දෙවිගේ වචනය උගන්වන්නන් තම බලපැවරුම ඉටු කිරීමට දිරිය ලැබ
පසුගිය මාසවලදී සිය දහස් ගණනක් ගුරුවරු ඉගෙනගැනීම සඳහා එක්රැස් වූහ. මෙසේ ඔවුන් එක්රැස් වූයේ පසුගිය මැයි මාසයේ සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ලොව පුරා සංවිධානය කරන ලද සිය ගණනක් වූ “දෙවිගේ වචනය උගන්වන්නෝ” දිස්ත්‍රික් සමුළුවලින් ඉගෙනගැනීමටයි. ඉගෙනගැනීමටත්, අන් අයට ඉගැන්වීම සඳහා තව තවත් සුදුසුකම් ලැබීමටත්, ගුරුවරුන් වශයෙන් තමන්ගේ බලපැවරුම ඉටු කිරීමටත් සමුළුවට පැමිණි සිටි අයව දිරිගන්වන ලදි.
ඔබ එම සමුළුවට ගියාද? ඔබ ගියා නම්, සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කිරීම සඳහා සංවිධානය කර තිබූ මෙම සමුළුවලදී බෙදා දුන් කදිම ආත්මික ආහාර ඔබ අගය කරනවාට සැකයක් නැත. මේ සමුළුවේදී අපි ඉගෙනගත් දේවල් නැවත සලකා බලමු.
පළමුවන දවස—දේවානුභාවයෙන් ලද ලියවිලි ඉගැන්වීම සඳහා ප්රයෝජනවත්ය
“දෙවිගේ වචනයේ ගුරුවරුනි, එන්න ඉගෙනගන්න” නමැති කතාව ඉදිරිපත් කරමින් සමුළුවේ සභාපති පැමිණි සිටි අයව උණුසුම් ලෙස පිළිගත්තේය. යේසුස් උතුම් ගුරුවරයා බවට පත් වූයේ “ශ්‍රේෂ්ඨ උපදේශක” වන යෙහෝවාගෙන් ඉගෙනගත් නිසයි. (යෙසායා 30:20, NW; මතෙව් 19:16) දෙවිගේ වචනයේ ගුරුවරුන් වශයෙන් ප්‍රගතියක් ලැබීමට නම් අපත්යෙහෝවාගෙන් ඉගෙනගත යුතුයි.
ඊළඟ කතාවේ මාතෘකාව වූයේ “රාජ්‍යය පිළිබඳව ඉගැන්වීමෙන් අනගි ඵලදාවක් ලැබේ” යන්නයි. මේ කතාවේදී දෙවිගේ වචනය ඉගැන්වීම පිළිබඳව අද්දැකීම් ලබා තිබෙන අය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවලදී ගෝලයන් සෑදීමේ කාර්යයෙන් ලබන ප්‍රීතිය හා ආශීර්වාද කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදි.
“‘දෙවිගේ බලවත් ක්‍රියා’ තුළින් පෙලඹීමක් ලබමු” නමැති මාතෘකාවෙන් යුත් පොලඹවනසුලු කතාව ඊළඟට ඉදිරිපත් කරන ලදි. මුල් සියවසේදී, දෙවිගේ රාජ්‍යය හා සම්බන්ධ වූ “බලවත් ක්‍රියා” මගින් අවශ්‍ය පියවර ගැනීමට ජනයා පෙලඹිණ. (ක්‍රියා 2:11) ශුද්ධ ලියවිල්ලේ උගන්වන ‘බලවත් ක්‍රියාවලට’ ඇතුළත් මිදීමේ මිලය, නැවත නැඟිටීම හා අලුත් ගිවිසුම ගැන ජනයාට ප්‍රකාශ කිරීමෙන් අවශ්‍ය පියවර ගැනීමට ඔවුන්ව පෙලඹවීමට අපටත් පුළුවනි.
“යෙහෝවාගේ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරමු” නමැති තේමාව යටතේ ඊළඟට ඉදිරිපත් කළ කතාව මගින් සියලුදෙනාවම එසේ කිරීමට දිරිමත් කරන ලදි. (ගීතාවලිය 35:27) ධර්මිෂ්ඨකමට ප්‍රිය කරමින් නපුරට ද්වේෂ කරන්න ඉගෙනගැනීමෙන්ද බයිබලය අධ්‍යයනය කිරීමෙන්ද ආත්මිකත්වයට හානි පමුණුවන බලපෑම්වලට විරුද්ධව නිශ්චිත පියවර ගැනීමෙන්ද යටහත්කම වර්ධනය කරගැනීමෙන්ද ධර්මිෂ්ඨකම ලුහුබැඳීමට එම කතාවේ තොරතුරු අපට උපකාරවත් විය. ඉහත සඳහන් කළ දේවල් අප කරනවා නම් නරක ආශ්රයෙන්, ලෝකයේ ද්‍රව්‍යවාදී ආකල්පවලින් හා දුරාචාරමය මෙන්ම සාහසික විනෝද මාධ්‍යවලින්ද අපට ආරක්ෂා විය හැක.
යෙහෝවා ඔහුගේ වචනය, ශුද්ධාත්මය හා භූමික සංවිධානය මාර්ගයෙන් සුදුසුකම් ලත් දේවසේවකයන් වීමට අපට උපකාර කරන බව “දෙවිගේ වචනය උගන්වන්නන් වශයෙන් පූර්ණ ලෙස සූදානම්ව සිටිමු” නමැති මාතෘකාව යටතේ ඉදිරිපත් කළ මූලික ඇමතුම මගින් අපට මතක් කර දෙන ලදි. දෙවිගේ වචනය භාවිත කිරීම සම්බන්ධයෙන් කථිකයා අපට මෙම උපදේශය දුන්නේය. “අපේ ඉලක්කය වන්නේ බයිබලයේ මුද්‍රිත පණිවිඩය අපගේ ශ්‍රාවකයන්ගේ හදවත් තුළට කාවැද්දවීමයි.”
“අනුන්ට උගන්වන විට, අපිත් උගනිමු.” සමුළුවේ ප්‍රථම කතා මාලාවේ තේමාව වූයේ එයයි. අන්‍යයන්ට උගන්වන විට අපද උසස් ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිති රක්ෂා කළ යුතු බව මුල් කොටසේදී අවධාරණය කරන ලදි. ‘සැබෑවේ වචනය හරියාකාරව පහදා දීමේ’ අවශ්‍යතාව ඊළඟ කොටසේදී අපට පෙන්වා දුන්නේය. (2 තිමෝති 2:15) අප දෙවිට කොතරම් කාලයක් සේවය කර තිබුණත්, අප දිගටම ඉගෙනගැනීමට නම් නිතිපතා කඩිසරව බයිබලය අධ්‍යයනය කළ යුතුයි. උඩඟුකම, ස්වාධීන ස්ප්‍රීතුව, තමාගේම වැදගත්කම ගැන නුවමනා ලෙස සිතීම, ඊර්ෂ්‍යාව, කුඩුකේඩුකම, යම් අසාධාරණයක් වූවායයි සිතීම නිසා කුපිතව සිටීම, අමනාපය සිතේ තබාගැනීම හා අන් අයගේ වැරදි සෙවීම වැනි ආකල්ප අප තුළින් දිස් වන තෙක් යක්ෂයා සුපරීක්ෂාකාරිව බලා සිටින බව අවසාන කොටසේදී පෙන්වා දෙන ලදි. අපි මුළු වැර යොදමින් යක්ෂයාට විරුද්ධව සිටිනවා නම් ඔහු අප වෙතින් පලා යනු ඇත. ඔහුට විරුද්ධව සිටීමට නම් අප දෙවිට ළං විය යුතුයි.—යාකොබ් 4:7, 8.
“ලොව පුරා වසංගතයක් මෙන් පැතිරී යන කාමුක කෘති පිළිකුල් කරමු” නමැති කතාව කාලෝචිත එකකි. අපේ ආත්මිකත්වයට තර්ජනයක් එල්ල කරන කාමුක කෘති පිළිකුල් කිරීමේ සටන සාර්ථකව කළ හැකි ආකාරය එම කතාවේදී පැහැදිලි කරන ලදි. යෙහෝවා “නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඇත්තාවූ හිංසාව බලා සිටින්ට නොහැකි වූ” කෙනෙකු කියා අනාගතවක්තෘ හබක්කුක් පැවසුවේය. (හබක්කුක් 1:13) අප “නපුරට පිළිකුල්” කළ යුතුයි. (රෝම 12:9) තම දරුවන් අන්තර් ජාලය පාවිච්චි කිරීම හා රූපවාහිනිය නැරඹීම පාලනය කිරීමට පියවර ගන්න කියා දෙමාපියන්ට උපදෙස් දෙන ලදි. කාමුක කෘති බැලීමට දැඩි පෙලඹීමක් තිබෙන අය ආත්මිකව මේරූ මිත්‍රයෙකුගේ උපකාර පැතිය යුතු බව කථිකයා පැවසුවේය. මතු දැක්වෙන බයිබල් පද ගැන මෙනෙහි කිරීම හෝ කටපාඩම් කරගැනීම මෙහිදී උපකාරවත් වනු ඇත. ගීතාවලිය 97:10; මතෙව් 5:28; 1 කොරින්ති 9:27; එපීස 5:3, 12; කොලොස්සි 3:5 සහ 1 තෙසලෝනික 4:4, 5.
ඊළඟ කතාවේ මාතෘකාව වූයේ “දෙවිගෙන් ලැබෙන සමාදානය ඔබට ආරක්ෂාවක් වේවා!” යන්නයි. අප කනස්සල්ලෙන් බර වී සිටින විට අපේ බර යෙහෝවා මතට විසි කර දැමිය හැකි බවට වූ නිසැකකම අපට සැනසිල්ලකි. (ගීතාවලිය 55:22) අප යාච්ඤාවෙන් අපේ සිත් වගුරුවනවා නම් ‘දෙවිගේ සමාදානය,’ එනම් ඇතුළාන්ත තැන්පත් ගතිය හා සන්සුන්කම යෙහෝවා අපට ලබා දෙනු ඇත. මෙය දෙවි සමඟ අපට තිබෙන අනගි සම්බන්ධතාවේ ප්‍රතිඵලයක් වශයෙන් භුක්ති විඳීමට ලැබෙන දෙයකි.—පිලිප්පි 4:6, 7.
“යෙහෝවා ආලෝකයෙන් තම සෙනඟ අලංකාර කරයි” නමැති කතාවෙන් පළමුවන දවස අවසන් වූයේ සතුටු වීම සඳහා විශේෂ හේතුවක්ද සපයමිනි. යෙසායා 60වන පරිච්ඡේදයේ ඉටුවීම එම කතාවේදී පැහැදිලි කරන ලදි. ලෝකයේ පවතින අන්ධකාරය මැද පවා ‘විදේශීන්’ එනම් අන්ධකාරයෙන් එළියට එන බැටළු ගුණැති අයගෙන් සමන්විත මහත් සමූහය ආලේප ලත් අය හා සමඟ යෙහෝවා සපයන ආලෝකයේ ප්‍රයෝජන භුක්ති විඳිති. කථිකයා 19වන හා 20වන වගන්ති ගෙනහැර දක්වමින් මෙසේ පැහැදිලි කළේය. “යෙහෝවා ඉර මෙන් ‘බැස යන්නේවත්’ සඳ මෙන් ‘පහව යන්නේවත්’ නැත. තම සෙනඟ මත ආලෝකය වැගිරවීමෙන් ඔහු දිගටම ඔවුන්ව අලංකාරවත් කරයි. අන්ධකාරයෙන් වෙළී තිබෙන මෙලොවෙහි අන්තිම දවස්වල ජීවත් වන අපට මෙය මොනතරම් දිරිගන්වනසුලු පොරොන්දුවක්ද!” කතාව අවසානයේදී කථිකයා යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන නමැති පොතේ දෙවන වෙළුම එළිදැක්වුවේය. මේ අලුත් ප්රකාශනය ඔබ දැනටමත් කියවා අවසන්ද?
දෙවන දවස—අනුන්ට ඉගැන්වීම සඳහා යෝග්‍ය ලෙස සුදුස්සන් වෙමු
දෙවන දවසට නියමිතව තිබූ දිනපදය සාකච්ඡා කිරීමෙන් පසුව අප මහත් උනන්දුවෙන් සවන් දුන්නේ සමුළුවේ දෙවන කතා මාලාවටයි. එහි තේමාව වූයේ “අනුන්ව ඇදහිලිවන්තයන් බවට පත් කරන දේවසේවකයෝ” යන්නයි. කොටස් තුනකින් සමන්විත වූ මෙම කතා මාලාව ඉදිරිපත් කළ කථිකයෝ ඇදහිලිවන්තයන් බවට පත්වීමට ජනයාට උපකාර කිරීමට ඇතුළත් පියවර තුනක් ඔවුන්ගේ කොටස්වලදී විශේෂ කොට දැක්වුවෝය. එනම්, රාජ්‍ය පණිවිඩය පැතිරවීම, උනන්දුව තවදුරටත් වර්ධනය වීමට සැලැස්වීම හා ක්‍රිස්තුස් අණ කළ සියල්ල පැවැත්වීමට උනන්දුව දක්වන අයට ඉගැන්වීමයි. ගෝලයන් බවට පත්වීම සඳහා අනුන්ට ඉගැන්වීමට අපට හැකි ආකාරය ගැන සම්මුඛ සාකච්ඡා හා නිරූපණය කර දැක්වූ අද්දැකීම්වලින් අපට දැකගත හැකි විය.
ඊළඟ කතාවේ තේමාව වූයේ “ඔබේ විඳදරාගැනීමට දේවභක්තිය එකතු කරගන්න” යන්නයි. වැදගත්ම දෙය වන්නේ ‘අවසානය දක්වා විඳදරාගැනීම’ බව කථිකයා පෙන්වා දුන්නේය. (මතෙව් 24:13, NW) දේවභක්තිය වර්ධනය කරගැනීම සඳහා දෙවි දී තිබෙන සියලුම සැපයුම්වලින් ප්‍රයෝජන ගත යුතුයි. යාච්ඤාව, පෞද්ගලික අධ්‍යයනය, රැස්වීම් හා දේවසේවය එම සැපයුම් අතර වේ. අපේ දේවභක්තිය ටිකෙන් ටික දුර්වල කිරීමට හෝ විනාශ කිරීමට ලෞකික තෘෂ්ණාවලට හෝ ක්‍රියාකාරකම්වලට ඉඩ නොදිය යුතුයි.
අදදින වෙහෙස වන බර උසුලන ජනයාට සහනය ලබාගත හැක්කේ කොහෙන්ද? “ක්‍රිස්තුස්ගේ වියගහ යට සහනය ලබමු” නමැති කතාවේදී එම ප්‍රශ්නයට පිළිතුරු සපයන ලදි. තමාගේ වියගහ යටට පැමිණ තමාගෙන් ඉගෙනගන්න කියා යේසුස් කාරුණිකව ඔහුගේ අනුගාමිකයන්ට ආරාධනා කළේය. (මතෙව් 11:28-30) සරල හා සමබර ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් යේසුස් තැබූ ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කිරීමෙන් ඔහුගේ වියගහ දරන්න අපටත් පුළුවනි. තමන්ගේ ජීවිතය සරල කරගෙන තිබෙන අය සමඟ කළ සම්මුඛ සාකච්ඡා මගින් මේ කතාවේ මූලික කරුණු කැපීපෙනෙන්න සලස්වන ලදි.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශාල එක්රැස්වීම්වල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ දෙවිට කැප වී සිටින නවකයන්ගේ බව්තීස්මයයි. “ඉගැන්වීමේ තවත් උතුම් වරප්‍රසාදවලට බව්තීස්මය මඟ පාදයි” නමැති තේමාව යටතේ කතාව ඉදිරිපත් කළ සහෝදරයා බව්තීස්ම අපේක්ෂකයන්ව උණුසුම් ලෙස පිළිගෙන, තවත් සේවා වරප්‍රසාද අත් කරගැනීමට ඔවුන්ට ආරාධනා කළේය. ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් අවශ්‍යතා සපුරාලන අලුතින් බව්තීස්ම වූ දෙවිගේ වචනය උගන්වන්නන්ට සභාවේ විවිධ වගකීම් දැරීමේ ප්‍රස්තාව අත් කරගත හැකියි.
දෙවන දිනයේ දහවල් සැසිවාරයේ ඉදිරිපත් කළ මුල්ම කතාවේ තේමාව වූයේ “උතුම් ගුරුවරයාව අනුකරණය කරමු” යන්නයි. ගණන් කළ නොහැකි තරම් දීර්ඝ කාලයක් පුරා සිය පියාව හොඳින් නිරීක්ෂණය කරමින් ඔහුව අනුකරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යේසුස් උතුම් ගුරුවරයා බවට පත් විය. ඔහු පොළොව මත සිටි කාලයේදී ඵලදායී ඉගැන්වීමේ ක්‍රම යොදාගත්තේය. ඔහු ජනයාගේ සිත්වලට කාවදිනසුලු ප්‍රශ්න මතු කළ අතර, සරල මෙන්ම පැහැදිලි උපහැරණ භාවිත කළේය. යේසුස් ඔහුගේ ඉගැන්වීම් පදනම් කරගත්තේ දෙවිගේ වචනය මතය. එමෙන්ම ඔහු උද්යෝගයෙන්, උණුසුම්භාවයෙන් හා ආධිපත්‍යයක් ඇත්තෙකු මෙන් කතා කළේය. මෙම උතුම් ගුරුවරයාව අනුකරණය කිරීමට අප තුළ පෙලඹවීමක් ඇති වූයේ නැද්ද?
ඊළඟට තවත් පොලඹවනසුලු කතාවක් ඉදිරිපත් කරන ලදි. “අනුන් වෙනුවෙන් සේවය කරන්න ඔබ කැමතිද?” නමැති තේමාව යටතේ ඉදිරිපත් කළ එම කතාවෙන් අනුන්ට සේවය කිරීමේදී යේසුස්ව අනුකරණය කිරීමට අපව දිරිමත් කළේය. (යොහන් 13:12-15) අන් අයට උපකාර කිරීමේ ප්‍රස්තාවන් අත් කරගැනීම සඳහා තිමෝති මෙන් වීමට සුදුසුකම් ලත් පුරුෂයන්ගෙන් කථිකයා ඉල්ලා සිටියේය. (පිලිප්පි 2:20, 21) පූර්ණ කාලීන සේවය නමැති ඉලක්කය අත් කරගැනීම සඳහා තම දරුවන්ට උපකාර කිරීමේදී එල්කානාගේ හා හන්නාගේ ආදර්ශය අනුකරණය කිරීමට දෙමාපියන්ව දිරිමත් කරන ලදි. අනුන්ට සේවය කිරීම සඳහා ඉදිරිපත් වීමේදී යේසුස්ගේ හා තරුණ තිමෝතිගේ ආදර්ශය අනුකරණය කිරීමට කථිකයා යෞවනයන්ව උනන්දු කළේය. (1 පේතෘස් 2:21) අනුන්ට සේවය කිරීම සඳහා උදා වූ ප්‍රස්තා ප්‍රයෝජනයට ගෙන තිබෙන අය පැවසූ දේවලින් අප තුළද අනුන්ට සේවය කිරීමට පෙලඹවීමක් ඇති විය.
තුන්වන කතා මාලාවේ තේමාව වූයේ “දිව්‍යාණ්ඩු අධ්‍යාපනයෙන් වැඩිමනත් ප්‍රයෝජන නෙළාගනිමු” යන්නයි. අප සතු අවධානය යොමු කිරීමේ හැකියාව දියුණු කරගැනීමේ වැදගත්කම මුල් කථිකයා අවධාරණය කළේය. එම ඉලක්කය අත් කරගැනීමේදී මුලින්ම පෞද්ගලික අධ්‍යයනය කෙටි වේලාවකට සීමා කර, පසුව එය ක්‍රමානුකූලව වැඩි කරගන්න පුළුවනි. රැස්වීම්වලදී බයිබල් පද පෙරළා බැලීමටත් කෙටි සටහන් ගැනීමටත් පැමිණ සිටි අයව කථිකයා දිරිමත් කළේය. “සුවදායී වචනවල රටාවට [NW]” අනුකූලව සිටීමේ අවශ්‍යතාව ගැන අවදියෙන් සිටීමට දෙවන කථිකයා අපව දිරිමත් කළේය. (2 තිමෝති 1:13, 14) දුරාචාරය හුවා දක්වන ජන මාධ්‍යවලින්, මිනිසුන්ගේ මතිමතාන්තරවලින්, බයිබලය විවේචනයට ලක් කරන්නන්ගේ හා ඇදහිල්ල අත්හළ අයගේ ඉගැන්වීම්වලින් ආරක්ෂා වීමට නම්, පෞද්ගලික අධ්‍යයනයට හා රැස්වීම්වලට යෑමට කෙසේ හෝ කාලය සොයාගත යුතුයි. (එපීස 5:15, 16, NW) දිව්‍යාණ්ඩු අධ්‍යාපනයෙන් වැඩිමනත් ප්‍රයෝජන නෙළාගැනීම සඳහා අප ඉගෙනගන්න දේවල් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව කතා මාලාවේ අවසාන කොටස ඉදිරිපත් කළ කථිකයා අවධාරණය කළේය.—පිලිප්පි 4:9, NW.
“අපගේ ආත්මික අභිවෘද්ධිය සඳහා අලුත් සැපයුම්” නමැති තේමාවෙන් යුත් කතාවට අපි මොනතරම් උනන්දුවකින්ද සවන් දුන්නේ! දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු නමැති අලුත් පොතක් ළඟදීම ප්‍රකාශයට පත් කෙරෙන බව දැනගන්න ලැබීමෙන් අපි සතුටු වුණෙමු. කථිකයා මෙම පොතේ තිබෙන තොරතුරු සැකෙවින් ගෙනහැර දක්වද්දී එම පොත කියවීමේ උනන්දුව තව තවත් වැඩි විය. මේ පොතේ කථික උපදෙස් රැසක් අඩංගු කොටසේ සඳහන් දේවල් සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසුවේය. “හොඳින් කියවීමට, කතා කිරීමට සහ ඉගැන්වීමට උපකාරවත් වන මෙම අංග 53 ගෙනහැර දැක්වීමේදී ලෞකික අධ්‍යාපනයකදී යොදාගන්න එළඹීමක් මෙම අලුත් අත්පොතෙහි භාවිත කරන්නේ නැත. මෙම එළඹීම පදනම් වී තිබෙන්නේ ශුද්ධ ලියවිල්ලේ ප්‍රතිපත්ති මතයි.” අනාගතවක්තෘවරුන්, යේසුස් හා ඔහුගේ ගෝලයන් ඉගැන්වීමේදී යොදාගත් ඵලදායී ක්‍රම මෙම පොතෙහි සඳහන් වේ. මෙම අත්පොත හා දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුළත් වන නව අංග දෙවිගේ වචනය වඩාත් හොඳින් ඉගැන්වීමට අපට උපකාරවත් වන බව නිසැකයි.
තුන්වන දවස—කාලය ප්‍රකාරයට ගුරුවරු වෙමු
තුන්වන දවසට නියමිතව තිබූ දිනපදය සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ සමුළුවේ අවසාන කතා මාලාවට පැමිණ සිටි සියලුදෙනාම හොඳ අවධානයක් දුන්හ. එහි තේමාව වූයේ “යෙහෝවාගේ දවස සඳහා අපව සූදානම් කරවන මලාකීගේ අනාවැකිය” යන්නයි. මලාකී අනාවැකි පැවසුවේ යුදෙව්වන් බබිලෝනියෙන් ආපසු පැමිණ අවුරුදු සියයකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුවය. ඔවුහු නැවතත් ටිකෙන් ටික ඇදහිල්ල අත්හැර යමින් නපුරු ක්‍රියාවල නිරත වෙන්න පටන්ගත්හ. යෙහෝවාගේ ධර්මිෂ්ඨ නීති නොසලකා හැරීමෙන් හා අන්ධ, කොර හා රෝගාතුර සතුන් පූජා කිරීමෙන් ඔවුහු යෙහෝවාගේ නාමය අගෞරවයට පත් කළහ. එපමණක්ද නොව, ඔවුහු තරුණ වයසේදී විවාහ කරගත් ඔවුන්ගේ භාර්යාවන්ව දික්කසාද කළහ. එසේ කිරීමේ අරමුණ වූයේ අන්‍යජාතික ස්ත්‍රීන්ව විවාහ කරගැනීම විය හැක.
යෙහෝවා ඔහුගේ සෙනඟට ප්‍රේම කරන බවට මලාකීගේ අනාවැකියේ මුල් වගන්තිවලින් මලාකී 1 අපට සහතික කරයි. දෙවි කෙරෙහි ගෞරවාන්විත භයක් මෙන්ම පරිශුද්ධ දේවල් සඳහා අගයක් පෙන්වීමේ අවශ්‍යතාව පළමුවන පරිච්ඡේදය අවධාරණය කරයි. යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ ආත්මාර්ථකාමි චේතනාවලින් තොර ප්‍රේමයකින් ඔහුට නමස්කාර කරමින් අප අපේ උපරිමය කිරීමයි. අපේ පරිශුද්ධ සේවය හුදෙක් චාරිත්‍රයක් ලෙස කරන දෙයක් නොවිය යුතුයි. මන්ද අප ඒ ගැන දෙවිට ගණන් දිය යුතුයි.
මලාකී දෙවන පරිච්ඡේදයේ සඳහන් දෑ අපේ කාලයට අදාළ කරමින් කතා මාලාවේ දෙවන කොටස ඉදිරිපත් කළ කථිකයා මෙසේ ඇසුවේය. “‘අධර්මිෂ්ඨකමක් අපගේ තොල්වල සම්බ නොවීම’ සඳහා අපි පෞද්ගලිකව කල්පනාකාරි වෙනවාද?” (මලාකී 2:6) තමන් පවසන දේවල් ස්ථිර ලෙස පදනම් වී තිබෙන්නේ දෙවිගේ වචනය මත බවට, ඉගැන්වීමේදී පෙරමුණ ගන්න අය නිසැක විය යුතුයි. නීති විරෝධී දික්කසාදයන් කිරීම වැනි ද්‍රෝහි ක්‍රියා අප සම්පූර්ණයෙන්ම හෙළා දැකිය යුතුයි.—මලාකී 2:14-16.
“යෙහෝවාගේ දවසින් බේරෙන්නේ කවුද?” නමැති තේමාව යටතේ කතා මාලාවේ අවසාන කතාව ඉදිරිපත් කළ කථිකයා යෙහෝවාගේ දවස සඳහා සූදානම් වීමට අපට උපකාර කළේය. “මලාකී 3වන පරිච්ඡේදයේ 17වන පදය ප්‍රධාන වශයෙන් යෙහෝවාගේ සේවකයන් සම්බන්ධයෙන් ඉටු වන බව දැන සිටීම මොනතරම් සැනසිල්ල ගෙන දෙන්නක්ද!” කියා ඔහු උණුසුම් හැඟීමෙන් යුතුව පැවසුවේය. එම වගන්තියේ මෙසේ සඳහන් වේ. “ඔව්හු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය. මමද මනුෂ්‍යයෙක් තමාට සේවය කරන තමාගේ පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් ඔවුන්ට කරුණා කරන්නෙමියි සේනාවල [යෙහෝවා කියන්නේය].”
සමුළුවේ තවත් විශේෂ අංගයක් වූයේ “යෙහෝවාගේ අධිකාරයට ගෞරව කරමු” නමැති තේමාවෙන් යුත් නාට්‍යයයි. මෝසෙස් සහ ආරොන් කෙරෙහි කෝරා කැරලිකාර ආකල්පයක් විදහාපෙන්නුවත් ඔහුගේ පුත්‍රයෝ යෙහෝවාටත් ඔහුගේ නියෝජිතයන්ටත් පක්ෂපාත වූහ. කෝරා හා ඔහුගේ පැත්ත ගත් අය විනාශ වී ගිය අතර ඔහුගේ පුත්‍රයෝ දිවි ගළවාගත්හ. ඊළඟට ඉදිරිපත් කළ “දිව්‍ය අධිකාරියට පක්ෂපාතව යටත් වෙමු” නමැති කතාවේදී නාට්‍යයෙන් ඉදිරිපත් කළ පණිවිඩය අප එක් එක්කෙනාට අදාළ වන ආකාරය පෙන්වා දෙන ලදි. කෝරා සහ අනිකුත් කැරලිකරුවෝ අසමත් වූ පැති හයක් ගැන අනතුරු අඟවමින් කථිකයා කතා කළේය. ඒවා නම් යෙහෝවාගේ අධිකාරයට පක්ෂපාතව අත හිත නොදීම; උඩඟුකමේ, තණ්හාවේ සහ ඊර්ෂ්‍යාවේ උගුලට හසුවීම; යෙහෝවා පත් කර ඇති අයගේ අසම්පූර්ණකම් උලුප්පා දැක්වීම නිසා තම දෘෂ්ටිය බොඳ කරගැනීම; මැසිවිලි නඟනසුලු ආකල්පයක් පෝෂණය කිරීම; තමන්ට ලැබී තිබෙන සේවා වරප්‍රසාදවලින් සෑහීමට පත් නොවීම හා යෙහෝවාට පක්ෂපාත වීමට වඩා මිත්‍රකම් හෝ පවුල් සබඳතාවලට මුල් තැන දීමයි.
“සියලු ජාතීන්ට සත්‍යය උගන්වන්නේ කවුද?” ප්‍රසිද්ධ කථාවේ තේමාව වූයේ එයයි. මෙම කතාවේදී සාකච්ඡාවට භාජන කළ සත්‍යය සාමාන්‍යයෙන් සත්‍යයයි කියා හඳුන්වනු ලබන දෙය නොව, යෙහෝවාගේ අරමුණු හා සම්බන්ධ සත්‍යයයි. යේසුස් ක්‍රිස්තුස් ඒ ගැන සාක්ෂි දැරුවේය. විශ්වාසයන් හා සම්බන්ධ සත්‍යය, නමස්කාරය හා සම්බන්ධ සත්‍යය සහ පෞද්ගලික හැසිරීමට අදාළ වන සත්‍යය කථිකයා අවධානයට ලක් කළේය. මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් හා අද සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර කථිකයා කළ සැසඳීමේදී ‘දෙවි අප අතර සිටිනවා’ යන කාරණය අපට තවත් හොඳින් ඒත්තුගියේය.—1 කොරින්ති 14:25.
මුරටැඹ පාඩමේ සාරාංශයෙන් පසු ඉදිරිපත් කළ “අප සතු ඉගැන්වීමේ පැවරුම හදිසිතාවෙන් යුක්තව ඉටු කරමු” නමැති අවසාන කතාව මගින් සමුළුවට පැමිණ සිටි දෙවිගේ වචනය උගන්වන සියලුදෙනාවම අවශ්‍ය පියවර ගැනීමට පොලඹවනු ලැබීය. ඉගැන්වීමේදී ශුද්ධ ලියවිල්ල යොදාගැනීමේ වැදගත්කම, අපට සුදුසුකම් ලත් ගුරුවරුන් විය හැකි විධි හා අප අන් අයට උගන්වන සත්‍යය ගැන නිසැකකමක් ඇතුව සිටීමේ අවශ්‍යතාව ගැන වැඩසටහනේ මූලික කරුණු නැවත සලකා බලමින් අවධාරණය කරන ලදි. ‘අපේ දියුණු වීම පෙනෙන්න’ සලස්වන්න කියාත් ‘අප ගැනත් අපේ ඉගැන්වීම ගැනත් [නිරතුරුවම අවධානයෙන් සිටින්න, NW]’ කියාත් කථිකයා අපව උනන්දු කළේය.—1 තිමෝති 4:15, 16.
“දෙවිගේ වචනය උගන්වන්නෝ” දිස්ත්‍රික් සමුළුවේදී අප මොනතරම් ප්‍රණීත ආත්මික ආහාර භුක්ති වින්දාද! දෙවිගේ වචනයේ තිබෙන දේවල් අන් අයට ඉගැන්වීමේදී අපේ උදාර උපදේශකයා වන යෙහෝවාව හා අපේ උතුම් ගුරුවරයා වන යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරමු.
[28වන පිටුවේ කොටුව⁄පින්තූර]
විශේෂ අවශ්‍යතා සපුරාලන නව ප්‍රකාශන
ලෝකයේ ඇතැම් ප්‍රදේශවල සිටින මිනිසුන්ට ශුද්ධ ලියවිල්ලේ සඳහන් සත්‍යය ඉගැන්වීමේදී ඉමහත් සේ උපකාරවත් වන ප්‍රකාශන දෙකක් ලැබීම ගැන “දෙවිගේ වචනය උගන්වන්නෝ” දිස්ත්‍රික් සමුළුවට පැමිණ සිටි අය ප්‍රීතියෙන් ඉපිල ගියහ. “ප්‍රාණය” හා “ආත්මය” අතර වෙනසක් දක්වන්නේ නැති භාෂාවන් තිබෙන ප්‍රදේශවල සිටින අය සමඟ සංවාදයන් ආරම්භ කිරීම සඳහා ඔබට අමරණීය ආත්මයක් තිබේද? නමැති පත්‍රිකාව ප්‍රයෝජනවත් වනු ඇත. ආත්මය නොහොත් ජීව බලය ආත්ම මැවිල්ලකට වඩා වෙනස් බවත් මිනිසුන් මිය ගිය පසු ආත්ම ජීවීන් බවට පත් වන්නේ නැති බවත් මෙම පත්‍රිකාවේ පැහැදිලිව දක්වා තිබේ.
සතුටින් පිරි ජීවිතයකට මඟ නමැති විවරණිකාව සමුළුවේ දෙවන දවසේ අවසානයේදී එළිදක්වන ලදි. මෙම විවරණිකාව පිළියෙළ කර තිබෙන්නේ පෞද්ගලිකත්වයක් ඇති මැවුම්කරුවෙකු ගැනත් දෙවිගේ ආනුභාවයෙන් ලියවුණු පොතක් ගැනත් විශ්වාසයක් හෝ අවබෝධයක් නොමැති අය සමඟ බයිබල් පාඩම් පටන්ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. මෙම අලුත් ප්‍රකාශන දේවසේවයේදී ජනයාට ඉදිරිපත් කරන්න ඔබට හැකි වී තිබෙනවාද?
[26වන පිටුවේ පින්තූර]
ඉතාලියේ මිලාන්හිදී හා ලොව පුරා පවත්වන ලද සමුළුවලදී සියගණනක් බව්තීස්ම වූහ
[29වන පිටුවේ පින්තූරය]
“යෙහෝවාගේ අධිකාරයට ගෞරව කරමු” නමැති නාට්‍යයෙන් ප්‍රේක්ෂකයන්ව ක්‍රියාවට පොලඹවන ලදි