දේශනා සේවයෙන් ඔබ ලබන ප්‍රීතිය තව වැඩි කරගන්න
1 ජනයා සමඟ ශුභාරංචිය බෙදාගැනීමෙන් ලබන ප්‍රීතිය ඔබ අද්දකිමින් සිටිනවාද? අප පරෙස්සම් වුණේ නැත්නම්, අප අවට තිබෙන දුෂ්ට ලෝකයෙන් එල්ල වන බලපෑම් නිසා අප තුළ බයාදු ගතියක් ඇති වෙන්න පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් හැටියට, අප සේවයෙන් ලබන ප්‍රීතිය නැති වී යයි. හොඳ ප්‍රතිචාරයක් නොදක්වන බල ප්‍රදේශයක සේවය කරන්න සිදුවීම නිසා අපේ ජ්වලිතය අඩු වී යන්න ඉඩ තිබෙනවා. දේශනා සේවයෙන් අප ලබන ප්‍රීතිය වැඩි කරගැනීම සඳහා අපට ගත හැකි ප්‍රායෝගික පියවර මොනවාද?
2 ශුභවාදී වන්න: ශුභවාදී ආකල්පයක් දිගටම පවත්වාගැනීමෙන් දේශනා සේවයේදී ප්‍රීතිය අද්දකින්න පුළුවන්. මෙය කළ හැකි එක් විදිහක් වන්නේ ‘දෙවිගේ හවුල් වැඩකරුවන්’ වීමෙන් අප ලබන අද්විතීය වරප්‍රසාදය ගැන මෙනෙහි කිරීමයි. (1 කොරි. 3:9) ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ අප නිරත වෙද්දී යේසුස්ද අප සමඟ සිටිනවා. (මතෙ. 28:20) ඔහු දේවදූත සේනාවක්ද යොදාගනිමින් අපට සහයෝගය දක්වනවා. (මතෙ. 13:41, 49) මේ හේතු නිසා, අප දරන වෑයම්වලට දෙවිගේ මඟ පෙන්වීම ලැබෙන බවට අපට නිසැක වෙන්න පුළුවන්. (එළි. 14:6, 7) සමහර මිනිස්සු අපේ සේවයට කුමන ප්‍රතිචාරයක් දැක්වුවත්, ස්වර්ගයෙන් ලැබෙන ප්‍රතිචාරයෙන් අප ලබන්නේ ඉමහත් ප්‍රීතියක්!
3 හොඳින් සූදානම් වන්න: අපේ ප්‍රීතිය වැඩිවීමට හොඳින් සූදානම් වීමත් හේතු වෙනවා. දේවසේවය සඳහා සූදානම් වීමට බොහෝ දේවල් ඇතුළත් විය යුතු නැහැ. වත්මන් සඟරාවලින් හෝ අදාළ මාසයේ ඉදිරිපත් කරන ප්රකාශනයෙන් ගෙවැසියා සමඟ කතා කිරීමට තෝරාගත් කරුණක් සලකා බැලීමට මිනිත්තු කිහිපයක් වැය කිරීම පමණයි අවශ්‍ය වන්නේ. අපගේ රාජ්‍ය සේවාවේ පළ වන “සඟරා හඳුන්වා දිය හැකි අයුරු” නමැති කොටසින් ඉදිරිපත් කිරීමක් තෝරාගන්න. නැත්නම් “ක්ෂේත්‍ර සේවය සඳහා යෝජිත ඉදිරිපත් කිරීම්” යනුවෙන් බලපෑමෙන් යුත් හැඳින්වීම් ඇතුළත් කර තිබූ 2002 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ අතිරේක ලිපියේ තොරතුරු සලකා බලන්න. ගෙවැසියන් විරුද්ධත්වය ප්‍රකාශ කරමින් පොදුවේ පවසන දේවල් ඔබ සාකච්ඡා කරන දෙයට බාධාවක් වන අවස්ථාවලදී, ඔවුන්ට පිළිතුරු දීමට සූදානම් වන්න. මෙහිදී ඔවුන් ප්‍රකාශ කළ දේවල් ප්‍රතික්ෂේප නොකර උනන්දුව පුබුදුවාලන විෂයක් කෙරෙහි අවධානය යොමු කරවන්න. මේ යෝජනා යොදාගැනීමෙන් දේශනා සේවයෙන් ප්‍රීතිය ලබන්න අපට අවශ්‍ය නිසැකකම ඇති කරගන්න පුළුවන්.
4 ඕනෑකමින් යාච්ඤා කරන්න: දිගු කාලීන ප්‍රීතිය සඳහා යාච්ඤාව අත්‍යවශ්‍යයි. අප කරන්නේ යෙහෝවා අපට පවරා තිබෙන කාර්යයක් නිසා ඔහුගේ ආත්මය ඉල්ලා කන්නලව් කිරීම අවශ්‍යයි. ප්‍රීතිය ඔහුගේ ආත්මයේ ඵලයක්. (ගලා. 5:22) දේශනා සේවය දිගටම කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය යෙහෝවා අපට දෙන බව ස්ථිරයි. (පිලි. 4:13) අපේ ප්‍රීතිය සොරාගත හැකි අද්දැකීම්වලට අපි මුහුණ දෙන අවස්ථාවලදී දේවල් දෙස නිවැරදිව බැලීමට, අපේ දේවසේවය ගැන කරන යාච්ඤා අපට උපකාරවත් වෙනවා. (ක්‍රියා 13:52; 1 පේතෘ. 4:13, 14) අපට භයක් දැනෙනවා නම් දිගටම නිර්භීතව හා ප්‍රීතියෙන් සේවය කරන්න අපට උපකාර කරන්න යාච්ඤාවට පුළුවන්.—ක්‍රියා 4:31.
5 ප්‍රස්තා ඇති කරගන්න: ජනයාව සොයාගෙන ඔවුන්ට සාක්ෂි දරන විට අපේ දේවසේවයෙන් වැඩි ප්‍රීතියක් අපට ලබන්න පුළුවන්. ඔබ ගෙයින් ගෙට සාක්ෂි දරන වේලාව වෙනස් කරගෙන, දහවල් කාලයේ හෝ සැන්දෑවේ සේවයේ හවුල් වෙනවා නම් හොඳ ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. ඔබ පාරේ යන විට, සාප්පු යන විට, බස් එකේ යන විට, උද්‍යානයක කාලය ගත කරන විට ඔබට මිනිසුන්ව හමු වෙනවා. මිත්‍රශීලී බවක් පෙන්නුම් කරන අය ළඟට ගොස් කෙටි සාකච්ඡාවක් කිරීමට සූදානම් වී සිටීම හොඳ අදහස් නොවේද? එහෙම නැත්නම්, ඔබ රැකියාව කරන ස්ථානයේදී හෝ පාසැලේදී දිනපතාම විවිධ පුද්ගලයන් සමඟ කතා බහ කරනවා. ශුද්ධ ලියවිලි මත පදනම් උනන්දුව ඇති කරවන කරුණක් මතු කිරීමෙන් සාක්ෂි දැරීම සඳහා ප්‍රස්තාවක් උදා කරගන්න ඔබට පුළුවන්. වර්ෂ 2002 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ අතිරේක ලිපියේ මුල් පිටුවේ හොඳ යෝජනා තිබෙනවා. මෙසේ සාක්ෂි දැරීම සඳහා ප්‍රස්තා සොයාගැනීමට වෑයම් කිරීමෙන් දේශනා සේවයෙන් ඔබ ලබන ප්‍රීතිය වැඩි කරගන්න පුළුවන්.
6 විඳදරාගැනීමට අපට උපකාර කරන්නේ ප්‍රීතියයි. එනිසා මේ ගුණාංගය දිගටම පවත්වාගෙන යෑම මොනතරම් වැදගත්ද! මෙසේ කිරීමෙන්, කවදාවත් නැවත නොකරන අපේ දේශනා සේවය නිමාවට පත්වීමෙන් පසු මහත් විපාකයක් අත් කරගන්න අපට පුළුවන්. දේශනා සේවයෙන් අපි ලබන ප්‍රීතිය වැඩි කරගැනීමට එම බලාපොරොත්තුවම හේතුවක් නොවේද?—මතෙ. 25:21.