ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 පෙබරවාරි 13-17 පි.
  • යෙහෝවා දෙවිට හැම දෙයක්ම කරන්න පුළුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිට හැම දෙයක්ම කරන්න පුළුවන්
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • උදේ ඉඳන් රෑ වෙන කල් වැඩ
  • පිටුවහල් කරපු අය සත්‍ය පණිවිඩය කිර්ගිස්තානයට රැගෙන එයි
  • සත්‍ය පණිවිඩය අත ළඟටම
  • මගේ බිරිඳ ඉක්මනින්ම සත්‍යය හඳුනගත්තා
  • තහංචි මැද
  • සේවේ වැඩි කරන්න ලැබුණ අවස්ථාව
  • සේවේ සහ පවුල වෙනුවෙන් කාලේ දුන්නා
  • දේවල් වෙනස් වුණ විදිහ
  • උතුම් එඬේරාව හඳුනාගත් එඬේරෙක්!
    2011 පිබිදෙව්!
  • ශාඛා කාර්යාල කැප කිරීම්
    2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • තරුණ කාලේ ගත්ත තීරණය ගැන එයා කවදාවත් පසුතැවුණේ නැහැ
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නීතිය හා සම්බන්ධ වාර්තා
    2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 පෙබරවාරි 13-17 පි.
බෙයිශෙන්බායි බර්ඩිබාඑව්

ජීවිත කතාව

යෙහෝවා දෙවිට හැම දෙයක්ම කරන්න පුළුවන්

බෙයිශෙන්බායි බර්ඩිබාඑව්

“මරණය තවත් නැහැ. මිය ගිය අයටත් ආයේ ජීවිතේ ලැබෙනවා.” මගේ බිරිඳ බස් එකේ ගමනක් යන වෙලාවේ කවුද එහෙම කියනවා එයාට ඇහිලා තියෙනවා. ඒක ඇහුණාම ඒ ගැන තවත් විස්තර දැනගන්න එයාට කුතුහලයක් ඇති වුණා. ඒ නිසා බස් එක නවත්තපු ගමන් එයා දුවලා ගිහින් ඒ දේ කියපු කෙනාව හම්බ වුණා. ඒ කෙනාගේ නම අපූන්. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. ඒ කාලේ සාක්ෂිකරුවන් එක්ක කතා කරන එක අනතුරුදායකයි. ඒත් අපි අපූන්ගෙන් ඉගෙනගත්ත දේවල් නිසා අපේ මුළු ජීවිතේම වෙනස් වුණා.

උදේ ඉඳන් රෑ වෙන කල් වැඩ

1937 කිර්ගිස්තානයේ ටොක්මක් කියන නගරෙට කිට්ටුවෙන් තිබුණ ගොවිපොළක තමයි මං ඉපදුණේ. අපි කිර්ගීස් ජාතිකයන්. මගේ දෙමාපියෝ ජීවිතේ ගැටගහගන්න උදේ ඉඳන් රෑ වෙන කල් ගොවිපොළේ වැඩ කළා. දවසට ඕනෙ කරන කෑම ටික ලැබුණාට පඩියක් කියලා දෙයක් එයාලට දුන්නේ අවුරුද්දකට වතාවක්. මාවයි, නංගිවයි බලාගන්න අම්මාට ලේසි වුණේ නැහැ. ඒ නිසා පස්වෙනි පන්තියට විතරක් ඉගෙනගෙන ඉස්කෝලේ ගමන නතර කරන්න මං තීරණය කළා. පස්සේ මාත් ගොවිපොළේ වැඩ කරන්න පටන්ගත්තා.

සිතියමේ පෙන්වන්නේ කිර්ගිස්තානය තියෙන තැනයි
ටස්කි ආලාටූ කඳු වැටිය

ටස්කි ආලාටූ කඳු වැටිය

අපේ පැත්තේ හිටපු හැමෝම වගේ හරිම දුප්පත්. එදා වේල හොයාගන්න එයාලට ගොඩක් මහන්සි වෙන්න වුණා. ජීවිතේ අරමුණ ගැන, අනාගතය ගැන තරුණ කාලේදී මං ඒ තරම් හිතුවේ නැහැ. කවුද හිතුවේ බයිබලේ සඳහන් වටිනා සත්‍යයන් මගේ ජීවිතේ මේ තරම් ලොකු වෙනසක් කරයි කියලා. සත්‍ය පණිවිඩය කිර්ගිස්තානයට ආපු විදිහ, ඒක ව්‍යාප්ත වුණ විදිහ හරිම රසවත් කතාවක්. ඒ කතාව දැන් මං ඔයාලට කියන්නම්.

පිටුවහල් කරපු අය සත්‍ය පණිවිඩය කිර්ගිස්තානයට රැගෙන එයි

සත්‍යයේ බීජ කිර්ගිස්තානයේ මුල් අදින්න පටන්ගත්තේ 1950 ගණන්වල. ඒත් ඒක ලේසි දෙයක් වුණේ නැහැ. අද කිර්ගිස්තානය කියලා හඳුන්වන රට ඒ කාලේ තිබුණේ සෝවියට් ජනරජය යටතේ. ඒ නිසා ගොඩක් අයගේ ඔළුවේ තිබුණේ කොමියුනිස්ට් මත. සෝවියට් ජනරජය පුරා හිටපු සාක්ෂිකරුවන් දේශපාලනයට හවුල් වුණේ නැති නිසා එයාලව සැලකුවේ කොමියුනිස්ට් දේශයේ සතුරෝ විදිහට. (යොහ. 18:36) එයාලට ගොඩක් පීඩා විඳින්න වුණා. ඒත් අවංක හදවත් තියෙන අයට දෙවි ගැන සත්‍යය දැනුම් දෙන එක නවත්වන්න ඒ කිසිම දේකට බැරි වුණා. යෙහෝවා දෙවිට හැම දෙයක්ම කරන්න පුළුවන් කියන වටිනා පාඩම මං මගේ ජීවිත අද්දැකීමෙන් ඉගෙනගත්තා.—මාක් 10:27.

එමිල් යන්ටසන්

එමිල් යන්ටසන්

පීඩා නිසා වුණේ සාක්ෂිකරුවන්ගේ ගාණ කිර්ගිස්තානයේ වැඩි වුණ එකයි. ඒක වුණේ කොහොමද දන්නවාද? ඒ කාලේ සයිබීරියාව අයිති වෙලා තිබුණෙත් සෝවියට් ජනරජයට. කොමියුනිස්ට් දේශයේ සතුරෝ විදිහට සලකපු අයව පිටුවහල් කළේ එහෙටයි. එයාලව එහෙන් නිදහස් කළාම එයාලගෙන් ගොඩක් අය කිර්ගිස්තානයට ආවා. ඒ අයගෙන් සමහරු ආවේ සත්‍යයේ බීජත් අරගෙනයි. එමිල් යන්ටසන් එහෙම ආපු කෙනෙක්. එයා ඉපදිලා තිබුණේ 1919දී කිර්ගිස්තානයේ. එයා ගාල් කඳවුරක ඉද්දී එහේ හිටපු සාක්ෂිකරුවන්ගෙන් තමයි එයාට සත්‍යය ලැබිලා තියෙන්නේ. පස්සේ එයා 1956දී ආයෙත් කිර්ගිස්තානයට ඇවිත් සොකුලුක්වලට කිට්ටුවෙන් පදිංචි වුණා. සොකුලුක්වල තමයි කිර්ගිස්තානයේ පළවෙනි සභාව පිහිටෙව්වේ. ඒ 1958දී.

වික්ටර් වින්ටර්

වික්ටර් වින්ටර්

ඊට අවුරුද්දකට විතර පස්සේ වික්ටර් වින්ටර් කියන සහෝදරයා සොකුලුක්වලට ආවා. එයා හුඟක් පීඩාවලට මුහුණ දුන්න කෙනෙක්. දේශපාලනයට සම්බන්ධ කාරණාවලදී එයා කිසිම පැත්තක් ගත්තේ නැති නිසා එයාට අවුරුදු තුන ගාණේ දෙවතාවක්ම සිරදඬුවම් විඳින්න සිද්ධ වුණා. ඊටපස්සේ තවත් අවුරුදු 10ක සිරදඬුවමක් විඳින්නත් අවුරුදු 5ක් රටින් පිටුවහල් වෙලා ඉන්නත් එයාට සිද්ධ වුණා. ඒ වුණත් සැබෑ නමස්කාරයේ වර්ධනයට හරස් වෙන්න ඒ කිසිම පීඩාවකට බැරි වුණා.

සත්‍ය පණිවිඩය අත ළඟටම

එඩුආඩ් වාට

එඩුආඩ් වාට

1963 වෙද්දී කිර්ගිස්තානයේ සාක්ෂිකරුවන් 160දෙනෙක් විතර හිටියා. ඒ අයගෙන් වැඩිදෙනෙක් ජර්මනියෙන්, යුක්රේනයෙන් සහ රුසියාවෙන් ආපු අය. එඩුආඩ් වාට කියන සහෝදරයා එහෙම ආපු කෙනෙක්. එයා බව්තීස්ම වෙලා තියෙන්නේ 1924 ජර්මනියේදී. 1940 ගණන්වලදී නාට්සි පාලකයන් එයාව ගාල් කඳවුරකට යවලා තියෙනවා. අවුරුදු කීපයකට පස්සේ සෝවියට් ජනරජයෙන් එයාව රටින් පිටුවහල් කෙරුවා. ඒත් එයා දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. 1961දී සහෝදර එඩුආඩ් පදිංචියට කැන්ට්වලට ආවා. ඒ නගරේ තිබුණේ අපි හිටපු නගරෙට කිට්ටුවෙන්.

එලිසබෙත් ෆොට්; අක්සමායි

එලිසබෙත් ෆොට්; අක්සමායි සුල්තානාලිඒවා

එලිසබෙත් ෆොට් හිටියෙත් කැන්ට්වල. එයා කුලියට ඇඳුම් මහපු කෙනෙක්. එයා ඒ වැඩේට හුඟක් දක්ෂ නිසා හුඟක් අය එයාට කියලා ඇඳුම් මහගත්තා. වෛද්‍යවරු, ගුරුවරු වගේ අයත් ඒ අතරේ හිටියා. අක්සමායි එයාගේ හොඳ ගනුදෙනුකාරියක්. එයා බැඳලා හිටියේ රජයේ උසස් නිලධාරියෙක්ව. අක්සමායි ඇඳුම් මහගන්න ආපු දවසක එලිසබෙත්ගෙන් ජීවිතේ අරමුණ ගැන, මැරුණ අයගේ තත්වය ගැන එක එක ප්‍රශ්න ඇහුවා. එලිසබෙත් ඒවාට බයිබලෙන්ම උත්තර දුන්නා. අන්තිමේදී එයාත් උද්‍යෝගයෙන් දේශනා කරන සහෝදරියක් වුණා.

නිකොලායි

නිකොලායි චිම්පොඑෂ්

ඒ කාලේදීම වගේ තමයි මෝල්දාවියාවෙන් ආපු නිකොලායිව චාරිකා සේවකයෙක් විදිහට පත් කළේ. එයා අවුරුදු 30ක් විතර චාරිකා සේවේ කළා. එයා සභාවලට ගියා විතරක් නෙමෙයි ප්‍රකාශන පිටපත් කරන වැඩත් ඒවා බෙදාහරින වැඩත් සංවිධානය කළා. ඒත් බලධාරීන්ගේ උකුසු ඇස්වලට අහු නොවී ඒක කරන්න බැරි වුණා. ඒ නිසා සහෝදර එඩුආඩ් එයාට මේ වගේ උපදෙසක් දුන්නා. “ඔයාගෙන් රහස් පොලිසියේ නිලධාරීන් මේ ගැන ප්‍රශ්න කළොත් ඔයා කෙළින්ම කියන්න අපිට මේ ප්‍රකාශන ලැබෙන්නේ බෘක්ලින්වල තියෙන අපේ මූලස්ථානයෙන් කියලා. එයාලගේ මූණ දිහා බලලා කතා කරන්න. බය වෙන්න කිසිම හේතුවක් නැහැ.”—මතෙ. 10:19.

ඒක කියලා වැඩි දවසක් යන්න කලින් නිකොලායිව රහස් පොලිසියේ මූලස්ථානයට කැඳෙව්වා. එතන වුණ දේ ගැන එයා මෙහෙම කිව්වා. “මේ සඟරා කොහෙන්ද ලැබෙන්නේ කියලා නිලධාරියෙක් ඇහුවාම මං කිව්වා බෘක්ලින්වලින් කියලා. ඊටපස්සේ එයාට කියන්න දෙයක් තිබුණේ නැහැ. එයා මට කිව්වා යන්න කියලා. ආයෙත් නම් මට එන්න කිව්වේ නැහැ.” නිර්භීතව සහ ඥානවන්තව වැඩ කරපු ඒ වගේ සාක්ෂිකරුවන් දිගටම අපේ පැත්තේ ශුභාරංචිය ව්‍යාප්ත කළා. අන්තිමේදී 1980 ගණන්වලදී අපේ පවුලටත් සත්‍යය හම්බ වුණා. මගේ බිරිඳ මයිරම්බුබුට තමයි මුලින්ම සත්‍යය ගැන අහන්න ලැබුණේ.

මගේ බිරිඳ ඉක්මනින්ම සත්‍යය හඳුනගත්තා

මයිරම්බුබු ඉපදුණේ කිර්ගිස්තානයේ නාරන් කියන පළාතේ. 1974 අගෝස්තු මාසේ දවසක එයා මගේ නංගිගේ ගෙදර ආපු වෙලාවේ තමයි මට එයාව ඉස්සෙල්ලාම හම්බ වුණේ. දැක්ක ගමන්ම මගේ හිත එයාට ඇදිලා ගියා. එදාම අපි දෙන්නා විවාහ වුණා.

අපූන්

අපූන් මම්බෙට්සැඩිකොවා

1981 ජනවාරි මාසේ දවසක මයිරම්බුබු බස් එකේ ගමනක් යන වෙලාවේදී තමයි ලිපිය පටන්ගද්දී කියපු සිද්ධිය වුණේ. මයිරම්බුබුට ඒ ගැන තවත් විස්තර දැනගන්න ඕනෙ වුණ නිසා ඒ කාන්තාවගේ නමයි, ලිපිනයයි අහලා තියෙනවා. එයාගේ නම අපූන් කියලා කිව්වත් ලිපිනය නම් දීලා නැහැ. ඒ වෙනුවට එයා අපේ ගෙදර ලිපිනය ඉල්ලගෙන. මොකද 1980 ගණන් වෙද්දීත් සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු රටේ තහනම් කරලයි තිබුණේ.

එදා මයිරම්බුබු ගෙදර ආවේ “මට හරිම පුදුම දෙයක් අහන්න ලැබුණානේ” කියාගෙන. “එක් කෙනෙක් මට කිව්වා ළඟදීම මරණය නැති වෙනවා කියලා. දරුණු වනසතුනුත් හීලෑ වෙනවා කියලා කිව්වා.” මට නං හිතුණේ ඒක සුරංගනා කතාවක් කියලා. මං කිව්වා “එයා අපේ ගෙදර ආවාම විස්තර අහලා බලමුකෝ” කියලා.

අපූන් අපේ ගෙදර ආවේ මාස තුනකට පස්සේ. ඊටපස්සේ කිර්ගීස් ජාතික සහෝදරියන් අපිත් එක්ක සාකච්ඡා කරන්න දිගටම ආවා. ඒ සහෝදරියන් තමයි යෙහෝවා දෙවි ගැනත් මිනිසුන් සඳහා ඔහුගේ අරමුණ ගැනත් අපිට කියලා දුන්නේ. එයාලා අපි එක්ක සාකච්ඡා කරපු පොතේ එක පිටපතයි එයාලා ළඟ තිබුණේ. ඒ නිසා අපිම ඒකේ පිටපත් හදාගත්තා.

අපි මුලින්ම ඉගෙනගත්ත දෙයක් තමයි උත්පත්ති 3:15 තියෙන අනාවැකිය. දේවරාජ්‍යයේ රජු වන යේසුස් මාර්ගයෙන් ඒ අනාවැකිය ඉටු වෙනවා. ඒක නම් හැමෝම දැනගන්න ඕනෙ පණිවිඩයක් කියලා අපිට හිතුණා. ඒ නිසා ශුභාරංචිය දේශනා කරන්න අපිත් හවුල් වෙන්න ඕනෙ කියලා අපිට තේරුණා. (මතෙ. 24:14) සත්‍යය නිසා අපේ ජීවිත වෙනස් වෙන්න පටන්ගත්තා.

තහංචි මැද

ටොක්මක්වල හිටපු සහෝදරයෙක් අපිට විවාහ උත්සවයකට ආරාධනා කළා. ඒ උත්සවයේ මත්පැන් තිබුණේ නැහැ. හැම දේම හරිම පිළිවෙළයි. මේ විවාහ උත්සවය නම් අපි කලින් ගිහින් තිබුණ විවාහ උත්සවවලට වඩා ගොඩක් වෙනස් කියලා මටයි, මයිරම්බුබුටයි තේරුණා. මොකද මේකෙදී කවුරුත් බීලා නරක විදිහට හැසිරුණේවත් නරක වචන කිව්වේවත් නැහැ.

ටොක්මක්වල තිබුණ සභාවේ රැස්වීම්වලටත් අපි ගියා. කාලගුණය හොඳ නම් ඒ රැස්වීම් තිබුණේ කැලෑවක. පොලිසිය ඇහැ ගහගෙන ඉන්නවා කියලා දැනගෙන හිටපු නිසා රැස්වීම වෙලාවේ පොලිසියෙන් එනවාද කියලා බලන්න සහෝදරයෙක්ව තියලා තිබුණා. සීත කාලේදී අපි රැස්වීම් තිබ්බේ ගෙදරක. කීප සැරයක්ම පොලිසියෙන් ඇවිත් අපි කරන්නේ මොනවාද කියලා අපෙන් සැරෙන් ඇහුවා. 1982 ජූලි මාසේ මායි, මයිරම්බුබුයි බව්තීස්ම වුණ දවසෙත් අපි රැස් වුණේ හරිම විමසිල්ලෙන්. (මතෙ. 10:16) සහෝදරයෝ පොඩි පොඩි කණ්ඩායම් හැටියට තමයි අපි බව්තීස්ම වුණ ගඟ ළඟට ආවේ. ඒ වෙලාවේදී අපි ගීතිකාවක් කියලා, බව්තීස්ම දේශනයට ඇහුම්කන් දුන්නා.

සේවේ වැඩි කරන්න ලැබුණ අවස්ථාව

1987දී සහෝදරයෙක් මගෙන් ඇහුවා “බැලක්චීවල හිටපු උනන්දුව දක්වපු කෙනෙක්ව බලන්න යන්න පුළුවන්ද” කියලා. කෝච්චියෙන් යනවා නම් ඒක පැය 4ක ගමනක්. කීප සැරයක්ම එහෙට ගියාම අපිට තේරුණා උනන්දුව දක්වන හුඟක් අය එහේ ඉන්නවා කියලා. අපේ සේවේ වැඩි කරන්න ඒක හොඳ අවස්ථාවක් වුණා.

මම මයිරම්බුබු එක්ක නිතරම වගේ බැලක්චීවලට ගියා. සති අන්තවල අපි එහේ නැවතිලා සේවේ කළා. රැස්වීමුත් පැවැත්තුවා. එහේ හිටපු හුඟදෙනෙක් අපේ පොත් පත් කියවන්න ආසයි. අපි ටොක්මක්වල ඉඳන් එහෙට පොත් පත් අරන් ගියේ අල ගෝනිවල දාගෙන. හැම මාසෙකම අපි ඒ වගේ ගෝනි දෙකක් පිරෙන්න පොත් පත් අරන් ගියත් ඒකත් මදි වුණා. අපි යන එනකොට කෝච්චියේ හිටපු අයටත් දේශනා කළා.

අපි බැලක්චීවලට මුලින්ම ගිහින් අවුරුදු 8කට පස්සේ ඒ කියන්නේ 1995දී එහේ සභාවක් පිහිටෙව්වා. ඒ කාලේ පුරාම අපිට එහෙට යන්න එන්න ලොකු මුදලක් වැය වුණා. ඒ වියදම් දරාගන්න තරම් වත්කමක් අපිට තිබ්බේ නැහැ. ඒත් සහෝදරයෙක් වියදම් පියවගන්න ඕනෙ කරන සල්ලි අපිට නිතරම වගේ දුන්නා. වැඩියෙන් සේවේ කරන්න අපේ හිතේ තිබුණ ආසාව දැකපු යෙහෝවා දෙවි “අහසේ කවුළු විවර කරලා” අපිට ආශීර්වාද කළා. (මලා. 3:10) ඇත්තටම යෙහෝවා දෙවිට ඕන දෙයක් කරන්න පුළුවන්.

සේවේ සහ පවුල වෙනුවෙන් කාලේ දුන්නා

1992දී මාව වැඩිමහල්ලෙක් විදිහට පත් කළා. ඒ වෙද්දී ටොක්මක්වල තව වැඩියෙන් සේවේ කරන්න අවස්ථාවන් අපිට විවෘත වුණා. උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනගත්ත තරුණයන්ට දේශනා කරපු නිසා අපිට පුළුවන් වුණා කිර්ගීස් ජාතික ශිෂ්‍යයන් හුඟදෙනෙක් එක්ක බයිබල් පාඩම් පටන්ගන්න. ඒ අයගෙන් එක් කෙනෙක් දැන් ශාඛා කමිටුවේ සේවේ කරනවා. තව දෙන්නෙක් විශේෂ පුරෝගාමීන්. අපේ සභාවේ හිටපු අයටත් සත්‍යයේ තව දියුණු වෙන්න උදව් කරන්න අපිට පුළුවන් හැම දේම කළා. 1990 ගණන් වෙන කල් අපේ ප්‍රකාශන තිබුණෙත් රැස්වීම් පැවැත්තුවෙත් රුසියානු භාෂාවෙන්. ඒත් මව් භාෂාව හැටියට කිර්ගීස් භාෂාව පාවිච්චි කරපු අයගේ ගාණ සභාවේ එන්න එන්නම වැඩි වුණා. ඒ නිසා මං රැස්වීමේ කොටස් කිර්ගීස් භාෂාවට පරිවර්තනය කළා. බයිබල් සත්‍යයන් තවත් හොඳින් තේරුම්ගන්න එයාලට ඒක උදව් වුණා.

බෙයිශෙන්බායි බර්ඩිබාඑව් එයාගේ බිරිඳ සහ දරුවෝ අටදෙනෙක් එක්ක

මගේ බිරිඳ සහ දරුවෝ අටදෙනෙක් එක්ක 1989දී

අපේ පවුල ලොකු පවුලක් නිසා දරුවන් වෙනුවෙනුත් සෑහෙන කාලයක් දෙන්න අපිට වුණා. සේවේ යද්දී, රැස්වීම් යද්දී අපේ දරුවන්වත් අරන් ගියා. අපේ දුව ගුල්සෙයිරා වයස 12 ඉඳන්ම පාරේ යන එනකොට හම්බ වෙන අයට හරිම ආසාවෙන් බයිබලේ ගැන කතා කළා. අපේ දරුවන් බයිබල් පද කට පාඩම් කළේ හරිම කැමැත්තෙන්. දැන් මගේ මුනුපුරෝ, මිනිපිරියොත් සභාවේ උද්‍යෝගයෙන් සේවේ කරනවා. දැනට ජීවත් වෙන මගේ දරුවෝ 9දෙනාගෙනුත් මුනුපුරු, මිනිපිරියන් 11දෙනාගෙනුත් 16දෙනෙක්ම දෙවිට සේවේ කරනවා.

දේවල් වෙනස් වුණ විදිහ

1950 ගණන්වල මුලින්ම ඇවිත් අපේ ප්‍රදේශයේ සේවේ කරපු සහෝදර සහෝදරියන් මේ වෙද්දී වෙලා තියෙන වෙනස්කම් දැක්කොත් පුදුම වෙයි. ලොකුම වෙනස තමයි 1990 ගණන්වල ඉඳන් නිදහසේ සේවේ කරන්න, විශාල සමුළු පවත්වන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන එක.

බෙයිශෙන්බායි බර්ඩිබාඑව් එයාගේ බිරිඳත් එක්ක සාක්ෂි දරමින්

මගේ බිරිඳත් එක්ක සේවේ හවුල් වෙමින්

මමයි, මගේ බිරිඳයි මුල්ම වතාවට ලොකු සමුළුවකට ගියේ 1991දී. ඒක තිබුණේ කසක්ස්තානයේ අල්මා-අටාවල. 1993දී කිර්ගිස්තානයේ පළවෙනි වතාවට සමුළුවක් පැවැත්තුවා. ඒ බිෂ්කෙක්වල තිබුණ ක්‍රීඩාංගණයක. සමුළුවට කලින් සතියක් තිස්සේ සහෝදරයෝ හුඟක් මහන්සි වෙලා ක්‍රීඩාංගණය සුද්ද පවිත්‍ර කළා. ඒක දැකපු ඒ ක්‍රීඩාංගණයේ කළමනාකරු මුදලක් අය නොකරම ක්‍රීඩාංගණය පාවිච්චි කරන්න අපිට ඉඩ දුන්නා.

1994 අමතක නොවන තවත් අවුරුද්දක්. ඒ අවුරුද්දේ ඉඳන් තමයි අපේ පොත් පත් කිර්ගීස් භාෂාවෙන් අපිට ලැබෙන්න පටන්ගත්තේ. දැන් බිෂ්කෙක්වල තියෙන ශාඛා කාර්යාලයේ අපේ ප්‍රකාශන කිර්ගීස් භාෂාවට පරිවර්තනය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා අපේ ප්‍රකාශන අඩුවක් නැතුව දැන් අපිට ලැබෙනවා. 1998දී කිර්ගිස්තානයේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු නිදහසේ කරගෙන යන්න නීතියෙන් අවසර ලැබුණා. දැන් අපේ රටේ ප්‍රචාරකයෝ 5,000කටත් වැඩියෙන් ඉන්නවා. චීන, ඉංග්‍රීසි, කිර්ගීස්, රුසියානු, රුසියානු සංඥා, තුර්කි, වීගු සහ උස්බෙක් භාෂාවලින් සභා 83ක් සහ කණ්ඩායම් 25ක් තියෙනවා. විවිධ පසුබිම්වලින් ආපු ඒ හැමෝම එක්සත්ව දෙවිට සේවේ කරන්නේ හරිම සතුටින්. යෙහෝවා දෙවිට කරන්න බැරි දෙයක් නැහැ කියලා ඒකෙන් පැහැදිලියි.

යෙහෝවා දෙවි මගේ ජීවිතේ පුදුම විදිහට වෙනස් කළා. මං ඉපදුණේ, හැදුණේ වැඩුණේ දුප්පත් පවුලක. ඉගෙනගත්තෙත් පහේ පන්තිය වෙන කල් විතරයි. ඒත් වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරන්න දෙවි මට අවස්ථාව දුන්නා. මට වඩා ගොඩක් උගත් අයට බයිබලේ තියෙන සත්‍යයන් ගැන කියලා දෙන්න මට අවස්ථාව දුන්නා. අපිට හිතාගන්න බැරි දේවල් කරන්න දෙවිට පුළුවන්. මගේ අද්දැකීමෙන් මං දැනගත්තා ‘යෙහෝවා දෙවිට සියල්ල කළ හැකියි’ කියලා. (මතෙ. 19:26) ජීවිතේ තියෙන කල් මට ඕනෙ ඒ දෙවි ගැන අනිත් අයට කියලා දෙන්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න