පැපුවා නිව් ගිනියාවෙන් ලිපියක්
අහස උසට නැඟ ගිය කොරල්පර
වේලාව අලුයම පහයි. අද අඟහරුවාදා දවසක්. දැන් මමයි මගේ බිරිඳයි සූදානම් වෙන්නේ පැපුවා නිව් ගිනියාවේ ලාඉ නම් ප්‍රදේශයේ ඉඳන් ලෙන්බාටී කියන ප්‍රදේශයට යන්නයි. ඒක කඳුකර ප්‍රදේශයක්. අපි යන්නේ එහේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වෙලා ඔවුන් එක්ක සතියක් ගත කරන්නයි.
අපි මේ ගමන යන්නේ කුඩා ගුවන් යානයකින්. මේ ගමනට මිනිත්තු 30ක් විතර ගත වෙනවා. සාමාන්‍යයෙන් මම ඉඳගන්නේ ගුවන් නියමුවාගේ ආසනය ළඟින්මයි. එතකොට එයත් එක්ක කතා කරකර යන්න පුළුවන්. එයා සංඥා පුවරුවේ තියෙන බොත්තම් සහ අනික් දේවල් පෙන්නලා ඒවායින් සිදු වෙන්නේ මොනවාද කියලා මට කියලා දුන්නා. ඊටපස්සේ එයා විහිළුවට වගේ කිව්වා බැරි වෙලාවත් මට මොනවා හරි වුණොත් ඔයාට තමයි ගුවන් යානය ගෙනියන්න වෙන්නේ කියලා. ඒ වෙලාවේ මට මතක් වුණා පැපුවා නිව් ගිනියාවට ගුවන් යානයකින් ගිය මං වගේම තවත් සංචාරක සේවයේ හවුල් වුණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුට වුණු දෙයක්. ඒ සාක්ෂිකරුවා ගිය ගුවන් යානයේ ගුවන් නියමුවාට සිහිය නැති වෙලා. ඒ නිසා ටික වෙලාවක් ඒ ගුවන් යානය ස්වයංක්‍රීයව ගන කැලෑවල් උඩින් පියාසර කරලා තියෙනවා. ගුවන් නියමුවාට සිහිය ආවට පස්සේ තමයි යානය ගොඩ බස්සලා තියෙන්නේ. ඒත් ඒගොල්ලන්ට කිසිම අනතුරක් වුණේ නැති එක ලොකු දෙයක්. හැබැයි අපිට නම් තාම ඒ වගේ දෙයක් සිද්ධ වුණේ නැහැ.
දැන් අපේ ගුවන් යානය පියාසර කරන්නේ කඳුකරයට ඉහළිනුයි. හිටිහැටියේම නියමුවා ගුවන් යානය වෙනත් දිශාවකට හැරෙව්වා. වලාකුළු අතරින් පියාසර කරන අපේ ගුවන් යානය දැන් තියෙන්නේ කඳු මුඳුනට මීටර් 100ක් විතර ඉහළින්. ඒ නිසා ඉදිරියෙන් තියෙන ලෙන්බාටී ගම්මානය දැන් අපට පැහැදිලිව පේනවා. පිදුරු සෙවිලි කළ පුංචි නිවෙස් බොහොමයක් මේ ගම්මානයේ තියෙනවා. මේ අවස්ථාවේ ගුවන් නියමුවා විමසිල්ලෙන් ඉන්නේ ධාවන පථය ගැනයි. ඒකට හේතුව සමහර දවස්වලට ගමේ ළමයි ධාවන පථයේ සෙල්ලම් කරනවා. ඒ විතරක් නෙවෙයි ඌරන් ඇවිත් ධාවන පථයේ වළවල් හාරනවා. මේ හැම දෙයක්ම සෝදිසි කරලා තමයි ගුවන් නියමුවා යානය ගොඩ බස්සන්නේ. මේ ධාවන පථය හදලා තියෙන්නේ ගමේ අයමයි. ‘කොරල්වලින් හැදුණ කඳුවලින්’ කපාගත් හුණු ගල් පොළොවට අතුරලා තමයි මේ ධාවන පථය හදලා තියෙන්නේ.
මේ හුණු ගල් දැක්කම ඒවා කපාගත්ත කොරල් කඳු කොයි තරම් කාලයකට ඉස්සෙල්ලා හැදෙන්න ඇතිද කියලා මම කල්පනා කරලා තියෙනවා. මීට අවුරුදු දහස් ගණනකට කලින් මුහුදු පතුළේ සැතපුම් රාශියක් පුරා විහිදී ගිය මේ කොරල්පර ස්වභාවික භූ තෙරපුම් නිසා පසු කාලයේදී අඩි දහස් ගණනක් උස කඳු බවට පත් වෙලා තියෙනවා. මේ කොරල් කඳු හැදිලා තියෙන්නේ ඒ විදිහටයි. ඒ ගැන හිතෙනකොටත් පුදුමයි. ගුවන් යානයෙන් බැහැලා හුණු ගල් උඩ ඇවිදිනකොට මට දැනුණේ මම අහස උසට නැඟ ගිය කොරල් පරයක ඉන්නවා කියලයි.
සාමාන්‍යයෙන් මේ ගම්මානයට ගුවන් යානයක් ආවම ගමේ අය ඉක්මනට එතැනට එනවා. අද වුණෙත් ඒකමයි. අපි යානයෙන් බහිනවත් එක්කම සෙනඟ අතර හිටිය කෙනෙක් අපි ළඟට ආවා. එයාගේ නම ට්සූන්. මේ ගමේ සාක්ෂිකරුවන් සති පතා පවත්වන රැස්වීම් මෙහෙය වන්නේ එයයි. එයා ගමේ මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙලා ඉන්නේ හොඳ ජීවිතයක් ගත කරන අවංක කෙනෙක් හැටියටයි. ට්සූන් එච්චර හොඳ කෙනෙක් වෙලා තියෙන්නේ එයා බයිබලයේ තියෙන වටිනා ප්‍රතිපත්ති එයාගේ ජීවිතයට අදාළ කරගෙන තියෙන නිසයි. දැන් අපි ට්සූන් සහ තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් එක්ක කන්දෙන් පහළට බහිනවා. අපේ පිටිපස්සෙන් එන ළමයින්ට ඕනේ අපේ ගමන්මලු ටික අරගෙන අපිත් එක්ක එන්නයි.
සාමාන්‍යයෙන් මාස හයකට වතාවක් මේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව බලන්න සංචාරක සේවයේ හවුල් වන කෙනෙක් එනවා. ඒ ආවම එයාට ඉන්න ගෙයක් ඕනේ නිසා මෙහේ ඉන්න සාක්ෂිකරුවන් ලෑලි ගෙයක් හදලා තියෙනවා. පැපුවා නිව් ගිනියාව නිවර්තන කලාපීය රටක් වුණත් අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමෙන් හුඟක් ඉහළ ප්‍රදේශයක නිසා රෑට ටිකක් සීතලයි. රෑට අපි ලන්තෑරුම පත්තු කළාම කන්දේ දැවටිලා ඉහළ නඟින මීදුම අපේ නිවසේ ලෑලි පොළොවේ හිඩැස් අතරින් ගේ ඇතුළට එන විදිහ හොඳට පේනවා.
අසූව දශකයේ මේ ගමේ හිටිය කෙනෙක් ලාඉ ප්‍රදේශයට ගිහින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරලා තියෙනවා. ඊට පස්සේ එයා ආයෙත් මේ ගමට ඇවිත් තවත් කිහිපදෙනෙකුත් එක්ක එකතු වෙලා සාක්ෂිකරුවන්ගේ රැස්වීම් පවත්වන්න ශාලාවක් ඉදි කරලා. හැබැයි ඒ ප්‍රදේශයේ හිටිය ලුතරන් පූජකයෙක් ගමේ කට්ටියත් එක්ක ඇවිත් ඒ ශාලාවට ගිනි තියලා. මේක ලුතරන් ගම්මානයක් නිසා මේ දේවල්වලට ඉඩ දෙන්න බැහැ කියලා එයා කියලා තියෙනවා. ඒත් සාක්ෂිකරුවන් අධෛර්යය වෙලා නැහැ. විරුද්ධවාදීකම් තිබුණත් ටික කාලෙකට පස්සේ ඒගොල්ලන් තවත් ශාලාවක් හදලා. කලින් සාක්ෂිකරුවන්ට විරුද්ධ වුණ අය ඇතුළු 50දෙනෙක් විතර දැන් සාක්ෂිකරුවන් ලෙස සේවය කරනවා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය ගැන කියලා දෙන්න මේ අයගේ ගෙවල්වලට ආවම හුඟක් අය ඒකට කැමති වෙනවා. ගමේ ඉන්න බොහෝදෙනෙකුට ලියන්න කියවන්න අමාරුයි. ඒත් අනික් අයට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න ඕනේ නිසා සමහර සාක්ෂිකරුවන් අකුරු ඉගෙනගන්නවා. මේ වෙනකොට හැම සතියකම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට 200ක් විතර එනවා.
මේ ගම් පළාතට විදුලිය නැහැ. ඒ නිසා කරුවල වැටුණාම අපි කෑම උයන තැනට ගිහින් දර ලිප වටේට ඉඳගත්තා. කෑම කන ගමන් එකිනෙකා එක්ක කතාබහ කරමින් විනෝදයෙන් කාලය ගත කරන්න මේක හොඳ අවස්ථාවක්. මේ අය යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් මොන තරම් සතුටක් ලබනවාද කියලා ඔවුන්ගේ මුහුණුවලින්ම පේනවා. ටිකක් රෑ බෝ වේගෙන එනකොට සමහර අය හුළු අත්තක් පත්තු කරගෙන ගෙවල්වලට යන්න සූදානම් වුණා.
අපිත් අපේ ලෑලි ගෙදරට යන ගමන් මෙහේ තියෙන නිස්කලංක වටපිටාව ගැන ටිකක් හිතුවා. කැලෑවේ සිටින විවිධ සතුන්ගේ නාද නිසා ස්වභාවික පරිසරයේ තිබෙන නිහැඬියාවත් විටින් විට බිඳී යනවා. ඒ විතරක් නෙවෙයි අපි ඉන්නේ උස් තැනක නිසා අහස පැහැදිලිව දකින්න පුළුවන්. ඒ නිසා තරු පිරි අහස මොන තරම් සුන්දරද කියලා අපිට හිතුණා.
අපිටත් නොදැනිම සතියක් ගෙවුණා. අද තමයි මීදුමෙන් වැහෙන මේ සුන්දර ගම්මානයේ නතර වෙන්න ලැබෙන අන්තිම දවස. අපි හෙට ආයෙත් අපේ සුපුරුදු තැනට යනවා.