ඔබ දැන සිටියාද?
මුල් සියවසේ තිබුණ සිනගෝගයක්. මේක ගලීල මුහුදට කි.මී. 10ක් ඊසාන පැත්තට වෙන්න තියෙන ගම්ලා ප්‍රදේශයේ සිනගෝගයක ආකෘතියක්. පළවෙනි සියවසට අයත් සිනගෝගයක තිබුණ සමහර දේවල් මේකට ඇතුළත් කරලා තියෙනවා. අතීතයේ තිබුණ සිනගෝගයක් මොන වගේද කියලා අදහසක් ගන්න මේ ආකෘතිය උදව් වෙනවා
සිනගෝග ආරම්භ වුණේ කොහොමද?
“සිනගෝගය” කියන වචනය එන්නේ “එකට එකතු වීම,” “එක්රැස්වීම” කියන අදහස තියෙන ග්‍රීක වචනයෙන්. ඒ නම හොඳින්ම ගැළපෙනවා. මොකද අතීතයේ ඉඳන් යුදෙව්වන් නමස්කාර කරන්න සහ මඟ පෙන්වීම් ලබාගන්න රැස් වුණේ සිනගෝගවලටයි. හෙබ්‍රෙව් ලියවිලිවල සිනගෝග ගැන සඳහන් වෙන්නේ නැති වුණත් ක්‍රි.ව. පළවෙනි සියවස වෙද්දී සිනගෝග තිබුණා කියලා ග්‍රීක ලියවිලිවල තියෙන තොරතුරුවලින් හොඳින්ම පැහැදිලි වෙනවා.
හුඟක් බයිබල් විශාරදයන් විශ්වාස කරන්නේ සිනගෝගවල ආරම්භය සිදු වුණේ යුදෙව්වන් බැබිලෝනියේ වහලුන් විදිහට හිටපු කාලේදී කියලයි. විශ්වකෝෂයක මෙහෙම කියනවා. “විදේශ රටක වහලුන් විදිහට හිටපු යුදෙව්වන්ට සහනය, සැනසීම අවශ්‍ය වුණා. දේවමාලිගාව තිබුණෙත් නැති නිසා එයාලා බොහෝදුරට සබත් දවස්වලදී එකතු වෙලා ශුද්ධ ලියවිලි කියවන්න ඇති.” (Encyclopaedia Judaica) බැබිලෝනියෙන් නිදහස් වුණාට පස්සෙත් යුදෙව්වන් යාච්ඤා කරන්න, ශුද්ධ ලියවිලි කියවන්න ඒ විදිහටම එකතු වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. එයාලා විසිරිලා ගිය හැම ප්‍රදේශයකදීම එහෙම කරන්න ඇති. ඒ අවශ්‍යතාව සඳහා තමයි එයාලා සිනගෝග හදන්න ඇත්තේ.
ක්‍රි.ව. පළවෙනි සියවස වෙද්දී මධ්‍යධරණී මුහුද අවට, මැදපෙරදිග සහ ඊශ්‍රායෙලය පුරා විසිරිලා හිටපු යුදෙව්වන් එයාලගේ ආගමික සහ වෙනත් වැඩකටයුතු සඳහා රැස් වුණේ සිනගෝගවල. යෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන ලී ලවින් මෙහෙම කියනවා. “ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරන්න, විශේෂ අවස්ථාවලදී එකට කෑම කන්න, නඩු විභාග කරන්න, සමාජ සේවාවන් සඳහා මුදල් එකතු කරන්න, දේශපාලන සහ වෙනත් රැස්වීම් පවත්වන්න සිනගෝග පාවිච්චි කළා. ඒත් ඒක මූලිකවම පාවිච්චි කළේ ආගමික කටයුතු සඳහා.” එහෙමනම් යේසුස් නිතරම සිනගෝගවලට ගිය එක පුදුමයක් නෙමෙයි. (මාක් 1:21; 6:2; ලූක් 4:16) සිනගෝගවලදී යේසුස් මිනිසුන්ට ඉගැන්නුවා. අවශ්‍ය මඟ පෙන්වීම් දීලා එයාලව දිරිගැන්නුවා. ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වාට පස්සෙත් නියෝජිත පාවුල් දේශනා කරන්න සිනගෝගවලට ගියා. දෙවියන් ගැන දැනගන්න කැමැත්තෙන් හිටපු අය හුඟක් වෙලාවට සිනගෝගවලට ආවා. ඒ නිසයි පාවුල් යම් නගරකයට ගියාම මුලින්ම සිනගෝගයකට ගිහින් දේශනා කළේ.—ක්‍රියා 17:1, 2; 18:4.