ප්‍රේමය - අගනා ගුණාංගයක්
කෙනෙක් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග 9ක් ගැන සඳහන් කරන්න දෙවි පාවුල්ට මඟ පෙන්නුවා.a (ගලා. 5:22, 23) ක්‍රිස්තියානියෙක් පැළඳගන්න ඕනෙ “අලුත් පෞද්ගලිකත්වයටත්” ඒ ගුණාංග ඇතුළත්. (කොලො. 3:10) ගහකට හොඳින් වතුර ලැබෙද්දී ඒ ගහ හොඳින් පල දරනවා වගේ කෙනෙක් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී එයාගේ ජීවිතෙන් ඒ ගුණාංග දකින්න පුළුවන්.—ගීතා. 1:1-3.
පාවුල් සඳහන් කරපු 1වෙනි ගුණාංගය ප්‍රේමය. ඒ ගුණාංගය කොච්චර වටිනවාද කියනවා නම් පාවුල් කිව්වේ “මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත” කියලයි. (1 කොරි. 13:2) ආදරේ කියන ගුණාංගය තියෙන කෙනෙක් කොයි වගේද? ඒක තව වැඩි කරගන්න පුළුවන් කොහොමද? හැම දවසකම ඒ ගුණාංගය අපේ ජීවිතෙන් පෙන්නන්නේ කොහොමද?
ආදරෙන් වැඩ කරන කෙනෙක්
ආදරය කියන ගුණාංගය තියෙන කෙනෙක් කොයි වගේද කියලා බයිබලේ විස්තර කරලා තියෙනවා. ඒ වගේ කෙනෙක් ‘බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය.’ එහෙම කෙනෙක් ‘සත්‍යය ජය ගන්නා විට ප්‍රීති වෙනවා. සියල්ල ඉවසා දරාගන්නවා. සියල්ල විශ්වාස කරනවා. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. සියල්ල විඳදරාගන්නවා.’ ආදරෙන් වැඩ කරන කෙනෙක්ට අනිත් අය ගැන තියෙන්නේ ලොකු සෙනෙහසක්. එයා අනිත් අය ගැන අවංකවම සැලකිලිමත්. එයා විශ්වාසවන්ත යාළුවෙක්. ඒත් ආදරේ නැති කෙනෙක් අනිත් අයට ඊර්ෂ්‍යා කරනවා. අහංකාරයි. ආත්මාර්ථකාමියි. අවිනීත විදිහට හැසිරෙනවා. සමාව දෙන්න කැමති නැහැ. අපි කවුරුත් කැමති නැහැ ඒ වගේ නරක ගති තියෙන කෙනෙක් වෙන්න. අපිට ඕනෙ අපේම වාසිය ගැන හිතනවා වෙනුවට අනිත් අයට ආදරෙන් සලකන්න.—1 කොරි. 13:4-8.
යෙහෝවා දෙවි සහ යේසුස් පෙන්නපු ආදරය
“දෙවි ප්‍රේමයයි.” (1 යොහ. 4:8) ඔහුගේ නිර්මාණවලින්, ඔහු දේවල් කරන විදිහෙන් ඒක පැහැදිලියි. තමන්ගේ ආදරණීය පුතාගේ ජීවිතය අපි වෙනුවෙන් දුන්න එක දෙවි අපිට ආදරේ පෙන්නපු ප්‍රධානම විදිහයි. යොහන් මෙහෙම කිව්වා. “දෙවිගේ ප්‍රේමය කොතරම්ද කියා දැකගත හැකි වන්නේ ඔහු තම එකම පුත්‍රයා මෙලොවට එවීම මාර්ගයෙනි. ඔහු එසේ කළේ අපට ඔහු මාර්ගයෙන් ජීවනය ලබාගැනීම සඳහාය. දෙවි එවැනි දෙයක් කළේ අප ඔහුට ප්‍රේම කළ නිසා නොව ඔහු අපට ප්‍රේම කළ නිසාය. ඔහු අපට ප්‍රේමය පෙන්වූවේ අපගේ පව්වලට සමාව ලබාගෙන ඔහු සමඟ සමාදාන වීමට මඟ පාදන පූජාවක් ලෙස තම පුත්‍රයාව එවීම මගිනි.” (1 යොහ. 4:9, 10) දෙවි අපිට ආදරේ පෙන්නපු නිසා අපේ පව්වලට සමාව ලබාගන්නත් සදහටම ජීවත් වෙන බලාපොරොත්තුව ඇතුව ඉන්නත් අපිට පුළුවන්.
යේසුස් මිනිසුන්ට ආදරේ පෙන්නුවේ කොහොමද? පාවුල් කිව්වේ මෙහෙමයි. “දෙවිගේ ‘කැමැත්ත’ වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය පූජා කිරීමය. එය ඔප්පු කරන්නේ එක් වරක් පමණි. එහි ප්‍රතිඵලයක් ලෙස අපව පවිත්‍ර කර දෙවි සඳහා වෙන් කරනු ලැබේ.” (හෙබ්‍රෙ. 10:9, 10) යේසුස් කැමැත්තෙන්ම ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් දුන්නා. ආදරේ පෙන්නන්න ඊට වඩා කරන්න පුළුවන් දෙයක් තියෙනවාද? යේසුස්ම කිව්වේ “කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ” කියලයි. (යොහ. 15:13) යෙහෝවා දෙවි සහ යේසුස් පෙන්නපු ආදරේ ආදර්ශයට ගන්න අපිට පුළුවන්ද? ඔව්. ඒ කොහොමද?
“ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න”
පාවුල් මෙහෙම කිව්වා. ‘ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්නන් වන්න. ක්‍රිස්තුස් ඔබට ප්‍රේම කළා සේම ඔබත් එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න. මන්ද ඔහු ඔබ වෙනුවෙන් තම ජීවිතය පූජා කළා.’ (එෆී. 5:1, 2) “ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න” කියද්දී අදහස් වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි ආදරෙයි කියලා නිකම්ම කියනවා විතරක් නෙමෙයි ජීවිතේ හැම කාරණයකදීම අපි ඒක ක්‍රියාවෙන් පෙන්නනවා කියන එකයි. යොහන් කිව්වේ “ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනවලටත් කතාවටත් සීමා නොකරමු. ඒ වෙනුවට ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු” කියලයි. (1 යොහ. 3:18) අපි “රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය” දේශනා කරන්නේ යෙහෝවා දෙවිට, මිනිසුන්ට ආදරේ නිසයි. (මතෙ. 24:14; ලූක් 10:27) අපි “ප්‍රේමය පෙන්වමින් ජීවත් වෙන” අය නම් අනිත් අය එක්ක ඉවසීමෙන්, කාරුණිකව වැඩ කරනවා. ‘යෙහෝවා දෙවි මුළු හදවතින්ම සමාව දෙන විදිහටම අනිත් අයට සමාව දෙනවා.’—කොලො. 3:13.
කෙනෙක්ට ආදරේ කරනවා කියන්නේ නිකම්ම හැඟීම්වලට වහල් වෙලා දේවල් කරනවා කියන එක නෙමෙයි. උදාහරණෙකට සමහර දෙමාපියන් දරුවා අඬන එක නවත්තන්න එයා කියන කියන දේ කරනවා. ඒත් දෙමාපියන් දරුවන්ට ඇත්තටම ආදරේ නම් දරුවා කියන කියන පදේට නටන්නේ නැහැ. අවශ්‍ය වෙලාවලදී එයාව හික්මවනවා. යෙහෝවා දෙවිත් ඒ වගේ. ඔහු “තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙනවා.” (හෙබ්‍රෙ. 12:6) අපිත් අනිත් අයට ආදරේ නම් අවශ්‍ය වෙලාවලදී උපදෙසක් දෙන්න අදිමදි කරන්නේ නැහැ. (හිතෝ. 3:11, 12) පාපය උරුම වෙලා තියෙන අපිට, හැම වෙලේම ආදරෙන් වැඩ කරන්න බැහැ කියලා අපි දන්නවා. ඒකයි ආදරේ පෙන්නන්න පුළුවන් පැති අපි තව දියුණු කරගන්න ඕනේ. ඒකට උදව් වෙන කාරණා 3ක් දැන් බලමු.
ආදරේ තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?
ආදරෙන් දේවල් කරන්න පුළුවන් වෙන්නේ දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙද්දී. ඒ නිසා මුලින්ම දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න. යේසුස් කිව්වේ දෙවිගෙන් “බලය ඉල්ලුවොත්” ඔහු අනිවාර්යයෙන්ම ඒක දෙනවා කියලයි. (ලූක් 11:13) අපි දෙවිගෙන් බලය ඉල්ලනවා නම්, ඒ බලය මාර්ගයෙන් ලබා දෙන මඟ පෙන්වීම් පිළිපදිනවා නම් තව වැඩියෙන් ආදරේ පෙන්නන්න අපිට පුළුවන්. (ගලා. 5:16) වැඩිමහල්ලෙනි, බයිබලෙන් උපදෙස් ලබා දෙද්දී ඒක ප්‍රේමණීයව කරන්න දෙවිගේ බලයේ උදව් ඉල්ලන්න. දෙමාපියෙනි, දරුවන්ට හික්මවීම් දෙද්දී තරහ ගන්නේ නැතුව ආදරෙන් ඒක කරන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න.
අපි කරන්න ඕනෙ 2වෙනි දේ හිංසා පීඩාවලට මුහුණ දෙද්දී යේසුස් ආදරේ පෙන්නපු විදිහ ගැන හිතන එක. (1 පේතෘ. 2:21, 23) කෙනෙක් ඔයාගේ හිත රිද්දුවොත් නැත්නම් ඔයාට අසාධාරණයක් වුණොත් හිතන්න ‘යේසුස්ට මේ දේ වුණා නම් ඔහු මොනවා කරයිද’ කියලා. සහෝදරි ලී එහෙම හිතුවා. එයා මෙහෙම කියනවා. “මාත් එක්ක වැඩ කරන කෙනෙක් මං ගැන දොස් කියලා වැඩපොළේ අනිත් අයට ඊ-මේල් එකක් යවලා. එදා මගේ හිත හුඟක් රිදුණා. ඒත් මට වුණ දේ යේසුස්ට වුණා නම් ඔහු මොනවා කරයිද කියලා මං හිතුවා. ප්‍රශ්නේ අමතක කරලා දාන්න ඒක මට උදව් වුණා. පස්සේ මට දැනගන්න ලැබුණා එයාට ලොකු අසනීපයක් තියෙනවා කියලා. එයා හිටියේ ලොකු පීඩනයකින්. ඒ ඊ-මේල් එක එයා යවන්න ඇත්තේ එච්චර හිතන්නේ බලන්නේ නැතුව වෙන්න ඇති කියලා මට හිතුණා. අසාධාරණකම් වෙද්දීත් යේසුස් ආදරෙන් වැඩ කරපු විදිහ ගැන හිතපු එක මට උදව් වුණා දිගටම එයාට ආදරෙන් සලකන්න.” යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් හැම වෙලේම ආදරෙන් දේවල් කරන්න අපිට පුළුවන්.
අපි කරන්න ඕනෙ 3වෙනි දේ තමන්ව දෙවෙනි තැනට දාලා අනිත් අයට ආදරේ කරන්න ඉගෙනගන්න එක. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් අතරේ ඒ වගේ ආදරයක් දකින්න තියෙනවා කියලා යේසුස් කිව්වා. (යොහ. 13:34, 35) යේසුත් ඒ වගේ ආදරයක් පෙන්නුවා. ස්වර්ගයේ ඔහුට තිබුණ සියල්ල ඔහු අපි වෙනුවෙන් අත්හැරියා. අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතේ පවා දුන්නා. (ෆිලි. 2:5-8) තමන් ගැන හිතන්නේ නැතුව අනිත් අය ගැන හිතලා යේසුස් වැඩ කරපු විදිහ ආදර්ශයට ගද්දී අපිත් යේසුස් වගේ හිතන්න පුරුදු වෙනවා. අපේ අවශ්‍යතා දෙවෙනි තැනට දාලා අනිත් අයට මුල් තැන දෙන්න අපි පෙලඹෙනවා. එහෙම කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?
ලැබෙන ප්‍රයෝජන
අනිත් අයට ආදරෙන් සලකද්දී හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. මේ පැති බලන්න.
ආදරෙන් දේවල් කරද්දී අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද?
ලෝක ව්‍යාප්ත සහෝදරත්වය: කොයි රටේ තියෙන සභාවකට ගියත් අපේ සහෝදරයන් අපිව ආදරෙන් පිළිගන්නවා. ඒ අපි අතරේ තියෙන ආදරේ නිසයි. ‘ලොව පුරා සිටින අපේ සහෝදරයන්ගේ’ ආදරය අද්දකින්න ලැබිලා තියෙන එක මොන තරම් ආශීර්වාදයක්ද! (1 පේතෘ. 5:9) ඒ වගේ ආදරයක් තියෙන්නේ දෙවිගේ සෙනඟ අතරේ විතරයි.
සමාදානය: “එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගද්දී” සමාදානයෙන් ජීවත් වෙන්න අපිට පුළුවන්. (එෆී. 4:2, 3) අපේ රැස්වීම්වලදී, සමුළුවලදී ඒ සමාදානය අපි අද්දකිනවා. බෙදිලා වෙන් වෙලා තියෙන ලෝකෙක දෙවිගේ සෙනඟ විතරක් එක්සත්ව ඉන්න එක හරිම විශේෂයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? (ගීතා. 119:165; යෙසා. 54:13) සමාදානය රැකගන්න අපි වෑයමක් දරද්දී ඒකෙන් පේනවා අපි සහෝදරයන්ට ඇත්තටම ආදරෙයි කියලා. ඒ ගැන යෙහෝවා දෙවි කොච්චර සතුටු වෙනවා ඇද්ද!—ගීතා. 133:1-3; මතෙ. 5:9.
‘අන් අයව ගොඩනංවන්නේ ප්‍රේමයයි’
පාවුල් කිව්වේ ‘අන් අයව ගොඩනංවන්නේ ප්‍රේමය’ කියලයි. (1 කොරි. 8:1) ප්‍රේමය ‘අන් අයව ගොඩනංවන්න’ දායක වෙන්නේ කොහොමද කියලා 1 කොරින්ති 13වෙනි පරිච්ජේදයේ විස්තර කරලා තියෙනවා. ප්‍රේමය තියෙන කෙනෙක් නිතරම හිතන්නේ අනිත් කෙනා ගැන. (1 කොරි. 10:24; 13:5) ඒ වගේ කෙනෙක් ඉවසිලිවන්තයි, කරුණාවන්තයි. අනිත් අය ගැන සැලකිලිමත්. එයාලව තේරුම්ගන්නවා. ඒ නිසයි ආදරෙන් දේවල් කරද්දී පවුල් බැඳීම් තව ශක්තිමත් වෙන්නේ. සභාවන් එක්සත් වෙන්නේ.—කොලො. 3:14.
ඇත්ත, අපිට හුඟක් පැතිවලින් අපේ ආදරේ අනිත් අයට පෙන්නන්න පුළුවන්. ඒත් අපේ එක්සත්කමට වැඩියෙන්ම දායක වෙන්නේ අපි එක් එක් කෙනාට යෙහෝවා දෙවි ගැන තියෙන ආදරේ. අපි මොන ජාතියට අයිති වුණත් මොන පසුබිමකින් ආවත් මොන භාෂාව කතා කළත් “එක්සත්කමින්” දෙවිට සේවය කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. (ශෙප. 3:9) දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක් වන ආදරය හැම දවසකම අපේ ජීවිතෙන් පෙන්නන්න අපි අදිටන් කරගමු.
a දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග 9 ගැන කතා කරන ලිපි මාලාවේ 1වෙනි ලිපියයි මේ.