ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 5/15 29 පි.-30 පි. 5 ¶
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මාගොග් දේශයේ ගොග්ගේ විනාශය අත ළඟයි
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • නිශ්චලව සිට යෙහෝවා දෙන ගැලවීම බලා සිටින්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 5/15 29 පි.-30 පි. 5 ¶

පාඨකයන්ගෙන් ප්‍රශ්න

එසකියෙල් පොතේ සඳහන් මාගොග් දේශයේ ගොග් කවුද?

අවුරුදු ගාණක්ම අපේ ප්‍රකාශනවල විස්තර කළේ මාගොග් දේශයේ ගොග් කියන්නේ ස්වර්ගයෙන් පොළොවට හෙළපු සාතන්ට කියලයි. එහෙම විස්තර කළේ ඇයි? ඒකට හේතුව ලෝකෙ පුරාම ඉන්න දෙවිගේ සෙනඟට විරුද්ධව එල්ල කරන ප්‍රහාරයේ නායකත්වය ගන්නේ සාතන් කියලා එළිදරව් පොතේ සඳහන් වන නිසයි. (එළි. 12:1-17) ඒ නිසා ගොග් කියන්නේ සාතන්ටම කියන තවත් නමක් කියලා අපි හිතුවා.

ඒත් අපි අවබෝධ කරගෙන හිටපු ඒ දේ නිසා ප්‍රශ්න කීපයක් මතු වුණා. ඒ ඇයි? ගොග්ව පරාජය කරන අවස්ථාව ගැන කතා කරද්දී ගොග් සම්බන්ධයෙන් යෙහෝවා දෙවි මෙහෙම කියනවා. “මම ගොදුරු අල්ලාගෙන කන පක්ෂීන්ටත් වෙනත් පක්ෂීන්ටත් වනමෘගයන්ටත් ඔබව ආහාර පිණිස දෙන්නෙමි.” (එස. 39:4) ඒ වගේම “ඒ කාලයේදී මම ගොග්ට ඊශ්‍රායෙල් දේශයේ සොහොනක් සූදානම් කර දෙන්නෙමි. . . . ගොග්වත් ඔහුගේ මුළු සෙනඟවත් වළලනු ලබන්නේ එහිදීය” කියලත් දෙවි කියනවා. (එස. 39:11) ඒත් සාතන් වැනි නොපෙනෙන කෙනෙක්ව “ගොදුරු අල්ලාගෙන කන පක්ෂීන්ටත් වෙනත් පක්ෂීන්ටත් වනමෘගයන්ටත්” ආහාර සඳහා දෙන්නේ කොහොමද? සාතන්ට පොළොවේ “සොහොනක්” සූදානම් කරන්නේ කොහොමද? බයිබලේ පැහැදිලිවම කියන්නේ සාතන්ව අවුරුදු 1,000කට අගාධයට දානවා කියලා මිසක් ඔහුව කුරුල්ලන්ට කන්න දෙනවා කියලවත් පොළොවේ වළලනවා කියලවත් නෙමෙයි.—එළි. 20:1, 2.

දහස් අවුරුදු පාලනය අවසානයේදී සාතන්ව අගාධයෙන් නිදහස් කරනවා කියලත් “ඔහු පිටත් වී පොළොවේ සතරදිග්භාගයේ විසිර සිටින ගොග් සහ මාගොග් යන ජාතීන්ව නොමඟ යවා යුද්ධයක් සඳහා ඔවුන්ව රැස් කිරීමට පියවර ගන්නේය” කියලත් බයිබලේ සඳහන් වෙනවා. (එළි. 20:8) සාතන් කියන්නේ ගොග්ට නම් ඔහු තමන්වම නොමඟ යවන්නේ කොහොමද? ඒ අනුව එසකියෙල් සහ එළිදරව් පොත්වල සඳහන් “ගොග්” සාතන් නෙමෙයි කියලා පැහැදිලියි.

එහෙමනම් මාගොග් දේශයේ ගොග් කියන්නේ කාටද? ඒක දැනගන්න දෙවිගේ සෙනඟට ප්‍රහාරය එල්ල කරන්නේ කවුද කියලා අපි දැනගන්න ඕනේ. බයිබලේ “මාගොග් දේශයේ ගොග්ගේ” ප්‍රහාරය ගැන විතරක් නෙමෙයි “උතුරේ රජගේ” ප්‍රහාරයක් ගැනත් “පොළොවේ රජවරුන්ගේ” ප්‍රහාරයක් ගැනත් කතා කරනවා. (එස. 38:2, 10-13; දානි. 11:40, 44, 45; එළි. 17:14; 19:19) ඒ ප්‍රහාරයන් 3 එකිනෙකට වෙනස් ප්‍රහාරයන්ද? එහෙම කියන්න බැහැ. පේන විදිහට බයිබලේ සඳහන් ඒ ප්‍රහාරයන් 3න්ම අදහස් කරන්නේ එකම ප්‍රහාරයයි. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුව හර්–මගෙදොන් යුද්ධයට මඟ පාදන, දෙවිගේ සෙනඟට විරුද්ධව එල්ල කරන අවසාන ප්‍රහාරය ලෝකෙ ඉන්න සියලුම ජාතීන් එකට එකතු වී කරන ප්‍රහාරයක් කියලා බයිබලේ කියන නිසයි.—එළි. 16:14, 16.

මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරය ගැන පෙන්නන රූප සටහනක්. ඒක පටන්ගන්නේ මහත් පීඩාවේ ආරම්භයත් එක්කමයි

ඒ අවසන් ප්‍රහාරය ගැන සඳහන් බයිබල් පද එකිනෙක සසඳලා බලද්දී මාගොග් දේශයේ ගොග් කියන්නේ විවිධ ජාතීන්ගේ එකතුවක් කියලා පැහැදිලියි. එහෙම නැතුව සාතන්ට නෙමෙයි. ඒ ජාතීන්ගේ එකතුවට නායකත්වය දෙන්නේ බයිබලේ සඳහන් වන උතුරේ රජුද? ඒ ගැන හරියටම කියන්න අපිට බැහැ. ඒත් යෙහෝවා දෙවි ගොග් ගැන කියපු මේ දේ ඒකට එකඟයි. “ඔබ උතුරුකරයේ ඉතා ඈතින් පිහිටි ඔබේ වාසස්ථානයෙන් පිටත්ව එනු ඇත. අශ්වයන් පිට නැඟී එන අතිවිශාල යුධ හමුදාවක් ඔබ සමඟ පැමිණෙනු ඇත.”—එස. 38:6, 15.

එසකියෙල්ගේ කාලයේ හිටපු දානියෙලුත් උතුරේ රජ ගැන මෙහෙම කිව්වා. “එහෙත් නැඟෙනහිරෙන්ද උතුරෙන්ද අසන්න ලැබෙන ආරංචි නිසා ඔහු කැලඹෙන්නේය. ඔහු බොහෝදෙනෙකුව විනාශ කරන්නත් සියල්ල නැත්තටම නැති කරන්නත් මහත් උදහසකින් පිටත්ව යන්නේය. අලංකාර වූ ශුද්ධ කන්ද සහ මහ මුහුද අතර ඔහු තම කූඩාරම් තනන්නේය. ඔහු විනාශ වන තෙක්ම ඉදිරියට යන්නේය. ඔහුගේ උපකාරයට කිසිවෙක් නොපැමිණෙන්නේය.” (දානි. 11:44, 45) ඒ විස්තරය ගොග් ගැන එසකියෙල් සඳහන් කරපු විස්තරයට සමානයි.—එස. 38:8-12, 16.

ඒ අවසන් ප්‍රහාරයේ ප්‍රතිඵලය මොකක්ද? ඒ ගැන දානියෙල් මෙහෙම කියනවා. “ඔබේ සෙනඟ වෙනුවෙන් [1914 සිට] නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා වන මිකායෙල් [යේසුස්] ඒ කාලයේදී [හර්–මගෙදොන්වලදී] පියවර ගන්නේය. විපත්ති සහිත කාලයක් [මහත් පීඩාව] පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය. ඒ කාලයේදී ඔබේ සෙනඟ ගැලවෙනු ඇත. ලියවිල්ලෙහි සඳහන් කර ඇති සියලුදෙනාම ගැලවෙන්නෝය.” (දානි. 12:1) දෙවිගේ ප්‍රධානම නියේජිතයා වන යේසුස් කරන ඒ දේ එළිදරව් 19:11-21ත් සඳහන් වෙනවා.

ඒත් එළිදරව් 20:8 කතා කරන “ගොග් සහ මාගොග්” කවුද? දහස් අවුරුදු පාලනය අවසානයේ සිද්ධ වෙන අවසන් පරීක්ෂණයේදී විශාල පිරිසක් යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගහනවා. ඒ අයට තියෙන ආකල්පය මහත් පීඩාව අවසන් වේගන එද්දී දෙවිගේ සෙනඟට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කරන ජාතීන්ගේ එකතුව වන ගොග්ට තියෙන ආකල්පයට සමානයි. ඒ දෙගොල්ලන්ටම ඕනෙ දෙවිගේ සෙනඟව විනාශ කරන්නයි. ඒ වගේම ඒ දෙගොල්ලන්ටම ලැබෙන්නෙත් එකම දඬුවමයි. ඒ සදාකාල විනාශයයි. (එළි. 19:20, 21; 20:9) ඒ නිසා දහස් අවුරුදු පාලනය අවසානයේදී කැරලිගහන සියලුදෙනාව “ගොග් සහ මාගොග්” කියලා හඳුන්වන්න පුළුවන්.

1,000 අවුරුදු පාලනයෙන් පස්සේ ගොග් සහ මාගොග්ගේ ප්‍රහාරය පෙන්නන රූප සටහනක්

දෙවිගේ වචනය ගැඹුරින් අධ්‍යයනය කරන අය විදිහට “උතුරේ රජගේ” චරිතයට පණපොවන්නේ කවුද කියලා දැනගන්න අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඒ දුෂ්ට ජාතීන්ගේ එකතුවට කවුරු නායකත්වය දුන්නත් අපිට කාරණා 2ක් ගැන නම් කිසිම සැකයක් නැහැ. (1) මාගොග් දේශයේ ගොග්ව සහ ඔහුගේ හමුදාව අනිවාර්යයෙන්ම පරාජය කර විනාශ කරනවා. (2) දැනටමත් පාලනය කරන අපේ රජ වන යේසුස්, ගොග්ගේ ප්‍රහාරයෙන් දෙවිගේ සෙනඟව බේරගෙන ඔවුන්ට පාරාදීසයේ සුරක්ෂිතව ජීවත් වෙන්න අවස්ථාව දෙනවා.—එළි. 7:14-17.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න