ඔබ ප්‍රයෝජන අත් කරගනිමින් සිටිනවාද?
1 ගැටලු ප්‍රශ්නවලින් මිදී සන්තෝෂවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියා දැනගන්න බොහෝදෙනෙක් කැමතියි. මේ නිසා සන්තෝෂවත් ජීවිතයකට මඟ කියා දෙනවායයි පවසන පොත් පත් ඔවුන් මහත් උනන්දුවෙන් කියවනවා. එමෙන්ම ඔවුන් සාර්ථක ජීවිතයක් ගත කරන ආකාරය ගැන උපදෙස් සපයන ආයතනවල උපකාරය පතනවා. සමහර අය ඉන් තමන් ලබා තිබෙන ප්‍රයෝජන ස්වල්පය ගැන කතා කරන්න පුළුවන්. එහෙත්, අද මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මක වර්ධනය ගැන සලකා බලද්දී, පොදුවේ මිනිසුන් සාමකාමී ජීවිතයක් භුක්ති විඳීමට ඉගෙනගෙන තිබෙනවා කියා පැවසිය හැකිද? එමෙන්ම, මිනිසුන් විසින් සකස් කරනු ලබන විවිධ වැඩසටහන් මගින් දෙන උපදෙස්වලින් තෘප්තිමත් ජීවිත ගත කිරීමට මිනිසුන්ට හැකි වී තිබෙනවාද? ඇත්තෙන්ම නැහැ.—1 කොරි. 3:18-20.
2 අනිත් අතට, අපේ මැවුම්කරු සවන් දීමට කැමති සෑම කෙනෙකුටම කිසිම මුදලක් අය කරන්නේ නැතිව ඉතාමත් ප්‍රයෝජනවත් දේවල් උගන්වනවා. තමන් උගන්වන දේවලින් සෑම කෙනෙක්ම ප්‍රයෝජන ගන්නවා දකින්න යෙහෝවා ආසයි. මිනිසුන්ට යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම සඳහා ඔහු තම ආනුභාවයෙන් ලියා තිබෙන වචනය ඔවුන්ට සපයා තිබෙනවා. ඔහුගේ රාජ්‍යයේ ශුභාරංචිය ලොව පුරා ප්‍රචලිත වීමට ඔහු සලස්වා තිබෙනවා. (ගීතා. 19:7, 8; මතෙ. 24:14; 2 තිමෝ. 3:16) පූර්ණ ලෙස සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීම රඳා පවතින්නේ යෙහෝවාගේ ආඥාවලට සවන් දීම මතයි.—යෙසා. 48:17, 18.
3 යෙහෝවා සපයන මඟ පෙන්වීම් මිනිසුන් සපයන මඟ පෙන්වීම්වලට වඩා උතුම්. යෙහෝවා ඔහුගේ වචනය හා සංවිධානය මගින් සපයන සැපයුම්වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්නවා නම්, අවශ්‍ය කරන සැබෑ උපකාරය ලබමින් කල්පවතින යහපත් ප්‍රතිඵල අද්දකින්න අපිට හැකියි.—1 පේතෘ. 3:10-12.
4 සභා රැස්වීම්වලින් ප්‍රයෝජන ගන්න: අදදින, ඔහුගේ මාර්ග ගැන අපිට උගන්වන්න යෙහෝවාට අව්‍යාජ උනන්දුවක් තිබෙනවා. ඔහු උගන්වන දේවලට සවන් දීමෙන් ප්‍රයෝජන රැසක් අපිට අත් කරගත හැකියි. සතිපතා පවත්වන අපේ රැස්වීම් පහ, යෙහෝවා අපි කෙරෙහි දක්වන ප්‍රේමනීය සැලකිල්ලට සාක්ෂියක් වෙනවා. සභා රැස්වීම්වලට යෑමෙන් දෙවි පිළිබඳ අපේ දැනුම වැඩි වෙනවා. යෙහෝවාට ළං වෙද්දී, නරක දේවලින් අපිව ආරක්ෂා කරගන්න ආකාරය ගැන අපි ඉගෙනගන්නවා. මෙයින්, හරි දෙය කිරීම සඳහා අපි තුළ තිබෙන පෙලඹවීම තවත් වැඩි වෙනවා.
5 තවත් ප්‍රයෝජන තිබෙනවා. සභා රැස්වීම්වලදී ‘සිතින් විශාල වීමට’ අපිට අවස්ථා උදා වෙනවා. (2 කොරින්ති 6:13) සභාවේ සිටින අයව දැනහඳුනා ගැනීම එයට ඇතුළත් වෙනවා. ප්‍රේරිත පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේදී පෙන්නුම් කළ ආකාරයට අපිත් අන්‍යොන්‍ය දිරිගැන්වීම තුළින් ප්‍රයෝජන ලබනවා. (රෝම 1:11, 12) ඔහු හෙබ්‍රෙව්වරුන්ට ලියන විට, සෙසු ක්‍රිස්තියානින් සමඟ ඇසුරු කරන්න ලැබෙන අවස්ථා අත්හැරීමේ පුරුද්ද ඇති කරගෙන තිබූ අයට තදින් උපදෙස් දුන්නා.—හෙබ්‍රෙ. 10:24, 25.
6 තෘප්තිය ගෙන දෙන සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීම සහ අනිත් අයගේ යහපත ගැන සැලකිලිමත් වීම අතර ඍජු සම්බන්ධතාවක් තිබෙනවා. අනිත් අයගේ සන්තෝෂයට හේතු වන දේවල් කිරීමට වෑයම් කරන්න කියා රැස්වීම් මගින් අපිව දිරිමත් කරනු ලබනවා. අපේ ක්‍රිස්තියානි රැස්වීම් පිළියෙළ කර තිබෙන්නේ අපේ ප්‍රයෝජනය සඳහා වගේම අපි එහිදී යහපත් ඇසුරක් භුක්ති විඳින අන් අයගේද ප්‍රයෝජනය සඳහායි. මෙහිදී අපෙන් බලාපොරොත්තු වන්නේ අගය කිරීමෙන් යුතුව සහභාගි වීමයි.
7 මේ හා සමාන කරුණක් ගැන ප්‍රේරිත පාවුල් තිමෝතිට දුන් මෙම උපදේශයේදී ගෙනහැර දැක්වුවා. “භක්තිවන්තකම පිණිස ව්‍යායාම පවත්වන්න.” (1 තිමෝ. 4:7) අපිට අපෙන්ම මෙසේ අසාගත හැකියි. ‘මම භක්තිවන්තකම සඳහා ව්‍යායාම කරනවාද? මම ක්‍රිස්තියානි රැස්වීම්වලදී සවන් දෙන දේවලින් ප්‍රයෝජන ගන්නවාද?’ රැස්වීම්වලදී අපි අසන දේවලට කිට්ටු අවධානයක් දෙමින් ඉගෙනගන්න දේවල් ජීවිතයට අදාළ කරගන්න වෑයම් කරනවා නම්, ඉහත සඳහන් කළ ප්‍රශ්නවලට අපිට ඔව් කියා උත්තර දෙන්න පුළුවන්. අපට උගන්වන සහෝදරයන් දෙස නොව, අපේ උදාර උපදේශකයා වන යෙහෝවා දෙස බැලීමට ඇදහිල්ල නමැති ඇස්වලින් අපිට හැකි විය යුතුයි.—යෙසා. 30:20.
8 දිව්‍යාණ්ඩු සේවා පාසැල සහ සේවා රැස්වීම: මෙම රැස්වීම් දෙක පිළියෙළ කර තිබෙන්නේ ක්‍රිස්තියානි දේවසේවයෙහි බලපෑමෙන් යුක්ත වීමට අපිට උපකාර කරන්නයි. මෙම පාසැලේ ශිෂ්‍යයන් නිතිපතා බොහෝ දේවල් ඉගෙනගන්න අතර උපදෙස්ද ලබනවා. ප්‍රසිද්ධ කථිකයෙකු හැටියට හා දේවවචනයේ ගුරුවරයෙකු හැටියට දියුණු වීමට ඔබට මෙම පාසැලෙන් අවස්ථාව ලැබෙනවා. නමුත් මෙම පාසැලෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට නම් මුලින්ම ඔබ එයට ඇතුළත් විය යුතු අතර, නිතිපතා පැමිණෙමින් එයට සහභාගි විය යුතුයි. ඒ වගේම ඔබට ලැබෙන පැවරුම් මුළු හදින්ම අගය කරමින් හැකි හොඳම විදිහට ඉදිරිපත් කළ යුතුයි. මෙම රැස්වීමෙන් දෙනු ලබන උපදෙස් පිළිගැනීම හා අදාළ කරගැනීම, ඔබේ වර්ධනයට ඉමහත් රුකුලක් වෙනවා.
9 සේවා රැස්වීම මගින් දේවසේවයේ තිබෙන වැදගත්කම ගැන අපිට උගන්වන අතර, ගෝලයන් සෑදීමේ වැඩයෙහි හවුල් විය හැකි ආකාරය අපිට පෙන්වා දෙනවා. ඉහත සඳහන් කළ රැස්වීම් දෙකෙන් ඔබත් ඔබේ පවුලේ අයත් ප්‍රයෝජන ලබමින් සිටිනවාද? ක්‍රිස්තියානි යුවළක් මෙසේ අදහස් දැක්වුවා. “පවුලක් හැටියට දිනපදය සලකා බලන්න ඕනෙ කියල අපි සේවා රැස්වීමෙන් ඉගෙනගත්තා. කලින් අපි ඒ විදිහට දිනපදය සලකා බැලුවේ නැහැ. ඒත් දැන් අපි පවුලක් හැටියට දිනපදය සාකච්ඡා කරනවා.” මේ යුවළ ප්‍රයෝජන ලබා තිබෙන්නේ කොහොමද? ඔවුන් මෙසේ පවසනවා. “දැන් අපි එකට වාඩි වෙලා කෑම ගනිද්දී කරන කතා බහෙන් ලොකු සතුටක් ලබනවා. රෑ කෑම ගන්න වේලාවේදී කලින් වගේ අපි අතර වාද විවාද ඇති වෙන්නේ නැහැ.” ඔවුන්ගේ කුඩා දරුවන් පවා මේ රැස්වීම්වලින් ප්‍රයෝජන ලබනවාද? ඔව්. මව මෙසේ පවසනවා. “රැස්වීම්, අපේ දරුවන්ට සෑහෙන බලපෑමක් ඇති කරනවා කියන එක අපිට හොඳටම පැහැදිලියි. එක දවසක් අවුරුදු හයක් වයස අපේ පුතා අපිට බොරු කිව්වා. ඒත් ඒ සතියේ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ උපදෙස් කතාවේ තිබුණේ බොරු කීම ගැනයි. ඒ වේලාවේ අපේ පුතාගේ මුහුණින් එයා වරදක් කර තිබෙනවා කියලා අපිට තේරුණා. එයා තාත්තගේ මුහුණ දිහා බලලා ලැජ්ජාවෙන් ඇඹරෙන්න පටන්ගත්තා. ඒ කතාවෙන් එයා පාඩමක් ඉගෙනගත්තා. එදායින් පස්සේ කවදාවත්ම එයා ආයෙමත් ඒ දේ කළේ නැහැ.”
10 අපේ දේවසේවය දියුණු කරගැනීම සඳහා සේවා රැස්වීමේදී දෙන යෝජනා තමන් අගය කරන බව පුරෝගාමී සහෝදරියක් පවසනවා. ඇය මෙසේ පැහැදිලි කරනවා. “මම පුරුදු වෙලා තියෙන්නේ හැම කෙනාටම එකම විදිහට කතා කරන්නයි. අපගේ රාජ්‍ය සේවාවේ තියෙන යෝජනා ක්‍රියාත්මක කළාට ප්‍රයෝජන ලැබෙන එකක් නැහැ කියල සමහර අවස්ථාවලදී මට හිතෙනවා. ඒ වුණත්, අපි ඒ යෝජනා අත්හදා බලන්න උත්සහ කරන්න ඕනේ කියල සේවා රැස්වීමේදී කියනවා මට ඇහෙන කොට ඒවා ක්‍රියාත්මක කරන්න මට පෙලඹීමක් ඇති වෙනවා. එතකොට මම ජ්වලිතව සේවයේ හවුල් වෙනවා. ඒකෙන් මම ලොකු සතුටක් ලබනවා!” මුල් හමුවීමේදීම බයිබල් පාඩමක් පටන්ගැනීම අත්හදා බලන්න කියා දුන් යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් සති කිහිපයකට පසු ඇය ගැහැනු ළමයෙක් සමඟ මුල් හමුවීමේදීම පාඩමක් පටන්ගත්තා. ඒ අවස්ථාවේ මේ ගැහැනු ළමයා උපකාරය පතා යාච්ඤා කරමිනුයි හිටියේ.
11 යම් කතාවකදී ඔබේ පෞද්ගලික තේරීම් සම්බන්ධයෙන් බයිබලය මත පදනම් උපදෙස් ලැබෙන විට, යෙහෝවා කෙළින්ම ඔබට කතා කරනවායයි ඔබට හැඟෙනවාද? එක සහෝදරයෙකුට ඒ විදිහට හැඟුණා. ඔහු මෙසේ පැවසුවා. “ළඟදී සහෝදරයෙක් කතාවකදී පැහැදිලි කළා, ක්‍රිස්තියානින්ට සුදුසු හා නුසුදුසු විනෝදාංශ මොනවාද කියල. රූපවාහිනියේ පෙන්වන බොක්සිං තරඟ මම හරි ආසාවෙන් බලන්න පුරුදු වෙලා හිටියා. ඒත්, ඒ ක්‍රීඩාවත් වැටෙන්නේ ක්‍රිස්තියානින්ට නුසුදුසු විනෝදාස්වාද ගණයට කියා ඒ රැස්වීමෙන් පස්සේ මම තේරුම්ගත්තා. ඒ හින්දා මම බොක්සිං තරඟ බලන එක නතර කළා.” මේ සහෝදරයා සාහසික දෙයක් නැරඹීමට පුරුදු වෙලා සිටියත්, යෙහෝවා දෙන මඟ පෙන්වීම් පිළිගෙන වෙනස්කම් කරන්න තරම් නිහතමානි වුණා.—ගීතා. 11:5.
12 ප්‍රසිද්ධ රැස්වීම, මුරටැඹ පාඩම සහ සභා පොත් පාඩම: අපිට සතිපතා සවන් දෙන්න ලැබෙන ප්‍රසිද්ධ කතා මගින් විවිධ බයිබල් විෂයන් පිළිබඳව තොරතුරු දැනගන්න ලැබෙනවා. ඔබ මෙම කතාවලින් ලබන ප්‍රයෝජන මොනවාද? තමන් ලැබූ ප්‍රයෝජන ගැන ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් මෙසේ අදහස් දැක්වුවා. “එක ප්‍රසිද්ධ කථාවකදී ශුද්ධාත්මයේ ඵල සෑම එකක්ම සාකච්ඡා කළා. මේ ඵල වර්ධනය කරගන්න තමන් කටයුතු කළ විදිහ ඒ කථිකයා පැහැදිලි කළා. ඔහු සතියකට එක ගුණාංගයක් තෝරාගෙන ඒක වර්ධනය කරගන්න උත්සාහ කරල තියෙනවා. එදිනෙදා වැඩකටයුතුවලදී තමන් කොච්චර දුරට ඒ තෝරාගත්ත ගුණාංගය විදහාපෙන්වලා තියෙනවාද කියලා සතිය අවසානයේදී තමන් කල්පනා කළා කියලා ඔහු කිව්වා. ඊට පස්සේ සතියේදී උත්සාහ කරලා තියෙන්නේ වෙන ගුණාංගයක් වර්ධනය කරගන්නයි. මම ඒ අදහස අගය කරල, ඒක ක්‍රියාත්මක කරන්න පටන්ගත්තා.” ඉගෙනගත් දේවල් අදාළ කිරීම ගැන මෙය මොනතරම් කදිම ආදර්ශයක්ද!
13 ජීවිතයේ විවිධ තත්වයන්වලදී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න ආකාරය ගැන මුරටැඹ පාඩම් මගින් අපිට උගන්වනවා. ඇතැම් අවස්ථාවලදී ජීවිතයේ කනස්සලු ස්වභාවයක් අද්දකින්න සිදු වුණත් සාමකාමී මනසක් ඇතුව සිටීමට අපි ඉගෙනගත් දේවල් උපකාරවත් වෙනවා. ක්‍රමානුකූලව අනාවරණය කරන සත්‍යයන් ගැන මුරටැඹ පාඩම මගින් අපව දැනුවත් කරනවා. උදාහරණයක් හැටියට, 1999 මැයි 1 මුරටැඹ කලාපයේ පළ වූ “මේ සියල්ල සිදුවන්ට ඕනෑය,” “කියවන්නා විචාර බුද්ධිය පාවිච්චි කරත්වා” හා “විමසිලිමත්ව සහ උත්සාහවන්තව සිටින්න!” නමැති ලිපි පාඩම් කිරීමෙන් අපි මොනතරම් ප්‍රයෝජන ලැබුවාද! පාඩම් කළ මේ තොරතුරු ඔබට පෞද්ගලිකව කොතෙක් දුරට බලපෑවාද? අනාගතය ගැන යේසුස් දුන් අනතුරු ඇඟවීම් ඔබ හෘදයට ගෙන තිබෙන බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වනවාද? “පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා” දකින විට, ඉදිරියේදී මුහුණ දීමට නියමිත පරීක්ෂණවලට ඔබ සූදානම් වෙමින් සිටිනවාද? (මතෙ. 24:15-22) ඔබේ ජීවිතයේ වඩාත්ම වැදගත් දෙය වන්නේ ද්‍රව්‍යමය දේවල් එක්රැස් කිරීම නොව, නමුත් යෙහෝවාගේ නාමය විශුද්ධවත් කිරීමට හවුල් වීම බව ඔබ ජීවත් වෙන ආකාරයෙන් හා ඔබේ ජීවිතයේ ඉලක්ක මගින් දැකගන්න තිබෙනවාද? අපට වර්තමානයේදීද බෙහෙවින් ප්‍රයෝජනවත් වන දේවල් ගැන අපි මුරටැඹ පාඩම මගින් ඉගෙනගන්නේ නැද්ද?
14 අපි සභා පොත් පාඩම මගින් මොනතරම් දේවල් සතිපතා ඉගෙනගන්නවාද කියා කල්පනා කර බලන්න. අපි දැන් පාඩම් කරන්නේ දානියෙල් පොතයි. අපි දැන් මාස හතරක සිට මේ පොත පාඩම් කරමින් සිටිනවා. සෑම සතියකම අපේ ඇදහිල්ල වර්ධනය වන බව අපිට දැනෙන්නේ නැද්ද? යෙහෝවාගේ ප්‍රේමාන්විත අනාගතවක්තෘ දානියෙල් මෙන් අපේ ඇදහිල්ල ශක්තිමත් කරගනිමු. මෙසේ කිරීමෙන් අපිට විඳදරාගැනීමේ ගුණය වර්ධනය කරගත හැකියි.
15 සතුටින් ජීවත් වීමට යෙහෝවා අපිට උගන්වයි: අපි දෙවිගේ ආඥාවලට සවන් දෙන විට අපිට හෘද වේදනා බොහොමයකින් වැළකී සිටිය හැකියි. ඒ විතරක් නොවෙයි, අපි සන්තෝෂය කියන්නේ කුමක්ද කියලා අද්දැකීමෙන්ම තේරුම්ගන්නවා. යෙහෝවා දෙන මඟ පෙන්වීම් අනුව දේවල් කිරීමෙන්, අපි ඔහුගේ වැඩවලට හවුල් වෙනවා. සන්තෝෂයෙන් සිටින්නේ දෙවි පවරා තිබෙන වැඩ කරන අයයි.—1 කොරි. 3:9; යාකො. 1:25.
16 සභා රැස්වීම්වලදී ඔබ සවන් දෙන දේවල් අදාළ කරගන්න යන ආකාරය ගැන සිතන්න. (යොහන් 13:17) ඔබේ මුළු හදින්ම යෙහෝවාට ජ්වලිතව සේවය කරන්න. එවිට ඔබේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වේවි. ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් වේවි. ඔව්, ඔබ ප්‍රයෝජන රැසක් භුක්ති විඳින්න යන බව නිසැකයි.