දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න
‘දෙවිව නොපෙනුණත් ඔහු ගැන අවබෝධයක් ලබාගත හැකියි’
දෙවියන් ඇත්තටම ඉන්නවා කියලා ඔයා විශ්වාස කරනවද? එහෙම විශ්වාස කරන්න තියෙන සාක්ෂි මොනවද? ප්‍රඥාවන්ත, බලවත්, ප්‍රේමණීය නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂි මොනවද කියලා තේරුම්ගන්න පාවුල් රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට කියපු දෙයක් අපි බලමු.
පාවුල් කිව්වේ මෙහෙමයි. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ. එහෙයින් දෙවිව පිළි නොගෙන සිටීමට ඔවුන්ට කිසිම සාධාරණ හේතුවක් නැත.”—රෝම 1:20.
“ලෝකය සෑදූ දා පටන්” දෙවිගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන් කියලයි පාවුල් පැවසුවේ. “ලෝකය” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් අදහස් කළේ පෘථිවි ගෝලය නෙමෙයි මිනිස් වර්ගයායි.a ඒ අනුව බලද්දී පාවුල් කියන්න උත්සාහ කළේ මිනිසුන්ව නිර්මාණය කළ අවස්ථාවේ සිට තම නිර්මාතෘ ගැන අවබෝධයක් ලබාගන්න ඔවුන්ට ඕන තරම් සාක්ෂි තිබුණා කියලයි.
ඒ සාක්ෂි ස්වාභාවික පරිසරයෙන් ‘සියල්ලන්ටම පැහැදිලිව’ දැකගන්න පුළුවන්. සොබා දහමේ හැම දෙයක්ම කොච්චර පිළිවෙළකට සිද්ධ වෙනවද කියලා ටිකක් හිතන්න. එහි නිර්මාතෘ කොච්චර ප්‍රඥාවන්තද කියලා ඒකෙන් තේරෙන්නේ නැද්ද? තරු පිරි අහස දිහා බලද්දී, රළ නඟන මහ සයුර දිහා බලද්දී ඒවායේ නිර්මාතෘ කොතරම් බලවත්ද කියලා පැහැදිලි නැද්ද? ඒ වගේම විවිධ ආහාර පාන රසවිඳිද්දී, හිරු නැඟ එන බැස යන සුන්දර දසුන් දකිද්දී නිර්මාතෘට මිනිසුන් කෙරෙහි තියෙන ආදරේ කොයි තරම්ද කියලා පැහැදිලි වෙන්නේ නැද්ද?—ගීතාවලිය 104:24; යෙසායා 40:26.
ඒ සාක්ෂිවලින් දෙවියන් ඉන්නවා කියන එක කොච්චර පැහැදිලිව ඔප්පු වෙනවද කියනවා නම් ‘දෙවිව පිළි නොගෙන සිටීමට කාටවත් කිසිම සාධාරණ හේතුවක් නැහැ’ කියලා පාවුල් පැවසුවා. ඒක තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. “පාර වසා ඇත. වමට හරවන්න” කියලා පැහැදිලි මාර්ග සංඥාවක් දාලා තියෙද්දිත් රියදුරෙක් ඒ ගැන කිසි තැකීමක් නොකර ඒ පාරේ දිගටම යනවා. එතකොට පොලිසියෙන් ඔහුව නතර කර දඩ කොළයක් ලියනවා. මාර්ග සංඥාව පැහැදිලිව පේන්න තියෙන නිසාත් රියදුරාගේ ඇස් පෙනීමේ දෝෂයක් නැති නිසාත් මාර්ග සංඥාව දැක්කේ නැහැ කියලා ඔහුට කියන්න පුළුවන්ද? එහෙම කිව්වත් පොලිස් නිලධාරියා ඒක පිළිගනීද? ගමන් මඟේ තියෙන මාර්ග සංඥා පිළිපදින එක රියදුරෙක් හැටියට ඔහුගේ වගකීම නිසා එහෙම නොකරපු එක ගැන ඔහුට කිසිම සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න බැහැ. දෙවි කෙනෙක් සිටින බවට ස්වාභාවික පරිසරය සපයන සාක්ෂිත් ඒ මාර්ග සංඥාව වගේ හරිම පැහැදිලියි. ඒ නිසා ඒවා දැක දැකත් දෙවියන්ව පිළි නොගන්න කාටවත් සාධාරණ හේතුවක් නැහැ.
ස්වාභාවික පරිසරය දෙවි කෙනෙක් සිටින බවට ඕන තරම් සාක්ෂි සපයනවා
ස්වාභාවික පරිසරය දෙවියන් සිටින බවට සාක්ෂි සපයන පොතක් හා සමානයි. දෙවියන් ගැන තව බොහෝ තොරතුරු හෙළි කරන තවත් පොතක් තියෙනවා. ඒ තමයි බයිබලය. දෙවියන් පොළොව නිර්මාණය කළේ ඇයි කියලත් මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ මොකක්ද කියලත් බයිබලෙන් දැනගන්න පුළුවන්. ඒ වගේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු දැනගද්දී අපේ නිර්මාතෘ වන දෙවි පියාණන්ට තවත් ළං වෙන්න අපිට පුළුවන්.
අගෝස්තු මාසයට නියමිත බයිබල් කියවීම
රෝම 1 සිට 16 දක්වා
a ලෝකය පව්කාර තත්වයක ඉන්නවා කියලත් ලෝකයට ගැලවුම්කරුවෙකු අවශ්‍යයි කියලත් යොහන් පොතේ සඳහන් වෙනවා. ඉන් පැහැදිලි වෙන්නේ ලෝකය කියන වචනය මිනිස් වර්ගයාට යොමු දැක්වීමටත් භාවිත කරලා තියෙන බවයි.—යොහන් 1:29; 4:42; 12:47.