ඥාතියෙකුව සභා ඇසුරෙන් කපාහැරිය විට ක්‍රිස්තියානි පක්ෂපාතකම පෙන්වීම
1. ක්‍රිස්තියානියෙකුගේ පක්ෂපාතකම පරීක්ෂණයට ලක් විය හැක්කේ කිනම් තත්වයකදීද?
1 පවුලක සාමාජිකයන් අතර තිබෙන බැඳීම ඉතාමත් ශක්තිමත් එකක් විය හැකියි. මෙම තත්වය ක්‍රිස්තියානියෙකුට පරීක්ෂණයක් වන අවස්ථාවක් වන්නේ විවාහක කලත්‍රයෙකුව, දරුවෙකුව, දෙමාපියෙකුව හෝ වෙනත් කිට්ටු ඥාතියෙකුව සභා ඇසුරෙන් කපාහැරිය විට හෝ සභා ඇසුරෙන් ඉවත් වීමට ඔහු හෝ ඇය විසින්ම තීරණය කළ විටයි. (මතෙ. 10:37) පක්ෂපාත ක්‍රිස්තියානීන් එවැනි ඥාතියෙකුට සැලකිය යුත්තේ කෙසේද? එම ඥාතියා ජීවත් වන්නේ ඔබේ නිවසේ නම් ඔහුට සැලකිය යුතු ආකාරයෙහි යම් වෙනසක් තිබෙනවාද? මුලින්ම අපි මේ කාරණය ගැන බයිබලය පවසන දෙය සලකා බලමු. මෙහිදී අපි සභා ඇසුරෙන් කපාහැරිය හා තමන් විසින්ම සභා ඇසුරෙන් ඉවත් වී සිටින අය යන දෙගොල්ලන්ටම එක සමාන ලෙස අදාළ වන බයිබල් ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරමු.
2. බයිබලයේ පවසන ආකාරයට ක්‍රිස්තියානීන් සභාවෙන් නෙරපන ලද අයව සලකන්නේ කෙසේද?
2 නෙරපන ලද අයට සලකන අයුරු: සභාවෙන් නෙරපා තිබෙන කෙනෙකු සමඟ ඇසුරු කරන්න එපා කියා දේවවචනය ක්‍රිස්තියානීන්ට නියෝග කරමින් මෙසේ පවසයි. “සහෝදරයෙකුයයි කියන ලද කෙනෙක් වේශ්‍යාකම් කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූප වඳින්නෙක්වත් නින්දා කරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්, එබන්දෙකු සමඟ සමාගම් [නොපවත්වන්න]. . . . ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහ කරන්න.” (1 කොරි. 5:11, 13, අකුරු ඇල කළේ අපය.) මතෙව් 18:17හි සඳහන් යේසුස් පැවසූ වදන්ද මේ කාරණයට සම්බන්ධයි. එහි මෙසේ සඳහන් වේ. “ඔහු [නෙරපන ලද තැනැත්තා] නුඹට අන්‍ය ජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.” ඒ කාලයේ සිටි යුදෙව්වන් අන්‍ය ජාතිකයන් සමඟ කිසිම ආකාරයේ සබඳතාවක් පැවැත්වූයේ නැති බවත් සුංගම් අය කරන්නන්ව තම සමාජයෙන් බැහැර කළ අය ලෙස සලකා ඔවුන් සමඟ ඇසුරු කිරීම ප්‍රතික්ෂේප කළ බවත් යේසුස්ගේ මෙම වදන්වලට සවන් දුන් අය හොඳින් දැන සිටියා. මෙසේ යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට උපදෙස් දුන්නේ නෙරපන ලද අය සමඟ ඇසුරු නොකරන්න කියාය.—වර්ෂ 1981 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ පිටු 7-9 දක්වා බලන්න.
3, 4. සභා ඇසුරෙන් කපාහරින ලද අය සමඟ සහ තමන් විසින්ම සභා ඇසුරෙන් ඉවත් වී සිටින අය සමඟ කුමන ආකාරයේ ඇසුරක් පැවැත්වීමද තහනම් කර තිබෙන්නේ?
3 මින් අදහස් කරන්නේ පක්ෂපාත ක්‍රිස්තියානීන් සභාවෙන් නෙරපන ලද කිසිම කෙනෙකු සමඟ ආත්මික ඇසුරක් පවත්වන්නේ නැති බවයි. නමුත් මීටත් වඩා දේවල් මෙයට ඇතුළත් වේ. අපි ‘එබඳු කෙනෙකු සමඟ කෑමවත් නොකෑ’ යුතුයි කියා දේවවචනයේ සඳහන් වෙයි. (1 කොරි. 5:11, අකුරු ඇල කළේ අපය.) මේ නිසා අපි නෙරපන ලද කෙනෙකු සමඟ විනෝද ගමනක් යෑම, ප්‍රිය සාදයකට හවුල් වීම, ක්‍රීඩා කිරීම, සාප්පු යෑම, චිත්‍රපට හෝ නාට්‍ය බලන්න යෑම හා නිවසේදී හෝ ආපන ශාලාවකදී ඔහු සමඟ ආහාර ගැනීම වැනි දේවල් ඇතුළත් සමාජශීලී ඇසුරක් පැවැත්වීමෙන්ද වැළකී සිටිනවා.
4 සභා ඇසුරෙන් කපාහරින ලද කෙනෙකු සමඟ කතා කිරීම ගැන කුමක් කිව හැකිද? මේ කාරණය සම්බන්ධයෙන් මතු විය හැකි සෑම තත්වයක් ගැනම බයිබලයේ සඳහන් නොවුණත් කාරණා පිළිබඳ යෙහෝවාගේ දෘෂ්ටිය ඇතුව සිටීමට 2 යොහන් 10 වගන්තියේ පවසන මේ වදන් අපට උපකාරවත් වේ. “නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම් ඔහු ගෙදරට පිළි නොගන්න, ඔහුට ශුභසිද්ධ වේවයි නොකියන්න [ආචාර නොකරන්න, NW].” මේ පිළිබඳව අදහස් දක්වන 1981 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 14වන පිටුවේ මෙසේ සඳහන් වේ. “‘ආයුබෝවන්’ [හෝ ‘හලෝ’] කියන සාමාන්‍ය ආචාර ආමන්ත්‍රණය සාකච්ඡාවකට හෝ මිත්‍රත්වයකට තුඩු දිය හැකි බව අප කාගෙත් සාමාන්‍ය අද්දැකීමයි. [සභා ඇසුරෙන් කපාහැරිය] පුද්ගලයෙක් සම්බන්ධයෙන් එම පළමු පියවර ගැනීමට අපට අවශ්‍යද?”
5. යමෙකුව සභා ඇසුරෙන් කපාහැරිය විට ඔහුට අහිමි වන දේවල් මොනවාද?
5 අප එසේ කටයුතු කිරීම එම මුරටැඹ සඟරාවේ 20වන පිටුවේ සඳහන් මේ දෙයට සමානයි. “පව් කරන ක්‍රිස්තියානිවරයෙක් සභාවෙන් නෙරපනු ලැබූ විට ඔහුට බොහෝ දේවල් අහිමි වන බව සැබෑ කාරණයකි. දෙවි ඉදිරියෙහි අනුමැතිය ලත් තත්වය . . . සහෝදරයන් සමඟ කරන සුහද ඇසුර. ක්‍රිස්තියානි ඥාතීන් සමඟ ඔහුට තිබූ ප්‍රසන්නදායක ඇසුරෙන් වැඩි හරියක්ද මෙයට ඇතුළත් වෙයි.”
6. සභා ඇසුරෙන් කපාහැර තිබෙන ඥාතියෙක් තමන්ගේ නිවසේ ජීවත් වනවා නම් ඔහු හෝ ඇය සමඟ පවත්වන සෑම ඇසුරක්ම නතර කර දැමීම ක්‍රිස්තියානියෙකුගෙන් අපේක්ෂා කරනවාද? පැහැදිලි කරන්න.
6 එකම නිවසේ ජීවත් වන අය: මෙයින් අදහස් කරන්නේ සභා ඇසුරෙන් කපාහැර තිබෙන පවුලේ සාමාජිකයෙකු වෙසෙන නිවසක ජීවත් වන ක්‍රිස්තියානීන් එම තැනැත්තා සමඟ කතා කිරීමෙන්, ආහාර ගැනීමෙන් හා එදිනෙදා කටයුතුවලදී ඔහු සමඟ කිසිම සම්බන්ධයක් පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු බවද? වර්ෂ 1991 ජූලි 1 මුරටැඹ සඟරාවේ 22වන පිටුවේ තිබෙන පාද සටහනේ මෙසේ සඳහන් වේ. “ක්රිස්තියානිවරයෙකුගේ නිවසක නෙරපා දමන ලද ඥාතියෙක් සිටිත් නම් සාමාන්‍ය, දිනපතා නිවසේ කටයුතු හා ක්‍රියාවලදී එම තැනැත්තා තවමත් එහි කොටසක් විය යුතුයි.” මේ අනුව, ආහාර අනුභව කිරීමේදී හෝ නිවසේ වෙනත් කටයුතු කිරීමේදී සභා ඇසුරෙන් කපාහැර තිබෙන පවුලේ සාමාජිකයාව එම කටයුතුවලට හවුල් කරගන්නේ කොතෙක් දුරටද යන්න තීරණය කිරීම එම පවුලේ අයට බාරයි. එනමුත් සභා ඇසුරෙන් කපාහැරීමට පෙර එම තැනැත්තා සමඟ කටයුතු කළ ආකාරයට තවමත් කටයුතු කරන බවට වූ හැඟීමක් තමන් සමඟ ඇසුරු කරන සහෝදරයන් තුළ ඇති නොකිරීමට පවුලේ සාමාජිකයන් පියවර ගනු ඇත.
7. සභා ඇසුරෙන් කපාහරින ලද පවුල් සාමාජිකයෙකු සිටින නිවසක් තුළ පවත්වන ආත්මික ඇසුර වෙනස් වන්නේ කෙසේද?
7 කෙසේවෙතත්, සභා ඇසුරෙන් කපාහැර තිබෙන හෝ තමන් විසින්ම සභා ඇසුරෙන් ඉවත් වී සිටින අය ගැන 1981 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 17වන පිටුවේ මෙසේ සඳහන් වේ. ‘කලින් තිබූ ආත්මික බැඳීම් දැන් සම්පූර්ණයෙන්ම කැඩී බිඳී ඇත. ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු කිට්ටු ඥාතීන් සම්බන්ධයෙන්ද මෙය සැබෑය. . . . මෙයින් අදහස් කරන්නේ කලින් ගෙදර පැවති ආත්මික කාරණා හා සම්බන්ධ ඇසුර වෙනස් වීමයි. නිදසුනක් වශයෙන්, සභා ඇසුරෙන් කපාහැර තිබෙන ස්වාමි පුරුෂයෙක් සමඟ බයිබල් පාඩමක් පැවැත්වීමට හෝ ආත්මික කාරණා ගැන සාකච්ඡා කිරීමට හෝ යාච්ඤා කිරීමට හෝ භාර්යාවන්ට හා දරුවන්ට නොහැක. ආහාර ගැනීමට පෙර වැනි වේලාවකදී යාච්ඤාවක් කිරීමට ඔහුට වුවමනා නම් තමාගේම නිවසේ එසේ යාච්ඤා කිරීමට ඔහුට අයිතියක් තිබේ. එහෙත් ඔවුන්ට නිශ්ශබ්දව තමන්ගේම යාච්ඤා දෙවිට ඔප්පු කළ හැක. (හිතෝ. 28:9; ගීතා. 119:145, 146) පවුලේ අය එකතු වී බයිබලය කියවන විට හෝ බයිබල් පාඩමක් පවත්වන විට නිවසේ සිටින සභා ඇසුරෙන් කපාහැර තිබෙන තැනැත්තාට එතැන සිටීමට වුවමනා නම් කුමක් කළ හැකිද? ඔවුන්ට ඉගැන්වීමට හෝ තමාගේ ආගමික අදහස් බෙදාගැනීමට ඔහු වෑයම් නොකරනවා නම් එවැනි පාඩමකට පැමිණෙන්න ඉඩහැරීමට ඔවුන්ට පුළුවන.’
8. තම නිවසේ ජීවත් වන සභා ඇසුරෙන් කපාහැර තිබෙන බාල දරුවෙකු සම්බන්ධයෙන් ක්‍රිස්තියානි දෙමාපියන්ට තිබෙන වගකීම කුමක්ද?
8 නිවසේ ජීවත් වන බාල දරුවෙකුව සභා ඇසුරෙන් කපාහැර තිබේ නම් දිගටම ඔහුව ඇති දැඩි කිරීමේ වගකීම ක්‍රිස්තියානි දෙමාපියන් මත පැවරෙයි. වර්ෂ 1989 මැයි 1 මුරටැඹ සඟරාවේ 30වන පිටුවේ මෙසේ සඳහන් වේ. ‘ආහාර, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම් හිටුම් ඔහුට නොකඩවා සපයන්නාක් මෙන්ම දේවවචනයට එකඟව ඔවුන් විසින් ඔහුට උපදෙස් සහ හික්මවීම දෙනු ලැබීමද අවශ්‍යයි. (හිතෝපදේශ 6:20-22; 29:17) ඔහුව නෙරපා දමනු ලැබුවත් ප්‍රේමනීය දෙමාපියන් ඔහු සමඟ ගෘහ බයිබල් පාඩමක් පැවැත්වීමට කටයුතු පිළියෙළ කරනවා ඇත. ඔහු සමඟ තනිව පාඩම් කිරීමෙන් තමන්ව නිවැරදි කරගැනීමට ලැබෙන උපදෙස්වලින් උපරිම ප්‍රයෝජන ලබාගන්ට ඔහුට හැකි වනු ඇත. නැතහොත් නොකඩවා පවුල් පාඩමට සහභාගි වීමට ඔහුටද හැකි බව ඔවුන් තීරණය කරනු ඇත.’—වර්ෂ 2001 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ පිටු 16-17 දක්වාද බලන්න.
9. ක්‍රිස්තියානියෙකු තමන්ගේ නිවසින් පිටත ජීවත් වන සභා ඇසුරෙන් කපාහැර තිබෙන ඥාතියෙකු සමඟ සම්බන්ධකම් පැවැත්විය යුත්තේ කොතෙක් දුරටද?
9 එකම නිවසේ ජීවත් නොවන ඥාතීන්: “සභා ඇසුරෙන් කපාහැර තිබෙන හෝ තමන් විසින්ම සභා ඇසුරෙන් ඉවත් වී සිටින තැනැත්තා තම පවුල් කවයේ කිට්ටුම සාමාජිකයන්ගෙන් හෝ නිවසින් බැහැරව ජීවත් වන්නේ නම් තත්වය මීට වඩා තරමක් වෙනස් වේ” කියා 1988 අප්‍රියෙල් 15 මුරටැඹ (සිංහලෙන් නැත) සඟරාවේ 28වන පිටුවේ සඳහන් වේ. එහි තවදුරටත් මෙසේද සඳහන් වේ. “එම ඥාතියා සමඟ කිසිම ආකාරයේ කතා බහක් කිරීම අත්හැර දැමීමට සිදු වන අවස්ථා තිබීමට පුළුවන. පවුලේ යම් කාරණාවලදී එම තැනැත්තා සමඟ කතා බහ කිරීමට අවශ්‍ය අවස්ථාවලදී පවා එය අත්‍යවශ්‍යම කාරණාවලට පමණක් සීමා කරගනු ලැබේ.” මෙවන් පියවරක් ගනු ලබන්නේ පසුතැවිලි නොවෙමින් පව් කිරීම සම්බන්ධයෙන් වරදකරු වන “එබන්දෙකු [ඕනෑම කෙනෙකු, NW] සමඟ සමාගම් නොපවත්වන්න” කියා දෙවි දී තිබෙන නියෝගයට කීකරු වීමක් ලෙසය. (1 කොරි. 5:11) පක්ෂපාත ක්‍රිස්තියානීහු හැකි සෑම වෑයමක්ම දරන්නේ එවන් ඥාතියෙකුව අනවශ්‍ය ලෙස ඇසුරු කිරීමෙන් වැළකී සිටීමටයි. එවන් කෙනෙකු සමඟ කරන ව්‍යාපාරික ගනු දෙනු පවා අවම මට්ටමක තබාගැනීමට ඔවුහු වෑයම් කරති.—වර්ෂ 1981 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ පිටු 18-21 දක්වාද බලන්න.
10, 11. සභා ඇසුරෙන් කපාහැර තිබෙන ඥාතියෙකුට නිවසේ පදිංචි වීමට අවසර දීමට කලින් ක්‍රිස්තියානියෙකු සලකා බලනු ඇත්තේ කුමක්ද?
10 පැනනැඟිය හැකි තවත් තත්වයක් ගැන එම මුරටැඹ සඟරාවේම මෙසේ සඳහන් වේ. ‘දැනට එකට ජීවත් නොවන දරුවෙකු හෝ පියෙකු වැනි කිට්ටු ඥාතියෙකු සභා ඇසුරෙන් කපාහැරීමෙන් පසු නැවත ගෙදර ඒමට ඕනෑයයි ඔහු කිවහොත් තත්වය කුමක් වන්නේද? තත්වය අනුව කුමක් කළ යුතුදැයි පවුලේ අනිත් අය විසින් තීරණය කළ හැක. උදාහරණයක් හැටියට සභා ඇසුරෙන් කපාහැර තිබෙන මවක් හෝ පියෙක් රෝගාතුර වී සිටිය හැක. එසේ නැත්නම් ශාරීරිකව සහ ආර්ථික ලෙස කිසිවක් කරගත නොහැකි තත්වයක සිටිය හැක. එවැන්නෙකුට උපකාර කිරීම ක්‍රිස්තියානි දරුවන්ගේ ආත්මික සහ සදාචාරමය යුතුකමය. (1 තිමෝ. 5:8) මෙහිදී කළ හැකි බොහෝ දේවල් රඳා පැවතිය හැක්කේ දෙමාපියාගේ සැබෑ අවශ්‍යතාවන්, ඔහුගේ හෝ ඇගේ ආකල්පයන් සහ ගෙවැසියන්ගේ ආත්මික ශුභ සිද්ධිය ගැන ගෘහ මූලිකයා දක්වන උනන්දුව වැනි කරුණු මතයි.’—වර්ෂ 1981 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 18වන පිටුව.
11 සභා ඇසුරෙන් කපාහරින ලද දරුවෙකු ගැන එම ලිපියේම තවදුරටත් මෙසේ සඳහන් වේ. ‘ශාරීරික හෝ මානසික රෝගයකින් පෙළෙන, සභා ඇසුරෙන් කපාහැර තිබෙන දරුවෙකුව දෙමාපියන් විසින් තාවකාලිකව ගෙදරට කැඳවාගත හැකියි. මෙවැනි අවස්ථාවලදී පෞද්ගලික තත්වයන් විමසා බැලීමට දෙමාපියන්ට පුළුවන. සභා ඇසුරෙන් කපාහැර තිබෙන පුත්‍රයා ඔහුගේ වත්කමින් ජීවත් වූ කෙනෙකු නම් දැනුත් එසේ කරන්නට ඔහුට නොහැකිද? නැතහොත් ජීවිතය පහසු වන නිසා ඔහු ආපසු ගෙදර යෑමට ආශා කරයිද? ඔහුගේ සදාචාරය හා ආකල්ප කෙසේද? ඔහු ‘මුහුන්’ ටිකක් ගෙදර ගෙනෙන්ට ඉඩ ඇත්ද?—ගලා. 5:9.’
12. සභා ඇසුරෙන් කපාහැරීමේ විධිවිධානය මගින් ලැබෙන ඇතැම් ප්‍රයෝජන මොනවාද?
12 යෙහෝවාට පක්ෂපාත වීමේ ප්‍රයෝජන: පසුතැවිලි නොවන වැරදිකරුවන්ව සභා ඇසුරෙන් කපාහැරීම හා ඔවුන් සමඟ කරන ඇසුර නතර කර දැමීම පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ සඳහන් විධිවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ප්‍රයෝජන අත් කරගන්න පුළුවන්. මෙමගින් සභාවේ පවිත්‍රකම රැකගත හැකියි. එමෙන්ම බයිබලයේ සඳහන් උසස් සදාචාර ප්‍රමිති රක්ෂා කිරීම නිසා අප හා අන් අය අතර තිබෙන වෙනස දැකගැනීමට එය උපකාරවත් වෙයි. (1 පේතෘ. 1:14-16) මෙම විධිවිධානය අපව දූෂ්‍ය කරන බලපෑම්වලින් ආරක්ෂා කරයි. (ගලා. 5:7-9) එමගින්, පසු කලෙක “ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල” නිපදවීමට උපකාරවත් වන හික්මවීමෙන් පූර්ණ ප්‍රයෝජන ලබාගැනීමට වැරදි කරන තැනැත්තාට හැකි වනු ඇත.—හෙබ්‍රෙ. 12:11.
13. එක් පවුලක් කළ සකස් කිරීම් මොනවාද? එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?
13 වසර හයක කාලයක සිට සභා ඇසුරෙන් කපාහැර තිබූ තමන්ගේ මව සමඟ තමන් කටයුතු කරන ආකාරයෙහි වෙනස්කම් කිරීම අවශ්‍ය බව චාරිකා එක් රැස්වීමකදී ඉදිරිපත් කරන ලද කතාවකට සවන් දීමෙන් පසු සහෝදරයෙක් සහ ඇගේ නිවුන් සොහොයුරිය වටහාගත්තා. ඔවුන්ගේ මව ජීවත් වෙමින් සිටියේ ඔවුන් සිටි නිවසේ නොවෙයි. එක්රැස්වීම අවසන් වූ දවසේම මේ සහෝදරයා ඔහුගේ මව අමතා ඇය කෙරෙහි වූ ඔවුන්ගේ ප්‍රේමය ඇයට සහතික කිරීමෙන් අනතුරුව පවුලට බලපාන ඉතා වැදගත් කාරණාවලදී හැර වෙනත් අවස්ථාවලදී ඇය සමඟ තවදුරටත් කතා කරන්න තමන්ට නොහැකි බව ඇයට පැහැදිලි කළා. ඉන් ටික කලකට පසු ඔහුගේ මව රැස්වීම්වලට පැමිණීමට පටන්ගත් අතර අවසානයේදී ඇයව යළි පිහිටවනු ලැබුවා. ඒ විතරක් නොවෙයි, ඇගේ නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයාද පාඩම් කරන්න පටන්ගත්තා. පසුව ඔහු බව්තීස්ම වුණා.
14. සභා ඇසුරෙන් කපාහැරීම පිළිබඳ විධිවිධානයට අප පක්ෂපාතව සහයෝගය දිය යුත්තේ ඇයි?
14 ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් සභා ඇසුරෙන් කපාහැරීම පිළිබඳ විධිවිධානයට පක්ෂපාතව සහයෝගය දීමෙන් යෙහෝවාට තිබෙන අපේ ප්‍රේමය පෙන්විය හැකි අතර ඔහුට නින්දා කරන්නාටද එමගින් පිළිතුරක් ලැබෙයි. (හිතෝ. 27:11) මෙය යෙහෝවාගේ ආශීර්වාද ලැබීමට හේතු වන බව නිසැකයි. යෙහෝවා ගැන දාවිත් රජ මෙසේ ලීවා. “ඔහුගේ පනත්වලින් මම අහක්ව නොයමි. පක්ෂපාත අයෙකු සමඟ ඔබ පක්ෂපාතව කටයුතු කරනු ඇත.”—2 සාමු. 22:23, 26, NW.