ඔබේ දරුවන්ට උගන්වන්න
පණිවිඩයට හොඳින් සවන් දුන් රාහබ්
මේ සිද්ධිය වුණේ දැනට අවුරුදු 3,500කට විතර කලින්. අපි හිතමු දැන් අපි ඉන්නේ කානාන් දේශයේ යෙරිකෝව කියන නගරයේ කියලා. එහේ රාහබ් කියලා කාන්තාවක් ඉන්නවා. එයා ඉපදුණේ මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් මුදවාගෙන රතු මුහුද හරහා ගමන් කළ කාලයට පසුවයි. යෙරිකෝ නගරය තිබුණේ රතු මුහුදේ ඉඳන් හුඟක් ඈතින්. ඒත් ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් ගැලවිලා රතු මුහුද හරහා ආව විදිහ රාහබ් දැනගෙන හිටියා. ඒ කාලයේදී ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනි හෝ අන්තර්ජාල පහසුකම් තිබුණේ නැහැ. එහෙමනම් රාහබ් ඒ ගැන දැනගත්තේ කොහොමද කියලා ඔයා දන්නවාද?—a
යෙරිකෝව නගරයට ආව අමුත්තන්ගෙන් රාහබ් ඒ ගැන දැනගන්න ඇති. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් කළ දේවල් රාහබ් අමතක කළේ නැහැ. ඊශ්‍රායෙල්වරු අවුරුදු 40ක් තිස්සේ පාළුකරයේ ගමන් කරලා කානාන් දේශයට ඇතුල් වුණ විදිහත් ඒ කාලයේදී ඔවුන්ට විරුද්ධ වුණ සතුරන්ගෙන් දෙවි ඔවුන්ව ආරක්ෂා කළ විදිහත් ඇය දැනගෙන සිටියා. ඒ වගේම දැන් ඊශ්‍රායෙල්වරු යෙරිකෝවේ යොර්දාන් ගඟ අසල කඳවුරු බැඳගෙන ඉන්න බවත් ඇයට දැනගන්න ලැබුණා.
රාහබ් නැවතිලා හිටිය ගෙදර නවාතැන් ගන්න පුළුවන් කියලා දැනගත් ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් දෙදෙනෙක් දවසක් හැන්දෑවක රාහබ්ගේ ගෙදරට ආවා. ඒ නිසා රාහබ් ඔවුන්ට නවාතැන් පහසුකම් දුන්නා. හැබැයි ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් දෙදෙනෙක් යෙරුකෝව නගරයට ඇවිත් රාහබ්ගේ ගෙදරට ගිය බව එදාම රෑ යෙරිකෝවේ රජට ආරංචි වුණා. ඒ නිසා ඇගේ ගෙදර ඉන්න මිනිසුන්ව වහාම පිටතට ගෙනෙන්න කියලා රජ පණිවිඩකරුවන් අතේ රාහබ්ට කියලා ඇරියා. ඒ වෙලාවේ රාහබ් මොනවද කළේ කියලා ඔයා දන්නවාද?—
රජුගේ පණිවිඩකරුවන් එන්න කලින් රාහබ් දැනගත්තා තමන්ගේ ගෙදරට ඇවිත් ඉන්නේ ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් දෙදෙනෙක් කියලා. ඒ නිසා රාහබ් ඉක්මනටම ඒ දෙන්නව පියස්ස යට හැංඟුවා. ඊටපස්සේ ඇවිත් ඉන්න රජුගේ පණිවිඩකරුවන්ට මෙහෙම කිව්වා. ‘මිනිස්සු නම් ආවා. නමුත් ඔවුන් කළුවර වැටෙද්දී නගරයෙන් පිට වෙලා ගියා. ඉක්මනට ගියොත් ඒ මිනිසුන්ව අල්ලගන්න ඔබට පුළුවන් වෙයි.’
රාහබ් ඒ ඔත්තුකාරයන් දෙදෙනාව ආරක්ෂා කළේ ඇයි කියලා ඔයා දන්නවාද?—ඒකට හේතුව රාහබ් ඔත්තුකරුවන්ට පැහැදිලි කළේ මෙහෙමයි. ‘යෙහෝවා දෙවි ඔබට මේ දේශය ලබා දෙයි කියා මට හොඳටම විශ්වාසයි. ඔබ ඊජිප්තු දේශයෙන් පිටත්ව එද්දී යෙහෝවා දෙවි ඔබ ඉදිරියේ රතු මුහුදේ ජලය වියළෙන්න සැලැස්වූ හැටි අපිට ආරංචි වුණා.’ ඒ වගේම ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධ වුණ සතුරන්ගෙන් දෙවි ඔවුන්ව ගලවාගත්ත හැටිත් රාහබ් දැනගෙන හිටියා.
රාහබ් ඔත්තුකරුවන් දෙදෙනාව ආරක්ෂා කිරීම ගැන යෙහෝවා දෙවි සතුටු වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 11:31) ඒ වගේම රාහබ් ඔත්තුකරුවන්ගෙන් කළ මෙම ඉල්ලීම ගැනත් දෙවි සතුටු වුණා. ‘මම ඔබට ප්‍රේමණීයව සැලකුවා වගේ යෙරිකෝ නගරය විනාශ වෙද්දී ඔබ මගේ පියාගෙත් මවගෙත් මගේ සහෝදර සහෝදරියන්ගෙත් ඔවුන්ගේ ගෙයි වැසියන්ගෙත් ජීවිත බේරා දෙනවා කියා පොරොන්දු වෙන්න.’ ඔත්තුකරුන් කියන විදිහට රාහබ් කටයුතු කළොත් ඒ ඉල්ලීම ඉටු කරන බව ඔවුන් පැවසුවා. ඔත්තුකරුවන් රාහබ්ට කරන්න කිව්වේ මොනවාද කියලා ඔයා දන්නවාද?—
‘මේ රතු ලණුව ඔයාගේ ජනේලයේ ගැටගහන්න. ඔයාගේ නෑදෑයන් හැමදෙනාවත් ඔයාගේ ගෙදරට ගෙනල්ලා තියාගන්න. එහෙම කළොත් ඒ අයට කිසිම හානියක් වෙන්නේ නැහැ.’ ඔත්තුකරුවන් කිව්ව හැම දෙයක්ම රාහබ් කළා. ඊට පස්සේ මොකද වුණේ කියලා ඔයා දන්නවාද?—
ඊශ්‍රායෙල්වරු යෙරිකෝවේ තාප්පයට පිටතින් සිටගෙන සිටියා. දවස් හයක්ම දවසට වතාව බැගින් කිසිම ශබ්දයක් නැතුව ඔවුන් යෙරිකෝව වටේ ඇවිද්දා. හත්වෙනි දවසේ නුවර වටේ හත්වතාවක් ඇවිදලා ඊටපස්සේ හැමෝම හයියෙන් කෑගැහුවා. ඒ වෙලාවේ එක පාරටම යෙරිකෝව නගරයේ තාප්පය කඩා වැටුණා. හැබැයි රතු ලණුව ගැටගහලා තිබුණු නිසා රාහබ්ගේ ගෙදර හිටිය හැමෝම බේරුණා.—යොෂුවා 2:1-24; 6:1-5, 14, 15, 20-25.
රාහබ් කටයුතු කළ විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?—දෙවි තම සෙනඟව රැකබලා ගත් ආකාරය රාහබ් දැනගෙන හිටියා. ඒ වගේම දෙවිගේ සෙනඟ වෙනුවෙන් යමක් කරන්න තමන්ට අවස්ථාව ලැබුණු විට ඇගේ උපරිමයෙන් ඒ දේ කළා. ඒ වගේම රාහබ් දෙවිගේ සෙනඟ සමඟ එකතුවෙලා දෙවිට සේවය කරන්නත් තීරණය කළා. එහෙම කරන්න ඔයත් කැමතිද?—ඔයාට එහෙම කරන්න පුළුවන් වෙන්න කියලා අපි යාච්ඤා කරනවා.
a ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙක් සමඟ නම් ඉරක් (—) යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.