ස්වාමිවරු දෙන්නෙක්ට සේවය කරන්න බැහැ
‘ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.’—මතෙ. 6:24.
1-3. (අ) අද ඉන්න හුඟක් අයගේ ආර්ථික තත්වය මොන වගේද? සමහරු ඒකෙන් ගොඩ එන්න කරන්නේ මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) ඒ වගේ තීරණයක් ගත්තොත් දරුවන් හදා වඩා ගන්න එක ගැන මතු වෙන්නේ මොන වගේ ප්‍රශ්නද?
“මගේ මහත්තයා වැඩ ඇරිලා ගෙදර එන්නේ භාගෙට මැරිලා. ඒත් හම්බ වෙන පඩිය මදි ජීවත් වෙන්න. එයාගේ ඔළුවේ තියෙන බර ටිකක් සැහැල්ලු කරන්න පුළුවන් නම්! පුතාගේ ඉස්කෝලෙ යාළුවෝ ළඟ තියෙන දේවල් පුතාටත් අරන් දෙන්න පුළුවන් නම්!” එහෙම කියන්නේ මර්ලින්.a ළඟම නෑදෑයන්ට උදව් කරන එක ගැනත් සල්ලි ටිකක් ඉතුරු කරගන්න එක ගැනත් මර්ලින් හිතුවා. එයාගේ යාළුවෝ හුඟදෙනෙක් රට රස්සාවලට ගිහින්. මර්ලින්ටත් ඒකට අවස්ථාව තිබුණා.
2 ඒත් තමන්ගේ සැමියාවත් දරුවාවත් දාලා වෙන රටකට යන්න එයාගේ හිත ඉඩ දුන්නේ නැහැ. පවුලක් විදිහට දෙවිට කරන නමස්කාරය නැති කරගන්නත් එයා කැමති වුණේ නැහැ. ඒ වුණත් රට රස්සාවලට ගිය සමහරුන්ගේ පවුල්වල අය දෙවිට නමස්කාර කරගෙන හොඳට ජීවත් වෙනවා කියලත් එයා දකිනවා. ඒත් දුර රටක ඉඳන් පුතාව හදා වඩා ගන්න එයාට පුළුවන් වෙයිද? ඉන්ටර්නෙට් එකෙන් කතා කරලා දරුවාට යෙහෝවා දෙවි ගැන උගන්වන්න මර්ලින්ට පුළුවන් වෙයිද?—එෆී. 6:4.
3 මර්ලින් රට යනවට එයාගේ මහත්තයා කැමති නැති වුණත් එයා යන්න තීරණය කළොත් එයාව නවත්තන්නේ නැහැ කියලත් ඔහු කිව්වා. මර්ලින් ඒ ගැන වෙන අයගෙනුත් අහලා බැලුවා. සභාවේ වැඩිමහල්ලොත් තවත් කීපදෙනෙකුත් කිව්වේ එහෙම යන එක ඥානවන්ත දෙයක් නෙමෙයි කියලයි. ඒත් සහෝදරියෝ කීපදෙනෙක් “ඔයා ඔයාගේ පවුලට ආදරේ නම් රට යන එක තමයි හොඳම දේ. එහෙ ගිහිල්ලත් ඔයාට දෙවිට සේවය කරන්න පුළුවන්නේ” කියලා කිව්වා. අන්තිමේදී එයා රට යන්න තීරණය කළා. වෙන් වෙන මොහොතේ “මං ඉක්මනටම ආයෙත් ඔයාලා ළඟට එනවා” කියලා මර්ලින් පොරොන්දු වුණා.
බයිබල් ප්‍රතිපත්තිවලට මුල් තැන දෙන්න
4. හුඟක් අය රට රස්සාවලට යන්නේ ඇයි? ඒ අය දරුවන්ව භාර දීලා යන්නේ කාටද?
4 අතීතයේ ඉඳන්ම හුඟක් අය දුප්පත්කම නිසා වෙනත් රටවලට ගියා. යාකොබ්ගේ පුත්තුත් තමන්ගේ රට අත්හැරලා ටික කාලෙකට ඊජිප්තුවට ගියා. ඒ සාගතය නිසා ආහාර මිල දී ගන්නයි.b (උත්. 42:1, 2) තමන්ගේ සෙනඟ කන්න අඳින්න නැතුව අන්ත අසරණ තත්වයකට පත් වෙනවා දකින්න යෙහෝවා දෙවි කැමති නැහැ. (ගීතා. 37:25; හිතෝ. 30:8) ඒත් අද ඉන්න හුඟක් අය රට රස්සාවලට යන්නේ කන්න අඳින්න නැති නිසාම නෙමෙයි. සමහරු එහෙම කරන්නේ ණය බරින් නිදහස් වෙන්නයි. තවත් අයට ඕනෙ දැන් ඉන්නවට වඩා සැප පහසු ජීවිතයක් ගත කරන්නයි. ඒ නිසා හුඟක් අය තමන්ගේ අඹු දරුවන්ව දාලා ඈත පළාතක නැත්නම් වෙන රටක රැකියාවකට යනවා. එහෙම යන්නේ සැමියා හරි බිරිඳ හරි ළඟ දරුවෝ තියලයි. තවත් අය වැඩිමල් දරුවෙක් ළඟ, ආච්චිලා සීයලා ළඟ, නෑදෑයන් ළඟ නැත්නම් යාළුවන් ළඟ තමන්ගේ පුංචි දරුවන්ව තියලා යනවා. එහෙම යන එක ලොකු දුකක් වුණත් වෙන කරන්න කිසිම දෙයක් නැහැ කියලයි ඔවුන් හිතන්නේ.
5, 6. (අ) නියම සතුට හා සුරක්ෂිතභාවය ලබාගන්න පුළුවන් විදිහ ගැන යේසුස් කිව්වේ මොනවද? (ආ) අපේ අවශ්‍යතාවන් ඉල්ලීම ගැන යේසුස් කිව්වේ මොනවද? (ඇ) දෙවි අපිට ආශීර්වාද කරනවා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?
5 යේසුස්ගේ කාලයේ ජීවත් වුණ හුඟක් අයත් දුප්පත්. (මාක් 14:7) මුදල් තිබුණොත් සතුටින්, සුරක්ෂිතව ඉන්න පුළුවන් වෙයි කියලා ඒ අයත් හිතන්න ඇති. ඒත් යේසුස්ට ඕන වුණේ සැබෑ සතුට, සැනසීම ලබාගන්න පුළුවන් වෙන්නේ දෙවිට නමස්කාර කරන එකෙන් විතරයි කියලා ඒ අයට කියලා දෙන්නයි. මිල මුදල්, හැකියාවන් වගේ තාවකාලික දේවල් ගැන විශ්වාසය තියනවා වෙනුවට යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා ඔහු එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න කියලා යේසුස් උනන්දු කළේ ඒ නිසයි.
6 යාච්ඤා කරද්දී සැප පහසු ජීවිතයක් ඉල්ලනවා වෙනුවට ‘දිනපතා අවශ්‍ය කරන ආහාර’ ඉල්ලන්න කියලයි යේසුස් කිව්වේ. ‘මෙලොවෙහි වස්තු රැස් කර නොගන්න. ඒ වෙනුවට ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න’ කියලත් ඔහු කිව්වා. (මතෙ. 6:9, 11, 19, 20) අපි එහෙම කරනවා නම් යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙන විදිහටම අපිට ආශීර්වාද කරයි. ඒකෙන් අදහස් කරන්නේ අපි ජීවත් වෙන විදිහ ගැන දෙවි නිකම්ම සතුටු වෙනවා කියන එක විතරක් නෙමෙයි, අපිට එදිනෙදා අවශ්‍ය කරන දේවල් සපයන්න දෙවි ක්‍රියා කරනවා කියන එකයි. ඇත්තටම අපිට නියම සතුට, සැනසීම ලැබෙන්නේ මිල මුදල්වලින් නෙමෙයි යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන එකෙනුයි.—මතෙව් 6:24, 25, 31-34 කියවන්න.
7. (අ) දරුවන්ව ඇතිදැඩි කරන වගකීම දෙවි භාර දීලා තියෙන්නේ කාටද? (ආ) දරුවන්ට මඟ පෙන්වීම් දීලා පුහුණු කරද්දී අම්මායි තාත්තායි දෙන්නම ඔවුන් එක්ක ඉන්න එක වැදගත් ඇයි?
7 ‘දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙනවා’ කියන දේට පවුලේ අයව රැකබලා ගන්න වගකීම දෙවි බලාපොරොත්තු වෙන විදිහට කරන එකත් ඇතුළත්. මෝසෙස්ට දුන්න නීතියේ අද ඉන්න ක්‍රිස්තියානීන්ටත් අදාළ වෙන ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ දරුවන්ට දෙවි ගැන කියලා දීලා ඔවුන්ව පුහුණු කරන එක දෙමාපියන්ගේ වගකීමක් කියන දේ. (ද්විතීය කතාව 6:6, 7 කියවන්න.) දෙවි ඒ වගකීම දුන්නේ දරුවන්ගේ දෙමාපියන්ට මිසක් ආච්චිලා, සීයලාටවත් වෙන අයටවත් නෙමෙයි. “මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න. ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න” කියලා සලමොන් කිව්වා. (හිතෝ. 1:8) ඒ කියන්නේ අම්මායි තාත්තායි දෙන්නම දරුවෝ ළඟ ඉඳලා ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න ඕනෙ කියන එකයි. (හිතෝ. 31:10, 27, 28) දෙමාපියන් දිනපතා යෙහෝවා දෙවි ගැන කතා කරන දේවල් අහලා, දෙවිට සේවය කරන විදිහ බලලා ඒ විදිහටම කරන්න දරුවෝත් ඉගෙනගන්නවා.
නොදකින පැති
8, 9. (අ) අම්මා හරි තාත්තා හරි දරුවන්ගෙන් ඈත් වෙලා ඉද්දී දරුවන් තුළ දකින්න ලැබෙන්නේ මොන වගේ වෙනස්කම්ද? (ආ) එහෙම ඈත් වෙලා ඉන්න එක පවුලේ අයට හානියක් වෙන්න පුළුවන් මොන වගේ පැතිවලින්ද?
8 රට රස්සාවකට ගියොත් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා හුඟක් අය දන්නවා. ඒත් ඒ ප්‍රශ්න කොච්චර බරපතළ විදිහට පවුලේ අයට බලපායිද කියලා ඒ අය තේරුම්ගන්නේ නැහැ. (හිතෝ. 22:3)c රට ගිහින් ගත කරපු මුල් කාලයේදී මර්ලින්ට තමන්ගේ සැමියා, දරුවා නැති පාළුව, දුක තදින් දැනුණා. එයාගේ මහත්තයාටයි පුතාටත් ඒ දුක විඳින්න වුණා. පුතා හැම තිස්සෙම මර්ලින්ගෙන් ඇහුවේ “ඇයි අම්මේ මාව දාලා ගියේ” කියලයි. මාස කීපයකට කියලා ගියත් දන්නෙම නැතුව අවුරුදු කීපයක්ම ගත වුණා. ඒ කාලය ඇතුළත හුඟක් දේවල් වෙනස් වෙනවා මර්ලින් දැක්කා. පුතා ටිකෙන් ටික තමන්ගෙන් ඈත් වෙනවා කියලා එයාට දැනුණා. “මගේ පුතා දැන් ඉස්සර තරම් මට ආදරේ නෑ” කියලා එයා කිව්වේ හරිම දුකෙන්.
9 දරුවෝ, දෙමාපියෝ එක වහලක් යට ජීවත් වෙන්නේ නැති වුණාම ඒක දරුවන්ට මානසිකව බලපානවා වගේම ඒගොල්ලෝ නරක පැත්තට යොමු වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි.d වයසින් අඩු දරුවන්ගෙන් දෙමාපියන් ඈත් වෙලා ඉන්න කාලය වැඩි වෙන තරමට ඒ දරුවන්ට වෙන්න පුළුවන් හානියත් වැඩියි. ‘මං මේ හැම දේම කරන්නේ පුතාගෙම හොඳටනේ’ කියලා මර්ලින් කිව්වත් පුතාට දැනුණේ අම්මා එයාට ආදරේ නැහැ කියලයි. මුල් දවස්වල අම්මා නැති පාළුව, තනිකම පුතාට දැනුණත් කාලයක් යද්දී අම්මා නිවාඩුවට එනවටවත් එයා එච්චර කැමති වුණේ නැහැ. එයාගේ ආදරේ ලබන්නවත් එයාගෙන් කීකරුකම බලාපොරොත්තු වෙන්නවත් අම්මාට අයිතියක් නැහැ කියලයි පුතාට හැඟුණේ.—හිතෝපදේශ 29:15 කියවන්න.
ඉන්ටර්නෙට් එකෙන් කතා කළාට පුතාව ආදරෙන් වැළඳගන්න බැහැ (10 ඡේදය බලන්න)
10. (අ) ළඟ නැති අඩුව පුරවන්න තෑගිබෝග දෙන එක දරුවෙක්ට බලපාන්න පුළුවන් කොහොමද? (ආ) ළඟ ඉඳන් දරුවෙක් පුහුණ කරන එකයි දුර ඈතක ඉඳන් ඒක කරන එකයි අතරේ තියෙන වෙනස මොකක්ද?
10 මර්ලින් තමන් නැති අඩුව සල්ලිවලින්, තෑගිබෝගවලින් මකන්න හැදුවත් පුතා එන්න එන්නම දුරස් වෙනවා කියලා එයාට තේරුණා. යෙහෝවා දෙවිට, පවුලේ බැඳීම්වලට මුල් තැන දෙන්න පුහුණු කරනවා වෙනුවට තමන් කරන්නේ මුදල්, බඩු භාණ්ඩවලට මුල් තැන දීලා වැඩ කරන්න දරුවාව පුහුණු කරන එකයි කියලත් මර්ලින්ට තේරුණා. (හිතෝ. 22:6) “අම්මේ, ඔයා ආවේ නැතත් කමක් නෑ. මට ඕන කරන ඒවා එවන්න” කියලා පුතා කියන්න ගත්තා. මර්ලින්ට තේරුණා ලියුම් මාර්ගයෙන්, දුරකථන ඇමතුම් දීලා නැත්නම් ඉන්ටර්නෙට් එක හරහා දරුවෙක්ව පුහුණු කරන්න බැහැ කියලා. “ඉන්ටර්නෙට් එකෙන් පුතා එක්ක කතා කරන්න පුළුවන්. ඒත් එයාව වැළඳගන්න, සිපගන්න බැහැ.”
දෙන්නා දෙතැනක ඉද්දී මොන වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයිද? (11 ඡේදය බලන්න)
11. (අ) රට රස්සාවකට යන එක විවාහයට කොහොම බලපාන්න පුළුවන්ද? (ආ) ආපහු ගෙදර යන්න මර්ලින් තීරණය කළේ ඇයි?
11 පුතා එක්ක විතරක් නෙමෙයි සැමියා එක්ක, යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීමත් ටික ටික අඩු වෙනවා කියලා මර්ලින්ට දැනුණා. රැස්වීම් යන එක, සේවයේ යන එක සතියේ එක දවසකට සීමා වුණා. වැඩ කරන තැන ප්‍රධානියාගේ අයුතු යෝජනාවලට මුහුණ දෙන්නත් සිද්ධ වුණා. තමන්ට තියෙන ප්‍රශ්න, හිතේ කරදර බෙදාගන්න දෙන්නට දෙන්නා ළඟ නැති නිසා මර්ලිනුත් එයාගේ සැමියාත් වෙන අයට ළං වුණා. තව ටික දවසක් ගියා නම් අනාචාරයට වැටෙන්නත් ඉඩ තිබුණා. අනාචාරයට වැටුණේ නැතත් දෙන්නා දෙතැනක ජීවත් වෙන එකෙන් වෙන්නේ විවාහක යුවළක් එකිනෙකාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න කියලත් ලිංගික අවශ්‍යතා සපුරන්න කියලත් බයිබලේ තියෙන ප්‍රතිපත්තිය කඩ වෙන එකයි කියලා මර්ලින්ට තේරුණා. සැමියාට හෝ බිරිඳට අනිත් කෙනාගේ ආදරය පිරුණු බැල්මක, හිනාවක, ස්පර්ශයක, වැළඳගැනීමක අවශ්‍යතාව නැත්නම් ලිංගික අවශ්‍යතාව ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්. ඒත් දෙන්නා දෙතැනක ඉන්නකොට ඒ වගේ හැඟීම් බෙදාගන්න බැහැ. (සල. 1:2; 1 කොරි. 7:3, 5) ඒ වගේම පවුලක් විදිහට එකතු වෙලා දෙවිට නමස්කාර කරන්නත් බැහැ. මර්ලින් මෙහෙම කියනවා. “ඉදිරියේදී එන විනාශයට මුහුණ දෙන්න නම් පවුලේ නමස්කාරය අත්‍යවශ්‍යයි කියලා මම සමුළුවකදී ඉගෙනගත්තා. දැන් නම් මං ගෙදර යන්නම ඕනෙ කියලත් දෙවි එක්කත් පවුලේ අය එක්කත් තිබුණ බැඳීම ආයේ කොහොමහරි ඇති කරගන්නවා කියලත් මං හිතාගත්තා.”
හොඳ උපදෙස්, නරක උපදෙස්
12. රට රස්සාවකට ගිහින් ඉන්න කෙනෙක්ට බයිබලයෙන් දෙන්න පුළුවන් වටිනා උපදෙසක් මොකක්ද?
12 ආයෙත් තමන්ගේ රටට යන්න මර්ලින් ගත්ත තීරණය ගැන වැඩිමහල්ලෝ එයාව අගය කළා. ඒත් සභාවේ හිටපු සමහරු “ගියාට ටික දවසකින් ආයේ ඔයාට එන්න වෙයි,” “රස්සාවක් නැතුව ජීවත් වෙන්නේ කොහොමද” වගේ දේවල් කිව්වා. හරි නම් ඒ අයට කරන්න තිබුණේ ‘තම ස්වාමිපුරුෂයාට, දරුවාට ප්‍රේම කරන්නත් ගෙදරදොරේ වැඩකටයුතු සාර්ථකව ඉටු කරන්නත්’ මර්ලින්ව දිරිගන්වන එකයි. එහෙම කරනවා නම් දෙවිගේ නමට අගෞරව වෙන දෙයක් වෙන්නේ නැහැ.—තීතස් 2:3-5 කියවන්න.
13, 14. දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා වැඩ කරන්න කෙනෙක්ට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනෙ කියලා කියන්නේ ඇයි? අද්දැකීමක් කියන්න.
13 රට රස්සාවලට යන හුඟක් අය හැදිලා වැඩිලා තියෙන්නේ තමන්ගේ දෙමාපියන්ට, නෑදෑයන්ට මුල් තැන දීලා වැඩ කරන සමාජයකයි. සිරිත් විරිත්වලට, නෑදෑයන්ගේ කැමැත්තට ඉඩ දීලා වැඩ කරනවා වෙනුවට දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා වැඩ කරන්න නම් කෙනෙක්ට යෙහෝවා දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ.
14 කැරන්ගේ කතාව අහන්න. “මමයි සැමියායි රැකියාව කළේ වෙන රටක. ඔය අතරේ මං බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ටික දවසක් යන්න කලින් අපිට පුතෙක් ලැබුණා. මගේ නෑදෑයෝ හැමෝම කිව්වේ රට ඉඳලා සල්ලි ටිකක් හොයාගන්නකම් පුතාව මගේ අම්මායි තාත්තායි ළඟට එවන්න කියලයි.” ඒත් පුතාව තමන් ළඟම තියාගන්නවා කියලා කැරන් තීරණයක් ගත්තා. ඒ ගැන එයාගේ මහත්තයා, නෑදෑයෝ එයාට හිනා වුණා. “පුතාව හදාගන්න අවුරුදු කීපයකට අම්මලාට භාර දෙන එකේ තියෙන වරද මට ඒ කාලේ හරියටම තේරුණේ නැහැ. ඒත් පුතාව හදා වඩා ගන්න වගකීම යෙහෝවා දෙවි දීලා තියෙන්නේ අපි දෙන්නටයි කියලා මං දැනගෙන හිටියා.” ඔහොම ඉන්නකොට කැරන් ආයෙත් ගැබ්ගත්තා. දෙවිට නමස්කාර නොකරපු එයාගේ මහත්තයා කිව්වේ දරුවාව ගබ්සා කරන්න කියලයි. කලින් දෙවිට කීකරු වෙන්න ගත්ත තීරණය නිසා කැරන්ගේ විශ්වාසය වැඩි වෙලයි තිබුණේ. ඒ නිසා මේ වතාවේදීත් එයා දෙවිට කීකරු වුණා. ප්‍රතිඵලය? දැන් එයාගේ සැමියායි දරුවෝ දෙන්නයි එක්ක එක වහලක් යට සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ඒත් එදා එයාගේ පුතාව අම්මලා ළඟට යැව්වා නම් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
15, 16. (අ) පොඩි කාලේ දෙමාපියන් ළඟ ඇතිදැඩි නොවුණ සහෝදරියකට ඒක බලපෑවේ කොහොමද? (ආ) දුවව ඇතිදැඩි කරන්න තමන්ගේ අම්මාට භාර නොදෙන්න එයා තීරණය කළේ ඇයි?
15 විකී කියන සහෝදරිය කියන දේ බලන්න. “අම්මායි තාත්තායි මගේ නංගිව එයාලා ළඟ තියාගත්තත් මං හැදුණේ වැඩුණේ මගේ ආච්චි ළඟ. කාලයක් ගියාට පස්සේ අම්මලා මාව එයාලා ළඟට ගත්තා. ඒත් ඒ වෙනකොට අම්මායි තාත්තායි ගැන මට හැඟුණ විදිහ වෙනස් වෙලයි තිබුණේ. මගේ නංගි නම් හුඟක් වෙලාවට එයාලව සිප වැළඳගත්තත් මට එහෙම කරන්න හිතුණේ නැහැ. අම්මායි තාත්තායි වයසට ගියාම ඒගොල්ලන්ව අපි දෙන්නා අනිවාර්යයෙන්ම බලාගන්නවා. ඒත් නංගි වගේ ආදරෙන් ඒක කරන්න මට බැරි වෙයි.
16 “දැන් මගේ අම්මා කියනවා මගේ දුවව එයා ළඟට එවන්න කියලා. ඒත් මං ඒකට කැමති නෑ කියලා අම්මාට කාරුණිකව කිව්වා. මටයි මගේ මහත්තයාටයි ඕනෙ අපේ දුවව යෙහෝවා දෙවි කැමති විදිහට ඇතිදැඩි කරන්නයි. මායි මගේ දෙමාපියනුයි අතරේ තිබුණ බැඳීම නැති වුණා වගේ මගේ දුවයි මායි අතරේ තියෙන බැඳීම නැති වෙනවට මං කැමති නෑ.” සල්ලි හම්බ කරනවටවත් නෑදෑයන්ව සතුටු කරනවටවත් වඩා වටින්නේ යෙහෝවා දෙවිව සතුටු කරන එකයි කියලා විකී අද්දැක්කා. යෙහෝවා දෙවිට මුල් තැන දෙන අතරේම ධන සම්පත් පසුපස යන්න බැහැ. යේසුස් කිව්වේ “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ” කියලයි.—මතෙ. 6:24; නික්. 23:2.
උත්සාහයට දෙවි ආශීර්වාද කරනවා
17, 18. (අ) අපිට විශ්වාසය තියන්න පුළුවන් මොන පොරොන්දු ගැනද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
17 අපේ ජීවිතේ මුල් තැන දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් දෙනවා නම් යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම අපිව බලාගන්නවා. (මතෙ. 6:33) මොන ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වුණත් අපි දෙවිව විශ්වාස කරලා බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව වැඩ කරනවා නම් “එයින් ගොඩ ඒමට මඟක්” අපිට පෙන්නනවා කියලා දෙවි පොරොන්දු වෙනවා. (1 කොරින්ති 10:13 කියවන්න.) ඒ වගේ වෙලාවලදී විශ්වාසයෙන් දෙවිට යාච්ඤා කරලා බයිබල් ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරද්දී අපි පෙන්නන්නේ අපි දෙවි මත රඳා ඉන්නවා කියලයි. (ගීතා. 37:5, 7) දෙවි අපිට අවශ්‍ය දේවල් සපයලා අපේ උත්සාහයට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.—උත්පත්ති 39:3 බලන්න.
18 එක වහලක් යට ජීවත් නොවුණ නිසා බිඳී ගිය බැඳීම් ආයෙත් පිළිසකර කරගන්නේ කොහොමද? පවුලේ අයව දාලා රට රස්සාවකට යන්නේ නැතුව ආදායම් මාර්ගයක් හදාගන්න කරන්න පුළුවන් මොන වගේ දේවල්ද? රට රස්සාවකට යන එක ගැන දෙගිඩියාවෙන් ඉන්න අයට හරි තීරණයක් ගන්න උදව් කරන්නේ කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.
a නම් වෙනස් කර ඇත.
b ඔවුන් ඊජිප්තුවට ගිය එක වතාවකදීවත් සති තුනකට වඩා පවුලේ අයගෙන් වෙන් වෙලා හිටියේ නැහැ. පසු කාලයකදී යාකොබ් හා ඔහුගේ පුතුන් ඊජිප්තුවේ පදිංචියට ගිය අවස්ථාවේදී ඔවුන්ගේ භාර්යාවන්වත් දරුවන්වත් රැගෙන ගියා.—උත්. 46:6, 7.
c 2013 පෙබරවාරි ‘පිබිදෙව්!’ කලාපයේ “රට ගියත් පදිංචියට සැබෑ වෙයිද සිහින?” කියන ලිපිය බලන්න.
d විවිධ රටවලින් ලැබෙන වාර්තාවලට අනුව පවුලේ අයව දාලා රට රස්සාවලට යන එක බරපතළ ප්‍රශ්නවලට හේතුවක් වෙලා තියෙනවා. අනාචාරයේ යෙදීම, සමලිංගික ක්‍රියාවලට යොමු වීම, ළමා අපචාර වගේ දේවලුත් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටීම, ඔවුන් තුළ කේන්තිය, මානසික පීඩනය, කනස්සල්ල, සිය දිවි හානි කරගැනීමේ සිතුවිලි වගේ දේවලුත් දකින්න පුළුවන්.