ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 ජනවාරි 22-27 පි.
  • ‘ඔබ සමඟ යන්න අපි සතුටුයි’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ඔබ සමඟ යන්න අපි සතුටුයි’
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හැමෝගෙම නම් දැනගන්න ඕනෙද?
  • අභිෂේක ලත් අයට තමන් ගැන හැඟෙන්න ඕනෙ කොහොමද?
  • එයාලට සලකන්න ඕනෙ කොහොමද?
  • ගාණ වැඩි වෙන එක ගැන කරදර වෙන්න ඕනෙද?
  • “ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අප ඔහුගේ දරුවන් බව අපට දන්වන්නේ දෙවියන්ගේ බලයයි
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයෙන් ඔබට අර්ථවත් වන්නේ කුමක්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රාජ්‍යයක් ලැබීමට වටිනා කුඩා රැළ
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 ජනවාරි 22-27 පි.
එඬේරෙක් පසුපස යන බැටළුවෙක්

‘ඔබ සමඟ යන්න අපි සතුටුයි’

“දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.”—සෙක. 8:23.

ගීතිකා: 65, 122

පැහැදිලි කරන්න පුළුවන්ද?

  • සෙකරියා 8:23 සඳහන් අනාවැකිය ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

  • අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට තමන් ගැන හැඟෙන්න ඕනෙ කොහොමද? (1 කොරි. 4:6-8)

  • සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයගේ ගාණ වැඩි වෙන එක ගැන අපි කරදර වෙන්න ඕනෙ නැත්තේ ඇයි? (රෝම 9:11, 16)

1, 2. (අ) අපේ කාලේ මොන දේ සිද්ධ වෙනවා කියලද දෙවි කිව්වේ? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

අපේ කාලේ සිද්ධ වෙන දෙයක් ගැන යෙහෝවා දෙවි අනාවැකියකින් මෙහෙම කිව්වා. “ඒ දවස්වලදී, සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු දසදෙනෙක් යුදෙව් ජාතිකයෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගෙන මෙසේ පවසනු ඇත. ‘දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.’” (සෙක. 8:23) යුදෙව් ජාතිකයාගෙන් නියෝජනය වුණේ දෙවිගේ බලයෙන් අභිෂේක ලබපු අයයි. ඒ අයව “දෙවිගේ ඊශ්‍රායෙල්” කියලත් හඳුන්වනවා. (ගලා. 6:16) මිනිසුන් දසදෙනාගෙන් නියෝජනය වුණේ පොළොවේ සදාකල් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයයි. ඒ අය දන්නවා දෙවි අභිෂේක ලත් අයට ආශීර්වාද කරනවා කියලා. අභිෂේක ලත් අය එක්ක එකතු වෙලා දෙවිට නමස්කාර කරන්න ලැබුණු අවස්ථාව එයාලා සලකන්නේ ගෞරවයක් විදිහට.

2 දෙවිගේ සෙනඟ අතරේ තියෙන එකමුතුකම ගැන යේසුත් කිව්වා. ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයව “කුඩා රැළ” විදිහටත් පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයව “වෙනත් බැටළුවන්” විදිහටත් ඔහු හැඳින්නුවා. ඒත් ඒ දෙපිරිසම එකමුතුව “එක රැළක්” විදිහට “එක එඬේරෙක්” පසුපස යනවා කියලා ඔහු කිව්වා. ඒ එඬේරා යේසුස්. (ලූක් 12:32; යොහ 10:16) යේසුස් යටතේ කණ්ඩායම් දෙකක් ඉන්න නිසා මේ ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. (1) වෙනත් බැටළුවන් අද ඉන්න අභිෂේක ලත් හැමෝගෙම නම් දැනගන්න ඕනෙද? (2) අභිෂේක ලත් අයට තමන් ගැන හැඟෙන්න ඕනෙ කොහොමද? (3) කෙනෙක් සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්නවා දැක්කොත් අපි ඒ කෙනාට සලකන්න ඕනෙ කොහොමද? (4) සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයගේ ගාණ වැඩි වෙන එක ගැන අපි කරදර වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

හැමෝගෙම නම් දැනගන්න ඕනෙද?

3. අද ඉන්න දෙවිගේ සෙනඟ අතරින් 1,44,000දෙනාට කවුරු අයිති වෙයිද කියලා ස්ථිරවම කියන්න බැරි ඇයි?

3 වෙනත් බැටළුවන් අද ඉන්න අභිෂේක ලත් හැමෝගෙම නම් දැනගන්න ඕනෙද? නැහැ. මොකද ස්වර්ගයේ ජීවත් වෙන්න දෙවිගෙන් ආරාධනාවක් ලැබිලා තිබුණත් ඒ තෑග්ග අනිවාර්යයෙන්ම එයාලට ලැබෙනවා කියලා ස්ථිර කරලා නැහැ. ඒක ලැබෙන්නේ එයාලා දිගටම විශ්වාසවන්තව හිටියොත් විතරයි. සාතන් ඒක දන්න නිසා “බොරු අනාගතවක්තෘවරුන්” මාර්ගයෙන් එයාලව “නොමඟ යවන්න” උත්සාහ කරනවා. (මතෙ. 24:24) තමන්ව විශ්වාසවන්ත කෙනෙක් විදිහට විනිශ්චය කරලා තියනවා කියලා යෙහෝවා දෙවි දැනුම් දෙන කල් තමන්ට ඒ තෑග්ග ස්ථිරවම ලැබෙනවා කියලා අභිෂේක ලත් කෙනෙක්ටවත් කියන්න බැහැ. අවසන් මුද්‍රාව හැටියට හඳුන්වන දෙවිගේ ඒ අනුමැතිය අභිෂේක ලත් කෙනෙක්ට ලැබෙන්නේ එයා මිය යන්න කලින්. එහෙම නැත්නම් “මහත් පීඩාව” පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දී. (එළි. 2:10; 7:3, 14) ඒ නිසා අද ඉන්න දෙවිගේ සෙනඟ අතරින් 1,44,000දෙනාට කවුරු අයිති වෙයිද කියලා ස්ථිරවම කියන්න කාටවත් බැහැ.[1]

4. 1,44,000දෙනාට අයිති ඉතුරු අය කවුද කියලා දැනගන්න බැරි නම් ඒ අය ‘සමඟ යන්නේ’ කොහොමද?

4 1,44,000දෙනාට අයිති ඉතුරු අය කවුද කියලා හරියටම දැනගන්න බැරි නම් වෙනත් බැටළුවන් කොහොමද ඒ අය සමඟ යන්නේ? මිනිසුන් දසදෙනා යුදෙව් ජාතිකයාගේ වස්ත්‍රය අල්ලගෙන “දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු” කියලා කිව්වා. එතන සඳහන් වෙන්නේ එක යුදෙව් ජාතිකයෙක් ගැන වුණත් එතන “ඔබ” කියද්දී කණ්ඩායමක් අදහස් වුණා. ඒකෙන් පැහැදිලියි යුදෙව් ජාතිකයාගෙන් අභිෂේක ලත් එක් කෙනෙක් වෙනුවට කණ්ඩායමක් විදිහට අභිෂේක ලත් අය හැමෝවම නියෝජනය කරනවා කියලා. ඒ නිසා පොළොවේ ඉන්න 1,44,000දෙනාට අයිති හැම කෙනෙක්ගෙම නම් දැනගෙන ඒ එක් එක් කෙනාව අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඒ අයව කණ්ඩායමක් හැටියට හඳුනගෙන ඒ අය එක්ක දෙවිට නමස්කාර කරන එකයි වැදගත්. මිනිසුන්ව අනුගමනය කරනවා වෙනුවට අපි අනුගමනය කරන්න ඕනෙ අපේ නායකයා වන යේසුස්ව විතරයි.—මතෙ. 23:10.

අභිෂේක ලත් අයට තමන් ගැන හැඟෙන්න ඕනෙ කොහොමද?

5. අභිෂේක ලත් අය හිතට ගන්න ඕනෙ මොන අනතුරු ඇඟවීමද? ඒ ඇයි?

5 අභිෂේක ලත් අය 1 කොරින්ති 11:27-29 (කියවන්න.) සඳහන් වෙන අනතුරු ඇඟවීම ගැන හිතලා බලන එක වැදගත්. දෙවිට අවිශ්වාසවන්ත වෙන අතරේ සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්නවා නම් ඒක “නුසුදුසු” දෙයක් කියලයි එතන කියන්නේ. (හෙබ්‍රෙ. 6:4-6; 10:26-29) “ස්වර්ගයට යෑම සඳහා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිගෙන් ලැබූ කැඳවීම” කියන තෑග්ග ලබන්න නම් ඒ අය දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න ඕනෙ කියන ප්‍රබල අනතුරු ඇඟවීම ඒකෙන් දුන්නා.—ෆිලි. 3:13-16.

6. අභිෂේක ලත් අයට තමන් ගැන හැඟෙන්න ඕනෙ කොහොමද?

6 පාවුල් අභිෂේක ලත් අයට මෙහෙම කියනවා. “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස සිරදඬුවම් විඳින මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ කැඳවීමට ඔබින ආකාරයකින් ඔබේ ගමන යන ලෙසය.” ඒක කරන්න පුළුවන් විදිහ ගැන ඔහු ඊළඟට කියන්නේ මෙහෙමයි. “ඔබ නිතරම නිහතමානිකමින්, මෘදුකමින්, බොහෝ ඉවසිලිවන්තකමින් සහ එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින් සිටිය යුතුයි. එලෙසම දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් ඔබ අද්දකින එක්සත්කම රැකගැනීමටත් සමාදානයෙන් ජීවත් වීමටත් මහත් වෑයමක් දැරිය යුතුයි.” (එෆී. 4:1-3) දෙවි තම බලය මාර්ගයෙන් ඔහුගේ සෙනඟට උදව් කරන්නේ නිහතමානී වෙන්න. (කොලො. 3:12) ඒ නිසා තමන් අනිත් අයට වඩා උසස් කියලා අභිෂේක ලත් අය කොහොමටවත් හිතන්නේ නැහැ. දෙවි ඔහුගේ අනිත් සේවකයන්ට වඩා වැඩියෙන් තමන්ට බලය දෙනවා කියලා එයාලා හිතන්නේ නැහැ. ඒ වගේම වෙන කාටත් වඩා බයිබලේ සඳහන් දේවල් ගැඹුරින් තේරුම්ගන්න තමන්ට පුළුවන් කියලා එයාලා හිතන්නේ නැහැ. සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න කියලා තව කෙනෙක්ට කියන්න තමන්ට පුළුවන් කියලත් ඒ අය හිතන්නේ නැහැ. ඒ වෙනුවට කෙනෙක්ට ස්වර්ගයේ ජීවත් වෙන්න ආරාධනා කරන්න පුළුවන් දෙවිට විතරයි කියලා ඒ අය නිහතමානීව පිළිගන්නවා.

7, 8. අභිෂේක ලත් අය බලාපොරොත්තු නොවන්නේ මොනවද? ඒ ඇයි?

7 ස්වර්ගයේ ජීවත් වෙන්න ලැබුණු ආරාධනාව ලොකු ආශීර්වාදයක් විදිහට සැලකුවත් අනිත් අයගෙන් විශේෂ සැලකිලි අභිෂේක ලත් අය බලාපොරොත්තු වෙන්නේ නැහැ. (එෆී. 1:18, 19; ෆිලිප්පි 2:2, 3 කියවන්න.) කෙනෙක්ව දෙවි අභිෂේක කරද්දී ඒ ගැන අනිත් අයට දැනුම් දෙන්නේ නැහැ කියලා අභිෂේක ලත් අය දන්නවා. ඒ නිසා තමන් අභිෂේක ලත් කෙනෙක් කියලා සමහරු එකපාරටම විශ්වාස නොකළොත් එයා පුදුම වෙන්නේ නැහැ. ඒ වගේම දෙවි තමන්ට විශේෂ පැවරුමක් දුන්නා කියලා කවුරු හරි කියනවා නම් ඒක පිළිගන්න ඉක්මන් වෙන්න එපා කියන බයිබලේ සඳහන් දේත් එයා මතක් කරගන්නවා. (එළි. 2:2) අනිත් අයගෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු නොවන නිසා මුල්ම වතාවට මුණගැහෙන අයට තමන් අභිෂේක ලත් කෙනෙක් කියලා එයා කියන්නේ නැහැ. සමහරවිට එයා කාටවත් ඒ ගැන කියන එකක් නැහැ. ස්වර්ගයේදී කරන්න යන දේවල් ගැන එයා පුරසාරම් දොඩන්නෙත් නැහැ.—1 කොරි. 1:28, 29; 1 කොරින්ති 4:6-8 කියවන්න.

8 මිතුරු සමාජයක සාමාජිකයන් වගේ තමන් ඇසුරු කරන්න ඕනෙ අභිෂේක ලත් අය එක්ක විතරයි කියලා එයා හිතන්නේ නැහැ. කණ්ඩායමක් විදිහට එකතු වෙලා බයිබලය අධ්‍යයනය කරන අරමුණින්, අනිත් අභිෂේක ලත් අය එක්ක විශේෂ බැඳීමක් ඇති කරගන්න අරමුණින් ඒ අයව හොයාගෙන යන්න උත්සාහ කරන්නෙත් නැහැ. (ගලා. 1:15-17) එහෙම කළොත් සභාවේ එකමුතුකමට හානියක්. ඒක දෙවිගේ බලයට විරුද්ධවීමක්.—රෝම 16:17, 18 කියවන්න.

එයාලට සලකන්න ඕනෙ කොහොමද?

9. සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න කෙනෙක්ට ඔයා සලකන්න ඕනෙ කොහොමද? (“ප්‍රේමය තියෙන කෙනෙක් “අවිනීතව හැසිරෙන්නේ නැහැ”” යන කොටුව බලන්න.)

9 අභිෂේක ලත් කෙනෙක්ට ඔයා සලකන්න ඕනෙ කොහොමද? යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. ‘ඔබ සියලුදෙනාම සහෝදරයෝයි. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.’ (මතෙ. 23:8-12) කෙනෙක්ව ඕනෑවට වඩා වර්ණනා කරන එක වැරදියි. ඒ කෙනා අභිෂේක ලත් කෙනෙක් වුණත් ඒකෙ වෙනසක් නැහැ. වැඩිමහල්ලන් ගැන කතා කරද්දී බයිබලේ කියන්නේ එයාගේ විශ්වාසය ආදර්ශයට ගන්න කියලා මිසක් ඒ කෙනාව උසස් කරන්න කියලා නෙමෙයි. මොකද කිසිම මිනිසෙක්ව නායකයෙක් හැටියට පත් කරගන්න එපා කියලා බයිබලේ කියනවා. (හෙබ්‍රෙ. 13:7) ඇත්ත, සමහර අය “වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන්” කියලා බයිබලෙත් කියනවා. ඒත් එහෙම කරන්න කියන්නේ ඒ කෙනා “වැඩකටයුතුවලදී හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන” සහ “දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන” නිසා මිසක් එයා අභිෂේක ලත් කෙනෙක් නිසා නෙමෙයි. (1 තිමෝ. 5:17) අපි ඕනෑවට වඩා අභිෂේක ලත් කෙනෙක්ව වර්ණනා කරනවා නම් වැඩි අවධානයක් දෙනවා නම් එයා අපහසුතාවට පත් වෙයි. ඒක එයාගේ හිතේ උඩඟුකමක් ඇති වෙන්න හේතු වෙන්නත් පුළුවන්. (රෝම 12:3) අපි නිසා එයා අතින් ඒ වගේ බරපතළ වරදක් වෙනවා දකින්න අපි කවුරුත් කැමති නැහැ.—ලූක් 17:2.

සිහි කිරීමේදී රොටි ගන්න සාක්ෂිකරුවෙක්

සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න කෙනෙකු ගැන ඔයාට හැඟෙන්න ඕනෙ කොහොමද? (9-11 ඡේද බලන්න)

10. අභිෂේක ලත් අයට ගෞරවය කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?

10 අභිෂේක ලත් අයට අපේ හිතේ ගෞරවයක් තියෙනවා කියලා පෙන්නන්නේ කොහොමද? අභිෂේක ලබන එක මොන වගේ අද්දැකීමක්ද කියලා එයාලගෙන් අහන්නේ නැතුව ඉන්න එක ඒක කරන්න පුළුවන් එක විදිහක්. මොකද ඒක පෞද්ගලික කාරණයක්. ඒක දැනගන්න අපිට අයිතියක් නැහැ. (1 තෙස. 4:11; 2 තෙස. 3:11) එයාලගේ සැමියාගෙන්, බිරිඳගෙන්, දෙමාපියන්ගෙන්, පවුලේ අනිත් අයගෙන් අහන්න හොඳ නැහැ එයාලත් අභිෂේක ලබලද කියලා. අභිෂේක ලබනවා කියන දේ පවුලෙන් උරුම වෙන දෙයක් නෙමෙයි. (1 තෙස. 2:12) හිත රිදවන දේවල් අහන එකෙනුත් අපි වළකින්න ඕනේ. උදාහරණෙකට සැමියා නැතුව පාරාදීසයේ ජීවත් වෙන්නේ කොහොමද කියලා අභිෂේක ලත් කෙනෙකුගේ බිරිඳගෙන් අහන එක කාරුණික නැහැ. අපි දන්නවා එදාට දෙවි “ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා” කියලා.—ගීතා. 145:16.

11. “පුද්ගලයන්ව වර්ණනා” නොකරන එක අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

11 අභිෂේක ලත් අයට වැඩි සැලකිල්ලක් නොදක්වන එක අපිට ආරක්ෂාවක්. ඒ කොහොමද? “සහෝදරයන් බව බොරුවට මවාපාන අය” සභාවේ ඉන්න පුළුවන් කියලා බයිබලේ කියනවා. ඒ අය අතරේ තමන් අභිෂේක ලත් කියලා කියන අයත් ඉන්න පුළුවන්. (ගලා. 2:4, 5; 1 යොහ. 2:19) ඒ වගේම සමහර අභිෂේක ලත් අය දිගටම විශ්වාසවන්තව ඉන්න එකකුත් නැහැ. (මතෙ. 25:10-12; 2 පේතෘ. 2:20, 21) “පුද්ගලයන්ව වර්ණනා” කරන එකෙන් අපි වළකිනවා නම් කෙනෙක් අභිෂේක ලත් වුණත් හැමෝම දන්න කියන කෙනෙක් වුණත් අපි එයා පස්සේ යන්න පෙලඹෙන්නේ නැහැ. එතකොට කවදා හරි ඒ අය දෙවිව අත්හැරලා ගියත් අපේ විශ්වාසය නැති වෙන්නෙවත් දෙවිට සේවය කරන එක නතර කරන්නෙවත් නැහැ.—යූද් 16.

ගාණ වැඩි වෙන එක ගැන කරදර වෙන්න ඕනෙද?

12, 13. සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයගේ ගාණ වැඩි වෙන එක ගැන කරදර වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

12 සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයගේ ගාණ අවුරුදු ගාණක් තිස්සේ එන්න එන්න අඩු වුණා. ඒත් ළඟකදී ඉඳන් ඒ ගාණ වැඩි වෙනවා. ඒ ගැන අපි කරදර වෙන්න ඕනෙද? නැහැ. ඒ ඇයි කියලා දැන් බලමු.

13 “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය.” (2 තිමෝ. 2:19) අභිෂේක කරලා තියෙන්නේ කාවද කියලා යෙහෝවා දෙවි දන්නවා වුණාට සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයව ගණන් කරන සහෝදරයෝ ඒක දන්නේ නැහැ. ඒ නිසා තමන් අභිෂේක ලත් කියලා හිතුවත් ඇත්තටම එහෙම නැති අයත් ඒ ගාණට ඇතුළත් වෙන්න පුළුවන්. කලින් රොටි සහ වයින් ගත්ත අය පස්සේ කාලෙකදී ඒක නවත්තනවා. යම් මානසික ප්‍රශ්නයක්, අසනීපයක් තියෙන කෙනෙක්ටත් හිතෙන්න පුළුවන් තමන්ව දේවරාජ්‍යයේ රජ කෙනෙක් හැටියට තෝරගෙන කියලා. ඒ නිසා 1,44,000දෙනාට අයිති අයගෙන් තව කීදෙනෙක් පොළොවේ ඉන්නවද කියලා හරියටම කියන්න බැහැ.

14. මහත් පීඩාව ආරම්භ වෙද්දී පොළොවේ අභිෂේක ලත් අය කීදෙනෙක් ඉන්නවා කියලද බයිබලේ කියන්නේ?

14 අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරගන්න යේසුස් එන කාලෙදී ඒ අය පොළොවේ විවිධ පළාත්වල ඉන්නවා. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “ඔහු මහත් හොරණෑ ශබ්දයක් පතුරුවමින් තම දූතයන්ව එවයි. ඔවුන් මුළු අහස්තලය යට තිබෙන පොළොවේ හතර දිගින්ම ඔහුගේ තෝරාගත් අයව රැස් කරයි.” (මතෙ. 24:31) බයිබලේ තවත් තැනක කියනවා අන්තිම කාලේ පොළොවේ ඉන්නේ අභිෂේක ලත් අය ටිකදෙනෙක් විතරයි කියලා. (එළි. 12:17) ඒත් මහත් පීඩාව පටන්ගද්දී අභිෂේක ලත් අය කීදෙනෙක් පොළොවේ ඉඳියිද කියලා බයිබලේ හරියටම කියන්නේ නැහැ.

15, 16. 1,44,000දෙනාට අයත් අය ගැන අපි තේරුම්ගන්න ඕනෙ මොකක්ද?

15 අභිෂේක ලත් අයව තෝරගන්න කාලය තීරණය කරන්නේ යෙහෝවා දෙවි. (රෝම 8:28-30) දෙවි අභිෂේක ලත් අයව තෝරන්න පටන්ගත්තේ යේසුස්ව නැවත නැඟිට්ටෙව්වට පස්සේ. පේන විදිහට පළවෙනි සියවසේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් හැමෝම වගේ අභිෂේක ලත් අය. ඊටපස්සේ සියවස් ගාණක් යන කල් හිටපු වැඩිදෙනෙක් තමන් ක්‍රිස්තියානීන් කියලා කිව්වත් ඒ අය යේසුස්ව අනුගමනය කළේ නැහැ. ඒ වුණත් ඒ කාලේ හිටපු සැබෑ ක්‍රිස්තියානීන් කීපදෙනෙක්ව දෙවි අභිෂේක කළා. ඒ අය හරියට කිරිඳි අතරේ තිබුණු තිරිඟු වගේ. (මතෙ. 13:24-30) අන්තිම කාලය පුරාම දෙවි 1,44,000දෙනාට අයිති තවත් අයව අභිෂේක කරමින් ඉන්නවා.[2] මහත් පීඩාව පටන්ගන්න ටිකකට කලින් දෙවි සමහරුන්ව අභිෂේක කළත් දෙවි එහෙම කළේ ඇයි කියලා ප්‍රශ්න කරන්න අපිට බැහැ. (යෙසා. 45:9; දානි. 4:35; රෝම 9:11, 16 කියවන්න.)[3] යේසුස් වැඩකරුවන් ගැන කියපු උපමාවේ අවසන් පැයේදී ආපු සේවකයන්ටත් එකම වැටුප ගෙවපු එක ගැන කන්කෙඳිරි ගෑව සේවකයන් වගේ නොවී ඉන්න අපි පරෙස්සම් වෙමු.—මතෙව් 20:8-15 කියවන්න.

16 ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” අයිති නැහැ. (මතෙ. 24:45-47) පළවෙනි සියවසේදී වගේ අදත් යෙහෝවා දෙවි සහ යේසුස් කීපදෙනෙක්ව තෝරගෙන තමන්ගේ සෙනඟව පෝෂණය කරන කාර්යය භාර දීලා තියෙනවා. දෙවි බයිබලේට ඇතුළත් ග්‍රීක ලියවිලි ලියන්න තෝරගත්තේ එදා හිටපු අභිෂේක ලත් අයගෙන් කීපදෙනෙක්ව විතරයි. අදත් තමන්ගේ සෙනඟට “නියම වේලාවට ආහාර දීම සඳහා” තෝරගෙන තියෙන්නේ අභිෂේක ලත් කීපදෙනෙක්ව විතරයි.

17. ඔයා මේ ලිපියෙන් ඉගෙනගත්තේ මොනවද?

17 මේ ලිපියෙන් ඉගෙනගත්තේ මොනවද? යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟගෙන් වැඩිදෙනෙක්ට පොළොවේ සදාකල් ජීවත් වෙන්නත් ටිකදෙනෙක්ට ස්වර්ගයේ රජකම් කරන්නත් අවස්ථාව දෙනවා. “යුදෙව් ජාතිකයාගෙන්” සහ “මිනිස්සු දසදෙනාගෙන්” නියෝජනය වන ඒ දෙපිරිසම එකම නීති මාලාවකට කීකරු වෙලා දෙවිට විශ්වාසවන්තව ඉඳියි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. හැමෝම නිහතමානී වෙන්නත් ඕනේ. එකමුතුව එක්සත්ව දෙවිට සේවය කරන්නත් ඕනේ. සභාවේ එක්සත්කම රැකගන්න හැමෝම මහන්සි වෙයි කියලත් දෙවි බලාපොරොත්තු වෙනවා. අවසානය ළං වෙන්න වෙන්න අපි හැමෝම යේසුස් යටතේ එක රැළක් විදිහට යෙහෝවා දෙවිට සේවය කරමු.

^ [1] (3 ඡේදය) ගීතාවලිය 87:5, 6 කියන විදිහට ස්වර්ගයේ රජකම් කරන අයගේ නම් දෙවි අනාගතයේදී එළිදරව් කරන්න ඉඩ තියෙනවා.—රෝම 8:19.

^ [2] (15 ඡේදය) කෙනෙක්ව තෝරගද්දී ඒ කෙනාට දෙවි බලය දෙන්නේ යේසුස් මාර්ගයෙන් කියලා ක්‍රියා 2:33 කියන දෙයින් තේරුණත් ඒ ආරාධනය කරන්නේ දෙවි.

^ [3] (15 ඡේදය) වැඩි විස්තර දැනගන්න 2007 මැයි 1 ‘මුරටැඹ’ සඟරාවේ 30-31 පිටු බලන්න.

සහෝදරයෙක්ව සහ ඔහුගේ බිරිඳව වට කරගෙන ෆොටෝ ගන්න පිරිසක්

ප්‍රේමය තියෙන කෙනෙක් “අවිනීතව හැසිරෙන්නේ නැහැ”

පාවුල් මෙහෙම කිව්වා. “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත. ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත. අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත. ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත.” (1 කොරි. 13:4, 5) කෙනෙක් අකාරුණික නම් අනිත් අය ගැන සැලකිලිමත් නැත්නම් අනිත් අයට ගරු කරන්නේ නැත්නම් ඒ කෙනා “අවිනීතව හැසිරෙනවා” කියලා කියන්න පුළුවන්. අපි අපේ සහෝදරයන්ට ඇත්තටම ආදරේ නම් මොනවා හරි කියන්න, කරන්න කලින් ඒක එයාට කොහොම බලපායිද කියලා හිතනවා.

දෙවිගේ සංවිධානයේ මූලිකත්වය අරන් වැඩ කරන අයට අපි සලකන විදිහෙන් ඒ අය ගැන අපිට තියෙන ආදරේ පෙන්නන්න පුළුවන්. චාරිකා සේවකයන්, බෙතෙල් සේවකයන්, ශාඛා කමිටු සාමාජිකයන්, පාලක මණ්ඩලයේ සහෝදරයන්, උපකාරකයන් හැටියට සේවය කරන අය වගේ හැමෝම දන්න අඳුනන සහෝදරයන් කාලෙන් කාලෙට සභාවට, සමුළුවලට එනවා. ඒ අයටත් එයාලගේ භාර්යාවන්ටත් අපේ ආදරේ පෙන්නන්න අපි කැමතියි. ඒක හොඳ දෙයක්. වගකීම් දරපු අය සභාවට එද්දී ඒ අයට කිසි ගෞරවයක් පෙන්නුවේ නැති දියොත්‍රෙෆස් වගේ වෙන්න අපිට ඕනෙ නැහැ. (3 යොහ. 9, 10) අපි ඒ සහෝදරයන්ව ආදරෙන් පිළිගත්තත් ඒ වෙලාවලදී කරන කියන සමහර දේවල් නිසා අපි එයාලා ගැන සැලකිලිමත් නැහැ කියලා එයාලට හැඟෙන්න සලස්සන්න පුළුවන්. ඒ කොහොමද?

ඒ සහෝදර සහෝදරියන් එක්ක ඇසුරු කරන එක ලොකු සතුටක් වුණත් අපි එයාලව ජනප්‍රිය තරු විදිහට සලකලා දේවල් කරනවා නම් ඒක එයාලට දක්වන ගෞරවයක් නෙමෙයි. උදාහරණෙකට එයාලගේ අවසරයක් නැතුව එයාලා කන බොන වෙලාවලදී නැත්නම් වෙන වැඩක් කරද්දී එයාලව ෆෝටෝ ගන්නවද? අපේ පොත් පත්වලට, බයිබලයට ඒ අයගේ අත්සන ගන්නවද? අනිත් අයව තල්ලු කරලා දාලා ඒ අය එක්ක ෆෝටෝ ගන්න උත්සාහ කරනවද? සමුළුවකට මුල්ම වතාවට ආපු අය අපි එහෙම හැසිරෙනවා දැක්කොත් ඒ අයට කොහොම හැඟෙයිද? අපි සහෝදරයන්ට ඇත්තටම ආදරේ නම් එහෙම හැසිරෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා අපිව බලන්න ආවේ ඇයි කියලත් අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලත් තේරුම් අරන් වැඩ කරන එකෙන් එයාලට ගෞරවය කරනවා කියලා පෙන්නන්න පුළුවන්.

සහෝදරයන්ට සලකන්න ඕන විදිහ තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොනවද? (1) හැම ගෞරවයක්ම, ප්‍රශංසාවක්ම ලැබෙන්න ඕනෙ යෙහෝවා දෙවිට කියලා මතක තියාගමු. (එළි. 4:11) (2) අපි එයාලට ගෞරවය කළත් එයාලව ජනප්‍රිය තරු විදිහට සලකලා දේවල් නොකර ඉමු. එයාලත් අපේම සහෝදරයෝ. (මතෙ. 23:8) (3) “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න” කියන උපදෙස අදාළ කරගමු. (මතෙ. 7:12) ඒ දේවල් මතක තියාගන්නවා නම් අපි “අවිනීතව හැසිරෙන්නේ නැහැ.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න