හා සමානය.’ (ගීතාවලිය 49:10, 12) අප රජවරුන් වෙතත් දාසයන් වෙතත් දේවානුභාවය ලත් වචනය අප සැම ගැනම එක් සත්‍යයක් ප්‍රකාශ කරයි. ‘මළාහු කිසිවක් නොදනිති. ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.’—දේශනාකාරයා 9:5, 10.
අප සියලුදෙනාගේම උපත සිදුව තිබෙන්නේ දෙවි ඉදිරියේ එක සමානවය. අපේ විපතද එක සමානවම සිදු වනු ඇත. එසේනම්, අප ජීවත් වන මේ කෙටි කාලය තුළ එක මිනිස් කොට්ඨාසයක් තවත් කොට්ඨාසයකට වඩා උසස් කරගැනීමට යෑම මොනතරම් නිෂ්ඵලකමක්ද!
පන්ති භේදයෙන් තොර සමාජයක් බිහි කරන්නේ කෙසේද?
එහෙත්, සමාජයේ පවතින පන්ති බලපෑමෙන් තොරව ජීවත් විය හැකි දවසක් අපට උදා වේවිද? ඔව්, එවන් දවසක් උදා වේවි. දැනට අවුරුදු 2,000කට පමණ පෙර මේ පොළොව මත සිටියදී යේසුස් එවන් සමාජයකට අඩිතාලම් දැම්මේය. යේසුස් තම ජීවිතය ඇදහිල්ල තබන සියලුදෙනා උදෙසා මිදීමේ මිලයක් වශයෙන් දුන්නේය. එසේ කළේ, “[ඔහු] කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16.
සෙසු ඇදහිලිවන්තයන්ට වඩා තමාව උසස් කරගැනීමට කිසිම කෙනෙකු වෑයම් නොකළ යුතුයැයි යේසුස් පැවසුවේය. ‘ඔබ රබ්බියි කියවා නොගන්න. මක්නිසාද ඔබේ ආචාරීන් එක්කෙනෙක්මය, ඔබ සියල්ලෝම සහෝදරයෝය. පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද ඔබේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින තැනැත්තාමය. ඔබ නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද ඔබේ නායකයාණෝ එක්කෙනෙක්මය, එනම් ක්‍රිස්තුස්ය. නුමුත් ඔබ අතරෙන් ඉතා උත්තමයා ඔබේ සේවකයා වන්නේය. තමාම උසස් කරගන්න කවරෙක් නුමුත් පහත් කරනු ලබන්නේය.’ (මතෙව් 23:8-12) දෙවිගේ ඇස් හමුවේ යේසුස්ගේ සැබෑ ගෝලයන් සැමෝම ඇදහිල්ල තුළ එක සමානය.
මුල් ක්‍රිස්තියානීන් තමන්ව සැලකුවේ එක සමාන අය හැටියටද? යේසුස්ගේ ඉගැන්වීම්වල හරය වටහාගත් අය සිතුවේද එසේමය. ඔවුන් තම ඇදහිල්ලේ සිටින අයව එක සමානව සැලකූ අතර, ඒ බව ‘සහෝදරයා’ ලෙස ඇමතීමෙන් පෙන්නුවේය. (පිලෙමොන් 1, 7, 20) අනෙක් තැනැත්තාට වඩා තමන් උසස්යැයි සිතීමට කිසිම කෙනෙකුට දිරිගැන්වූයේ නැත. “යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්ද වූ සීමොන් පේතෘස් නම් මා විසින්, අප වාගේ එක සමාන වරප්‍රසාදයක් ලෙස ඇදහිල්ල ලැබූවන්ට” කියා ප්‍රේරිත පේතෘස් තම දෙවන ලිපියේදී සඳහන් කරද්දී ඔහු තමන්ව හඳුන්වා දෙන යටහත් පහත් ආකාරය නිදසුනකට ගන්න. (2 පේතෘස් 1:1, NW) ප්‍රේරිතයෙක් හැටියටත්, යේසුස් ඔහුට දී තිබූ පුද්ගලික උපදෙස් දෙස බලද්දීත් පේතෘස්ට තිබුණේ ඉතාම වැදගත් වගකීමක්. එහෙත්, ඔහු තමන්ව සලකාගත්තේ දාසයෙකු හැටියටය. එනම්, අනිත් ක්‍රිස්තියානීන් සමඟ ඇදහිල්ලේ වරප්‍රසාදය එකට භුක්ති විඳින්නෙකු හැටියටය.
දෙවි ක්‍රිස්තියානි කාලයට පෙර විසූ ඉශ්රායෙල් ජාතිය තම සුවිශේෂ ජාතිය ලෙස සැලකීම, සමානාත්මතාව යන අදහසට පටහැනි බව සමහරු කියති. (නික්මයාම 19:5, 6) මෙය අන් අයට වඩා වාර්ගිකව උසස් කිරීමකැයි ඔවුන් කිව හැකිය. නමුත් එය එසේ නොවෙයි. ඉශ්රායෙල්වරුන් ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් හැටියට දෙවි සමඟ විශේෂ සම්බන්ධතාවක් භුක්ති වින්ද බවත් දිව්‍ය එළිදරව් කිරීම් සඳහා මාධ්‍යය ලෙස ඔවුන්ව පාවිච්චි කළ බවත් ඇත්තයි. (රෝම 3:1, 2) නමුත් මෙහි අරමුණ වූයේ ඔවුන්ට අන් අයට වඩා ඉහළ තත්වයක් දීම නොවෙයි. ඒ වෙනුවට, එසේ කළේ ‘සියලු ජාතීන් ආශීර්වාද ලබන පිණිසයි.’—උත්පත්ති 22:18; ගලාති 3:8.
එහෙත්, ඉශ්රායෙල්වරුන්ගෙන් බහුතරයක් තම ආදි පියා වූ ආබ්‍රහම්ගේ ආදර්ශය අනුකරණය නොකරන තත්වයට පත් වූහ. ඔවුහු අභක්තිකයන් බවට පත් වූ අතර, යේසුස් මෙසියස් යන්න ප්‍රතික්ෂේප කළෝය. එම හේතුව නිසා දෙවිද ඔවුන්ව ප්‍රතික්ෂේප කළේය. (මතෙව් 21:43) එහෙත්, ඔවුන් අතර සිටි මෘදු ගුණාන්විත මනුෂ්‍යයන්ට පොරොන්දු වී තිබූ ආශීර්වාද අහිමි වූයේ නැත. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී ක්‍රිස්තියානි සභාව බිහි වුණි. ශුද්ධාත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ මේ සංවිධානය හඳුන්වන්නේ ‘දෙවිගේ ඉශ්රායෙල්’ හැටියටයි. ඉහත කී ආශීර්වාද ගලා එන මාධ්‍යය ඔවුන් බව තහවුරු වී ඇත.—ගලාති 6:16.
එම සභාවේ සිටි සමහර සාමාජිකයන්ව සමානාත්මතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සිදු විය. නිදසුනක් හැටියට, ධනවත් ක්‍රිස්තියානීන්ව දිළිඳු ක්‍රිස්තියානීන්ට වඩා වැඩි ගෞරවයකින් සැලකූ අයට යාකොබ් උපදෙස් දුන්නේය. (යාකොබ් 2:1-4) එසේ සැලකීම වැරදිය. අන්‍යජාතික ක්‍රිස්තියානීන් යුදෙව් ක්‍රිස්තියානීන්ට වඩා පහත් නැති බවත්, ක්‍රිස්තියානි පුරුෂයන් ක්‍රිස්තියානි ස්ත්රීන්ට වඩා උසස් නැති බවත් ප්‍රේරිත පාවුල් පෙන්වා දුන්නේය. ඔහු මෙසේ ලීවේය. “නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් [යේසුස්] තුළ ඇදහිල්ල කරණකොටගෙන [දෙවිගේ] පුත්‍රයෝය. මක්නිසාද නුඹලාගෙන් [ක්‍රිස්තුස්] තුළට බව්තීස්ම කරනු ලැබූ සියල්ලෝ [ක්‍රිස්තුස්] පැළඳගත්තෝය. නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් [යේසුස්] තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියක් නැත්තාහ.”—ගලාති 3:26-28.
අද පන්ති භේදයෙන් තොර සෙනඟක්
අද සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බයිබල් ප්රතිපත්තිවලටඑකඟව ජීවත් වීමට වෙර දරති. විවිධ සමාජ පන්තිවලට බෙදීම, යෙහෝවා ඉදිරියේ කිසිම ඵලක් නැති බව ඔවුහු තේරුම්ගෙන ඇත. තවදුරටත් ඔවුන් අතර ගිහි පැවිදි භේදයක්ද නොමැත. එමෙන්ම, ඔවුන් හමේ පාට හෝ ධනවත්කම අනුව වෙන් වී කටයුතු කරන්නේද නැත. ඔවුන්ගෙන් සමහරෙකු ධනවත් වුවත්, “කෙනෙකුගේ ජීවිතයේ පුහු ආටෝපය” තාවකාලික දෙයක් පමණක්ම බව ඔවුන් වටහාගෙන ඇත. (1 යොහන් 2:15-17, NW) ඒ වෙනුවට, ඔවුහු සියලුදෙනාම විශ්වයේ පරමාධිපති දෙවි වන යෙහෝවාට නමස්කාර කිරීමෙහි එක්සත්ව සිටිති.
තමන්ගේ අසල්වැසියාට රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමෙහි හවුල් වීමේ වගකීම ඔවුන් සැම කෙනෙක්ම පිළිගෙන තිබේ. යේසුස් මෙන් ඔවුහුද සමාජය විසින් පාගා, අතහැර දැමූ අයගේ නිවෙස්වලටම ගොස් ඔවුන්ව බැහැදකිති. එසේ ගොස් ඔවුන්ට දේවවචනය ඉගැන්වීමට ඉදිරිපත් වෙති. සමාජ මට්ටමෙන් පහත්යැයි සැලකෙන තත්වයේ අය ඉහළ සමාජයේයැයි සැලකෙන අය සමඟ උරෙන් උර ගැටී වැඩ කරති. මන්ද වැදගත් දෙය වන්නේ අප විදහාපාන ආත්මික ගුණාංග මිස සමාජ පන්තිය නෙවෙයි. මුල් සියවසේදී මෙන් අදත් ඇදහිල්ලේ සිටින සියලුදෙනාම සහෝදර සහෝදරියෝය.
සමානාත්මතාව විවිධත්වයකට . . .
සමානාත්මතාව කීමෙන් එතුළ කිසිම විවිධත්වයක් නැතැයි කියා කොහෙත්ම අදහස් නොකෙරේ. ස්ත්‍රී පුරුෂ, තරුණ මහලු යන සැමෝවමක්රිස්තියානි සංවිධානය මගින් නියෝජනය කෙරේ. මීට විවිධාකාර මානව වර්ගවලට, භාෂාවන්ට, ජාතීන්ට මෙන්ම ආර්ථික පසුබිම්වලට අයත් අයද ඇතුළත්ය. ඔවුන් එකිනෙකාට වෙනස් නිසා විවිධ මානසික සහ ශාරීරික හැකියාවන්ගෙන් හෙබිය. එහෙත්, ඒ කිසිම වෙනස්කමක් ඔවුන්ගෙන් කෙනෙකුව අනිකාට වඩා උසස් කරන්නේවත් පහත් කරන්නේවත් නැත. ඒ වෙනුවට ඒ වෙනස්කම් සිත්කලු විවිධත්වයකට පාදක වෙයි. තමන්ට යම් හැකියාවක් තිබේ නම්, එය දෙවිගෙන් ලැබී ඇති තෑග්ගක්යයි සලකන ක්‍රිස්තියානීහු, අනිත් අයට වඩා තමාව උසස් කරගැනීමට එය හේතුවක් කර නොගනිති.
පන්ති භේදයට හේතු වී තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම් අනුගමනය කරනවා වෙනුවට මිනිසා මිනිසාව පාලනය කිරීමට වෑයම් කිරීමය. ඉතාම ඉක්මනින් දෙවිගේ රාජ්‍යය මේ පොළොවේ දෛනික කටයුතු පාලනය කිරීම අතට ගනු ඇත. එහි ප්‍රතිඵලයක් හැටියට මිනිසා විසින් සාදාගත් පන්ති භේදවලට නිමක් ගෙනෙනු ඇත. එපමණක්ද නොව, ඉතිහාසය පුරා මිනිස් ගාවිනාවට හේතු වූ සෑම දෙයක්ම තුරන් වනු ඇත. “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය” යන්න සැබවින්ම ඉටු වන්නේ එවිටය. (ගීතාවලිය 37:11) කෙනෙකු උජාරුවෙන් තමන් අනුන්ට වඩා උසස්යැයි කීමට හේතු වූ දේ තවත් නැත. ආයෙ කිසිමදාක මිනිසාගේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වය බෙදීමට පන්ති භේදයට නොහැකි වනු ඇත.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
මැවුම්කරු ‘අධිපතීන්ගේ තරාතිරම් නොබලන්නේය. දිළින්දාට වැඩියෙන් ධනවතාට කරුණාව නොදක්වන්නේය. මන්ද ඔවුන් සියල්ලෝම ඔහුගේ අත්වල කර්මාන්තය.’—යෝබ් 34:19.
[6වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තම අසල්වැසියන්ට ගරු කරති
[7වන පිටුවේ පින්තූර]
සැබෑ ක්‍රිස්තියානීන් අතරේ වැදගත් වන්නේ ආත්මික ගුණාංගයි