ආචාර සම්පන්න පුරුදු—දේවභක්තික ජනයාගේ ලක්ෂණයකි
1 අද කාලයේ යහපත් ආචාර සම්පන්න පුරුදු දකින්ට ලැබෙන්නේ අඩුවෙන්. “කරුණාකර,” “ස්තුතියි,” “මට සමාවෙන්න” කියන ආචාරශීලී වදන් මිනිසුන්ගේ මුවින් පිට වෙන්නේ කලාතුරකින්. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව, ඒ තරමටම මිනිසුන් කලබලකාරි ජීවිතයක් ගත කිරීම වෙන්න පුළුවන්. මේ අන්තිම දවස්වලදී මිනිසුන්ගේ යහපත් පුරුදු හා ගුණාංග පිරිහෙන බව දේවවචනයේ කලින්ම කියා තිබුණා. මේ කාලයේ ජීවත් වන මිනිසුන් ‘තමුන්ටම ප්‍රේම කරයි, පාරට්ටු කරගනියි, උදම් අනයි, ස්තුතිවන්ත නොවෙයි, ජන්ම ස්නේහයක් නොපෙන්වයි, තෘෂ්ණා මැඩපවත්වා නොගනියි, යහපතට ප්‍රේම නොකරයි, හිතුවක්කාරයි.’ (2 තිමෝ. 3:1-4) මේ වගේ ගතිගුණ මිනිසුන් තුළ තිබෙන නිසයි නරක පුරුදු දකින්න තිබෙන්නේ. අද ලෝකයේ ඉන්න හුඟදෙනෙක් අනිත් අයට ගෞරවයෙන් සලකන්නේ නැහැ. දෙවි කෙරෙහි සැබෑ භක්තියක් තිබෙන සෙනඟක් හැටියට අප තුළ එවන් ස්වභාවයක් ඇති නොවන ලෙස වගබලා ගත යුතුයි.
2 ආචාර සම්පන්න පුරුදු කියන්නේ මොනවාද? අනිත් අයගේ හැඟීම් ගැන හොඳ අවබෝධයකින් සිටීම හා ඔවුන් සමඟ සාමයෙන් ජීවත් වීමට තිබෙන හැකියාව ආචාර සම්පන්න පුරුදුවල මූලික හරය ලෙස හඳුන්වන්න පුළුවන්. අනිත් අය කෙරෙහි සැලකිල්ල දැක්වීම, ආචාරශීලී වීම, කාරුණික වීම, විනීත වීම හා උපායශීලී වීම යහපත් පුරුදුවලින් කිහිපයක්. මේ ලක්ෂණ පුද්ගලයෙකු තුළ මුල් බැස තිබෙන්නේ දෙවි සහ අසල්වැසියා කෙරෙහි ඔහු හෝ ඇය තුළ තිබෙන ප්‍රේමය නිසයි. (ලූක් 10:27) මේ ගුණාංග වර්ධනය කරගන්න සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. ඒත්, අන් අය සමඟ සුහදශීලී සබඳතා පවත්වාගැනීමේදී මේ ගුණාංගවල තිබෙන වටිනාකම මිල කරන්න බැහැ.
3 මේ කාරණය සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස් පරිපූර්ණ ආදර්ශයක් තැබුවා. “මනුෂ්‍යයන් විසින් නුඹලාට යම්සේ ක්‍රියාකරනවාට නුඹලා කැමතිද, නුඹලාත් ඔවුන්ට එසේම කරන්න” කියා තමන් විසින්ම දෙන ලද රන් අණ ඔහු නිතරම පිළිපැද්දා. (ලූක් 6:31) යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ ප්‍රේමනීය ලෙස කටයුතු කළ ආකාරය හා ඔවුන් කෙරෙහි දැක්වූ සැලකිල්ල අපව පුදුමයට පත් කරවන්නේ නැද්ද? (මතෙ. 11:28-30) ඔහු ආචාර සම්පන්න පුරුදු ඇති කරගත්තේ ආචාර ධර්ම පිළිබඳ නීති රීති ඇතුළත් පොතක සඳහන් දේවල් කියවා නොවෙයි. එම පුරුදු නික්මුණේ ඔහුගේ කාරුණික හදවතෙනුයි. ඔහුගේ යහපත් ආදර්ශය අනුකරණය කරන්න අපි වෑයම් කළ යුතුයි.
4 ක්‍රිස්තියානීන් යහපත් පුරුදු විදහාපෙන්විය යුත්තේ කුමන අවස්ථාවලදීද? තමන් ගැන හොඳ හැඟීමක් අනිත් අය තුළ ඇති කළ යුතු විශේෂ අවස්ථාවලදී පමණක්ද? නැත්නම් අනිත් අයව නම්මවාගන්න අවශ්‍ය වූ විටකදී පමණක්ද? නැහැ! අපි හැම වෙලාවෙම යහපත් පුරුදු විදහාපෙන්වීම අවශ්‍යයි. සභාවේ අනිත් අය සමඟ ඇසුරු කරන විට අපි මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මෙය කළ හැක්කේ කුමන ආකාරවලින්ද?
5 රාජ්‍ය ශාලාවේදී: රාජ්‍ය ශාලාව කියන්නේ අපි නමස්කාරය සඳහා එක්රැස් වෙන ස්ථානයයි. රාජ්‍ය ශාලාවට එන්න කියලා අපිට ආරාධනා කරන්නේ යෙහෝවා දෙවියි. මේ අනුව බලද්දී, අපව අමුත්තන් හැටියට හඳුන්වන්න පුළුවන්. (ගීතා. 15:1) අපි රාජ්‍ය ශාලාවට යන්නේ ආදර්ශවත් අමුත්තන් හැටියටද? එහි යද්දී ඇඳ පැළඳගෙන යන ආකාරය ගැන අපි සුදුසු අවධානයක් දෙනවාද? අපි කිසිවිටකත් අවිනීත ලෙස හා අපිළිවෙළකට ඇඳ පැළඳගෙන රැස්වීම්වලට නොපැමිණිය යුතුයි. ඒ වගේම අන්තයටම ගිය විලාසිතාද සුදුසු නැහැ. යෙහෝවාගේ සෙනඟ සමුළුවලට ගියත්, සතිපතා පවත්වන සභා රැස්වීම්වලට ගියත්, දෙවි කෙරෙහි සැබෑ භක්තියක් තිබෙන පුද්ගලයන්ට උචිත ලෙස ඇඳ පැළඳ සිටින බව හුඟදෙනෙක් දකිනවා. (1 තිමෝ. 2:9, 10) මෙසේ විනීත ලෙස ඇඳ පැළඳගෙන රැස්වීම්වලට පැමිණීමෙන් අපට ආරාධනා කරන දෙවිටත් අප සමඟ රැස්ව සිටින අනිත් අමුත්තන්ටත් නිසි ගෞරවය හා සැලකිල්ල දක්වමු.
6 රැස්වීම් ගැන කතා කරද්දී අපට යහපත් පුරුදු පෙන්විය හැකි තවත් මාර්ගයක් නම් කල් වේලා ඇතුව පැමිණීමයි. සෑමදාම මෙය කරන්න බැරි බව ඇත්තයි. සමහර අය රැස්වීම්වලට එන්නේ හුඟාක් දුර සිටයි. ඒ වගේම දරුවන් කිහිපදෙනෙක් ඉන්නවා නම්, ඔවුන්ව ලෑස්ති කරගෙන එන්න වෙලා යනවා. ඒ කොහොම වුණත්, සමහර සභාවල ප්‍රචාරකයන්ගෙන් සියයට 25ක් විතර පුරුද්දක් හැටියට රැස්වීම්වලට එන්නේ ආරම්භක ගීතිකාව හා යාච්ඤාවෙන් පසුව බව වාර්තා වෙනවා. මෙය සුළු කොට සලකන්න පුළුවන් දෙයක් නොවෙයි. රැස්වීම්වලට ප්‍රමාද වී පැමිණීමෙන් අනිත් අයගේ අවධානයට බාධා ඇති වෙනවා. ඒ වගේම රැස්වීමට ඇවිත් සිටින අය කෙරෙහි ගෞරවයක් නැති බවයි එයින් පෙනෙන්නේ. අනිත් අයගේ හැඟීම් තේරුම්ගෙන කටයුතු කිරීම යහපත් පුරුදු හා බැඳි දෙයක් බව නිතරම මතක තබාගන්න. ත්‍යාගශීලී ලෙස අපට ආත්මික ආහාර සපයන යෙහෝවා දෙවි මේවා සපයන්නේ අපේම ප්‍රයෝජනය සඳහායි. රැස්වීම්වලට වේලාවට පැමිණීමෙන් ආත්මික ආහාර අපි අගය කරන බවත්, ඔහුගේ හැඟීම් ගැන අපි සැලකිලිමත් වන බවත් පෙන්වමු.
7 අපි රැස්වීම්වලට ගිය විට අලුතින් ඇවිත් ඉන්න අය කෙරෙහි අවධානය යොමු කරනවාද? ඔවුන්ව සාදරයෙන් පිළිගැනීම යහපත් ආචාර සම්පන්න පුරුද්දක්. (මතෙ. 5:47; රෝම 15:7) සුහදශීලී ලෙස පිළිගැනීමේ වදනක් පැවසීම, උණුසුම් හැඟීමෙන් යුතුව අතට අත දීම, කාරුණික සිනහව යනාදිය කුඩා දේවල් වුණත් ඒවා සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන් අපව හඳුන්වා දෙන ලක්ෂණවලට ඇතුළත් වෙනවා. (යොහ. 13:35) මුල් වතාවට රාජ්‍ය ශාලාවට ආ මිනිසෙක් මෙසේ පැවසුවා. “මම කුඩා කාලයේ ඉඳන් ගිය පල්ලියේදී කවදාවත් හමු වෙලා තිබුණේ නැති නියම ප්‍රේමය තිබෙන මිනිසුන්ව මට එක දවසකදී හමු වුණා. මේ අයව මම කලින් අඳුනගෙන හිටියේ නැහැ. මම සත්‍යය හොයාගත්තු බව මට තේරුණා.” මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම ජීවිතයේ වෙනස්කම් කරගෙන මාස හතක් ඇතුළත බව්තීස්ම වුණා. ඔව්, වෙනත් කිසිම ආකාරයකින් කළ නොහැකි බලපෑමක් යහපත් ආචාර සම්පන්න පුරුදුවලින් ඇති කරන්න පුළුවන්.
8 අපට හමු වන අමුත්තන් ඉදිරියෙහි අපි යහපත් පුරුදු විදහාපෙන්වනවා නම්, “ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්” ඉදිරියෙහි යහපත් පුරුදු විදහාපෙන්විය යුතු නැද්ද? (ගලා. 6:10) මෙහිදී මෙම ප්‍රතිපත්තිය අදාළ වෙයි. “මහල්ලාගේ මුහුණට ගෞරවකරන්න.” (ලෙවී. 19:32) අපි එකට එක්රැස් වෙන අවස්ථාවලදී ඒ වගේ අයව නොසලකා නොහැරිය යුතුයි.
9 කිට්ටු අවධානයක් දෙන්න: සභා රැස්වීම් පවත්වන අතරතුරේදී දේවසේවකයන් අපව ගොඩනැංවීමේ අරමුණින් ආත්මික තෑගි ලබා දෙමින් කතා ඉදිරිපත් කරයි. (රෝම 1:11) රැස්වීම් පවත්වන අතරතුරේදී අපි නිදි කිරා වැටෙනවා නම්, චුවින්ගම් හපනවා නම්, විටින් විට ළඟ ඉන්න කෙනාගේ කනට කොඳුරනවා නම්, කිසිම අවශ්‍යතාවක් නැතිව වැසිකිළියට යනවා නම්, රැස්වීමේ කොටසට අදාළ නැති පොත් පත් සඟරා බලනවා නම් හෝ වෙනත් දේවල් කරනවා නම්, මේවායින් පෙනෙන්නේ අපි තුළ යහපත් පුරුදු නොමැති බවයි. මේ කාරණයේදී වැඩිමහල්ලන් ආදර්ශවත් විය යුතුයි. කතාවක් ඉදිරිපත් කරන විට, වෙනත් දේවල් කෙරෙහි අවධානය යොමු නොකරමින් කථිකයා කෙරෙහිත් ඔහු ඉදිරිපත් කරන බයිබලය මත පදනම් පණිවිඩය කෙරෙහිත් නිසි ගෞරවයක් පෙන්වන්න අප තුළ පෙලඹීමක් ඇති කරවන්නේ යහපත් ක්‍රිස්තියානි පුරුදුයි.
10 මීට අමතරව, කථිකයා හා සබය කෙරෙහි සැලකිල්ල දක්වමින් අපි ළඟ තිබෙන පේජර් යන්ත්‍ර හා ජංගම දුරකථන රැස්වීම්වලට කිසිම බාධාවක් ඇති වන පරිදි භාවිත නොකිරීමට වගබලා ගත යුතුයි.
11 යහපත් පුරුදු හා දරුවන්: දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ හැසිරීම ගැන නිතරම සාවධානව සිටිය යුතුයි. රැස්වීම අතරතුර දරුවෙක් අඬනවා නම් හෝ දඟලනවා නම්, මෙය අනිත් අයට බාධාවක් විය හැකි නිසා හොඳම දෙය වන්නේ දරුවාව ශාලාවෙන් පිටතට ගෙන ගොස් පුළුවන් තරම් ඉක්මනින් දරුවාගේ ඇඬීම නතර කිරීමයි. සමහර අවස්ථාවලදී මේ දෙය කිරීම අමාරු වෙන්න පුළුවන්. ඒත්, එසේ කිරීමෙන් අනිත් අයගේ හැඟීම් ගැන අපි සැලකිල්ලක් දක්වන බව අප පෙන්වනවා කියා අපි මතක තබාගත යුතුයි. අන් අයට බාධා ඇති කරමින් දඟලන දරුවන් සිටින දෙමාපියන් ශාලාව පිටුපසම තිබෙන ආසනවල ඉඳගැනීමෙන් අන් අයට වන බාධාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ව ශාලාවෙන් පිටතට රැගෙන යෑමත් පහසු වෙයි. සභාවේ සිටින අනිත් අයට පුළුවන් කුඩා දරුවන් සිටින දෙමාපියන්ට ඔවුන් කැමති නම් පිටුපස තිබෙන ආසන කිහිපයක් දීමෙන් ඔවුන් කෙරෙහි සැලකිල්ල දක්වන්න.
12 රැස්වීම්වලට කලින් හා පසුව තම දරුවන් හැසිරෙන ආකාරය ගැනත් දෙමාපියන් හොඳ අවධානයක් දිය යුතුයි. දරුවන් ශාලාව ඇතුළත එහාට මෙහාට දුවන විට අනතුරු විය හැකි නිසා, එසේ කරන්න දරුවන්ට ඉඩ නොදිය යුතුයි. රාජ්‍ය ශාලාවෙන් පිටත දුව පැන සෙල්ලම් කිරීමද අනතුරුදායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී ආලෝකය අඩු නිසා අනතුරු වීමට තිබෙන ඉඩ කඩ වැඩියි. ශාලාවෙන් පිට ඉඳගෙන මහත් හඬින් කතා කිරීමෙන් අසල්වාසීන්ට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ නමස්කාරය ගැන ඔවුන් වැරදි විදිහට හිතන්නත් ඉඩ තියෙනවා. රාජ්‍ය ශාලාව ඇතුළත මෙන්ම පිටතද තමන්ගේ දරුවන් හැසිරෙන ආකාරය ගැන දෙමාපියන් හොඳ අවධානයකින් සිටීමෙන් අප එකට එකමුතුව නමස්කාරයේ හවුල් වන අවස්ථාවල තිබෙන ප්රසන්නබව වැඩි කරගන්න පුළුවන්. මෙසේ තම දරුවන්ව හොඳින් හසුරුවාගන්න තමන්ට හැකි සෑම දෙයක්ම කරන දෙමාපියන් ප්‍රශංසාව ලැබිය යුතුයි.—ගීතා. 133:1.
13 පොත් පාඩමේදී: සභා රැස්වීම් පැවැත්වීම සඳහා සහෝදරයන් තමන්ගේ නිවෙස් ලබා දීම අපි අගය කරනවා. අපි නිවෙස්වල පවත්වන රැස්වීම්වලට යන විට, ඔවුන්ට වගේම ඔවුන්ගේ දේපොළ කෙරෙහිත් නිසි ගෞරවයක් හා සැලකිල්ලක් දැක්විය යුතුයි. නිවසට ඇතුල් වෙන්න කලින් අපේ පාවහන් හොඳින් පිස දමා ගත යුතුයි. මෙසේ කිරීමෙන් නිවසේ බිම හෝ බුමුතුරුණු (කාපට්) අපිරිසිදු වෙන්නේ නැහැ. පොත් පාඩම පැවැත්වීම සඳහා නිවසේ වෙන් කර තිබෙන තැන හැර වෙනත් තැන්වලට තම දරුවන්ට යන්න ඉඩ නොදීමට වගබලා ගත යුතුයි. කණ්ඩායම කුඩා වුණත්, එක්රැස් වන්නේ නිවසක වුණත්, අපිට ඕනෑ විදිහට අනිත් අයගේ නිවෙස්වල හැසිරීමෙන් වැළකී සිටිය යුතුයි. දරුවෙකුට වැසිකිළියට යෑමට වුවමනා වූ විට මව හෝ පියා දරුවා සමඟ යා යුතුයි. ඒ විතරක් නොවෙයි, පොත් පාඩම සභා රැස්වීම්වලින් එකක් වන නිසා අපි එයට ඇඳ පැළඳගෙන යා යුත්තේ රාජ්‍ය ශාලාවට අපි ඇඳ පැළඳගෙන යන ආකාරයටමයි.
14 යහපත් පුරුදු ඉතාමත් වැදගත්: ක්‍රිස්තියානීන් වශයෙන් යහපත් පුරුදු ක්‍රියාවට නැංවීමෙන් අපගේ සේවය ගැන අනිත් අය තුළ හොඳ හැඟීමක් ඇති වෙනවා පමණක් නොව, ඔවුන් සමඟ හොඳ සබඳතාවක්ද ඇති කරගැනීමට එය හේතුවක් වෙයි. (2 කොරි. 6:3, 4, 6, 10 අග කොටස) සන්තෝෂවත් දෙවිගේ නමස්කාරකයන් හැටියට අපේ මුවින් සිනහවක් පෑම, සහයෝගය දැක්වීම, අනිත් අය තුළ ප්‍රීතියක් ඇති කරමින් කාරුණික ලෙස කුඩා දේවල් කර දීම අපි පුරුද්දක් කරගත යුතුයි. මෙම යහපත් පුරුදු දේවභක්තික සෙනඟක් වශයෙන් අපව තවත් ප්‍රසන්න පුද්ගලයන් බවට පත් කරයි.