නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන
“විශේෂයෙන්ම දෙවි කෙරෙහි ගැඹුරු ගෞරවයක් මුසු වූ හැඟීමක්” බිය යන වචනයෙහි අන්තර්ගත බව ඒ පිළිබඳ එක් විග්රහයක සඳහන් වෙයි. මෙහි විස්තර කරන්නේ “ප්‍රඥාවේ පටන්ගැන්ම” ලෙස ශුද්ධ ලියවිලිවල සඳහන් යහපත් බිය ගැනයි. (ගීතා. 111:10) මීට පටහැනිව, අප අවට තිබෙන සාතන්ගේ ලෝකය තුළ බලවත් වන තවත් ආකාරයක බියක් තිබෙනවා. යෙහෝවා කෙරෙහි ගෞරවාන්විත බියක් වර්ධනය කරගන්න අතරතුර, එම හානිකර බියෙන් වැළකී සිටීමට අපට හැක්කේ කෙසේද? 2002 සේවා වසර සඳහා පිළියෙළ කර තිබෙන නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන මගින් එම ප්රශ්නය පුළුල්ව සාකච්ඡාවට ලක් කරයි. එහි තේමාව ‘දෙවිට භය වී ගෞරවය දෙන්න’ යන්නයි. (එළි. 14:7) යෙහෝවා කෙරෙහි බියක් ඇති කරගැනීම, පෞද්ගලිකව මෙන්ම සංවිධානයක් වශයෙන් අපට ප්‍රයෝජනවත් වන ආකාර බොහොමයක් එහිදී අපට දැනගන්න පුළුවන්.
බිය යන වදනින් සාංකාව, පසුබට වීම හා අභියෝගවලට මුහුණ නොදී පලා යෑම යනාදිය අදහස් විය හැක. ඒ වුණත් “යෙහෝවා කෙරෙහි බිය වන සියලුදෙනාම සන්තෝෂවත් අය වෙති” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතා. 128:1, NW) සැබෑ නමස්කාරයට එල්ල වන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අපට හැකි ආකාරය ගැන මෙම එක්රැස්වීමෙන් පහදා දෙයි. දෙවි කෙරෙහි යහපත් බියක් වර්ධනය කරගැනීම සඳහා නවකයන්ට උපකාර කළ හැකි ආකාරය ගැනද එහිදී සලකා බලන්න යනවා. ඇත්තෙන්ම, නවකයන් එවන් බියක් වර්ධනය කරගන්නවා නම්, තමන්ගේ මුළු හෘදයෙන්ද, ආත්මයෙන්ද, මනසින්ද, ශක්තියෙන්ද දෙවිට සේවය කිරීමට ඔවුන් පෙලඹෙනවා. (මාක්. 12:30) දිස්ත්‍රික් අවේක්ෂක ඉදිරිපත් කරන “ඔබ ප්‍රේම කරන අයට තව තවත් ළං වන්න” නමැති මාතෘකාවෙන් යුත් කතාව මගින් යෙහෝවාගෙන්ද, අපේ පවුලේ අයගෙන්ද, අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන්ද අපව වෙන් කිරීමට සාතන් දරන වෑයම් ගැන අපට සිහිකල්පනාවෙන් සිටිය හැකි ආකාරය පැහැදිලි කර දීමට නියමිතයි. එම කතාවත් සමඟින් පළමු දිනයේ වැඩසටහන නිමාවට පත් වෙයි.
“මිනිසුන්ට නොව යෙහෝවාට බිය වන්න” නමැති තේමාවෙන් යුත් කතා මාලාව දෙවන දවසේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. අපට පවරා තිබෙන දේවසේවය සම්පූර්ණ කිරීමෙන් හා පාසැලේදී හෝ රැකියා ස්ථානයේදී අපේ අඛණ්ඩතාව හා යහපත් හෘදය සාක්ෂිය රැකගැනීමෙන් අපව වළක්වන බිය ජයගත යුතු වීමට හේතු හා එසේ කළ හැකි ආකාරය එහිදී පැහැදිලි කෙරෙනු ඇත. ප්‍රසිද්ධ කථාවේ මාතෘකාව “දෙවිට භයව ඔහුගේ ආඥා පවත්වන්න” යන්නයි. මෙම කතාව පදනම් වන්නේ එළිදරව් 14වන පරිච්ඡේදයේ විස්තර කර තිබෙන එකිනෙක හා බැඳි සිද්ධීන් මතයි. “යෙහෝවා කෙරෙහි භයෙන් යුක්තව දිගටම ගමන් කරන්න” උපකාරවත් වන දිරිගැන්වීම් සමඟින් චාරිකා එක්රැස්වීම නිමාවට පත් වෙයි.
දිව්‍යාණ්ඩු සේවා පාසැල, ආදර්ශ සේවා රැස්වීම, බව්තීස්ම කතාව හා මුරටැඹ පාඩමේ සාරාංශය මේ එක්රැස්වීමේ තවත් විශේෂාංග වෙයි. මේ කිසිවක් අතපසු නොකරන්න ඔබ වෑයම් කරන බවට සැකයක් නැහැ. මේ එක්රැස්වීමට ඔබ සමඟ යන්න ඔබේ බයිබල් ශිෂ්‍යයන්ටද ආරාධනා කරන්න. බව්තීස්ම වීමට ආශාවෙන් සිටින අය හැකි ඉක්මනින් මුලසුන භාර අවේක්ෂක සමඟ ඒ ගැන කතා කරන්න. මේ විශේෂ වැඩසටහනේ කිසිම කොටසක් අතපසු නොකිරීමෙන් යෙහෝවා කෙරෙහි තිබෙන අපේ යහපත් බිය ක්‍රියාවලින් පෙන්වීමටත් ඔහුව පැසසුමට ලක් කිරීමටත් අපි සෑම කෙනෙක්ම හැකි සෑම උත්සාහයක්ම දරමු.