ජීවිත කතාව
අන් අයට සේවය කිරීමෙන් වේදනාව සැහැල්ලු වේ
පැවසුවේ හූලියාන් ආරියාස්
වර්ෂ 1988 වෙද්දී මට වයස අවුරුදු 40යි. මගේ රැකියාවෙහි හොඳ ස්ථාවරභාවයක් පෙනෙන්ට තිබුණා. මම සේවය කළේ බහුජාතික සමාගමක ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරයෙක් හැටියටයි. මගේ රැකියාව නිසා සුඛෝපභෝගී කාර් එකක්, හොඳ වැටුපක් සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ සැප පහසු කාර්යාලයක් මට ලැබුණා. කවදා හරි ජාතික අධ්යක්ෂවරයා හැටියට මාව පත් කරනවා කියා සමාගම මට යම් ඉඟියකුත් කර තිබුණා. මගේ ජීවිතය විශාල වෙනසකට ලක් වේවි කියලා මම ඒ කාලයේ දැනගෙන හිටියේ නැහැ.
එම අවුරුද්දේ එක් දිනයක මගේ වෛද්‍යවරයා මට දැනුම් දුන්නා සුව කළ නොහැකි ස්නායු පද්ධතියේ අසාධ්‍ය රෝගී තත්වයක් වන මල්ටිපල් ස්කලරොසිස් රෝගය මට වැලඳී තිබෙන බව. මගේ ජීවිතේ එදා තරම් දුක් වුණ දවසක් තවත් නැති තරම්. එම රෝගය නිසා යම් පුද්ගලයෙකුට සිදු වන විපත්තිය ගැන කියවලා දැනගත්තාම මම හොඳටම බය වුණා.a එය මගේ ජීවිත කාලයටම තර්ජනයක් වෙන දෙයක් විදිහටයි මට ඒ වෙලාවේ හැඟුණේ. මගේ භාර්යාව වන මිලාග්රොස්වයි මගේ තුන් වියැති ඉස්මයිල් පුතුවයි මම රැකබලා ගන්නේ කොහොමද? අපි මේ තත්වයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද වැනි ප්‍රශ්නවලට උත්තර හොයහොය ඉන්නකොට තවත් දුක්මුසු සිදුවීමකට මට මුහුණ දෙන්න වුණා.
මගේ වෛද්‍යවරයාගේ වාර්තාව ලැබී මසකට පමණ පසු මගේ වැඩ පරීක්ෂකවරයා ඔහුගේ කාර්යාලයට මාව කැඳෙව්වා. කාර්යාලයට අවශ්‍ය කරන්නේ “මනා පෙනුමක්” තිබෙන සේවකයන් බව ඔහු කියා සිටියා. පුද්ගලයෙකුව ක්‍රමක්‍රමයෙන් අඩපණ කරන එම රෝගයේ මුල් අවධියේ සිටින කෙනෙකු තුළ පවා මනා පෙනුමක් නැති බව ඔහු කියා සිටියා. එදාම ඔහු මාව රැකියාවෙන් පහ කළා. මෙලෙසින් හදිසියෙන්ම මට මගේ රැකියාවත් අහිමි වුණා!
මගේ පවුලේ අය ඉදිරියේ එඩිතර ලෙස ඉන්න වෑයම් කළත් තනි වූ හැම මොහොතකම මගේ අලුත් තත්වය ගැනත් මගේ අනාගතය ගැනත් මම කල්පනා කළා. මානසික අවපීඩන තත්වය මැඩගන්න මම සෑහෙන මහන්සියක් ගත්තා. මට ලොකුම වේදනාවක් දැනුණේ එක රැයකින් මගේ සමාගමට මාව කිසිම පලක් නැති මිනිහෙක් වුණ එක ගැනයි.
දුර්වලකමින් ශක්තිය ලබා
අධෛර්යයට පත් වූ එම කාලයේ ශක්තිය ලබාගැනීමට මට මාර්ග කිහිපයක් තිබුණා. මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වුණේ අවුරුදු 20කට කලින්. මගේ හිතට දැනෙන දේ ගැනත් කිසිම ස්ථිරභාවයක් නැති මගේ අනාගතය ගැනත් යෙහෝවාට අවංකව යාච්ඤා කළා. මගේ භාර්යාව තමයි හැම දුකකදීම මගේ ළඟින්ම හිටියේ. ඇය ශක්තියේ උල්පතක් වුණා. ඇයත් යෙහෝවාගේ සාක්ෂිකාරියක්. ඒ වගේම මගේ හිතවත් මිත්‍රයන්ගෙන් මට දිරිගැන්වීමත් සහයෝගයත් ලැබුණා. ඔවුන්ගේ දයානුකම්පාව ඇත්තෙන්ම මිල කළ නොහැකි යමක් බව ඔප්පු වුණා.—හිතෝපදේශ 17:17.
අන් අය කෙරෙහි මං තුළ තිබුණාවූ වගකීමේ හැඟීමත් මට උපකාරවත් වුණා. මට අවශ්‍ය වුණා මගේ පුතාව හොඳින් හදාගන්න, ඔහුට උගන්වන්න, ඔහුත් එක්ක සෙල්ලම් කරන්න සහ දේශනා සේවයේ යෙදන විදිය ඔහුට පුහුණු කරන්න. ඒ නිසා මම අධෛර්යයට පත් නොවී ඉන්න නිතරම උත්සාහ කළා. ඒ වගේම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වැඩිමහල්ලෙක් හැටියට මම සේවය කළා. ඒ සභාවේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ටත් මගේ උපකාරය අවශ්‍යයි. මගේ ඇදහිල්ල හීන කරගැනීමට මගේ රෝගී තත්වයට ඉඩහරිනවා නම් මම අන් අයට තබන ආදර්ශය මොකක්ද?
මගේ ජීවිතය ශාරීරිකවත් ආර්ථිකවත් වෙනස් වුණා. එය වළක්වන්න බැරි දෙයක්. නමුත් යම් පැතිවලින් එම වෙනස්කම් නිසා දුෂ්කරතා ඇති වුවත් ඉන් හොඳ ප්‍රතිඵලත් ලැබුණා. එක වතාවක් වෛද්‍යවරයෙක් මෙහෙම කියනවා මට ඇහුණා. “යම් රෝගයක් කෙනෙකුව විනාශ කරන්නේ නැහැ. එය ඔහුව වෙනස් තත්වයකට පත් කරනවා.” ඒ වගේම සිදු වන හැම වෙනස්කමක්ම නිෂේධාත්මක නොවන බවත් මම ඉගෙනගත්තා.
සියල්ලටම වඩා මගේ “මාංසයේ කටුව” නිසා අන් අයගේ රෝගී තත්වයන් තේරුම්ගන්නත් ඔවුන් කෙරෙහි අනුකම්පාව දක්වන්නත් මට හැකි වුණා. (2 කොරින්ති 12:7, NW) “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න” යන හිතෝපදේශ 3:5හි සඳහන් වදන් මා කවරදාකටත් වඩා හොඳින් තේරුම්ගත්තා. ඊටත් වඩා මගේ අලුත් තත්වය නිසා ජීවිතේ වැදගත් දේ මොකක්ද කියාත් සැබෑ තෘප්තිය ලබාගත හැක්කේ කෙසේද කියාත් ඉගෙනගත්තා විතරක් නොවෙයි මා ගැනම ශුභවාදීව සිතන්නත් මම පටන්ගත්තා. යෙහෝවාගේ සංවිධානයේ තවමත් මට කරන්න හුඟාක් වැඩ තියෙනවා. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියා යේසුස් කී වදන්වල නියම අරුත මා සොයාගත්තා.—ක්‍රියා 20:35, NW.
අලුත් ජීවිතයක්
රෝගය සොයාගත් විගසම වගේ ස්වේච්ඡා ක්‍රිස්තියානීන් සඳහා මැඩ්රිඩ් නගරයේ පැවැත්වූ රැස්වීමකට සහභාගි වෙන්න මටත් ආරාධනාවක් ලැබුණා. එම රැස්වීම පැවැත්වූයේ වෛද්‍යවරු සහ රෝගී වී සිටින සාක්ෂිකරුවන් සමඟ සහයෝගීතාවක් ඇති කරගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි. පසුව එම ස්වේච්ඡා සේවකයන්ව රෝහල් සබඳතා කමිටු ලෙස සංවිධානය කරනු ලැබුවා. මට නම් ඒ රැස්වීම නියම වේලාවට ලැබුණ එකක් වගේයි. වාණිජ ලෝකයේ කිසිම රැකියාවකින් සොයාගත නොහැකි තෘප්තිමත් ජීවන මාර්ගයක් එයින් මම සොයාගත්තා.
සහයෝගිතාව ඇති කිරීමේ සහ ගැටුම් වැළැක්වීමේ අරමුණින් රෝහල්වල වගකිව යුත්තන් හමුවීම, වෛද්‍යවරුන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, සෞඛ්‍ය සේවයේ නියුතු වූවන්ට යම් දේවල් නිරූපණය කර පෙන්වීම වගේ දේවල් මෙම අලුතින් සැකසුණ රෝහල් සබඳතා කමිටුවේ වගකීම්වලට ඇතුළත් වන බව අපට රැස්වීමේදී දැනගන්න ලැබුණා. රුධිරය නොමැතිව ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ව සොයාගැනීමට මෙම කමිටුව සෙසු සාක්ෂිකරුවන්ට උපකාර කරනවා. මට වෛද්‍ය ක්ෂේත්රය ගැන කිසිම දැනුමක් තිබුණේ නැති නිසා වෛද්‍ය යෙදුම්, වෛද්‍ය ප්රමිතීන්, රෝහල්වල වැඩ කටයුතු සංවිධානය කරන ආකාරය ගැන බොහෝ දේ ඉගෙනීමට මට සිදු වුණා. ඒ මොනවවුණත් එම රැස්වීමෙන් පසු මම ගෙදර ගියේ අලුත් අභියෝගයක් දෝත දරාගෙන අලුත් මිනිහෙක් විදිහට.
රෝහල්වල වගකිව යුත්තන් හමුවීම තෘප්තිමත් දෙයක්
ටිකෙන් ටික මගේ රෝගී තත්වය සිත් පිත් නැති ලෙස මාව කොර තත්වයට පත් කළත් රෝහල් සබඳතා කමිටුවේ සාමාජිකයෙක් ලෙස ඇති මගේ වගකීම් එන්න එන්න වැඩි වුණා. මට ආබාධිතයන් සඳහා දෙන විශ්‍රාම වැටුපක් ලැබුණා. ඒ නිසා රෝහල්වලට යන්න මට වේලාව තිබුණා. ඉඳ හිට අධෛර්යය වන අවස්ථාවන් තිබුණත් කරදරයක් නොමැතිව මම අපේක්ෂා කළාට වඩා ප්‍රතිඵලදායක ලෙස මෙම බැහැදැකීම් කරගැනීමට හැකි වුණා. දැන් රෝද පුටුවට මගේ ජීවිතේ සීමා වෙලා තිබුණත් එය ලොකු බාධාවක් නෙමෙයි. කමිටුවේ තවත් සාමාජිකයෙක් නිරතුරුවම මා සමඟ සිටියා. සාමාන්‍යයෙන් වෛද්‍යවරුන්ට රෝද පුටුවල ඉන්න පුද්ගලයන් සමඟ කතා කරලා පුරුදුයි. සමහර වෙලාවට ඔවුන් ලොකු ගෞරවයකින් යුතුව මට ඇහුම්කන් දෙන්නේ මම ඔවුන්ව මුණගැසීමට ගන්න වෙහෙස නිසා වෙන්නත් ඇති.
ගත වුණ අවුරුදු දහය තුළ මම වෛද්‍යවරුන් සියයකට වඩා මුණගැසී තිබෙනවා. සමහරු මුල ඉඳන්ම අපට උදව් කරන්න සතුටු වුණා. මැඩ්රිඩ්වල හදවත් සැත්කම් කරන වෛද්‍ය ක්වෑන් ඩ්වාට් රෝගීන්ගේ හෘදය සාක්ෂියට ගරු කරන වෛද්‍යවරයෙක්. ඔහු තම සේවය විගස අපට පිරිනැමුවා. එතැන් සිට ඔහු ස්පාඤ්ඤයේ විවිධ පළාත්වල සිටින සාක්ෂිකාර රෝගීන් සඳහා රුධිරය නොමැතිව සැත්කම් 200ක් පමණ සිදු කර තිබෙනවා. පසුගිය අවුරුදුවල පටන් රුධිරය නොමැතිව සැත්කම් කරමින් සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව එන්ට එන්ටම වැඩි වෙමින් තිබෙනවා. මේ සඳහා අප නොකඩවා කළ බැහැදැකීම් යම් දුරකට හේතු වුණත් මූලිකවම හේතු වුණේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව සහ රුධිරය නොමැතිව කළ සැත්කම් මගින් ලද හොඳ ප්රතිඵලයි. ඒ වගේම යෙහෝවා අපේ වෑයම්වලට ආශීර්වාද කර ඇති බවත් සහතිකයි.
ළමයින්ගේ හදවත් සැත්කම් කරන විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් ලද යහපත් ප්‍රතිචාරය නිසා මම ලොකු දිරිගැන්වීමක් ලැබුවා. අපි අවුරුදු දෙකක් ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙක් සහ නිර්වින්දක වෛද්‍යවරයෙක් ඇතුළත් කණ්ඩායමක් බැහැදකින්න ගියා. අපි ඔවුන්ට ලබා දුන්නා ක්ෂේත්රයේ සිටින අනෙක් වෛද්‍යවරු කරමින් සිටින ප්‍රතිකාර ක්‍රම ඇතුළත් වෛද්‍ය පොත් පත්. වර්ෂ 1999දී ළමා හෘදවාහිනි සැත්කම් පිළිබඳ සම්මන්ත්‍රණයකදී අපේ වෑයම්වලට ප්‍රතිඵල ලැබුණා. අපි කලින් කතා කළ ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනා එංගලන්තයෙන් පැමිණි තවත් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ ඉතා දුෂ්කර සැත්කමක් වන ධමනි කපාටයේ යම් වෙනසක්b කිරීමට තිබූ සාක්ෂිකාර දරුවෙකුට සැත්කමක් සිදු කළා. ශල්‍යාගාරයේ සිට එක් වෛද්‍යවරයෙක් එළියට ඇවිත් සැත්කම සාර්ථකයි, පවුලේ සාමාජිකයන්ගේ හෘදය සාක්ෂිය පලුදු වන ආකාරයට කිසිවක් කළේ නැහැ කියා කියද්දී මමත් එම දරුවාගේ දෙමාපියනුත් සතුටට පත් වුණා. දැන් මෙම වෛද්‍යවරුන් දෙදෙනා දිගටම ස්පාඤ්ඤයේ සාක්ෂිකාර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වෙනවා.
මෙවැනි සිද්ධීන්වලදී සතුටක් දැනෙන්න මූලික හේතුව තමයි මගේ ක්‍රිස්තියානි සහෝදරයන්ට උපකාර කරන්න මටත් හැකි වෙනවා කියලා හැඟෙන එක. සාමාන්‍යයෙන් එම සහෝදරයෝ රෝහල් සබඳතා කමිටුව අමතන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඉතාමත් අසීරු අවස්ථාවන්වලදී. ඔවුන්ට සැත්කමකට භාජන වීමට සිදු වෙද්දී ප්‍රාදේශීය රෝහල්වල සිටින වෛද්‍යවරු රුධිරය නොමැතිව ප්‍රතිකාර කරන්න අකමැතියි. එසේ නැතහොත් ඔවුන්ට රුධිරය නොමැතිව ප්‍රතිකාර කිරීමට තරම් ඔවුන්ට හැකියාවක් නැහැ. ඒත් සෑම වෛද්‍ය ක්ෂේත්රයකම අපට සහයෝගය දක්වන වෛද්‍යවරු මැඩ්රිඩ්වල ඉන්නවා කියා දැනගත් විට සහෝදරයන්ට විශාල සහනයක් දැනෙනවා. අපි එක් සහෝදරයෙක් සමඟ රෝහලේ ඉන්නකොටම ඔහුගේ මුහුණේ තිබුණු දුක්මුසු පෙනුම කෙමෙන් කෙමෙන් පහව යනවා මම දැකලා තියෙනවා.
විනිසුරුවන් සහ වෛද්‍ය ආචාර ධර්ම
මෑත අවුරුදුවලදී රෝහල් සබඳතා කමිටුවේ සාමාජිකයන් විනිසුරුවන්ව බැහැදකින්න ගොස් තිබෙනවා. එම බැහැදැකීම් තුළදී අපගේ ස්ථාවරය සහ රුධිරය නොමැති විකල්ප වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව මෙම නිලධාරීන්ව දැනුවත් කිරීම සඳහා විශේෂයෙන්ම සකසා තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් සඳහා පවුල් සාත්තු සේවාවන් සහ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම (සිංහලෙන් නැත) නමැති ප්රකාශනය ඔවුන්ට ලබා දීමට සැලසුම් කළා. මෙයාකාරයේ බැහැදැකීම් කිරීම ඉතාමත් අවශ්‍යයි. මන්දයත් කාලයක් ස්පාඤ්ඤයේ විනිසුරුවන් රෝගීන්ගේ කැමැත්ත නොතකා රුධිරය දීමට වෛද්‍යවරුන්ට අයිතිය ලබා දී තිබෙනවා.
විනිසුරුවන්ගේ කාර්යාලවල තිබෙන්නේ හරිම ගාම්භීර පෙනුමක්. මම රෝද පුටුවේ ඉඳගෙන කාර්යාල මැදින් යන මුල් කාලයේ මට මං ගැන දැනුණේ මහා බයාදු ගතියක්. එසේ යන එන මඟදී දිනක් කුඩා අනතුරක් සිදු වී මාව රෝද පුටුවෙන් වීසි වෙලා වැටුණා. විනිසුරුවන් සහ නීතිඥවරුන් කිහිපදෙනෙකු මට සිදු වුණ ඇබැද්දිය දැක කාරුණිකව ඇවිත් මට උපකාර කළා. ඒත් ඔවුන් ඉදිරිපිට මට දැනුණේ වස ලැජ්ජාවක්.
අපේ පැමිණීමට හේතුව විනිසුරුවන් දැනගෙන හිටියේ නැහැ. ඒත් වැඩිදෙනෙක් අපට කාරුණිකව සැලකුවා. මම මුණගැසුණ පළවෙනි විනිසුරු ඒ වන විටත් අපේ ස්ථාවරය ගැන කල්පනා කර තිබූ අතර ඒ පිළිබඳව විස්තරාත්මකව දැනගැනීම සඳහා අපත් සමඟ කතා කරන්න කැමති බව පැවසුවා. ඉන්පසුව ඔහුව මුණගැසීමට ගිය අවස්ථාවේදී ඔහුම මගේ රෝද පුටුව ඔහුගේ කාර්යාලයට තල්ලු කරගෙන ගොස් ඉතා ඕනෑකමින් මට සවන් දුන්නා. මෙම මුල් බැහැදැකීම් තුළදී ලද යහපත් ප්‍රතිඵල නිසා මා තුළත් මගේ සහයකයන් තුළත් තිබුණාවූ සැකසංකාවලින් ගොඩ ඒමට අපට හැකි වුණා වගේම ඉතා ඉක්මනින්ම හොඳ ප්‍රතිඵල අද්දකින්නත් අපට හැකි වුණා.
එම අවුරුද්දේම අපට කාරුණිකව සැලකූ තවත් විනිසුරුවරයෙකුට අපි පවුල් සාත්තු සේවාවන් නමැති ප්රකාශනයේ පිටපතක් දුන් අතර එහි තොරතුරු කියවන බවට ඔහු අපට පොරොන්දු වුණා. යම් හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඇමතීම සඳහා ඔහුට මගේ දුරකථන අංකයද ලබා දුන්නා. සති දෙකකට පසු ඔහු මට දුරකථනයෙන් කතා කර කියා සිටියා එක් ශල්‍ය වෛද්‍යවරයෙක් සැත්කමක් කිරීමට අවශ්‍ය වී ඇති සාක්ෂිකාරියකට රුධිරය දීමට ඔහුගෙන් අනුමැතිය ඉල්ලූ බව. එම විනිසුරු කියා සිටියා තමන්ට එම සාක්ෂිකාරියගේ රුධිරය ප්‍රතික්ෂේප කිරීමේ කැමැත්තට සහාය වීම සඳහා අපේ උපකාරය අවශ්‍ය බව. අපට වෙනත් රෝහලක් සොයාගැනීමට එතරම් අමාරු වුණේ නැහැ. එම රෝහලේදී ශල්‍ය වෛද්‍යවරු ඉතා සාර්ථක ලෙස රුධිරය නොමැතිව සැත්කම සිදු කළා. එම ආරංචිය ඇසූ විට විනිසුරුවරයා ඉතාමත් සතුටු වුණ අතර අනාගතයෙත් එවැනි උපකාර බලාපොරොත්තු වන බව අපට කියා සිටියා.
රෝහල්වල බලධාරීන් හමුවීමට යන අවස්ථාවලදී අපේ අභිප්‍රාය වුණේ වෛද්‍යවරුන් විසින් රෝගියාගේ අයිතිවාසිකම් සහ හෘදය සාක්ෂිය ගැන සැලකිල්ලක් දක්වනවා දැකීමයි. නමුත් බොහෝ අවස්ථාවලදී වෛද්‍ය ආචාර ධර්ම පිළිබඳ ප්රශ්නය ඉස්මතු වුණා. මැඩ්රිඩ්වල තිබූ එක් සහයෝගිතාව දක්වන රෝහලක් විසින් වෛද්‍ය ආචාර ධර්ම පිළිබඳව පවත්වන පාඨමාලාවකට සහභාගි වන ලෙස මට ආරාධනා කළා. මෙම පාඨමාලාව නිසා බයිබලය මත පදනම් අදහස් ක්ෂේත්රයේ සිටින විශේෂඥයන්ට පහදා දෙන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම වෛද්‍යවරුන්ට ගැනීමට සිදු වන ඉතා දුෂ්කර තීරණ සම්බන්ධයෙන්ද මට අවබෝධයක් ලැබුණා.
එම පාඨමාලාවේ ගුරුවරයෙක් ලෙස කටයුතු කළ මහාචාර්ය ඩියැගෝ ග්‍රාසියා, ස්පාඤ්ඤ වෛද්‍යවරුන්ට ප්රමිතීන් පෙන්වා දීම සඳහා වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන්ව යොදාගෙන නොකඩවා පාඨමාලාවක් සංවිධානය කරනවා. ඔහු රෝගියාගේ අනුදැනුම හා අනුමැතිය ඇතිව රුධිර පාරවිලනය කිරීම පිළිබඳ වූ අපගේ අයිතියටද කදිම සහයෝගයක් දෙන අයෙක්.c අපි ඔහුව නිතර හමුවීමට යෑමේ ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය ඩියැගෝ ග්‍රාසියා ඔහුගේ ශිෂ්‍යයන්ට අපගේ ස්ථාවරයන් පැහැදිලි කර දීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ නියෝජිතයන් කිහිපදෙනෙකුට පැමිණෙන ලෙස ආරාධනා කළා. මෙම ශිෂ්‍යයන්ගෙන් සමහරෙක් රටේ දක්ෂ වෛද්‍යවරුන් ලෙස පිළිගත් අයයි.
යථාර්ථයට මුහුණ දීම
සෙසු ඇදහිලිවන්තයන් වෙනුවෙන් කළ මේ තෘප්තිමත් සේවයෙන් මගේ පෞද්ගලික ගැටලුවලට නම් විසඳුමක් ලැබුණේ නැහැ. මගේ රෝගී තත්වය එන්න එන්න උග්‍ර වුණා. භාග්‍යයකට මගේ කල්පනාව හොඳට තියෙනවා. මගේ භාර්යාවටයි පුතාටයි මම ස්තුති කරනවා. එයාලා කවමදාකවත් කන්කෙඳිරිගෑවේ නැහැ. ඒ නිසා තමයි මම තවමත් මගේ වගකීම් ඉටු කරන්නේ. එයාලාගේ උදව් නොතිබුණා නම් මට මේවා කරන්න ලැබෙන්නේ නැහැ. මගේ කලිසම්වල බොත්තම දාගන්න තියා උඩු කබාය දාගන්නවත් මට බැහැ. කොහොමවුණත් හැම සෙනසුරාදාවකම මගේ පුතා ඉස්මයිල් සමඟ දේශනා සේවයේ යෑමෙන් මම ලොකු සතුටක් ලබනවා. ඔහු මගේ රෝද පුටුව තල්ලු කරමින් නොයෙක් තැන්වලට මාව ගෙන යන නිසා විවිධ ගෙවැසියන්ට කතා කිරීමේ ප්‍රස්තාව මට ලැබෙනවා. ඒ වගේම මට තවමත් සභාවේ වැඩිමහල්ලෙක් ලෙස වගකීම් ඉටු කරන්නත් හැකි වෙලා තිබෙනවා.
පසුගිය අවුරුදු 12 ඇතුළත සිත කම්පා කරවන සිද්ධීන් සිදු වුණා. සමහර වේලාවට මගේ ආබාධිත තත්වය මගේ පවුලට බලපාන හැටි දැක්කාම මගේ ලෙඩේට වඩා වැඩි වේදනාවක් මට දැනෙනවා. එයාලා නොපෙන්නුවාට ඇතුළතින් වේදනා විඳින බව මම දන්නවා. මීට අවුරුද්දකට විතර කලින් මගේ නැන්දම්මා සහ මගේ තාත්තා මිය ගියා. එම අවුරුද්දේම මට තේරුණා රෝද පුටුව නොමැතිව කොහේටවත් යන්න මට බැරි බව. අපිත් එක්කම ජීවත් වුණ මගේ තාත්තා මිය ගියේත් ක්‍රමක්‍රමයෙන් උග්‍ර තත්වයට හැරෙන රෝගයකින්. තාත්තාව බලාගත්තු මිලාග්රොස්ට හැඟුණේ අනාගතයේදී මට සිදු වෙන්න තියෙන දේ ඇය දැන්ම ඇස් දෙකින් දකිනවා වගේ කියලා.
ඒත් හොඳ පැත්තකුත් තියෙනවා. අපි එකට දුෂ්කරතා විඳිනකොට අපේ පවුල ගොඩක් එකමුතු වුණා. විධායක නිලධාරියෙකුගේ පුටුවේ සිටි මම දැන් ඉන්නේ රෝද පුටුවේ. ඒත් දැන් මගේ ජීවිතය මුළුමනින්ම අන් අයට සේවය කිරීම සඳහා යොදවා තිබෙන නිසා දැන් මගේ ජීවිතය සාර්ථකයි කියා පැවසුවොත් නිවැරදියි. අන් අය වෙනුවෙන් කාලය කැප කිරීමෙන් වේදනාව තුනී කරගත හැකිවා සේම අවශ්‍යතා ඇති විට අපව ශක්තිමත් කරන බවට යෙහෝවා කර තිබෙන පොරොන්දුව ඔහු ඉටු කරනවා යන්න දැනගෙන සිටීමෙනුත් අපව ශක්තිමත් වෙනවා. පාවුල් කියූ ලෙස මටත් ස්ථිරයෙන්ම කියන්න පුළුවන් ‘මට බලය දෙන තැනැත්තා නිසා මට සියලු දේ කරන්න ශක්තිය තිබෙනවා’ කියලා.—ෆිලිප්පි 4:13, NW.
[පාදසටහන්වල]
a මල්ටිපල් ස්කලරොසිස් රෝගය ප්‍රධාන ස්නායු පද්ධතියේ ආබාධයක්. එමගින් බොහෝවිට ශරීරයේ සමබරතාව, අත පය සෙලවීම සහ යම් අවස්ථාවලදී පෙනීම, කතා කිරීම හෝ අවබෝධ කරගැනීමේ හැකියාව පවා ක්‍රමක්‍රමයෙන් අඩපණ කරයි.
b මෙම සැත්කම හඳුන්වන්නේ රොස් ක්‍රියාවලිය ලෙසයි.
c වර්ෂ 1997 පෙබරවාරි 15 මුරටැඹ කලාපයේ 19-20 දක්වා පිටු බලන්න.
[24වන පිටුවේ කොටුව]
භාර්යාවකගේ අදහස්
මල්ටිපල් ස්කලරොසිස් රෝගයකින් පෙළෙන ස්වාමිපුරුෂයෙක් එක්ක ජීවත් වන එක මානසිකවත් චිත්තවේගීයවත් ශාරීරිකවත් අසීරු කටයුත්තක්. එමනිසා මම සැලසුම් කරන දේවල් ගැන සාධාරණ වීමටත් අනාගතය ගැන අනවශ්‍ය ලෙස කරදර නොවී සිටීමටත් අවශ්‍යයි. (මතෙව් 6:34) ඒ මොනවා වුණත් යම් කෙනෙකු පීඩාවකින් පෙළෙන විට එම කෙනාගේ ඇතුළාන්තයේ තිබෙන යහපත් ගුණාංග ඉස්මතු වෙනවා. අපේ විවාහය පෙරට වඩා ශක්තිමත්. ඒ වගේම යෙහෝවා සමඟ තිබෙන මගේ සබඳතාවත් තවත් ශක්තිමත් වෙලා කියලා මට හැඟෙනවා. මෙවැනි පීඩාකාරි තත්වයන් තිබෙන අන් අයගේ ජීවිත කතාත් මට ලොකු ශක්තියක් වෙලා තිබෙනවා. හූලියාන් සහෝදරයන් වෙනුවෙන් සේවය කිරීමෙන් ලබන තෘප්තියෙන් මමත් සතුටක් ලබනවා. දවසක් දවසක් පාසා අලුත් අභියෝගයන්ට මුහුණ දීමට සිදු වුණත් යෙහෝවා කවමදාකවත් අපිව අත්හරින්නේ නැති බව මම දන්නවා.
[24වන පිටුවේ කොටුව]
පුතෙකුගේ අදහස්
මගේ තාත්තාගේ විඳදරාගැනීමත් ශුභවාදී ස්ප්රීතුවත් මට කදිම ආදර්ශයක්. ඒ වගේම මම ඔහුගේ රෝද පුටුව තල්ලු කරගෙන එහෙ මෙහෙ රැගෙන යන එකත් ඇත්තෙන්ම ප්‍රයෝජනදායක දෙයක් කියලා මම හිතනවා. මම දන්නවා මම කැමති දේ හැම තිස්සේම කරන්න බැරි බව. මම තවම පාසැල් වියේ පසු වන්නේ. මම ලොකු වුණාම රෝහල් සබඳතා කමිටුවේ සාමාජිකයෙක් ලෙස සේවය කරන්න කැමත්තෙන් ඉන්නවා. බයිබලයේ පොරොන්දු කර තිබෙන විදිහට වේදනා විඳින්න වෙන්නේ ටික කාලයකට බව මම දන්නවා. අපිට වඩා දුක් විඳින තවත් සහෝදර සහෝදරියෝ හුඟදෙනෙක් ඉන්නවා.
[22වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව මට ශක්තියේ උල්පතක්
[23වන පිටුවේ පින්තූරය]
ශල්‍ය වෛද්‍ය ක්වෑන් ඩ්වාට් සමඟ සාකච්ඡාවක
[25වන පිටුවේ පින්තූරය]
ක්ෂේත්‍ර සේවයේ මගේ පුතා සමඟ එකට වැඩ කරමින්