දෙවිව මහිමවත් කරන අය ආශීර්වාද ලද්දෝය
“යෙහෝවා, [ඔවුහු] ඔබ ඉදිරියට ඇවිත් නමස්කාර කරමින්, ඔබගේ නාමයට ගෞරව කරන්නෝය.”—ගීතාවලිය 86:9.
1. අජීවි මැවිලිවලට වඩා අපට ඉතාමත් උසස් ආකාරවලින් දෙවිව මහිමවත් කළ හැක්කේ මන්ද?
යෙහෝවා තම සියලු මැවිලිවල ප්‍රශංසාව ලැබීමට වටී. ඔහුගේ අජීවි මැවිලි නිහඬව ඔහුව මහිමවත් කරන අතරේදී, මිනිසුන් වන අපට තර්කානුකූලව කල්පනා කිරීමටද, යමක් වටහාගැනීමටද, අගය කිරීමටද, නමස්කාර කිරීමටද හැකියාවක් තිබේ. එසේනම්, ගීතිකාකරු මෙසේ කියන්නේ අපටය. “පොළෝ වැසි සියල්ලෙනි, දෙවිට ප්‍රීති නාද පවත්වව්. ඔහුගේ නාමයේ මහිමය ගැන ගී කියව්. ඔහුගේ ප්‍රශංසාව කීර්තිමත් කරව්.”—ගීතාවලිය 66:1, 2.
2. දෙවිගේ නාමය මහිමවත් කිරීමට දී ඇති අණට ප්‍රතිචාරය දක්වා ඇත්තේ කවුරුන්ද? ඒ මන්ද?
2 මිනිස් වර්ගයාගෙන් බහුතරයක් දෙවිව පිළිගැනීමට හෝ ඔහුව මහිමවත් කිරීමට අසමත් වෙති. එහෙත්, රටවල් 235කට වඩා වැඩි සංඛ්‍යාවක වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන හයකට වඩා වැඩි ගණනක් පැහැදිලිව යම් දෙයක් පෙන්වති. එය නම්, දෙවිගේ “අදෘශ්‍යමාන ගුණාංග” ඔහු විසින් සාදනු ලැබ ඇති දේවල් තුළින් තමන්ට දැකිය හැකි බවත්, එමෙන්ම මැවිල්ලේ නිහඬ සාක්ෂිය තමන්ට ‘ඇසෙන’ බවත්ය. (රෝම 1:20, NW; ගීතාවලිය 19:2, 3) බයිබලය පාඩම් කිරීමෙන් ඔවුහු යෙහෝවාව දැනගෙන ඔහුට ප්‍රේම කිරීමට ඉගෙනගෙන සිටිති. ගීතාවලිය 86:9, 10හි පුරෝකථනය කළේ මෙසේයි. “යෙහෝවා, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාර කරමින්, ඔබගේ නාමයට ගෞරව කරන්නෝය. මක්නිසාද ඔබ උතුම්ය. ආශ්චර්ය ක්‍රියා කරන්නේය. ඔබ පමණක් දෙවිය.”
3. “මහත් සමූහය” ‘දිවා රෑ දෙකෙහි පරිශුද්ධ සේවය’ පිරිනමන්නේ කෙසේද?
3 එළිදරව් 7:9, 15හි [NW] ඒ හා සමානව විස්තර කරන්නේ, දෙවිට නමස්කාර කරන “මහත් සමූහයක්” “දිවා රෑ දෙකෙහි ඔහුගේ දේවමාලිගාවෙහි [දෙවිට] පරිශුද්ධ සේවය පිරිනමති” කියායි. ඉන් කියාපාන්නේ තමන්ට නොනවත්වාම ප්‍රශංසා කරන්නැයි දෙවි තම සේවකයන්ට බල කර සිටිනවා යන්න නොවේ. නමුත් ඔහුගේ නමස්කාරකයන් ලෝක ව්‍යාප්ත සංවිධානයක් බවයි. එසේනම්, ඇතැම් රටවල රාත්‍රිය උදා වන විට, ලොවේ අනෙක් පැත්තේ සිටින දෙවිගේ සේවකයෝ කඩිසර ලෙස සාක්ෂි දරමින් සිටිති. මෙසේ, යෙහෝවාව මහිමවත් කරන අයට කිසිවිටෙකත් හිරු බසින්නේ නැති බව කිව හැකියි. ඉතා ළඟදීම, “හුස්ම ඇති සියල්ලෝම” යෙහෝවාට ප්‍රශංසා කරමින් තමන්ගේ කටහඬ අවදි කරනවා ඇත. (ගීතාවලිය 150:6) එහෙත්, මේ අතරතුර අපට පුද්ගලයන් වශයෙන් දෙවිව මහිමවත් කිරීමට කළ හැක්කේ කුමක්ද? අපට ඇතැම්විට කිනම් අභියෝගවලට මුහුණ දෙන්නට සිදු විය හැකිද? තවද දෙවිව මහිමවත් කරන අය කරා පැමිණෙන්නේ කිනම් ආශීර්වාදද? මීට පිළිතුරු දීමට, අපි දැන් ගාද් නම් ඊශ්‍රායෙල් ගෝත්‍රය සම්බන්ධව බයිබලයේ සඳහන් වාර්තාවක් සලකා බලමු.
අතීතයේදී මුහුණ දුන් අභියෝගයක්
4. ගාද් නමැති ගෝත්‍රයට අයත් වූවන් මුහුණ දුන්නේ කිනම් අභියෝගයටද?
4 පොරොන්දු දේශයට ඇතුල් වීමට පෙරාතුව, ඊශ්‍රායෙල් ජාතියේ ගාද් නම් වූ ගෝත්‍රයට අයත් වූවෝ යොර්දාන් ගඟේ නැඟෙනහිර දෙසින් පිහිටා තිබූ තණබිම් සහිත ප්‍රදේශයේ පදිංචි වීමට තමන්ට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියහ. (ගණන් කථාව 32:1-5) එහි ජීවත් වන්නේ නම්, බරපතළ අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇත. ගඟේ බටහිර දෙසින් පදිංචි වූ ගෝත්‍රවලට යොර්දාන් ගඟේ නිම්නය නිසා ආරක්ෂාවක් ලැබිණි. මන්ද එය හමුදා ආක්රමණවලට එරෙහිව ස්වභාවයෙන්ම පිහිටා තිබූ බාධකයක් ලෙස තිබීම නිසාය. (යෝෂුවා 3:13-17) එහෙත්, යොර්දාන් ගඟේ නැඟෙනහිර කොටසේ පිහිටා තිබූ බිම් සම්බන්ධව ජෝර්ජ් ඇඩම් ස්මිත් විසින් රචිත ද හිස්ටොරිකල් ජියොග්රෆි ඔෆ් ද හෝලි ලෑන්ඩ් යන පොතේ මෙසේ කියයි. “මහා අරාබි සානුව මතට විහිදෙන්නාවූ මෙම බිම් විහිදී ඇති ආකාරය ගත් කල, කිසිදු ස්වාභාවික බාධකයක් පිහිටා නැත. මේ නිසා, ගිජු අහිකුණ්ටිකයන්ගේ ආක්රමණවලට සෑමවිටම මෙම බිම් ගොදුරු වූ අතර, ඔවුන්ගෙන් සමහරක් සෑම වසරකම තණබිම් කරා ඇදී ආවේ බුරුතු පිටිනි.”
5. ප්‍රහාර එල්ල වන විට ඊට ප්‍රතිචාරය දැක්වීම ගැන යාකොබ් ගාද්ගෙන් පැවතෙන්නන්ව දිරිගැන්වූයේ කෙසේද?
5 එවන් දැඩි පීඩනයකට ගාද් ගෝත්‍රයේ සාමාජිකයන් මුහුණ දෙන්නේ කෙසේද? මීට සියවස් ගණනාවකට පෙරාතුව, ඔවුන්ගේ ආදි පිතෘ යාකොබ් තම මරණාසන්න යහනේදී කී අනාවැකිය මෙයයි. “ගාද්ට විරුද්ධව බල සමුදාවක් ලුහුබැඳ එන්නේය. නමුත් ඔහු හැරී ඔවුන් ලුහුබැඳ යන්නේය.” (උත්පත්ති 49:19) බැලූ බැල්මට එම වචන අශුභවාදී වචන මෙන් පෙනී යා හැකියි. එහෙත්, ඇත්තෙන්ම, ඉන් ඇඟවූයේ සතුරාට පෙරළා පහර දෙන ලෙසට කරන ලද නියෝගයකි. සතුරන් පහර දෙන්නට ආවොත් ඔවුන්ට ඉතා නින්දිත ලෙස පසුබසින්නට වෙන බවත්, ගාද්වරුන් කෙළවර දක්වා ඔවුන් පසුපස ලුහුබඳින බවත් යාකොබ් ඔවුන්ට සහතික විය.
අද දින අපගේ නමස්කාරයට ඇති අභියෝග
6, 7. අද දින ක්‍රිස්තියානීන්ගේ තත්වය ගාද් ගෝත්‍රයේ සාමාජිකයන්ගේ තත්වයට සමාන වන්නේ කෙසේද?
6 ගාද් ගෝත්‍රයේ අය මෙන්, අද දින ක්‍රිස්තියානීන්ද සාතන්ගේ සමාජ ක්රමයේ පීඩනවලට හා නොයෙක් පීඩාකාරී බරවලට නිරාවරණය වී සිටින අතර, අපට එයින් ආරක්ෂා වීමට කිසිම ප්රාතිහාර්යයක් බලාපොරොත්තු විය නොහැක. (යෝබ් 1:10-12) අපගෙන් වැඩිදෙනෙකු පාසැලේදී, රැකියාවක් කිරීමේදී සහ දරුවන් ඇති දැඩි කිරීමේදී යම් යම් පීඩනවලට මුහුණ දිය යුතුය. පෞද්ගලිකව අපට මුහුණ දීමට සිදු වන යම් යම් පීඩනද මෙහිදී නොසලකා නොහැරිය යුතුයි. ඇතමුන්ට බරපතළ ආබාධයක් ලෙස හෝ අසනීපයක් ලෙස “මාංසයේ කටුවක්” විඳදරාගැනීමට සිදු වී තිබේ. (2 කොරින්ති 12:7-10, NW) තවත් අය තමන්වම අඩුවෙන් තක්සේරු කරගෙන වේදනා විඳිති. මහලු වියේ “විපත්ති දවස්” නිසා වයස්ගත ක්‍රිස්තියානීන්ට තමන් වරෙක යෙහෝවාට සේවය කළ ශක්තියෙන්ම සේවය කිරීමට නොහැකිවනවා විය හැකියි.—දේශනාකාරයා 12:1.
7 “අපට තිබෙන පොරබැදීම . . . ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සමූහයන්ට විරුද්ධව” යයිද ප්‍රේරිත පාවුල් මතක් කළේය. (එෆීස 6:12, NW) අප නිරතුරුවම “ලෝකයේ ආත්මයට” නිරාවරණය වී සිටින අතර, සාතන් සහ ඔහුගේ භූතයන් දිරිගන්වන සදාචාරයෙන් පිරිහුණු කැරලිකාර ස්වභාවය එයයි. (1 කොරින්ති 2:12; එෆීස 2:2, 3, NW) දේවභයැති ලොත් මෙන්, අද දින අප අවට සිටින ජනයා කරන කියන දුරාචාරමය දේවලින් අප කම්පිත වෙනවා විය හැකියි. (2 පේතෘස් 2:7, NW) තවද අපිද සාතන්ගේ ඍජු ප්‍රහාරවලට නිරාවරණය වී සිටින්නෙමු. අභිෂේක ලත් ඉතිරි අය, එනම්, “දෙවිගේ ආඥා පිළිපදින, යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය සතු” අය සමඟ සාතන් යුද්ධ කරයි. (එළිදරව් 12:17, NW) වැඩ තහනම් කිරීම් සහ පීඩා වැනි සාතන්ගේ ප්‍රහාර යේසුස්ගේ ‘වෙනත් බැටළුවෝද’ අද්දකිති.—යොහන් 10:16, NW.
පසුබසිනවාද? නැතහොත් ප්‍රතිප්‍රහාර එල්ල කරනවාද?
8. අප සාතන්ගේ ප්‍රහාරවලට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? ඒ මන්ද?
8 සාතන්ගේ ප්‍රහාරවලට අපගේ ප්‍රතිචාරය විය යුත්තේ කුමක්ද? ඉපැරණි ගාද් ගෝත්‍රය මෙන්, අපද ආත්මිකව ශක්තිමත්ව සිට දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව අපට එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතුයි. ඇතමුන් ජීවිතයේ පීඩනවලට යට වී තම ආත්මික වගකීම් නොසලකාහැර තිබීම කනගාටුවට කරුණකි. (මතෙව් 13:20-22) එක් සාක්ෂිකරුවෙක් තම සභාවේ රැස්වීම්වලට පැමිණෙන අයගේ සංඛ්‍යාව පහත වැටීමට හේතුව ගැන මෙසේ කීවේය. “සහෝදරයන්ට ඇත්තටම මහන්සියි. ඔවුන් සියලුදෙනාටම හරිම වෙහෙසයි.” අද දින මිනිසුන් වෙහෙසට පත්වීමට බොහෝ හේතු තිබෙන බව ඇත්තය. මේ හේතුවෙන් දෙවිට කරන නමස්කාරය තවත් පීඩනයක්ය, තවත් බර පැටවුණු බැඳීමක්ය කියා සිතීම ලෙහෙසියි. නමුත්, එය කෙනෙකුට තිබිය යුතු යෝග්‍ය නැත්නම් නිවැරදි දෘෂ්ටියක්ද?
9. ක්‍රිස්තුස්ගේ වියගහ දැරීම අපව ප්‍රාණවත් කිරීමට හේතු වෙන්නේ කෙසේද?
9 යේසුස් තමා පොළොව මත විසූ කාලයේ එදිනෙදා ජීවිතයේ විවිධ බරවලින් මිරිකී සිටි ජනයාට කී දේ සලකා බලන්න. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි.” යේසුස් මෙහිදී කියා සිටියේ කෙනෙකුට ප්‍රාණවත්බවක් ලැබෙන්නේ දෙවිට කරන සේවය අඩු කිරීමෙන් බවද? එසේ නොවේ. යේසුස් පැවසුවේ මෙසේයි. “මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත.” වියගහක් යනු ලීවලින් හෝ ලෝහයෙන් තැනූ සැකිල්ලකි. එය මිනිසෙකුට හෝ සතෙකුට යම් බරක් ගෙන යෑමට උපකාර වේ. එසේනම්, යමෙක් එවන් වියගහක් කරට ගැනීමට කැමති වෙන්නේ මන්ද? අප දැනටමත් “බරින් පීඩිත” වී සිටිනවා නොවේද? එසේය. එහෙත් එම ග්‍රීක් පාඨයේ මෙසේද කියවීමට තිබේ. “මා සමඟ මාගේ වියගහ යටට එන්න.” මේ ගැන නිකම් හිතා බලන්න. අපගේ බර ඇදගෙන යෑමට උදව් කිරීමට යේසුස් ඉදිරිපත් වෙයි! අපට එය අපගේම ශක්තියෙන් පමණක් කරන්නට සිදු වන්නේ නැත.—මතෙව් 9:36; 11:28, 29, NW; 2 කොරින්ති 4:7.
10. දෙවිව මහිමවත් කිරීමට අප වීර්ය කිරීමෙන් කුමන ප්‍රතිඵල ඇති වේද?
10 අප ගෝලයන් වීම නමැති වියගහ ගන්නා විට, අප කරන්නේ සාතන්ට එරෙහිව සටන් කිරීමකි. “යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යන්නේය” කියා යාකොබ් 4:7 [NW] පොරොන්දු වෙයි. එසේ කිරීම ලෙහෙසි පහසු දෙයක්යයි මින් අදහස් වෙන්නේ නැත. දෙවිට සේවය කිරීමට සෑහෙන වීර්යයක් දැරීම අවශ්‍ය කරයි. (ලූක් 13:24) එහෙත්, බයිබලයේ ගීතාවලිය 126:5හි මේ පොරොන්දුව දී ඇත. “කඳුළු සහිතව වපුරන්නෝ, ප්‍රීතියෙන් කපාගන්නෝය.” එසේය, අප නමස්කාර කරන්නේ කිසිවක් අගය නොකරන කළ ගුණ නොදන්නා දෙවි කෙනෙකුට නොවේ. “ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු” බැවින් තමන්ව මහිමවත් කරන අයට ඔහු ආශීර්වාද කරයි.—හෙබ්‍රෙව් 11:6, NW.
රාජ්‍ය දේශනාකරුවන් වශයෙන් දෙවිව මහිමවත් කිරීම
11. ක්ෂේත්‍ර සේවය සාතන්ගේ ප්‍රහාරවලට එරෙහිව ආරක්ෂාවක් වෙන්නේ කෙසේද?
11 යේසුස් අණ කළේ මෙසේයි. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න.” දෙවිට “ප්‍රශංසාව නමැති පූජාව” ඔප්පු කරන ප්‍රධාන ක්‍රමය දේශනා සේවයයි. (මතෙව් 28:19; හෙබ්‍රෙව් 13:15, NW) “සමාදානයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා සූදානමින් සිටීම නමැති වහන් පැළඳ” සිටීම සාතන්ගේ ප්‍රහාරවලට එරෙහිව සිටීමට අප සතු ‘දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයේ’ අනිවාර්ය අංගයකි. (එෆීස 6:11-15, NW) ක්ෂේත්‍ර සේවය තුළ දෙවිට ප්‍රශංසා කිරීම අපගේ ඇදහිල්ල පෝෂණය කිරීමට කදිම ක්රමයකි. (2 කොරින්ති 4:13) එය අපගේ මනසින් නිෂේධාත්මක සිතිවිලි ඉවතලෑමට මහෝපකාරී වේ. (පිලිප්පි 4:8) ක්ෂේත්‍ර සේවය තුළ හවුල් වීමෙන් සෙසු නමස්කාරකයන් සමඟ ගොඩනංවනසුලු ආශ්‍රයක් භුක්ති විඳීමටද අපට අවස්ථාව සලසා දෙයි.
12, 13. නිතිපතා ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම පවුල්වලට ප්‍රයෝජනදායක විය හැක්කේ කෙසේද? නිදර්ශනය කරන්න.
12 දේශනා වැඩය වනාහි පවුලක් ලෙස එකට කළ හැකි යහපත් ක්‍රියාකාරකමක් ලෙසට සැලකිය හැකිය. ඇත්තෙන්ම, සමබර ලෙස විනෝද වීම කුඩා දරුවන්ට හා ළමුන්ට අවශ්‍යයි. කෙසේවෙතත්, ක්ෂේත්‍ර සේවයේ පවුලක් ලෙස කාලය ගත කිරීම නීරස දෙයක් විය යුතු නැත. දේවසේවයේ යෙදෙන විට, නිවෙස්වලදී වඩාත් බලපෑමෙන් යුතුව කතා කිරීමට තම දරුවන්ව පුහුණු කිරීම මගින් දෙමාපියන්ට හැකියි, දේවසේවය වඩාත් රසවත් එකක් කිරීමට. කුඩා දරුවන් හා ළමුන් තමන් හොඳින් කරන දේ ඉතා හොඳින් රස විඳීමට නැඹුරු වන්නේ නැද්ද? සමබරතාව පෙන්නුම් කිරීමෙන් සහ කුඩා දරුවන්ගේ සීමා දැනගෙන ඒවායෙන් ඔබ්බට නොයෑමෙන් දේවසේවය තුළ සතුටක් ප්‍රීතියක් ලැබීමට ඔවුන්ට උපකාර කිරීමට දෙමාපියන්ට හැකියි.—උත්පත්ති 33:13, 14.
13 මීට අමතරව, ඇති වන ප්‍රයෝජනයක් නම්, පවුලක් ලෙස දෙවිට එක්ව ප්‍රශංසා කරන අය අතර කිට්ටු බැඳීමක් ඇතිවීමයි. එක් සහෝදරියක් ගැන සලකා බලන්න. ඇගේ නොඇදහිලිකාර පුරුෂයා විසින් ඇයව දරුවන් පස්දෙනෙකු සමඟ අතහැර දමා යනු ලැබීය. මේ නිසා තම දරුවන්ට අවශ්‍ය ද්‍රව්‍යමය දෑ සැපයීම සඳහා රැකියාවක් කිරීමට ඇයට සිදු විය. ඇය මේ නිසා වෙහෙසට පත් වී තම දරුවන්ගේ ආත්මික ඕනෑ එපාකම් ගැන නොසලකා සිටියාද? ඇය මෙසේ සිහි කරන්නීය. “මම බයිබලය හා බයිබලය මත පදනම් ප්‍රකාශන උනන්දුවෙන් අධ්‍යයනය කර, මා කියවූ දෙය ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළා. මා දරුවන්ව නිතිපතා රැස්වීම්වලටත් ගෙයින් ගෙට සේවයෙත් රැගෙන ගියා. මා දැරූ ප්‍රයත්නවල ප්‍රතිඵලය වූයේ මොකක්ද? දරුවන් පස්දෙනාම බව්තීස්ම වුණා.” මෙසේ දේවසේවය තුළ පූර්ණ ලෙස හවුල් වීමට ඔබ උත්සාහ කරන විට, එමගින් ඔබගේ දරුවන්ව “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද” ඇති දැඩි කිරීමට ඔබට හැකි වෙයි.—එෆීස 6:4, NW.
14. (අ) දරුවන්ට පාසැලේදී දෙවිව මහිමවත් කිරීමට හැක්කේ කෙසේද? (ආ) ‘ශුභාරංචිය ගැන ලැජ්ජා නොවීමට’ යෞවනයන්ට කුමක් උපකාර විය හැකිද?
14 දරුවෙනි, ඔබ ජීවත් වන රටේ නීතියට අනුව අවසරයක් ඇත්නම්, ඔබගේ පාසැලේ සාක්ෂි දැරීම මගින් ඔබ දෙවිව මහිමවත් කරනවාද? නැතහොත් මිනිසුන්ට තිබෙන භය නිසා ඔබ එසේ නොකර පසුබැස සිටිනවාද? (හිතෝපදේශ 29:25) පුවටෝ රිකෝහි එක් 13 හැවිරිදි සාක්ෂිකාරියක් මෙසේ ලියන්නීය. “මම කවදාක්වත් පාසැලේදී දේශනා කිරීමට ලැජ්ජා වෙලා නැහැ. මොකද මම දන්නවා මේක සත්‍යය කියලා. පන්තියේදී මම නිතරම මගේ අත ඔසවලා බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් ගැන කියනවා. මට විවේක වේලාවක් හම්බ වුණාම, මම පුස්තකාලයට ගිහිල්ලා යෞවනයන් අසන ප්‍රශ්න නමැති පොත කියවනවා.”a යෙහෝවා ඇගේ ප්‍රයත්නවලට ආශීර්වාද කර තිබෙනවාද? ඇය මෙසේ කියන්නීය. “සමහරක් වෙලාවට මගේ පන්තියේ යහළු යෙහෙළියන් මගෙන් ප්‍රශ්න අහනවා විතරක් නොවේ, මගෙන් මේ පොතේ පිටපතක්ද ඉල්ලලා තියෙනවා.” මේ කාරණය සම්බන්ධයෙන් ඔබට ලැජ්ජාවක් හැඟෙනවා නම්, ඕනෑකමින් පෞද්ගලික අධ්‍යයනය කිරීමෙන් “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත” ඔබටම ඔප්පු කරගැනීමට අවශ්‍ය විය හැකියි. (රෝම 12:2, NW) ඔබ ඉගෙනගත් දෙය සත්‍යය බව ඔබම ඒත්තුකරගත් විට, ඔබ කිසිදාක “ශුභාරංචිය ගැන ලැජ්ජා” වෙන්නේ නැත.—රෝම 1:16.
සේවය සඳහා ‘විවෘත වූ දොරක්’
15, 16. ඇතැම් ක්‍රිස්තියානීන් ඇතුල් වී තිබෙන ‘ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොර’ කුමක්ද? ඔවුන් ලබා ඇති ආශීර්වාද මොනවාද?
15 “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්” තමාට විවෘත කර තිබේය කියා ප්‍රේරිත පාවුල් ලීවේය. (1 කොරින්ති 16:9, NW) ඔබගේ තත්වයන්ට අනුව විවිධ ක්‍රියාකාරකම්වල නියැලිය හැකි දොරකින් ඇතුළු වීමට ඔබට හැකිද? නිදසුනක් වශයෙන් මාසයකට පැය 70ක් හෝ 50ක් දේශනා සේවයේ මිඩංගු කරමින් ස්ථාවර හෝ උපකාරික පුරෝගාමි සේවයේ යෙදීම මෙහිදී සඳහන් කළ හැකියි. පුරෝගාමීන් කරන සේවය සෙසු ක්‍රිස්තියානීන් විසින් අගය කරනවා යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත්, පුරෝගාමීන් දේවසේවය තුළ වැඩි කාලයක් ගත කරන නිසා ඔවුන් තමන්ගේ සෙසු සහෝදර සහෝදරියන්ට වඩා උසස්යයි ඔවුන් සිතන්නේ නැත. ඒ වෙනුවට, ඔවුන් වර්ධනය කරන්නේ යේසුස් විසින් දිරිගන්වනු ලැබූ මෙම ආකල්පයයි. “අප කිසි කමකට නැති දාසයෝය. අප කර තිබෙන්නේ අප විසින් කළ යුතුව තිබුණ දේය.”—ලූක් 17:10, NW.
16 පුරෝගාමි සේවය කිරීමට නම්, තමාවම හික්මවාගැනීම, පෞද්ගලිකව සංවිධානය වීම සහ පරිත්‍යාගයන් කිරීමට කැමති වීම අවශ්‍යය. එහෙත්, ඉන් ලැබෙන ආශීර්වාද බොහෝ වටී. “දෙවිගේ සත්‍යයේ වචනය හරියාකාරව හැසිරවීමට හැකිවීම සැබවින්ම ආශීර්වාදයක්” යයි ටේමිකා නම් යෞවන පුරෝගාමි සහෝදරිය කියන්නීය. “කෙනෙක් පුරෝගාමි සේවය කරන විට, එයා බයිබලය නිතරම පාවිච්චි කරනවා. දැන් මම ගෙයින් ගෙට යද්දී, එක් එක් ගෙවැසියා සමඟ කතා කරද්දී ඔවුන්ට සුදුසු ශුද්ධ ලියවිලි පද මොනවාද කියලා මට තීරණය කරන්න පුළුවන්.” (2 තිමෝති 2:15, NW) මයිකා නම් පුරෝගාමියෙක් මෙසේ කියයි. “සත්‍යය මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කරන ආකාරය දැකීම තවත් පුදුමාකාර ආශීර්වාදයක්.” මැතිව් නමැති යෞවනයා ඒ හා සමානව කතා කරන්නේ, “කෙනෙකු සත්‍යයට එනවා දකින විට ඇති වන ප්‍රීතිය වගේ ප්‍රීතියක් කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ” කියායි.
17. එක් ක්‍රිස්තියානියෙක් පුරෝගාමි සේවය පිළිබඳව අශුභවාදි සිතිවිලි ජයගත්තේ කෙසේද?
17 පුරෝගාමි සේවය නමැති දොරටුවෙන් ඇතුල් වීම ගැන ඔබට සලකා බැලිය හැකිද? සමහරවිට ඔබ එසේ කිරීමට කැමති නමුත් ඒ තරමට තමන් සුදුසු නැහැ කියා ඔබට සිතෙනවා විය හැකියි. “මට පුරෝගාමි සේවය ගැන අශුභවාදී හැඟීම් තිබුණා” යයි කෙන්යාට නම් යෞවන සහෝදරිය පිළිගන්නීය. “මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා මට හිතුණේ නැහැ. යම් හැඳින්වීමක් සූදානම් වෙන ආකාරයවත්, ශුද්ධ ලියවිල්ලෙන් කාරණා පහදා දෙන ආකාරයවත් මම දැනගෙන හිටියේ නැහැ.” කෙසේවෙතත්, ඇගේ සභාවේ වැඩිමහල්ලෝ මේරූ පුරෝගාමි සහෝදරියක් සමඟ ඇයට එකට වැඩ කිරීමට කටයුතු පිළියෙල කළහ. “ඇය සමඟ වැඩ කිරීම හරිම ප්‍රීතියක්,” යයි කෙන්යාට මතක් කරන්නීය. “ඒ නිසයි මම පුරෝගාමි සේවය කරන්න ආස වුණේ.” යම් දිරිගැන්වීමක් සහ පුහුණුවක් ලැබීමත් සමඟම, සමහරවිට ඔබටත් ‘පුරෝගාමි සේවය කිරීමට ආශාවක්’ ඇති විය හැකියි.
18. මිෂනාරි සේවයට ඇතුල් වන අයට ලැබිය හැකි ආශීර්වාද මොනවාද?
18 පුරෝගාමි සේවය තුළින් තවත් සේවා වරප්‍රසාද අත් කරගැනීමට දොරටු විවෘත විය හැකියි. නිදසුනක් වශයෙන්, ඇතැම් විවාහක යුවළයන් මිෂනාරි පුහුණුව ලැබ විදේශීය රටවල දේශනා කිරීමට පිටත් කර හරිනු ලබත්. මිෂනාරිවරුන් පැවරුම ලැබෙන රටේ තත්වයට හැඩගැසිය යුතුය. සමහරවිට අලුත් භාෂාවක්, අලුත් සංස්කෘතියක්, අලුත් ආහාර වැනි දේවලට ඔවුන් පුරුදු විය යුතුය. එහෙත් ඒ මගින් ලැබෙන ආශීර්වාද දෙස බලන විට, ඇති විය හැකි අපහසුතාවන් මොනවාද කියා යමෙකුට සිතේ. මෙක්සිකෝවේ එක්තරා පළපුරුදු මිෂනාරිවරියක් වන මිල්ඩ්රඩ් මෙසේ කියන්නීය. “මිෂනාරිවරියක් වීමට මා ගත් තීරණය ගැන මම කිසිවිටෙකත් කනගාටු වෙන්නේ නැහැ. ඒක කුඩා අවදියේ පටන් මගේ සිතේ තිබුණු ආශාවක්.” ඇය භුක්ති විඳ ඇති ආශීර්වාද මොනවාද? “මගේ රටේ නම්, බයිබල් පාඩමක් හොයාගන්න එක හරි අමාරුයි. ඒත් මෙහේ, මාත් එක්ක පාඩම් කළ බයිබල් ශිෂ්‍යයන් හතරදෙනෙක් එකම අවස්ථාවේ ක්ෂේත්‍ර සේවයේ යෑමට පටන් ගත්තු අවස්ථාත් තියෙනවා!”
19, 20. බෙතෙල් සේවය, ජාත්‍යන්තර සේවය සහ දේවසේවා පුහුණු පාසැල බොහෝදෙනෙකුට ආශීර්වාදයක් වී තිබෙන්නේ කෙසේද?
19 එමෙන්ම, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවල බෙතෙල් සේවයේ යෙදී සිටින අයටද මහඟු ආශීර්වාද අත් වේ. ජර්මනියේ බෙතෙල්හි සේවය කරන එක් යෞවන සහෝදරයෙක් වන ස්වෙන් මෙසේ කියයි. “මට හැඟෙන්නේ මම සදාතනික වටිනාකමක් ඇති දෙයක් කරනවා කියලයි. මගේ දක්ෂකම් ලෝකයේ රැකියාවකට යොදන්න මට හැකිකම තිබුණා. නමුත් ඒක හරියට බංකොලොත් වෙන්න යන බැංකුවක මුදල් තැන්පත් කරනවා වගේ වැඩක්.” වැටුපක් නොගෙවන ස්වේච්ඡා වැඩක් කිරීමට යම් පරිත්‍යාගයක් අවශ්‍ය කරන බව ඇත්තයි. ස්වෙන් මෙසේ කියයි. “නමුත් නැවතිලා ඉන්න කාමරයට ගියහම, මම දන්නවා එදා දවසේ මම කළ හැම දෙයක්ම කළේ යෙහෝවාට බව. අන්න ඒ සිතිවිල්ලයි, මා තුළ ‘මහා පුදුමාකාර උසස් හැඟීමක්’ ඇති කරවන්නේ.”
20 ඇතැම් සහෝදරයන් ජාත්‍යන්තර සේවයේ එනම් විදේශීය රටවල ශාඛා කාර්යාල ඉදි කිරීමේ සේවයේ ආශීර්වාද භුක්ති විඳ ඇත. විදේශීය පැවරුම් අටක සේවය කර ඇති එක් යුවළක් මෙසේ ලීවේය. “සහෝදරයන් හරිම ප්‍රේමණීයයි. මේ අයව දාලා යන එක හරිම දුකක්. ඒක අපි අට සැරයක් අද්දැකලා තියෙනවා. ඇත්තටම ඒ අද්දැකීම වචනවලින් විස්තර කරන්න අමාරුයි!” තවද, දේවසේවා පුහුණු පාසැල ගැන සලකා බලන්න. සුදුසුකම් ලත් තනිකඩ සහෝදරයන්ට ඒ මගින් ආත්මික පුහුණුවක් ලැබේ. එක් උපාධිලාභියෙක් මෙසේ ලීවේය. “මේ පුදුමාකාර ශ්‍රේෂ්ඨ පාසැල ගැන මම ඔබට කොහොම ස්තුති කරන්නද කියලා මටම තේරෙන්නේ නැහැ. මේ වගේ පුහුණුවක් දීමට මෙතරම් ප්රයත්නයක් දරන්නේ වෙන මොන සංවිධානයද?”
21. සියලු ක්‍රිස්තියානීන්ට තමන් දෙවිට කරන සේවය තුළ මුහුණ දීමට තිබෙන අභියෝගය කුමක්ද?
21 එසේය, ක්‍රියාකාරකම් සඳහා බොහෝ දොරවල් විවෘත වී තිබේ. බෙතෙල් සේවයේ හෝ විදේශීය රටක සේවයේ නියැලෙන්නට අපගෙන් බොහෝදෙනෙකුට බැරි බව ඇත්තයි. තමන් සිටින විවිධ තත්වයන් නිසා ක්‍රිස්තියානීන් “පල” නිපදවන්නේ විවිධ ප්‍රමාණවලින් බව යේසුස්ද පිළිගත්තේය. (මතෙව් 13:23) එසේනම්, ක්‍රිස්තියානීන් වශයෙන් අපට තිබෙන අභියෝගය වනුයේ, අපගේම තත්වයෙන් උපරිමය නෙළාගැනීමට වෑයම් කිරීමයි. එනම් අපගේ තත්වය ඉඩ දෙන පරිදි, යෙහෝවාගේ සේවය තුළ මුළුමනින්ම හවුල් වීමයි. අප එසේ කරන විට, අපි යෙහෝවාව මහිමවත් කරන්නෙමු. තවද ඔහු ඒ ගැන සතුටු වන බවද අපට සහතික විය හැකියි. සාත්තු නිවාසයක සිටින මහලු සහෝදරියක් වන එතල් ගැන සලකා බලන්න. තමා සමඟ එහි නැවතී සිටින වෙනත් අයට නිතරම සාක්ෂි දරන ඇය, දූරකථනය මගින් සාක්ෂි දැරීමේද යෙදෙන්නීය. ඇගේ තත්වය මෙසේ තිබියදී, ඇය සේවය කරන්නේ මුළු සිතිනුයි.—මතෙව් 22:37, NW.
22. (අ) අපට දෙවිව මහිමවත් කළ හැකි අමතර ක්‍රම මොනවාද? (ආ) අප ඉදිරියේ ඇත්තේ කිනම් මවිතාකාර කාලයක්ද?
22 එහෙත්, මෙය මතක තබාගන්න. එනම්, දේශනා කිරීම යනු යෙහෝවාව මහිමවත් කළ හැකි එක් ක්‍රමයක් පමණි. එසේම, අපගේ රැකියාවේදී, පාසැලේදී, නිවසේදී අපගේ හැසිරීම තුළින් හා පෙනුම තුළින් ආදර්ශවත් වීමෙන් අපි යෙහෝවාගේ සිත සතුටු කරන්නෙමු. (හිතෝපදේශ 27:11) හිතෝපදේශ 28:20 මෙසේ පොරොන්දු වෙයි. “විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ.” එම නිසා, අපි දෙවිට කරන අපේ සේවය තුළ, ‘නොමසුරුව වැපිරිය’ යුත්තෙමු. තවද එසේ කිරීමෙන් අපට නොමසුරුව ආශීර්වාද නෙළාගත හැකි බවද දනිමු. (2 කොරින්ති 9:6) එසේ කිරීමෙන්, “හුස්ම ඇති සියල්ලෝම” යෙහෝවාට බොහෝ සෙයින් ලැබීමට වටින මහිමය දෙන ඒ මවිතාකාර කාලය දැකගැනීමට අප වරප්‍රසාද ලබනවා ඇත!—ගීතාවලිය 150:6.
[පාදසටහන]
a යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොත යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයකි.
ඔබට මතකද?
• දෙවිගේ ජනයා යෙහෝවාට “දිවා රෑ” සේවය කරන්නේ කෙසේද?
• ගාද් ගෝත්‍රය මුහුණ දුන්නේ කිනම් අභියෝගයටද? අද දින ක්‍රිස්තියානීන්ට එයින් ඉගෙනගත හැක්කේ කුමක්ද?
• ක්ෂේත්‍ර සේවය අපට සාතන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂාවක් සලසා දෙන්නේ කෙසේද?
• ඇතැම් අය ඇතුළත් වී ඇති ‘විවෘත කර තිබෙන දොර’ කුමක්ද? ඔවුන් භුක්ති විඳ ඇති ආශීර්වාද මොනවාද?
[15වන පිටුවේ පින්තූරය]
ගාද්වරුන් තමන් වැටලූ සතුරු කණ්ඩායම් සමඟ සටන් කළාක් සේම, ක්‍රිස්තියානීහුද සාතන්ගේ ප්‍රහාරවලට එරෙහිව සටන් කළ යුතුය
[17වන පිටුවේ පින්තූරය]
ක්ෂේත්‍ර සේවයේදී අපි ගොඩනංවනසුලු ඇසුර භුක්ති විඳින්නෙමු
[18වන පිටුවේ පින්තූර]
පුරෝගාමි සේවය වෙනත් සේවා වරප්‍රසාදවලට දොරටු විවෘත කළ හැකි අතර, මෙම සේවයන් ඊට ඇතුළත් වෙයි:
1. ජාත්‍යන්තර සේවය
2. බෙතෙල් සේවය
3. මිෂනාරි සේවය